Spring is far away - 46

Spring is far away - 46

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 46  |  Who

Previous


"කව්ද ඔයා ?"


මං කාර් එකෙන් බැහැලා, දොරත් හයියෙන් වහලා එහෙම අහද්දි මගෙ හඬත් එක්කම එයා නැවතුණා. ඒ එක්කම එයා මගෙ පැත්තට හැරුණෙ හුරු පුරුදු කටහඬක් මගෙ කන් දෙකට ඇහෙද්දි.


"ඇයි අඳුනගන්න බැයිද ?"


"හෙ.. හේෂාන් 😨 ?"


මට විශ්වාස කරගන්න බැරි උනා මගෙ ඉස්සරහා හේෂාන් ඉන්නවා කිව්වම. එයා මාව බේරගන්න ඇවිත් වගේ. එතකොට එයාද ඩේවිඩ්ගෙ කාර් එකට එහා පැත්තෙ නවත්තලා තිබුණ නේවි බ්ලූ පාට බෙන්ස් එකේ ඇවිත් තියෙන්නේ. මෙච්චර වෙලා අපි පස්සෙන් ඇවිත් තියෙන්නෙත් එයාමද ?


"තමුසෙට මොලයක් නැද්ද මින්දි ?"


ගාඩ්න් එකත් එක්ක දෙවනත් වෙන්න එයා හයියෙන් එහෙම කියද්දි මං නිකන්ම ගැස්සුනේ මගෙ දෙතොල් වල ඇඳුන හීනි හිනාවත් නැතුව යද්දි.


"හේෂාන් ?"


"ලැජ්ජ නැතුව කාමරේටත් එක්ක ගිහින් රෙදිත් ගලෝලා Sleep tight කියලා විශ් කරලා එන්න තරම්ම තමුසෙ පහත් තත්වෙකට වැටුණද ?"


එහෙම කියාගෙන එයා මගෙ ගාවට ආවෙ රතු වෙච්චි ඇස් වලින්. එයාගෙ මූණත් තද රතු පාටට හැරවිලා. ඒ මදිවට සුදු පාට වීදුරු වගේ හමෙන් පිටි අල්ලේ ඉලිප්පිලා තියන නිල් පාට නහරත් පෙන්නුම් කලා එයා ඉන්නෙ එසේ මෙසේ තරහකින් නෙවෙයි කියලා.


"මං බලාගෙන හිටියෙ සේරම. ඒ මනුස්සයා එක්ක හිනා වෙවී කතා කරලා පුළුවන් තරම් බොන්න දීලා අන්තිමට ගෙදරට එක්ක ආවෙ පහුවෙනිදට සල්ලි අතට ගන්නද ?"


එයා තරහින් මට එල්ල කලේ එසේ මෙසේ චෝදනාවක් නෙවෙයි. හේෂාන් කතා කරන විදිහට මගෙ ඇස් වලින් කම්මුල් දිගේ පල්ලම් බහින්න කඳුළු වලට වැඩි වෙලාවක් ගියෙ නෑ.


"ඔයා මේ මොනාද කියන්නෙ හේෂාන්.. මම ඒ ජාතියේ කෙල්ලෙක් නෙවෙයි කියලා ඔයා දන්නවා."


"එහෙනම් මොන මගුලකටද මූ එක්ක බොන්න ගියේ ?"


"එයා මට එන්න කිව්වා. මට බැහැ කියන්න බෑනෙ."


"ඇයි තමුසෙට කටක් නැද්ද ඒක කියන්න.. හහ්.. කොහොම කියන්නද. ඒක කරගන්නනේ උවමනාව තිබුණේ ?"


"ඔහොම කතා කරන්න එපා හේෂාන්.."


මගෙ ඇස් වලින් එක දිගට කඳුළු කඩන් වැටෙද්දි මං බොහොම අමාරුවෙන් වැටෙන කඳුළු අතින් පිහද ගත්තා. එයා තාමත් මාව දවා අලු කරන්න පුළුවන් තරම් තරහ මුසු උන බැල්මකින් බලන් ඉන්නවා.


"අවුරුදු ගාණක ඉඳන් මං ගැන දන්න කෙනා ඇයි දැන් මෙහෙම නරක විදිහට කතා කරන්නේ ?"


"වෙන කොහොම කතා කරන්නද මං.. ඇඟත් පේන්න ඇඳගෙන ඉද්දි ඕන මෝඩයෙකුට හිතා ගන්න පුළුවන්."


එයා මගෙ උඩ ඉඳලා පල්ලෙහාට බලද්දි මං ගවුම දිහා බැලුවා. ඩේවිඩ් එක්ක හතර අතට වැනි වැනි එද්දි මගෙ ඇඳුමත් අවුල් වෙලා කර ගොඩාක් පල්ලෙහාට වැටිලා පපුවෙන් භාගයක් තරමට පේන්නත් එක්ක. වැඩි වෙලා යන්න කලින් මං ගවුම හදාගත්තා.


"මට ඔහොම කතා කරන්න එපා හේෂාන්.. කවදාවත් එහෙම කරන්න හිතන්නෙවත් නැති මටමයි දුක."


"තමුසෙ කියන එක මට විශ්වාස කරන්න කියලද කියන්නෙ ?"


"මං කියන්නෙ ඇත්ත හේ....."


"මින්දි.."


එයාගෙ අත ඉස්සුනේ මගෙ කම්මුලට ගහන්නද. මට හිතාගන්න බෑ ඇයි එයාගෙ අත නැවතුණේ කියලා. ඒත් අවුරුදු අටකටවත් මට ගහන්න තරම් හිතක් නොතිබුණු කෙනා අද මට ගහන්න අත උස්සද්දි පපුවට දැනුණෙ එසේ මෙසේ දුකක් නෙවෙයි.


"මට ගහන්නද අත ඉස්සුවේ ?"


තමන්ගෙ පාලනයකින් තොරව මට ගහන්න අත ඉස්සුනා වගෙයි එයාත් බය වෙලා වගේ මං දිහා බලාගෙන හිටියේ.


"ගහන්න ඕනි නම් මට ගහන්න.. හික්.."


මං මූණට අත් දෙක තද කරගෙන අඬුවේ දරාගන්න බැරි නිසා. වෙනදට තරහා ගියපු මනුස්සයෙක් උනත් එයා මේ තරම් තරහා ගත්තු කෙනෙක් නෙවෙයි. එයා නොහිතලා එහෙම දෙයක් උනත් මට ඒක දරාගන්න අමාරුයි.


"ම..මං එහෙම.. කලේ.. ම.. මනුස්සකමට.. මං ආදරේ.. ඔයාට.. විතරයි.. හේෂාන්.. මට ඕනි නෑ.. ඔයාට.. පිටුපාන්න.. මං හැ.. හැමදාම බලාපොරොත්තු.. වෙන්නෙ.. ඔයාව විතරයි.. හික්.."


ඉකිබිදුම් අස්සෙන් හරි මට කියන්න උනේ ඒක. කඳුළු පිරිලා බොඳ උන ඇස් වලින් මං දැක්කෙ එයාගෙ ඇස් නලියනවා. එහෙම්ම මං දිහා තත්පර ගාණක් බලන් ඉඳලා එයා කාර් එකේ ෆ්‍රන්ට් ඩෝර් එක ඇරලා ආයෙමත් වේගෙන් ගේ පැත්තට ගියා.


අත් දෙකේ මූණ හංගගෙන මං ගොඩාක් වෙලා ඇඬුවා. වෙලාව දහය හමාරටත් ලං වුණ පරිසරය මගෙ ඇඟට ගෙනාවෙ එසේ මෙසේ සීතලක් නෙවෙයි. කාර් එක අයිනට වෙලා විනාඩි පහක් විතර අඬපු මං සීතල නිසාම එයා ඇරලා දුන්න දොර වහගත්තේ ෆ්‍රන්ට් ශීට් එකට නැඟලා.


අඬලා අඬලම හුස්ම හිරවෙන්නත් වගේ. ඒත් මගෙ වේදනාව දිය වෙලා එන කඳුළු නවතින්නෙ නැති පාටයි. මං යුවසිංහ පවුලෙ වැටිලා ඉන්නේ. කොටින්ම කියනවා නම් මං හේෂාන් ගාව ජීවිතේ ගෙවන වහලියක්. එහෙම එකේ මං එයාලගෙ මිනිස්සු කියන පදේට නැටුවෙ නැත්තම් මට ජීවිතයක් නෑ. අද ඩේවිඩ් හම්බවෙන්න මං ගියෙත් ඒ නිසා. ඒ වගේම හේෂාන්ගෙන් ඒ වගේ තදබල වචන අහලා හිත රිදව ගත්තෙත් ගුටි කන්න හැදුවෙත් ඒ නිසාම තමයි.


අනේ මට පුළුවන් නම් මේ කරුමක්කාර ජීවිතෙන් නිදහස් වෙන්න. කාගෙන්වත් චෝදනා අහන්නෙ නැති වෙන්න මගේ පාඩුවේ මගේම සල්ලි වලින් ජීවත් වෙන්න. ඒ මට හොඳටම ඇති.


ටික වෙලාවක් යද්දි එයා ගෙදර දොරත් වහගෙන ඇවිත් කාර් එකට නැග්ගා. මං එයා එනවා ඇහිලා බොහොම අමාරුවෙන් ඇඬිල්ල නවත්ත ගත්තා. ඒත් මට පේනවා මිරර් එකෙන් මගෙ මුණ රතු වෙලා ඉදිමිලා ගිහින් කියලා.


"මින්දි.."


එයාගෙ සන්සුන් උන කටහඬ ඇහෙද්දි බිම බලාගත්තේ අත් දෙකත් එකට පටලන ගමන්. කාර් එකේ Ac එක නිසා හීනි උරපටි ගවුමෙන් ඇඟට දැනුණේ සීතලක්.


"මට තරහා ගියා. මම හිතලා ගහන්න ගියෙ නෑ. ඒත් ඔයාට කරදරයක් උනා නම් ඩේවිඩ්ගෙන්. ඒ මනුස්සයා හොඳටම වෙරි මතේ ඉන්නෙ."


මං බිම බලාගෙන ඉකිබිදුම් නවත්ත ගන්න හැදුවා. ඒත් අඬපු විදිහට මට ඒවා දැන් නවත්ත ගන්න බැරි තත්වෙකට පත් වෙලා.


"ඔයා ගොඩක් ඇඬුවද ?"


මගෙ කම්මුල් වලින් ගමන් කරපු ඒ ඇඟිලි නිකන්ම මාව ඒ මූණ පැත්තට හරෝගත්තා. ඇස් ඉදිමිලා කම්මුල් ඉදිමිලා රෝස පාට වෙලා තියන මගෙ මූණ දිහා එයා බැලුවේ අනුකම්පා සහගත ඇස් වලින්. ආයෙමත් මගෙ ඇස් වලින් කඳුළු මතු වෙලා කම්මුල් දිගේම පෙරුණා.


"අඬන්න එපා දැන්. මට ඔයාට ගහන්න උවමනා උනේ නෑ."


වැස්සක පෙර නිමිති නොපෙනුණත් සීතල හුලං අල්ලපු වට පිටාවේ ප්‍රතිපලය අවසානයේ අයිස් කැට වගේ බර වතුර බිංදු උනා. හේෂාන් එයාගෙ මහපට ඇඟිලි වලින් මගෙ කම්මුල් වල කඳුළු පිහදාද්දිම මහ වැස්සක් ඇද හැළුනේ කාර් එකේ ග්ලාස් සම්පූර්ණයෙන්ම වතුර බිංඳු වලින් වැහෙද්දි.


"I'm sorry මින්දි."


එහෙම කිව්ව එයා මගෙ මූණටම ලං වෙලා මගෙ දෙතොල් සිප ගත්තා. ඇඟත් එක්කම අමුතුම හිරි වැටීමකින් ගැස්සිලා ගියා වගේ දැනුණා. මොකද මේ අපේ වෙන්වීමෙන් පස්සෙ එයා මට දුන්න දෙවනි කිස් එක.


❝ ඔයා මගෙ මිස්ට්‍රෙස් උනත් කමක් නෑ මින්දි.. ඒක මගේ ඌමනාවට ❞


❝ එහෙම තනතුරක් උනත් නම්බුවක්, යුවසිංහ නම ගෑවිලා තිබුණොත් ❞


❝ මට කියනවා.. තමුන් හේෂාන්ගෙ මිස්ට්‍රෙස් නේද ❞


සංජානා කිව්වා වගේ, රාදිතාත් බැන්නා වගේම මං එයාගෙ මිස්ට්‍රෙස්ද. නැත්තම් හැමදාම වගේ එයාගෙ පාලනයෙන් තොරව වුණ දෙයක්ද. ඔයාම මාව දාලා ගිහින් දැන් මේ විදිහට හැසිරෙන කොට මට කියන්න වෙන්නෙ අපි දෙන්නගෙ කලින් බැඳීම් ආයෙත් ඇති වෙයි කියලද ?


එකපාරටම මං කල්පනාවෙන් එළියට ආවේ එයාගෙ ඇඟිල්ල මගෙ දෙතොල් දිගේම ඇදිලා යද්දි. ගාලා තිබුණු දුඹුරු පාට ටොෆි සුවඳ ලිප් ග්ලොස් එකත් එයාගෙ ඇඟිල්ල උඩ ගෑවිලා තිබුණා.


ආස උනත් එයා එක්ක මෙහෙම ඉන්න, එයා දැන් මගෙ නෙවෙයි. එයාව අයිති රාදිතාට. ඒ දෙන්නා මැරි කරන්න ඉද්දි මං එයාට මාව කිස් කරන්න දෙන එක හරිද වැරදිද කියලා මට හිතාගන්න බෑ. තදින් වැටෙන වැස්සට කාර් එකේ ඇතුලටත් සීතල ආවා වගේම මගෙ ඇඟේ හිරිගඩු පිපුණා. ඒත් තාමත් මගෙ ඇස් දෙක ඒ ඇස් වල පැටලිලා. මගෙ හිතත් හැඟීම් ගොඩක හිරවෙලා.


ආයෙමත් පාරක් ඒ රළු ඇඟිලි මගෙ මූණ පුරාම සක්මන් කරද්දි මං ඇස් පියාගත්තේ ඒ දෙතොල් වල ස්පර්ශයට. එයා මගෙන් සමාව ගන්නද මෙහෙම මාව සිපගන්නේ. මාව හුස්ම ගන්න බැරි තරම් අඬවලා අන්තිමට මාව සනසන්නද එයා මෙහෙම කරන්නේ ?


විනාඩි ගාණකට පස්සෙ එයා දෙතොල් අතෑරියේ මම ඉස්සරහා බලාගෙන හුස්ම ගද්දි. නැත්තම් මම අඬලා හුස්ම හිරවෙලා නෙවෙයි මැරෙන්නේ. එයාගෙ කිස් එක නිසා. මං තාමත් ග්ලාස් එකට වැටිලා පෙරෙන වැහි බිංදු දිහා බලන් ඉද්දි එයාගෙ ඇස් තිබුණෙ මගෙ මූණෙ.


ටික වෙලාවක් යද්දි එයා කාර් එක ස්ටාර්ට් කලේ මං ග්ලාස් එකෙන් පිටත බලාගද්දි. ඒත් එයා වාහනේ නම් මීටරයක් වත් ඉස්සරහට ගත්තෙ නෑ. ඒ වෙනුවට එයාගෙ කෝට් එක මගෙ උරහිස දෙපැත්තටම වැටෙන්න මට පෙරෙව්වා. මට එවෙලෙ දැනුණ සීතලට ඒක ලොකූ උදව්වක් උනා.


11:00 යි වෙලාව..


වැස්ස කියලා හිතලාවත් එයාට හිමින් යන්න අදහසක් තිබුණෙ නෑ. පියාඹලා වගේ ඇවිත් ඇරලා තිබුණ ගේට්ටුවෙන් නිකන්ම ඇතුලට දැම්මා. නවත්තපු ගමන්ම මං බැහැලා පර්ස් එකෙන් යතුර අරගෙන දොර ඇරියා. ඩිස්නි මං එනකම් බලන් ඉන්න ඇති. ඒත් දැන් නම් නිදි වගේ.


"ඔයා දැන් යනවද ?"


"අනේ මංදා."


"හොඳටම වැස්සනේ. ටිකක් අඩු උනාම යන්න. පාරවල් ලිස්සනවා."


"හ්ම්ම්.."


ඔෆිස් එකේදි ලොකුකම් කතා කරපු කනා අද මාව අඬවලා, විනාඩි පහක් විතර කිස් කරලා, ගෙදරටම ඇවිත් ආසාවෙන් ඇතුලටත් එනවා. මං දොර ඇරගෙන ගිහින් පර්ස් එක මේසෙ උඩින් තියලා අනිත්පැත්තට හැරුණේ එයාට වොශ් එකක් දාන් එන්නම් කියන්න.


"මං වොශ් එකක් දාන් එන්නම්."


එහෙම කියලා මං උඩට ගියා. ඉස්සරහා බලාගෙන ගියත් මගෙ ඇස් වලට පෙනුණා එයා මං දිහා කන්න වගේ බලන් ඉන්න හැටි. මට තේරෙනවා ඒ ඇයි කියලා. හේතුව නම් මගෙ සෙන්ටිමීටර් දහයක් විතර උස හීල්ස් නිසා. තරප්පුව නගිද්දි ටක් ටක් ගාලා ඇහෙන සද්දෙට එයා වෛර කරන්නේ මගෙ කකුල් පෙරලිලා වැටෙයි කියන බයට. එයාගෙ අකමැත්තෙන්ම මං කරන එකම දේ හීල්ස් දාගෙන ගමන් බිමන් යන එක..


උණු වතුරෙන් හෝදගෙන මං සැටින් නයිට් ඩ්‍රෙස් එකත් දාගෙන පල්ලෙහාට ඇවිත් කිචන් එකට ගියා. එයා ඉස්සරහා මෙහෙම ඉන්න එක මට අමුතු දෙයක් නෙවෙයි. අනික එදා මගෙ ගවුමත් මාරු කලේ එයා නම් එයා තවත් මගෙ මොනා දකින්නද.


සීතල සාලෙටත් ඇවිත්. මං එයාගෙ කෝට් එකත් දකුණු අතේ රඳවන් මං උණුවට කෝපි දෙකක් ගෙනාවා. එයා ආසයි කෝපි බොන්න. මගෙ අතින් හදන..


"නිවෙන්න කලින් බොන්න."


එයාට අල්ලන ගමන් මං එහෙම කිව්වා. මේ වගේ වැස්ස වෙලාවක අපි එකට උණු උණුවේ කෝපි බිව්ව වාර දාහකටත් වැඩියි. එදා අපි කොච්චර නම් දේවල් කතා කලාද. ඒත් දැන්,


සාලෙම නිහැඬියාවෙන් පිරිලා. බාගෙට ඉවර උන වැස්සෙ චුරු චුරුව විතරයි ඇහෙන්නේ. එයයි මායි මූණට මූණ බලාගෙන සෝෆා දෙකක ඉඳන් කෝපි දෙක බොනවා.


"කවද්ද ඩේවිඩ් ඔයාට එන්න කිව්වේ ?"


"පාර්ටි එක දවසෙ."


"ඇයි බෑ කිව්වෙ නැත්තේ ?"


එයාගෙ ඇස් විතරක් මගෙ පැත්තට හැරිලා. මට ඒකට දෙන්න එකම උත්තරයයි තිබුණේ. මට බොරු කියන්නත් උවමනාවක් තිබුණෙ නෑ.


"ඔයාලා දෙගොල්ලන්ගෙ බැඳීම ආරක්ෂා කරගන්නයි මං එහෙම කලේ."


"ඔයා අපි අතර දේවල් වලට සම්බන්ධයි කිව්වෙ කව්ද ?"


"මම අනාථයෙක් හේෂාන්. මට බෑ ඒ මනුස්සයාට ලොකුකම් දාන්න. මම මගෙම කියලා තැනක් හදාගෙන, මගෙම කියලා සල්ලි තියන කෙල්ලෙක් උනා නම් මං ඒකට බෑ කියන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒත්..


මං ඉන්නෙ ඔයාලගෙ ගෲප් එකේ. අනික කලින් මං වැඩ කලේ එයාලගෙ ලෝ ෆර්ම් එකේ. එහෙම එකේ මට බෑ එයාට අහංකාරකමට කතා කරන්න."


මං කියන එක හරි කියලා හිතිලද කොහෙද එයා මගෙ දිගටම මගෙ මූණ දිහා බලන් ඉඳලා හුස්මක් හෙලලා බිම බලාගත්තා. කොච්චර කෙරුවත් ඒක තමයි ඇත්තම කතාව. ඒ වගේ වෙලාවට හේෂාන් පවා නිහඬයි.


"අඩුම ගානෙ.. ඔයාට තිබුණා මට මේ ගැන කියන්න."


"ඔයාට කිව්වා කියලා ඔයා මොනා කරන්නද. ඔයා මගෙ බොස් විතරයිනෙ."


ඒ ප්‍රශ්නෙට එයාගෙ කිසිම සද්දයක් නෑ. මීට අවුරුදු දෙකකට කලින් එයාමයි මාව අතෑරලා, මාව බිංදුවටම වට්ටලා දාලා ගියේ..


❝ මම ලබන මාසෙ මැරි කරනවා.. රාදිතාව.. මම ඔයාට ආදරේ නෑ දැන්. මම ආදරේ රාදිතාට. ඒ නිසා මාව අමතක කරලා මගෙ ජීවිතෙන්ම යන්න. ප්ලීස්.. ආයෙ මට වදයක් වෙන්න එපා ❞


එදා එයාගෙ ලස්සන ඇස් කිසි හැඟීමක් නැතුව, මලානික වෙලා තිබුණ විදිහ මට මතක් වෙද්දි දැනෙන්නෙ එසේ මෙසේ වේදනාවක් නෙවෙයි. නොදන්න රටක කවදාවත් නොහිටපු අපාර්ට්මන්ට් එකක කාමරයක් ඇතුලට වෙලා අඬපු වාර අනන්තයි. මේ ගෙදර අපි දෙන්නා එකට නිදාගත්තු ඇඳ උඩම මං ඉකි ගගහ අඬපු වාරත් අනන්තයි.


ඔයාගෙ සීමාවක් නොතිබුණ ආදරේ තමා මාව ඒ තත්වෙට පත් කලේ. අවුරුදු අටක් ආදරෙන් හිටපු ඔයා එකපාරටම වෙනස් වෙන්න ගද්දි මං විඳවපු විඳවීම අදටත් ඒ විදිහටම අඩු වෙලා නැතුව තියනවා.


ඒ අතරින් ඔයා ආයෙමත් මට ලං වෙනවා. එක දවසක් ඔයා මාව ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකේදි කිස් කලා. අද ඔයා මාව කාර් එක ඇතුළෙ කිස් කලා. මට තේරෙන්නෙ නෑ ඒ වගේ වෙලාවට මං කොහොම හැසිරෙන්නද කියලා. මම ඔයාගෙ වහලියක් කියන එකේ තේරුම ඒ වගේ වෙලාවකත් මං ඔයා කරන දේවල් ඉවසන්, බලන් ඉන්න ඕනි කියලද ?


"අනිත් දවසෙ එහෙම උනොත් මට......"


මගෙ ඇස් වලින් කඳුළු වැටෙද්දි මං ඉක්මනින් මූණ හංග ගත්තේ එයා කියන්න ගියපු දේ නොකියා ඉද්දි. කෝපි එක පැත්තකින් තිබ්බ මං ඇස් වල කඳුළු පිහදගත්තා. මේ කඳුළු වලටත් හේතුව ඔයා හේෂාන්..


එකපාරටම එයත් කෝපි එක තියලා මගෙ ලඟට ලං උනේ කඳුළු පිහදන්න. මට දරාගන්න බෑ දැන් එයා මට අනුකම්පා කරනකොට.


එයා එද්දිම මං ඉක්මනින් එළියෙ ඉස්තෝප්පුවට ගිහින් එතන තිබුණ සුදු පාට කණුවකට හේත්තු වෙලා කඳුළු ටික පිහද ගත්තා. වැස්ස නම් පායලා. ඒත් තාමත් ගස් වලින් වතුර බිංදු දෙක තුන වෑස්සෙනවා.


"මින්දි.."


එයා මගෙ එහාපැත්තෙ. මට බෑ තවත් මගෙ කඳුළු එයා ඉස්සරහා පිට කරන්න. එතකොට එයා හිතයි මං දුර්වලයෙක් කියලා. කොණ්ඩෙන් මූණ වැහුන එකත් මට උදව්වක් උනා කඳුළු හංගන්න.


"ඔයා.. ඔයා රාදිතාව මැරි කරන්න ඉන්නෙ හේෂාන්. එහෙම එකේ ඔයා මෙහෙම මට ලං වෙන්න එපා. රාදිතා ඔයාට ආදරෙයි. ඔයා එයාට ආදරේ කරන්න."


මං එයා දිහා බලාගෙන කියවද්දි එයා මං දිහා ඇහි පිය නොගහා බලාගෙන හිටියා. මගෙ ඇස් වලින් වැටුණු කඳුළු කම්මුල් දිගේ පෙරිලා ටයිල් එක උඩට වැටුණා. කොච්චර කෙරුවත් මට මේ වතුර වෙලා එන හැඟීම් හංගන්න බෑ.


"ඔයාමයි මට කිව්වෙ හැම දෙයක්ම අමතක කරන්න කියලා. මට ඒක කරන්න බෑ හේෂාන්. මට කියලා දෙන්න කොහොමද ඔයා මේ දේවල් අමතක කලේ කියලා.. හික්.."


ආයෙමත් මං හයියෙන් අඬන්න ගද්දි එයා මාව ඒ පපුව උඩට ගත්තා. මගෙ ඉන වටේට එයාගෙ අත් දෙක තදින් එතෙද්දි මගෙ අතුත් ගියෙ එයාගෙ පුළුල් පිටට.


"අඬන්න එපා ඔහොම.. හිත ශක්තිමත් කරගන්න."


"හිත.. හිත ශක්තිමත්.. උනාම.. මේ.. මතක.. මාව අතැරලා.. යයිද.. හේෂාන්.. මම ශක්තිමත් උනොත්.. ඒ මතක.. මට.. අමතක කරන්න.. පුළුවන් වෙයිද ?"


"බෑ.."


"එ..එහෙනම්.. කොහොමද.. ඔයා අමතක.. කලේ.."


"මං අමතක කලේ නෑ. මට අමතක කරන්නත් බෑ."


"එහෙනම්.. ඇයි ඔයා.. මට විතරක්.. එහෙම කියන්නෙ ?"


මගෙ අත් දෙක එයාගෙ පපුව උඩ තියාන මං ඒ මූණ දිහා බලාගෙන එහෙම ඇහුවා. එයාගෙ ඇස් වැඩ කළාට කටේ කිසිම හෙලවීමක් නෑ.


"ඔයාමයි එදා.. එයා..පෝර්ට් එකේදි.. කිව්වේ.. අමතක කරන්න.. කියලා.. ඔයා.. රාදිතාට.. ආදරේ කරනවා.. කියලත් කිව්වා."


"ඒක හරි."


"එහෙනම් ඇයි.. මාව කිස් කලේ ?"


"......"


එයාගෙ ඇස් ඈත තිබුණ වැහිබිඳු වලින් දිළිසෙන කඩුපුල් මල පැත්තට ගියා. දැන් එයා දෙන උත්තරේ මට හිතාගන්න පුළුවන්. Mindi, I lost my control කියලා කියයි.


"එදා ඔයා.. ස්කෝර්පියන්.. ගාඩ්න් එකේදිත්.. මාව කිස් කලා.. අදත් එහෙම කලා.. මේ.. හැම දෙයක්ම.. ඔයාගෙ.. පාලනයෙන් තොරව.. වෙන දේවල්ද ?"


"......"


"ඇයි කතා කරන්නෙ නැත්තෙ.. හේෂාන් ?"


"අඬන එක නවත්තගන්න මින්දි.. හෙට උදේට අසනීප වෙයි."


"මේක.. දැන් මට පුරුදුයි.. හේෂාන්."


එයා මගෙ මූණෙන් අල්ලලා මගෙ කම්මුල් වලින් වැටෙන කඳුළු පිහදුවා. මගෙ නහය හිර වෙලා වගේ දැන් නම්. එයා කියනවා වගේ මං හෙට උදේට අසනීප වෙයි වගේ.


"ඇයි දෙවියනේ.. මටම මෙහෙම වෙන්නේ.. මට කවදාකවත්.. සතුටක් නැද්ද.."


මගෙ කොණ්ඩෙ අස්සෙන් අත දාන ගමන් එයා මාව ආයෙමත් පපුවට තුරුලු කරගත්තා. මටත් ඕනි උනේ ඇති වෙනකම් කඳුළු පිට කරන්න. කවදාවත් මට අත උස්සන්නවත් හිතපු නැති කෙනා මට ගහන්න හදද්දි, මාව කිස් කරද්දි, මාව පපුව උඩ තියන් සනසද්දි කොහොමද මං නොඅඬා ඉන්නේ.


"ඔයා මෙහෙම දුක් විඳින්න ඕනි කෙල්ලෙක් නෙවෙයි මින්දි.. මම නිසයි ඔයාට මෙහෙම උනේ."


"......"


"ඔයා අද මේ වගේ තැනක ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි."


මගෙ නලල උඩ ඒ නිකට තියාන එයා ඔහේ කියවනවා. ඔයා කියන කතාව හරි තමයි. මගෙ දෙමව්පියො මාව විසි කරලා ගියෙ නැත්තම් මං අද මෙහෙම අඬන්නෙ නෑ. එහෙමයි කියලා ඔයා වැරදිත් නෑ හේෂාන්. අද මම මෙහෙම හරි ජීවත් වෙන්නෙ ඔයා නිසා.


"ඔයා දන්නවද.. එදා ඔයා විසි කරපු නිල් මැණික වගේම තව එකක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා."


හේෂාන් එකපාරටම එහෙම දෙයක් කියද්දි මගෙ කඳුළු නිකන්ම නැවතුණේ ඔළුවත් ඉස්සෙද්දි. ඒ ඇස් වල දැන් තිබුණෙ වරදකාරී හැඟීමක්.


"මොකක් ?"


"ඔව්.. මං නිසයි ඔයාට මෙහෙම උනේ.. ඔයා අද අඬන්නෙත් මං නිසා.. ඒත්.."


ඒ ඇඟිලි ආයෙමත් පාරක් මගෙ තෙත් කම්මුල් දිගේම ගියා. එයා එතන හොටෙල් එකේ තිබුණ බාර් එකෙන් බීලා ඇවිත් අසිහියෙන් කියවනවා වත්ද ?


"ඔයාට ගොඩාක් ඉක්මනින් ඔයාගෙම කියලා ජීවිතයක් හම්බවෙයි මින්දි. මං ඒක හරි ගස්සනවා."


එහෙම කියලා එයා අහක බලාගත්තා. එදා මං ඒ මාලෙ කැළණි ගඟට විසි කලා. පස්සෙ ඒක මනුස්සයෙක් හොයලා කෞතුකාගාරයට දුන්නා. ලංකාවෙ ලොකු මිනිස්සු එකතු වෙලා හොර රහසේ ඒක පිටරටකට විකුණුවා කියලා ආරංචියකුත් ආවා. ඒත් හේෂාන් මොකක් ගැනද මේ කියන්නේ.


"ඔයා කියන දෙයක් මට තේරෙන්නෙ නෑ හේෂාන්."


"දැන්ම තේරෙන්නෙ නෑ. තේරෙන දවසක් එනකම්.. ඉවසගෙන ඉන්න."


මගෙ රෝස පාට උන කම්මුල් දිගේ කෙහෙරැලි එහාට කරපු එයා මගෙ ඇස් එක්ක තදින් බැඳුනා. ඇස් දෙක අරින්නත් බැරි තරම්ම රිදෙනවා. හෙට උදේ වෙද්දි ඇස් ඇරගන්න බැරුවම යයි වගේ.


"ප්ලීස්.. ආයෙ මෙහෙම අඬන්න එපා. මං දන්නවා ඔයා ගොඩක් Sensitive ගෑනු ළමයෙක්. ඒත් ඔය සංවේදීකම තමයි කවදාම හරි දවසක ඔයාව පල්ලෙහාට ඇදලා දාන්නේ.


මං කලිනුත් කියලා තියනවනෙ. කඳුළු වලට ඔහේ එන්න ඉඩ දෙන්න එපා. ගෑනු ළමයෙක් උනාම ශක්තිමත් වෙන්න ඕනි. ඔයාගෙ හිත හයිය වෙන්න ඕනි. නැත්තම් ඔයාට ගමනක් යන්න බෑ."


"මට ගහන්න හැදුවා වගේ ආයෙ රාදිතාට ගහන්න හදන්න එපා."


මං එකපාරටම වෙනම මාතෘකාවක් ඇදලා ගද්දි එයා මගෙ මූණ දිහා බැලුවේ අමුතුවට. තාමත් ඒ ඇඟිලි මගෙ මූණ පුරාම දුවනවා.


"හිතලා නෙවෙයි උනේ. තරහා ගියා ඔයාට මොනා හරි උනා නම්, කියලා හිතුවම. මං රාදිතාට එහෙම කරන්නෑ."


ගේ පැත්තට හැරෙද්දියි ඔරලෝසුව දැක්කේ. වෙලාව දැක්කම මට සේරම අමතක උනා. මැදියම් රෑ වෙලා. ඒ කියන්නෙ දොළහයි වෙලාව. එයාව ගෙදරින් හොයනවත් ඇති. වැස්සත් පායපු එකේ ආයෙ වහින්න කලින් එයාව යැව්වා නම් හරි.


"ඔයා දැන් යන්න හේෂාන්. දොලහත් පහු වෙලා. තුන්දෙනාම බය වෙලත් ඇති. අනික ආයෙ වැස්සොත් එහෙම."


"හ්ම්.."


"ගිහින් කාලා බීලා නිදාගන්න. ඔයා ලෙඩෙක්. ඔයාට නින්ද ඕනිමයි."


එයාගෙ ලෙඩේ සාමාන්‍යද දරුණුද මං දන්නෑ. ඒත් ප්ලේට්ලට් වල අවුලක් නම් එයාට නින්දත් ඕනි ඇති. හරියට කන්නත් නැතුව ඇති. උදේ ඉඳන්ම ඔෆිස් එකේ නෙවෙයිනේ හිටියේ.


"හ්ම්.."


"ඉන්න මං ඔයාගෙ කෝට් එක ගෙනවිත් දෙන්නම්."


එහෙම කියලා මං යන්න හදද්දිම ඒ අතින් මාව ඇඳිලා ගියෙ පපුව උඩට. ඒ එක්කම මගෙ ඉන වටේම අතක් ගියේ ඒ දෙතොල් මගෙ දෙතොල් මත දඟ කරන්න පටන් ගද්දි. ලිහිල් වීමක් නැති ඒ අත් තවත් මාව ඒ ඇඟට තද කරගත්තේ අත් වලින් මං එයාගෙ සුදු ශර්ට් එක තද කරගද්දියි.


වැස්ස නිසාම සීතල උන වටපිටාවේ මම ගිලිලා හිටියේ ඒ උණුහුමේ. හේතුවක් නැති සිපගැන්මක් උනත් මටත් ඕනි උනේ ඒ ආදරණීය සිපගැන්ම රස විඳින්න විතරමයි. කලින් මගෙ මූණ දෙපැත්තෙන් එබිලා තිබුණු කෙහෙරැලි වත් එයාට බාධා කලේ නෑ. ඉතින් මං මොකට බාධා කරන්නද.


එයාගෙ දකුණු අත මගෙ නිරාවරිත කකුළ දිගේම ගියේ ඒ දෙතොල් සම්පූර්ණයෙන්ම මගෙ දෙතොල් තදින් අල්ලාගෙන මගෙ සිහියත් ඒ පැත්තට අරගෙන තියන වෙලාවකයි. මගෙ වමත එයාගෙ රැවුලෙන් වැහුණු කම්මුලට ගියේ හුස්ම ගන්න අපහසුතාවක් දැනුණු නිසා.


"හාහ් 😨 ?"


පිටිපස්සෙන් ඇහුණ හූල්ලපු සද්දෙට එයයි මායි දෙන්නම ගැස්සිලා හැරුණේ දොර පැත්තට. දැක්ක දසුනින් අපි දෙන්නටම සේරම අමතක උනා.


................................................... 🖤 ...


පොඩ්ඩක් රොමෑන්ටික් කලා අද


Season 2 වලට ලඟයි ළමයි


(අද එපියේ හේෂාන්ට ටිකක් තරහා ගියා. එයාගෙ තරහා පාලනය කරගන්න බෑ කියලා ඔයාලා Already දන්නවනෙ ළමයි)


Sachy Collins


Report Page