Suicide
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°මනෝ විද්‍යාවේ පියා, සිග්මන් ප්‍රොයිඩ් මහතාට අනුව නම් මේ ලෝකෙ ඔක්කොම මිනිස්සු මානසික ලෙඩ්ඩු තමයි. අපි හැමෝම එක එක මට්ටම්වලින් විවිධ මානසික ලෙඩවලින් පෙළෙනවා.
හැබැයි බෙහෙත් අවශ්‍ය මට්ටමට තත්ත්වය උත්සන්න වෙන්නෙ එක්තරා කොටසකට විතරයි. ඒ නිසා මුලින්ම එකක් කියන්නම්, මේක ලියන මමත් කියවන ඔබත් කුමන හෝ වර්ගයක මානසික ලෙඩෙක්. ඒ නිසා මානසික ලෙඩ කියන්නේ පට්ටම පට්ට අවුල්, කතා කරන්නත් බය, ලැජ්ජා හිතෙන මාතෘකාවක් කියලා හිතන එක දැන්වත් නවත්තන්නම වෙනවා. ඔයා ඉතා නිරෝගී මානසික තත්ත්වයකින් ඉන්නවා නම් ඒ ගැන සතුටු වෙන ගමන් පොඩ්ඩක් නිකමට වගේ ඔයාගේ අවට වටපිටාවට හැරෙන්නකෝ. සැමියා, බිරිඳ, දරුවෝ, ආදරණීයයන්, පවුලේ අය, හිතවත්තු, නෑදෑයෝ, යාළුවෝ හොඳින් ඉන්නවද, කියාගන්න බැරි දුකකින් ඉන්නවද කියලා නිකමට බලන්න.
මානසික බිඳවැටීම් සහ අහිමිවීම්, ආර්ථික, සමාජයීය ගැටළු, පාරිසරික ගැටළු, අධිමාත්‍රා බෙහෙත් සහ පෙති වර්ග හෝ වෙනත් හේතුවක් නිසා මොළයේ තියෙන්න ඕනේ කෙමිකල් බැලන්ස් එක (සංයුතිය) පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් වෙනස් වෙලා, ශරීරයේ අනෙකුත් අවයව ලෙඩ වෙනවා වගේම මොළයත් තාවකාලිකව ලෙඩ වෙන්න පුළුවන්.ඕපාදූපයක් හොයන විදිහට නැතුව හොඳ හිතින් ළංවෙලා ටිකක් ඇහුම්කන් දීලා බලන්න. මොනම විදිහක හරි වෙනස්කමක් තියනවානම් fm නාළිකා වගේ තත්ත්වය අහන් ඉඳලා එක දෙක කරලා රට වටේටම ප්‍රසිද්ධ කරන්නේ නැතුව අවශ්‍යතාවය අනුව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර හෝ මනෝ චිකිත්සක සේවයකට යොමු කරන්න.
ඒ වගේම මීට පස්සේ අප්පෝ මොකද මේ කැත වෙලා, ඔයා කළු වෙලා, ඇයි තාම ළමයි නැත්තේ, ඇයි බඳින් නැත්තේ, මිනිහා දාලා ගියාද, ගෑනි වෙන මිනිහෙක් එක්ක ගියාද, ඔයා gay ද, සමලිංගිකද ඔය වගේ අනිත් අයගේ පුද්ගලික කරුණු ගැන අනවශ්‍ය ප්‍රශ්න මිනිස්සුන්ගෙන් අහන්න කලින් තව සිය සැරයක් හිතන්න.
ඔයා එහෙම හිත රිදෙන ප්‍රශ්නයක් ඇහුව කියලා ඒ අහපු ගමන්ම ඒ කෙනා දුවලා ගිහින් බාල්කෙක එල්ලෙන්නේ නැති වුණාට, පිහිවලින් අනිනවට වඩා රිදෙන ඒ වගේ වචන නිසා අද හෙට නැතත් කවදමහරි දවසක ඒ කෙනාගේ මනසට ඒක නරක විදිහට බලපාන්න පුළුවන්.
විෂම ලිංගිකද, සම ලිංගිකද, ද්වි ලිංගිකද, විවාහකද, දික්කසාදද, රස්සාව මොකක්ද, දරුවෝ කී දෙනෙක්ද, ඒ දරුවන්ගෙ ජාතකේ මොකක්ද, ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ කාගෙ වුණත් අතිශය පුද්ගලික කාරණා ඇදලා අරන් හිත් තුවාල කරන්න, පෝස්ට් ලියන්න, වීඩියෝ ශෙයා කරන්න, කතා හදන්න කලින් තමන්ට ඒ දේවල් වුණොත් කොහොම දැනෙයිද කියලා නිකමට හිතලා බලන්න.
අද නැතත් කවදාහරි දවසක දරාගන්නම බැරි වෙලා ඒ කෙනා සිය දිවි හානිකරගත්තොත් උසාවිවලින් වැරදිකාරයෝ නොවුණට වචනවලින් දායක වෙච්ච හැමෝම ඒ මරණවල නිල නොලත් මිනීමරුවෝ වෙලා ඉවරයි.
අනිශා ජයකොඩි
