මෙඩූසා ගේ අඳෝනාව
කෙටි කතාවකි...

නිකලැල් චරිතයයි.. නිකලැල් මහගු කමයි..
කුල දැරිවියෙකුට ඇති, විය යුතු කරුණු කමයි..
එතකොට දෙවිදුන්, වනමල් බිමට හෙලයි...!
By @PowerSpreader
"වර්ෂ 2024 ක් වූ වර්තමාන කාල රාමුව තුළ... දේශපාලන සහ සමාජීය අනාගතය උදෙසා දිග හැරෙන... The Power වැඩසටහනට ඔබතුමාව සාදරයෙන් පිළිගන්නව රෙනක කාවන්තිස්සකුට්ටිආරච්චි මැති තුමා..."
ටීවි එකේ යන්න හදන්නෙ බල්ලො බුරාගන්න ප්‍රෝග්‍රෑම් එකක්. මදැයි මැච් එකක හයිලයිට් වත් බලන්න කියල ටීවි එකක් දාගත්ත.
"පර්සියස්...! මේන් මේ සමෝසා ටික කඩේට දාල වරෙන්... ගෙදෙට්ට වෙලා පිනට කකා බිබී ඉන්නැතුව..."
ඒ අපේ ගෙදර ආලෝකය. අම්මා. මම ටීවි එක බලන්න හැදුවත්, නිදාගන්න හැදුවත්, කොටින්ම ලැට් එකට ගිහිල්ල අහවල් වැඩක් කරන්න හැදුවත් අම්මගෙ බණේ.
"අයියෝ අම්මේ... මේ ගොම්මනේ මම ඔය කඩවල් ගානෙ යන්නෙ කෝමද. අනික මාකට් එකට දෙවියො වඩිනවද? මේ දෙකයි පනහෙ පජාත ගවුම් කෑලි ෆෝම් කරන්න යන්න මට නං බෑ."
අම්මා අකුණු සැරක වේගෙන් කුස්සියෙ ඉඳල මගෙ ගාවට ආවෙ අලි පිහියකුත් උරුක් කරගෙන.
"ආ ඇත්තද... තොගෙ ඔය සත පනහෙ කලිසම් කෑල්ලට කෝමත් දෙකයි පනහෙ ගවුම් කෑල්ලක්වත් අහුවෙන්නෑ... නිකමෙක්ට ලව් කරන්න උන්ට පිස්සුවක් තියෙනවද...?"
හරිනෙ අහගත්තා.
"හා හා දෙන්නකො ඕක කියවන්නැතුව. මල වදේ..."
අම්මගෙ මියුරු ගී නාදය අහන්න බැරි නිසාම, මම කුස්සියට ගිහිල්ල අම්ම ලෑස්ති කරල තිබ්බ සමෝසා භාජනෙත් අරන්, බාටා දෙකයි ශෝටයි ගහගෙන එළියට බැස්සා.
කතාව කියවන උඹල මම ගැන හිතන් ඉන්නෙ අර ඉස්සර හිටපු යෝධ ඇඟක් තිබ්බ වීර බුවා වගේ එකෙක් කියල නං, උඹලට වැරදිලා මචං ඈ. මම මේ සාමාන්‍ය පොරක්.
අපි මේ ජීවත් වෙන්නෙ ඇට්ලැන්ටිස් දූපතේ නිරිතදිග කොනේ තියෙන උඩප්පුව කියන ගමක. සාමාන්‍ය ෆැසිලිටීස් තියෙනව. හැබැයි ඉතින් වත්කම් අතින් නං ඩොට් වෙන්නම පහළට වැටිල ඉන්නෙ. බිකෝස් ඇට්ලැන්ටිස් දූපතේ පාලකයො නිසා, දූපතේ ආර්ථිකය කඩා වැටිල, උද්ධමනයක් ඇවිල්ල, අන්තිමට යටිතල පහසුකමක් ගන්නත් සල්ලි ගෝනියක් උස්සන් යන්න උනා. අන්තිමට පොසා (පොසයිඩන් ලොක්කා) මැදිහත් වෙලා තමා දූපත ආයෙ ගිලෙන්න යන එකෙන් බේරගත්තෙ.
මම ඉතින්, සාමාන්‍ය ගමේ කොල්ලෙක්. රාජ කුමාරයෙක් නෙවේ. කෙල්ලෙක් බල්ලෙක් තියා මොන වල්@ක් වත් නැතුව ගෙදෙට්ට වෙලා ඔහේ ඉන්නෙ. මගෙ ගැන මෙච්චරයි. හරිනෙ එහෙනං. ඩීටේල්ස් ටික සෙට්ල් උනා නං ආයෙ අපි කතාවට යමු. බිකෝස් එක එපිසෝඩ් එකෙන් මේක ලියල ඉවර කරන්නත් ඕනෙ.
-----
මම ගෙදරින් එළියට බහිනකොට හවස් වීගෙන එන්න ළං වෙලා තිබ්බෙ. ඉතින් ටවුමට ළං වෙනකොටත් කළුවර වැටිලා. කොච්චර කළුවර උනත් මිනිස්සුන්ගෙ නං අඩුවක් නෑ ටවුමෙ.
මම ඉක්මනට, අපේ අම්මා කෑම දාන කඩේට ගිහිල්ල, කෑම ටික එතෙනට බාර දුන්නෙ, තවත් රෑ වෙන්න කලින් ගෙදෙට්ට ගිහිල්ල පොරවන් බුදියගන්න. ඒත් කෑම වලට සල්ලිත් අරන් කඩෙන් එළියට බැහැල අඩි දෙක තුනක් යන්නත් කලින්ම මගේ ඇහැ ගැටුනේ මම හිතුවෙවත් නැති දේක.
සුදුම සුදු සේද සළු ඇදගත්ත සූකිරි කැටේ වගේ කෑල්ලක් ටවුම මැද්දෙ යනව. ඒ කෙල්ල වටේට කෝට් ගහගත්ත හය හත් දෙනෙකුත් යනව. බොඩිගාඩ්ල වෙන්නැති. කෙල්ලගෙ වත්කම ඇහේ මිම්මට මැනපු මගෙ ඔලුවට ආව පළවෙනි දේ තමා මේ වගේ බර කඳක් මොකද මේ ටවුමට ලෑන්ඩ් කලේ කියන එක.
"ඒයි තමුන්... තමුන් මොකද අපේ දිහා බලන් ඉන්නෙ... ආ... තමුන් මිස් රොසෙලීන්ට කරදරයක් කරන්නද ප්ලෑන් කරන්නෙ... කියනවා..."
මල හත්තිලව්වයි... කව්ද යකෝ රොසෙලීන්. මම නොසැලී ඒ රොසැලීන් දිහා බලන් වත්කම් මිනුම් කරන අතරෙ, වටේට හිටපු ගාඩ්ලගෙන් එකෙක් මගෙ ගාවට ආවෙ අතත් උරුක් කරගෙන සැකෙන් වගේ කතා කරන ගමන්.
"ආහ්... මේ... නැ... නෑ සර්... මේ... මම බැලුවෙ සර්ල කවුද කියල... මීට කලින් දැ... දැකල නෑනෙ අපි"
පොර මගෙ අවිහිංසක පාට් එක දැකලද කොහෙද අතපය පස්සට අරන් නෝමල් එකේ කතා මට.
"ඇයි දන්නැද්ද... මේ ඉන්නෙ ඇට්ලැන්ටිස් දූපතේ ඊළඟට කිරුළ හිමිවෙන කුමාරිකාව..."
"ඈහ්... කින්ග් ඇට්ලස් ගෙ දුව..? ඉතින් එයා මෙහෙ මොකද කරන්නෙ...?"
අර ගාඩ් බුවා ශේපට මගෙ ළඟට ආවෙ ටොප් සීක්‍රට් එකක් මට කියන්න වගේ.
"කුමාරිකාවගෙ කල වයසත් දැන් හරිනෙ... ඉතින් රජා හදන්නෙ, කුමාරිකාවට කොහෙන් හරි හොඳ තැනකින් පොරක් සෙට් කරල දෙන්න... දැන් අපි මේ ආවෙ කුමාරිකාවට හොර රහසේම දූපත පෙන්නල දෙන්න..."
හප්පට බොල. ගේමක් ගැහුවොත් මටත් බැල්මට් එකක් දාගන්න බැරි වෙන එකක් නෑ.
"අරෙහා... අපි දන්නෑනෙ... මෙ... මේ සර්... එතකොට ඉතින් ලොකු ලොකු තැන් වලින් කුමාරයො එනව ඇති නේ...?"
"මේ වගේ කුමාරිකාවකගෙ අත ගන්න නං ඉතින් එක්කො ඉලෝන් මස්ක් වෙන්න ඕනෙ. නැත්තං මෙඩූසගෙ ඔලුවවත් ගෙනල්ල පෙන්නන්න ඕනෙ. තමුසෙලට නං ඉතින් නෝ චාන්ස්... ඔන්න ඔහේ ගෙදර යනව දැන් කළුවර වැටුන වෙලාවෙ..."
මෑන් එහෙම කියාගෙන මගෙ පිටට තට්ටුවකුත් දාන් ආපහු කුමාරිකාව ගිය පැත්තට යන්න ගියා.
සල්ලි ගැන නං කතා කරන්න තරන් දෙයක් නෑනෙ. වකුගඩු දෙක විකුණන්න විදිහකුත් නෑ. එච්චරයි මගේ කියල දේකට තියෙන්නෙ.
ඒත්...
අර මෙඩූසා ගැන කිව්ව කතාව මොකද...?
මම කලින් කිව්වනෙ අපි ඉන්නෙ ඇට්ලැන්ටිස් දූපතේ උඩප්පුව කියන ගමක කියල. අපේ ගම තියෙන්නෙ ලොකු කන්දක් තියෙන කැලෑවක් මායිමේ. ඔය කන්දෙ උඩහ තියෙනව ලොකු ගුහාවක්. අපේ අම්මල අපිට පොඩි කාලෙ කියල තියෙනව, ඔය ගුහාවට යනව තියා ඒ පැත්තවත් බලන්න එපා, මෙඩූසා ඉන්නෙ ඔතන කියල. ඒ කරල කියනව බත් කෑවෙ නැත්තං මෙඩූසා ඇවිල්ල අපිව අල්ලන් යනව කියල.
බය කරන්න කිව්ව උනත්, අම්මල ඒ කිව්ව කතාවෙ ඇත්තක් නැතුවම නෙවෙයි කියන කාරණය අපි ගොඩක් දෙනෙක් දැනගෙන හිටිය.
කොහොම උනත්...
රෑ උනා වැඩි නිසා මම 'කඳ සුරිඳු පිහිටයි' ගහපු ටැක්සියක නැගල ගෙදර ගියේ, මෙඩූසව අල්ලගත්ත නං, මේ වගේ කුමාරිකාවක් බැඳන් චිල් එකේ පිනට කකා ඉන්න පුලුවන් කියන හිතුවිල්ලත් එක්ක.
ටැක්සියෙන් ගෙදෙට්ට ඇවිත් ගෙට ගිය ගමන්ම මම අම්මට කතා කලා.
"අම්මා... ඕන් කෑම ටික දැම්මා... මේන් කලින් පාර දෙන්න තිබ්බ සල්ලි ටිකකුත් එක්කම දුන්නා කඩෙන්..."
අම්මා කඩේට දාන්න කෑම හදල ආයෙ අපිට රෑට කන්නත් උයනව. එයත් කට්ටක් තමා කන්නෙ. අම්මා මගෙ අතේ තිබ්බ සල්ලි ටික අරගෙන ගණන් කරල ඉවර උනාට පස්සෙ තමා, ඒ ටික එයාගෙ පර්ස් එකට දාගත්තෙ. ඒ තරන් මාව ශුවර්.
"අම්මෙ... බඩ්ඩක් අහන්නද..?"
"ම්ම්ම්ම් ඒ ගමන මොකක්ද... තව මොකක් හරි හුචැක්කුවකට අහු උනාද අද..."
"නෑ නෑ එහෙම එකක් නෙවේ... මේ... ඔය අර කැලේ අයිනෙ තියෙන කන්දෙ... මෙඩූසා ඇත්තටම ඉන්නවද... අර මිනිස්සුන්ව ගල් පිළිම කරපු කෙනා..."
"මම දන්නෙ කොහොමද ඒක..."
"ඈහ්... ඉතින් අම්ම පොඩි කාලෙ මට කියල තියෙනවනෙ එහෙම කෙනෙක් ඒකෙ ඉන්නව කියල"
"මිනිස්සුත් කියනව ඇහිල තමා මමත් කිව්වෙ... ඕන්නං ගිහින් බලාගන්න එකයි ඇත්තෙ ඉන්නවද නැද්ද කියල..."
ම්ම්ම්ම්ම්ම්.... රෑට කෑම සැපයි...
මෙහෙ කාගෙන් වත් අහල නං හරියටම මුකුත් දැනගන්න වෙන්නෑ. මම ඒ නිසා හිතුව රෑ වෙලා ඒ පැත්තෙ විසිට් එකක් දාල එන්න. ගල් වෙන්න හරි, මෙඩූසව ගල් කරන්න හරි මුලින් ගිහිල්ල බලල ඉන්න එපැයි.
මම ඉතින් රෑට කාලා අම්මටත් යාලුවෙක්ගෙ ගෙදර යනව කියල එලියට බැස්සා.
එළියට බැහැල අඩි පහ හයක් යන්නත් කලින්, එක පාරටම පළාතම එළිය උනේ නිකං හිරෝශිමාවෙ හතු පිපුනා වගේ. ඇහේ තියෙන යෂ්ඨි සෛල ටික බේරගන්න ඕනෙ නිසා මම ඉක්මනට ඇස් දෙකත් වහන්, අත් දෙකෙන් මූණ කවර් කරගත්තා. තත්පර කීපයක් තිබ්බ ඒ මහා එළිය එක පාටම නැතිවෙලා ගිය බව තේරුන නිසා මම හිමීට ඇස් දෙක ඇරල බැලුවා.
දෙයියනේ... දෙයියනේ...
මගෙ ඉස්සර හිටියෙ වෙන කවුරුත් නෙවේ... ඇතීනා දෙවඟන...
මම එයා දිහා කට ඇරන් පුදුමෙන් බලන් ඉන්න අතරෙ ඇතීනා දෙවඟන මට කතා කළා.
"දරුව මම නුඹ දෙස...
බැලුවෙ පහළට හෙලල මගෙ ඇස...
ගෙනෙනටද යන්නෙ මෙඩූසගෙ හිස...
නැතිව අවියක්වත්... එලෙස... කෙලෙස..."
හෑ... ඇත්තනෙ කතාව... අත් දෙක වන වන ගිහිල්ලා මෙඩූසගෙ හිස නෙවේ මගෙ පශ්චාත් බාගය එතන තියල එන්න වෙන්නෙ.
"අ... අයියෝ ඇතා අක්කේ... අමතක උනානෙ... හොඳ වෙලාවට මතක් කලේ... හෙ හෙ..."
ඇතා අක්කා කිව්ව නිසාද මංද ඇතීනා දෙවඟන මගෙ දිහා බැලුව බැලිල්ලක් ආයෙ ආත්මෙටම පසාරු කරගෙන යන විදිහෙ.
"හෑ බොල මනුෂ්‍යය...
වහ ගනින් තොගේ ඔය හැකර කට...
දන්නේ නැද්ද දෙන්න ගෞරවය...
උසස් තැනකින් සම්ප්‍රාප්ති දෙවඟනකට..."
"අ... සොරි සොරි ඇතා... නෑ මේ මම කිව්වෙ දෙවඟනියනි..."
ආපහු කාගත්තා. මේ පාර නං එයා මගෙ දිහා බැලුවෙ මාව රොස් පොළොස් කරන්න වගේ.
"ආවෙ දෙන්නට අවැසි අවි තොට...
දෙන්නෙ නෑ කිසි දෙයක් අද සිට...
ඕනෙ මගුලක් කරගනිනට...
යනව මම දැන් දේව ලෝකෙට..."
"අ... අනේ... සොරි දෙවඟනියනි...
නොදැන කළ පව් ගෙවී යන්නට...
වඳිමි දෝත් මුදුන් තමා නුඹ හට..."
ඒක කියල ඉවර වෙන්නත් කලින්, ආපහු පාරක් ඇතීනා දෙවඟන දෑස නිලංකාර කරවන එළියක් විහිදුවාගෙන නොපෙනී ගියා.
වෙච්ච දේ ක්ලැරිෆයි වෙනකං විනාඩියක් විතර එකතැන ඉඳල, මම ආපහු හැරිල ගෙට ගියා. ඒ, ඇතීනා දෙවඟන කිව්වත් වගේ, ආයුධයක් නැතුව මෙඩූසගෙ බෙල්ල ගලවන් එන්න බෑනෙ.
උඹලත් දැන් හිතනව ඇති මම හේඩිස්ගෙන් හිස් ආවරණයක් ඉල්ලගෙන, හර්මිස් ගෙන් රත්‍රන් පාවහන් දෙකක් ඉල්ලගෙන, ඇතීනාගෙන් පළිහක් ඉල්ලගෙන මේ ගේම ගැහුව කියල.
ඒ හත්තිලව්වක් කරන්න විදිහක් නෑ. මේ කෙටි කතාව පට්ට ලෝ බජට් එකකින් ගහන්නෙ. ඉතින් බජට් එකේ හැටියට පාන් කපන පිහියකුයි, පොල් ගහ ලකුණ සෙරෙප්පු දෙකකුයි, අම්මගෙ සාස්පානකුයි ඇරෙන්න වෙන දෙයක් භාවිත කරන්න විදිහක් නෑ.
අදාළ ආම්පන්න වලින් සැරසිලා, මම වැඩි කලබලයක් නැතුව කැලේ මැදින් කන්ද උඩ තිබ්බ ගුහාව ගාවට ආව. මහ වෙලාවක් ගියෙත් නෑ. ඉස්සර කොල්ලො එක්ක මේ කැලේ සෙල්ලම් කරල තිබ්බ නිසා ශෝට්කට් පාරවල් එහෙම ඔක්කොම මම දැනගෙන හිටියෙ.
ගුහාව ගාවට ආවට පස්සෙ තමා මම දැක්කෙ, ඈතට ඒක ගුහාවක් වගේ පෙනුනට ගුහා කට ඇතුල සම්පූර්ණයෙන්ම බදාමෙකින් වහල තිබ්බෙ. ඒකෙ මැද පොඩි දොරක් තිබ්බා අයිනකින් සීනුවක් හයි කරපු.
මම ඉතින් හරකා වගේ ඕක කඩාගෙන යන්න ඈ. මම ගිහිල්ලා සීනුව ගැහුවා.
ටිකකින් ගුහාවෙ මැද තිබ්බ දොර ඇරගෙන එලියට ආවෙ, දෙවඟනක් වගේ කෙල්ලෙක්. එයත් මගෙ දිහා ඇසිපිය නොහෙලා බැලුවා. මමත් එයා දිහා ඇසුයි කටයි ඔක්කොම නොහෙලා බැලුවා. මේ කෙල්ල මෙඩූසා වෙන්න බෑ.
විනාඩියක විතර කාලයක් තිස්සෙ අපි අතරෙ තිබ්බ අත්භූත නිහඬබව බිඳුනෙ ඒ කෙල්ලගෙ කටහඬින්.
"කවුද මේ... මොකක්ද මෙහෙට ආව කාරණේ..."
අයාලේ ගිය හීන අතරේ ඇගේ දෑසම හොය හොය හිටපු මමත් පියවි සිහියට ආවෙ ඊට පස්සෙ.
"අහ් මේ... සොරි... මං හිතන්නෙ මට වැරදීමක් වෙලා... ම... මම ආවෙ මෙඩූසාව හොයාගෙන... එ... එයා මෙහෙ ඉන්නව කියල මිනිස්සු කියනව ඇහිල තියෙනව මට..."
"මම තමයි මෙඩූසා... මොකක්ද වෙන්න ඕනෙ..."
ඒ කෙල්ල ගානක් නැතුව ඒත් ටිකක් දැඩි ස්වරූපයෙන් ඇහුවා.
"ඔ... ඔයා නෙවේ... අර... මේ... ශාපයක් වෙලා ගෙදරින් කේස් ගිය මෙඩූසා..."
"මම තමයි ඒ... මම අහන්නෙ ඔයාට මොකක්ද වෙන්න ඕනෙ කියල..."
එතකොටම මගෙ ඔලුවට ආවෙ මේ කෙල්ල කතා කරන විදිහට, මෙයා ඇත්ත කියනව කියල. ඒත් එක්කම මට දැනුනේ ඒ කෙල්ල දිහා බලන් ඉන්න තත්පරයක් තත්පරයක් ගානෙ මාව ගල් වෙනව කියල.
හැබැයි ඇඟ නෙවේ. වෙන දෙයක්.... හෙ හෙ...
"මෙ... මේ.... ඔයා ඉතින් ලස්සන කෙනෙක්නෙ... අර දැක්කම ගල් වෙ... වෙන කෙනෙක් නැද්ද මෙහෙ..."
'ලස්සන කෙනෙක්' කිව්ව නිසා ඒ කෙල්ලගෙ මූණෙ තිබ්බ දැඩි ස්වරූපෙ ටිකක් ලිහිල් උනා.
"අයියෝ ඒ මම තමා. මගෙ ශාපෙ අයින් වෙලා ගොඩක් කල් දැන්... ඒක නෙවෙයි... එන්න ඇතුළට... මේ වෙලාවට හුළං සැරයි කන්ද උඩ"
කන්පියුස් උනත්, ඒ කෙල්ලගෙ ආරාධනාව පිළිඅරන් මමත් මගෙ අතේ තිබ්බ පාන් කපන පිහිය හංගගෙන ගුහාව ඇතුළට ගියා අර දොරෙන්.
ඇතුළට ගියාම තමා මම දැක්කෙ...!
එළියෙන් ගුහාවක් වගේ තිබ්බට, ඇතුල හොඳට මොඩිෆයි කරල තිබ්බෙ. ඒ කෙල්ල මට පෙන්නල ගිය පුටුවෙන් වාඩි වෙලා ඉන්න අතරෙ, එයා මට උණුවෙන් කෝපි එකක් හදන් ආව. ඒ කෙල්ලගෙ හිතේ ගින්දරෙන් වතුර රත් කරලද මංදා කෝපි එක ගිනි ගහන රස්නෙයි.
"ම... මම මේ ආවෙ... ඔයාට අනතුරක් ගැන කියල යන්න..."
කෝපි එකෙන් උගුරක් බීලා දිව කට පපුව ආමාශය ඔක්කොම පුච්චගත්ත මම, කෝපි එක අතට අරන් ඒ කෙල්ල දිහා බලන් කිව්වා.
"මොකක්ද අනතුර...?"
"මේ... මෙහෙමයි... මේ දූපතේ ලොක්කා... ඒ කියන්නෙ රජා... එයාගෙ දුවට කුමාරයෙක් හොයනවා..."
"ඉතින්..."
මම ඊට පස්සෙ ඒ කෙල්ලට සම්පූර්ණ කතාවම කිව්වා. අර ගාඩ් කාරයා කිව්ව ටිකට තවත් ලුණු ඇඹුල් එකතු කරලා, 'මමයි වීරයා මමයි වැඩා' ලයින් එකේ පට්ට පදිරි දාර නයෙක් ඇරියා.
මේ කෙල්ලගෙ බෙල්ල ගලවන්න ආවට, කෙල්ලව දැකල සිටුවේශන් එක එස්කලේට් උනානෙ. ඉතින් දැන් ශේපට් එකක් දාගෙන, මෙයාගෙ හිත දිනාගෙන, අත අරගෙන, බැඳල, කැන්දන් ඇවිල්ලා, ගහලා.... අදහස ගනින්කො. ඔක්කොම දාන්න බෑ. පෝර්නොග්‍රැෆි කේස් වදිනව.
උඹලත් දැන් හිතන් හිටියෙ මහා රාක්ෂයෙක් වගේ කෙල්ලෙක්ව දැකල, මමත් ගල් වෙලා කතාව හුචැස් ගාලා නවතියි කියල නේ. එහෙම නෑ බං. කෙල්ලො පිටතින් රාක්ෂයෙක් උනත්, අවලස්සන උනත්, හදවත හොඳයි නං ඒ කෙල්ලො දිදුලනවා. (හැබැයි කොල්ලෙක් පිටතින් කැතයි නං, ඌ කැතයි)
සහ ඔව්. තව හේතුවක් තියෙනව. බජට් එක මදි නිසා ඇත්ත සර්ප ඇඟක් තියෙන මෙඩූසව කන්ටැක්ට් කරගන්න බැරි උනා. daraz එකෙන් ගෙන්නපු මෙඩූසා කෙනෙක් ලව්වා ස්ටෝරිය ගැහුවෙ අඩු ගානකට. රිම් එකෙන් යන්නෙ. බ්ලොක්බස්ටර් ස්ටෝරියක් ගහන්න තරන් වත්කමක් නෑ.
මගෙ සම්පූර්ණ කතාවම අහල ඒ කෙල්ල මට ස්තූතියි කලා.
"ඔයාට ගොඩක් ස්තූතියි... ඒත් මට මගෙ ගැන බලාගන්න පුලුවන්..."
ඒ කෙල්ල මට කිව්වෙ මගෙ මූණ දිහා එක එල්ලේම බලාගෙන.
"නැහැ එහෙම නෙවෙයි... දැන් වෙන අයත් මෙහෙට එන්න ගත්තොත්, ඒ අය ඔයාගෙ ලස්සන දැකල ඔයාට කරදරයක් එහෙම කරන්න හැදුවොත් කියල මම මේ අනතුරු අඟවන්න ආවෙ..."
"මම කිව්වනෙ. මට මගෙ ගැන බලාගන්න පුලුවන්. ඇරත්... පිරිමි කියන්නෙ මම සදාකාලිකව වෛර කරන ජාතියක්..."
ආහ්... යෑස්... ටිපිකල් 2024 කෙල්ලෙක්ගෙ මයින්ඩ්සෙට් එකක්.
"එ... ඒ කිව්වේ... මට තේරුන්නෑ..."
"මම කිව්වෙ මට පිරිමින්ව පේන්න බෑ කියල. තමුන් උනත් මෙහෙට ආවෙ මට කරදරයක් කරන්න බව මම දන්නව. ඔය හංගන් ඉන්න පිහිය මම දැක්කෙ නෑ කියලද හිතන්නෙ?"
ම්ම්ම්ම්ම්ම් සිටුවේශන් එක පොඩ්ඩක් රුවිතෙට යනව වගේ දැනෙන්නෙ ඇයි මට..?
"එ... එහෙම නෑ... හෙ හෙ... මේ...."
"කොහොම උනත්... මට කරපු අනතුරු ඇඟවීමට ස්තූතියි... මම දැනන් හිටියෙ නෑ එහෙම එකක්..."
"ඔ... ඕක මොකක්ද.... ම... මම එහෙනං ගිහිල්ල එන්නම්... න... නංගි ඈ... පරිස්සමට ඉන්න..."
මම ගොත ගගහ ඒක කිය කිය පුටුවෙන් නැගිටින්න හැදුවත් මට මගෙ ඇඟ හොල්ලගන්න බැරි උනා.
"යන්න... කොහේ යන්නද... මෙහෙට ආව කවුරුත් තාම එලියට ගිහිල්ල නෑ... හඃ හඃ හා..."
මෙච්චර වෙලා ප්‍රියංකර බවක් තිබ්බ අර කෙල්ල එක පාටම දුෂ්ඨ හිනාවක් දැම්මා මගෙ දිහා බලන්.
"මේ මො... මොකද වෙන්නෙ... ඇයි මට හෙලවෙන්න බැරි..."
"මම තමුන්ට කැමතියි... මම තමුන්ගෙ ගල් උන ශරීරය පරිස්සමට අරන් තියන්නම්..."
"ග... ගල් උන...? ඔ... ඔයා කිව්වනෙ දැන් ඔයාගෙ ශාපය ඉවරයි කියල...!"
"ඔව්... මගෙ රාක්ෂ ශරීරය ආපහු සාමාන්‍ය අතට හැරුනා... සහ මට දැන් මගේ ශාපය... නෑ... මගේ බලය... ඔව්... මගේ බලය... මට දැන් මගේ බලය පාලනය කරන්න පුලුවන්..."
ඒ කෙල්ල කියන දේ ඇහෙන එක අඩුවෙනවත් එක්කම මම දැක්කා මගේ අත් කකුල් සේරම ගල් වෙනව. මට තව වචනයක් හිතන්නත් කලින්ම මගෙ....
නිමි...
පසුවදන :
මම හිතුවෙ daraz එකෙන් ආවෙ සොෆ්ට් කොපියක් කියල. මීට කලින් Ali express එකෙන් කීප පාරක්ම ලණු කාපු නිසයි මම එහෙම හිතුවෙ. ඒත් daraz එකෙන් එවල තියෙන්නෙ ඔරිජිනල් එක. කතාව මේ විදිහට අවසන් උනේ ඒකයි...
කතාවෙ නම "මෙඩූසාගෙ අඳෝනාව" කියල ලියන්න පටන් ගත්තට, මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ නෑ. කතාව "පර්සියස්ගෙ අඳෝනාව" කියල වෙනස් කරන්න විදිහක් නෑ දැන්. මම ගල්.