Toxic relationship
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•ඇයි අපි ජීවිතයට කෙනෙක් සමීප කරගන්නේ කියලා ඇහුවොත් එක එක උත්තර තිබෙනවානෙ අපිට දෙන්න. ඒ හැම දෙයකම සාරාංශයක් විදිහට කියනවා නම්, අපි තනිවම ඉන්නවාට වඩා හොඳින් ඉන්න හිතාගන, දුක සැප බෙදාන්න හිතාගන, ජීවිතයට සවියක් වෙන්න හිතාගන තමයි කෙනෙක්ව තමන්ට සමීප කරගන්නේ. ඒ කියන්නේ ආදර සබඳතාවයක් පටන් ගන්නේ.
එහෙම දේවල් බලාපොරොත්තු වුණාට සමාජයේ සැළකිය යුතු පිරිසක් සබඳතා නිසා ගොඩක් දුක් වෙනවා. මානසික පීඩනයට පත් වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු තියාගන හිටපු දෙයට විරුද්ධ දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා.
උපදේශන සහය ලබාගන්න එන ඇතැම් අයගේ ගැටලු වලින් තේරුම් ගිය දෙයක් තමයි, තරුණ වයසේ ඉන්න අය ඒ කියන්නේ තරුණ තරුණියන් තමන්ගෙ ජීවිතයේ වැදගත්ම කාලය තුළ ගැටලු ඇතිකරගන්න, තමන්ගෙ වැදගත්ම කාලය නාස්ති කරගන්න ප්‍රධාන කාරණා දෙකක්, හේතූන් දෙකක් බලපානවා.
එකක් තමයි විවිධ ඇබ්බැහිවීම්. ප්‍රධාන වශයෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම.
අනිත් කාරණය අයහපත් / නොගැලපෙන සබඳතා.
අපි විසින් ඇතිකරගන්න සබඳතා අපේ මානසික සෞඛ්‍යය ඇතුළු අපේ සමස්ථ ජීවිතයටම ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම හිතකර වෙන්නත් පුලුවන්. අහිතකර වෙන්නත් පුලුවන්.
අපේ මානසික සෞඛ්‍යය ඇතුළු සමස්ථ ජීවිතයට අහිතකර බලපෑමක් තමයි Toxic Relationship (අයහපත් සබඳතා) නිසා සිදුවන්නේ.
අපි කොහොමද මේ toxic relationship එකක් හඳුනාගන්නේ. ඒ කියන්නේ මොනවාද මේ අයහපත් සබඳතා වල පෙන්නුම් කරන ලක්ෂණ. අපි බලමු මොනවාද ඒ කියලා.
⁃ සබඳතාවය තුළ තමන්ට වටිනාකමක් නොමැති බවක් නිතර හැඟීම
⁃ තමන්ගෙ ආත්මාභිමානය සබඳතාවය තුළ ක්‍රමයෙන් අඩුවන බවක් දැනීම
⁃ තමන්ව පහත් කර සැළකීම.
⁃ දෙදෙනා අතර සිදුවන කතාබහ වලදී බොහෝවිට යම් මානසික පීඩනයක් ඇතිවීම
⁃ නිතරම වගේ දොස් පැවරීම
⁃ තමන් දෙයක් කියන්න කළින් බොහෝ සෙයින් තමන් කියන්න යන දේ ගැන සැළකිලිමත් වීම.
⁃ එකිනෙකා අතර ගරුත්වයක් නොමැති වීම
⁃ අනෙකාව සතුටු කිරීමට, එකට කාලය ගත කිරීමට උත්සහයක්, උනන්දුවක් නොමැති වීම
⁃ සබඳතාවය තුළ යම් අනාරක්ෂිත බවක් හැඟීම
⁃ කෙනෙක් නිතරම තමන්ගෙ මතය ක්‍රියාත්මක කිරීමට හෝ නිවැරදි කිරීමට නිතර උත්සහ කිරීම
⁃ එකිනෙකා අතර පවතින ඊර්ෂ්‍යාව
⁃ විශ්වාසයක් නොමැති කම. නිතරම වගේ කියන කරන දේවල් ගැන සැක කිරීම
⁃ තමන් මොන දෙයක් කළත් ඒ දේවල් මඟින් සෑහීමකට පත්වීමක්, සතුටු වීමක් නොමැති වීම
⁃ දුර්වල සන්නිවේදනය. ඒ නිසාම නිතරම වගේ වැරදි වටහාගැනීම් ඇතිවීම
⁃ අනෙකාව අනවශ්‍ය ලෙස පාලනය කිරීම, සීමාකම් පැනවීම
⁃ හිතට වෙහෙසකර බවක් හැඟීම
⁃ තමන්ගෙ අවශ්‍යතාවන් ගැන, තමන් කැමති දේවල් ගැන එතරම් සැළකිලිමත් නොවීම
ඔන්න ඔය වගේ දේවල් මේ toxic relationship එකක් තුළ තිබෙන්න පුලුවන්. ඒ ලක්ෂණ වලින් තේරුම් යන්න ඇති ඔයාලාට මේ toxic relationship එකක් තුළ කටයුතු කිරීම කියන්නේ කොයිතරම් නම් මානසික පීඩනයක්ද කියන එක.
Toxic relationship කියන්නේ ආදර සබඳතා තුළ පමණක්ම තිබෙන දෙයක් නොවෙයි. විවාහ වුණාට පස්සේ ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව අතර, දෙමව්පියන් සහ දරුවන් අතර, රැකියා ස්ථානයේ, යහළුවන් අතර, එවැනි අවස්ථාවන් වලදීත් toxic relationship තිබෙනවා.
නමුත් ආදරවන්තිය සහ ආදරවන්තයා අතර, ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව අතර ඇතිවෙන්න පුලුවන් toxic relationship තමයි සමාජයේ ගොඩක්ම තිබෙන්නේ. ඒ නිසාම ඒ ගැන අපි වැඩි අවධානයක් දෙන්න අවශ්‍ය වෙනවා.
Toxic relationship එකක් කියන්නේ ගොඩක් අහිතකර දෙයක්. විශේෂයෙන්ම අපේ මානසික සෞඛ්‍යයට ගොඩක් අහිතකර බලපෑම් ඇතිවෙනවා toxic relationship නිසා.
අපි දැන් බලමු මේ toxic relationship එකක් නිසා ඇතිවෙන්න පුලුවන් අහිතකර ප්‍රතිවිපාක මොනවාද කියලා.
⁃ මූලිකම දෙය තමයි මානසික හිංසනය. (Mental abuse). ඊට අමතරව විවිධ කායික සහ ලිංගික හිංසනයන් වලටද මේ toxic relationship එකක් තුළ ලක්වෙන්න පුලුවන්.
⁃ දැඩි මානසික ආතතිය
⁃ Anxiety disorders, depression, වගේ විවිධ මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමට හේතුවීම
⁃ තමන්ගෙ කාර්යයසාධනය පහත වැටීම. අධ්‍යාපන වැඩකටයුතු වලට, රැකියාවේ වැඩකටයුතු වලට බාධා ඇතිවීම
⁃ තමන්ගෙ අරමුණු ළඟාකර ගැනීමට බාධාවීම
⁃ තමන්ගෙ තිබෙන හැකියාවන් වලින් සහ තමන්ගෙ කාලයෙන් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමට නොහැකි වීම
⁃ දුර්වල ආත්මාභිමානය
⁃ සැබෑ සතුටක් නොමැති වීම
⁃ ජීවිතයේ ගුණාත්මක බව පහත වැටීම
⁃ සමාජ සබඳතා වලින් දුරස් වීම. යහළුවන්, පවුලේ සෙසු අය සමඟ තිබෙන සබඳතා දුරස් වීම
⁃ අවධානය යොමුකිරීමේ සහ තීරණ ගැනීම සම්බන්ධ විවිධ ගැටලු ඇතිවීම
⁃ විවිධ ඇබ්බැහිවීම් වලට යොමුවීම
⁃ විවිධ ස්වයං හානිකරගැනීම් වලට පෙළබීම
⁃ සියදිවි නසාගැනීම සම්බන්ධ සිතුවිලි ඇතිවීම සහ ඊට යොමුවීම් සිදුවීම
ඉතින් ඒ වගේ ගොඩක් අහිතකර ප්‍රතිවිපාක ඇතිවෙන්න පුලුවන් toxic relationship නිසා.
එතකොට කෙනෙක් ඉන්නේ toxic relationship එකක නම් මොකක්ද ඒ කෙනා කරන්න ඕන.
තමන්ට තිබෙන ගැටලු තනිවම හිතේ හිරකරගන පීඩා විදින්න එපා. විවෘතව අනෙකාට ඒ දේවල් කියන්න ඕන.
තමන්ට අසතුටක්, අපහසුවක් දැනෙන පුද්ගලයන් සමඟ කාලය ගතකිරීම හැකිතාක් සීමා කරන්න පුලුවන්.
මෙවැනි toxic relationship එකක් විවාහයට පෙර සිටම තිබෙනවා නම්, ඒ තත්ත්වය යටතේම අපි කිසිසේත්ම විවාහ වෙන්න හොඳ නැහැ.
දෙදෙනා අතර තිබෙන ගැටලු, දෙදෙනාගේම උත්සහයෙන් හෝ මනෝ උපදේශනය වැනි තෙවන පාර්ශ්වයක සහයෙන් විසඳාගැනීමට යොමුවීම කරන්න ඕන.
එසේ නිරාකරණය කරගැනීමට නොහැකි නම් එවැනි සබඳතා නිතර කිරීම තමයි ඇත්තටම හොඳම විසඳුම වෙන්නේ.
එලෙස toxic relationship එකකින් ඉවත් වීම කිසිසේත්ම ඔයා කරන වැරදි දෙයක් නොවෙයි. තමා ගැන වැරදි ආකාරයට තමා විසින්ම හිතන්න දෙයක් නොවෙයි toxic relationship එකකින් ඉවත් වීම කියන්නේ.
Toxic relationship ඇතිවන්නේ එක් අයෙකුගේ හෝ දෙදෙනාගේම හෝ යම් යම් මානසික දුර්වලතා නිසාම තමයි.
කෙනෙක්ට පවතින Anxiety disorders, depression, bipolar disorder, යම් යම් personality disorders, වගේ විවිධ මානසික රෝග නිසාත් toxic relationship ඇතිවෙන්න පුලුවන්.
Toxic relationship එකක් කියන්නේ මොනවගේ දෙයක්ද, මොනවාද ලක්ෂණ, මොනවාද toxic relationship එකක් නිසා ඇතිවෙන්න පුලුවන් අහිතකර ප්‍රතිවිපාක, එහෙම toxic relationship එකක් තිබෙන කෙනෙක් මොනවාද කරන්න ඕන කියන එක ඔයාලට තේරුම් යන්න ඇති.
කවුරුත් හෝ ඒ වගේ toxic relationship එකක නම් ඉන්නේ ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග වලට යොමුවීම සිදුකරන්න.
Toxic relationship එකක් නිසා තමන්ගෙ ජීවිතයේ තිබෙන වැදගත්ම කාලය අපතේ යවාගන්න සහ තමන්ගෙ මානසික සෞඛ්‍යය අයහපත් කරගන්න එපා.
Avishka Sathsara Piyumal
(Mental Health Advocate & Certified Life Coach)
