Spring is far away - 51
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 51 | The last chance
"හේෂාන්.."
එයා මුකුත් නොකියාම මගෙ නිකටෙන් අල්ලලා රාදිතාගෙ ඇඟිලි පහම හිටලා තියන කම්මුල එයාගෙ පැත්තට හරව ගත්තා.
"ඇයි අනිත්පැත්තට එයාට ගැහුවෙ නැත්තේ ?"
"මට එහෙම කරන්න බෑ හේෂාන්.. එහෙම කරන මට මොකක්ද තියන හයිය ?"
ඩිස්නි බලාගෙන අපි ලං වෙලා ඉන්න හැටි. වෙනදට රවන් බලාගෙන ඉන්න ඒ ඇස් අද තරහින් පිරිලා. තේෂාන් මොනවා කිව්වද දන්නෑ හේෂාන්ට.
"ඇන්ඩෲස්ටවත් රාදිතාටවත් බය වෙන්න මොකක්ද ඔයා එයාලට කරලා තියන වැරැද්ද. මට මල්ලි සේරම කිව්වා. නිකරුණේ එයා ඔයාට ගහන්නෙ ඇයි කියන එක මට තියන ප්‍රශ්නේ. දැන් මං ගෙදර ගියාට එයා ගෙදරත් නෑ, ගන්න කෝල්ස් වලට ආන්ස්වර් කරන්නෙත් නෑ."
ඒ කියන්නෙ තේෂාන් හේෂාන්ට කියලා නෑ රාදිතා මගෙ කනට ගැහුවේ අපේ ෆොටෝ එක දැකලා කියලා. ඒකත් දැනගත්තා නම් හේෂාන් ගහන්නෙ ගෙදර හිටපු ඇන්ඩෲස්ට.
"එයාට මුකුත් කියන්න එපා. දන්නවනෙ එයාගෙ හැටි. මොකක් හරි දෙයක් වැරදියට තේරුම් අරන් වෙන්න ඇති."
"ඒත් ඔයා ඇයි මෙහෙම එයාගෙන් ගුටි කන්නේ. එයාට කිසිම හේතුවක් නෑ ඔයාට ගහන්න ගහන්න. රාදිතාට මං හොඳ වැඩිද කොහෙද. හැබැයි අහු උනොත් මං......"
"ඇයි.. එයාට ගහන්නද. ඔයා එයාට මුකුත් කියන්න එපා. ඒ ඔයාව මැරි කරන්න ඉන්න කෙනා. මමයි ඔයාලගෙ මැද්දට පනින්න යන්නේ. ඉතින් මමයි වැරදි. එයා මට ගහපු එක සාධාරණයි. ඒත් ඔයා එයාට බැන්නොත් හරි ගැහුවොත් හරි ඒක අසාධාරණයි හේෂාන්."
හේෂාන් කියන එකටත් මැද්දෙන් පැනලා මං එහෙම කියලා ගෙට ගියේ එයා බලන් ඉද්දි. බැරි වෙලාවත් හේෂාන්ගෙ තරහට රාදිතාට බැන්නොත් හරි ගැහුවොත් හරි ඇන්ඩෲස් අර කියන මිනිස්සු මැරුවා වගේම හේෂාන්ට හරි යුවසිංහ පවුලෙ කාට හරි මොනා හරිම කරන්න ඉඩ නෑ.
ඇඳෙන් ඉඳගත්තු මං කකුල් දෙක අත් දෙකෙන් බදාගෙන ඔළුව හංගගත්තා. මාව එයාපෝර්ට් එකේදි දාලා ගිහින් අද එයා රාදිතා ගහපු කනේ පාර බලන්න ආවා කිව්වම ඕනි කෙනෙක්ට හිතාගන්න පුළුවන් අපේ බැඳීම තාමත් හරියට කැඩිලා නෑ කියලා. හේෂානුයි මායි දම්වැලක පුරුක් දෙකක් නම් මං අපි දෙන්නා අතර තිබ්බ පුරුක බුරුල් කලා. ඒත් එයාට ඒ පුරුකෙන් ගැලවෙන්න අදහසක් නැත්තම් මම හරි ගැලවෙන්න ඕනි. ඒ නිසාම ඒ මැද තියන පුරුක මං ඉක්මනින් මම විසින්ම හරි ගලවනවා.
රාදිතා නිසා මට මගෙ හොඳට තිබුණු දකුණු අතත් කැඩුණා. ඒ වගේම අද මගෙ කනට ගහලා මගෙ තොලත් පැලුවා. ආයෙ එහෙම වෙනවට මං ආස නෑ.
"මින්දි.."
මම එයාගෙ කටහඬටවත් හෙල්ලෙන්නෙ නැතුව ඔළුව පහත් කරන් හිටියේ එයා මට මෙහෙම Care කරනවට අකමැති බව පෙන්නන්න. ඒත් මට දැනුණා එයා මට එහා පැත්තෙන් ඉඳගෙන මගෙ ඔළුවට අත තිබ්බ බව.
"ඕකට බේත් ටිකක් දාගන්න."
"මං දාගන්නම් හේෂාන්. ඔයා යන්න. මං ගැන වොරි වෙන්න එපා."
"අඩුම ගානේ මට මේක ගාන්නවත් ඉඩ දෙන්න. මේක ඔයාට උනේ මගෙ ෆියන්සි නිසා මින්දි."
එයා එහෙම කියද්දි මං ඔළුව ඉස්සුවේ "ෆියන්සිගෙ වැරැද්ද වහන්න මගෙ තුවාලෙට බේත් දාන්න ආවද" කියලා අහන්න. ඒත් එහෙම දෙයක් අහන්න කොහොමද මං හිත හදාගන්නේ මම අවුරුදු ගාණක් ආදරේ කරපු කෙනාගෙන්.
මම ඔළුව උස්සපු නිසාම එයා First Aid බොක්ස් එක අරන් ඒකෙ තිබුණු ක්‍රීම් එකෙන් ඇඟිල්ලට ටිකක් ගාගෙන මගෙ තොල ළඟින් තියන්නයි හැදුවේ. ඒත් මං පස්සට උනේ ඇඳ උඩ ඉඳගන්න ගමන්.
"කමක් නෑ හේෂාන්.. මම ඒක තනියම කරගන්නම්. ඔයා කරදර වෙන්න එපා."
"මගෙ තරහා අවුස්සන්නෙ නැතුව, මට ක්‍රීම් එක ගාන්න ඉඩ දෙන්න මින්දි."
"......"
එයාට හොඳටම තරහා ගිහින් ඉන්න වෙලාවෙ තවත් තරහා අවුස්සන්න ඕනි නැති නිසාම මං ජනේලයෙන් එළිය බලාගත්තා. මේ වෙන දේවල් එක්ක එයාට මගෙ ලඟට එන්න දෙන්නවත් මට හිතෙන්නෙ නෑ. මොකද ඒකෙන් වද විඳින්නේ මම. බැරි වෙලාවත් අද රාදිතා මට දෙවනි පාරත් ගැහුවා නම් මීට වඩා වේදනාවක් ඇති වෙන්න තිබ්බා.
"ම්ම්.."
ක්‍රීම් එක දෙතොලේ අග වදිද්දි මට ආපු වේදනාවට කෙඳිරියක් පිට උනේ ඒ ඇස් මගෙ ඇස් දිහාවට හැරෙද්දි. ඒ මදිවට මගෙ ඇස් වල කඳුළු පිරිලා දිළිසෙනවා.
"මේ ක්‍රීම් එකෙන් උදේටයි දවල්ටයි ගාන්න. නැත්තම් මේක අඩුවෙන එකක් නෑ."
එයා ක්‍රීම් එක ගාලා ඉවර වෙලා Aid බොක්ස් එක වහලා මගෙ මේසෙ උඩින් තිබ්බා. ආයෙමත් එයා මගෙ පැත්තට එද්දි මගෙ ඇස් වල කඳුළු කම්මුල් වලට වැටුණා.
"මේ මොන තුවාලෙ අඩු උනත් මගෙ හිත ඇතුළෙ තියන තුවාලෙ අඩු වෙන්නෙ නෑ එන්න එන්නම වැඩි වෙනවා මිසක්. රාදිතා ගහපු එක මගෙ කම්මුලට වේදනාවක් නෙවෙයි. හැබැයි මගෙ හිතට ඒක ලොකු වේදනාවක්.."
"මම ලොකු වැරැද්දක් කලා හේෂාන්. ඔයා අයිති වෙන කෙනෙක්ට කියලා දැන දැනත් මං ඊයෙ රෑ ඔයා මාව කිස් කරනකම්ම බලන් හිටියා. එක පාරක් නෙවෙයි තුන් පාරක්ම. ඉතින් ඒකට රාදිතා මට ගහලා දඬුවම් කරා කියලා මං හිතාගන්නම්."
අවසාන වචනෙ කියද්දිම මං හිටියෙ එයාගෙ පපුව උඩ. මගෙ ඉන වටෙත් කොණ්ඩෙ අස්සෙනුත් ගිහින් තියන එයාගෙ අත් හරි රස්නෙ බව මට දැනුණා.
"රාදිතා ඒ ගැන දන්නෙ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නෑනේ. අනික එයා කොහොමද දන්නෙ අපි දෙන්නා අතර එහෙම උනා කියලා. එවෙලෙ මමයි ඔයයි හිටියේ මෙහෙ. කිසිම කෙනෙක් ඇහැරිලා හිටියෙත් නෑ, මෙහෙ ඉන්න අය රාදිතා එක්ක එකතුත් නෑ."
මෙහෙ ඉන්න අය රාදිතා එක්ක එකතු නෑ කියන්නෙ කොහොමද ඔයා. නැත්තම් අපි දෙන්නගෙ ෆොටෝ එකක් එයාට යන්නෙ කොහොමද. සේරටම කලින් හොයාගන්න ඕනි ඒක කලේ කව්ද කියලා. හේෂානුත් මේ ගැන දැනගන්න කලින්.
"ඒත් මම කලේ වැරැද්දක් නෙවෙයිද. එහෙම දෙයක් අපි අතර මීට පස්සෙ නොවෙන්න ඕනි හේෂාන්. අනික මේක අපේ අවසාන Hug එක වෙන්න ඕනි."
"හ්ම්ම්. ඒත් ඔයා වැරදි නෑ මින්දි. වැරැද්ද උනේ මගෙ අතින්. මමයි එවෙලෙ කිසිම දෙයක් ගැන හිතලා බලන්නෙ නැතුව මගෙ හැඟීම් වලට ඉඩ දුන්නේ."
මාත් ආසයි හේෂාන් ඔයාගෙ හැඟීම් වලට. මං එදා ඉඳන්ම ආසයි ඔයාගෙ හැඟීම් විඳින්නෙක් වෙන්න. ඒත් අපිට අපි හිමි නැත්තම් මට ඒ ආශාව අමතක කරලාම දාන්න වෙනවා.
"ඔයා කෑවෙ නෑ කිව්වා නේද ?"
"මට කන්න පිරියක් නෑ."
"කමක් නෑ ටිකක් කන්න."
එහෙම කියලා එයා පල්ලෙහාට ගියා. මං ජනේලෙන් ඈත බලාගත්තා. අද දවසට මම කී දෙනෙක්ගෙන් ළඟ අසරණ උනාද. ඉස්සෙල්ලාම සැලෝමි මැඩම්, පස්සෙ රාදිතා, ඊට පස්සෙ තේෂාන්, දැන් හේෂාන්. වහලෙක් වගේ මේ ගෙවන ජීවිතේ දැන් නම් මට ඇත්තටම තිත්ත වෙලා.
ටික වෙලාවක් යද්දි එයා බත් එකක් බෙදාගෙන ඇවිත් මගෙ ගාවින්ම ඉඳඟෙන අනලා කටක් දික් කලා. කෑම වල සුවඳ ආවත් මට කන්න පිරියක් තිබුණෙ නෑ.
"කෑවෙ නැත්තම් ඇඟට පණ නෑනේ. අප්පිරියාවෙන් උනත් කන්න බලන්න."
එයා එහෙම කියද්දි මං අපහසුවෙන් කටක් දෙකක් කෑවා. ඉස්සර මං හරි ආසයි මං ලෙඩ වෙලා ඉන්න වෙලාවට එයාගෙ අතින් කෑම කවනවාට. අදටත් ඒ විදිහටම මං ආසයි. ඒත් මේ වතාව අවසාන වතාව වෙනවා නම් හොඳයි.
බත් එකේ බාගයක් විතර කවලා මං ඇති කිව්ව නිසාම එයා පල්ලෙහාට ගියේ අත හෝදගන්න. එහෙම්ම මාත් පල්ලෙහාට බැහැලා ඉස්තෝප්පුවට ගියා. ටික වෙලාවක් යද්දි හේෂාන් මං ඉන්න තැනට ඇවිත් ඉඳගත්තා.
"සැලෝමි හොඳයිද ?"
එයා එකපාරටම එහෙම අහද්දි මට මතක් උනේ උදේ සැලෝමි මට කියලා කකුලට සෙරෙප්පුව දාගත්තු හැටි. ඒ වගේම මගෙ ෆයිල්ස් විසි කරලා දාපු හැටි.
"හොඳයි. එයාගෙ හරි නීති."
"ඒ එයාලාගෙ ෆැමිලි එකේම හැටි. එයාගෙ අම්මත් එහෙමයි."
"හ්ම්ම්."
"ඒක නෙවෙයි. මල්ලි කිව්වා හෙට එහෙ එන්න කියලා. එදා මාව අසනීප උන දවසේ ඔයාට ලන්ච් එක දෙන්න බැරි උනානේ. ඉතින් හෙට එන්න අපේ ගෙදර."
"ඒකට කමක් නෑ. ඔයා සනීප උනානේ. මට ඒ හොඳටම ඇති හේෂාන්."
"හ්ම්.. ඒත් ඔයා අපේ පවුලෙ සාමාජිකයෙක් වෙන්නයි ඉන්නෙ. එහෙව් එකේ ලන්ච් එකක් නොදී කොහොමද ?"
එයා අමුතු විදිහට හිනා වෙලා එහෙම කියද්දි මට මතක් වෙන්නෙම ඔෆිස් එකේ හින්ට් ගහන හේෂාන්ව. ඇත්තටම මම ආසයි ඒ ගතිගුණේට. මොකද ඒකෙන් මාව තවත් ටිකක් රිද්දනවා එයා.
"ඇයි ඔයාලා මාව ගෙදර තියාගෙන ලන්ච් එකක් දුන්නේ. මම සිඩ්නි වල ඉඳන් ආපු දවසෙම."
"ඒත් එක සැරයයි. අනික දැන් අම්මත් කියනවා ඔයාව බලන්න ඕනි කියලා. තාත්තත් ආසයි ඔයා එහෙ එනවට. රාදිතාට වඩා."
"අම්මයි තාත්තයි එන්න කියනවා නම් මට නෑවිදින් ඉන්න බෑනේ. එහෙම උනොත් මං එදා වගේ කප් කේක්ස් අරන් එන්නම්."
"ඒක හොඳයි. එද්දි කාට නැතත් මට වැඩිපුර දෙකක් විතර ගේන්න."
එයා එහෙම කියලා පුටුවෙන් නැගිට්ටේ මගෙ දෙතොල් ලාවට හිනාවක් පාද්දි. දැන් ගොඩාක් රෑ වෙලා නිසා එයාට ගෙදර යන්නත් ඕනි ඇති.
"මං යන්නම් එහෙනම්. මට පොඩි වැඩ වගයක් තියනවා ඔෆිස් එකේ. ඒ ටික කම්ප්ලීට් කරන්නත් ඕනි හෙට උදේ වෙන්න කලින්."
එයා ඇවිත් තියෙන්නේ රාදිතා මට ගහපු නිසා බලන්න වෙන්න ඇති. මොනවා උනත් තේෂාන් ඇත්ත නොකියපු එක ලොකු දෙයක්. ඒත් හේෂාන් කවදාම හරි මේක දැනගත්තොත් රාදිතාට විසුමක් නෑ. එයා ඉස්තෝප්පුවෙන් එළියට බහිද්දි මං පුටුවෙන් නැගිටලා එයා ගාවට ගියා.
"ඔයා මහන්සි වෙන්න එපා හේෂාන්. අසනීපයි කිව්වනේ. කලින් කාලා බීලා නිදාගන්න. තියන වැඩ හදිස්සියේ කරන්න යන්න එපා."
"හ්ම්ම්.. ඔය මොන දේ කරන්නත් කලින් මං කොහොම හරි රාදිතාව කන්ටැක් කරගන්න ඕනි. එයාගෙන් මට අහගන්න ඕනි ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නෙ කියලා."
"එහෙමයි කියලා එයාට බනින්න, කෑ ගහන්න යන්න එපා."
"නෑ මින්දි. මගෙයි වැරැද්ද. අම්මා කියන නිසාම මං ඒ කෙල්ලට නිදහස දුන්නා. බියුටි පැජෙන්ට් යන්න ඕනි කිව්වම මං ඒකටත් යන්න අවසරය දුන්නා වෙඩින් එක පැත්තකට දාලා. දැන් හරි ලොකුකම ඉස්සරට වඩා. ඒ වගේම ඕනාවට වඩා වැඩියි."
"ඒ උනාට එයාට එහෙම නීති දාන්න හදන්න එපා."
"නැතුව බෑ. එයා ඔයා වගේ ගෑනු ළමයෙක් නෙවෙයි. සල්ලි අතට ලැබුණම, නිදහස ලැබුණම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න විදිහේ කෙනෙක්."
"පුළුවන් තරම් එයා හොඳ කෙනෙක් කරන්න බලන්න. මං දන්නවා හේෂාන්. රාදිතා ඇතුලේ අහිංසක ගෑනු ළමයෙක් හැංඟිලා ඉන්නවා. අනිවාර්යයෙන්ම."
"ඒක හරි. මාත් ඒක දන්නවා. එයා වෙලාවකට ඔයා වගේමයි. ඒත් තව වෙලාවකට හරි ලොකුකම."
"මාත් ඒක දන්නවා. ඒ හින්දා එයාගෙ ඒ නරක ගතිගුණ වෙනස් කරලා හොඳ කෙනෙක් කරන්න."
"එහෙම කරන්න නම් සේරටම කලින් එයාව එයාගෙ තාත්තාගෙන් වෙන් කරන්න වෙනවා."
හේෂාන් එහෙම කියලා කාර් එකේ දොර ඇරියා. ඒක ඇත්ත තමයි. දෙමව්පියො කරන දේවල් නේ ළමයිනුත් බලාගෙන කරන්නේ. ඉතින් තාත්තා කරනවා වගේ නරක වැඩ කරන්න දුවගෙ හිතත් හැදිලා ඇති. තාත්තාගෙ ලේ නම් ඒ කෙල්ලත් ඒ විදිහෙම නපුරු අදහස් තියන කෙනෙක් වෙන්නම එපැයි.
කල්පනාවෙන් පිට එද්දි හේෂාන් කාර් එකේ දොරත් වහගෙන මගෙ පැත්තට ආවේ කළුපාට කාඩ් එකකුත් අතේ රඳවන්. මගෙ සිතුවිල්ලට එකඟ වුණොත් මේ කාඩ් එක,
"ඔයාට අමතක වෙන්න විදිහක් නෑනේ. විසි තුන් වෙනිදා පාර්ටි එකට අනිවාර්යයෙන්ම එන්න."
මගෙ සිතිවිල්ල හරි. හේෂාන් කළුපාට Background එකේ Gold පාටින් යුවසිංහ ලාංඡනයත් එක්ක Birthday Invitation කියලා ගහලා තිබුණු එයාගේ බර්ත්ඩේ කාඩ් එක මගෙ අත උඩින් තියද්දි මගෙ දෙතොල් වලට ආවෙ ලස්සන හිනාවක්. මං දැනන් හිටියා එයාගෙ 33 වෙනි උපන්දිනේ එයා ලස්සනටම ගන්න බව. ඒකට Ex - Girlfriend විදිහට හරි යන එක මට සතුටක්.
"මම දැනන් හිටියා ඔයා මේ සැරේ Birthday Party එකක් ගනී කියලා."
"ඔව්.. 33 කියන්නේ අපේ තාත්තා කම්පැනි එක පළවෙනි වතාවට ලංකාවේ නම්බර් වන් කරපු වයස. ඉතින් මාත් මේ 33 ට කම්පැනි එක නම්බර් වන් කරලා ඉවරයි."
"ඒක විශේෂයි එහෙනම්."
"ඔව්.. මං යන්නම් එහෙනම්."
"පරිස්සමින් යන්න හේෂාන්."
"පුළුවන් නම් එදාට Light Colour එකක් ඇඳන් එන්න. ඔයාට එහෙම ලස්සනයි."
එයා අමුතුම හිනාවක් දාලා මට එහෙම කියලා කාර් එකට නැග්ගා. ඒ කියන්නෙ එයා මම දෙතොල් රතු පාට කරනවාට ආස නෑ වගේම තද පාටවල් අඳිනවට ආසත් නෑ වගේ. එහෙම උනොත් මං D Martinez එකෙන් ගවුමක් ගන්නවා. ලස්සන එකක්. මොකද මට හිත දෙන්නෙ නෑ කැත ගවුමක් ඇඳන් ගිහින් බර්ත්ඩේ පාර්ටි එකත් කැත කරන්න.
එයා යනකම් බලන් ඉඳලා මං ගේ ඇතුලට ගියා. ඩිස්නි ගේ අතුගානවා. මං එහෙම්ම ඇවිත් සෝෆා එක උඩ ඉඳන් එයාගෙ ඉන්විටේශන් එක අරන් බැලුවා ලියුම් කවරය ලිහලා.
"සුදු අයියගෙ Birthday එක නේද. මගෙ ඉන්වයිට් එක අම්මට දීලා ඇති 😪."
"ඔයා යනවද ඉතින් ?"
"යන්න එපැයි මගෙ අයියාගෙ බර්ත්ඩේ එකට."
"එහෙනම්. එදාට මං එක්ක ඉන්නවද. නැත්තම් මං තනියම."
"එතකොට සුදු අයියා දැනගන්නවා නේ ඔයා ඇත්ත දැනගෙන කියලා."
"කමක් නෑ. මං Reveal කරනවා එදාට. ඇත්ත කතාව."
"ඊට පස්සෙ."
"පහුවෙනිදාට ඔයාට මං සල්ලි දෙන්නම්. ඔයාගෙ කෝස් එක කරගෙන පාඩුවේ ඉන්න. ආයෙ මෙහෙ එන්න එපා."
මං එහෙම කියලා කාඩ් එක දිහා බලාගද්දි ඩිස්නි මූණත් ඇඹුල් කරන් මං දිහා විනාඩියක් දෙකක් බලන් ඉඳලා ආයෙමත් අතුගාන්න ගත්තා.
කළුපාට තීම් එකට ගත්තු ගෝල්ඩ් පාටින් ලියපු ඉන්විටේශන් එකේ යටින්ම හේෂාන්ගෙ අත්සන ගහලා. ඉස්සරහා එයාලගේ යුවසිංහ Logo එක ප්‍රින්ට් කරලා. ඇත්තටම ඒ ඉන්විටේශන් එකෙත් යුවසිංහ ෆැමිලි එකේ තියන තේජවන්ත පාට පේනවා.
ඉන්විටේශන් එකත් අරගෙන කාමරේට ගියපු මං ඒක කබඩ් එකේ ලොකර් එකට දාලා ලොක් කලා. ඒ එක්කම ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා මං ඇඳ ගාවට ගිහින් ඉඳගෙන ෆෝන් එක අතට ගත්තා. කවදාවත් මේ ෆෝන් එකට ඇවිල්ලා නැති නුහුරු නම්බර් එකකින් කෝල් එකක් එද්දි මගෙ හිත ටිකක් ගැස්සුනේ නැතුවමත් නෙවෙයි.
ඉතින් මං ඒක ආන්ස්වර් කලා..
"Hello.. කව්ද මේ ?"
"Good evening dear."
එකපාරටම ෆෝන් එකෙන් ඇන්ඩෲස්ගෙ කටහඬ ඇහෙද්දි ඇඟම සීතල වෙලා ගිහින් මාව ඉබේටම ඇඳෙන් නැගිට්ට වුණා.
"ඇන්ඩෲස් ?"
"ඔයාට කටහඬින් අඳුනගන්න හැකියාවක් තියනවා කියලා සුදු දෝණි මට කිව්වා. ඒකයි ටෙස්ට් කරලා බැලුවේ. කොහොමද ඉතින්. සප්‍රයිස් උනාද ෆොටෝ එකට.. ම්ම්.."
උගුරෙන් පහලට කෙල ගිලෙන්නෙත් නෑ වගේ. මට හිතුණා ඒ ෆොටෝ එකට ඇන්ඩෲස් සම්බන්ධ ඇති කියලා. ඒත් මේක අපිට හොරෙන් ගත්තෙ කොහොමද කියන එකයි මට ප්‍රශ්නේ.
"ඒ..ඒක කලේ ඔයාද ?"
"ඔව් මං තමයි.. දෝණි තාම දන්නෙ නෑ මමයි ඒ ෆොටෝ එක ගහලා එයාට යැව්වෙ කියලා. එයා දන්න එකම දේ ඔයාට ඕනි හේෂාන්ව සිඩියුස් කරගන්න කියන එක විතරයි."
"......"
"ඇයි සද්ද නැත්තේ. අහන්නෙ නැද්ද අංකල්ගෙන් කොහොමද මේ ෆොටෝ එක ගියෙ කියලා ?"
මම අහන්න ඕනි ප්‍රශ්නේ එයාම අහනවා. ඉතින් මං මොකදට එයාගෙන් දෙවනි වතාවට අහන්නේ. සද්ද නැතුව අහන් ඉන්නවා මිසක්.
"ඒක විතරක් නෙවෙයි ළමයෝ. තව ලස්සන ෆොටෝ ටිකක් මං ගාව තියනවා."
එයා එහෙම කියද්දි මගෙ ෆෝන් එකට වට්සැප් නම්බර් එකකින් ආවේ ෆොටෝ දෙකක්. ඉතින් මං කෝල් එකේ ඉද්දිම බැලුවේ ඒ මොකක්ද කියලා.
එවලා තියන ෆොටෝ දෙක දැක්කම මගෙ ඇඟිලි පවා ෆෝන් එක ටච් කරගන්නවත් බැරි තරමට වෙවුලන්න ගත්තේ ඒ ෆොටෝ හේෂාන්ගෙයි මගෙයි අවුරුදු ගාණකට කලින් ෆොටෝ දෙකක් නිසා. එදා අහස්ලා එක්ක ට්‍රිප් එක ගිහින් එයා අපි දෙන්නගෙ ෆොටෝ එකක් ගත්තා ටයිම් තියලා. ඒකත් නිකන් එකක් නෙවෙයි කිස් කරන් ඉන්න එකක්. අනික මම නාන ගමන් බාත්ටබ් එකේ ඉද්දි එයා මට පෙන්න පෙන්න චාටර් කරන්න හිතන් ගත්තු සෙල්ෆි එකක්. මගෙ ටවල් එකේ බාගයක් පේන්නත් එයා එයාගෙ අතින් මගෙ කම්මුල මිරිකගෙනත් හිනා වෙලා ගහපු පොටෝ එකක්.
මේ දෙක දැක්කම ඕනි මනුස්සයෙකුට තේරෙනවා හේෂාන් යුවසිංහ මෙච්චර කාලයක් ගෑනු ළමයෙක් එක්ක ලිවින් ටුගෙදර් කරලා තියනවා කියලා. ඒත් මට තියන එකම ප්‍රශ්නේ මේ ෆොටෝ දැන් මගෙ ලඟවත් නැති එකේ ඇන්ඩෲස්ගෙ අතට ගියෙ කොහොමද කියලා. ඒකත් මටත් එයාටත් අගෞරවයක් වෙන පොටෝ දෙකක් ?
"ලස්සන කපල් එක.. ඒත් මට ඒ ලස්සන අදාල නෑ. මේ ෆොටෝ දෙක FB වැටුණම, එකේක වෙබ්සයිට් වලට වැටුණම ඔයාටම තමා ඩිස්රෙස්පෙක්ට් එක. හේෂාන් නම් පිරිමියෙක් නේ. ඒත් ඔයාගෙ මේ ෆොටෝ දෙක රිලීස් උනොත් එහෙම හොඳ හොඳ එඩිට් යයි."
"ඇයි මට මෙහෙම කරන්නේ.."
මට බැරිම තැනයි ඇඬුනේ. ඇයි දෙවියනේ මේ මනුස්සයා මෙච්චර දරුණු විදිහට මගෙන් පලිගන්නේ. එයාට මේක විසඳගන්න පුළුවන් හේෂාන්ට කියලා. ඒකට මේ මාව ගාව ගන්නෙ ඇයි.
"අඬන්නෙ නැතුව මේක අහගන්නවා ළමයා. මේ පොටෝ එක ගහලා එව්වේ වෙන කවුරුවත් නෙවෙයි ඔයාගෙ මහලොකු ඩ්‍රයිවර්ගෙ දුව."
"මොකක් ?"
යශෝදි නංගි ඇයි එහෙම දෙයක් කරන්නේ. එයා මං එක්ක හරි එකතුයිනේ.
"ඔව්.. සල්ලි දැක්කම පිළිම වලට උනත් පණ එනවා. මං ඒ කෙල්ලට මේක කරලා දෙන්න කියලා පන්දහෙ කොල දහයක් දුන්නා විතරයි. ඒ සොච්චමට තමයි ඒ කෙල්ල මෙච්චර දෙයක් කලේ. මට ඕනි උනෙ මගෙ දෝණිට පෙන්නන්න. දේවදූති වගේ Ex ව පූජ කරන්න හදන කෙල්ල හොරෙන් ඌ එක්කම නටන නැටුම්..
තමුන්ට කාගෙ qualities ද තියෙන්නෙ කියලා දැන් මට තේරෙනවා. අවසාන වතාවට මට මෙච්චරයි කියන්න තියෙන්නෙ. මම තමුසෙව ඇවිත් මරලා වල දාන්න කලින් මේ Option තුනටම කැමති වෙනවා..
එක.. තමුන් යුවසිංහ ගෲප් එකෙන් අයින් වෙන්න ඕනි. දෙක.. තමුන්ට ඔය හේෂාන්ගෙන් එන සල්ලි නවත්තලා දාන්න ඕනි. තුන.. තමුන් ඔය ගෙදරින් වෙන කොහාට හරි යන්න ඕනි හේෂාන්ට හොරෙන්. මේ තුන Birthday එක වෙද්දි වුණේ නැත්තම් මං තමුන්ව මරලා වත්ත පල්ලෙහා වල දානවා කාටවත් හොයාගන්න බැරි වෙන්නම. තේරුණාද ?"
ඇන්ඩෲස් එහෙම කියද්දි මගෙ ඇඟම සීතල වෙලා ගියා. මෙච්චර දරුණු මිනිහෙක් කෝල් කරලා තර්ජනය කරනකොට කොහොමද එහෙම නොවෙන්නේ. මට මගෙ ජීවිතේ ඕනි නම් ඔය කියන විදිහට Birthday එකට කලින් හැම දෙයක්ම වෙන්න ඕනි. ඒත් කොහොමද එහෙම කරන්නේ. මම කොහොමද මේ සතියට මේ හැමදෙයක්ම අතාරින්නේ.
"තමුන් Birthday එකට ඇවිත් අවසාන වතාවට හේෂාන්ට මූණ පෙන්නලා යනවා. හැබැයි ඊට පස්සෙ තමුන්ට හේෂාන් ඉස්සරහට එන්න බෑ. කිසිම හේතුවක් මත. හැබැයි මට ආරංචි උනොත් තමුන් මගෙ Options වලින් පිට ගියා කියලා, ඒ තමුන්ගෙ අවසාන මිනිත්තු දෙක තුන තමයි. මට ඕනි නම් තමුන් ඔහොම්ම කතා කර කර ඉද්දි ඔළුවටම තියලා දාන්න 😄..
මගෙ දෝණිගෙ සතුට මට වටින්නේ. ඒ නිසා මට මිනීමරුවෙක් වෙන්න බැරිකමක් නෑ ළමයා. තමුන් අපේ බිස්නස් කනෙක්ෂන් වලට, රාදිතාගෙයි හේෂාන්ගෙයි ලයිෆ් එකට ඇඟිලි ගහන්න එන්න හිතන්නවත් එපා. තව දෙයක් තමුන් මේ දේවල් හේෂාන්ට කියලා හරි රෙකෝඩ් කරලා යවලා හරි තිබුණොත් ඉතින්, ජීවිතේ තව සතියක් කෙටි කරගන්නයි යන්නෙ.. Did you understand that ?"
"Y..Yeah."
වෙන කියන්න දෙයක් තිබුණේ නෑ මට. හිමිහිට හිමිහිට කරන්න හිතන් හිටපු හැම දෙයක්ම ඇන්ඩෲස් මට සතියකට කෙටි කරා. දැන් කොහොමද මං මේ හැම දෙයක්ම වෙනස් කරගන්නෙ මගෙ ජීවිතේ වෙනුවෙන්.
"තව හොට් නිව්ස් එහෙම එයි ඉදිරියට. එතකන් බලන් ඉන්න. හැබැයි මේ ගැන කාට හරි කියලා තිබුණොත්......"
"නෑ මං කියන්නෙ නෑ."
"අන්න එහෙම එනවා. එහෙනම් Good Night ළමයා."
ඇන්ඩෲස් එහෙම කියලා කෝල් එක කට් කරද්දි මං ඇඳ උඩ නිකන්ම ඉන්දවුණා. කඳුළු නිසා මගෙ ලා දම් පාට උරපටි ගවුමේ කරත් තෙත් වෙලා. ඇයි දෙවියනේ මේ මට මෙහෙම ජීවිතයක් දුන්නේ. ඇයි මට මෙහෙම තර්ජන එල්ල කරලා මාව පුළුවන් තරම් බිංදුවට වට්ටන්න හදන්නේ ?
හේෂාන් මගෙ හිත පොඩ්ඩක් හරි සනසලා ගියා විතරයි ඇන්ඩෲස් කෝල් කරලා මට මරණ තර්ජන එල්ල කලා. ඒ මදිවට යශෝදි නංගිත් මාව රැවැට්ටුවා. මේ සේරමත් නෙවෙයි. ඇන්ඩෲස් ෆර්නැන්ඩස්ගෙ අතට මගෙයි හේෂාන්ගෙයි ඒ ෆොටෝ දෙක ගියෙ කොහොමද. ඒක මං ගාවත් නැත්තම් කොහෙන්ද එයාට. අනික ඔය දෙක තියන එකේ මගෙ අනිත් හැම ඩීටේල් එකක්ම, එයාගෙයි මගෙයි එෆෙයා කේ හැම ඩීටේල් එකක්ම ඇතිනේ.
නාලාගිරි ඇතාව මත් කරලා කුලප්පු කරලා එව්වා වගේ තාත්තාම ෆොටෝ ගස්සලා දුවට ෆොටෝ එක යවලා දුවව කෝපාවිෂ්ට කරලා මට ගැස්සෙව්වා. මගෙන් පලිගත්තා. ඉතින් තවත් හේෂාන් අතින් එයාගෙ පාලනය ගිලිහිලා අපි අතර මේ වගේ දෙයක් උනොත් ඒ මගෙ අවසානය වගේම හේෂාන්ගෙත් අවසානය. මොකද මට ඇන්ඩෲස් මොනා හරි කළොත් හේෂාන් නිකන් ඉන්නෙ නැති නිසා. එයා තරහට ඇන්ඩෲස්ට හරි රාදිතාට හරි මොනා හරි කළොත්.
අකමැත්තෙන් උනත් මට සිද්ධ වෙනවා යුවසිංහ ගෲප් එකට රෙසිග්නේෂන් ලෙටර් එක දෙන්න, ඒ වගේම හේෂාන්ගෙන් ඈත් වෙන්න. එයාගෙ සල්ලි අතාරින එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් මට එයාව අමතක කරලා දුරකට ගිහින් ජීවත් වෙන්න අමාරු වෙයි.
දැන් මට අපි වෙනුවෙන් මේක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ලබන ආත්මෙක හරි ඔයා මගෙම වෙලා, මම ඔයාගෙම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මට හැම දෙයක්ම අතාරින්න වෙනවා. ඇන්ඩෲස් මොන වගේ කෙනෙක්ද කියලා මට එවිඩන්ස් ලැබිලා නෑ. ඒත් එයා කතා කරපු විදිහෙන් එයා ඒ වගේ නරක දේවල් වලට පළපුරුදු නැති කෙනෙක් කියලා කියන්නත් බෑ. එවෙලෙ ඒ කටහඬේ ගැබ් වෙලා තිබුණු තර්ජනාත්මක හඬ මගෙ කන් වල තාම රැව් දෙනවා වගේ..
................................................... 🖤 ...
දැන් ඉතින් මින්දි ඇන්ඩෲස්ගේ ටාගට් එකක් වෙලා ඉවරයි ඔන්න 😥
Season 01 වල අවසානයට ඔයාලා ලං වෙනවා ළමයි ටිකෙන් ටික.
Season 02 කියන්නේ මේ මුල ඉඳලා වැටුණු හැම ප්‍රශ්නයක්ම විසඳිලා කතාවේ අවසානයට යන එක
(අනිත් කතා වගේ නෙවෙයි. මේක දිග එකක් ළමයි. කතාව දිග් ගැස්සුනේ මම මින්දි හිතන දේවල් වලින් කතාවේ කන්ටෙන්ට් එක පුරවන නිසා)
(මේ කතාව සම්පූර්ණයෙන්ම දුවන්නේ මින්දිගේ සිතුවිලි වලින්. ඒවා තමයි මේ ටයිප් කරලා එවන්නෙ මං 🤗)
Sachy Collins