Self-Harm
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
Self-harm, සිංහලෙන් අපි කියනවා ස්වයං හානිකර ගැනීම, ඒ කියන්නේ තමන් විසින් තමන්ටම හානි කරගැනීම් සිදුකිරීම.
හිතාමතාම තමන්ගෙ ශරීරයට වේදනාත්මක දේවල් සිදුකරගැනීම තමයි මෙහිදී සිදුවන්නේ. suicide කරගැනීම සහ Self-harm කියන්නේ එකම දෙයක් නෙවෙයි, ඒ කියන්නේ ඒ දෙක තත්ත්වයන් දෙකක්. නමුත් ස්වයං හානි කරගැනීමට උත්සහ දරන ඇතැම් අවස්ථාවන් වල ජීවිත හානි පවා සිදුවෙන්න පුලුවන්.
යම් යම් දේවල් වලින් කපාගැනීම, වෙනත් ක්‍රමවේද වලින් තුවාල කරගැනීම, පුළුස්සා ගැනීම්, යම් යම් දේවල් ශරීරය ඇතුල් කරගැනීම, තමාටම පහරදීම, ඔළුව යමක වැරෙන් ගසා ගැනීම්, බිත්ති, වීදුරු, වැනි දේවල් වලට පහරදීම්, විෂ සහිත මත්ද්‍රව්‍ය ලබාගැනීම, අනාරක්ෂිත ලිංගික චර්යාවන් පැවැත්වීම, මේ වගේ දේවල් ස්වයං හානිකර ගැනීම යටතේ වෙන්න පුලුවන්.
ස්වයං හානිකර ගැනීම් සිදුකරගන්නා අය එයින් තමන්ගෙ දුක, තරහව පිට කරගැනීමට ක්‍රමයක් විදිහට තමයි එය මූලික වශයෙන් කරන්නේ. ඒ විදිහට තමන්ගෙ පීඩනය පිටකරගැනීමේ අදහසින් ස්වයං හානි කරගැනීමක් සිදුකළත්, එයින් අදාළ පුද්ගලයාට සහනයක් දැනෙන්නේ තාවකාලිකව විතරයි. මොකද, ඒ විදිහට ස්වයං හානියක් කරගැනීමට බලපෑ හේතුකාරණා තවමත් එලෙසම පවතින නිසා. එහෙමත් නැත්නම් ස්වයං හානි කරගැනීම තමන්ගෙ ගැටලු වලට, පීඩනයට විසඳුමක් නොවන නිසා. ඒ නිසා වැඩි කල් යාමට මත්තෙන් තමා කරගත් ස්වයං හානීන් ගැන වරදකාරී බවක් (guilty feelings), ලැජ්ජාවක්, තමා තුළ හටගන්නවා. ඒ නිසා ඇතැම් විට එම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස සිඳුවෙනවා. ඒකට කියනවා The self-harm cycle කියලා.
එහිදී සිදුවන දෙය යම් අදහසක් ගන්න මම පහතින් පෙන්නුම් කරන්නම්.
Emotional suffering ➡️ emotional overload ➡️ panic ➡️ self-harm ➡️ Temporary relief ➡️ shame/ guilty ➡️ again emotional suffering......
ඇතැම්විට ඒ විදිහට නැවත නැවත සිදුවෙන්න පුලුවන්. ඒකට තමයි The self-harm cycle කියලා හඳුන්වන්නේ.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 -24 අතර සිටින අය තුළ ස්වයං හානිකරගැනීම් සාපේක්ෂව වැඩි වශයෙන් තියනවා.
ඒ වගේම පහත සඳහන් ඛාණ්ඩ වල ස්වයං හානි කරගැනීම්
වැඩි ප්‍රමාණයක් සිදුවන බව සොයාගන තිබෙනවා.
⁃ යම් මානසික ආබාධ තත්ත්වයක් තිබීම. ( schizophrenia , depression , anxiety , bipolar disorder , personality disorders , eating disorders )
⁃ කුඩාකළ මානසික වශයෙන්, කායික වශයෙන් හෝ ලිංගික වශයෙන්, හිංසනයට ලක්වී තිබීම.
⁃ දෙමව්පියන්ගෙ ආදරය, රැකවරණය නොමති වූ හෝ නිසිලෙස නොමැති වූ තත්ත්වයන්
⁃ LGBT ප්‍රජාව තුළ
⁃ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටීම
ඉහත පාර්ශ්වය තුළ ස්වයං හානිකරගැනීම් සාපේක්ෂව වැඩි වශයෙන් තිබෙනවා. එහි තේරුම ඒ පාර්ශ්වයන් වල හැම පුද්ගලයකුම ස්වයං හානි කරගැනීම් සිදුකරගන්නවා කියන එක නම් නොවෙයි.
දැන් අපි බලමු සාමාන්‍යයෙන් පුද්ගලයන් ස්වයං හානි කරගැනීම් කරගන්න බලපාන හේතූන් මොනවාද කියලා.
⁃ පවුලේ පවතින දැඩි ගැටලුකාරී තත්ත්වයන්
⁃ තමා ලැබූ හෝ ලක්වන හිංසාවන් ( කායික, මානසික, ලිංගික)
⁃ පාසලේ ගැටලු
⁃ මිතුරන් සමඟ ගැටලු
⁃ ආදර සබඳතා වල සහ විවාහ ජීවිතයේ ගැටලු
⁃ මානසික ආබාධ
⁃ තමා ජීවත්වන සමාජ පරිසරයේ දුර්වලතා
⁃ අඩු ආත්ම අවබෝධයක් සහ ආත්ම තෘප්තියක් තිබීම
⁃ දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම
ඒ වගේ විවිධ විවිධ හේතූන් මේ ස්වයං හානි කරගැනීමට බලපාන්න පුලුවන්. එක් එක් පුද්ගලයන්ට තිබෙන ගැටලු, පීඩාවන් සහ ඒවාට මුහුණ දෙන ආකාරය, කළමනාකරණය කරන ආකාරය එකිනෙකාට වෙනස්. ප්‍රශ්න දිහා නිවැරදිව බලන්න, නිවැරදි විසදුම් ලබාගන්න හැම කෙනාම සමත් වන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ඇතිවිය හැකි ගැටලු වලට , පීඩාවන් වලට නිවැරදිව මුහුණ දීමට සහ නිවැරදිව කළමනාකරණය කරගැනීමට නොහැකි වීම තමයි මේ ස්වයං හානි කරගැනීමට මෙයට මූලික හේතුව.
මම කළින් සඳහන් කළා වගේ, ස්වයං හානි කරගන්න අයෙකුට පසුව තේරුම් යනවා ස්වයං හානිකරගැනීම් ඇත්තටම ප්‍රශ්න වලට විසදුමක් නෙවෙයි කියන එක. ඒ අවස්ථාවට ඒ පුද්ගලයාට තවත් පීඩනයක් වෙනවා, මොකද ලැජ්ජාව සහ වරදකාරී හැඟීම් නිසා.
ඉතින් ඔබටත් යම් යම් ප්‍රශ්න තිබෙනනවා නම්, ඒ නිසා මානසික පීඩනයෙන් නම් ඉන්නේ, ඒවාට විසඳුම් ලෙස තමන්ටම හානි කරගැනීම් සිදුකරගන්න එපා. එය විසඳුමක් නොවෙයි කියලා ඔබටම තේරුම් යනවා. ඉතින් ස්වයං හානි කරගන්න හිතෙනවා නම්, දැඩි මානසික පීඩනයකින් නම් ඔබ ඉන්නේ, හැකි ඉක්මනින් මනෝ උපදේශනයක් වෙත යොමු වෙලා, ඉන් සහය ලබාගනිමින් ඔබේ ප්‍රශ්න නිරාකරණය කරගන ජීවිතය දෙස ධනාත්මකව දකින්න.
©Avishka Sathsara Piyumal
