Spring is far away - 52

Spring is far away - 52

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 52  |  Good bye, Scorpion Grass Garden


Previous


අලුත් දවසක් 🌞☁️🍃..


නිදියලා නැගිටලා දිනුමිටත් උයන්න උදව් කරලා මං වත්ත සුද්ද කලා. ඊයෙ රෑ මේ ගැන හිතලා හිතලාම මගෙ ඔළුව රිදෙන නිසා හිත නිදහස් කරගන්නත් එක්ක මං පාර ලඟම තිබුණු ලා කහ පාට ගහ කපන්න ගත්තා. එහෙම කර කර ඉන්නකොට තමයි ඈතින් යශෝදි එනවා දැක්කේ.


❝ සල්ලි දැක්කම පිළිම වලට උනත් පණ එනවා ❞


❝ මං ඒ කෙල්ලට මේක කරලා දෙන්න කියලා පන්දහෙ කොල දහයක් දුන්නා විතරයි ❞


❝ ඒ සොච්චමට තමයි ඒ කෙල්ල මෙච්චර දෙයක් කලේ ❞


ඊයෙ රෑ ඇන්ඩෲස් කියපුවා මට මතක් උනා. මට මොන දේ නැතත් විශ්වාසවන්තම කෙනෙක් පියසීලි මාමා කියන්නේ. ඒත් එයාගෙ දුව මගෙ ලඟම හිතවතෙක් වෙලත් සල්ලි වලට ඒ වගේ ජරා වැඩක් කලා කිව්වම මට හරි දුකයි.


"Good Morning අක්කා. මොකෝ මේ වෙනදා නැතුව එළියට බැහැලා ?"


"ගස් වල් වැදිලානේ. කපන්න හිතුවා."


"ආහ්.."


මං එයා එක්ක හිනා වෙලා කතා කලා මුකුත් නොදන්නවා වගේ. ඇන්ඩෲස් දුන්න සල්ලි වලින්ද කොහෙද අලුත් ඇඳුමක් අරන්, අලුතෙන්ම හෑන්ඩ් බෑග් එකකුත් අරන්.


"මම ටවුන් එකට ගිහින් එන්නම්කෝ."


"හරී."


එයා මාව පාස් කරන් යන හැටි මං බලන් හිටියා. ඇන්ඩෲස් කිව්වා වගේම එයා නම් ඒක කලේ එයා මං දිහා එක සැරයක් හරි ආයෙ හැරිලා බලන්නම ඕනි ඈතට ගිහින් හරි.


එහෙම කියලා මගෙ හිත කියද්දි මං බැලුවා එයා දිහා. ඈතින් වංගුවෙන් හැරෙද්දි එයා මම දිහා හැරිලා බලලා, මම බැලුවා දැක්කෙ නෑ වගේ ගියා. මල් කතුරත් අරගෙන මං ඉස්තෝප්පුවට ආවේ බත් ටිකක් කන්න හිතන්. ඒත් වෙලාව දැක්කමයි මට මතක් උනේ.


❝ මල්ලි කිව්වා හෙට එහෙ එන්න කියලා. එදා මාව අසනීප උන දවසේ ඔයාට ලන්ච් එක දෙන්න බැරි උනානේ. ඉතින් හෙට එන්න අපේ ගෙදර ❞


හේෂාන් කිව්වනේ මට කප් කේක් අරන් එහෙ එන්න කියලා. වෙලාව 9:00 යි. මං ඉක්මනින් කිචන් එකට ගියේ කප් කේක් හදන්න. ඒවා නිවිලා හැදිලා එනකොට පැය ගානක් යනවා අනිවාරෙන්ම. ඉතින් ඒ ටිකත් හදලා අයිසිනුත් දාලා උඩින් චෙරිත් තියලා මං ගියේ ගවුමක් දාගන්න. ලා නිල් පාට කොටු ගියපු බෝරිච්චි අත් තියන දණහිසෙන් පල්ලෙහාට දිග ගවුම ඇඳලා කොණ්ඩෙත් ලේසියට බෙල්ල ගාවටම කරලා ගෙඩියක් ගහගත්තා.


කොච්චර අවුලෙන් හිටියත් මං මනුස්සයෙකුට පෙන්නලා නෑ අද වෙනකම්ම ඒ ප්‍රශ්න වලින් බැට කන මගේ ඇතුලාන්තයේ ස්වරූපය. නොවරදවාම දෙතොල් අව්වට පිච්චෙනවාට ගාන ලිප් ග්ලොස් එක, දවසින් දවසට මාරු වෙන හෙයාස්ටයිල්, ලස්සන ලස්සන ඇඳුම්, මට මිනිස්සුන්ගෙන් මගෙ ප්‍රශ්න හංගන්න උදව් කලා. ඉතින් අදත් මං හැම දෙයක්ම හංගගෙන යුවසිංහ බංගලාවට යන්නයි හදන්නේ..


කප් කේක් ටිකත් පරිස්සමින් දාගෙන මං කාර් එකත් අරගෙන එයාලගෙ ගෙදර ගියා. කාර් එකෙන් බහිද්දි මට මතක් උනේ ඇන්ඩෲස් ඊයෙ රෑ කියපුවා. හේෂාන්ගෙන් මට ඈත් වෙන්න කිව්වට මට අම්මගෙනුයි තාත්තගෙනුයි තේෂාන්ගෙනුයි ඈත් වෙන්න කිව්වෙ නෑනේ. කොහොමත් මට ඒක කරන්න බෑ.


🎶 Ding Dong


ගෙදර බෙල් එක ගහද්දිම සෝෆා එකේ ඉඳන් හිටපු තාත්තා හැරිලා බැලුවා. ඉතින් මං හිනා උනා.


"දෝණි.. ඇයි හිටගෙන. එන්න ඇතුලට."


"තාත්තා මොකද කරන්නේ ?"


එහෙම කියලා මං ගේ ඇතුලට අඩිය තියද්දිම තරප්පුව බැහැලා ආපු හේෂාන්ගෙ ලැබ්‍රඩෝ රිට්‍රයිවර් බල්ලා ආපු වේගෙන්ම මගෙ ඇඟට පැන්නේ මාව පිටිපස්සට තල්ලු වෙද්දි.


"ඈව්ව්.."


"අයියෝ චූටී.. අල්ලගන්න ලයිලාව."


ලයිලා ? තාත්තා කාගෙද මංදා නමක් කියලා තේෂාන්ට බල්ලා අල්ලගන්න කිව්වා. මගෙ මූණ ලෙවකන්න හදපු බල්ලා එකපාරටම ඈත් උනේ තේෂාන් වඩාගත්තු නිසා. ඒ පාර එයාව ලෙවකනවා.


"ලයිලා ගෙදරට කවුරු හරි ආවොත් පිළිගන්නෙම මෙහෙම."


"ලයිලා ?"


"ඔව් මෙයාගෙ නම. මෙයා ගෑනු ළමයෙක්නේ."


එතකොට ලයිලා කිව්වෙ එයාගෙ නමද. මම හිතුවේ ගෙදර වැඩ කරන කෙනෙක්ගෙ හරි වෙන කාගෙ හරි නමක් කියලා. හොඳ වෙලාවට මම මෙහෙම හිතුවා කියලා මෙයාලා දන්නෙ නැත්තේ. එහෙම උනොත් මට ආයෙ හැරිලා ගෙදර යන්න වෙන්නේ.


"මෙයාට බබාලා ලැබෙන්න ඉන්නේ. ඒත් කොල්ලෙක් වගේ දඟලන්නේ."


"අනේ එහෙමද."


"ඔව්.. හිටන් ඉන්න එපා. එන්න ඇතුලට."


එයා එහෙම කියලා ලයිලාව අරගෙන කිචන් එක පැත්තට ගියා. මමත් එහෙම්ම ගවුම හදාගෙන ගිහින් කප්කේක් ටික ටේබල් එක උඩින් තිබ්බා.


"තාත්තා මොකද කරන්නේ ?"


"මං මේ ඔළුවට තෙල් ටිකක් ගානවා දෝණි.. ඔළුව කැක්කුමයි හරියට."


තාත්තා ගැන කිව්වොත් ඉතින් එයාගෙ වයස හතලිස් පනස් ගාණක් උනාට අවුරුදු 18 වගේ පෙනුමක් තියෙන්නේ. මං කවදාවත් දැකලා නෑ තාත්තාගෙ කොණ්ඩෙ එක සුදු කෙස් ගහක් වත්. හේෂාන් කවදා හරි වයසට ගිහාම තියන පෙනුම තමයි තාත්තාට තියෙන්නේ.


ඒ කියන්නේ තාත්තාගෙ ඔරිජිනල් කොපි දෙකක් තමයි මේ යුවසිංහ පවුලෙ පුරුක් දෙක. තේෂාන් නම් ඇක්ටිව් එකේ ඉන්නවා ලයිලා එක්ක හරි. ඒත් දැන් කෝ හේෂාන්. තාම නිදිද දන්නෑ.


"තාත්තා කැමති නම් මං ඕක ගාන්නද ?"


තාත්තා තෙල් කුප්පිය තියන් ඔළුව අතගගා ඉද්දි මං එහෙම ඇහුවා.


"නෑ කමක් නෑ දෝණි."


"කෝ දෙන්න කෝ."


මං එහෙම කියලා තෙල් එක අතට අරන් අල්ලට ටිකක් හලාගෙන තාත්තගෙ කොණ්ඩෙ ගෑවා. අනේ මටත් මේ වගේ හොඳ හදවතක් තියන තාත්තා කෙනෙක් හිටියා නම්. මාව පාරට විසි කරලා දාන්නෙ නැතුව මාව ආදරෙන් හදාගත්තා නම් අද මට මෙච්චර ප්‍රශ්නත් නෑ. මම මෙච්චර දුක් විඳින්නෙත් නෑ.


තාත්තාගෙ ඔළුව මසාජ් කරන්න ලැබුණ එක හරි මට සතුටක්. මං ආසයි මගෙ තාත්තාගෙ සෙනෙහස හේෂාන්ගෙ තාත්තාගෙන් හරි ලැබෙනවාට.


"තාත්තා ගොඩාක් හොඳ කෙනෙක්. ඇත්තටම මම දැකපු හොඳම තාත්තා ඔයා. හැම කෙනෙක්ටම එක වගේ සලකන, තමන්ගෙ දරුවන්ට වගේම අනිත් දරුවන්ටත් ආදරෙන් කතා කරන ඔයා වගේ තාත්තා කෙනෙක් මටත් ලැබුණා නම් මං අද මෙහෙම දුක් විඳින්නෙ නෑ තාත්තේ.."


"සමහරවිට මං අම්මටයි තාත්තටයි කරදර කරපු නිසා එයාලා මාව පාරට විසි කරන්න ඇති. මාව ඕනි නැති නිසා, මට ආදරේ නැති නිසා එයාලට හිතෙන්න ඇති මාව අනාතයෙක් කරන්න. හැබැයි මගෙ මේ අනාත ජීවිතේට හම්බුණ, මම ගැන මෙහෙම හරි හොයලා බලපු එකම අම්මයි තාත්තයි ඔයාලා.."


"මගෙ හිතේ ලොකු ආසාවක් තිබුණා. කවදා හරි අම්මයි තාත්තයි වයසට ගිහාම එයාලාව මේ විදිහට ආදරෙන් බලාගන්න. ඒත් එහෙම කරන්න අම්මෙක් තාත්තෙක් නෑ කියලා මතක් උනාම මට හිතෙනවා මං කොච්චර අවාසනාවන්තද කියලා. ඒකයි මං තාත්තට මේ උදව් කරන්න හදන්නේ. මට හරි සැනසීමක් තාත්තාට මෙහෙම උදව් කරනකොට."


මං එක දිගට කියවන් යද්දි තාත්තා සද්ද නොකර අහන් හිටියා. ඇත්තටම මං අවාසනාවන්තයි හැම අතකින්ම. මගෙ කරට මිලක් නියම කරන්න බැරි තරම් නිල් දියමන්තියක් තියන මාලයක් දාන්න එයාලට වත්කම තිබුණා නම් ඇයි මාව නැනී කෙනෙක්ට කියලා වත් හදාගත්තෙ නැත්තේ.


"Don't worry දෝණි. මටත් ඔයා කියද්දිම හිතෙන්නේ මගෙ නැති උන දුව ගැන. දෝණි අද අවාසනාවන්ත උනා වගේ මාත් එදා අවාසනාවන්ත උනා මගෙ හිටපු එකම දුව මට නැති වෙලා යන්නත්. ඒත් පරණ දේවල් මතක් කර කර ඉඳලා වැඩක් නෑ කියලා තේරුම් ගත්තම මං හිත හදාගත්තා.."


"පස්සෙ තමයි මට දෝණිව මුණ ගැහුනේ. ලොකූ ඔයාව ඉස්සෙල්ලාම පෙන්නද්දි මට හිතුණා මගෙ නැතිවුණ දුව ආයෙ ඉපදිලා කියලා. ඉතින් එදා ඉඳන් මට දෝණිව පේන්නෙ මගෙම දුවෙක් වගේ. බය වෙන්න එපා. ඔයාට කවුරු නැතත් මායි නුවන්තියි ඉන්නවා. අපි ඔයාගෙම පවුලෙ අය කියලා හිතන්න."


"Thank you තාත්තේ.. ඔයාගෙ වචනම මට සැනසීමක්."


ප්‍රශ්න ගොඩක ඉද්දි මට එහෙම හරි සවියක් වෙන්න හේෂාන්ගෙ පවුලම ඉන්නවා කිව්වම දැනෙන සතුට අපිරිමිතයි.


"ආ.. මෙන්න එක්කෙනෙක් හුරතල් වෙනවා."


මං කටහඬට හැරිලා බැලුවේ තරප්පුව දිහාවට. නුවන්ති අම්මා තරප්පුවත් අල්ලගෙන හිමිහිට පල්ලෙහාට එන ගමන් තාත්තාට එහෙම කිව්වා.


"පුතාලා මදිවට මේ ළමයාවත් අල්ලගෙන වැඩ කරවගන්න."


"හැම දරුවෙක්ම දැනගන්න ඕනි වැඩිහිටියන්ට සලකන්න."


"ගෙදර ආපු දෝණිට මෙතනින් එහාට එන්න දීලා නෑ. තෙල් එක ගාගන්නනෙ උවමනාව කාට හරි කියලා."


"අනේ නෑ අම්මේ.. මමයි තාත්තට උදව් කලේ."


දෙන්නා වලියක් ඇදගන්න කලින් මං එහෙම කිව්වා. වෙලාවකට අම්මයි තාත්තයි දෙන්නත් ඉස්සර මායි හේෂානුයි දෙන්නා වගේ කෙකිමයි.


"කොහොමද ඉතින් දෝණිට. දැක්ක කල්."


"හොඳින් ඉන්නවා අම්මේ."


"හ්ම්ම්."


එහෙම කියලා අම්මා හිමින් සීරුවේ පුටුවකින් ඉඳගත්තා. දැන් නම් ටිකක් හොඳයි වගේ පෙනුමෙන් නම්. ඒත් ඉස්සරට වඩා අම්මා ලෙඩ පාටට පේනවා. ටික වෙලාවක් යද්දි තේෂානුත් ඇවිත් සෝෆා එකකින් ඉඳගත්තා. ලයිලා කියන බව්වත් ඇවිත් එයාලා ලඟම. ඒත් කෝ හේෂාන් ?


"චූටි.. ලොකූ තාම නැගිට්ටෙ නැද්ද අනේ ?"


"නෑ.. මං යද්දි හොඳට බ්ලැන්කට් එකත් ඔළුවටම දාගෙන නිදි."


එයාලා එහෙම කියද්දි මං කන්ෆියුස්. දෙවියනේ හේෂාන් එච්චර වෙලා නිදියන්නේ රෑ පුරාම ඇහැරිලා ඉඳලාවත්ද. මං කිව්වා කලින් දවසේ ඔහොම නිදි වරන්න එපා කියලා.


"මේ මං එනවෝ."


මං තාමත් ඇවිත් නැතුව ඇති කියලා හිතන් හේෂාන් අත් දෙකත් ඔතාගෙනම පල්ලෙහාට ඔළුව දැම්මා. එයාව දැක්ක පාර මට හිනා ගියා. ඇයි කියනවා නම් වෙනදට උඩට පීරපු කොණ්ඩෙ අද පුවක් ලෙල්ල වගේ පහලට වැටිලා. කොණ්ඩෙ පීරන්නෙත් නැතුව බඩිගින්න වැඩි නිසාමද කොහෙද කන්න පල්ලෙහාට එනවා.


"දැන් ඉතින් උදේට කන්න වෙලා නෑ. දවල්ටම කමු නේද ?"


"ඇයි හිතුවද මට වැඩ නෑ කියලා. ඊයෙ රෑත් ඇහැරිලා කරාට තවත් තියනවා......"


මාව දැක්ක පාර එයාගෙ කට ලොක් උනා. මෙච්චර වෙලා මම ඉන්නවා කියලා දැකලා නැතුවද කොහෙද ඇවිත් තියෙන්නේ. අනික මං ඊයෙ නිදි වරන්න එපා කියලා සිංහලෙන් කියලත් එයා ඊයෙ රෑ ඇහැරීගෙන වැඩ කලාලු.


"ඇයි නැවැත්තුවේ. කියන්න මින්දිටත් ඇහෙන්න කෙරුවාව. හැමදාම රෑට නිදිවරනවා කියලා එහෙම."


තේෂාන් එහෙම කිව්වා. ඒත් එක්කම හේෂාන් හිමිහිට අනිත්පැත්තට හැරිලා ආයෙමත් තරප්පුව දිගේ උඩට ගියා.


"මට පොඩි වැඩ වගයක් තියනවා. කරලා එන්නම්කෝ."


එහෙම කියපු එයා ආයෙමත් කාමරේටද කොහෙද ගියා. ඒ එක්කම අම්මයි තාත්තයි තේෂානුයි තුන් දෙනාම හිනා උනේ මටත් හිනාවක් යද්දි. ඇත්තටම එයාලා සතුටින් ඉන්න ලස්සන පවුලක්.


"ඇති දෝණි.. Thank you උදව් කළාට."


"Thanks එපා තාත්තේ."


අතේ තෙල් තියන නිසා මට හෝදගන්න යන්නත් ඕනි. ඒත් එහෙම එකපාරටම කිචන් එකට යන්න බෑනේ. කවුරු හරි අඬගහ ගන්න ඕනි.


"දැන් ඔයාලා මින්දිට ලන්ච් එකට අඬ ගැහුවේ මොනා කන්නද. උයලා නෑනෙ අද දවල්ට. අනික මේඩ්ස්ලත් වැකේෂන් ලීව් නේ."


"මම උයන්නම් අම්මේ."


"මමත් ඔයාට උදව් කරන්නද තේෂාන් ?"


"නෑ මින්දි එපා. මං හදන්නම්."


"කමක් නෑ. මාත් උදව් කරන්නම්."


මං එහෙම කියලා තේෂාන් එක්ක යන්නයි හැදුවේ. ඒත් එක්කම අම්මයි තාත්තයිත් නැගිටලා ආවේ අපි එක්ක උයන්නද කොහෙද.


"අපිත් එන්නම් උදව් කරන්න."


තාත්තා එහෙම කියද්දි මායි තේෂානුයි එයා දිහා බලාගෙන හිටියා. ඒ එක්කම අම්මා තාත්තාගෙ අතට එකක් ගහලා ඉන්දව ගත්තා.


"ඔයා මොකටද ඒවට යන්නේ. ඒ දෙන්නට ටිකක් තනියම ඉන්න දෙන්න. එයාලා ඒක කරයි ගානට."


අම්මා එහෙම කියලා අමුතුම හිනාවක් දාද්දි මගෙ මූණ රතු උනාද කොහෙද. එයාලා හිතන් ඉන්නෙ මායි තේෂානුයි එකට උයන්න හදන්නෙ තනි වෙන්න කියලා.


"අනේ නෑ අම්මේ. කැමති නම් එන්න. ඒත් වැඩ කරන්න හොඳ නෑනෙ ඔයාලට."


"අපි හදන්නම් අම්මේ."


තේෂාන් එහෙම කියලා කිචන් එක පැත්තට යද්දි මාත් ගියේ එයාට උදව් කරන්න හිතන්. ඉතින් අපි දෙන්නා දැන් දස අතේ කල්පනාව මොනාද හදන්නෙ කියලා.


"මාළු ?"


"ඔයාගෙ අයියා මාළු වලට ආස නෑ නේද ?"


"හ්ම්ම්.. ඒකත් ඇත්තනේ. එහෙනම් කරවල බැදුමක් ?"


"ඒකත් එක්ක පරිප්පුත් හදමු."


"හ්ම්.. කොළ සම්බෝලෙකුත් හැදුවා නම් හොඳටම ඇති."


"එහෙනම් එහෙම කරමු."


තේෂාන් බැදුම හැදුවා. මං පරිප්පු එකත් හදලා අමු ගෝවා කොළ සම්බෝලයක් හැදුවා තක්කලි, ලොකු ලූණු දාලා. ආයෙ මට පේන්නවත් හේෂාන් ආවෙ නෑ. ඒකත් හොඳයි නැත්නම් එයා දකින වාරෙට මට මතක් වෙන්නම ඊයෙ දවසටම සිද්ධ වෙච්චි දේවල්.


කෑම හදලා කෑම මේසෙත් හදලා අපි අම්මටයි තාත්තටයි එන්න කිව්වා. ඒත් හේෂාන් තාම පල්ලෙහාට ආවෙ නෑ.


"අයියා කෝ චූටී ?"


"අයියා ඇති හැංගිලා එයාගෙ බංකරේ 😑."


එහෙම කියපු තේෂාන් උඩට ගියේ හේෂාන්ව එක්ක එන්න. මං එතකන් අම්මටයි තාත්තාටයි දෙන්නටම බත් බෙදලා දුන්නා. ටික වෙලාවක් යද්දි යුවසිංහ පවුලේ ඔටුන්න හිමි කුමාරයා මල්ලි එක්ක ආවා. නිකන් නෙවෙයි මේ පාර කොණ්ඩෙ උස්සලා අලුත් ඇඳුමකුත් දාගෙනම.


"බලන්නකො අම්මේ.. අයියා අද කන්න ඇවිත් තියෙන්නේ වෙඩින් එකකට යනවා වගේ."


"ඇයි මං මෙහෙම ඇන්දට. තව ටිකකින් ඔන්ලයින් මීටින් එකක් තියනවා මට ඔෆිස් එකේ."


එහෙම කියපු හේෂාන් මේසේ මගෙ ඉස්සරහින්ම ඉඳගත්තා. තේෂාන් මට එහාපැත්තෙ ඉඳගත්තා. අයියටයි මල්ලිටයි මැදි වෙලා මම අසරණ වෙලා වගේ බෙදා ගත්තු බත් එක කෑවා. අද වෙනදා තරම් හේෂාන් මං දිහා බැලුවෙත් නෑ, මං එයා දිහා බැලුවෙත් නෑ. මොකද ඊයෙ උන දේට එයා රාදිතා එක්ක තරහින් ඉන්න නිසායි, මම ඇන්ඩෲස්ගෙ මරණ තර්ජනය ලබපු නිසායි.


"හරි රසයි දෝණිගෙ කොළ සම්බෝලේ."


"මං තේෂාන්ට රෙසිපි එක දුන්නා ඔන්න. අනිත් දවසෙ එයා ඔයාලට හදලා දෙයිනේ."


කාලා ඉවර වෙලා තේෂානුයි මායි දෙන්නා එකතු වෙලා කැම මේසෙත් අස් කරලා පිඟන් ටිකත් හෝදලා දැම්මේ අනිත් අය ඩෙසර්ට් එක කනකොට. මට කිචන් එකේ අස්සෙන් පේනවා හේෂාන් කප් කේක් එක හැන්දෙන් චුට්ට චුට්ට අරන් පෙරේත කමට වගේ කන හැටි.


තේෂාන් එක්ක උයපු නිසා හොඳයි. එයා ගානට පිළිවෙළට, සන්සුන්ව වැඩේ කරනවා. ඒත් මෙතන හේෂාන් එයා වෙනුවට ඉඳලා ඔය කපන මාළු මිරිස් කෑල්ලක් හරි ඇදයක් ගියොත් පිහියටත් බැනලා කපන බෝඩ් එකටත් බැනලා කුස්සියටත් බැනලා අන්තිමට ගේ හදපු බාස්ටත් බැනලා තමයි නවතින්නේ. එයා ඉතින් ගෙදර වැඩ පාලනය කරන්නෙත් කම්පැනි එක Handle කරනවා වගේ තමයි..


"දැන් චූටි ඔය ගමන යන්නෙ හැම දෙයක්ම රෙඩි කරන්ද ?"


කට්ටිය එක්ක සෝෆා එකේ ඉඳන් කතා වුණේ මායි තේෂානුයි යන්න හදපු ගමන ගැන. හේෂාන් එයාගෙ මීටින් එකටද කොහෙද ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකට ගියා. මට හරි ආසයි ආයෙමත් ඒක ඇතුලට යන්න. ඒත් එදා වගේ සිදුවීමක් ආයෙ උනොත් ඇන්ඩෲස් මාව මරලා වත්ත පල්ලෙහා වලාදයි අනිවාර්යයෙන්ම.


"ඔව්."


"වැඩිපුර ඇඳුමක් දෙකක් දාන් යන්න වෙයි. නැත්තම් එකම ඇඳුමෙන් හවස් වෙනකම් ඉන්න බෑනේ."


"ඔව් ඉතින්.. එහෙ ගිහාම ආයෙ වොශ් එකක් දාගන්න පුළුවන් නේ."


"හ්ම්ම්.."


එකපාරටම මට එළියෙන් ලාවට වගේ ඇහුණා කාර් එකක් නවත්තනවා වගේ සද්දයක්. සමහරවිට ඩ්‍රයිවර් කෙනෙක් මොනවාට හරි ගිහින් එන්න ඇති කියලා හිතුණ නිසාම මං ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. හැබැයි මගෙ හිතට ලොකු බයක් දැනෙනවා. කවුරු හරි මාව හොයාගෙන මෙහෙ ඇවිත් වත්ද ?


........


"Ok.. එහෙනම් මං කිව්ව විදිහට ඒ සේරම වෙන්න ඕනි. අරුෂිගෙ මේ එවිඩන්ස් හැදුණේ කොහොමද කියලා මට පුළුවන් තරම් ඉක්මනින් හොයලා දෙන්න."


"හරි සර්."


හේෂාන් ලැප් එකත් ඕෆ් කරලා සුදු පාට පුටුවට හේත්තු උනා. ඒ එක්කම එයාට ඇහුණේ හීල්ස් දෙකක සද්දයක්. වැඩි වෙලා යන්න කලින් තමා ඉස්සරහට ආපු රුව දැකලා හේෂාන් පුටුවෙන් නැගිට්ටුණා.


"අහ්.. රාදි.. ඇයි මේ හදිස්සියේ ?"


"ඇයි අපි මෙහෙම මැරි කරන්න හදන්නෙ හේෂාන් ?"


රාදිතාගෙ ඇස් වල කඳුළු. හේෂාන්ට හිතාගන්න බෑ එයා ඇවිත් මෙහෙම අහලා නිකරුණේ අඬන්නෙ ඇයි කියලා. තමා දන්න තරමින් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ කියලා හේෂාන් හොඳටම දන්නවා.


"Why ?"


"ඔයා හිතුවද මින්දි එක්ක ඔයා කරන දේවල් මට එළි වෙන්නෙ නෑ කියලා. එදා මොස්කිටෝ ඇලජි එකක් කියලා මාව රවට්ටන්න හැදුවේ මින්දි එක්ක ඉඳලා නේද ?"


"රාදී.. ඔයා මොනවද මේ කියන්නේ ?"


"මම ඇත්ත කියන්නෙ හේෂාන්. ඔයා ඒ ඇත්ත වහන්න හදනවා. ඒත් දැන් හැම දෙයක්ම මට පෲෆ් ඇතුව එළිවෙලා තියෙන්නේ."


"මොකක්ද ඔයාට එළිවෙලා තියෙන්නේ ?"


"ඔයා දන්නෙම නැද්ද. ඔයා කොහොමද මේ දේවල් වෙලත් මෙච්චර ලස්සනට රඟපාන්නේ ?"


එහෙම කියපු රාදිතා තමාගේ ෆෝන් එක ඔන් කරලා කලින් දවසේ මින්දිට පෙන්නපු ෆොටෝ එක හේෂාන්ට පෙන්නුවා. එදා මින්දි පුදුම උනා වගේම හේෂානුත් පුදුම වෙන්න වැඩි වෙලා ගියෙ නෑ. මොකද මෙහෙම දෙයක් කොල්ලත් කිසිම විදිහකින් බලාපොරොත්තු උනේ නැති නිසා.


"කාට කියලද මේක කරේ ?"


"කාට කියලා කරත් ඔයා නෙවෙයිද මේ මින්දි එක්ක හරි ආදරෙන් ඉන්නේ. ඔයා හිතන් ඉන්නෙ මාව කම්පිටිෂන් එකට යවලා මෙහෙට වෙලා එයා එක්ක Physical Connection තියන්නද."


"රාදි ඔයා වුන කිසිම දෙයක් ගැන නොදැනුවත්ව කතා කරන්නේ."


"මම දන්නෙ නෑ.. ඔයා කියන්නෙ මම දන්නෙ නෑ කියලද. ඔයා මාව මැරි කරන්න හිටියට ඔයා තාමත් ආදරේ ඔයාගෙ Ex ට. ඔයා බලාපොරොත්තු වෙන්නෙත් එයාව."


රාදිතා එහෙම කියද්දි හේෂාන් කට කොනින් හිනා වෙලා අහකට ඇස් හැරෙව්වා. කොල්ලට දැන් තේරෙනවා මේ ෆොටෝ එක කොහොමද ගියෙ කියලා. ඒත් එයා පුළුවන් තරම් ඉවසුවා රාදිතාට මුකුත් නොකියා.


"ඒක මගෙ අතින් වැරදිලා උන දෙයක්. මං ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ කියලා හිත හදන් ඉවරයි රාදි."


"ඔයා එහෙම හිත හදාගත්තට මින්දිට ඕනි ඔයාව සිඩියුස් කරගන්න. මේ පළවෙනි පාර නෙවෙයි හේෂාන්. මීට කලිනුත් මින්දි ඔයාව ලං කරගෙන තියනවා."


"මං කිව්වා රාදිතා. ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ. දැන් මෙතන ඇවිත් බොරුවට කෑ ගහන්න එපා."


"කෑ ගහනවා නෙවෙයි. මම ඔයාට ආදරෙයි හේෂාන්. මමයි ඔයාව මැරි කරන්න ඉන්නේ. ඔයා දන්නවද. මේවා දැක්කම මට මැවිලා පේනවා මගෙ ෆියුචර් මැරේජ් ලයිෆ් එක. කොහෙවත් ඉන්න අනාත හිඟන කෙල්ලෙක් ඇවිත් මගෙ ජීවිතේ විනාශ කරලා දැම්මා හේෂාන්."


ගෙදර යන්න ඕනි නිසා මං ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකට ගිහින් හේෂාන්වත් බලලා, යන්නම් කියාගෙන යන්නයි හැදුවේ. ඒත් ගාඩ්න් එකේ ගේට්ටුව ගාවදි මට රාදිතාගෙ කටහඬ ඇහුණ නිසාම මගෙ අඩියත් එක තැන නැවතුණා.


"ඔයා ඒක බලන් හිටියා. එයා ඇවිත් මගෙ ලයිෆ් එක රුයින් කරනකම් බලන් හිටියා. හැබැයි මගෙ අතින් මින්දිට ස්ලැප් එකක් වැදුණත් ඔයා එයාට බේත් දාන්න යනවා. එයාගෙ අතක් නෙවෙයි ඇඟිල්ලක් තුවාල උනත් ඔයා ඩොක්ටර් කෙනෙක් වගේ එයාව බලාගන්න යනවා. ඔයා මට මොනවද කලේ.."


"ඩැඩී මට ආදරේ නිසයි මේක කරලා දුන්නේ. එයාට ඕනි උනා මගෙයි ඔයාගෙයි අතරට එන්නෙ කව්ද කියලා පෲ කරන්න. හැබැයි ඔයා දැන් මගෙ ඩැඩීට බනින්න එපා. එයාට මාව වටින නිසයි මට අර අනාත කෙල්ලගේ මේ ජරා වැඩ එළි කලේ. එහෙම වෙලත් දැන් ඔයා ඒ නර්ඩි ගර්ල්ව සුද්ද කරන්න හදන්න එපා හේෂාන්."


රාදිතාට හොඳටම තරහා ගිහින් බනින විදිහෙන් මට තේරුණා ඇන්ඩෲස් එයාව උසි ගන්වලා හේෂාන් ගාවටත් ඇවිත් ෆොටෝ එක පෙන්නලා කියලා. බෑග් එකේ පටියත් අත් දෙකටම ගුලි කරන් මං එයාලා කියන හැම දෙයක්ම අහන් හිටියා.


"ඔයානේ ඒ අනාථ කෙල්ලව තාමත් උඩ දාගෙන තියන් ඉන්නේ. ඔයාටයි ඕනිකම තියෙන්නේ එයාගෙ අකවුන්ට් වලට මිලියන් ගණන් පුරව පුරව උඩ දාන්න. ඒකයි ඔය කෙල්ලට ඔච්චර හයියක්. මට මෙච්චරයි කියන්න ඕනි හේෂාන්. පුළුවන් තරම් ඉක්මනින් ඒ කෙල්ලව කම්පැනි එකෙන් අයින් කරලා ඔය සල්ලි දාන එකත් නවත්තන්න."


"මේවා මගෙ සල්ලි රාදි. මේක මගෙ බිස්නස් එක. මමයි තීරණය කරන්නේ මම කරන්න ඕනි දේවල්. නැතුව ඔයා නෙවෙයි."


"හහ්.. එහෙනම් ඔයා මං මෙච්චර හොඳින් කියලත් කෙයා කරන්නෙ නෑ නේද ?"


"......"


"එහෙනම් මං මේක ඩැඩීටම කියලා විසඳන්නම්. හැබැයි එහෙම උනොත් ඔයාට ඔයාගෙ ඔය මින්දිව ආයෙ දකින්නවත් ලැබෙන එකක් නෑ."


රාදිතා අඬන ගමන් හිනා වෙලා එහෙම කියද්දි හේෂාන් කෙල්ල දිහා බලාගෙන හිටියේ තරහින් වගේ. ඇයි මෙච්චර තරහින් කතා කරන්නේ එයාලා මං නිසා. අනික හේෂාන් දැනගත්තොත් ඇන්ඩෲස් මට ත්‍රෙට් කරා කියලා එයා ඒවගේ පැටලෙන්න ගිහින් මොකක් හරි කරදරේක වැටෙනවා.


"රාදිතා.. Listen to me."


"කවුරුත් මං නිසා ප්‍රශ්න ඇති කරගන්න ඕනි නෑ."


හේෂාන් කතා කරන්න හදද්දිම මං එහෙම කියලා ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එක ඇතුලට ආවේ රාදිතා දිහාත් එයා දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්. මේක වෙන්න ඕනි මං අවසාන වතාවට මේ ගාඩ්න් එක ඇතුලට එන දවස. එහෙම කියලා මං හිතේ ලොකු අධිෂ්ඨානයක් ඇති කරගත්තා.


 .................................................. 🖤 ...


රාදිතාගෙ දුෂ්ටකම නම් පොඩ්ඩක් වත් බහින පාටක් නෑ වගේ 😫


ඒකට හේතුව මම රාදිතාගෙ චරිතය මැව්ව විදිහ නිසා. මටත් මතක විදිහට මෙච්චර ටොක්සික් කෙල්ලෙක් මගෙ කතාවක හිටියාමයි. ඒකයි විරුද්ධවාදියා විදිහට..


ළමයි මම Season 2 කිව්වට මේක ඉෂි අම්මා වගේ වෙන්නෙ නෑ 🥲. දැන් කතාව හෙන පටලැවිල්ලක්. ඒ ටික හිමිහිට විසඳන්න ඕනි මට. ඒකයි මම වෙනම Season 2 එකක් ගන්න හිතුවේ


කොහොමත් ඒකෙදි මේ චරිත සේරම නොහිතන විදිහට වෙනස් වෙනවා.. හේෂාන් ඇර 🤗


Sachy Collins

Report Page