Spring is far away - 57
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 57 | Aim
"නෝනා එච්චර හිතන්න එපා මේ ගැන. එයා නෝනා අන්තිමට ඇවිත් බලලා ගියපු දවසෙ රෑම නැති උනා."
මාමා එහෙම කියද්දි මගෙ ඇස් වලින් කඳුළු ආවේ මටත් හොරෙන්. එක්කො හිරුෂාන් කියන්න ඇති මාමට මට මෙහෙම ජෝක් එකක් කරලා බය කරන්න කියලා.
"අහ්.. අනේ මාමේ එයාට විහිළු කරන්නෙ නැතුව එළියට එන්න කියන්නකෝ."
මම හිනා වෙවී එහෙම කියද්දි මාමා මං දිහා බලාගෙන හිටියේ පුදුමෙන් වගේ. නෑ එහෙම දෙයක් වෙන්න බෑ. හිරුෂාන් අනිවාර්යයෙන්ම මට ජෝක් එකක් කරනවා ඇත්තේ.
"ඔය නෝනා විශ්වාස නොකලට ඒක තමයි ඇත්ත."
"මොකක්ද ඇත්ත.. මේක ජෝක් එකක් නෙවෙයි කියලද ?"
"ඔව්.. මේ තියෙන්නේ පෝස්ටර් එක. අර අතන සුදු කොඩියත් දාලා තියෙන්නේ ඒකට."
මුර ගෙදර බිත්තියේ කොනක හිරුෂාන්ගේ ෆොටෝ එකක් දාලා ගහලා තියන පොඩි පෝස්ටර් එක ගාවට මම ගියා. මේ ඉන්නෙ එයා තමයි. ඒත් කොහොමද එහෙම දෙයක් උනේ. කොහොමද මම මේක විශ්වාස කරන්නේ.
පෝස්ටර් එක දිහා බලන් ඉන්න බැරි නිසාම මං පිටිපස්සට ගියා. ඒත් මට වැඩි දුරක් යන්න ලැබුණෙ නෑ. පිටිපස්සෙ තියන බංකුවක් උඩ මාව නිකන්ම ඉන්ද වුණා. ඒ එක්කම මං බැලුවේ පාර්ක් එකේ ගෙට්ටුව අයිනේ හිටවලා තියන සුදු කොඩිය දිහා. මේ හැමදේකින්ම මට කියන්නේ හිරුෂාන් මං එනකම් බලන් ඉන්නෙ නැතුව යන්නම ගිහින් කියලද.
"එදා රෑ ඒ කොල්ලා මහන්සියට කෙඳිරි ගගා හිටියේ. මං හොස්පිටල් යමුද ඇහැව්වට මුකුත් කිව්වෙ නෑ. ඔහොම හොඳට වැඩ කරගෙන හිටියට ඒ කොල්ලා අන්තිම තත්වේ හිටියේ. රෑ එකොළහට විතර නැති වුනා. මේ ගේ ඇතුලෙම.."
"කරන්න දෙයක් නෑ ඒ කොල්ලා ගෙනාපු ආයුෂ එච්චරයි. ටවුන් එකේ කනත්තේ ඉඩ තිබුණු නිසාම පහුවෙනිදා හවසම භූමිදානය කරා. පව් මොනවා උනත්. ඒ කෙල්ලයි ළමයයි බලන්න හම්බුණේ නෑනේ අන්තිම මොහොත වෙනකම්."
මාමා හැම දෙයක්ම කියද්දි මං මූණට අත් දෙක තද කරන් මගෙ කඳුළු වලට ගලාගෙන යන්න ඉඩ දුන්නා. ඇයි ඔයාට බැරි උනේ මගෙ කප් කේක් දෙකේ රස බලන්න. මං ඒක හැදුවේ ඔයාටමයි හිරුෂාන්. මම එච්චර වේදනාවක ඉද්දි, මං එච්චර ප්‍රශ්නෙක ඉද්දි ඔයා මාව එක තත්පරයකට හරි සනසපු කෙනා ඔයා.
❝ බයවෙන්න එපා මිස්.. කිසිම විදිහේ නෙගටිව් දෙයක් වෙන්නෙ නෑ ඔයාගෙ ජීවිතේට. ඔයා ඔය ගැන වැඩිය හිතන්න යන්නත් එපා. හැබැයි එහෙමයි කියලා ඔයා නිකන් ඉන්නත් එපා. ඒ කෙනාට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔයා කොහොම හරි එවිඩන්ස් එකක් හොයා ගන්න. එතකොට පුළුවන් නේ ඔයාට හේෂාන් සර්ට ඒක ඔප්පු කරන්න ❞
ඔයා කිව්වා වගේ කිසිම විදිහේ නෙගටිව් දෙයක් උනේ නෑ. මට පුළුවන් උනා අරුෂිව බේරගන්න. ඒත් ඔයා දන්නෙ නෑ හිරුෂාන් ඔයා එදා මට දුන්න ඒ Bless එක අද මගෙ වැඩේ සාර්ථක කරා කියලා.
❝ මැඩම් ඉන්නෙ මොකක් හරි අවුලක ❞
❝ මම දුක් විඳලා හරි අනිත් අයව සතුටු කරන්නයි මාත් ආසම ❞
❝ මිස් වෙන්න ඇති මං එක්ක මෙහෙම හරි වෙලාවක් වෙන් කරන් කතා කරපු එකම කෙනා ❞
ඔයා මාව හිතවත් මනුස්සයෙක් හැටියට ගොඩාක් තේරුම් අරන් තිබුණා හිරුෂාන්. අපි හම්බුණේ දවසක් දෙකක්. ඒත් ඒ දවසට දෙකට ඔයා මාව මුල ඉඳලා අගට තේරුම් ගත්තා.
❝ මිස් අඬන්න එපා.. මිස් ඔහොම අඬනවා කියලා දන්නවා නම් මං මුකුත්ම නොකියා ඉන්නවා ❞
මම මෙහෙම අඬනවා කියලා දන්නවා නම් ඔයා මෙහෙම නොකියා යන්නෙත් නෑ හිරුෂාන්. මගෙ පපුව රිදෙනවා අඬලම. පිට මනුස්සයෙක් උනත්, හැමදෙයක්ම පරිපූර්ණවම නොදන්නවා උනත් ඔයා මාව මෝටිවේට් කරපු කෙනා. එහෙම කෙනෙක් නැති වෙද්දි කොහොමද මං දරාගන්නේ.
"නෝනා ඒ කොල්ලගෙ කව්ද ?"
"මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් ඕනි නෑ මාමේ ඒ කෙනාව හිතට දැනෙන්න. මගෙයි එයාගෙයි අතර කිසිම සම්බන්ධයක් නෑ. එයා මගෙ හිතවත් කෙනෙක් විතරයි."
"හ්ම්ම්.. මට තේරෙනවා. මටත් දුකයි වුණ දේට. ඒත් මොනා කරන්නද ඒ කොල්ලගෙ ආයුෂ එච්චරයි. ඕක මුල ඉඳන්ම බේත් කරා නම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑනේ. මාත් මෙතනින් අස් වෙලා යන්නයි හිතුවේ. ඒ කොල්ලා නැති වුණ වෙලේ ඉඳන් මටත් හරි නෑ වගේ."
"එයාගෙ නෑදෑ අය මේ ගැන දන්නවද.. වයිෆ් හරි."
"නෑ.. එහෙම අය ගැන එයා කියලම නෑ මං එක්ක."
එයත් මං වගේම තනි වෙච්චි කෙනෙක්. ගොඩාක් මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප උන කෙනෙක්. එහෙව් එකේ මට ඇඬුනේ නැති උනොත් ලෝක පුදුමයක්. ඒත් මම මෙහෙම අඬනවා එයා කොහෙ හරි ඉඳන් බලන් ඉන්නවා නම් එයාට දුක හිතෙයි.
මං ඉක්මනින් කඳුළු පිහදගෙන වැටුණු කේක් දාලා තිබුණු මල්ල අතට ගත්තා. හිරුෂාන්ට නැත්තම් මේ මාමට හරි ඒක දෙන එක පිනක් නේ. ඉතින් මං මාමට ඒ කවරේ දුන්නා.
"හිරුෂාන් ආයෙ එද්දි මට මේවා හදාගෙන එන්න කිව්වා. ඒකයි මං බලන්න ආවේ. මේක මාමා ගන්න."
"ආ.. මං පිං දෙන්නම් ඒ ළමයට."
"මාමා එයාගෙ වයිෆ් ඉන්න තැනක් දන්නවද ?"
"නෑ.. හැබැයි ඒකත් කොල්ලා අර ඩයරියේ ලියලා ඇති මයෙ හිතේ.
"ඩයරියක් ?"
ඒ කියන්නේ හිරුෂානුත් මං වගේම ඩයරියක් ලියනවද. එහෙම උනොත් මට පුළුවන් වෙයි ඒකෙන් හිරුෂාන්ගේ වයිෆ්ව හොයාගන්න. එයාලා දන්නෙ නැතුව ඇති හිරුෂාන් හොඳටම ලෙඩ වෙලා නැති උනා කියලා.
"ඔව්.. ඒ ළමයගෙ බඩු සේරම මේක ඇතුළෙ තාම. ඒ ඩයරියත් තියනවා."
"මට ඒ ඩයරි එක බලන්න පුළුවන්ද මාමේ ?"
"එන්නකෝ."
මාමා ඒ පුංචි ගේ ඇතුලට ගියේ මාත් එයාගෙ පස්සෙන් යද්දි. හේෂාන් මට හදලා දුන්න ගෙදර එක කාමරයක භාගයක් තරම් පුංචි මේ ගෙදර එයා එච්චර හැඟීම් හිර කරන් කොහොම ජීවත් උනාද මංදා. මට පුදුමයි මෙහෙම තැනක දෙන්නෙක් ජීවත් වෙනවා කිව්වමත්.
"මෙතන තමයි එයාගෙ බඩු තියෙන්නේ. මේ ඇඳුම් මං පුච්චන්නයි හැදුවේ. ඒත් පාරෙ ඉන්න අර අහිකුණ්ඨික ලමයෙක්ට දුන්නොත් නම් ඉරෙනකම් අඳීවි."
"ඔව්.. පුච්චලා දානවට වඩා එහෙම කරන එක හොඳයි."
"මේ තියෙන්නෙ එයාගෙ ඩයරිය."
මාමා ට්‍රැවලින් හොඳ ට්‍රැවලින් බෑග් එකකින් ඇදලා අරගත්තේ දුඹුරු පාට ඩයරියක්. හිරුෂාන්ගේ බඩු දැක්කම මට හිතාගන්න පුළුවන් එයා ලොකු තැනක පිරිමි ළමයෙක් කියලා. ඒත් ඇයි එයාට අන්තිමට මෙහෙම දෙයක් උනේ.
"මේක මට බලන්න ගෙදර ගෙනියන්න පුළුවන් වෙයිද."
"ඕවට දැන් අයිතිකාරයෝ නෑනේ. කොහොමත් පුච්චන්න තියන එකනේ. ඔන්න ඔහෙ අරන් යන්න ඔය නෝනා."
"හරී.."
කාමරේ වටේම කැරකුණු මං ඒ ඩයරියත් අරගෙන එළියට ආවා. මට ඕනි එයා මට නොකිව්ව කතාව දැනගන්න. ඒත් මේකෙ ඒ දේවල් නොතිබ්බොත් තමයි ප්‍රශ්නේ.
"එයා මේ ඩයරි එක කව්දා ඉඳන්ද ලියන්නේ ?"
"හැමදාම ලියන්නෙත් නෑ. සතියක් අරගෙන සාරාංශයක් ලියනවා වාගෙ පිටුවක් විතර ලියනවා මං දැකලා තියනවා."
"හ්ම්ම්. මට පුළුවන් උනොත් එයාගෙ වයිෆ්ව හොයාගන්න, මං මේක දීලා එනවා."
"අනේහ්.. පිස්සු විකාර කතා කරන එපා නෝනා. ඔය අතෑරපු ජරා ගෑනුන්ට වඳින්න නම් යන්න එපා. ඒ කොල්ලට ආදරයක් තියනවා නම් මෙහෙම දෙයක් කරන්නෙ නෑ ඒ කෙල්ල කවදාවත්ම."
"ඔව් ඒක හරි.. ඒත් එයා මේ කරගත්තු දේට පසු තැවෙනවා වෙන්නත් පුළුවන්. සමහරවිට එයා හිරුෂාන්ව හොයනවා නම්. මට පුළුවන් නේ එයාට උදව් කරන්න."
"අනේ මංදා. කොහෙවත් යන කුණු ගොඩවල් වලට අත ගහන නෝනා වගේ කෙනෙක් මම අදමයි දැක්කේ."
"කොහෙවත් යන කුණු ගොඩවල් කියලා හිතන් ඉන්න දේවල් තමයි මාමේ අපේ ජීවත වගේම අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් වෙනස් කරන්නේ."
මං එහෙම කියලා මගෙ හැන්ඩ් බෑග් එකට ඩයරි එක දාගත්තා. මම දුකෙන් වේදනාවෙන් ඉන්න වෙලාවක එයා මාව සැනසුවා. එදා එයා දුන්න මල මං ඩයරි එකේ ඇලෙව්වා. ඒත් අන්තිමට ඒ මගෙ දුක ලියවිලා තිබුණු ඩයරි එකත් ඇන්ඩෲස් විනාශ කරලා. හිරුෂාන් මතක් වෙන්න තිබුණු මලත් මං ගාව නෑ දැන්. මට පුළුවන් නම් මොන අතකින් හරි එයාට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒක මම කරන්න ලෑස්තියි.
"මං යන්නද මාමේ."
"ඔය නෝනා පරිස්සමින් යන්න එහෙනම්. මාත් මේ සතියේම යනවා මෙහෙන් ගමට."
"හ්ම්ම්."
මං එහෙම කියලා එතනින් ගියා. පාර්ක් එකේ පාර පාළුවට ගිහින්. ගස් වලින් වැටුණු කොළ හැම තැනම විසිරිලා. හිරුෂාන් එදා තණකොල කපපු නිසා තාමත් පාර්ක් එක හරි ලස්සනට පේනවා. ඒත් අදින් පස්සෙ මේක පාළු වෙලා යාවි අලුත් අය එනකම්.
පාර්ක් එකේ ගේට්ටුවෙන් එළියට ගිහින් පොඩි තාර පාර දිගේ මං මහ පාරට ඇවිදගෙන ආවා. පාර අයිනෙම කළුපාට මර්සඩීස් බෙන්ස් එකක් නවත්තලා තියනවා. ඒක දැක්කම මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. මට හිතෙනවා ඒක ඇතුළෙ ඉන්නෙ මම දන්න කවුරු හරි කියලා.
කාර් එක දිහා නොබලාම මං පාර අයිනට ගියේ බස් හෝල්ඩ් එකට යන්න පාර මාරුවෙන්න හිතන්. ඒත් කාර් එකෙන් කවුරු හරි කට්ටියක් බහිනවා එකපාරටම මගෙ ඇස් වලට ලාවට පෙනුණා.
"ආහ්.. මේ ළමයා එනකම් මං හිටියේ."
ඒ ඇන්ඩෲස්ගේ කටහඬ. මං ඉක්මනින් හැරුණේ ඒ කාර් එක දිහාවට. මම වගේ දෙකක් විතර උස බොඩිගාඩ්ලා දෙන්නෙක් එක්ක ඇන්ඩෲස් මගෙ ඉස්සරහට ආවේ මම බයවෙලා වගේ බලන් ඉද්දි.
"හරි ලස්සන අකුරු. හැබැයි ලියලා තියන දේවල් දුක් බරයි."
එහෙම කියපු ඇන්ඩෲස් එයාගෙ දකුණතේ තියන මගෙ කළුපාට ඩයරි එක මට උස්සලා පෙන්නුවා. අනේ මගෙ ඩයරි එකේ සීරුම් පාරක් වත් නෑ. මම ලාවට හිනාවක් මවාගෙන ඒක දිහා බලාගෙන හිටියා. සමහරවිට ඇන්ඩෲස් ඒක මට දීලා ආයෙමත් තර්ජනය කරන්න ආවා වත්ද.
"Sorry වෙන්න ඕනි. ඇතුළෙ සමහර පේජ්ස් නැතුව ඇති. ගොඩාක් දුක හිතෙන පේජ් මම බලලා අයින් කරා. ඇයි ඉතින් බලද්දි ඇඬෙනවනේ."
එහෙම කියපු ඇන්ඩෲස් ඩයරි එක පෙරලලා බැලුවා. ඒක ලොක් කරන්න තිබුණ එකක්. මෙයා ඒකෙ යතුර නැතුව ඉබ්බා කඩලාද කොහෙද පිටු ඉරලා තියෙන්නේ.
"ඒක මට ආයෙ දෙන්න.. ප්ලීස්.."
මගෙ ඇස් වලින් කඳුළු ආවා නිකන්ම. ඒ පොතේ තමයි එදා ඉඳන් අද වෙනකම් ලියපු හේෂාන්ගෙයි මගෙයි ආදර කතාව තියෙන්නේ. මගෙ හීන බලාපොරොත්තු හැම දෙයක්ම ඒක ඇතුලේ. ඒ විතරක් නෙවෙයි. හිරුෂාන් මට දුන්න මලත් අලවලා තියෙන්නේ මේ ඩයරි එකේ.
"ආ.. ගන්න."
ඇන්ඩෲස් ඩයරි එක මට දික් කරද්දි මං බයෙන්ම හිමිහිට ඉස්සරහට අඩියක් තිබ්බේ ඒක ගන්න හිතන්. ඒත් මගෙ අත ඩයරි එක ගාවටම යද්දි ඇන්ඩෲස් ඒක පැත්තකට විසි කරලා දැම්මා. විසිවුණ දිහාවට ඇස් යොමු කරද්දි මං දැක්කේ ඩයරි එක මඩ තියන කාණුවට වැටෙන විදිහ.
ඇන්ඩෲස් මේ තරම් හිතක් පපුවක් නැති මනුස්සයෙක් උනේ කොහොමද කියලා මම දන්නෙ නෑ. ඒත් එච්චර වටින පොතක් කුණු කාණුවකට විසි කරලා දාලා, එයා මාවත් කවදා හරි මරලා දාලා කුණු කාණුවකට විසි කරන්න ඉන්න බව පෙන්නුවද.
"ඕක බලද්දි තමුන්ට ඇඬුණට අපිට ඒක හෙනම බෝරින්. කොහෙවත් යන හිඟන කෙල්ලෙක් අහස අල්ලන්න යන කතාවක් ලියලා පබ්ලිෂ් කරපු අන්සක්සස්ෆුල් නවල් එකක් වගේ."
ඇන්ඩෲස් එහෙම කියන්නේ මම හේෂාන් එක්ක එෆෙයා එකක හිටපු එකට වදින්න වෙන්න ඇති. ඒත් මං ඒ ගැන ගනන් නොගෙන කාණුව අයිනට ගිහින් නැවුණේ පොත ගන්න. පාරේ ඉන්න මිනිස්සු මං දිහා අනුකම්පාවෙන් බලන් ඉන්න හැටි මම දැක්කා. ඒත් ඒ අයත් සද්ද නොකර හිටියේ ඇන්ඩෲස්ගේ හැටි දැනගෙනද කොහෙද.
"අහස අල්ලන්න ගියපු චීප් ප්‍රින්සස්ට අන්තිමට අල්ලන්න උනේ කුණු කාණු.. හැබැයි ඒකත් ලස්සන සීන් එකක් තමුන්ගේ නවල් එකට ඇඩ් කරන්න."
අප්පිරියාවෙන් උනත් මං ඩයරි එක ඇඟිලි දෙකකින් අල්ලලා අතට ගත්තා. අරගෙන මම නැගිටලා ඇන්ඩෲස් දිහා බලද්දි ඒ මූණෙ තිබුණේ සමච්චල් හිනාවක්.
"තව අඬනවා. මගෙ දෝණි ඇඬුවා වගේම මට ආසයි තමුසෙගෙ කඳුළුත් දකින්න. මොකද මගෙ දෝණිගෙ කඳුළු වලට තියන එකම Reason එක තමුන්."
"රාදිතා හිතලාමයි එයාව රිද්දගන්නේ. එයාමයි එයාට හේතු හදාගන්නේ අඬන්න. මට ඕනි නෑ හේෂාන්ගෙ මිස්ට්‍රෙස් වෙන්න. මට ඕනි නෑ එයාගෙ සල්ලි. මට ඕනි එයාගෙ සතුට."
"ආන්න ඒක තමයි මං මේ කියන්න හදන්නේ. හේෂාන්ගෙ සතුට තමුන් බලාපොරොත්තු උනාට එයාගෙ සතුට තියෙන්නේ තමුන් ගාව."
මං ඒක දන්නවා. ඒත් ඒකට මගෙන් පළි අරන් වැඩක් නෑ. රාදිතා දැනගන්න ඕනි හේෂාන්ට ආදරේ කරන්න, ලංවෙන්න. මම එයාලගෙන් ඈත් උනා කියලා හේෂාන්ගෙ හිත හැදෙන්නෙ නෑනේ. මං ඇන්ඩෲස්ට මුකුත් නොකියා කාණුව ගාවින් මෙහාට උනා.
"ඔයා දැන් වත් මං එක්ක සෙල්ලම් කරලා ඉවරයි නම් මට පාඩුවේ ඉන්න දෙන්න අංකල්. මට එච්චරයි ඕනි."
"ඒ උනාට මට තමුන්ලා වගේ බෝරින් විදිහට ජීවිතේ ගෙවලා පුරුදු නෑ ළමයා. ඒක මගෙ දුවට පුරුදුත් නෑ. මම ආසයි මේක ඉක්මනින් ඉවරයක් වෙනවා නම්. කොහොම හරි."
එහෙම කියලා ඇන්ඩෲස් මගෙ පපුව දිහා බැලුවා. එයා එහෙම බැලුවේ ඇයි බලන්න මං මගෙ පපුව දිහාවට ඔළුව පාත් කරා. ඒ එක්කම මං දැක්කෙ මගෙ පපුව උඩ රතු පාට ඩොට් එකක් තියන විදිහ.
එහෙම්ම කාර් එක දිහා බැලුවම මට පෙනුණා ඒ ලේසර් ලයිට් එක කාර් එක ඇතුළෙ තියන ගන් එකකින් ආපු එකක් කියලා. නිකන් ගන් එකක් නෙවෙයි. ස්නයිපර් රයිෆල් එකක්. ජීවිතේ පළවෙනි වතාවට ගන් එකක් මට ඒම් උනේ. එහෙව් එකේ මගෙ පපුව සැනසිල්ලේ තියෙයිද.
"මාව මැරුවම මොනවද ලැබෙන්නේ ?"
"මගෙ දුවගෙ සතුට. ඒත් දැන්ම මැරුවට වැඩක් නෑ. මොන දේ කරන්නත් කලින් මට තමුන්ගෙන් ගන්න දෙයක් තියනවා."
"මොකක්ද ?"
"කොහෙද අනිත් බ්ලූ ඩයමන්ඩ් එක ?"
"......"
වචන වෙනුවට මගෙ කටින් පිට වුණේ හුස්ම පොදක්. එයා ඇයි දැන් ඔය ඩයමන්ඩ් නෙක්ලස් එකක් හොයන්නේ. එයාට මට මෙච්චර දේවල් කරන අනිත් හේතුව ඒකද ?
"මං ගාව තිබුණු නෙක්ලස් එක මම කැළණි ගඟට විසි කලා. ඒක දැන් වෙන රටක. දැන් මං ගාව ගෝල්ඩ් චේන් එකක් වත් නෑ."
"එතකොට තමුන් කියන්නේ ඒ නෙක්ලස් එකේ සම්පූර්ණ ඩයමන්ඩ් එක තිබ්බා කියලද ?"
"ඔව්.. මං ඒක කඩලා වෙන Jewellery හැදෙව්වෙ නෑ. තිබ්බ එකම එක විසි කලේ."
"ඕහ්.. මාරම මෝඩයි නේ."
මෝඩකම නෙවෙයි ඇන්ඩෲස් ඒක. මගෙ අම්මටයි තාත්තටයි මට ආදරේ සෙනෙහස නොදී ඒක දීලා එවන්න පුළුවන් උනා නම් මොකටද මං ඒක උනත් මගෙ ළඟ තියාගෙන ඉන්නේ. මම විසිකරපු එක ඔයාට අසාධාරණ වුණාට මට සාධාරණයි.
"Never mind. කිව්ව දේවල් මතකයිනේ. මම කියපු දේවල් ආයෙ රිපීට් කරන්න ආස කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ කිව්ව දේවල් මතක තියාගෙන පාර්ටි එකෙන් පස්සෙ නොඑන්නම හිත හදාගන්න."
එහෙම කියපු ඇන්ඩෲස් ගිහින් කාර් එකට නැග්ගේ මම මගෙ පපුව දිහා බලද්දි. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න රයිෆල් එකේ ලේසර් එක මගෙ පපුව උඩ නෑ. ඒක තියනකම් මගෙ පපුව ගැහුන වේගෙ මම විතරමයි දන්නේ.
බොඩිගාඩ්ලා දෙන්නත් පිටිපස්සෙ කාර් එකකට නැඟලා එතනින් රූං ගාලා ගියා. මං කඳුළු පිහදගත්තේ එයාලගෙ වාහන ඈතට යනකම් ඉඳලා. එහෙම්ම ළඟ කඩේකට ගියපු මං බෑග් එකක් අරගෙන මඩ ගෑවුණු ඩයරි එක දාගත්තා.
වෙන කෙනෙක් නම් මේ වෙන දේවල් වලට සියදිවි හානි කරගනීවි. ඒත් මම තාමත් හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙනවා. ඉතින් මට දෙවියන් උනත් ආශිර්වාද නොකරන එකක් නෑ තවත් දරාගන්න. ඉක්මනින් බස් එකට නැඟලා ගෙදර ගියපු මං මගෙ ඩයරි එක පිහදලා වේලෙන්න තිබ්බා. එහෙම්ම ඇඳට ගියපු මං හිරුෂාන්ගෙ ඩයරි එක අතට ගත්තා.
❝ දරුවනේ.. ඔයාලා පුරුදු වෙන්න දවසේ සාරාංශ ඔයාලගෙම කියලා වෙන් කරගත්තු පෞද්ගලික පොතක ලියන්න. එතකොට ඔයාට පුළුවන් ඒ අතීතය එක්ක වර්ථමානය සංසන්දනය කරලා ඔයාලගෙ ජීවිතේට මෝටිවේෂන් එකක් ගන්න ❞
ලොකු සිස්ටර් එහෙම කියලා හැමෝටම ලස්සන පොතක් ගානෙ බෙදාගෙන ගියා. මට හම්බුණේ පිට කවරෙට රෝසපාට සමනලයෙක් ඉන්න පොතක්. එතනින් තමයි එයා අපිට පුරුදු කලේ ඩයරි එකක් ලියන්න. පස්සෙ කාලෙක තමයි තේරෙන්නේ ලියන ඩයරියක වටිනාකම. සමහර වෙලාවට ඒකේ අතීත සිද්ධි නෙවෙයි, මිනිස්සුන්ගේ හැඟීම් පවා ලියවිලා තිබුණා.
හිරුෂාන් හොඳ දෙයක් කරලා තියෙන්නේ. සමහර විට එයා මේ ඩයරි එක වයිෆ්ට දෙන්න වෙන්න ඇති ලියලා තියෙන්නේ. වැඩි වෙලා ගන්නෙ නැතුව මං ඩයරිය පෙරලලා බැලුවා. එකපාරටම මුල පිටුවේ තිබිලා ෆොටෝ එකක් බ්ලැන්කට් එක උඩට වැටුණා. මම ඒක අතට ගත්තේ මොකක්ද බලන්න.
❝ පුතාගේ පළවෙනි අවුරුද්දේ උපන්දිනේ ❞
සුදුපාට දිග ගවුමක් ඇඳන් ඉන්න සුදුම සුදු ගෑනු ළමයෙක්. එයා රාදිතා වගේම ලස්සන කෙනෙක්. අවුරුද්දක පුංචි පුතෙකුත් අතේ තියන් හිරුෂාන් ගාවම හිටන් ඉන්නවා. ඒ කාලේ හිරුෂාන් මාරම ලස්සනයි. හේෂාන් වගේම ඩීසන්ට් ලුක් එකක් එයාට තිබිලා තියෙන්නේ ශයිනි කොණ්ඩෙත් එක්ක.
ෆොටෝ එක බලලා මං දිගටම ඩයරි එක කියෙව්වා. එයාට වයිෆ්ව හම්බවෙලා තියෙන්නේ හොටෙල් එකෙන්. එයා හොටෙල් එකේ චෙෆ් කෙනෙක්. හිරුෂාන් හෙඩ් ග්‍රවුන්ඩ්ස් කීපර් කෙනෙක්. ඒ දෙන්නා එහෙදි හම්බවෙලා ආදරේ කරලා මැරි කරලා තියනවා. අවුරුදු එකහමාරක් යද්දි එයාලට පුතෙක් ලැබිලා. ඒ එක්කම එයාගෙ වයිෆ් උන තිනුලි ජොබ් එකෙන් අයින් වෙලා.
පුතාගෙ නම ශෙනාල්. පුතාට අවුරුදු දෙකක් යද්දි හිරුෂාන්ට කැන්සර් එකක් කියලා දැනගන්න ලැබිලා. ඒ වෙද්දිම එයාගෙ වයිෆ්ට රඟපාන්න ෆිල්ම් එකකට කතා කරලා. එයාගෙ වයිෆ් රඟපාන්න දක්ෂ නිසාම හිරුෂාන් ඒකට ඉඩ දීලා. එයා එයාගෙ කැන්සර් එකටත් ට්‍රීට්මන්ට් කරලා. ඒත් කාලයක් යද්දි ඩොක්ටර්ස්ලා කිව්වලු අවුරුදු පහක් හයක් ජීවත් වේවි කියලා..
❝ හිරූ.. මට තවත් බෑ මෙහෙම විඳවන්න. මටයි මගෙ පුතාටයි මේ ප්‍රශ්න නැතුව පාඩුවේ ජීවත් වෙන්න ඕනි. ඉතින් මට ඔයා ගැන හිත හිතා ඉන්න බෑ තවත්. මං ටික කාලෙකට මෙහෙන් යන්නද ❞
❝ කමක් නෑ ඔයා යන්න තිනූ ❞
එච්චර වේදනාත්මක මාතෘකාවක් හමුවේ එයාගෙ උත්තරය උනේ ඒකලු. මං දන්නෙ නෑ එයාගෙ වයිෆ් කොහොම වෙනස් උනාද කියලා. ඒත් ඒ තැන හේෂාන් හිටියා නම් මං කවදාවත් ඒක කරන්නෙ නෑ. එහෙම උනොත් මම එයාට කලින් මැරෙයි.
අන්තිමට හිරුෂාන් ට්‍රීට්මන්ට් නවත්තලා දැම්මලු. ඒ වෙද්දි එයාගෙ ගෙදරත් උකසට. ඒ වගේම තිබ්බ හැම දෙයක්ම නැති උනාලු. හොටෙල් එකේ වැඩ කරන්නත් බැරි උනාලු ඉස්සර වගේ හොඳට. ඇඟේ පතේ අමාරු නිසාම. ඉතින් එයා වෙන රස්සාවක් හොයන් ආවලු. එතකොට මේක හම්බුණ නිසාම මෙහෙ නැවතිලා කරාලු.
❝ මුලදි මං කැප් එක නැතුව වැඩ කරා. ඊට පස්සෙ මට මිනිස්සු සල්ලි දීලා යන්න ගියා ❞
එයාගෙ ලෙඩ පෙනුම නිසාම මිනිස්සු එයාට සල්ලි දීලා අනුකම්පාවෙන් බැලුවලු. සමහර අය පිළිකුල් කරාලු. හැබැයි අවුරුදු ගාණකට පස්සෙ එයා දිහා එහෙම නොබලපු එක කෙනෙක් හිටියලු. ඒ මම. එයා හැම කෙනෙක්ටම මල් දුන්නත් ගොඩක් අය මල් බාරගත්තෙ නෑලු. ඒ වගේම අරගත්තු මල විසි කරලා දාලා ගියාලු. මම ඒ මල සතුටින් බාරගත්තලු.
"හහ් ?"
තවත් ඉස්සරහට පිටු පෙරලන් යද්දි මං දැක්කේ එදා මං එයාට දුන්න රෝස මල එයා වේලලා පිටුවක අලවලා තියන විදිහ. මල උඩින් මගෙ ඇඟිලි යද්දිම මගෙ ඇස් වලින් බේරිලා වැටුණු කඳුළක් ඒ මල් පෙති උඩට වැටුණා.
මේක පුදුම හමුවීමක්. එයා එහෙම ලියලා තිබුණා. මම වගේ අසරණ වුණ ගෑනු ළමයෙක් එයාට මීට කලින් හම්බවෙලාම නෑලු. ඩයරිය ඉවර කරන්න කියලා අවසාන පිටුවට පෙරලපු මම දැක්කේ මම දුන්න පන්දාහෙ කොල දෙක එයා සෙලෝටේප් එකකින් අලවලා තියන විදිහ.
මේ දවස් වල මගෙ පපුවට දරාගන්න බැරි දුක් ගොඩක් එකතු වෙලා. ඒ හින්දම මං ඩයරි එක ළඟ තිබුණු මේසෙ උඩින් තියලා කෙල්ලො දෙන්නා මට දීලා තිබුණු ඇඳේ නිදාගත්තා. හරිම අමාරු කටුක කාලයක් මේක. ඒත් මට මේ ටික කොහොම හරි අල්ලන් යන්න වෙනවා. නැත්තම් මෙච්චර කල් මං ජීවත් වෙන්න කාපු කට්ට අපරාධයක් වෙනවා. දෙවියොත් මට ශාප කරාවි මම මගෙ ජීවිතේ එහෙම ලේසියෙන් අතෑරියොත්.
දවල් වෙනකම් ඇවිදලා ඇවිදලා ආපු මට මහන්සියට නින්ද ගියා. හවස හතර හමාරට විතර දුල්නෙත්මියි සංජානායි දෙන්නා කෑ ගහගෙන කාමරේට කඩාගෙන වදිද්දි තමයි මං ඇහැරුණේ.
"ඒයි.. මේ මොකද මේ ?"
"මගෙ ඔළුව රිදෙනවා. ඒකයි ටිකක් නිදාගත්තේ."
මං එහෙම කියලා ඇඳෙන් කෙලින් උනා. මගෙ ඉදිමිලා තියන ඇස් දැකලා දුල්නෙත්මියි සංජානායි දෙන්නා දෙන්නගෙම මූණවල් දිහා බලාගත්තා.
"ඇයි ඇඬුවේ. ඇස් දෙක හොඳටම ඉදිමිලා."
"මං ඔයාලට කිව්වේ හිරුෂාන් කියලා පිරිමි ළමයෙක් ගැන."
"අර පාක් එකේ සුද්ද කරන කොල්ලා නේද ?"
"හ්ම්ම්."
"ඇයි ඉතින්. එයා බැන්නද ?"
"නෑ.. එයා නැති වෙලා. ලියුකේමියා නිසා."
මම නිදාගත්තේ ඒ දේවල් අමතක කරන්න හිතන්. ඒත් ආයෙමත් මට ඒවා මතක් උන නිසාම මගෙ ඇස් වලින් කඳුළු ආවා. මම ආයෙමත් අඬන්න ගත්තු නිසාම සංජානා ඇවිත් මාව තුරුළු කරගත්තා.
"හරි ඉතින්. දැන් අඬන්න එපා. එයා හොඳ තැනක ඇති දැන්."
"ඒත් එයාට මට.. කේක් දෙන්න.. බැරි උනා.. එයා බලාගෙන හිටියේ.. මං එනකම්.."
"අපෝ ඔහොම අඬන්න එපා ඉතින් ඕකට. එයා ලබන ආත්මෙක ඔයාගෙ කේක් වල රස බලන්න එයි. අනික ඔයා ඔහොම අඬනවා එයා කොහෙ හරි ඉඳන් බලාගෙන හිටියොත් එයාට දුක හිතෙයිනේ."
"ඒත්.. මට දුකයි.. එයත් ම වගේම.. අසරණ කෙනෙක්."
"ඔයා අසරණ නෑ. එයා අසරණත් නෑ. ඇවිදින්න අතපය තියනවා නම්, ඇස් පේනවා නම්, කන් ඇහෙනවා නම්, අද වේල කාලා ජීවත් වෙන්න රුපියලක් හරි තියනවා නම් ඔයාවත් එයා වත් අසරණ නෑ මින්දි. ඒක ලෙඩක්. එයා නැති උනේ බඩිගින්නේ නෙවෙයිනේ. එයා නැති උනේ ලියුකේමියා නිසා. ඉතින් ඒක එයාගෙ අසරණකමට උන දෙයක් නෙවෙයි නේ."
සංජානා දුල්නෙත්මි වගේ නෙවෙයි. දුල්නෙත්මි ටිකක් සැර උනාට සංජානා හැම වෙලේම කෙනෙක්ට ආදරෙන් කතා කරනවා. එයා කතා කරන එක වචනයක් උනත් මට ඇති සැනසෙන්න. හැබැයි ඒකෙන් කියනවා නෙවෙයි දුල් නරකයි කියලා.
"අඬන්න එපා බන්. එයා තවත් දුක් විඳින්නෙ නැතුව මැරුණු එක හොඳයි. කොහොමත් එයා දුක් විඳිනවා බලාගෙන ඉන්න ඔයාට බෑනේ."
දුල්නෙත්මි එහෙම කියලා මගෙ ලඟින්ම ඉඳගෙන ඔළුව අතගෑවා. මේ වගේ වෙලාවක එයාලා දෙන්නා නොහිටියා නම් මං මේ දේවල් කොහොම තනියම දරාගන්නද.
"අහන්නකෝ.. මං ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් ඇහුවා උබව ජොබ් එකකට සෙට් කරන්න. ඒත් එයාලා කියනවා ෆැෂන් ඩිසයිනින් ගැන ඩිප් එකක් ඕනි කියලා."
"එහෙමද ?"
මං කඳුළුත් පිහදගෙන නැගිටලා එහෙම ඇහුවා. මේ හදිස්සියේ කොහොමද මම ෆැෂන් ඩිසයිනින් ඩිප්ලෝමා කරන්නේ. ජොබ් එකකට යන්න හදන්නෙත් සල්ලි නැති නිසානේ.
"හ්ම්ම්.. නැත්තම් ඇසිස්ටන්ට් මැනේජර් විදිහටම යන්නත් පුළුවන්. ඒත් මේක ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් නිසා මහ ලොකු ගාණක් ගන්න බෑ. යනවා නම් මැනේජර් කෙනෙක් විදිහට තමයි යන්න ඕනි. අපේ ලොකු බොසා නම් මාසෙකට ලක්ෂෙකට වඩා ගන්නවද කොහෙද."
"ඒත් කොහොමද මං ෆැෂන් ඩිප් එකක් කරන්නේ. ඊට වඩා හොඳයි වෙන කම්පැනි එකකට ඇප්ලයි කරා නම්."
"නෑ නෑ.. ඔයා ටිකක් ෆැෂනබල් විදිහට ඉන්ටර්විව් එකට ගියොත් එයාලා වෙන මුකුත් බලන එකක් නෑ. මීට වඩා ටිකක් පොශ් විදිහට ඇඳලා සයිඩ් කර්ල්ස් දාලා රතුපාට ලිප්ස්ටික් එකක් ගාගෙන ගියොත් ගොඩ තමා."
දුල් රඟපාලා එහෙම කියද්දි මට හිනාත් ගියා. මට ඒ තරම් පොශ් විදිහට ඇඳලා පුරුදු නෑ. මම ආසම හීල්ස් දෙකක් දාලා, පෙන්සිල් ඩ්‍රෙස් එකක් ඇඳලා කොණ්ඩෙ පොඩ්ඩක් කර්ල් කරන් යන්න විතරයිනේ. ඒත් මම කොහොම සෙලිබ්‍රිටි කෙනෙක් වගේ ඇඳන් යන්නේ.
"හරි අපි ඒක බලමුකෝ රෙසිග්නේෂන් හම්බුණාට පස්සෙ. මං කෝකටත් ඔයාට ඇප්ලිකේශන් එකක් ගෙනාවා සර්ගෙන් ඉල්ලගෙන."
"Thank you දුල්."
"හ්ම්ම්. දැන් අඬන්නෙ නැතුව ගිහින් වොශ් එකක් දාගෙන කමු. දවල්ට කාලත් නෑ බත් එක එහෙම්ම මයි."
එයාලා කිව්ව නිසාම මම බාත්රූම් එකට ගිහින් වොශ් එකක් දාලා නයිට් ඩ්‍රෙස් එකත් ඇඳගෙන ඇවිත් ඇඳෙන් ඇල වුණා. කන්න එන්න කිව්වට මට කන්න යන්නත් බෑ. ඉතින් මං එයාලා කිචන් එකේ ඉද්දි හොරෙන්ම නිදාගත්තා.
ඇස් පියාගද්දිම මට මතක් වෙන්නේ අද උදේ ඉඳලා මේ වෙනකම්ම මට වුණ දේවල්. ඇන්ඩෲස් මට ස්නයිපර් එක ඒම් කරපු විදිහ, හිරුෂාන්ගේ මරණ දැන්වීම් හැමතැනම අලවලා තියන විදිහ ඇස් පියාගද්දි මට මැවිලා පෙනුණා මේ දැන් වුණ දේවල් වගේම. මට තියන ප්‍රශ්නෙ ඇන්ඩෲස් මම එතන ඉන්නවා කියලා දන්නෙ කොහොමද කියන එක. එදා රාදිතාත් මට ඇවිත් කනට ගැහුවේ මම එතන ඉන්නවා කියලා දැන දැන ආවා වගේ නේ.
ඒ කියන්නේ ඇන්ඩෲස් මගෙ ෆෝන් එක විතරක්ම නෙවෙයි, සම්පූර්ණයෙන්ම මාවම හැක් කරලා වගේ..
................................................... 🖤 ...
හිරුෂාන් පව් නේද ළමයි 🥺
මින්දිත් පව්. ඇන්ඩෲස් කරන වැඩයි රාදිතා කරන වැඩයි නිසා කොච්චර විඳවනවද 💔
Sachy Collins