THE ZEVEN

THE ZEVEN

Avishka Nishan

නවවන දිගහැරුම

" සෙන්යුත් තවම ඊයේ සිද්දිය හිතේ තියාගෙනද ඉන්නේ." ටෙෂාන් උදේම ආවේ මගෙන් අහගෙන.

" දැන් නම් ඒක ලොකු ගානක් නෑ ටෙෂාන්.අපි හැමෝම මිනිස්සුනෙ." මම උත්තර දුන්නා.

එහෙම නොවුණනම් ටෙෂානයා ඕක ගැන හිතලම මොනා හරි වෙනවා.පව් කොල්ලා.

ඒ ඇරුණම මම ඕක මතක තියාගෙන පළිගන්න ගියොත් කෙල්ලෝ වගේ වෙනවනේ.කොල්ලො කොල්ලෝ අතරේ වෙන දේවල් එහෙම පැසවන්න ඕන නෑනේ.ඉතින් මම ඇත්තටම ඒක අමතක කරා.

" හරි මචං.ඊයේ වැඩේ සුපර් සෙන්යුත්.සරුත් ගොඩක් ඉම්ප්‍රෙස් වෙලා ඒක ගැන."

" තෑන්ක්ස් ටෙෂාන්."

මට ආයේ ආයෙම දවසේ වෙච්ච දේවල් ගැන කල්පනා වෙන්න ගත්තා.මට කොහොමද ඒ වගේ වරදක් උණේ කියලා මම මගෙන් ම ඇහුවා.ඒක හිතට වදයක් වෙනකන්ම ඇහුවත් මගේ පැත්තෙන් වෙන්න වරදක් තිබුණේ නෑ.

මගේ වැඩ ටිකත් ඔක්කොම ඉවර නිසා මම ශෝර්ට් ලීව් එකක් දාන්න හිතාගත්තා.කලින් දවසේ සැප පුටුවේ නින්ද නිසා තාමත් නිදිමත පොඩ්ඩක් විතර ලෝඩ් වෙලා තිබුණා.

මම ටෙෂාන්,සර් දෙන්නටම කියල ඔෆිස් එකෙන් ආවා.

එන ගමන් තමා මතක් උණේ මගේ පර්ස් එක පාළුවට ගිහින් කියලා.ඒ කිව්වේ පර්ස් එකේ සල්ලි නෑ නේද කියල.ඉතිං මම any time money එක පැත්‍තට ගියා.

දිගම දිග පෝලිමක අන්තිමයා විදියට මම සල්ලි ගන්න බලාගෙන හිටියා.විනාඩි විස්සක විතර බලා හිඳීමකින් පස්සේ මගේ අවස්තාව උදා උණා.

'මාර වැඩක් උණානේ මේක.මම කවදාවත් කෙල්ලෙක් වෙනුවෙන් වත් මේ තටම් බලං ඉඳලා නෑ' මගේ හිත මට කිව්වා.

කොහොම හරි රහස් අංකේ ගහලා ඕන කරන ගාන විදියට 4500 තේරුවා.

කොල්ලෙක්ට ආධ්‍යාත්මික සුවය ඇති කරන ශබ්ද හතරෙන් එකක් උනු ATM එකේ සල්ලි ගනින සද්දේ ඇහුනා.

හැබැයි එතන මොකක් හරි කොස්සක් තියෙනවා කියල මට හිතුණේ වෙනදට වඩා ඒ සද්දි වැඩි වෙලාවක් ඇහුණු නිසා.

සල්ලි එළියට එනකන් මම බලං හිටියා.ම්හ් නෑහ්.

' අනේ දෙයියනේ මේ මගුල කැඩිලවත්ද ' මට එකපාරටම හිතුණා.

'අයියෝ මගේ සල්ලී ' ආයෙත් මේ හිත කියන එකා මගෙන් ආතල් ගන්න පටන් ගත්තා.

අන්තිමේ හිතට සැනසීමක් දෙන ගමන් සල්ලි එළියට ආවා.

" ගාලා වරෙන් බෝල සබන් කිව්වලු " එකපාරටම මට කිය උණේ සල්ලි ටික දැක්ක විදියට.

මැශින් එකෙන් එලියට ආවේ 100 කොළ මිටියක්.

දැන් ගැනපන්කෝ මේක.ලේසි පාසු වැඩක්ද දෙයියනේ.කොළම 45 ක් ගනින්න ඕනනේ.

අන්තිමේ ATM එක විශ්වාස කරලා සල්ලි ටික පර්ස් එකට දාගත්තා.පොල් ගෙඩියක් වගේ.සාක්කුවේ දාගන්නත් අමාරුයි.අන්තිමේ පර්ස් එක බෑග් එකේ දාගෙන මම බස් එකට නැග්ගා.

'මේ දවස් ටිකනම් මට ඒ තරම් හොඳ නෑ වගේ.ජන්ම පත්තරේද මොකක්ද එක තිබුණනම් වෙලාවවත් බලාගන්න තිබ්බා.'

' හයියෝ වෙලාව බලන්න මොකටද අප්පා ජන්ම පත්තරයක්.මට හෙනහුරා ලබලද කියල බලා ගන්නයි ඕන වෙන්නේ.'

මගේ හිත දෙපැත්තකට බෙදිලා මරාගන්නව.මටත් ඉතින් ආතල්.මම ඒක දිහා බලාගෙන තනියම හිනා උණා.වෙන මනුස්සයෙක් දැක්කනම් අනිවාරෙන්ම මට පිස්සු කියල හිතනවා.

කොහොමත් හිතන්න දෙයක් නෑ.අතීතයේ පොඩි පොඩි ට්‍රැක් අවුට් ගති පොඩ්ඩක් පොඩ්ඩක් තාමත් ඉතිරි වෙලා තිබුණා.

කොහොම හරි අන්තිමට සැලකිව යුතු අතුරු ආබාධයකින් තොරව මම බෝඩිමට ආවා.ඇවිත් ඔක්කෝටම හරියන්න නාගත්තා.ඊටපස්සේ හැමදේම අමතක වෙලා යන්න කියල මම නිදාගත්තා

හොඳ නින්දකට පස්සේ මට ෆ්‍රෙෂ් ගතියක් දැනුනා.ඒකත් එක්ක අලුත් පණක් එක්ක දවස පටන් ගන්න පුලුවන් උනා.ඇහැරෙද්දි වෙලාව උදේ 5ත් පහුවෙල.ඉතින් ආයෙත් නිදාගන්න වෙලාවක් නැති නිසා මම ෆෝන් එක පොඩ්ඩක් බල බල හිටියා.

මම ඉතින් සුපුරුදු ලෙස නැවත සේවයට වාර්තා කරන්න ගියා.

අද උදේම staff meeting එක.සර් අද මගෙන් උණු දේ ගැන කතා කරනවා කිව්ව.ආයෙත් ඊයේ හිතේ හොල්මන් කරපු බය මතුවෙන්න ගත්තා.ඒකත් එක්ක මට වැඩකට ඔලුව යොදවගන්න අමාරු උණා.

උදේ නවය වෙද්දි පටන් ගන්නවා කියලා ටෙෂාන් පණිවිඩයක් එවලා තිබුණා.

මීටිං එක පටන් ගන්න ඉතිරි වෙලා තියෙන වෙලාවට ප්‍රතිලෝම සමානුපාතික වෙන විදියට මගේ හද ගැස්මේ වේගේ වැඩි උණා.සරලවම කිව්වොත් වෙලාව ලං වෙන්න ලං වෙන්න එන්ජිමක් start කරා වගේ වෙන්න පටන් ගත්තා.

කොහොම හරි භයංකර අවස්තාව පටන් ගත්තා.වැඩේ ආරම්බ කරේ ටෙෂාන්.ටෙෂාන් පහුගිය මාසේ ගැන සමාලෝචනයක් කරා.ඒක අනුව හොඳ ප්‍රගතියක් පෙන්නලා තියෙනවා.

'හරිනම් අපිට බොසා මීට වඩා සලකන්න ඕන හූම්. ' මම තනියම හිතුවා.

ඊළඟට සර් ටෙෂාන්ගෙන් බැටන් එකට අතට ගත්‍තා.සර් මේ මාසේ work plan එක අපිට කිව්වා.ඒක අහපු මට හීං දාඩිය එක්ක මහ දාඩිය පොඩ්ඩකුත් දැම්මා.

ඇයි අහන්නේ පට්ටම වැඩ ගොඩක් සෙට් වෙන මාසයක් විදියට තමා සර් විස්තර කරේ.

මට විතරද එහෙම දැනෙන්නේ කියල බලන්න මම වටපිට බැලුවා.කියන්න සන්තෝසයි මම පොඩ්ඩක්වත් තනිවෙලා නෑ.සෙට් එකම බුකු බුකු ගගා කතාවේ.උන් කතා කරන්නේ මේ මාසෙන් කොහොමද පණ බේරගන්නේ කියල.

කොහොමින් කොහොම හරි කපිල චින්තනයේ ව්‍යාපාර දැක්ම අවසානයට පැමිණියා.හැමෝම හිතුවේ කතාව අදට ඉවරයි කියලා.කට්ටියම සභාතොමෝ සතුටින් විසිර ගියහ ආ නෑ නෑ සභාතුමූ සතුටින් විසිර ගියහ කරන්න හැදුවේ.

හැබැයි මම දැනගෙන හිටියා මේක මෙතනින් අවසන් නෑ තව තියෙනවා කියලා.මොකද මගේ හපන් කම ගැන කතා කරනවා කිව්වනේ.මුලදි වීරයා වගේ හිටියට මොකද මගේ කකුල් දෙක මැඩ්ලින් ගහන්න පටන් ගත්තා.

" තව ආරංචියක් කියන්න තියෙනවා ඔය හැමෝටම.ඒක සුබ එකක්."සර් කිව්වා.

ඒනම් මං ගැන වෙන්න බෑ මොකද සුබ ආරංචියක් නෙවේනේ ඒක.

මම ඉතින් මොකක්ද ඒ කියල අහගන්න කන් දෙකම සර් පැත්තට දික් කරා.

" ඔය ළමයි අපේ කම්පනි එක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා.ඒ මහන්සියත් එක්ක අපි මෑත කාලීනව ලබපු ලොකුම ලාභය මේ මාසේ ලබලා තියෙනවා." සර් හෙන ආඩම්බරෙන් ඒක කියාගෙන ගියා.

සර්ට වඩා අපේ ටෙෂාන් ලොක්කා ආඩම්බරෙන් කියල මම දැක්කා.කොච්චර ආඩම්බරෙන්ද කියනවනම් තව පොඩ්ඩෙන් සීලිං ෆෑන් එක වදිනවා කොල්ලට තරු පේන්නම.ඒ තරම් උඩ හිටියේ.

" ඒකත් එක්ක මම ඔයාලා වෙනුවෙන් දේවල් දෙකක් කරන්න තීරණය කරා."

" ශුවර් එකටම තව අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ගන්න ඇති." නාලක සඳරුවන්ට කියද්දි මට හිනා යන්න ආවා.

ඒ උණත් වවුලගේ මගුල් ගෙදර ගියානම් සරමක් ඇඳන් හිටු කියල තියෙන කතාව මතක් වෙලා මම හිනාව තද කරගත්තා.

" ඔය ළමයින්ට බෝනස් එකක් ලැබෙනවා." සර් ඒක කිව්වා විතරයි මුළු රූම් එකම "ස්ස්ස්ස්ස්ස්ස්ස්" එකකින් පිරිලා ගියා.

බලන්න තිබුණේ හැමෝගෙම මූණු.පැනි පිරිලා.ගොම්බෙට්ටකට හඳ පායලා වගේ.

" ඒ විතරක් නෙවේ.මම මේ මාසේ අන්තිම ඔයාල එක්ක විනෝද චාරිකාවක් යන්න තීරණය කරා.වියදම් සම්පූර්ණයෙන්ම මගේ ගානේ." සර් ඒක කියලා ඉවර කරා විතරයි.

කලින් ස්ස්ස්ස්ස් එක පරදින විදියේ හුරේ පාරක් හැමෝම දුන්නා.ඒක දැකලා සර් වගේම ටෙෂානුත් පට්ටම සතුටින් හිටියේ.

කොහොම හරි අපේ සෙට් එක සන්සුන් කරගන්න විනාඩි පහක් විතර ගියා.

" ළමයිනේ අපි අද මේ රැස්වීම ඉවර කරගන්න කලින් තව එක දෙයක් කියන්න ඉතිරි වෙලා තියෙනවා.මම කැමති දෙන්නෙක් ගැන කතා කරන්න."

ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට දැන් තමා බඩු පැකට් වෙන්නේ.එතකොට ඔය දෙන්නගෙන් එකෙක් තමා මම.මට අද බඩු බනිස් වෙනවා කියල මට දැණුනා.

කමක් නෑ මොක උණත් බෝනස් එක තියෙනවනේ.මාව රස්සාවෙන් දොට්ට දැම්මොත් සර්ට වැඳලා අඬලා හරි ට්‍රිප් එකේ යන්න විදියක් හොයාගන්නව.ඊටපස්සේ ඕන දෙයක්.

' ම්ම්ම්ම්ම් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.සර් කිව්ව අනිත් එකා මොකාද? තව එකෙක් මං වගේ අලුගුත්තේරු වැඩක් කරලද ' මට ආපු ලොකුම ප්‍රශ්නේ ඒක.

මම කොච්චර කල්පනා කරත් උත්තරයක් නෑ කියල මම දන්නවනේ.ඉතිං මම සර්ගේ කතාවට ඇහුන්කන් දුන්නා.

" ඔයාලා හැමෝම දන්නවා ඔයාලගේ ටීම් එකේ ලීඩර් ටෙෂාන් ගැන." අහ් බොසා මේ ටෙෂාන් ලොක්කා ගැන කියවන්නේ.පොර ගැන හොඳක් මිසක් නරකක් කියවන්නේ නෑනෙ.

" ඔයාලා හැමෝම දන්නවා වගේ ටෙෂාන් මේ කම්පනි එක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා.එයාගේම දෙයක් වගෙයි එයා මේක බලාගත්තේ.එයා අවුරුදු හතරක් තිස්සේ මගේම පුතෙක් වගේ මේක බලාගෙන ඉන්නවා.

කොහොම හරි මම හිතුවා එයාට ඒ වෙනුවෙන් දෙයක් ලැබෙන්න ඕන කියල.ඉතින් අද ඉදන් ටෙෂාන්ට උසස් වීමක් ලැබෙනවා.

මේ වෙනකන් creative director විදියට හිටපු ටෙෂාන් අද ඉඳන් අපේ කම්පනි එකේ chief creative officer විදියට promote වෙනවා." ඒක කියද්දී හැමෝම සද්දෙට අත්පුඩියක් දුන්නා.

මටත් ඇත්තටම සතුටුයි මොකද ටෙෂාන් පුදුම කැපවීමකින් වැඩ කරන්නේ කියල අපි හැමෝම දැනන් හිටියා.

" එතකොට අපේ අලුත් ටීම් ලීඩරයා මොකාද?" නාලක ඇහුවේ නවෝද්ගෙන්.

ඇත්ත නේන්නම් ටෙෂාන් ගියාම අපිට ටීම් ලීඩරයෙකුත් ඕන වෙනවනේ.

" සඳරුවන් තමා ටෙෂාන්ට පස්සේ පරණම එකා.මම හිතන්නේ පොරට ලැබෙයි." නවෝද් කිව්වා.

" ඊළඟට අපි කතා කරමු අපේ කෝඩුකාරයා ගැන."සර් ඒක කියනකොටම මෙත්නදී සර් දිහා බැලුවා.

" අහ් අමතක උණා.කෝඩුකාරයා කියල කිව්වේ අපේ සෙන්යුත් ගැන." සර් හිනා වෙලා කිව්වා.

'හුටා පටස් ඔය ගොනා හැරුණේ පොල් පැලේට.' සර්ටනම් හිනා.මම මෙතන ගිනි පත්තු වෙලා.

අද ඉදන් මගේ සායම මුළුමනින්ම නැත්තටම නැති වෙලා යනවනෙ ඉතින්.

" අපේ කෝඩුකාරයා මුලින්ම ආපු දවස මට අද වගේ මතකයි.මම එනකොට කොල්ලා හොර ගල් ඇහිඳිනවා.පළවෙනි දවසෙම පරක්කු වෙලා ඇවිත්." හයියෝ ලැජ්ජාව සාගරයයි.මම ඒකේ හිල් වෙච්ච පාරුවක් පදින තොටියෙක්.

සර් මොකටද ඕක ඇදලා ගත්තේ.හයියෝ මීට වඩා හොඳයි මාව මේසේ උඩට නග්ගලා මගේ කලිසම ඔළුවෙන් ගැලෙව්වනම් අප්පා.

" හැබැයි මම දැක්කා ඒ කොල්ලා හැදෙන හැටි.ඇවිත් මාසයක් වගේ තමා වෙන්නේ.ඒ උනත් එයාගේ හැකියාව මම දැක්කා.ඒ වගේම එයාගේ කැපවීම මම දැක්කා.පොඩි පොඩි අඩුපාඩු කම් නොවුනමත් නෙවෙයි.නේද සෙන්යුත් ?" සර් මගෙන් ඇහුවා.

මට සර් දිහා බලන්න තරම් ශක්තියක් තිබුණේ නෑ.මම බිම බලාගෙනම හිටියා.

සර් ඇත්තටම ඇයි ඒ තරම් දේවල් දැන් කිව්වේ.මාව උඩටම නග්ගලා එකපාර පොලොවේ ගහන්නද හදන්නේ ඒ පාර.

" මම අපේ කෝඩුකාරයව අලුත් creative officer විදියට promote කරනවා." සර් කිව්වම රූම් එක ඇතුලේ මීක් නෑ.

මොකාක් සර් කිව්වේ මට ඇහුණු දේමද? මම අත කොනිත්තගෙන බැලුවා මම මේ හීනයක් දකිනවද කියලා.

නෑ නෑ මේක සහමුලින්ම හැබෑවක්.

හැමෝම පුදුම වෙලා බලං ඉන්නවා.හැමෝම කිව්වට හැමෝම නෙවේ.

ටෙෂාන් කිසිම වෙනසක් නැතුව මගේ දිහා බලාගෙන හිටියා.

'ඕකා දන්නව ඇති කලින්ම' මගේ හිත මට කිව්වා.

' එ වගේම සඳරුවනුත් හිටියේ පුදුමයකට වඩා වෙනස් හැඟීමක කියල මට මූණෙන් තේරුණා.ඒක මොන වගේ හැඟීමක්ද කියල මට තේරුම් ගන්න අමාරු උනා.

" එහෙනම් දෙන්නටම සුබ පැතුම් ඔයාලගේ අලුත් තනතුරුවලට. ඒ වගේම විශේෂෙන්ම සෙන්යුත්ට කියන්න කැමති තමන් එක්ක වැඩ කරන අය එක්ක සහයෝගෙන් වැඩ කරගෙන යන්න කියලා."සර් මට තරවටු කරන හඬකින් කිව්වා.

" අහ් ටෙෂාන් සෙන්යුත් දෙන්නම lunch එකෙන් පස්සේ මාව මීට් වෙන්න." සර් එහෙම කියාගෙන යන්න ගියා.

.............................................................

සෙන්යුත්ගේ හොඳ කාලේ ලබනවා වගේ නේද යාලුවනේ.

අදහසක් කියාගෙන යන්නකෝ

Report Page