Spring is far away - 54

Spring is far away - 54

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 54  |  Welcome back

Previous


"මං යන්නම්."


කඳුළු වැල් කම්මුල් දිගේ පල්ලම් බහිද්දි මං මෙච්චර හිටපු ඒ ලස්සන හුරුබුහුටි ගෙදර දිහා බලලා ඩිස්නිටත් අත වනලා පාරට ඇවිදගෙන ගියා. ගෙදර දාලා ගියත් මට ඒ මතක නම් අමතක වෙන එකක් නෑ. මොකද ඒ මතක තිබුණේ හේෂාන් එක්ක නිසා.


බස් එක ඈත ඉඳන් එද්දි මං අත ඇල්ලුවා. බෑග් දෙකත් කොන්දොස්තරට කියලා ඉස්සරහින් තියාගත්තු මං ශීට් එකකින් ඉඳගෙන ජනේලෙට ඔළුව තියාගත්තා. කවදාවත් නොදැනුණු අසරණකමක් මට දැන් දැනෙනවා. හරියට නිකන් මං තනි වෙලා වගේ.


කුරුණෑගල ටවුන් එකට ආපු මං එහෙම්ම දුල්ගෙ බෝඩිම තියන පාරෙ බස් එකකට නැග්ගා. අවුරුදු දෙක තුනකට පස්සෙද කොහෙද මං බස් එකක යන්නේ. එදා ඉඳන්ම හේෂාන් මට බස් වල යන්න දුන්නෙ නෑ වැඩිය. කාර් එක තියන නිසාත් මං බස් වල යන්න වෙයි කියලා හිතුවෙත් නෑ.


'ලංකාවෙ ලොකුම සල්ලිකාරයෙක් අල්ලන් ඒ අනාථ කෙල්ල උඩ යන්න හිතාගෙන ඉන්න ඇති'


'හොඳ වැඩේ ඕකිට'


ඇත්ත දැනගත්තම දන්න හැමෝම මට එහෙම කියයි. හැමෝම මට හිනා වෙයි. ඒත් මට ඒ හැමදෙයක්ම ඉවසගෙන ජීවත් වෙන්න වෙනවා. මේ ගෙවෙන්නෙ මගෙ ජීවිතේ දුර්වලම නියං කාලය නම් වසන්තය එකම් මට තදින් අල්ලගෙන ඉන්න වෙනවා මේ ජීවිතේ..


දුල්යි සජීයි බෝඩ් වෙලා ඉන්න ගෙදර පාර අයිනෙමයි තිබුණේ. ඉතින් මං බෑග් දෙකත් අරගෙන ගේ ඉස්සරහින්ම බහිද්දි දෙන්නා මාව පිළි ගන්න ඉස්සරහටම ඇවිත්. දෙන්නා උයන ගමන් ඉඳලා තියෙන්නේ. ඉතින් මං ඒ දෙන්නට උයන්න උදව් වෙන ගමන් හැම දෙයක්ම කිව්වා.


"අම්මෝ.. මං උනා නම් ඇන්ඩෲස් තර්ජනය කරපු වෙලේ හාට් ඇටෑක් එනවා."


"උබ හරි හයියයි මින්දි. නැත්තම් ඒ මනුස්සයා එච්චර දෙයක් කියනකම් බය නැතුව අහන් හිටියා කිව්වම."


දෙන්නා එහෙම කියද්දි මං කැරට් සම්බෝලෙ හදලා කලවම් කරා. එයාලාටත් දුකයි මට උන දේට. හැබැයි කෙල්ලො දෙන්නා මෙවෙලෙ අසරණ වෙලා ඉන්න මට පණ දෙන්න උනත් ලෑස්ති වෙලයි ඉන්නේ. ඒකත් මට ලොකු හයියක් එක අතකට.


"උබට ඕනි කාලයක් මෙහෙ හිටපන් බන්. අර ගෑනි කොහොමත් ගාන වෙනස් කරන්නෙ නෑ. එක කාමරේ නිසා ගාණ වෙනස් වෙන්නෙ නැති කතාවක් කියන්නේ."


"ඔව්.. ඔන්න කබඩ් එකේ සයිඩ් එකක් අස් කරා. දැන් ඔය ඇඳුම් ටික දාගමු."


මම එහෙ නවතිනවට දෙන්නා හරි කැමැත්තෙන් ඉන්නේ. කබඩ් එකේ බාගයක්ම අරන් මට දෙන්නා ඇඳුම් ටිකත් අස් කරලා දුන්නා. ඒත් ඒ දෙන්නා නම් තාමත් හේෂාන් එක්ක අවුලෙන් ඉන්නේ.


"ඇත්තටම හේෂාන්ට තිබුණා එවෙලෙ රාදිතාගේ කනට එකක් ගහන්න. ඇයි එයා සද්ද නොකර හිටියේ ?"


"හේෂාන් වැරදි නෑ බන්. එයාගෙ තැන තවමත් අනාතයෙක් වගේ හිටපු මම තමයි වැරදි. ඒත් මං එහෙම හිටියේ මගෙ අසරණකමට. එයා මට කරපු උදව් වලට මං කන්දක් තරම් ණය ඇති."


"දැන් උබ හදන්නේ ඒ මනුස්සයා ඩිග්‍රි එකට වියදම් කරපුවා ආයෙ දෙන්නද ?"


"රාදිතා කියන විදිහට මට එහෙම දෙන්න වෙනවා. එයා කිව්වා හේෂාන් වියදම් කරපු හැම දෙයක්ම දෙන්න කියලා."


"ඒත් කොහොමද එච්චර සල්ලි හොයාගන්නේ ?"


"අනේ මංදා. සමහරවිට මට ජීවිත කාලෙටම එයාට ගෙවන්න වෙයි."


කන ගමන් අපි කතා කලේ මේ දේවල් ගැන. කෑවට මගෙ බඩ හරියට පිරෙන්නෙ නෑ. බ්ලින්කිව මං පියසීලි මාමලගෙ ගෙදරින් තියලා ආවා. මට හැම වෙලේම මතක් වෙනවා මං තනි වුණ වෙලේ මං එක්කම හිටපු ඒ අහිංසකයාව. ඒ වගේම මගෙ කඳුළු දරාගත්තු ඒ බෙඩ්ශීට් එක.


"අපි දෙන්නා මේ ඇඳේ නිදා ගන්නම්. උබ ඕකෙ නිදාගනින්."


"අනේ එහෙම එපා. මං සෝෆා එකේ නිදාගන්නම්."


"අනේ මේ.. දැන් මෙතන විශාඛා වෙන්න හදන්න එපා. ඉස්සර ඉඳන් උබ එහෙමනේ ආස. නැත්තම් නින්ද යන්නෙත් නෑනේ. ඔන්න ඔහෙ නිදාගනිම්."


දුල් එහෙම කියලා මට බෙඩ් ශීට් එකක් අතට දෙද්දි මං ගිහින් කෙල්ලව බදාගත්තා. නිකන් නෙවෙයි කඳුළු එක්කම. මං හරි වාසනාවන්තයි ඒ වගේ හොඳම යාළුවෝ දෙන්නෙක් ලබන්න. නැත්තම් මං මෙලහකට මේ විඳින දුක එක්ක මැරිලා ගිහින්.


"Thank you බන්. ඔය දෙන්නා හිටියෙ නැත්තම් මට හිතාගන්න බෑ මං කොහොම ජීවත් වෙන්නද කියලා."


"දැන් ඉතින් පොඩි එකෙක් වගේ අඬන්න එපා ඔහොම. වෙන්න තියන දේවල් වලට මූණ දෙන්න ලෑස්ති වෙමු නේද."


"හ්ම්ම්.."


"ඒක නෙවෙයි හෙට තේෂාන් එක්ක ට්‍රිප් එකක් යනවා කිව්වා නේද ?"


"ඔව්."


"දැන් අඬලා මූණ කැත කරගන්න එපා. හෙට යන්න ඇඳුමක් ලෑස්ති කරගන්න."


"හ්ම්ම්."


දුල් එහෙම කියලා මගෙ ඔළුව අත ගෑවා. එයාලා දෙන්නම නිදාගන්නකම් ඉඳලා මං ජනේලෙ ගාවට ගියා. පාරෙ වාහන එහෙට මෙහෙට යනවා බලාගෙන මං මගෙ පරණ ෆෝන් එක අතට ගත්තා. මේකෙ නම්බර් එක දන්නෙ හේෂාන් විතරයි. කෝල් කළොත් එයා විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක සයිලන්ට් එකේ තියන බව මං දන්නවා.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


මගෙ සිතිවිල්ල වැරදියි. ෆෝන් එකට කෝල් එකක් තේෂාන්ගෙ නම්බර් එකෙන්. ආන්ස්වර් නොකරන්නද කරන්නද කියලා මට හිතාගන්න බෑ. ඒත් හෙට ගමන යන එක ගැන එයා කියන්න හදනවා නම් ආන්ස්වර් කරන්නම ඕනිනේ.


"Hello.."


"මින්දි ඔයා කොහෙද ඉන්නේ.. කොහෙද ගෙදර දාලා ගියේ ?"


"අයියා ඔයාට මුකුත් කිව්වෙ නැද්ද තේෂාන්."


"අයියා හැමදෙයක්ම මට කිව්වා මින්දි. ඒත් එහෙම එකපාරටම ඔයා අපිට නොකියා ගියෙ ඇයි. දැන් කොහෙද ඔයා ඉන්නේ ?"


"Sorry තේෂාන්. මට කියන්න බෑ මං දැන් ඉන්න තැන. ඒක අපි දෙගොල්ලන්ටම හොඳයි."


එයාගෙන් කිසිම සද්දයක් නෑ. සමහරවිට හේෂාන් එයාට මේ නම්බර් එක දීලා ඇත්තේ කොහෙද ඉන්නේ, හෙට එනවද අහන්න වෙන්න ඇති.


"කමක් නෑ.. හොඳින් ඉන්නවා නම් ඒ ඇති."


"හෙට ගමන ස්ථීරයිද ?"


"ඔව්.. ඔයාට එන්න පුළුවන්ද ?"


"එහෙම අවුලක් නෑ. මං කීයටද එන්න ඕනි."


"උදේ හතට වගේ කුරුණෑගල ටවුන් එකට ඇවිත් ඉන්නකෝ. නවය හමාර වගේ වෙද්දි අපිට යන්න පුළුවන් වෙයි."


"හරි.. මං බස් හෝල්ඩ් එකේ ඉන්නම්. ඔයා එහෙනම් එන්නකෝ. උදෙට මොනවා හරි හදන් ඉන්න ඕනිද ?"


"නෑ එපා. අපි මගින් හොටෙල් එකක නවත්තමු."


"හ්ම්ම්.."


"එහෙනම් පරිස්සමින් ඉන්න. මං තියන්නම්. Good Night."


"Good Night තේෂාන්."


තේෂාන් ෆෝන් එක තියනකම්ම මං සීතල උන ජනේලෙන් ඔළුව තියන් හිටියේ. එකපාරටම මට මතක් උනේ ගෙදර ගැන. දැන් ලයිට් එකක්වත් නැතුව ගෙදර කළුවර වෙලා පාළුවට ගිහින් ඇති. බ්ලින්කි මං නැතුව කනවද දන්නෑ. මගෙ කඳුළු නැතුව ඇඳේ තිබුණු ඒ බ්ලැන්කට් එකටත් පාළු ඇති..


ඇඳ උඩින් නිදාගත්තු මං කොට්ටෙත් ඔළුවට දෙපැත්තෙන් තද කරන් ඇස් පියාගෙන නින්ද හෙව්වා. මේ ඇඳ මට මේ තරම් නුහුරු ඇයි කියලා තේරෙනවා මගෙ ඇස් වලින් වැටුණු කඳුළු ඒ බෙඩ් ශීට් එකට උරාගන්නෙ නැති උනාම. ඒත් හැමදාම මෙහෙම කඳුළු හල හල ඉන්නද හදන්නෙ මින්දි..


අද දවසම මම අසිහියෙන් ගෙව්වා වගේ. කවුරුත් කියපු කිසි දෙයක්, උන දෙයක් මට හරියටම මතක නෑ. මට මතක එකම දෙයයි තියෙන්නේ. ඒ මම දැන් අන්ත අසරණ වෙලා කියන එක. හේෂාන්ගෙන් මම ඈත් උනාට අම්මයි තාත්තයි මාව තේෂාන්ගෙ ෆියන්සි කියන Position එකෙන් මාරු කරන එකක් නෑ. ඒක මට විශ්වාසයි. ඒ හින්දම මට හෙට ගමන යන්න වෙනවා තේෂාන් එක්ක. ගමනෙන් වත් මට හිත නිදහස් කරගන්න පුළුවන් උනොත් හොඳයි.


අලුත් දවසක් 🌞☁️🍃..


කිව්ව වෙලාවටම තේෂාන් ආවා. ඉතින් අපි ගමන යන්න පිටත් උනා. එයා මගෙන් ඊයෙ උන දේවල් අහන්න ගියේ නෑ. ඉතින් මාත් කියන්න ගියේ නෑ. ගමන ගිහින් හිත නිදහස් කරගන්න කියලා කෙල්ලො දෙන්නා මාව එව්වේ ලස්සනට ලෑස්ති කරලා. ලා නිල් පාට දිග සායට, ක්‍රොප් ටොප් එකක් ඇඳලා කොණ්ඩෙත් කඩලා සයිඩ් එකට දැම්මම මං වෙනදා වගේම ලස්සනට හිටියා. ඒත් මගෙ හිත ඇතුලෙන් ගිනි ජාලාවක්.


ඊයෙ රෑට ටිකක් කලා උදේත් කන්නෙ නැතුව බඩිගින්නේ හිටපු නිසා මගෙ බඩේ පණුවෝ එළියට ඇහෙන්න කෑ ගහනවා. බඩත් අල්ලගෙන මං තේෂාන් දිහා බලද්දි එයා මං දිහා බලන් හිනා උනා.


"බඩිගිනියි නේද.. ඉස්සරහා හොටෙල් එකකින් නවත්තමුකෝ."


"......"


තේෂාන් එහෙම කියද්දි මං ලැජ්ජාවටත් එක්ක අහක බලාගත්තා. කිව්වා වගේම එයා ලස්සන පයිනස් වත්තක් මැද්දේ තිබුණු හොටෙල් එකක නැවැත්තුවා. සීතල උනත් මගෙ උරපටි ඇඳුමට ඒක ගාණක් උනේ නෑ. ඊයෙ රෑ ඉඳන්ම මං මැරුණු මනුස්සයෙක් වගේයි ඉන්නේ. හුස්ම ගන්නවා විතරයි.


"මොනවද කන්නෙ ඔයා.. මට නම් ප්ලේන් ටී එකක් බීලා උණුවට රොටී දෙක තුනක් කන්න ආසයි."


"මං රොටි කන්නෙ නෑනෙ තේෂාන්."


"එහෙනම් මෙනු එකෙන් මොනා හරි ඕඩර් කරන්න. අපි කොහොමත් ඕපනේජ් එකට ගිහින් එහෙ ගෙදර යද්දි ලන්ච් එක තමා සෙට් වෙන්නේ."


"හ්ම්ම්."


මෙනු එක අතට අරන් බලද්දි තියන ඒවා දැක්කම රොටී කන එක හොඳයි කියලා හිතුණා. ඒත් වෙනදා වගේම මං ආසම, බඩ පිරෙන දෙයක් යටම ලියලා තිබුණා. ඒ තමයි සුප්..


"අස්පරගස් ක්‍රීම් සුප් ?"


"බීලා නැද්ද ඒ සුප් එක. මං ඉස්සර අපේ බන්ග්ලෝ එකට යද්දි මේ හොටෙල් එකෙන් අස්පරගස් ක්‍රීම් සුප් එකක් බොනවා. ඒක හරි රසයි."


"එහෙනම්.. මං ඒකක් අරගන්නම්."


හොටෙල් එකේ ලස්සන බලන ගමන් මං ඕඩර් කරපු සුප් එක බිව්වා. පයිනස් යායක බෑවුමට වෙන්න තියන ඒ හොටෙල් එක ලී වලින් නිර්මාණය කරපු එකක්. ලඟම තියන විව් පොයින්ට් එකෙන් පහලට පඩි පෙළක් තිබුණේ පල්ලෙහා ඇල පාරට බහින්න.


"ඇත්තටම මට දුකයි මින්දි.. ඊයෙ රාදිතා අක්කා ඔයාට කතා කරලා තියන විදිහ දැනගත්තම."


පයිනස් යාය අයිනේ ගහක තිබුණු පයිනස් කෝන් එකක් කඩාගන්නයි මං බැලුවේ. ඒ එක්කම තේෂාන් ඇවිත් කතාව එහෙම පටන් ගත්තා.


"කරන්න දෙයක් නෑ තේෂාන්. එයාවයි එයාගෙ තාත්තාවයි අපිට වෙනස් කරන්න බෑනේ."


"අයියා රාදිතා අක්කට බැන්නා මං හිතන්නේ. මට ඇහුණා ගාඩ්න් එක පැත්තෙන්. පුදුමයි අයියා ඉවසුවා. නැත්තම් කනට එකක් ගහලා."


ගහලා බැනලා මේවා විසඳන්න බෑ තේෂාන්. ඒකෙන් වෙන්නේ රාදිතා තවත් මං එක්ක වෛර බැඳගන්න එක. අනික හේෂාන් රාදිතාට ආදරේ නෑ කියලා දැනගත්තම ඇන්ඩෲස් කොහොම හැසිරෙයිද දන්නෑනේ.


"හේෂාන්ට ගැලපෙන්නේ මං වගේ අනාත කෙල්ලෙක් නෙවෙයි තේෂාන්. රාදිතා වගේ සල්ලි තියන ලස්සන ගෑනු ළමයෙක්ව."


"සමහරවිට රාදිතා අක්කා අද හිටියේ නැත්තම් ඔයා තමයි අපේ පවුලේ ලොකු ලේලි විදිහට එන්නේ. නැතුව පොඩි ලේලි නෙවෙයි."


"හ්ම්ම්.. ඒත් ඒක එහෙම නොවුණු එකට මං දුක් වෙනවා තාමත්. හේෂාන් රාදිතාට හරියට ආදරේ කලේ නැත්තම් එයාගෙ මැරේජ් ලයිෆ් එක Unsuccessful වෙනවා."


"අයියා මීට කලින් ඕනි තරම් රාදිතා අක්කට ආදරේ කරන්න ට්‍රයි කරලා තියනවා. හැබැයි ඒ හැම වතාවකම රාදිතා අක්කා එයාගෙ විශ්වාසය බින්දා."


"හේෂාන්ට තරහා ඇති රාදිතා මට එහෙම සලකනවට. ඒත් මං මේ හැමදේකින්ම අයින් උනොත් හේෂාන්ට හරි ලේසියෙන් රාදිතාගෙ ඇතුලේ ඉන්න අහිංසක ගෑනු ළමයාව එළියට ගන්න පුළුවන්."


"ඒක හරි."


"දැන් ඉතින් උන දේවල් ගැන කතා කරලා වැඩක් නෑ තේෂාන්. අපි ඉදිරියට වෙන්න තියන දේවල් ගැන බලාගමු."


"ම්ම්.. ඒක නෙවෙයි මින්දි. මට හොඳ අදහසක් ආවා."


"මොකක්ද ?"


මං එහෙම අහද්දි තේෂාන් එයාගෙ ෆෝන් එක අරගෙන කැමරා එක ඔන් කරගත්තා. ඒ පාර එයා මොකක්ද කරන්න යන්නේ. හේෂාන්ට කෝල් එකක් ගන්නවත්ද.


"අපි රාදිතා අක්කව ටිකක් අවුස්සමු."


"අහ්.. ඒ කොහොමද ?"


"දැන් එයා හිතන් ඉන්නෙ ඔයා තාමත් මේ උන දේ ගැන දුකෙන් ඉන්නවා කියලා වෙන්න ඇතිනේ. ඉතින් අපි දෙන්නා සෙල්ෆි එකක් අරන් අප්ලෝඩ් කරමු. ඔයා හිනා වෙලා හරි සතුටින් ඉන්නවා වගේ ඉන්න. එතකොට ඒක දැක්කම රාදිතා අක්කා අනිවාර්යයෙන්ම ඇවිස්සෙනවා."


"ඔයාටත් මාර අදහස් නේ එන්නේ."


මං එහෙම කියලා හිනා උනා. ඇත්තටම මේ ගමන මගෙ හිත සන්සුන් කරගන්න පුළුවන් ගමනක් වුණොත් හොඳයි. නැත්තම් මට කිසිම දෙකට මූණ දෙන්න ශක්තියක් නැතුව යනවා.


"පොඩ්ඩක් ඉන්න."


"පරිස්සමින්.. ෆ්ලෝ එකේ වතුර වගේ තියෙනවා."


තේෂාන් කිව්ව නිසා මං වතුර වැටිලා තිබ්බ තැනින් එහාට අඩිය තියලා පයිනස් අත්තක තිබුණු විහිදුණ කෝන් එකක් කඩාගත්තා. ඒත් ආයෙමත් හිටපු තැනටම එන්න හදද්දි මගෙ කකුල තියවුණේ වතුර තිබුණු තැනට.


"අනේ.."


"ඔන්න බලාගෙන."


පයිනස් ගහෙන් එහාට තිබුණු බෑවුමට වැටෙන්න ගියපු මාව තේෂාන් අතකින් අල්ලගත්තේ මගෙ පපුව හාරසීයට ගැහෙද්දි. මම හිතුවෙම මං පල්ලෙහාට වැටිලා මොනවා හරි වෙයි කියලා.


"ඊයෙ උන දේවල් අමතක කරලා කිව්වට, තාමත් කල්පනා කරන්නෙ ඒ ගැන වගේ."


තේෂාන් එහෙම කියලා මාව ඇදලා ගත්තේ පයිනස් ගහට වාරු වෙන්න. මං එකේක දේවල් හිත හිතා ඉන්නකොට අනිවාර්යයෙන්ම මට කොහොම හරි අනතුරක් වෙන්න යනවා මයි. ඒක එදා ඉඳලම තියන දෙයක්.


"Thank you තේෂාන්."


"තාමත් ඕවා ගැන කල්පනා කරන්න එපා මින්දි. එහෙම උනොත් ඔයාට තේරෙන්නෙ නැති වෙයි ඔයාගෙ ජීවිතේ නැති උනත්."


මැලවුණු මලක් හිනා වෙනවා වගේ මාත් හිනා උනා තේෂාන් එක්ක. මෙච්චර අපහසුතාවයක ඉද්දි තේෂාන් හරි මං ගාවට වෙලා ඉන්න එක මට ලොකු හයියක්.


"දෙයක් වෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් වෙන්න නේ. ඒ නිසා හිත හදාගෙන ෆියුචර් එක ප්ලෑන් කරගන්න."


"හ්ම්ම්."


"මේ ගැනම කල්පනා කර කර ඉන්න එපා. කොහොම හරි හැම ප්‍රශ්නෙටම මූණ දෙන්න. එක්සෑම් එකක ප්‍රශ්න වලට උත්තර ලියලා ගන්න සෙටිෆිකට් එකට වඩා ජීවිතේට එන ප්‍රශ්නවලට මූණ දීලා ගන්න අත්දැකීම් ලොකු ජයග්‍රහණයක් මින්දි. ඒ වගේම ඒක අපිට ලොකු පාඩමක් කියලා දෙනවා."


"ඔයා හරි."


"අපි හිමිහිට ගමන යමු. ඔයාට මේ ඇවිදින ටිකට හරි සැනසීමක් දැනෙනවානේ."


"ඔව්.. ඊයෙ රෑ මං කූඩුවක් ඇතුලෙ හිර වෙලා ඉන්නවා වගේ මට දැනුණේ. ඒත් දැන් මට හිතෙනවා මං කලින් හිටපු මින්දි මයි කියලා."


"එහෙනම් එච්චරයි."


තේෂාන් හිනා වෙලාම විව් පොයින්ට් එකට ගියා. පැය භාගයක් විතර අපි හොටෙල් එක වටේම ලස්සන බලලා ආයෙමත් ගමන යන්න පිටත් උනා. එයා පොරොන්දු උනා වගේම අපි ඉස්සෙල්ලාම ගියේ මම පොඩි කාලෙ ඉඳන්ම හැදුණු මට හුරු පුරුදු ඒ ඕපනේජ් එකට.


පයිනස් යායක් මැද්දෙ කන්දක් උඩ සුදු පාටට පේන ඒ චර්ච් එක දිහා මං ඈත ඉඳන් බලාගෙනයි ආවේ. ටිකෙන් ටික ඕපනේජ් එකට ලං වෙද්දි මගෙ හිතට මොකක්දෝ මංදා වෙනස්ම සතුටක් දැනුණා. කලින් කටු ගොඩක හිටපු මං හදිස්සියේම මල් පෙත්තක් උඩට වැටුණා වගේයි කාර් එකෙන් බැහැලා චර්ච් එකට යනකොට මට දැනුණේ.


ඉස්සරහා තිබුණු ගෙර්බ්රා, ඩේසි මල් ඒ විදිහටම අදත් තියනවා. ඉස්සර මගෙ ජොබ් එක මල් වලින් චර්ච් එකේ වාස් පුරවන එකනේ. දැන් මට පේනවා ඉතුරු වෙලා තියන මල් නටු වලින් මං වගේම තව කෙනෙක් ඒ වැඩේට පේ වෙලා ඉන්නවා කියලා.


"Excuse me අංකල්.. ඔලිවියා සිස්ටර් ඉන්නවද ?"


චර්ච් එක අතුගගා හිටපු වයස සීයාගෙන් මං එහෙම ඇහුවේ තේෂාන් මගෙ පස්සෙන් චර්ච් එකේ ලස්සන බල බලා එද්දි. දැන් නම් වැඩ කරන අයත් වෙනස් වෙලා.


"ආ ඔව්.. කවුරු ආවා කියලද කියන්න ඕනි ?"


"මින්දි ඇවිත් ඉන්නවා කියන්නකෝ. සිස්ටර් මාව දන්නවා."


"නෝනයි මහත්තයයි ඔහෙන් ඉඳගෙන ඉන්නකෝ."


"හරී.."


තේෂාන් එක්කම මං ළඟ තිබුණු බෙන්ච් එකකින් ඉඳගත්තා. ටික වෙලාවක් යද්දි මට ඇහුණා කවුරු හරි අපේ පැත්තට එනවා වගේ සද්දයක්. ඉතින් මං බෙන්ච් එකෙන් නැගිට්ටේ කොරිඩෝවෙ ඈත එන රුව දිහා බලන ගමන්.


"චූටි සිස්ටර්."


"මින්දි.."


චූටි සිස්ටර් ඇවිත් මාව තුරුලු කරගත්තා. එයා අදටත් වෙනස් වෙලා නෑ පොඩි ළමයෙක් වගේයි මාව දැක්කම හැසිරුණේ. මාත් පෙරලාම සිස්ටර්ව තුරුලු කරගත්තා.


"දැන්ද මාව බලන්න එන්න මතක් උනේ ?"


"Sorry සිස්ටර්. මට පොඩි ප්‍රශ්න වගයක් උනා. ඒකයි එන්න බැරි උනේ."


"Never mind. මේ ඉන්නේ හේෂාන්ගෙ මල්ලි නේද ?"


චූටි සිස්ටර් තේෂාන්ව පෙන්නලා එහෙම ඇහුවා. දැන් හැමෝම වගේ වෙනස් වෙලානේ. සිස්ටර්ටත් පුදුමයි තේෂාන් අයියා වගේම රැවුල වවලා ඉන්නවා දැක්කම.


"ඔව්.. එයා තමයි."


"දැන් තේෂාන් ගොඩාක් වෙනස් වෙලානේ. මේ අවුරුදු දෙක තුනට අයියා වගේම පෙනුමට ඇවිත් ඉන්නේ."


"සිස්ටර්ත් දැන් ගොඩාක් වෙනස් වෙලා. ඉස්සර හිටපු චූටි සිස්ටර් නෙවෙයිනේ දැන් ඉන්නේ."


"කාලය ගෙවෙනවා නම් අපිත් වයසින් වැඩි වෙනවනේ. ඉතින් වෙනස් නොවී කොහොමද."


"ඒකනේ. සිස්ටර් වැඩකද හිටියේ ?"


"අනේ නෑ. එන්න දෙන්නම යමු ඔෆිස් එකට. එළිය සීතලයිනේ."


සිස්ටර් එහෙම කියලා අපිව එක්කගෙන ගියේ එයාගෙ ඔෆිස් එකට. ලොකු සිස්ටර් මාව දැක්කම හරියට සතුටු උනා. එයාලාට එතන ඉන්න හැමෝටම වඩා මාව මතක තිබ්බේ ආර්ට් වලට දක්ෂ නිසායි මගෙ පිස්සු වැඩ නිසායි.


තේෂාන් ලොකු සිස්ටර් එක්ක කතා කරද්දි මං චූටි සිස්ටර් එක්ක ගියේ කන්ද පාමුල තියන බෙන්ච් එකට. එදා හේෂාන් මාව එක්කන් යන්න ආපු දවසෙ චූටි සිස්ටර් මට වර්නින් එක දුන්නේ එතන ඉඳන් තමයි.


❝ මට බය ඔයා ගැන ❞


❝ මට විශ්වාස නෑ හේෂාන්ව ❞


❝ හේෂාන්ගෙ කතාව, පිට පෙනුම ලස්සන උනත්, ඔයාට ආදරේ උනත්.. මතක තියා ගන්න මින්දි. එයාගෙ තත්වෙ, සල්ලි නිසාම ඔයාට කවදා හරි විඳවන්න වෙයි ❞


❝ අපි වගේ මිනිස්සු එයාලගෙ කකුල් වලට පෑගෙන දූවිල්ලක් වගේ ❞


එදා මම සිස්ටර්ව විශ්වාස කලේ නෑ මගෙ හිතේ ඊට වඩා විශ්වාසයක් හේෂාන්ගෙ ආදරේට හිමි වෙලා තිබුණු නිසා. ඒත් සිස්ටර් කිව්ව ඒ වචනයක් ගානෙම තේරුම දැනුයි මට තේරෙන්නෙ. මෙච්චර කල් ෆැන්ටසියක ජීවත් උන මං දැන් සිස්ටර් කිව්වා වගේම සැබෑ ලෝකෙට ඇවිත්.


"හේෂාන් මාව දාලා යයි කියලා දන්නවා නම් මං මෙහෙන් යන්නෙ නෑ සිස්ටර්. එයා මට ආදරේ කරපු විදිහට මට මෙච්චර විඳවන්න වෙයි කියලා මම හිතුවෙ නෑ."


"මට දෙයක් දැනුණොත් ඒක වරදින්නෙ නෑ මින්දි. ඒකයි මං ඔයාට එදා වර්නින් එකක් දුන්නේ."


"සිස්‍ටර් හරි. අන්තිමට හේෂාන්ගෙ තත්වෙ එක්ක බැලුවම මං එයාගෙ පයට පෑගෙන දූවිල්ලක් වුණා. දැන් මං අසරණ වෙලා වගේයි මට දැනෙන්නේ."


"වුණ දේ උනානේ මින්දි. දැන් ඒ ගැන දුක් වෙන්න එපා. අපි අනාගතේ හදාගමු. ඔයාට ජොබ් එකක් නැත්තම් ඔයා මෙහෙ එන්න. මට පුළුවන් ඔයාට ලඟම කම්පැනි එකක ජොබ් එකකට දාලා දෙන්න. අනික මෙහෙ ඉන්නත් පුළුවන් නේ ඔයාට."


"ආයෙමත් සිස්ටර්ස්ලාට බරක් වෙන්න බෑ මට."


"ඔයා අපිට කරදරයක් නෙවෙයි මින්දි. ඔයා මේ ඕපනේජ් එකට ප්‍රාතිහාර්යයක්."


සිස්ටර් එහෙම කිව්වෙ මගෙ ඔළුවත් අතගාලා. එයාලා ඕනිම වෙලාවක ලෑස්තියි මට උදව් කරන්න. ඇත්තටම සිස්ටර්ගේ වචන ටිකත් මට ලොකු හයියක්. බිංදුවටම කඩන් වැටිලා ඉන්න මට එයාලා කියන හැම දෙයක්ම ධෛර්යයක් උනා.


"දැන් අලුතෙන් ජොබ් එකක් මින්දිට හොයාගන්න පුළුවන් වෙයිද ඉක්මනින් ?"


චූටි සිස්ටර් එක්ක කතා කරලා ඉවර වෙලා මං ලොකු සිස්ටර් එක්කත් කතා කරා. මං දෙයක් කියන්නත් කලින් චූටි සිස්ටර් ගිහින් මගෙයි හේෂාන්ගෙයි Giveup එක ගැන ලොකු සිස්ටර්ට කියලා. මම ඊයෙ උන දේවල් එයාලට නොකියා හිටියා. මොකද ඒවා ඇහුවොත් එයාලා තවත් කලබල වෙන නිසා.


"එහෙ ඕනි තරම් Job vacancy තියනවා. ඒත් මට ස්ථාවර වෙන්න ටිකක් කල් යයි සිස්ටර්. දැනට මං නතර වෙලා ඉන්නේ දුල්නෙත්මියි සංජානායි ඉන්න බෝඩ් හවුස් එකේ."


"හ්ම්ම්.. අපිත් කරන්න පුළුවන් උදව්වක් කරන්නම් මින්දි. ඔයාට කොහොමත් දැන් මෙහෙ දුරයිනේ. නැත්තම් අපි හොයනවා හොඳ English ටීචර් කෙනෙක්. ඕපනේජ් එකේ බබාලට උගන්නන්න. මුකුත් නැති උනොත් ඔයාට ඒකට හරි එන්න."


"Thank you so much සිස්ටර්.. මට සතුටුයි ඔයාලා මං වෙනුවෙන් ඉන්නවා කිව්වම."


"ඔයා වෙනුවෙන් නොඉඳලා කොහොමද අපි. ඔයා දැන් අපේ ඕපනේජ් එකේ ෆේමස් කෙනෙක්. සමහර බබාලගේ බලාපොරොත්තුව තමයි ඔයා චිත්‍ර ඇන්දා වගේම ඇදලා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන එක."


"ඇත්තමද සිස්ටර් ?"


"ඔව්.. ඔයා නිකමට එයාලගෙ සෙක්ශන් එක ගාවට ගිහින් බලන්න. ඔයාව දැක්ක ගමන් එයාලා දුවන් එයි ප්‍රශ්න අහන්න."


මං එච්චරටම ජනප්‍රිය වෙලාද. චූටි සිස්ටර් එක්ක මං බබාලා ඉගෙන ගන්න තැනට ගියා. එයාලත් මං වගේම දෙමව්පියො එකේක හේතු මත අතෑරලා ගියපු අය. ඉස්සර මට මතකයි මං මේ හෝල් වල ඉඳගෙනම ඉගෙනගත්තු හැටි. අදත් නොවෙනස්ව එයාලා ඒ හෝල් එකේ ඉඳන් චිත්‍ර අඳින්න, නිර්මාණ කරන්න පුරුදු වෙනවා.


"දරුවනේ.. මෙන්න ඔයාලා හොයපු අර වෝල් එකේ ආර්ට් එක ඇඳපු අක්කා."


රූම් තියන බිල්ඩින් එකේ මං ඒ කාලේ ලස්සන ගෑනු ළමයෙක්ගේ ආර්ට් ඇන්දා. තද රෝස පාට ගවුමක් ඇඳලා කොණ්ඩෙත් කඩලා නැටුමක ඉරියව්වකින් ඉන්න ගෑනු ළමයෙක්. මම හිතුවෙ නෑ ඒකට අලුත් ළමයි කැමති වෙයි කියලා.


ළමයි හැමෝම වගේ මං ගාවට දුවගෙන ආවා. ජීවිතේ පළවෙනි වතාවට මං එක දරුවෙක්ට හරි ආදර්ශයක් උන ගෑනු ළමයෙක්. ඉතින් එයාලා හැමෝම වට වෙලා මගෙන් ප්‍රශ්න අහනවා.


"අනේ අපිටත් කියලා දෙන්නකෝ ඒක ඇන්දෙ කොහොමද කියලා."


"මාත් ආසයි දැනගන්න."


"මට ආසයි ආටිස්ට් කෙනෙක් වෙන්න ලොකු වෙලා."


එයාලා කියන දේවල් අහගෙනම මං ආර්ට් එක ඇඳලා තිබුණු වෝල් එක ගාවට ගියා. එදා මට ඒ චිත්‍රයේ නිමැවුමක් නොපෙනුනාට අද මට පේන්නේ ඒක ලෝකෙ ඉන්න ශ්‍රේෂ්ඨ කළාකරුවෙක් විසින් ඇඳපු චිත්‍රයක් වගේ. මට හැකියාවක් තිබුණත් ඒ හැකියාවෙන් ගොඩ යන්න තරම් වත් තත්වයක් ඒ කාලේ තිබුණෙ නෑනේ. 


• මෙච්චර දුර කියවන් ආපු එකේ ඉතුරු ටික කියවලා ලයික් එකකුත් දාන් යන්න හැමෝම,


ඉතිරිය :- https://telegra.ph/Spring-is-far-away---54-Part-2-11-12

Report Page