Sanitary Pads
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•වැඩිවියට පත් කාන්තාවන් හට මාසික ඔසප් වීම (menstruation) තත්ත්වය ඇති වෙනවා. එය සාමාන්‍ය දෙයක් වුණත්, ඒ ගැන නිසි අවබෝධයක් නොමැති අයත් අප අතරේ සිටිනවා.
මාසික ඔසප් වීමේදී ශරීරයෙන් පිටවන ශ්‍රාවයන් ඇතුළු රුධිරය නිසා කාන්තාවන්ට සෞඛ්‍යය ආරක්ෂිත ලෙස යොදා ගන්න පුලුවන් ක්‍රමවේදයක් තමයි සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම. ශ්‍රී ලංකාවේ වැඩිවියට පත්වන කාන්තාවන් සැළැකිය යුතු පිරිසක් ඉන්නවා සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන. සනීපාරක්ෂක තුවා භාවිතා නොකිරීමට ප්‍රධානම හේතුව තමයි ආර්ථිකමය අපහසුතා. ඊට අමතරව අනවබෝධය නිසා සෞඛ්‍යය විවිධ ආරක්ෂිත නොවන ක්‍රම ඇතැම් අය භාවිතා කරනවා. හැම කාන්තාවකටම තම අවශ්‍යතාවය සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. එම තත්ත්වය සම්බන්ධව මම වෙනම ලිපියකින් ඉදිරියේදී වැඩි විස්තර කතා කරන්නම්.
මාසික ඔසප් වීමේදී සෞඛ්‍යය ආරක්ෂිත ලෙස යොදාගන්න පුලුවන් අලුත් ක්‍රමවේදයන්ද අද නිර්මාණය වෙලා තියනවා. ඒ අතරින් බහුතරයක්ම දෙනා sanitary pads තමයි භාවිතා කරන්නේ.
මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ, එලෙස සනීපාරක්ෂක තුවා භාවිතා කරන ගොඩක් අය අතරේ තියන වැරදි වැටහීම් කිහිපයක් ගැන. මෑතකාලීනව යම් සිදුවීම් කිහිපයක් දකින්න සහ අහන්න තිබුණු නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුනේ. ඒ තමයි තමන්ට මාසිකව වන ඔසප් වීම නිසා යොදාගන්න සනීපාරක්ෂක තුවා පිළිබඳව කාන්තාවන් තුළ පදනම් විරහිත ලැජ්ජාවවක්, වැරදි වැටහීම්, ඇතිකරගන තිබෙනවා.
මට දැනගන්න පුලුවන් වුණු ඒ යටතේ සිදුවන දේවල් කිහිපයක් මම පහතින් සඳහන් කරනනම්,
⁃ නිවසට ගේන අනෙකුත් බඩුබාහිරාදිය මිලදී ගත්තාට පසුව වෙනම මිල ගෙවා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම.
⁃ සනීපාරක්ෂක තුවා මිළදී ගැනීමට යන Pharmacy එකේ හෝ වෙළඳසැලේ පිරිමි අයෙක් සිටියොත් එය මිළදී නොගැනීම
⁃ පත්තරයක ඔතා දෙන ලෙස ඉල්ලීම සහ මිලදි ගත් විගසම බෑගයක දමා ගැනීමට උත්සහ කිරීම
⁃ හැකිතාක් අන් අයට නොපෙනෙන්න මිලඳී ගැනීමට උත්සහ කිරීම
⁃ ගෙදරට අවශ්‍ය බඩුබාහිරාදිය ගේන්නේ ගෙදර සිටින අයගෙන් පිරිමි කෙනෙක් නම් ඔහුට කියන්නේ නැහැ සනීපාරක්ෂක තුවා ගේන්න කියලා.
⁃ වෙනත් දේවල් ඉල්ලන ශබ්දයට වඩා ශබ්දය අඩු කර කතා කරමින් සනීපාරක්ෂක තුවා ඉල්ලා සිටීම.
⁃ ඇතැම් අය අම්මාට තමයි සනීපාරක්ෂක තුවා තමන්ට අවශ්‍ය බව කියලා ගෙන්වාගන්නේ. ඒ අය වෙනත් භාණ්ඩ මිලදී ගත්තාට සනීපාරක්ෂක තුවා මිලඳී ගන්නේ නැහැ.
⁃ නිවසේ පිරිමි අයට නොපෙනෙන ලෙස ඒවා තැබීමට නිතර උත්සහ කරනවා.
⁃ සනීපාරක්ෂක තුවා ලෙස හෝ එහි නිවැරදි නම නොකියා, එය වෙනත් ව්‍යංග අර්ථයන්ගෙන් ප්‍රකාශ කරනවා
⁃ සනීපාරක්ෂක තුවා වල කොයිතරම් මිල ගණන් වැඩි වුණත් , ඒ ගැන කතා කරන්නේ හෝ විරුද්ධ වන්නේ නැහැ.
මේ මට දැනගන්න පුලුවන් වුණු දේවල්. තවත් එවැනි දේවල් තියනවා නම් පහතින් comment එකක් විදිහට සටහන් කරන්න.
කාන්තා ඔබ ඇයි එවැනි දේවල් සිදුකරන්නේ. ඇයි වැරදි මත හිතේ ඇතිකරගන කාන්තාවන් විසින්ම සනීපාරක්ෂක තුවා ලැජ්ජාවට, අවමානයට, හේතුවක් කරගන්නේ. සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම ලැජ්ජාවට කාරණයක් නොවෙයිනේ. එය කාන්තාවන්ගේ අවශ්‍යතාවක්. අපි අනෙකුත් අවශ්‍යතා සපුරා ගද්දී ලැජ්ජාවට පත් වෙනවාද? නැහැනෙ.
මාසික ඔසප් වීම සහ ඒ නිසා භාවිතා කරන සනීපාරක්ෂක තුවා පිළිබඳව කාන්තා පිරිමි ළමා වැඩිහිටි හැම කෙනාටම අවබෝධයක් තිබෙන්න ඕන. පිරිමි කෙනෙක් විදිහට තමන්ගෙ මවගේ, සහෝදරියගේ, පෙම්වතියගේ, භාර්‍යාවගේ, දියණියගේ, මාසික ඔසප් වීම, සනීපාරක්ෂක තුවා භාවිතය ගැන අවබෝධයක් තිබෙන්න ඕන.
මාසික ඔසප් වීම සම්බන්ධවද තවත් විවිධ විවිධ වැරදි මත ලංකාවේ තියනවා. ඔසප්වීම කියන්නේ කෙනෙක් ලෙඩ වීමක්, ඇතැම් අය ඔසප් දවස් අසුභ ලෙස හිතනවා, මොන අපහසුතා තිබුණත් කිසිම කෙනෙක්ට නොකියා ඉන්න උත්සහ කරනවා. ආගමික මතවාද ලෙස පවතින ඇතැම් මිත්‍යා මත වලින් ඔසප් කාලසීමාව තුළ සිටින කාන්තාවන්ට විවිධ අවතක්සේරුවට ලක් වීම්ද වෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම වැරදි දේවල්.
අවසාන වශයෙන්, මාසික ඔසප් වීම හෝ සනීපාරක්ෂක තුවා භාවිතය කියන්නේ ලැජ්ජා වීමට කාරණයක් නොවෙයි. වැරදි මත හිතේ ඇතිකරගන තමන් විසින් තමන්වම අවතක්සේරුවකට ලක්කර ගන්න එපා. නිවැරදි අවබෝධයක් සහිතව සතුටින් ජීවිතය ගතකරන්න.
Avishka Sathsara Piyumal
