Spring is far away - 53
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 53 | Good bye, Scorpion grass garden
"ආ.. ඒ පාර තමුන් ලැජ්ජ නැතුව මෙහෙ රිංගන්නත් ආවද ?"
"නෑ.. පවුලෙ අයගෙ කීමටයි මං මෙතෙන්ට ආවේ. නැතුව හේෂාන්ගෙ තනි කැමැත්තට නෙවෙයි."
"මට බොරු කියන්න එපා තවත්. හේතුවක් නැතුව එන්න මෙහෙ ඉන්නෙ තමුන්ගෙ ෆැමිලි එකද. තමුන් වගේ අනාත කෙල්ලෙක් යුවසිංහ ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක් වෙන්න බෑ."
"රාදි ප්ලීස් ස්ටොප්."
හේෂාන් එහෙම කියද්දි මං හිනා වෙලා රාදිතා දිහා බැලුවා. හේෂාන් මං දිහා බලාගෙන ඉන්නවා, මං ඊලඟට මොනවා කියයිද කියලා.
"නෑ හේෂාන්. මං ඔප්පු කරන්නම් රාදිතාගෙ වැරදි මතය ගැන."
"හහ්.. තමුන්ට පුළුවන්ද මේ ෆොටෝ එක බොරුවක් කියලා ඔප්පු කරන්න ?"
"බෑ.. හැබැයි ඕක මම විශ්වාස කරපු ගෑනු ළමයෙක් රුපියක් පන්ස්දාහකට මාව පාවා දුන්න එකක් කියලා මට කියන්න පුළුවන් රාදිතා. ඔයාගෙ ඩැඩී ඒක පියසීලි මාමාගේ දුවට කියලයි කරලා තියෙන්නේ. ඉතින් දැන් මට දුව තියා මං එක්ක වෙනදට යන එන පියසීලි අංකල් වත් විශ්වාස නෑ."
මං එහෙම කියද්දි හේෂාන් මං දිහා බලාගෙන හිටියේ මම ඒක කොහොම දැනගත්තද කියලා අහන්න වගේ. ඒත් එයාට දැනගන්න ඉඩ තියන්න හොඳ නෑ ඇන්ඩෲස් මට තර්ජනය කරා කියලා.
"තමුන්ට හයියක් නෑ මින්දි. බොරුවට අපේ ෆැමිලි දෙක එක්ක හැප්පෙන්න එන්න එපා. ඒකෙන් වෙන්නේ තමුන් දිගින් දිගටම ත්‍රෙට් වෙන එක."
"I know that. මං මේ කියලා දෙන්නයි ආවේ මගෙ අවසාන පැමිණීම ගැන."
"අහ්.. අවසාන පැමිණීම.. මොකක්ද ඔය අවසාන පැමිණීම ?"
"මං යුවසිංහ බංගලාවට අඩිය තියන අන්තිම පාර මේක වෙයි රාදිතා, ඔයා එක්ක කතා කරලා කාලය නාස්ති කරගන්න අන්තිම අවස්ථාවත් මේක වෙයි. ඒ වගේම ඔයාලා දෙන්නා රංඩු වෙන අවසාන වතාවත් මේක."
"කොහොමද එහෙම කියන්නේ. තමුන් තාමත් ජීවත් වෙන්නේ හේෂාන්ගෙ සල්ලි වලින්. මාසෙකට ලැක් එකක් ගානෙ හේෂාන් ඔයාට ඩිපොසිට් කරනවා. යුවසිංහ සල්ලි නැතුව ඔයාට ජීවත් වෙන්න හරි අමාරුයි නේද. අතෑරගන්න බෑනෙ මේ ලක් එක ?"
රාදිතා එහෙම කියද්දි මං මගෙ බෑග් එකෙන් අරගත්තේ හේෂාන් මට නිකන් සල්ලි දාන මගෙ අකවුන්ට් එකේ කාඩ් එක. දකුණතේ තිබුණු කාඩ් එක මං උඩට උස්සලා අතෑරියේ බිමට වැටෙන්න. බිමට වැටුණු කාඩ් එක දිහා බලලා රාදිතා ආයෙමත් මගෙ දිහාවට ඇස් හැරෙව්වා.
"ඔන්න අතෑරියා. මේ අකවුන්ට් එකේ ක්‍රෝර්ස් දෙකකට වඩා තියනවා රාදිතා. අදටත් ඒකේ සල්ලි එක ලැක් එකකින් වත් අඩු වෙලා නෑ."
"එතකොට තමුන් කියන්නේ මේකෙ එක රුපියලක් වත් ස්පෙන්ඩ් වෙලා නෑ කියලද ?"
"නෑ.. හතලිස් අටක් විතරයි වියදම් වෙලා තියෙන්නේ. ඒකත් ගෙදර රෙපෙයාර් එකකට. ඒ ගෙදරත් හේෂාන්ගෙ. ඉතින් මං ඒක මං වෙනුවෙන් ස්පෙන්ඩ් කරා කියලා ඔයාට කියන්න බෑ රාදිතා."
එහෙම කියලා මං බෑග් එකේ තිබුණු මගෙ ෆෝන් එකත් අතට ගත්තා. රාදිතා බලන් ඉද්දි මං ෆෝන් එකත් බිමට අතෑරියා. මෙච්චර වෙලා හේෂාන් ඉස්සරහා අඬ අඬ හිටපු රාදිතා මගෙ ඉස්සරහා සුපුරුදු නපුරු ගෑනු ළමයාම වෙලා.
"මේ ෆෝන් එක අවුරුදු හයකට කලින් හේෂාන් මට අරන් දුන්න ෆෝන් එක. ඒකත් එයාගෙ සල්ලිනේ. එහෙනම් ඒකත් මං මෙතනින්ම තිබ්බා."
"Mindi.. Stop this nonsense."
"පොඩ්ඩක් ඉන්න හේෂාන්. මං මේක අදම විසඳලා යන්නම්. ආයෙ මං ඔයාගෙ ජීවිතේට එන්න හිතන්නෙවත් නෑ."
මගෙ ඇස් වල කඳුළු. එයාට බලාගෙන ඉන්න බැරිම තැනද කොහෙද මට මෙ විකාර වැඩෙ නවත්තන්න කියලා කිව්වේ. ඒත් මේක විකාරයක් නෙවෙයි මට. ඇන්ඩෲස් කිව්ව විදිහට සතියකින් මට මේ හැමදේටම සමු දෙන්න වෙනවා නම් මං දැන්ම රාදිතාට ඔප්පු කරන්න ඕනි මං ආයෙ කලින් එයාලගෙ මත්තෙ ජීවත් උනා වගේ ජීවත් වෙන්න එන්නෙ නෑ කියලා.
"මේක මට හේෂාන් බර්ත්ඩේ එකට දුන්නේ."
රත්තරන් වලින් හදපු මගෙ නම තියන ඒ චේන් එකත් මං කරෙන් ඇදලා දාලා තණකොල උඩටම දැම්මා. දැනුයි මට තේරෙන්නෙ මම මෙච්චර කල් අපි වෙන් වෙලා හිටියා කිව්වට එයාගෙ ගොඩාක් කැපකිරීම් මා ගාව තිබුණයි කියලා.
"මේක ගොඩාක් වටින එකක්. එයාගෙ කරේ තියන චේන් එකේ විදිහටමයි එයා මට මේක හදලා දුන්නේ. දැන් ඔයාට ඕනි දේ උනාද රාදිතා ?"
"මේ දේවල් ගලවලා බිමට දැම්මා කියලා තමුන් මගෙ හේෂාන්ගෙන් වෙන් වෙන්නෙ නෑ මින්දි."
"අහ්.. හරි ඔයා බය වෙන්න එපා. මං පුළුවන් තරම් ඉක්මනින් යුවසිංහ ගෲප් එකෙන් අයින් වෙන්නම්. මං හෙටම රෙසිග්නේෂන් ලෙටර් එක ගෙනවිත් දෙන්නම්. ඉතුරු ටික හේෂාන් බලාගනීවි නේ."
මං එහෙම කියලා හේෂාන් දිහා බැලුවා. ඒ ඇස් තාමත් අනුකම්පාවෙන් වගේ මං දිහා බලන් හිටියා. එයා දෙතුන් වතාවක්ම මං වෙනුවෙන් කතා කරන්න හැදුවත් මමයි එයාව වැලැක්වුවේ.
"එතකොට අර ගෙදර.. මේ වාහනේ.. ඒවා අතාරින්න තමුන්ට හිතක් නැද්ද ?"
"මං ඒ ටික තියලා යන්නම්. පුළුවන් නම් අද හවස් වෙද්දිම මං යන්නම්."
"එහෙනම් පුළුවන් තරම් ඉක්මනින් යනවා මගෙ ලෝකෙන්ම. තමුන් වගේ අනාථ හිඟන කෙල්ලෙක් ආයෙ දකින්නවත් මං ආස නෑ. ඒ වගේම තමුන් ඔය හේෂාන්ගෙන් පිනට කාපු සල්ලි, හැම දෙයක්ම එයාට බාර දීලා යනවා."
"ඒ හැම දෙයක්ම මං බාර දුන්නා රාදිතා. මේ තියෙන්නේ."
"එතකොට තමුන් මෙච්චර කල් යුවසිංහ ගෲප් එකේ ඉඳන් පිනට ගත්තු සැලරි ?"
"අන්න එතනයි ඔයාට වැරදුනේ රාදිතා."
ඇත්තටම ඔව්. රාදිතා වරද්දගත්තු එකම තැන. හේෂාන් මගෙ ඩිග්‍රි එකට වියදම් කරලා මාව කොලිෆයිඩ් කෙනෙක් කරලා යුවසිංහ ගෲප් එකට අරන් පිනට පඩි දුන්නෙ නෑ. මම මහන්සි උන තරමට, මම වැයකරපු කාලය තරමට එයා මට සැලරි එක දුන්නා.
"මං යුවසිංහ ගෲප් එකේ වැඩ කලේ පිනට නෙවෙයි. මම ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්. මම මගෙ සැලරි එක ගත්තේ මගෙ මහන්සියෙන්. ඒක හේෂාන් මට පිනට දුන්න සල්ලි නෙවෙයි. යුවසිංහ ගෲප් එකට එන්න කොලිෆිකේෂන් තිබුණ නිසා මං ආවා. ඒ ඇවිත් මං මැනේජර් කෙනෙක් යටතේ වැඩ කලා. මගෙ කාලයත් මහන්සියත් කියන දෙකේම ප්‍රතිපලය තමයි මගෙ සැලරි එක."
"එතකොට ඔය ඩිග්‍රි එකට වියදම් කලේ හේෂාන් නෙවෙයිද ?"
"ඔව්.. එයා තමයි."
"එතකොට ඒ සල්ලි ?"
"රාදී.. ඔයා මගෙ Limit එකෙන් එහා යන්නයි හදන්නේ."
හේෂාන් එහෙම කියද්දි රාදිතා එයා ගාවට ලං උනා. මං අහක බලාගත්තේ රාදිතා හේෂාන්ට ලං වෙලා මාව රිද්දන්න හදනවා ඇති කියලා හිතන්.
"නෑ බබා.. ඔයා තවත් වෙන ගර්ල්ස්ලාට ස්පෙන්ඩ් කරන්න ඕනි නෑ. මමයි ඔයාගෙ ටු බී වයිෆ්. සෝ ඔයා මටයි මේ සල්ලි හරි නම් ස්පෙන්ඩ් කරන්න ඕනි. අද මේ ගර්ල් මේක විසඳගෙනම යන්න ඕනි."
එහෙම කියපු රාදිතා ආයෙමත් මගෙ පැත්තට හැරුණා. මෙච්චර වෙලා හේෂාන්ට මං ගැන කියලා බැනලා, ඒත් හේෂාන්ගේ සල්ලි මතක් උනාට පස්සෙ එයාට බනින්නත් අමතක වෙලා ආදරෙන් කතා කරනවා. මට හිතාගන්න බෑ හේෂාන්ට අනාගතේ ලස්සන ජීවිතයක් ලැබෙයිද කියලා.
"එතකොට තමුන් ඒ සල්ලි ගෙවන්නෙ කොහොමද ?"
"මට ටික කාලයක් දෙන්න. මං වෙන ජොබ් එකකට ගිහින් ඒ ටික ආයෙ දෙන්නම්."
"තමුන් කොච්චර අන්ත අසරණ හිඟන්නියෙක් වෙලත් ඔය ලොකුකම බැහැලා නෑ නේද. තාමත් ඒ විදිහටම පම්පෝරි ගහනවානේ."
"ඔව් මං හිඟන්නෙක්. ඔයාලා වගේ අය එක්ක බැලුවම මං එහෙම කෙනෙක්. ඔයාලට වගේ මට බෑ එක දවසින් කෝටි ගණන් ඉන්වෙස්ට් කරන්න. කේක් ටිකක් කඩේට දැම්මම මට දවසකට හම්බවෙන්නෙත් රුපියල් දාහක් වගේ. හැබැයි ඒ සල්ලි මගෙ මහන්සියෙන් හම්බ කරපුවා."
"ඉතින් තමුන් මට දුක කියන්නෙ ඇයි මෙහෙම ?"
"දුක කියනවා නෙවෙයි රාදිතා. මං ඔයාට කියලා දුන්නේ මගෙ තත්වෙ ගැන. ඔයා හැම වෙලේම මාවයි ඔයාවයි සන්සන්දනය කරන්න හදනවානේ. දැන් වත් තේරුම් ගන්න මං ඔයාලට වඩා පහත් කියලා."
තවත් මගෙ ඇස් වලින් කඳුළු ආවොත් හේෂාන්ගෙ අත අනිවාර්යයෙන්ම රාදිතාගෙ කම්මුලක නවතිනවා. මොකද ඒ තරම්ම තරහකින් වගේම වේදනාවකින් එයා බලාගෙන ඉන්නේ. ඒ හින්දම මං මේ කතාව ඉවර කරන්න ඕනි.
"හේෂාන්ගෙ සල්ලි වලින් නිර්මාණය උන ගෑනු ළමයෙක් මං. මං ගාව තියන හැම දෙයක්ම මං බාර දීලා යන්නම්. තියන ණයත් මං පුළුවන් තරම් ඉක්මනින් ගෙවන්නම්. හැබැයි මට මගෙ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. මට මගෙම කියලා පර්සනල් ලයිෆ් එකක් ඕනි. ඔයාලා අදින් පස්සෙ මං ගැන ඔත්තු බලන්න එපා."
මමයි හේෂානුයි ඉන්න ඒ ෆොටෝ වයිරල් ගියොත් එහෙම මටමයි ලැජ්ජාව. ඒ වගේම මටමයි ප්‍රශ්නයක් වෙන්නේ. කවුරු හරි ඒක එඩිට් කරලා මගේ පෞද්ගලිකත්වය මට නැති කරොත් එහෙම මොනවා වෙයිද කියලා මට හිතාගන්න බෑ.
"හේෂාන්.. මං මේ මන්ඩේ ඔයාට අනිවාර්යයෙන්ම මගෙ රෙසිග්නේෂන් ලෙටර් එක දෙන්නම්. එතනින් එහාට වෙන දේවල් කරලා මට ඉක්මනින් ලීව් එක දෙන්න."
"මින්දි.. ඔච්චර මුරණ්ඩු වෙන්න එපා. මගෙ සල්ලි ස්පෙන්ඩ් කරන්නෙ කාටද කියලා මමයි තීරණය කරන්නේ. ඒක වෙන කිසිම කෙනෙක්ට නවත්තන්න බෑ."
"එපා හේෂාන්. ඔයා ඔහොම මට ස්පෙන්ඩ් කරද්දි වෙන මිනිස්සු දකින්නෙ වැරදි විදිහට. එයාලා හිතන් ඉන්නේ මං ඔයාගෙ මිස්ට්‍රෙස් කියලා. ඔයා මට රෙසිග්නේෂන් දෙන්න. එතකොට මට පුළුවන් මේ කතා අහන්නෙ නැතුව සැනසීමෙන් ජීවත් වෙන්න."
"මින්දි......"
"ප්ලීස් හේෂාන්."
එයා මගෙ දිහා බලාගෙන හිටියේ මම කියපු දේවල් වලට එයාගෙ හිත රිදුණා වගේ. ඒක එහෙම වෙන්න ඕනි. මොකද එයාගෙ හිතේ අනුකම්පාවක් ඇති උනොත් ඇති වෙන්නේ මගෙ ඇස් වල කඳුළු දැක්කම.
"පාර්ටි එකට මං එනවා. හේෂාන් මට ඉන්වයිට් කරපු නිසා නෑවිදින් ඉන්න බෑ මට. හැබැයි එදයින් පස්සෙ මං ඔයාලා දෙන්නගෙ ලයිෆ් එක ඉස්සරහට එන්නෙ නෑ රාදිතා. That's all."
මං එහෙම කියලා හැරිලා බෑග් එකත් අත් දෙකට තද කරගෙනම ස්කෝර්පියන් ගාඩ්න් එකෙන් එළියට ගියා. ඒත් ගේට්ටුව ගාවදි ආයෙමත් මට රාදිතා කතා කරා.
"මින්දි.."
එයා කියන නිසාම මං හැරිලා බැලුවා. ඒත් මං එකපාරටම දැක්කේ රාදිතා හේෂාන්ගෙ පපුවට තුරුලු වෙලා එයාගෙ දෙතොල් අයිති කරගත්තු විදිහ. මොන දේ උනත් රාදිතා මාව රිද්දනවා කියලා අධිමාත්‍රාවෙන්ම රිද්දනවා.
"ආයෙ අපි දෙන්නගෙ මැද්දට පනින්න හදන්න එපා. එහෙම උනොත් මීට වඩා දුක් වෙන්න වෙයි."
රාදිතා එහෙම කියලා හිනා උනා. ඒත් මං ඒ ගැන වැඩිය ගණන් ගන්නෙ නැතුව ඉක්මනින් එතනින් එළියට ආවා. පුදුමයි හේෂාන් රාදිතා එහෙම හැසිරෙද්දි ඉවසපු එක. සමහරවිට මං එයාව දෙතුන් පාරක්ම නිශ්ශබ්ද කරපු නිසා වෙන්න ඇති එයා එච්චරම සන්සුන්ව රාදිතා මට කියන ඒවා අහන් හිටියේ.
ගෙදර ගිහින් මට මගෙ දුක නැති කරගන්න තියන එකම තැන බාත්රූම් එක. එතන ඉද්දි මම අඬන සද්දෙ මට විතරමයි ඇහෙන්නේ. ඉතින් මං පුළුවන් තරම් ඉක්මනින් ගෙදර ගියා.
රාදිතා මං ඉස්සරහා දෙවනි පාරටත් හේෂාන්ව කිස් කරද්දි මගෙ ඇඟම හිරිවැටිලා යනවා වගේ දැනුණා. මොකද ඒ තරම්ම මට දුකයි මම ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් අයිති කරන් මට පේන්න ආදරෙන් හැසිරෙනකොට. හේෂාන්ගෙ මැරේජ් ලයිෆ් එක අසාර්ථක වෙයි කියලා මට දැන්ම හිතෙනවා.
ඇස් වල කඳුළු පිහදාගෙන මං ගේ ඇතුලට යන්නයි හැදුවේ. ඒත් ඉස්සරහා වරෙන්ඩා එකේ ලී පුටු දෙක තුනක්ම එහෙට මෙහෙට වෙලා. පූසා මොකක් හරි එකක් එක්ක සෙල්ලම් කරත් මෙච්චර පුටු එහා මෙහා යන්න විදිහක් නෑ. අනික දිනුමි මේවා හරිගස්සන්න ගෙදර ඉන්නවානේ. වැඩි වෙලාවක් එළියට වෙලා ඉන්නෙ නැතුව මං දොරෙන් ඇතුලට ගියේ මොකක්ද වෙලා තියෙන්නෙ බලන්න.
"හහ් ?"
මුළු ගෙදරම අනිත්පැත්ත ගහලා වගේ. බිත්ති වල එල්ලලා තිබුණු පිංතූර, මල් පෝච්චි බිම වැටිලා කුඩු වෙලා ගිහින්. සෝෆා එකත් පුටු වගේම විසිරිලා. ටීවි එක තියලා තිබුණු කබඩ් එකේ ලොකර්ස් වල තිබ්බ ලියකියවිලි සේරම විසිරිලා.
"ඩිස්නී ?"
ඩිස්නිද මේක කලේ. නැත්තම් කවුරු හරි හිතලා මතලා ගෙදර විනාශ කරලා ගිහින්ද.
"ම්ම්ම්.."
කිචන් එක පැත්තෙන් ඇහුණු කෙඳිරියක් නිසාම මං ඉක්මනින් දුවලා ගියේ කව්ද ඉන්නෙ බලන්න. කිචන් එකේ දොරෙන් ඇතුලට යද්දිම මගෙ ඇස් වලට පෙනුණේ ඩිස්නි ඩයිනින් ටේබල් එකේ පුටුවක කඹයකින් බැඳලා තියන විදිහ.
"ඩිස්නි !!"
මෙච්චර වෙලා පපුව ඇතුළෙ හිර වෙලා තිබුණු දුක කොහෙන් ගියාද මං දන්නෑ. ඒ වෙනුවට මගෙ හිතට දැනුනේ ලොකු බයක්. කව්ද මෙච්චර දෙයක් කරලා ගිහින් තියෙන්නේ. රාදිතා දුන්න ඕඩර් එකකට ඇන්ඩෲස් ගෙදර විනාශ කරලා ගිහින්ද එතකොට.
"හහ්.. හහ්.."
ඩිස්නිගෙ කට බැඳලා තිබුණු සුදු පාට ලේන්සුව මං ගැලෙව්වමයි එයා හුස්ම ගත්තේ. ඒ එක්කම මං එයාව පුටුවෙන් ගැලෙව්වා පිහියකින් කඹය කපලා.
"මොකක්ද උනේ ඩිස්නි ?"
"හහ්.. අර.. සුදු අයියා මැරි කරන්න ඉන්න.. කෙල්ලගෙ තාත්තා.. හෙන කට්ටියක් එක්ක ඇවිත්.. මුළු ගෙදරම.. පෙරලලා මොකක් හරි හෙව්වා."
"ඇන්ඩෲස් ?"
"ඔව්.. මාව බැඳලා කිව්වා.. කිසිම දෙයක් කිසිම කෙනෙක්ට.. කියන්න එපා කියලා."
මගෙ සැකය හරි. මං එහෙ ඉන්නවා කියලා දැන දැනමද කොහෙද ඇන්ඩෲස් ඇවිත් ගේ අනිත්පැත්ත හරවලා ගිහින්. ඒත් එයාලාට ඔච්චර හොයන්න තරම් මගෙ ගෙදර තියන වටිනම දේ මොකක්ද ?
"එයාලා මොනවා හරි අරන් ගියාද.. මොනවා හරි කියනවා ඇහුණද ?"
"නිල්.. නිල් පාට මොකක් හරි පෙන්ඩන්ට් එකක් ගැන කිව්වා. ගෝල්ඩ් පාට නෙක්ලස් එකක් ගැන."
ඩිස්නි කියන්නේ මම මීට අවුරුදු ගාණකට කලින් විසි කරපු නිල් දියමන්තිය තිබුණු නෙක්ලස් එක ගැන. ඒත් ඇන්ඩෲස්ට කොහෙන්ද ඉව වැටුණේ ඒක ගැන. එයා කොහොමද දන්නේ මං ගාව එහෙම දෙයක් තිබුණා කියලා.
"අපි පොඩ්ඩක් ගෙදර චෙක් කරමු මින්දි. එයාලා මොනවා අරන් ගිහින්ද දන්නෑ."
එහෙම කියපු ඩිස්නි පුටුවෙන් නැගිටලා එයාගෙ රූම් එකට ගියා. මාත් එයා කිව්ව දේට අවනත වෙලා ගියේ මගෙ රූම් එකට. කබඩ් එකේ ඇඳුම් හතර පැත්තට ඇදලා දාලා, ලොකර් එක කඩලා ඒකෙ තිබුණු හැම දෙයක්මත් බිම. බෑන්ක් කාඩ් සේරම ඒ විදිහටම තියනවා.
එතකොට ඇන්ඩෲස් මේ හොයලා තියෙන්නේ ඒ නිල් දියමන්තියද. කබඩ් සේරම ඇදලා දාලා තියන විදිහෙන් පේනවා ඒකටත් වඩා දෙයක් හොයලා තියනවා කියලා. ඉතින් මං බැලුවේ මගෙ ඩයරි එක තියලා තිබුණු ලොකර් එක.
"......"
මගෙ දෙවනි සැකයත් හරි. එයාලා මගෙ ඩයරි එක ගෙනිහින්. මොකද මම ඒකෙ ලියලා තිබුණා රාදිතා මට කරපු කියපුවායි, ඇන්ඩෲස් මට කරපු කියපුවායි.
"ඔයාගෙ මොනා හරි අඩුයිද මින්දි. මගෙ නම් අවුලක් නෑ."
"එයාලා මගෙ ඩයරි එක අරන් ගිහින්."
"ආ ?"
"හ්ම්ම්.."
දැන් ඉතින් මොනවා කරන්නද. දිනුමිට මේ වෙන දේවල් කුතුහලයක් ගේනවා ඇති. ඒත් මට මේක කුතුහලයක් නෙවෙයි. ඇන්ඩෲස් මගෙ ඩයරි එක ගැන දැනගෙන ඒක හිතලම අරන් ගිහින්. මොකද ඒ ඩයරි එක පෙන්නුවොත් එහෙම එයාලා මට කරපු කියපුවා එළි වෙන නිසා.
ඒත් එයාලා එක දෙයක් දන්නෙ නෑ..
ඩයරිය විතරක් නෙවෙයි මේ ඇත්ත දන්නෙ කියලා. තේෂාන් මගෙ ඩයරි එක වගේම මට උන ගොඩාක් දේවල් දන්නවා. එයා දන්න තරමින් තුනෙන් එකක් වත් හේෂාන් දන්නෙ නෑ.
"ඩිස්නි.."
"මින්දි ?"
"ඔයා අද රෑට මෙහෙන් යන්න ලෑස්ති වෙන්න."
"ඇයි ඒ 😧 ?"
එයා එහෙම ඇහුවා. මං පොරොන්දු උනා රාදිතාටයි හේෂාන්ටයි මේ ගෙදරින් යනවා කියලා. මට දැන් දෙන්න තියෙන්නෙත් මේ ගෙදරයි වාහනෙයි විතරයි. අනිත් වටින හැම දෙයක්ම මං ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකේ තියලයි ආවේ.
"මං ඔයාගෙ සුදු අයියට පොරොන්දු උනා මේ හැම දෙයක්ම අතෑරලා යනවා කියලා."
"ඒ.. ඒත් ඇයි මේ හදිස්සියේ ?"
"කරන්න දෙයක් නෑ. මම හිතපු විදිහට මට හිමිහිට මේ දේවල් වලින් වෙන් වෙන්න බැරි උනා. දැන් මට සතියයි තියෙන්නේ. තවත් මං මේ ගෙදර හිටියොත් එයාලා මාව ඉතුරු කරන එකක් නෑ."
"කවුරු ගැනද කියන්නෙ ඔයා ?"
"මේ ගෙදර විනාශ කරලා ගියපු කෙනා ගැන."
"සුදු අයියගෙ Ex නිසා එයාලා ඔයාව හොයනවා ඇත්තේ. ඒත් ඔයා මේ හදිස්සියේ කොහෙ යන්නද ?"
ඩිස්නි එහෙම කියද්දි මට හිතාගන්න බෑ මං කොහෙ යන්නද කියලා. ආයෙ ඕපනේජ් එකට යන්නත් බෑ. අනික යුවසිංහ ගෲප් එකෙන් රෙසිග්නේෂන් දීලා අයින් උනාම මට ඉක්මනින් ජොබ් එකක් හොයාගන්න වෙනවා.
"එහෙම උනොත් ඔයා අපේ ගෙදර යමු."
ඩිස්නි එහෙම කිව්වා. එකපාරටම මට මතක් උනේ දුල්වයි සජීවයි. ඒ දෙන්නා ගෙදරක බෝඩ් වෙලා නේ ඉන්නේ. සමහරවිට මට අලුත් ජොබ් එකක් හොයා ගන්නකම් එහෙ ඉන්න පුළුවන් වෙයි. මේ මාස තුන හතරට මං ලක්ෂ දෙකකට වඩා යුවසිංහ ගෲප් එකෙන් අරන් තියනවා. ඉතින් මට බැරි වෙන එකක් නෑ එයාලගෙ කුලීත් ගෙවලා ඉක්මනින් ජොබ් එකක් හොයාගන්න.
"ඔයා කරදර වෙන්න එපා ඩිස්නි. අපි මේ ටික අස් කරලා දාමු ඉස්සෙල්ලාම. ඊට පස්සෙ ඔයා ගෙදර යන්න ලෑස්ති වෙන්න."
"එතකොට ඔයා ?"
"මං මගෙ යාළුවො දෙන්නගෙ බෝඩිමට යන්නම්."
"එහෙම ඉන්න දෙයිද ?"
"ඔව්.. මං කලින් එහෙම එයාලා එක්ක ඉඳලා තියනවා දවසක් දෙකක්."
"හ්ම්ම්.."
පැය තුනක් හතරක් අරන් ඩිස්නියි මායි දෙන්නා මුළු ගෙදරම කලින් තිබ්බා වගේ හදලා ගත්තා. ඇන්ඩෲස්ගෙ වැඩ නිසා මගෙ සෙටිෆිකට් දෙක තුනක්ම ඉරිලා ගිහින්. කරන්න දෙයක් නෑ මේක මගෙ අවාසනාවන්තකම. ඉපදිලා දවස් තුනක් යද්දි මාව පාරට විසි කරලා තිබ්බා නම් මේක මට එච්චර ලොකු දෙයක් වෙන්න බෑ.
'මට මේ හැමදේටම මූණ දෙන්න ශක්තිය, ධෛර්ය දුන්නා නම් ඒ ඔබ වහන්සේ'
ජේසුස් වහන්සේගෙ පිළිමය ඉස්සරහට වෙලා අත් දෙක බැඳගෙන මං එහෙම හිතුවා. ඉදිරියටත් මට මේ විදිහටම ශක්තිය, ධෛර්ය තිබුණොත් ඒ හොඳටම ඇති. නැත්තම් ජීවිතේ කොහොම ගෙනියන්නද කියලා මට හිතාගන්න බැරුව යනවා. හවස හයට විතර මං දුල්ට කෝල් එකක් ගත්තා. මෙවෙලෙ එයාලා රෑට උයන ටයිම් එක.
"Hello දුල්."
"ඕ.. කුමාරිකාවට මතක් උනාද අපිව ?"
"Sorry ඉතින්. දෙන්නා දන්නවනේ මං කොච්චර බිසීද කියලා."
"හරි හරි ඉතින්. ජෝක් එකක්නේ කරේ. ඒත් ඇයි මේ හදිස්සියේ ?"
"මට පොඩි ප්‍රශ්නයක් උනා. සතියකට දෙකකට බැයිද මට ඔහෙ ඉන්න."
"මෙහෙ ඉන්න ?"
"ඔව්.. මම ෆී එක දෙන්නම්."
"මෙහෙ ඉන්න බැරි එකක් නම් නෑ. ඒත් ඇයි හදිස්සියේ මේ. ප්‍රශ්නයක් උනා කිව්වේ ?"
"ඉස්සෙල්ලා මට කියන්නකෝ මං එන්නද. ආවට පස්සෙ විස්තරේ කියන්නම්."
"ආ හා. එනවකො එහෙනම්. ඇවිල්ලා කතා කරන්න බැරියෑ."
"හ්ම්ම්.."
බෑග් දෙකකට මගෙ බඩු සේරම දාගෙන මං ඉස්තෝප්පුවට ගියා. වෙනදා වගේම මාව ඇරලවන්න පියසීලි මාමා ඇවිල්ලා හිටියත් මට එයාට කියලා ආයෙ වැඩක් කරගන්න හිත දෙන්නෙ නෑ. ඒ නිසාම මං කාර් එකේ යතුර මාමාගෙ අල්ල උඩින් තිබ්බා.
"මට සමාවෙන්න නෝනේ. අපේ කෙල්ල මේ වගේ දෙයක් කරලා ඇවිත් කියලා මං හිතුවෙ නෑ."
"කමක් නෑ මාමේ. වෙන්න තියන දේ දැන් උනානේ. මාමා අලුත් ජොබ් එකක් හොයාගන්න. මීට වඩා හොඳ ජොබ් මේ ලෝකෙ ඕනි තරම් තියනවා."
මං ගෙදරින් යන නිසා යශෝදි නංගි එයාගෙ තාත්තාට සේරම කියලාද කොහෙද. මාමටත් දුකයි මං යන එක ගැන. ඒත් මෙවෙලෙ මට ගන්න තියන හොඳම තීරණයනේ මං මේ ගන්න හදන්නේ.
"මට ඇත්තටම ලැජ්ජයි මගෙ දුව මේ වගේ දෙයක් කරලා කියලා දැනගත්තම."
"එයා ගෑනු ළමයෙක්නෙ මාමේ. සල්ලි දැක්කම හිතෙන්න ඇති තමන්ට තියන අඩුපාඩු. සමහරවිට හේෂාන් මේ ගෙදර රෙන්ට් කරයි. කොහොමත් මේක බලාගන්න එකට මාමට එයාලා ගාණක් දෙනවනේ."
මං වරෙන්ඩා එකෙන් එළියට බැහැලා ට්‍රැවලින් බෑග් එකයි කරට දාන්න පුළුවන් බෑග් එකයි දෙකම ගත්තා. ඩිස්නිත් යන්න ලෑස්ති වෙලා ඉස්තෝප්පුවේ ඉඳන් මං දිහා බලන් හිටියා. මට අදටත් මතකයි හේෂානුයි මායි මේ ගෙදර කොච්චර නම් ආදරෙන් හිටියද කියලා.
ආපු පළවෙනි දවසේ කිරි උතුරවලා, විශේෂ දවස් වලට බල්බ් වැල් ඇදලා මුළු ගාඩ්න් එකම එළිය කරලා අපි හරියට සතුටු උනා. එදා මම උපන්දිනේ දවසේ එයා එක්ක ගාඩ්න් එකේ මල් වැස්සෙ නටපු විදිහ මට තාමත් මතකයි. සමහර වෙලාවට තණකොල්ලෙ පෙරලිලා අපි දෙන්නම කසන්න ගන්නවා. පිටිපස්සෙ තියන බෝගන්විලා ගහ යට බංකුවේ එයා ඇති වෙනකම් මට ටොකු ඇන ඇන යුනිවර්සිටි එකේ එක්සෑම් වලට පාඩම් කරවලා ඇති. එයාගෙ කාර් එක එද්දි බැල්කනියෙන් බලලා මං රේස් එකේ දුවගෙන ඉස්තෝප්පුවට ආවා ඉස්සර.
ඒත් දැන්..
ඒ හැම මතකයක්ම පිරුණු මේ පුංචි ගෙදර මට සදහටම දාලා යන්න වෙලා. අද මං ඉක්මන් උනේ නැත්තම් මගෙ අවසාන හුස්මයි ඉක්මනින් වෙන්නේ. හේෂාන්ගෙ ලෝකෙන්, එහෙමත් නැත්තම් එයා මට හදලා දුන්න ඒ ලස්සන ෆැන්ටසියෙන් මං අද එළියට යන්නයි හදන්නේ.
"මං යන්නම්."
කඳුළු වැල් කම්මුල් දිගේ පල්ලම් බහිද්දි මං මෙච්චර හිටපු ඒ ලස්සන හුරුබුහුටි ගෙදර දිහා බලලා ඩිස්නිටත් අත වනලා පාරට ඇවිදගෙන ගියා. ගෙදර දාලා ගියත් මට ඒ මතක නම් අමතක වෙන එකක් නෑ. මොකද ඒ මතක තිබුණේ හේෂාන් එක්ක නිසා..
❗ පහළ ටික අනඅනිවාර්යයෙන් කියවන්න
................................................... 🖤 ...
⭕ මම මේ එන 27 වෙනිදා Exam කරන නිසා Online එන්න විදිහක් නෑ හැම වෙලේම. ඒ නිසා Episode දෙන්න පරක්කු වෙයි. ඉතින් පොඩ්ඩක් ඉවසන් ඉමු හැමොම ⭕
කියවන හැමෝම රියැක්ට් එකක් දාන් යන්න.
Sachy Collins