Spring is far away - 49
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 49 | Azaleas
"මට විශ්වාස කරන්න බෑ මං හේෂාන් සර්ගෙ Ex එක්ක කතා කරා කියලා."
එයා එහෙම කියද්දි මං හිනා වෙලා බිම බැලුවා. නම දන්නවා උනාට මිනිස්සු වැඩිය මගෙ පෙනුම ගැන දන්නෙ නෑ. අනික මිනිස්සු හිතුවත් හිතන්නෙ මං ගැන නෙගටිව් විදිහට.
"මට දැක්ක දවසෙම හිතුණා මිස් පෝසත් තැනක ගෑනු ළමයෙක් කියලා."
"ඔයා දන්නෙ නැද්ද මං අනාත නිවාසෙක හැදුණෙ කියලා ?"
"අහ්.. නෑනෙ."
"ඇයි යූ ටියුබ් එකේ ඒක දාලා තිබුණෙ නැද්ද ?"
"නැහැ."
පුදුමයි. ඕකෙ ඉන්න ගොසිප් කාරයෝ ඒක හොයාගෙන නැතුව කිව්වම. මොනවා උනත් හිරුෂාන් පුදුමෙන් පුදුමෙට පත් වෙලා.
"මිස් එක දවසක් යුවසිංහ හොටෙල් එකට ආවා.. කුරුණෑගල එකට."
"ඔයා කොහොමද දන්නේ ?"
"මම එතන තමයි වැඩ කලේ."
"හහ් ?"
මං සේරන්ටත් වඩා පුදුමෙන් හිරුෂාන් දිහා බලද්දි, එයා මගෙ දිහා බැලුවේ ලාවට හිනාවක් පාලා. ඒ කියන්නේ එයාත් කලින් වැඩ කරලා තියෙන්නෙ යුවසිංහ ගෲප් එකෙද ?
"මං අවුරුදු පහකටත් වඩා කුරුණෑගල යුවසිංහ ග්‍රෑන්ඩ් හොටෙල් එකේ ගාඩ්න් එකේ වැඩ කලා. අන්තිමට මට ප්‍රමෝශන් එකක් හම්බුණා. එහෙ ගාඩ්න් එක බාරව හිටියේ මම."
"එතකොට.. එතකොට ඇයි ඔයා මෙතන වැඩ කරන්නේ.. ඔයාට තිබුණනේ එතන වැඩ කරගෙන ඉන්න. කොච්චර සැලරි එකක්ද ?"
"අයින් වෙන්න ලොකු හේතුවක් තිබුණා."
"ඒ මොකක්ද ?"
"මගෙ ඇඟට අමාරුකම් එන්න පටන් ගත්තා. මං අසනීප වුණා."
"අපරාදේ.. මම අද යුවසිංහ එකේ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්. මගෙ සැලරි එක ලක්ෂයකට ලං වෙන්න. එහෙම බැලුවම ඔයාට ඊට වඩා ඇති."
"ඔව්.. මං අන්තිමට ඊට වඩා ගාණක් අතට අරගත්තා. ලස්සන ගේකුත් හැදුවා."
"එතකොට කෝ ඒ ගෙදර ?"
"ඒක දැන් නෑ මිස්. මං ආස නෑ පරණ දේවල් මතක් කරන්න. මිස් උනත් එහෙමනේ."
"ඒක හරි. මට සමාවෙන්න පරණ දේවල් ඇවිස්සුවාට."
"කමක් නෑ.. ඒක නෙවෙයි මිස්.. මිස් අවුලෙන් ඉන්නෙ ඇයි කියලා මිස් මට කිව්වෙ නෑනේ."
හිරුෂාන්ටත් මට වගේම වේදනාත්මක මතකයක් ඇති. ඒ නිසාම එයා කතාව අනිත්පැත්ත හැරෙව්වා. ඒත් මං එයාට මේ පටලැවිල්ල ගැන කොහොම කියන්නද මංදා.
මොනවා උනත් එයා හොඳ කෙනෙක්. මම කව්ද කියලා දැන ගත්තත් එයා මට කිසිම වෙනසක් කලේ නෑ. අනික එයා ඕනිම වෙලාවක මගෙ දුක අහන්න ලෑස්තියි. මෙහෙම කෙනෙක් ගෑනු ළමයෙක්ට ලැබනවා නම් ඒක පෙර වාසනාවක්.
"මේකයි.. කෙනෙක් මාව ගෲප් එකෙන් අයින් කරන්න ඕනි නිසාම මගෙ මැනේජර්ව වැරදි කාරයෙක් කරන්නයි යන්නේ. ඒක එයාලගෙ ප්ලෑන් එකක් කියලා මං අද දැනගත්තා. ඒත් මට තාම බැරි උනා මේක හේෂාන්ට ඔප්පු කරන්න. මට කිසිම සාක්ෂියක් ගන්න බැරි උනා එයාලා එහෙම කරනවා කියන්න."
"බයවෙන්න එපා මිස්.. කිසිම විදිහේ නෙගටිව් දෙයක් වෙන්නෙ නෑ ඔයාගෙ ජීවිතේට. ඔයා ඔය ගැන වැඩිය හිතන්න යන්නත් එපා. හැබැයි එහෙමයි කියලා ඔයා නිකන් ඉන්නත් එපා. ඒ කෙනාට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔයා කොහොම හරි එවිඩන්ස් එකක් හොයා ගන්න. එතකොට පුළුවන් නේ ඔයාට හේෂාන් සර්ට ඒක ඔප්පු කරන්න."
"හ්ම්.. මං පුළුවන් තරම් උත්සහ කරන්න ඕනි. මං කැමති නෑ මං වෙනුවෙන් අනිත් අය දුක් විඳිනවා බලන්න."
"ඒක හරි. මාත් එහෙමයි. මම දුක් විඳලා හරි අනිත් අයව සතුටු කරන්නයි මාත් ආසම."
එයාගෙ අතීතය මොන වගේ උනත් මට වැඩක් නෑ. ඒත් එයා නිසාම මං ගොඩාක් මෝටිවේට් උනා. හිරුෂාන්ට පුළුවන් ඇවිලෙන ගිනි ගොඩක් ඇතුළෙ හිර වෙලා පිච්චි පිච්චි ඉන්න මනුස්සයෙක්ට පවා සිසිලසක් දෙන්න. එහෙම මිනිස්සු හරි අඩුයි මේ ලෝකෙ.
"තැන්කියු හිරුෂාන්.. ඔයා කතා කරන විදිහට, ඔයා කියන දේවල් වලට මට ලොකු එනර්ජි එකක් ලැබෙනවා. ඇත්තටම ඔයා හොඳයි සයිකෙයාට්‍රිස්ට් කෙනෙකුට."
"අහ්.. මිස් වෙන්න ඇති මං එක්ක මෙහෙම හරි වෙලාවක් වෙන් කරන් කතා කරපු එකම කෙනා."
"මට එදත් අදත් දෙන්න තියන එකම උත්තරේ, ඔයාව මගෙ හිතට දැනුණා කියන එක. අපි දෙන්නා ගොඩාක් වෙනස් මිනිස්සු හිරුෂාන්. ඒත් ඔයා මාව Guide කරන්න හොඳයි කියලා මට හිතෙනවා. ඔයාව හම්බුණු දවස් දෙක තුනට මට ඔයාව හිතට ඇල්ලුවා."
"මිසුත් මට එහෙම තමයි. අවුරුදු ගාණකට පස්සෙ තමයි මට මෙහෙම හරි කෙනෙක් හම්බුණේ, මං එක්ක කතා කරන්න ආස."
"අහ්.. එහෙනම් අපි දෙන්නම එකම බෝට්ටුවේ."
මං එහෙම කියලා ගඟ දිහා බලන් හිටියා. ගං ඉවුරට ඇසේලියා පඳුරෙන් වැටුණු මල් පල්ලමේ ගිහින් තණකොල්ලෙන් ගලන ලා නිල් වතුරට වැටෙනවා. ඊට පස්සේ ඒවා ගල් අස්සෙන් ගඟ එක්කම ඉදිරියට යනවා. ඒත් සමහර මල් තැනින් තැන නැවතිලා. සමහරු ගල් උඩ, සමහරු අතු පතර රැඳිලා. සමහරු ඉවුරෙන් ගගට නෙරපු තණකොල වල වැදිලම මග නැවතිලා වතුර වලට යන්න ඉඩ හරිනවා. ඒත් පාවෙලා ආපු සමහර මල් ඇවිත් ඒ රැඳුණු මල් වලට අත දීලා එයාවත් එක්ක ඒ ගමන එක්ක යනවා.
ඉතින් මාත් ඒ ඇසේලියා මලක් වගේම කෙල්ලෙක්. මගෙ ජීවිතේ කියන ගඟේ ගල්පර, ගස් අතු, පඳුරු, වගේ ඕනි තරම් බාධක හම්බුණා. ඒත් ඒ හැම තැනින්ම වගේ මම වැදිලා නැවතුණා. අවුරුදු අටක්ම හේෂාන් මලක් වෙලා ඒ ගඟේ පාවෙලා ඇවිත් මම නවතින නවතින තැන් වලින් මට අත දීලා එක්කන් ගියා. ඒත් දැන් මං තනියම එක තැනක නැවතිලා.
"මිස් මාව විශ්වාස කරලද හේෂාන් සර්ගෙයි මිස්ගෙයි ඇත්තම කතාව කිව්වේ ?"
"මම එයාගෙ Ex කියලද ?"
"හ්ම්ම්."
"එහෙනම් මං ඒ විශ්වාසය බිඳින්නෙ නෑ මැඩම්. මං කාටවත් නොකියා ඉන්නම් මිස් හේෂාන් යුවසිංහගෙ Ex කියලා."
"මං දන්නවා ඔයා ඒක නොකරන බව."
හවස පහටත් ලඟයි. මං තාමත් දවල්ටවත් නොකා පරඬැලක් වගේ ප්‍රශ්න ගැන හිතන ගමන්. මං ඉස්සර සතුටින් ඉද්දි, හරි හරියට කාපු කෙනෙක්. ඒත් දැන් මට ඕනි නොකා නොබී හරි මේ වේදනා විඳින ජීවිතෙන් ගොඩ වෙන්න.
"මේ දවස්වල වැහි අඳුර නිසා හවස පහ වෙද්දිත් වටේ කරුවල වීගෙන එන්නේ. මිස් වැඩි වෙලා ඉන්න එපා. වහින්න ගත්තම පාර පේන්නෙ නැති වෙන්නම වහිනවා."
"ඔව්.. මං යන්නත් ඕනි."
මං එහෙම කියලා නැගිට්ටා. ඒ එක්කම හිරුෂානුත් නැගිට්ටේ ඇසේලියා මල් වැටුණ ගඟ දිහා බලන ගමන්.
"මිස් ආයෙමත් දවසක එන්න. දවල් වෙලාවක ඇවිත් මාව හම්බවෙන්න. මෙවෙලෙට වහිනවයි, කරුවලයි නේ."
"මං ආයෙමත් දවසක එන්නම්. හැබැයි මට යන්න කලින් ඔයාගෙන් අහන්න දෙයක් තියනවා."
"මොකක්ද මිස්."
"ඔයා අයිසින් වලින් මොනවටද ආස, කේක් වලින් එහෙම ?"
"ම්ම්.. මං ආසයි විපින් ක්‍රීම් පුරවලා මැදින් චෙරි ගෙඩියක් ගහපු චොකලට් කප් කේක් වලට."
"හොඳ තේරීමක් නේ. මං රසට කේක් හදන්න දන්නවා. ඊලඟ සැරේ එද්දි මං ඔයාට ඒ කිව්ව විදිහටම කප් කේක් හදන් එන්නම්."
"මිස් කේක් හදන්න දන්නවද ?"
"හ්ම්.. මං දන්නවා.. ඇයි ?"
"අයියෝ.. දන්නවා නම් මං එහෙම කියන්නෙත් නෑ. මිස්ට මං හින්දා බොරුවට කරදර."
"එහෙම එකක් නෑ හිරුෂාන්.. මං අනිවාර්යයෙන් ගේනවා එදාට. හැබැයි ඔයා දැන්වත් මට ඔය මිස් මිස් කියන එක නවත්තන්න. මට මින්දි කියලා කතා කරන්න."
කතාවෙන් කතාව හිරුෂානුයි මායි කාර් එක ගාවටම ඇවිත්. ඒත් අවසානම වතාවට මට එයාගෙන් අහන්න දෙයක් තියනවා.
❝ එහෙනම් මං ඊලඟ දවසෙ එද්දි කැප් එක ගලවලා පෙන්නන්න ඕනි හරිද ❞
❝ හ්ම්.. එදාට බලමු ❞
එදා මායි එයායි එහෙම කතා උනාට අද මං හිටපු තත්වෙ එක්ක මට ඒ ගැන අවසානෙ වෙනකම්ම මතක් උනේ නෑ. ඉතින් මට හිතුණා මෙවෙලෙ ඒ ගැන අහන්න.
"මේ.. හිරුෂාන්.."
"මිස් ?"
"ඔයා මට කලින් දවසෙ ප්‍රොමිස් උනා කැප් එක ගලවලා පෙන්නනවා කියලා."
"......"
ඒ පාර එයාගෙ සද්දයක් නෑ. අදත් හරියට මූණ පෙන්නන්නෙ නැතුව හොරාට මාරු වෙන්නද කොහෙද එයාගෙ කල්පනාව.
"කෝ.. මට දැන් ගලවලා පෙන්නන්න කැප් එක."
"ඕනිමද ?"
"නැත්නම්.. මං කවදා ඉඳන්ද බලාගෙන ඉන්නේ."
"එහෙමද.. හැබැයි මිස්ට මට කියන්න එක දෙයක් තියනවා."
"මොකක්ද ?"
ආයෙමත් පාරක් හිරුෂාන් මං දිහා බලාගෙන ඉඳලා ඈත බලාගත්තා. එයා අද වෙනස් හරියට. විශේෂයෙන්ම මං කැප් එක ගලවන්න කිව්ව වෙලේ ඉඳන් එයා හිටියාටත් වඩා වෙනස් උනා.
"මං දිහා අනුකම්පාවෙන් බලන්න එපා.. මං ආස නෑ ඒකට."
"මං මොකටද හිරුෂාන් ඔයා දිහා අනුකම්පාවෙන් බලන්නේ ?"
මං හිනා වෙලාම එයාට එහෙම කිව්වා. ඒත් වෙනදාට මම හිනා වෙද්දි පෙරලාම හිනා වෙන එයා දැන් අමුතුම Emotion එකකින්.
"කෝ ඉතින් ?"
එකපාරටම එයා පුංචි හිනාවක් මට දීලා ඒ ඔළුව වනලාම කැප් එක හිමින් සීරුවේම ගැළෙව්වා. කිසිම දවසක මම කිසිම විටෙක නොහිතපු දසුනක් මගෙ ඇස් වලට පෙනෙද්දි මගෙ ඇඟ සීතල වෙලා ගියා වගේ දැනුණා.
මෙච්චර කාලයක් කැප් එකෙන් වැහිලා තිබුණ එයාගෙ කොණ්ඩෙ බලන්න මං ආසාවෙන් හිටියත් ඒ ඔළුව පුරාම එක කෙස් ගහක් වත් තිබුණෙ නෑ. මේ හැම දේකම ඇත්ත මට තේරුණත් මම පුළුවන් තරම් ඒක ඇත්තක් නෙවෙයි කියලා පිළිගන්න උත්සහ කලේ ඇස් වලින් ඔන්න මෙන්න වැටෙන්න එන කඳුළුත් දැඩි ආයාසයකින් පස්සට අදින ගමන්.
"අහ්.. ලස්සන හෙයාස්ටයිල් එක.. ඇත්තටම ඔයාට එහෙම ලස්සනයි හිරුෂාන්.. වැඩ කරද්දි දාඩිය දානවත් එක්කනේ.. නේද.. ඒ නිසා ඔහොම ඉද්දි පහසුයිනේ."
කඳුළු පිරුණු ඇස් වලින්ම මං හිනා වෙවී කියවද්දි හිරුෂාන් එයාගෙ දකුණතේ තිබුණු කැප් එක මිරිකගත්තේ මගෙ ඇස් එයාගෙ විඩාබර පෙනුමක් තිබුණු ඇස් එක්ක බැඳෙද්දි.
"ඒක ඔයාට ගැලපෙනවා.. Perfect.."
මට පිළිගන්න බෑ මගෙ ඇස් දෙකට පේන්නෙ සෘණාත්මක දෙයක්ද ධනාත්මක දෙයක්ද කියලා. ඒත් මට තරයේම හිතුණ එකම දේ මම පිළිගන්නෙ නැතුව පුළුවන් තරම් මගෙ සංවේදී හිත එක විනාඩි ගාණකට හරි රැවැට්ටුවා.
"මේක මම හිතලා කරගත්තු හෙයා කට් එකක් නෙවෙයි මිස්.. මේක මට දෙවියො දුන්න දඬුවමක්."
මෙච්චර වෙලා පිළිගත්තු නැති ඇත්ත මට හිරුෂාන් විසින්ම, පිළිගන්න කියලා අණ කරද්දි මම කොහොමද එහෙම නොකර ඉන්නේ.
"ඔයාට.. කැන්සර් එකක් නේද ?"
"ඔව්."
යටි ඇහිපිය වලින් පෙරුණු කඳුළු මගෙ කම්මුල් දිගේම පෙරිලා ගියේ නිකන්ම මගෙ අත් දෙකට කාර් එකේ බඳ අහුවෙද්දි. හිටගෙන ඉන්නවත් පණක් නෑ කියලා මට දැනුණු නිසාම මං කාර් එකට වාරු උනා.
"ඇ..ඇයි මට කලින් කිව්වෙ නැත්තේ ?"
"මිස් මාව පිළිකුල් කරයි කියලා මට හිතුණා."
මගෙ කම්මුල් වලට දරාගෙන ඉන්න බැරි කඳුළු තණකොල්ලෙ අතුරලා තියන ඉන්ටර්ලොක් ගල් උඩට වැටුණා. කොහොම මං එයාව පිළිකුල් කරන්නද. එයා එක දවසකට හරි මාව මෝටිවේට් කරපු එකම මනුස්සයා..
"මං මොකටද හිරුෂාන්.. එහෙම කරන්නේ.. එහෙම කරාම.. මට ලැබෙන්නෙ.. මොනවද ?"
"මෙතෙනට ආපු හැම මනුස්සයාම මං ගැන දැන ගත්තට පස්සෙ හැසිරෙන විදිහටම මිසුත් හැසිරේවි කියලා මං හිතුවා."
"නෑ.. මට එහෙම කරන්න බෑ.. මං ඒ වගේ නපුරු මිනිස්සුන්ගෙ ජාතියේ කෙනෙක් නෙවෙයි."
"ඒක තමයි මට මිස්ව මෙච්චර දැනුණේ."
පපුවට දැනුණේ එසේ මෙසේ බරක් නෙවෙයි. මගෙ උගුරත් දෙකට කැඩෙන්න වගේ හරි වේදනයි. ඒත් ඇයි මං මෙච්චර දුක් වෙන්නේ. හිරුෂාන් කියන්නෙ මං ආදරේ කරන කෙනා නෙවෙයි. මං ආදරේ හේෂාන්ට. ඒත් එහෙම වෙලත් ඇයි දෙවියනේ මට මෙච්චර දුකකුයි බයකුයි දැනෙන්නේ ?
මගෙ ඇස් වලින් වැටුණ කඳුළු වලින් තෙත් වුණු ඉන්ටර්ලොක් ගල් දිහා හිරුෂාන් බලාගෙන හිටියේ හිස් හැඟීමකින්. එහෙම්ම ඒ ඇස් මගෙ පැත්තට හැරුණා.
❝ ඔයා හිතනවා වගේ විහිළුවක් නෙවෙයි මේක. අපි මේක මෙතනින්ම නවත්තලා දාමු ❞
එදා එයාපෝර්ට් එකේදි හේෂාන්ගෙ ඇස් වල තිබුණ ඒ මලානික හිස් පෙනුම අදත් නොවෙනස්ව ඊට හාත් පසින්ම වෙනස් උන මනුස්සයෙක් වෙච්චි හිරුෂාන්ගෙ ඇස් වලත් තිබුණා.
"මට ලියුකේමියා.. දැන් අවුරුදු පහක් විතර මං ඒ ගැන දැනගෙන. ඒකයි මං රස්සාවෙනුත් අස් උනේ. කවදාම හරි දවසක එයාලා මාව පිළිකුල් කරලා එළවගන්න කලින් මං මගේ කැමැත්තෙන්ම එයාලට කියලා හැරිලා ආවා..
මට ලස්සන පවුලක් තිබ්බා මිස්. ඔයා වගේම ලස්සන ගෑනු ළමයෙක් මං ගාවටම වෙලා මට ආදරෙන් හිටියා. අපිට චූටි පුතෙකුත් හිටියා. මං වගේම, මගෙම කොපියක්. මගෙ හැම දෙයක්ම උනේ ඒ දෙන්නා. හැබැයි..
මේ ලෙඩේ මං ගාවට ආපු දවසෙ ඉඳන් මට ඒ හැම දෙයක්ම නැති උනා. එයාට මං වගේ ලෙඩෙක් එක්ක ඉන්න බෑ කිව්වා. එයාට එයාගෙ ජීවිතේ හොඳම කාලෙ සතුටින් ගෙවන්න ඕනි කිව්වා. ඉතින් මං එයාටයි මගෙ පුතාටයි යන්න දුන්නා. මං දුක් විඳිනවා බලන්නෙ නැතුව මං එයාලට යන්න දුන්නා..
ඊට පස්සෙ එයාලා මං ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ලස්සන ජීවත් වෙනවා කියලා මට ආරංචි උනා. එයාලා ඉන්නකම්ම මං පුළුවන් තරම් මගෙ සේසතම වියදම් කරලා ට්‍රීට්මන්ට් කලා. ඒත් ඩොක්ටර් කිව්වා මගෙ ඇඟේ 50% ත් වඩා කැන්සර් එක පැතිරිලා කියලා. එදයින් පස්සෙ මං ට්‍රීට්මන්ට් නැවැත්තුවා..
එයාලා දෙන්නා මං මේ විදිහට මැරි මැරි හොස්පිටල් එකක ඇඳ උඩට වලා විඳවනවා දකින්න ආස නැති නිසාම මම මෙහෙට වෙලා නැවතිලා මේ රස්සාව පටන් ගත්තා.. දැන් මං සතුටින්.. එයාලත් සතුටින්.."
"........"
අතට තද කරගෙන හිටපු කටින්ම නිකන්ම සද්දෙට ඉකියක් පිටවෙද්දි මං අනිත් පැත්ත හැරුණේ හිරුෂාන් පුදුමෙන් මගෙ දිහා බලද්දි.
"මිස්.. මිස් ඇයි දුක් වෙන්නේ.. මම දැන් ඉන්නෙ ගොඩාක් සතුටින්."
ඇස් වලින් නොනවත්වාම ගලාගෙන එන මේ කඳුළු මට කවදාවත් නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. හිරුෂාන්ට ඒක හිනා වෙවී කියන්න පුළුවන් උනාට මට ඒ කතාව හිනා වෙවී අහන් ඉන්න බැරි උනා.
කොහොමද මං හිනා වෙවී අහන් ඉන්නේ. එයා මරණය අභියස ඉන්න මනුස්සයෙක්. එහෙම එකේ කොහොමද මං හිත හදාගෙන කතා කරන්නේ. තමන් කවදාම හරි විඳවලා මැරෙන බව දැන දැනම ජීවත් වෙන එක මොන තරම් වේදනාවක්ද කියලා මට දැනුණේ එයාගෙ කිසි ගාණකට නැති වචන ඇහිලා.
"ඔයා.. ඔයා කොහොමද හිරුෂාන්.. මෙහෙම කතා කරන්නේ.. ඔයා කොහොමද.. හිත හදාගත්තේ ?"
"මුලදි මටත් ඔය වගේම ඇඬුණා මිස්. ඒත් අන්තිමට මට මොන දෙයක් කිව්වත්, කවදාකවත් මේ ඇස් වලින් කඳුළු ආවෙ නෑ."
"ඔයා ඒ දෙන්නව දැක්කෙ නැද්ද ආයෙ ?"
"නෑ.. එයාලා මාව දාලා ගියපු දවසෙ ඉඳන්ම මං එයාලව දැක්කෙ නෑ. හැබැයි එයා මට ලියුමක් එවලා තිබුණා මම හොඳින්ද අහලා. එච්චරම තමයි."
එයාට තේරෙන්නෙ නෑ එයා කොච්චරක් නම් වේදනාවකින් කතා කරනවාද කියලා. ඒත් එයා කියන දේවල් අහන් ඉන්න මට තේරෙනවා ඒ හිතේ තියන වෙදනාව. අද හිරුෂාන්ගෙන් පිට වෙන්න ඕනි කඳුළු මගෙ ඇස් වලින් පිටාර ගැලුවා.
"මිස් අඬන්න එපා.. මිස් ඔහොම අඬනවා කියලා දන්නවා නම් මං මුකුත්ම නොකියා ඉන්නවා."
"මම කොහොමද හිරුෂාන් නාඬා ඉන්නේ.. මම කොහොමද ඔයා වගේ මේ හැම දෙයක්ම දරාගෙන හිනා වෙලා කතා කරන්නේ.. මට ඒක කරන්න බෑ.."
"කඳුළු හෙළුවා කියලා අපිට අතීතය වෙනස් කරන්න පුළුවන් නම් මං අදටත් අඬනවා.. මගෙ හුස්ම හිරවෙනකම්ම හරි අඬලා මං ඒ අතීතය සම්පූර්ණයෙන්ම ආයෙ අලුතෙන් ලියනවා මිස්. එත් ඒක නිකන්ම විහිළුවක්. අපි ඒ ගැන හිතන්න ගත්තු කාලයත් අපරාදෙ."
මං බොහොම ආයාසයකින් මගෙ කඳුළු පාලනය කරගත්තා. ඒක කරන්නත් මට විනාඩි පහක් විතර ගියා. මට තේරෙන්නෙ නෑ මං හිරුෂාන්ට මොනවා කියන්නද කියලා.
"ට්‍රීට්මන්ට් නවත්තලා කොච්චර කල්ද"
"අවුරුදු දෙකක් වගේ."
"දෙවියනේ එච්චර.. මේක බේත් තෙල් ගාලා වත්, කසාය බීලාවත් හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි."
"කමක් නෑ මිස්. මටත් ඕනි ඉක්මනින් මේ ලෝකෙන් යන්න. ඊට පස්සෙ පුළුවන් නේ මට මීට වඩා ලස්සන ජීවිතේකට යන්න. ලබන ආත්මෙටවත්."
"අනේ එහෙම කතා කරන්න එපා. ඉන්න ටිකේ සතුටින් ඉන්න. ඔයා ආයෙමත් ට්‍රීට්මන්ට් පටන් ගන්න. නැත්තම්.. ඔයා.."
ආයෙමත් මගෙ ඇස් වල කඳුළු. මට කතා කරන්න බැරි තරම්. කවදාවත් මට මෙච්චර දුකක්වත් බයක් වත් දැනිලා නෑ.
ලෙඩේ තියෙන්නෙ හිරුෂාන්ට මින්දි. නැතුව හේෂාන්ට නෙවෙයි. ඇයි ඔයා මෙච්චර බය වෙන්නේ. ඇයි මේ පපුව මෙච්චර හයියෙන් ගැහෙන්නේ ?
"මට වැඩි කාලයක් නෑ මිස්. කියන්න බෑ මං හෙට උදේටවත් ජීවත් වෙලා ඉඳීවිද කියලා. ඉන්න ටිකේ මං මෙතන වැඩ කරගෙන ඉන්නවා. මම වෙන මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ."
"එහෙම කියන්න එපා.. ප්ලීස්.. ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ඇති කරගෙන අලුතෙන් ජීවිතේ පටන් ගන්න."
මම අහලා තියන විදිහට නම් ලියුකේමියා හැදුණු අය මැරෙන ප්‍රතිශතයට වඩා බේරගන්න ප්‍රතිශතය අඩුයි ලු. එයාලගෙ ලෙඩේ සුව කරත් ඒක ආයෙමත් කාලයකදි මතු වෙන්න ඉඩ කඩ වැඩීලු. ඒත් ඇඟ පුරාම පැතිරිලා තියන කැන්සර් එකක් කොහොම සනීප කරන්නද, හිරුෂාන් කියන විදිහට දැන් එයා පරක්කු වැඩියි නම්..
"හිරුෂාන්.."
"මිස් ?"
"ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් එක විශ් එකක් කරන්න."
"මොකක්ද මිස්.. මං ඒක කරන්නම්."
කියන්න තියා හිතන්නවත් අමාරු කාරණාවක් මගෙ මනසට ඇවිත්. ඒත් මට ඕනි ඇත්තටම ඒ දේ නොවී තියනවාට. මොකද එහෙම දෙයක් උනොත් මට ඒක දරාගන්න බැරි වේවි.
මං හිරුෂාන්ගෙ දකුණත මගෙ අත් දෙකට මැදි කරගත්තේ මගෙ ඇඟිලි එක්ක මුළු අතම වෙවුලද්දි. මට මෙච්චරයි ඕනි,
"ප්‍රාර්ථනා කරන්න.. හේෂාන්ට කවදාවත් ඔය වගේ ලෙඩක් හැදෙන්න එපා කියලා."
එයා පුදුමෙන් වගේ මං දිහා බලාගෙන හිටියා. මට කියන්න ඕනි උනේ එච්චරමයි. අද හිරුෂාන් කතා කරන වේදනාවෙන් හේෂාන් මගෙ ඉස්සරහට ඇවිත් කතා කළොත් මගෙ හුස්මත් හිර වෙයි.
"එයාට එහෙම උනොත්.. මට ඒක දරාගන්න.. බැරි වෙයි හිරුෂාන්.. මං.. එයාට ගොඩාක්.. ආදරෙයි.. එහෙව් එකේ......"
"නෑ මිස්.. මිස් ආදරේ කරන කෙනාට කවදාවත් එහෙම වෙන්නෙ නෑ. එයාට මේ වගේ ලෙඩක් හැදුණත්, මිස් ඉන්නකම් එයාට මුකුත් වෙන එකක් නෑ. අනිවාර්යයෙන්ම."
"තැන්කියු.. සෝ මච්."
මම දන්නෙ නෑ මං හිරුෂාන්ට කිව්ව දේ වැරදිද කියලා. ඒත් ඉස්සෙල්ලා හිටපු ගින්දරට වඩා ලොකු ගිනි ජාලාවක මං ගිලිලා ඉන්නවා කියලා මටම දැනුණා.
මං ආවෙ හිරුෂාන්ට කියලා හිත නිදහස් කරගන්න. ඒත් එයා ගැන දැනගත්තට පස්සෙ තිබුණටත් වඩා මගෙ හිත ඇවිළුණා. මට ඒක තේරුණේ මම ගුලි කරගත්තු මගෙ අත්ලම කොච්චරක් නම් උනුහුම්ද කියලා හිතන කොට.
"මිස් ආයෙ එන්න මාව හම්බවෙන්න. මං ආසයි මිස් එක්ක කතා කරන්න."
"මං අනිවාර්යයෙන්ම එනවා.. ලඟදිම එනවා.. එතකන් පරිස්සමින් ඉන්න ඕනි.. හරිද ?"
"මිස් කියනවා නම් හා."
ඇඬුවට පස්සෙ මගෙ ඇස් දැන්ද කොහෙද එයා එක්ක හිනා උනේ. ඒකත් හිරුෂාන් එක මොහොතකට හරි සතුටු කරන්න යොදපු ව්‍යාජ හිනාවක් විතරයි.
"ඔයාට සතියකට ට්‍රීට්මන්ට් වලට කොච්චර ගාණක් වගේ ගියාද ඒ දවස් වල ?"
"ඇයි මිස් එහෙම අහන්නේ ?"
"නිකන්."
"දහයකට ලං වෙන්න වගේ."
"හරි එහෙනම්.."
මං එහෙම කියලා කාර් එකේ දොර ඇරලා පර්ස් එක අතට ගත්තා. මගෙ කියලා වියදමට ගත්තු රුපියල් දහදාහ මං දකුණතට මිරිකගත්තේ එයාට දෙන්න හිතන්.
මට පුළුවන් නම් එයාගෙ ජීවිතේ බේර ගන්න. මම ලෑස්තියි ඕනිම දෙයක් දෙන්න. ඉතින් මට මේ රුපියල් දහදාහ එච්චර මුදලක් නෙවෙයි එහෙම බැලුවම.
"මේක ගන්න."
මං එයාගෙ අත අරගෙන මගෙ දකුණු අතේ තිබුණ පන්දාහෙ කොල දෙක එයාගෙ අල්ල උඩින් තිබ්බා. ඒ එක්කම හිරුෂාන් මං දිහා බැලුවේ වියවුල් වුණ බැල්මකින්.
"ඇ..ඇයි මේ මිස් ?"
"මේක අරගන්න. ආයෙ හොස්පිටල් එකට ගිහින් හරි ට්‍රීට්මන්ට් පටන් ගන්න."
"පිස්සුද මිස්ට. මේවා මට එපා."
එයා ආයෙමත් මගෙ අතට පන්දාහෙ දෙක දෙන්න හදද්දිම මං මගෙ අත් දෙක මිටි කරගත්තේ ආයෙමත් ඒ කොළ දෙක මගෙ අතට ගන්න කිසිම කැමැත්තක් නොතිබුණු නිසා.
"ප්ලීස් හිරුෂාන්.. මං කියන දේ අහලා ඕක අරගන්න. මං ආස නෑ ඔයාට මුකුත් වෙනවා දකින්න. ඔයා වගේ මනුස්සයෙක් නැති වෙනවා මට බලන් ඉන්න බෑ."
"ඒත් මිස් මං කලින්ම කිව්වනේ. මං දිහා අනුකම්පාවෙන් බලන්න එපා කියලා."
"මේක අනුකම්පාවෙන් දුන්න එකක් නෙවෙයි හිරුෂාන්.. මේක මම ඔයාට වෙලා තිබ්බ ණයකට දෙන දෙයක් කියලා හිතන්න."
"මිස්.. මේක අරගන්න."
"මට බෑ.. ඔයා අද මේක ගත්තෙ නැත්තම් මං මෙතනින් යන්නෙත් නෑ."
එයා මං දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. මටත් මුරණ්ඩු වෙන්නම උනා. නැත්තම් අද රෑට මට නින්ද යන්නෙත් නැති වේවි. මේ හැම දෙයක්ම මතක් වෙලා මට ගොඩාක් දුක හිතෙයි.
"මට බෑ මිස් මේක වියදම් කරන්න."
"ඔයා ඕක අරගෙන ඉක්මනින් හොඳ වෙන්න. මං උදව් කරන්නම් ඔයාට සනීප වෙන්න. ඊට පස්සෙ මං ඔයාව එක්ක යන්නම් ඔයාගෙ වයිෆ්වයි බබාවයි බලන්න. මං පොරොන්දු වෙනවා."
"එපා මිස්.. මට කලින් වගේම ඉන්න දෙන්න."
"බෑ.. මීට වඩා ලස්සන ජීවිතයක් ඔයාට තියනවා හිරුෂාන්. මං පුළුවන් උදව්වක් කරන්නම් ඔයාට. කලින් ජීවිතේ ආයෙමත් ගේන්න."
"මිස් හරි මුරණ්ඩුයි."
කාර් එකේ බඳට වාරු වෙලා ඉන්න මං දිහා රවලා වගේ බලලා හිරුෂාන් එහෙම කිව්වා. හේෂානුත් ඔය විදිහටම මට අනන්තවත් කියලා තියනවා. ඒ නිසාමද කොහෙද මට හිනා ගියා.
"හේෂානුත් මට ඔහොම කියනවා."
"මිස් බයෙන් ඉන්නෙ සර් ගැන. එහෙම නෙවෙයිද ?"
................................................... 🖤 ...
එහෙම නෙවෙයිද 🥺
🟣 ලයික් 100+වගේ කවුන්ට් එකට හැමදාම දෙන්න ළමයි කතාවට. මම දන්නවා මම ඔයාලා එක්ක ෆ්‍රෙන්ඩ්ලි රයිටර් කෙනෙක් නෙවෙයි. මම එකේක විකාර කොටන්නෙත් නෑ මේකෙ. එහෙමයි කියලා ලයික්, කමෙන්ට් නොදුන්නට බනින්නෙත් නෑ නරක විදිහට. ඉතින් හැමදාම මම උඩ කිව්ව ලෙවල් එකට ලයික් තියා ගන්න 💐
මම කරන්නේ මගේ වැඩේ විතරයි. ඔයාලට වෙනස් කතා ලියලා දෙන එක තමයි මගේ එකම අරමුණ 🖤
Sachy Collins