සයිබීරියානු හස්කි

සයිබීරියානු හස්කි


#Pet_Dog

Dogs_HB

සයිබීරියානු හස්කි කියන්නෙ ගොඩක් ශක්තිමත් , එඩිතර වගේම පක්ශපාති සුනඛ වර්ගයක්. ඒ වගේම මේ සුනඛ වර්ගය ගොඩක් බුද්ධිමත් නිසාම මිනිසාගේ සගයෙක් හැටියට , මිනිසාට කිට්ටු සබඳතාවක් තියෙනව.


මේ වගේ හේතු ගණනාවක් නිසාම පහුගිය අවුරුදු කීපය ඇතුලෙ මේ හස්කි කියන සුනඛ වර්ගය ගොඩක් ජනප්‍රිය උනා.


ඉතින් අද අපි කතා කරන්නෙ සයිබීරියානු හස්කිල ගැන , බොහෝවිට ඔයාල නොදන්න කාරණා කීපයක් පිළිබඳවයි. එහෙනං යමු ලිපියට.


1.මොවුන් වෘකයන්ට යම් සමානතාවක් දරනව.

කනේ හැඩය , ඇස් වල පෙනුම සහ නාසයේ ආකාරය වගේ කරුණු හින්ද මෙයාලට වෘකයන්ට සමාන පෙනුමක් තියෙනව. ඒ උනාට මෑත කාලීන පරීක්ෂණ මගින් හෙලිවෙලා තියෙනව සයිබීරියානු හස්කිලට වෘකයන් සමග සෘජු සම්බන්ධතාවක් නෑ කියල. කොහොම උනත් වක්‍රව සුලු සම්බන්ධයක් තියෙන්න පුලුවන් කියල මත පල කරනව.


2.ඇස් දෙක පාට දෙකක්!

මේ වගේ ඇස් දෙක වර්ණයන් දෙකකින් පිහිටල තියෙන එකට කියන්නෙ heterochromia කියල. මේ තත්වය ඇතිවෙන්නෙ ජාන විකෘති/වෙනස් වීමක ප්‍රථිඵලයක් ලෙස. සයිබීරියානු හස්කිල අතරෙ මේ තත්වය ගොඩක් සුලබයි.


ඒ වගේම මේ තත්වය මිනිසා ඇතුලු තවත් බොහෝ සත්ව ආකාර වල දක්නට ලැබෙනව.


3.ඔවුන්ට විවිධ පරිසරයන් වලට අනුගත වෙන්න හැකියාවක් තියෙනව.

සමහර සුනඛයන්ට සයිබීරියාව වගේ රටවල් වල පවතින අධික ශීතල තත්වයන්ට ඔරොත්තු දෙන්න බෑ. ඒ වගේම එකිනෙකට වෙනස් තත්වයන් වලට ඔරොත්තු දෙන්න හැකියාවකුත් නෑ. හැබැයි සයිබීරියානු හස්කිලට මේ වගේ තද ශීතල පරිසරයක උනත් අපහසුවක් නැතුව ඉන්න පුලුවන්.


පුදුමයට කාරණය කියන්නෙ , හස්කිල සීතල පරිසර වලට හැඩගැහිල තියෙනව වගේම උෂ්ණ පරිසර වලටත් මේ හස්කිල ඉක්මනට අනුගත වෙනව. ඒ නිසා සාමාන්‍යය පරාසයක පරිසර තත්ව වෙනස් වීම එක්ක හස්කිලට නොනැසී ඉන්න පුලුවන්.


4.විශාල පරාසයක ශබ්ද නිපදීමේ හැකියාව.

අනෙක් සුනඛයන් එක්ක සසඳනකොට මේ හස්කිලට තියෙන විශේෂ හැකියාවක් තමා , මොවුන්ට පුලුවන් විවිධ ශබ්ද නගන්න.


මෙයාලගෙ උඩු බුරලීම කිලෝමීටර් 15ක් පමණ දුරට ඇහෙනවලු. ඒ වගේම මේ හස්කිල ගොඩක් සංවාදශීලි සුනඛ කොට්ඨාසයක්. සමහර හස්කිලට සිංදු කියන්න අඬන්න වගේ දේවලුත් පුලුවන්. හැඟීම් ප්‍රකාශ කිරීම අතිනුත් හස්කිල ඉදිරියෙන්ම ඉන්නව.


5.ලොව පැරණිතම සුනඛ වර්ග අතර ඉහළින්ම ඉන්නව.

හස්කිලව මුලින්ම බෝ කරල තියෙන්නෙ උතුරුදිග සයිබීරියාවෙ Chukshi කියන ගෝත්‍රය විසින්. මෙයාලව ඇත්තටම යොදාගෙන තියෙන්නෙ හිම කරත්ත අදින්න. ඒ වගේම නිදාගන්නකොට කුඩා ළමුන්ට උණුහුම ලබා දෙන්න වගේ දේවල් වලට මේ හස්කිල , මිනිස්සු එක්ක එකම ඇඳේ නිදාගෙන පවා තියෙනව. වනසතුන්ගෙන් ආරක්ශා වීම සඳහාත් හස්කිලව යොදාගෙන තියෙනව


මේ වගේ දේවල් නිසා සයිබීරියානු හස්කිල , Chukshi ගෝත්‍රිකයන් අතර සමාජයේ වැදගත් තැනක් හිමිකරගත්ත කියල තමයි කියන්නෙ.


නවතම සමීක්ශන වලට අනුව ආදිතම ගෘහාශ්‍රිත සුනඛ වර්ග 161ක් අතුරින් හස්කිල තමයි හතරවෙනියට පැරණිම සුනඛ වර්ගය.


6.හිම බල්ලන්

හස්කිල කියන්නෙ පොදුවේ හිමට කැමත්තක් දක්වන සුනඛ වර්ගයක්. ඔවුන්ගේ ක්‍රියාශීලි බවට අධික ශීතල කිසිඳු බලපෑමක් නෑ. හිම ආශ්‍රිත ගමනාගමනයට , (හිම කරත්ත) මේ හස්කිල යොදාගන්න මූලිකම හේතුවත් මොවුන් හිමට දක්වන අධික කැමැත්ත සහ ශීතලට දක්වන ප්‍රතිරෝධීතාව කියල සඳහන් වෙනව.


7.ගොඩක් වෙලා දුවන්න පුලුවන්.

හස්කිල ඉපදුනේම දුවන්න (They were born to run) කියල කියමනක් තියෙනව. මේ හස්කිලව මුලින් යොදාගත්තෙ හිම කරත්ත අදින්න කියල කිව්වනෙ උඩ. Chukshi ගෝත්‍රිකයන් ඔවුන්ගේ ආහාර , බෙහෙත් වගේ දේවල් ප්‍රවාහනය කරන්න තමා මේ හස්කිලව යොදාගෙන තියෙන්නෙ.


මේ වැඩේට හස්කිලවම තෝරගන්න හේතු කීපයක් තියෙනව. හස්කිල අධික ශීතලට ප්‍රතිරෝධීතාවක් දක්වනව. ඒ වගේම හස්කිලට ගොඩක් වෙලා දුවන්න තරම් ශක්තියක් තියෙනව. හස්කිල රංචුවක් තමා මේ විදිහට හිම කරත්තයක් අදින්නෙ. රංචුවෙ එක එක සුනඛයට වෙන වෙනම කාර්යභාරයක් වෙන් වෙලා තියෙනව.


හස්කිලට ගොඩාක් වෙලා එකදිගටම දුවන්න පුලුවන් හැකියාව නිසා මෙයාල ඉක්මනට ප්‍රවාහන කටයුතු වලට ප්‍රසිද්ධ වෙලා තියෙනව.


8.සුරතලයට ඇති කරන්න හොඳම වර්ගයක්

අපි දකිනව facebook , youtube වගේ සමාජ ජාල වල මේ හස්කිල ගැන තියෙන වීඩියෝ ඕනි තරන්. විනෝදජනක ඒව , හුරතල් ඒව , මිනිස්සු එක්ක සෙල්ලම් කරන ඒව , වගේ එක එක ජාතියෙ වීඩියෝ.


හස්කිල කියන්නෙ කුඩා ළමයින් සමග සෙල්ලම් කරන්න උනත් සුදුසුම සුනඛ වර්ගයක් කියල අවිවාදයෙන් තොරවම ඔප්පු වෙලා තියෙනව. ඒ වගේම කඳු නැගීම , ගවේශනාත්මක චාරිකා සඳහාත් මේ හස්කිලව එකතු කරගන්නව.


මේ වගේ දේවල් නිසා තමයි ගෘහස්ථ සුනඛයෙක් විදිහට හස්කිලව මෙච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.


9.යුධ කටයුතු සඳහා යොදාගන්නව?

යුධ කටයුතු වගේ දේවල් වලට සුනඛයන්ව යොදාගන්නව කියල අපි කවුරුත් දන්න දෙයක්. සාමාන්‍යයෙන් මේ වගේ දේකදි මුලින්ම අපේ ඔලුවට එන්නෙ ජර්මන් ශෙපර්ඩ් ලවනෙ.


හැබැයි දෙවනි ලෝක යුධ සමයේදී මේ සයිබීරියානු හස්කි වර්ගයේ සුනඛයන්වත් යොදාගෙන තියෙනවලු භාණ්ඩ ප්‍රවාහනයට සහ පණිවුඩ හුවමාරුවට.



ඔයාල දැනටමත් මේ දේවල් දැනන් හිටියද. නැත්තං අදද දැනගත්තෙ. ඊළඟ ලිපියෙන් මොන සුනඛ වර්ගය ගැනද දැනගන්න ඕනෙ. කමෙන්ට් එකක් දාන් යන්න.

Report Page