Phonophobia

Phonophobia

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

ඝෝෂාකාරී තත්ත්වයකට මුහුණ දෙන විට අපි ඕනෑම කෙනෙක්ට යම් අපහසුතාවයක් දැනෙන්න පුලුවන්. එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් මේ ලිපියෙන් කතා කරන්නේ යම් ඝෝෂාකාරී තත්ත්වයක් හමුවේ එලෙස දැනෙන සාමාන්‍ය අපහසු බවක් ගැන නොවෙයි.

Phonophobia පවතින කෙනෙක්ට ඝෝෂාකාරී තත්ත්වයක් හමුවේ දැඩි අපහසුතාවයක් ඇති වෙනවා. එදිනෙදා ජීවිතය ගත කරද්දී අපට ඇතැම් අවස්ථාවන්වල සාමාන්‍ය ශබ්දයට වඩා වැඩි ශබ්ද ඇහෙනවා. Ambulance එකක ශබ්දය, මිනිසුන් පිරිසක් ඉන්න තැනක ඇතිවන ඝෝෂාව, වාහන තදබදයකදී ශබ්දය, යමෙක් හෝ පිරිසක් උස් හඩින් කතා කරන අවස්ථාවන්, යමෙකු alarm එකට තරමක් වැඩි ශබ්දයක් දමා තිබීම, ශබ්ද විකාශන යන්ත්‍රයක්, ගුවන් යානාවක ශබ්දය සමීපව ඇසීම, එවැනි තවත් බොහෝ අවස්ථාවන් එදිනෙදා ජීවිතය ගත කිරීමේදී සිදුවෙනවා. අපි ඒවට මුහුණ දෙනවා.
නමුත් phonophobia පවතින අයට එලෙස ඇතිවෙන්න පුලුවන් ඝෝෂාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න බැහැ. සාමාන්‍ය ලෙස එම ශබ්දයන් කළමනාකරණය කරගන්න බැහැ.

Phonophobia කියන්නේ specific phobia එකක්. එහි අර්ථය සරළව කියනවා නම්, යම් දෙයක් සම්බන්ධව පුද්ගලයකු තුළ ඇතිවන පදනම් විරහිත / අතාර්කික බියක් තමයි මෙහිදී ඇතිවන්නේ. ඒ වගේම තමයි phonophobia කියන්නේ ශ්‍රවණාබාධ තත්ත්වයක් නොවෙයි. ඒ කියන්නේ කායික වශයෙන් ඇතිවෙලා තියන යම් ආබාධ තත්ත්වයක් නොවෙයි.

අපි දැන් බලමු යම් ඝෝෂාකාරී තත්ත්වයක් හමුවේ phonophobia පවතින කෙනෙක් තුළ සිදුවන දේවල් මොනවාද කියලා.
⁃ ඝෝෂාකාරී ශබ්දයට දැඩි බියක් ඇතිවීම
⁃ හැකි ඉක්මනින් එතනින් ඉවත් වීමට උත්සහ කිරීම සහ එලෙස ඉවත් වීමට දැඩි පෙළබීමක් ඇතිවීම
⁃ කන් දෙක වසා ගැනීම හෝ ශබ්දය ඇසීම අඩුකර ගැනීමට විවිධ උත්සහයන් කිරීම
⁃ අධිකව දහඩිය දැමීම
⁃ හෘද ස්පන්දනය වේගවත් වීම
⁃ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම
⁃ කළබලකාරී බවක් ඇතිවීම
⁃ ඔක්කාරය
⁃ ක්ලාන්තය
⁃ ඉක්මනින් කේන්ති යාම
⁃ අවධානය යොමුකිරීමට අපහසු වීම
⁃ ඝෝෂාකාරී ශබ්දය නිසා මනෝභාවයන් ඉක්මනින් වෙනස් වීම ( severe mood swing )

Phonophobia ඇතිවීමට නිශ්චිත එක් හේතුවක් තවම සොයාගන නැහැ.
පවුල් ඉතිහාසය තුළ phonophobia හෝ Anxiety disorder පවතින අය සිටීම මත බලපෑමක් ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම තමයි කුඩා කාලයේ දිගුකාලීන වශයෙන් මුහුණ දුන් කම්පන තත්ත්වයන්ද ඇතැම් විට මෙයට බලපාන්න පුලුවන්.

ඝෝෂාකාරී ශබ්දයට පවතින බිය Autism Spectrum disorder පවතින අය තුළද ඇතැම් අවස්ථාවන් වල තිබෙනවා. ඒ වගේම තමයි migraine headache, kleine levin syndrome, traumatic brain injury වැනි අවස්ථාවන් තුළත් මේ phonophobia තත්ත්වය තිබෙන්න පුලුවන්.

ඉතින් මේ මම සදහන් කරපු ලක්ෂණ, ඒ කියන්නේ phonophobia ආශ්‍රිත ලක්ෂණ පෙන්නුම් කරනවා නම් මොකද කරන්න ඕන?
කරන්න ඕන දෙය තමයි, ඔබට එහෙම දැනෙන ලක්ෂණ තිබෙනවා නම් ඉක්මනින්ම ඔබේ තත්ත්වය තහවුරු කරගන, ඒ කියන්නේ phonophobia තත්ත්වය ඔබට පවතිනවාද ලෙස තහවුරු කරගන ඊට අදාළ මනෝ චිකිත්සන ප්‍රතිකාර ලබා ගැනීම සිදුකරන්න. Phonophobia තත්ත්වය සමනය කරගන්න ඔබට පුලුවන්.

Avishka Sathsara Piyumal

Report Page