Pica disorder
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•මේ දවස්වල අපිට එකදිගට යොමුවුන ගැටලුවක් තමයි මේ pica disorder කියන්නේ. ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ Pica Disorder කියන්නේ කියලා.
Pica disorder කියන්නේ ආහාර ගැනීම හා සම්බන්ධ ආබාධයක්. ඒ කියන්නේ ආහාර නොවන දේවල් ආහාරයට ගැනීමේ අවස්ථාවක් කියල සරලවම කියන්න පුලුවන්. උදාහරණ විදිහට නියපොතු, කඩදාසි, යකඩ, චෝක්, නූල්,මැටි, අළු, ලී කැබලි, ගම්, හිසකෙස්, සිගරට් අළු සහ මලපහ ඇතුළත් වේ. මෙම ආබාධය ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන අතර, වයස අවුරුදු 1 සිට 6 දක්වා කුඩා ළමුන් අතර, බුද්ධිමය හා සංවර්ධන දුර්වලතා ඇති ළමුන් සහ වැඩිහිටියන් තුළද එය ඇතිවිය හැක. දුර්ලභ අවස්ථාවන්හිදී, ගර්භනී කාන්තාවන්ද ආහාර නොවන දේවල් වලට ආශා කරයි. ගර්භනී කාලය තුළ නම් මෙම තත්වය නිසා යකඩ හා zinc ඌනතාවයට බලපෑම් එල්ල විය හැකිය.
බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය දරුවන් සහ සාමාන්‍ය පුද්ගලයන් ඔවුන්ගේ නියපොතු, පෑන් පැන්සල් වැනි දේ හපයි, නැතහොත් තම හිසකෙස් හැපීම සිදුකරයි. මේවා සාමාන්‍ය පුරුදු ලෙස ගන්න පුලුවන්. නමුත් Pica රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු ආහාර නොවන මේ ආකාර වූ ද්‍රව්‍ය නැවත නැවතත් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ නොසිතා අනුභව කර, එම ද්‍රව්‍ය හේතුවෙන අසනීප වන බවක් පෙනේ ඔවුන් මානසික වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. ඉන්පසු වෛද්‍යවරයා ඔබේ ශාරීරික රෝග ලක්ෂණ සලකා බලා ඉහළ අවධානම් මට්ටමක සිටී නම්, එලෙස ආහාර නොවන ද්‍රව්‍ය අනුභව කර ඇති ආකාරය සහ කොපමණ කාලයක් ඔබ එය සිදුකර තිබේද යන්න විමසා බලා ප්‍රතිකාර වෙත යොමු කිරීම සිදු කරයි. මේ හැසිරීම මාසයක් හෝ ඊට වැඩි කාලයක් සිදුවී ඇත්නම් එය pica disorder ලෙස හඳුනාගත ගැනීමටද ඉඩක් තිබේ.
රුධිර පරීක්ෂණ, X-කිරණ වැනි පරීක්ෂණද සිදු කිරීමට ඉඩ ඇත. එනම්, රක්තහීනතාවය පරීක්ෂා කිරීම, යකඩ හා විටමින් ප්‍රමාණය පරික්ෂා කිරීම, රුධිරයේ විෂ ද්රව්ය සොයා බැලීම සහ බඩවැල්වල අවහිරතා සොයා ගැනීම සඳහාය.
මෙහි ඇති සංකීර්ණ තත්වයක් වන්නේ පුද්ගලයෙක් අනුභව කරනු ලබන ද්‍රව්‍යයේ හැටියට රෝග ලක්ෂණ එකින් එකට වෙනස් වීමයි.
එනම්,
▪️බඩේ අමාරුව
▪️මළපහ තුළ රුධිරය පිටවීම (එය ආහාර නොවන ද්‍රව්‍ය අනුභව කිරීමෙන් වර්ධනය වූ තුවාලයකින් විය හැකිය)
▪️බඩවැල් අවහිරවීම වැනි ගැටළු (මලබද්ධය හෝ පාචනය වැනි)
▪️දත් වලට තුවාල
▪️බැක්ටීරියා ආසාදන
▪️ගෑස්ට්‍රයිටිස්
Epilepsy වගේ රෝග තත්වවල සිටින පුද්ගලයන්ට මේ තත්වය ඇති වෙන්න වැඩි ඉඩකඩක් ඇත. ඒ වගේම development disabilities, මොළයේ ක්‍රියාකාරිත්වය ආශ්‍රිත ගැටලු, භින්නොන්මාදය (Schizophrenia) වැනි රෝග සහිත පුද්ගලයන්ටද මෙම තත්වය ඇති වන්න ඉඩකඩ තිබේ. එම රෝගීන් සඳහා නම් ප්‍රතිකාර කිරීම ඉතාමත් අපහසු වේ. මෙම රෝගයට අදාල ප්‍රතිකාර ගැන කතා කලොත්, චර්යාත්මක ප්‍රතිකාර අත්‍යවශ්‍ය වන අතර මානසික වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට අදාලව ඖෂධවල අවශ්‍යතාව තිරණය කරනු ලබයි. #pica_disorder
✍🏻 Nimasha Perera | නිමාෂා පෙරේරා
2022.05.26
Foreign Affiliate Member in APA
MA in Clinical Psychology (CU.in)
BA special in Philosophy and Psychology (Japura.sl)
Diploma in Counseling Psychology (MHF)
