Physical Punishments
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
"දරුවන් හරි මගට ගන්න නම් දඬුවම් කරන්න ඕන.., ගහන්නේ නැතුව නම් ළමයි හදන්න බැහැ.., එක පාරක් දෙපාරක් කිව්වම අහන්නේ නැත්නම් දෙකක් දෙන්න අල්ලගන..." මේ වගේ දේවල් නිතර නිතර අපේ සමාජය තුළ පේන්න ඇහෙන්න තියනවා. ශ්‍රී ලංකාවේ දරුවන් හා සම්බන්ධව, ළමාවිය හා සම්බන්ධව, වැඩිහිටියන් තුළ පවතින ලොකුම වැරදි මතයක් තමයි ඒ.
ඇත්තටම දරුවන් හරියට හදන්න නම් දරුවන්ට ශාරීරික දඬුවම් (physical punishments) කරන්න ඕනද..?
නැහැ. කිසිසේත්ම නැහැ. ශරීරය දඩුවම් කවුරු මොන දේවල් ඔස්සේ සාධාරණීකරණය කරන්න උත්සහ කළත්, ශාරීරික දඬුවම් වැඩිහිටියන් විසින් යොදාගන්නේ හේතු දෙකක් නිසා කියලයි මම දකින්නේ.
01. නිවැරදි අවබෝධයක් නොමැතිකම හෝ වැරදි අවබෝධන් තිබීම.
02. නිර්මාණශීලීත්වයක් නොමැතිකම.
දෙමව්පියන්, ගුරුවරු ඇතුළු වැඩිහිටියන් තමන්ගෙ තේරුම් ගැනීමේ මට්ටමෙන්, තමන්ගෙ වයසට අදාළ මානසික මට්ටමෙන් පමණක් දරුවන්ව judge කරන එක, දරුවන්ගේ හැසිරීම් වලට ප්‍රතිචාර දක්වන එක සම්පූර්ණ වැරදි දෙයක්. අපි දරුවා ඉන්න මට්ටම, දරුවාගේ වයසත් සමග තේරුම් ගැනීමේ හැකියාව, දරුවන්ගේ සිතුම් පැතුම්, ඒ ඒ වයසට අදාළව දරුවන් කටයුතු කරන ආකාරය, ගැන නිවැරදි අවබෝධයක් වැඩිහිටියන්ට තිබෙන්න ඕන. දරුවන් කොහොමද දේවල් ඉගන ගන්නේ, දරුවන් ඇයි වැරදි දේවල් වලට යොමු වෙන්නේ, කොහොමද යොමු වෙන්නේ, වැරදි දෙයක් කොහොමද නිවැරදි කරන්නේ, හරි දේවල් මොනවාද, ඒ ඒ වයස් වලට අදාළව දරුවන්ගේ තේරුම් ගැනීමේ මට්ටම්, ඒ වගේම මීට අවුරුදු 10කට කලින් සමාජ පරිසරය නෙවෙයි දැන් තියෙන්නෙ. ඒ කාලයේ කටයුතු කරපු විදිහට දැන් කටයුතු කරන්න බැහැ. ඒ වගේ දේවල් ගැන වැඩිහිටියන්ට නිවැරදි අවබෝධයක් තිබිය යුතුමයි.
ඊළඟට නිර්මාණශීලී නොවීම කියන එකෙන් මම අදහස් කළේ, දරුවන්ට ඉගැන්වීම් කටයුතු වලදී, දේවල් තේරුම් කරවීමේදි වැරදි දේවල් පෙන්වාදීමේදී, හරි දේවල් පෙන්වාදීමේදී, දරුවන්ට දේවල් පැහැදිලි කිරීමේදී, අලුත් ක්‍රමවේද, දරුවන්ට ගැළපෙන වෙනස් ක්‍රමවේද, යොදාගන්න ඕන. යල්පැන ගිය විදිහට දඬුවම්, පහරදීම්, බියකිරීම්, තර්ජන කිරීම්, යොදාගන්නවා කියන්නේ කිසිම නිර්මාණශීලී බවක් දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධව නැහැ කියන එකනේ.
ඒ නිසා දරුවන් හා සම්බන්ධව නිවැරදි අවබෝධයක් නොමැතිකමට හෝ නිර්මාණශීලී බවක් නොමැතිකමට හෝ අපි වෙන වෙන හේතූන් කියන එක නොකළ යුතුයි.
මේ ගැහැණු දරුවාගේ සිදුවීම වගේ දේවල් මේ රටේ කලාතුරකින් සිදුවුණු දෙයක් නෙවෙයි. මේ වගේ අමානුෂික දේවල් දරුවන්ට බහුලවම සිදුවෙනවා මේ රටේ. මේ මෑතකදී මට මතකයි දරුවා පාඩම් නොකර Phone එකේම ඉන්නවා කියලා පියා කරපු පහර දීමකින් පිරිමි දරුවෙක් මියගියා. ඊට ටික කාලකට කලින් මට මතකයි, ආච්චිට වදින්නේ නැහැ කියලා අවුරුදු 4-5 පොඩි දරුවෙක්ට ඉතාමත් අමානුෂික විදිහට පහර දෙනවා.
ඇතැම් අවස්ථාවන් වලදී මේ ශාරීරික දඬුවම් බහුතරයක් විසින් සාධාරණීකරණය කරනවා. පියාගේ පහරදීම පවා හිතලා නෙවෙයි එහෙම පහරදුන්නේ වගේ අදහස් එන විදිහට කවි ගී නිසදැස් පවා ලියවුණා මට මතකයි. ඒ වගේම අර පොඩි දරුවාට අම්මා පහරදෙන එකටත් ඇතැම් අය , ඒ පොඩි දරුවාගේ හිතුවක්කාරකම, තව ලොකු වුණාම මොනවා කරයිද, ගහල හරි හදන්න ඕන, වගේ දේවල් කියලා තිබුණා. තමන් කුඩා කාලයේ ගෙදරින් ශාරීරික දඩුවම් වලට ලක්වෙලා නම්, තවත් කෙනෙක් ශාරීරික දඩුවම් වලට ලක්වෙද්දී ඒක සාධාරණීකරණය කරලා හිතේ තියන තරහව පිටකරනවා වත්ද කියලාත් මට ඒ දේවල් දකිද්දී හිතුණා.
ඒත් එක්කම තව දෙයක් තමයි, පහරදීමෙන් මියගියොත් හෝ ලොකු හානියක් වුණොත් ඒ පහරදීම දැඩිව විවේචනය කරනවා. නමුත් ඒ විදිහටම පහරදීලා මියනොගියොත් හෝ ලොකු හානියක් නොවුනොත් ඒක විවිධ දේවල් ඔස්සේ සාධාරණීකරණය කරාවා.
එතකොට පහරදීමක් නරක වෙන්නේ ලොකු හානියක් උනොත් විතරයිද? ලොකු හානියක් නොවන පහරදීම් නරක නැහැද?
අපිට කොහොමද කියන්න පුලුවන්, මේ විදිහට ශාරීරික දඩුවම් කිරීම හොදයි, මෙතනින් එහාට ගියොත් තමයි නරක කියලා. කාටද කොහොමද පුලුවන් එහෙම සීමාව පෙන්වන්න. ශාරීරික දඩුවමකින් වේදනාවට පත්වෙන්නේ ඒකට ලක්වන දරුවා. එතකොට ඒ දරුවාට දැනෙන වේදනාවක්, වෙන බාහිර කෙනෙක් සාධාරණීකරණය කරන්නේ කොහොමද සහ එහෙම කරන්න අයිතියක් තෙබෙනවාද? නැහැ. කිසිසේත්ම එහෙම අයිතියක් නැහැ. අඩුමතරමේ දෙමව්පියන්ටවත් එහෙම අයිතියක් නැහැ.
බොහෝ දෙමව්පියන්, ගුරුවරු, වැඩිහිටියන්, දරුවෙකුගේ වැරදි දෙයකට දඩුවම් කරනවා. නමුත් වරද මොකක්ද, ඇයි ඒක වැරැද්දක් වෙන්නේ, ඇයි එපා කියන්නේ, ඒකෙන් වෙන හානිය මොකක්ද, එහෙනම් හරි දේ මොකක්ද, හරිදේ තියන හොද මොකක්ද, ඒ දේවල් ගැන දරුවාට අවබෝධයක් දෙන්නේ නැහැ. දෙමව්පියන්, ගුරුවරුන් හිතන දෙය වෙන්නේ නැති නිසා වරද දුටු ගමන් දඩුවම් කරනවා. එහෙමත් නැත්නම් බොහෝ වේලාවක් එකම දේ කිය කිය බැණ බැණ ඉන්නවා.
මෑතකාලයේ බහුලව වාර්තා වුණු දෙයක් තමයි දරුවන් Mobile Phone එකට අධිකව යොමුවීම කියන එක. ඒ වගේම ඒ නිසා දෙමව්පියන්ගෙන් සිදුවුනු ශාරීරික දඩුවම් වලටත් බොහෝ දරුවන් ලක්වුණා. මෙතනදීත් ඇතැම් දෙමව්පියන් කරපු දෙයක් තමයි,
"එක පාරක් phone එක ඔබ ඔබ ඉන්න එපා කිව්වම අහන්න ඕන, දෙතුන්පාර මට කියන්න තියන්න එපා.." මෙහෙම කියලා දෙවනි වතාවටත් phone එකේ වැඩි වේලාවක් හිටියොත් දඩුවම් කරනවා.
නමුත් කිසිම විටක, "ඇයි phone එක නිකරුණේ ගන්න එපා කියන්නේ, මොනවාද නරක දේවල්, මොනවාද වෙන්න පුලුවන් හානිය, කොහොමද එහෙනම් හරියට phone එකෙන් ප්‍රයෝජන ගන්නේ.." එහෙම දේවල් ගැන පැහැදිලි අවබෝධයක් දරුවාට දෙන්නේ නැහැ. ඉතින් දරුවා තුළ දෙගිඩියාවක්, කුතුහලයක් ඇති වෙනවා.
වැරදි ක්‍රියාව නොකර හිටියත් ඒ අවබෝධය නිසා නෙවෙයි බිය නිසායි නොකර ඉන්නේ . ඒ නිසයි බොහෝ අවස්ථාවන් වල දෙමව්පියන්, ගුරුවරු හොදයි කියලා හිතාගන ඉන්න දරුවන්, වැඩිහිටියන් නැති වෙලාවක හිතාගන්නවත් බැරි වැරදි වැඩ කරන්නේ. හොරෙන් හරි ඒ දේවල් කරනවා අර ඇතිවුණු අනවශ්‍ය කුතුහලය නිසා.
දැන් මම කියන්නම් මේ ශාරීරික දඬුවම් කිරීමේ තියන අහිතකර බලපෑම් මොනවාද කියලා.
⁃ විශේෂයෙන්ම මුල් අවුරුදු 06 තුළ ලක්වෙන ශාරීරික දඬුවම් දැඩි අහිතකර බලපෑම් දරුවන්ට ඇතිකරනවා.
⁃ කෝපය, බිය, ලැජ්ජාව, දරුවන් තුළ ඇතිවෙනවා.
⁃ ආත්මාභිමානය හීන වීම සහ අත්ම අවබෝධය අඩු වෙනවා.
⁃ දඩුවම් සාමාන්‍යකරණය වෙන්න පුලුවන්. එතකොට දරුවන් පාලනය කිරීම අපහසු වෙනවා.
⁃ ශාරීරික දඩුවම් මගින් ඉතාමත් පහසුවෙන් දරුවන් අපයෝජනය වෙනවා.
⁃ දඬුවම් මඟින් ඇතිවන වේදනාව දරුවන් තුළ ආක්‍රමණශීලී හැඟීම්, චර්යාවන්, ඇතිකරනවා.
⁃ දෙමව්පියන්, වැඩිහිටියන් කෙරෙහි Bad Image එකක්, තරහවක්, දුරස්බවක්, ඇතිවෙනවා.
⁃ චිත්තාවේගීය වශයෙන් දැඩි හානිකර තත්ත්වයන් ඇති වෙනවා.
⁃ සමාජ විරෝධී චර්යාවන් ඇතිවෙන්න පුලුවන්.
⁃ පාඩම් කිරීම ඇතුළු අධ්‍යාපන කටයුතු වලට බාධාවන් ඇතිවෙනවා.
⁃ අවධානය (attention) යොමුකිරීම සම්බන්ධව ගැටලු ඇතිවෙනවා.
⁃ අදාළ වැරදි ක්‍රියාවම හෝ වෙනත් වැරදි ක්‍රියාවන් වලට තවත් යොමුවීමක් වෙන්න පුලුවන්.
⁃ හෘද සාක්ෂිය වර්ධනයක් සහ තම හැඟීම් නිවැරදි ලෙස පාලනයක් ශාරීරික දඬුවම් තුළින් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම බොරු කියන්න, දේවල් නොකියා ඉන්න දරුවන් පෙළබෙන්න පුලුවන්.
⁃ තවත් බරපතල දෙයක් තමයි දරුවන් වැඩිහිටියන්ගේ චර්යාවන් තුළින් ඉගෙනීම් ලබනවා. තමන්ගෙ දෙමව්පියන්ගෙ මේ ශාරීරික දඬුවම් ක්‍රම දරුවාට ඉගෙනුමක් වෙලා, ඒ දරුවන්ගේ දරුවන්ටත් එය සිදුකරන්න යොමුවීමක් වෙන්න පුලුවන්.
⁃ දරුවන් වැඩිහිටියන් වෙලා තමන්ගෙම ජීවිතයක් ගත කිරීමේදී, සබඳතාවයන් වලදී තමන්ට ළමා කාලයේ සිදුවුණු දේවල් අහිතකර ලෙස බලපෑම් ඇතිවෙන්න පුලුවන්.
⁃ මානසික රෝගී තත්ත්වයන් වලට හේතුවක් වෙන්න පුලුවන්. ( Anxiety, Phobias, PTSD, Depression)
ඒ වගේ දේවල් මේ ශාරීරික දඩුවම් වල තියන අයහපත් තත්ත්වයන් විදිහට දක්වන්න පුලුවන්. යම් දරුවෙකු හිතුවක්කාරයි කියනවා නම්, කියන දෙයක් අහන්නේ නැහැ, නපුරුයි, වගේ තත්ත්වයන් තියනවා නම් හොදින් බැලුවොත් පවුල තුළ එයට මොනයම් හෝ හේතුවක් බලපාලා තියනවා කියලා තහවුරු කරගන්න පුලුවන්.
අවසාන වශයෙන් දරුවන්ට නිවැරදිව හැදී වැඩීමට වේදනාවක් සහිත දඩුවම් ( ශාරීරික හෝ මානසික) කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.
කලින් සදහන් කළා වගේ, තමන්ගෙ තියන වැරදි අවබෝධන් නිසා හෝ දරුවන් සම්බන්ධව නිර්මාණශීලී බවක් නොමැති නිසා හෝ දරුවන්ට ශාරීරික දඬුවම් කරන්න එපා. දරුවන් නිවැරදි මඟට ගන්න කියලා යල්පැන ගිය වැරදි ක්‍රමවේද අනුගමනය කිරීම මඟින් දරුවන්ගේ ජීවිතය අවලස්සන කරන්න එපා.
Avishka Sathsara Piyumal