Monkeypox රෝගය 🐒 කියන්නේ මොකද්ද?

Monkeypox රෝගය 🐒 කියන්නේ මොකද්ද?

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•


» 1958දී මුලින්ම වඳුරු ගහණයකින් සොයා ගත් නිසා “monkeypox”ලෙස මේ රෝගය හැඳින්වුනා. නමුත් මුල්ම මිනිස් රෝගීයා හඳුනාගත්තේ 1970දී. කොරෝනා වෛරසය වගේම මේ වෛරසයත් සතුන්ගෙන් මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වුන රෝගකාරකයක්.

රෝග ලක්ෂණ?

» මුහුණ, අත්, පාද, ශරීරය, ඇස්, මුඛය සහ ලිංගික අවයව වල බිබිලි සහිත කුෂ්ඨ
» උණ
» වසා ගැටිති ඉදිමීම
» හිසරදය
» මාංශ පේශි වේදනාව

පැතිරෙන්නේ කො‍‍හොමද?

Monkeypox රෝගය වැළඳී ඇති අයෙකු සමීප ආශ්‍රයෙන් ‍රෝගය බෝවිය හැකියි. එනම්:
» සමට සම ස්පර්ශය
» මුහුණට මුහුණ සම්බන්ධතා
» මුඛයට මුඛය සම්බන්ධතා
» මුඛයට සම ස්පර්ශය
» ලිංගික සම්බන්ධතා
» ආසාදිත ඇඳුම්, වස්තූන් ස්පර්ශය

සමේ බිබිලි සම්පූර්ණයෙන් සුව වනතුරු රෝගියාට රෝගය සම්ප්‍රේෂණය කළ හැකියි.

රෝගය වැළඳී ඇත්නම්?

» හැකිනම් නිවසේ හුදකලා වන්න
» මුඛ ආවරණයක් පළඳින්න
» අන් අය සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න
» වෛද්‍ය උපදෙස් ලබා ගන්න

ප්‍රතිකාර?

» බොහෝ රෝගීන් කිසිම ප්‍රතිකාරයක් නොමැතිව සති 2-3ක කාලයකින් සම්පූර්ණ සුවය ලබයි. මූලික ප්‍රතිකාර ලෙස උණ සහ වේදනාව සමනයට පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැකියි. අවශ්‍යතාවය මත වැඩිදුර වෛද්‍ය උ‍පදෙස් ලබා ගැනීම යෝග්‍යයි.

බරපතල රෝගී තත්වයක් ඇති විය හැකිද?

පහත කාණ්ඩ වල අයට බරපතල රෝගී තත්ව වලට ලක්වීමට ඉඩ ඇත:
» ළදරුවන් සහ දරුවන්
» ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල අය

බරපතල රෝග ලක්ෂණ?

» ස‍මේ ආසාදන
» නියුමෝනියාව
» පෙනීමේ ගැටලු
» මරණය

වර්තමාන වසංගත තත්වයේදී මරණ කිසිවක් වාර්තාවී නැත.
නමුත් සමස්ථ මරණ ප්රතිශතය 1-10% අතර අගයක් ගනී.

පැතිරීම පාලනය කරන්නේ ‍කො‍හොමද?

» මුව ආවරණ භාවිතා කරන්න.
» අත්, වස්තූන් මතුපිට, ඇඳුම් නිතර පිරිසඳු කරන්න.
» යම් අයෙකුට සමීප වීමට පෙර රෝග ලක්ෂණ ඇත්දැයි විමසන්න.
» කොන්ඩම් භාවිතයෙන් රෝගය සම්ප්‍රේෂණය 100%ක් වැළැක්විය නොහැක. නමුත් රෝගය වැළඳී සති 12ක් යනතුරු ලිංගික සම්බන්ධතා වලදී කොන්ඩම් භාවිතය නිර්දේශ කෙරේ.

එන්නතක් තිබෙනවාද?

» ඔව්. නව එන්නතක් මේ සඳහා නිපදවා තිබෙනවා. මීට අමතරව අතීතයේදී වසූරිය එන්නත ලබාගත් අයටද මේ රෝගයට එරෙහිව ආරක්ෂාවක් ඇති බව සොයාගෙන තිබෙනවා.

දැනට පැතිරී ඇත්තේ ලෝකයේ කුමන රට වලද?

» මුලින්ම පැති‍රී ගියේ අප්‍රිකානු රටවල. මීට අමතරව යුරෝපය සහ ඇම‍ෙරිකාව ඇතුලු රටවල් 75ක රෝගීන් 16,000කට අධික ප්‍රමාණයක් මෙවර වසංගතයෙදී හඳුනාගෙන ‍තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තත්වය?

» මේ වන විට ශ්‍රී ලංකාවෙන් කිසිම රෝගියෙක් වාර්තාවී නෑ.

බය වෙන්න ඕනද?

» අද (2022 ජුලි 23) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය "ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්" ලෙස නම් කළා. කල්පනාකාරී නොවුනහොත් ලංකාවෙත් වේගයෙන් පැතිරී යාමේ අවදානමක් තිබෙනවා. හැකි සෑම විටෙකම පිළිගත් වෙබ් අඩවි (පහළින් සඳහන් කර ඇත) වලින් තොරතුරු ලබාගන්න.

ගැටලු, අදහස් වලට හැමදාම වගේ විවෘතයි. අනිත් අයට දැනගන්න share කරලා බෙදා ගන්න.

මූලාශ්‍ර:
http://www.who.int/monkeypox
http://www.cdc.gov/poxvirus/monkeypox

#DrChandima #monkeypox #WHO

වෛද්‍ය චන්දිම ජයසිංහ [23-07-2022]

Report Page