Scientists

Scientists

Sasiru Anjana

විශිෂ්ඨ විද්‍යාඥයෝ

ලුයිස් ඩී බ්‍රෝග්ලි


ප්‍රංශයේ ඩයිපේ ප්‍රදේශයේදී 1892 අගෝස්තු 15වන දින ප්‍රංශයේ හමුදාමය හා දේශපාලනික බලයක් ඉසිලූ ඩී බ්‍රෝග්ලි පරපුරේ පස්වන ඩී බ්‍රෝග්ලි ආදිපාදවරයා වූ ලුයිස් අපෝන්ස් වික්ටර් ඩී බ්‍රෝග්ලි සහ පෝලිං ඩී ආර්මයිල් යන මව්පියන්ට දාව පසු කලක ඩී බ්‍රෝග්ලි නම් සුවිශේෂි විද්‍යාඥයා ලෙසත් හත්වන ඩී බ්‍රෝග්ලි ආදිපාදවරයා ලෙසත් ප්‍රකට වූ ලුයිස් වික්ටර් පියරේ රේමන්ඩ් ඩී බ්‍රෝග්ලි උපත ලැබුවේය. පසුකාලයෙ ප්‍රංශයේ ප්‍රසිද්ධ පරීක්ෂණාත්මක භෞතික විද්‍යාඥයෙක් වූ මොරිස් ඩී බ්‍රෝග්ලි ද ඇතුලත්ව ඔහුට වැඩිමල් සහෝදර සහෝදරියන් සිව්දෙනෙක් විය.


කුඩා කල කලා විශය ධාරාවන්ට කැමැත්තක් දැක්වූ ඔහු 1910 දී සිය මානව ශාස්ත්‍රය පිලිබද ප්‍රථම උපාධිය පැරිස් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. ඉන්පසු ගණිතය හා භෞතික විද්‍යාව හැදෑරීමට යොමු වූ ඩී බ්‍රෝග්ලි 1913 දී පැරිස් විශ්ව විද්‍යාලයෙන්ම භෞතික විද්‍යාව පිලිබද ප්‍රථම උපාධිය ද ලබා ගැනීමට සමත් විය. ඉන්පසු 1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භයත් සමග යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබලෙක් ලෙස ඔහු සේවයට එක්විය.


යුධ සමයේදී එවකට අයිෆල් කුලුණේ සන්නිවේදන කටයුතු භාර දෙවනියා වූ මොරිස් ඩී බ්‍රෝග්ලිගේද සහය ඇතිව යුද්ධයට අවශ්‍ය සන්නිවේදන කටයුතු වල දුර්වලතා මග හරවා ගැනීමට සහය වෙමින් සාමාන්‍ය ඉංජිනේරුවෙක් ලෙස ඔහු කටයුතු කලේය. ඊට අමතරව ඔහුගේ සොහොයුරා සහ ලියොන් බිලොවුයින් යන විද්‍යාඥයින් ආරම්භ කල සබ්මැරීන් සදහා රැහැන් රහිත රේඩියෝ සන්නිවේදන ජාලයක් ගොඩ නැගීමට ඔහු එක්විය. නමුත් යුද්ධයෙන් පසුව ඔහු සාමාන්‍ය ගැටලු පමණක් විසදමින් වසර 6ක් පමණ ගත කල අතර එය ඔහුගේ ජීවිතයේ අපතේ ගිය කාලයක් බව පසු කලක ඩී බ්‍රෝග්ලි සදහන් කර ඇත.


ඉලෙක්ට්‍රෝන තරංග පිළිබද ඩී බ්‍රෝග්ලිගේ න්‍යාය 1924 දී පර්‍යේෂණ පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කෙරුණි. ඒ වෙනුවෙන් පැරිස් විශ්ව විද්‍යාලය ඔහුට ආචාර්‍ය උපාධියක් පිරිනැමූ අතර එහි අයින්ස්ටයින්ගේ හා මැක්ස් ප්ලාන්ක්ගේ මාර්ගයේ යමින් ගොඩ නැගූ තරංග - අංශු ද්වයිතය පිළිබද සිද්ධාන්තය ඇතුලත් විය. ඩී බ්‍රෝග්ලි කල්පිතයෙන් එය වඩාත් පැහැදිලි කෙරෙන අතර මෙය භෞතික විද්‍යාවේ නව ක්ශේත්‍රයක් වූ තරංග යාන්ත්‍ර විද්‍යාවේ ආරම්භය ලෙසද සැලකේ. මෙයට අනුව ඕනෑම පදාර්ථයක් තරංගයක් ලෙසද හැසිරෙන බවට වන ක්වන්ටම් භෞතික විද්‍යා නිගමනය ගොඩනැගී පවතී. මේ වෙනුවෙන් ඩී බ්‍රෝග්ලි හට 1929 භෞතික විද්‍යාව වෙනුවෙන් වන නොබෙල් ත්‍යාගය පවා හිමි වීමෙන් එම සොයා ගැනීමේ වැදගත් කම පැහැදිලි වේ.


පසුව ඩීබ්‍රෝග්ලි විසින් තරංග යාන්ත්‍රික විද්‍යාව වෙනුවෙන් අර්ථ දැක්වීමක් ද ඉදිරිපත් කල අතර1950 දශකයේ දී එයට ප්‍රතිපක්ශව ක්වන්ටම් විද්‍යාව මත පදනම්ව තවත් අර්ථ දැක්වීමක් ඩේවිඩ් බෝහ්ම් විසින් ඉදිරිපත් කරනු ලැබීය. එය ඩී බ්‍රෝග්ලි - බොහ්ම් න්‍යාය ලෙස වර්තමානයේ හැදින්වේ. අනාගත විද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් බී බ්‍රෝග්ලි විද්‍යාව පිළිබද දර්ශනය (Philosophy of Science) නමින් කෘතියක් රචනා කල අතර එහි දී නූතන විද්‍යාත්මක සොයා ගැනීම්වල වැදගත්කම පැහැදිලි කර ඇත.


1945 දී පරමාණුක ශක්තිය පිළිබද ප්‍රංශ උසස් කොමිසමේ අනුශාසකවරයා ලෙස ඔහුව පත් කෙරුණි. යුනෙස්කෝව විසින් ප්‍රධානය කරන කාලිංග සම්මානය ප්‍රථම වරට හිමිකරගත්තේ ඩී බ්‍රෝග්ලි විසින් වන අතර ඒ 1952 දීය. 1953 රාජකීය සංගමයේ සාමාජිකත්වය ලැබුණු අතර 6වන ඩී බ්‍රෝග්ලි ආදිපාදවරයා වූ සොයුරු මොරිස්ගෙන් පසුව 1960දී ඔහු හත්වන ඩී බ්‍රෝග්ලි ආදිපාදවරයා ලෙස පත්විය. 1961 දී ඔහුට නයිට් පදවියක් හිමි විය.


ඩී බ්‍රෝග්ලි විසින් හෙන්රි පොයින්කෙයාර් ආයතනයේ ව්‍යවහාරික යාන්ත්‍ර විද්‍යා අංශයක් ආරම්භ කර එහි ප්‍රකාශ විද්‍යාව, පරමාණුක විද්‍යාව පිළිබද පර්‍යේෂණ කටයුතු ආරම්භ කලේය. ක්වන්ටම් විද්‍යාව පිළිබද අන්තර්ජාතික ඇකඩමිය ආරම්භ කිරීමටද ඔහු මැදිහත් විය.


ඩී බ්‍රෝග්ලි සිය අවසානය දක්වා අවිවාහකව ජීවත් වූ අතර ඔහුගෙන් පසුව ආදිපාද තනතුර සදහා ඔහුගේ මස්සිනෙකු නම් කර තිබුනි. 94 වැනි වියේදී 1987 මාර්තු 19 දින ප්‍රංශයේ ලොවෙසින්නස් හිදී ජීවිතයෙන් සමු ගන්නා විට එවකට විද්‍යා ක්ශේත්‍රයේ ඩී බ්‍රෝග්ලි නාමය නොදත් කිසිවෙකු නොවීය.


*****


භෞතික විද්‍යාව තුල ඩී බ්‍රෝග්ලි නම් චරිතයේ වැදගත්කම.........


ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව සියලු පදාර්ත තරංග ගුණ දක්වයි. උදාහරණයක් ලෙස ඉලෙක්ට්‍රෝන කදම්භයකට ආලෝක කදම්භයක් ලෙස විවර්තනයට ඇති හැකියාව දැක්විය හැකිය. ප්‍රමාණයෙන් විශාල වස්තු සදහා මෙම තරංග හැසිරීමේ දී තරංග ආයාමය විශාල අගයක් ගන්නා බැවින් එවිට එම අර්ථ දැක්වීම අර්ථ විරහිත වේ. එමනිසා මෙය ක්වන්ටම් විද්‍යාව වැනී ක්ශේට්ග්‍රවලදී භාවිතා වන අතර මෙම තරංග පදාර්ථ තරංග ( Matter wave) ලෙස හැදින්වේ. මෙම සංකල්පය මුල් වලට හදුන්වා දුන්නෙ ඩී බ්‍රෝග්ලි විසිනි. එනිසා මේවා ඩී බ්‍රෝග්ලි තරංග ලෙසද හැදින්වෙන අතර එවායෙ තරංග ආයාමය ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය ලෙස හැදින්වේ.


ඩී බ්‍රොග්ලි තරංග ආයාමය ප්ලාන්ක් නියතය හා අදාල අංශුවේ ගම්‍යතාවය අතර අනුපාතය ලෙස අර්ථ දක්වා ඇත. මෙම සංකල්පය ජෝජ් පැජට් තොම්සන්ගේ සිහින් ලෝහ විවර්තන පරීක්ශනය හා ඩේවිඩ්සන් -ගර්මර් පරික්ශනය මගින් එකිනෙකින් ස්වාධීනව සනාථ කර ඇත.


විශේෂ සාපේක්ෂතාවාදය හා ක්වන්ටම් ක්ශේත්‍ර න්‍යාය එකග කරවීමට යොදාගන්නා ඩී බ්‍රෝග්ලි න්‍යායද ඩී බ්‍රෝග්ලිගෙ සොයාගැනීමක් වන අතර එය ඩේවිඩ් බොහ්ම් ගේ වැඩිදියුණු කිරීමකි එයින් ආරම්භ වූ නව විද්‍යා සංග්‍රාමය ෂ්‍රෝඩිංගර් සමීකරණය සොයාගැනීම දක්වා හේතු විය.


සටහන: Muditha Dhananjaya Ariyarathna

ඉදිරිපත් කිරීම: Maths අපි

Report Page