Spring is far away - 37 (2)
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤 - Part 02
"ඔයා ඇයි කැප් එකක් දාන් ඉන්නෙ. පොඩ්ඩක් ගලවන්නකො. මට එහෙම බලන්න ආසයි."
මං එහෙම කියද්දි එයාගෙ මූණ වෙනස් උනා මං දැක්කා. ඇයි එයා ඒකට පසුබට වෙන්නෙ. මම මහලොකු දෙයක් කිව්වෙ නෑනෙ.
"ඒක නම් කරන්න බෑ මිස්.. මට කැප් එක නැතුව කැතයි."
"ඇයි ඒ.. ඔයා එහෙම කැත නෑ 😤."
"ඒ උනාට බෑ."
"කෝ ගලවන්න.. මට ඔයාගෙ නැචුරල් ලුක් එක බලන්න ඕනි."
"ම්ම්හ්.. පස්සෙ.."
"එහෙනම් මං ඊලඟ දවසෙ එද්දි කැප් එක ගලවලා පෙන්නන්න ඕනි හරිද."
"හ්ම්.. එදාට බලමු."
මං ඒ මල් එක අතට ගත්තා. ඒ එක්කම කඩේ වැඩ කරන ගෑනු ළමයා අපි ගාවට ආවා. ඒ ගෑනු ළමයා නම් මෙයාව දන්න නිසාද කොහෙද හිනා උනා.
"මැඩම් මොනාද බැලුවේ ?"
"මේක මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට දෙන්න. ඒක ගැලපෙයි නේද ?"
"ඔව් එහෙම අවුලක් නෑ. දැන් ස්ටයිල් එකත් එහෙම තමා."
"හ්ම්. එහෙනම් මේක දෙන්නකො."
"වැපින් කරලා දෙන්න ඕනිද මැඩම් ?"
"හා. සුදු පාටින්."
අපි ටික වෙලාවක් ඉද්දි ඒ ගෑනු ළමයා වැපින් කරපු බොකේ එක ගෙනවිත් දුන්නා. ගාණ නම් වැඩී තමා. ඒත් මල් වල පෙනුමට වටිනවා. බොකේ එකේ වැපින් කරලා තියන කොලේ ගෝල් පාට බෝඩර් එකක්. යටින් I Love You කියලා ටැග් එකකුත් එල්ලෙනවා. දැක්ක ගමන්ම මං ඒක කඩලා අරගෙන ගවුමෙ සාක්කුවට දාගත්තා.
අද මං ඇඳන් ඉන්නෙ ලා කොළ පාට උරපටි ගැටගහන්න තිබුණ දිග ගවුමක්. ඒක නම් මම ඕඩර් කරපු එකක්.
අපි කාර් එක ගාවට යනකම්ම කතා කරා. එයා දැන් නිදහසේ ඉන්න ටයිම් එකලු. හවසට රෑ වෙනකම් වැඩලු. උදේ පාන්දරටත් එහෙමලු..
"මිස් දැන් යනවද."
"ඔව්.. දවල් වෙන්න කලින් මට එන්න කියලා තිබ්බනේ. යන්නත් එපැයි ඉතින්."
"එහෙනම් පරිස්සමට යන්න මිස්."
මං මල් එකත් කාර් එක පිටි පස්සෙන් තියලා ආයෙමත් එයා දිහාවට හැරුණා. මට අහන්න බැරි උනා එයාගෙ නම වත්.
"අපිට අඳුනගන්නත් බැරි උනානේ. මොකක්ද ඔයාගෙ නම ?"
මං එහෙම කිව්වෙ එයා ගාවට යන ගමන්..
"මම හිරුෂාන් මිස්.."
"ආහ්.. ලස්සන නමක්නේ.. මං මින්දි අමේලියා.. Nice to meet you."
මං එයාට අත දික් කලේ හෑන්ඩ් ශේක් එකක් කරන්න. ඒ එක්කම මගෙ අතෙන් දික් උනේ එයාගෙ පැත්තට ලස්සන රෝස මලක්. එයා ඒ මල දිහා බලන් ඉන්නවා.
"ඔයා එදා මට මලක් දුන්නානේ. ඒකට මම අද ඔයාට මලක් දෙන්නම්."
"එපා මිස්.. මම කිසිම දෙයක් ඒ වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අනික මැඩම් ඒ මල් බොකේ එක ගත්තේ බෝයිෆ්‍රෙන්ඩ්ටනේ. ඔය මල ආයෙ ගන්න. නැත්තම් ඒක කැත වෙනවා."
"ඔයා මේක ගන්නම ඕනි හිරුෂාන්. නැත්තම් මං මෙතනින් යන්නෙ නෑ."
මං එහෙම කියලා එයා දිහා බලාගෙන හිටියා විනාඩියක් විතර. ඒ පාර නම් එයා මල ගත්තා. මම එයාට ඒ මල දෙන්න හේතුවක් තිබුණා..
"ඔයා එදා දුන්න රෝසමල මං පොතක් අස්සෙ වේලලා අරන් තියලයි තියෙන්නේ.මං එදා මගෙ ඩයරියේ පිටුවක්ම හිස් කරා ඒ මල අලවන්න. මොකද ඒක මට ලැබුණ හරි වටින තෑග්ගක්.."
"එදා මං ගොඩාක් දුකින් හිටියේ. මම කලින් ආදරේ කරපු කෙනා නිසා. ඒ හැම දෙයක්ම අමතක කරන්න හිතාගෙනයි මං ගඟ ළඟ නැවතුණේ. ඒත් ඔයා එදා මං එක්ක කතා කරලා එක තත්පරේකට හරි මාව සැනසුවා. ඔයා දන්නෙ නෑ මනුස්සයෙක් සැනසුවාම දැනෙන හැඟීම. ඇත්තටම මට හිතුණා මම කිසිම ප්‍රශ්නයක් නැති නිදහස් මනුස්සයෙක් කියලා එක තත්පරේකට හරි."
මම එහෙම කියද්දි එයා හිනා උනා..
"එහෙනම් මට සතුටුයි.. මං කාගෙ හරි කෙනෙක්ගෙ හිතට එක මොහොතකට හරි සතුටක් ගෙනවිල්ලා."
"ඔව්.. ඒක හරි.. ඔයා ඔය කරන වැඩේ දිගටම කරන් යන්න. කවදාම හරි දවසක ඔයාට මේ හැම දේකමට හරියන්න ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ලැබේවි."
"තැන්කියු මිස්.. එහෙනම් මිස් පරක්කු වෙන්නෙ නැතුව යන්න. මිස්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් බලන් ඇති."
"හ්ම්.. මං යන්නම්.. එහෙනම් පරිස්සමින් ඉන්න.. හිරුෂාන්.."
"ඔයත් පරිස්සමින් ඉන්න මිස්.."
හිරුෂාන්ට බායි කියන ගමන් මං වාහනේට නැග්ගා. ඇත්තටම එයා හොඳ මනුස්සයෙක්. මං ආසයි නිවිලා ඉන්න, සන්සුන් මිනිස්සුන්ට. ඒ උනාට මගෙ හිත ගියෙම යක්ෂයෙක්ට..
.................................................. 🖤 ...
ඔයාලා බලනවා ඇති හිරුෂාන් ඇයි කතාවට දෙවනි පාරටත් සම්බන්ධ උනේ කියලා
හිරුෂාන් කියන්නේ මින්දිට හම්බවෙන ආදරණීය / අමතක නොවෙන චරිතයක් 💖
Sachy Collins