It's Love 🖤

It's Love 🖤

Kavee Polkotuwa

කෙටි කතාවකි

අකුරු වලට පාට දීපු මායාකාරයෙකුගේ කතාව 🖤


" ඔය වගේ හිනාවෙන්න එපා. එතකොට රිදෙන්නෙ හරියට ම මෙන්න මෙතන." තුනට හතරට නමල තිබුණු ලා තැඹිලි පාට කොළ කෑල්ලෙ තිබුනෙ එහෙම.


මං ඔලුව උස්සලා බැලුවෙ හොරැහින්. ආයෙ හිනාවෙන්නෙ ම නෑ කියල හිතාගෙන. එයා හිටියෙ මං හිටපු තැනට මේස දෙක තුනකට එහායින්. පපුව වම් පැත්ත එක අතකින් අල්ලගෙන එක ඇහැකුත් හීනි කරගෙන.


ඒ පාර නම් මට හිනා ගියා. ඒ කෝලම් බලාගෙන ඔරවගෙන ඉන්න පුලුවන් තරම් හිතක් මට නෑ කියල මං දන්නවා.


ඔන්න ඒ පාර ' ආව් ' කියාගෙන තොලත් පෙරලලා පපුව අත් දෙකෙන් ම අල්ලගෙන.


ආයෙ නම් ඒ කෝලම් බලන්නෙ නෑ කියල හිතාගෙනමයි මං ඉතුරු වෙලා තිබ්බ කෝපි කෝප්පෙ පැත්තට හැරුණෙ.


" ඔය වගේ හිනාවෙන්න එපා." ආයෙමත් ඒ කතාවමයි. ඒත් ඒක කියෙව්වෙ මං නෙමේ.


ඒක ඇහුනෙ මගෙ ඔලුව ඇතුළෙන් ද මන්දා. අර්ජුන් දාස්ගෙ වගේ පිරිමිකම ඕනෑවටත් වැඩියෙන් තියෙන කටහඩකින්.


" පිස්සු." මංමයි මටම කියාගත්තෙ.


මං ආයෙ ඔලුව උස්සද්දි එයා නැගිටලා ගිහින්. කියාගන්න බැරි දෙයක් මං ලොකු හුස්මක් කරල පහළට ඇදල දැම්මා.


දැන් මාස හයක ඉදල හැම සතියෙ ම ඉරිදා හවසට බැලැක් ඇන්ඩ් වයිට් කැෆේ එකේ මං ඉදගන්න මේසෙ උඩ තියෙන තුනට හතරට නවපු විසි හතරවෙනි පාරට ලැබුණු කොළ කෑල්ල මං මගේ හෑන්ඩ් බෑග් එකට දා ගත්තා.


ඒ හැම කොළ කෑල්ලක ම වාක්‍ය දෙකක විතර පුංචි කතාවක් තිබ්බා. ඒ හැම කතාවකට ම යාන්තම් හරි ගැලපෙන පාටක් තිබ්බා.


ඒ කොළ කෑලිවල පාටට මං ඇබ්බැහි වෙච්චි තරම කොච්චරක් ද කියනව නම් අහස දැක්ක ම මට මතක් වෙන්නෙ එයා දීපු ලා නිල් පාට කොළ කෑල්ලෙ කතාව. වළාකුළු දැක්ක ම සුදු පාට කොළේ කතාව.


" බ්ලැක් ඇන්ඩ් වයිට් මායාකාරයා." මගේ දින පොතේ මං එයා ගැන ලියල තියෙන්නෙ එහෙම.


බ්ලැක් ඇන්ඩ් වයිට් කැෆේ එකේ එයා ඉදන් ඉන්න අරලිය ගහ යට මේසෙයි, පුංචි මායාකාර කොළ කෑලියි ඇරෙන්න දෙයක් මං එයා ගැන දැනගෙන හිටියෙ නෑ.


ඒත් ඔය ඔක්කොම අස්සෙ මට එකම එක ආසාවක් තිබුණා. එයාගෙ වචන එක පාරක් හරි එයාගෙ කටහඩෙන් අහන්න.


මං අලුතෙන් කාපට් කරපු පාර දිගේ ගෙදරට ඇවිදන් යනවා. ඉරිදා හැන්දෑව කියන්නෙ මාස හයක ඉදල ම මගේ හිත එකලාසයක් කරගෙන ඉන්න බැරි ම වරුවක්.


ඉරිදා හවසට මට ඉස්සරහට හම්බෙන අයියලා මල්ලිලා මාමලා ඔක්කොම පේන්නෙ එයා වගේ.


එක්කෙනෙක්ගෙන් එයාගෙ වගේ හිනා වෙනකොට හීන් වෙන ඇස් දෙකක් පේනවා. තව කෙනෙක්ගෙන් එයාගෙ වගේ පැත්තට පීරලා තියෙන නළලෙන් පැත්තකට බර වෙලා තියෙන කොණ්ඩයක් පේනවා. එයාගෙ ඇදුම්, ඒ ඇගිලි, ඒ හිනාව, ඒ කෝලම් මට ඒ සේරම පේනවා. නැත්තම් මැවෙනවා.


පොඩි කොල්ලෙක් පයින් ගහපු දුඹුරු බෝලයක් ඇවිත් මගේ කකුලෙ වැදුනා. මට එතනින් එහාට මතක් වෙන්නෙ එයාගෙ ලා දුඹුරු පාට කොළ කෑල්ල විතරයි. " ඔයාගෙ ඇස් ඒව ලා දුඹුරු පාටද? නැත්තම් ඒ මට මෙතන්ට පේන හැටි ද?"


එදා මං එයාට මගෙ ඇස් වල පාට පේන විදියට එයා දිහා බලන් හිටියා. ඒක නම් මතක් වෙනකොටත් මට ටිකක් ලැජ්ජයි.


ගෙට ගොඩවෙනකොට ම අක්කගෙ දූ පොඩ්ඩ "පුංචී..." කියාගෙන දුවගෙන ඇවිත් මගේ අතට සීනිබෝල අහුරක් දීල දුවගෙන ගියා. රෝස පාට සීනිබෝල මගෙ අල්ලෙන් එකයි.


" ඔයාගෙ ඔය රෝස පාට බෝනික්කියක්ගෙ වගේ තියෙන ගවුම ආයෙ නම් හුළගට යන්න දෙන්න එපා. පේනව නේද මගෙ හිරිගඩු පිපිල හැටි." තද රෝස පාට කොළ කෑල්ලෙ තිබ්බෙ එහෙම. ඒ විතරක් නෙමේ එයාගෙ අතේ තිබ්බ හිරිගඩු මට පෙන්නන්න අත් දෙකත් දික්කරගෙන.


එදා මං එයාට රැව්වා. ඒත් ඒක මතක් වෙන පාරක් ගානෙ මගේ තොල් හිනාවකට එහෙ මෙහෙ වෙනවා.


" මල්සරා අද ඊයෙ විදපු හීයක් නං නෙවේ හැබැයි." සීනිබෝල දිහා බලන් හිනාවෙන මට මස්සිනා විහිළු කරන්නෙ අක්කටත් ඇහැක් ගහන ගමන්.


" මල්සරා නම් නෙමෙයි."


" එහෙනම් ?"


" මායාකාරයෙක්."


" කවුරු උනත් පපුව මැදට ම විදල වගේ." මස්සිනා හිනා වෙද්දි අක්කත් එයා ළගට ම ඇවිත් වාඩි උනේ විහිළුවෙන් වගේ හරි මගේ කතාව අහගන්න වෙන්නැති.


" අනේ මෝඩය. මායාකාරයො දුනු හී පාවිච්චි කලේ මොන ලෝකෙ ද? එයා මායා කොස්සෙන් පියාඹගෙන ඇවිත් යශ්ටියෙන් ඔලුවට තට්ටු කරල ගියේ."


" චූටි දූ... ආයෙ පුංචිත් එක්ක කතන්දර පොත් කියනවන එක නවත්තන්න ඕනෙ හොදද." අක්කා එහෙම කියාගෙන 'ලස්සන වසීලිස්සාගෙ' කතන්දර පොත වහල පොත් රාක්කෙන් අරන් තිබ්බා.


මං කාමරේට ගියේ හිනා වීගෙනමයි. අක්කයි මස්සිනයි නම් තවත් සාලෙ මොනාදෝ කුටු කුටු ගානවා.


මං ඔක්කොම පැත්තකින් තියල බ්ලැක් ඇන්ඩ් වයිට් මායාකාරයා ගැන ලියපු පොතේ අලුත් පිටුවක එයාව අදින්න ගත්තා.


මුලින් ම අර හීනි උන ඇස් දෙක, ඊට පස්සෙ හැමදාම එක ම වගේ තියෙන හිනාව, ඊටත් පස්සෙ අර බොරුවට පපුව බදාගෙන ඉන්න අත් දෙක, දකුණු අතේ මැදගිල්ලට දාපු රිදී මුද්ද.


ඒක ඉවර වෙලා මං ආයෙ මාස හයක් පස්සට ගියා. ඒ කියන්නෙ පොතේ මුල හරියට. ඒ මුල් ම රූපෙ දැක්ක ම තාමත් හිනායනවා.


ඒ මායාකාරයා හිටියෙ මායා කොස්ස උඩ. අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ ලොකු තොප්පියකුත් දාගෙන. එදා කලබලේට එයාගෙ යශ්ටිය බිමට වැටිලා. මං ඒක අහුලලා දෙන්න හදනවා.


මගේ සිහිය ඒ වෙලේ මොන ලෝකෙක තිබ්බද දන්නෙ නෑ. චූටි දෝණි ඇවිත් මගේ මායාකාරයා දිහා ම බලාගෙන ඉන්නවා.


" හැම පොතක ම හිටියෙ මායාකාරියො විතරයිනෙ. ඔයාට කොයින්ද මෙයාව හම්බුනේ?" දැන් ඉතිං මේ කෙල්ලගෙන් බේරිල්ලක් නෑ.


" එයාව හම්බුනේ ඇත්ත ලෝකෙන්."


" ඉන්න මං ඉක්මනට අම්මිට පෙන්නලා එන්නම්." එයා පොත උස්සන් එළියට දුවන්න හැදුවෙ.


" හෝව් හෝව්..."


මං ඊට කලින් පොත ඇදල ගත්තා. කෙල්ල මූණ කළු කරගත්තෙ නම් අඩන්න ම තමයි.


" එන්නකො මගෙ ළගට... ආ..." මං එද්දි කෙල්ලට දෙන්න අරන් ආපු චොකලට් එකට පිංසිද්ද වෙන්න ඇඩිල්ල නම් නැවතුනා.


" එයා ඇත්තට ම මේ චිත්‍රෙ ඉන්නව වගේ ද?" දෝණිවත් ඒ මායාකාරයාගෙන් ගලවගන්න සෑහෙන්න අමාරුයි වගේ.


" ඔව්.. එයා මේ වගේමයි."


" එතකොට එයා ගමන් යන්නෙ එයාගෙ මායා කොස්සෙන් ද?"


" නෑ. මිනිස්සුන්ට පේන නිසා එයා ඒක හංගන් ඉන්නෙ."


" එහෙනම් කොහොමද ඔයා දැක්කෙ?"


" එයා මට පෙන්නුවා. හැබැයි කාටවත් කියන්න එපා කියල." මං ඒ ටික කිව්වෙ චූටි දෝණිගෙ කනට ළංවෙලා රහසින් වගේ.


" ඔයා එයාට කියනවද මටත් ඒක පෙන්නන්න කියල." දෝණි මගෙ කනට ළංවෙලා රහසින් කියද්දි මට හිනා ගියා.


" හා.. හැබැයි චූටි දූ ඒක පෙන්නනකල් කාටවත් මේ ගැන කියන්න බෑ ඔන්න. කෝ මට ප්‍රොමිස් වෙන්න."


" පොමිස්..." චොකලට් ගෑවිච්ච තොල් මගේ කම්මුල උඩින් තියල එයා දුවල ගියා.



" ඔය රිබන් පටියෙන් එළියට පැනල තියෙන කොණ්ඩ කෑල්ල ඒක හරියට ම ඔයා වගේමයි." එයාගෙ චොකලට් පාට කොළ කෑල්ලෙ තිබ්බෙ එහෙම. තව ඊට පහළින් වරහන් ඇතුළෙ "හරි හිතුවක්කාරයි" කියලත් තිබුණා.


ඒ එයා මට මුණගැහුණු මුල් කාලෙ. එදා මං එයාට හිනා උනාද නැත්තන් රැව්වද කියල හරියට ම මට මතක නෑ. ඒත් එයා එදා ඇදන් ආපු ඇදුමෙ පාට පවා මට මොකක්දෝ හේතුවකට මතක තිබුණා.




ඊළග සෙනසුරාදා රෑ මං නිදාගන්න ගියෙත් ඒ මායාකාරයාගෙ පොත තුරුල් කරගෙනමයි.



එයා මට ඇහෙන්න ඒ කොළ කෑලි වල තිබ්බ ඔක්කොම කියෙව්වා. අපි හිටියෙ ලී බංකුවක් උඩ. අපිට ඉස්සරහින් තිබ්බෙ මං හිතන්නෙ වැවක් වතුර පිරිච්ච. මට ඒ කොළ වල තිබ්බ ඒවා ඔක්කොම කටපාඩම්. ඒත් මං එයාගෙ කටහඩ අහගෙන හිටියා. ඇස් දෙකත් පියාගෙනම. එහෙම ඉද්දි මට ඒ කටහඩ ඇහුනෙ වෙන කොහෙදෝ ලෝකෙක ඉදන් එක කටහඩක් වගේ. මං එයා කතා කරල ඉවර වෙනකල් බලන් ඉදල ඇස් ඇරියෙ.


එයා තව මොනව හරි අතේ තදට ගුලි කරන් හිටියා.


" ඔය මොකද්ද?"


" මොකද්ද?"


" ඔයා අතේ ගුලි කරන් ඉන්නෙ."


" බඩුවක්."


" කෝ දෙන්න බලන්න."


" බෑ."


" ඇයි?"


" මේ ඒක දෙන්න හරි වෙලාව නෙමෙයි."


" මීට වඩා හරි වෙලාවක් කොහෙද තියෙන්නෙ."


" තියෙනවා."


" ඒ කවද්ද?"


" ඔයා ඉක්මනට ම දැන ගනී."



" චූටි.. නැගිටින්නෙ ළමයො අද වැඩට යන්නෙ නැද්ද?"


මං නම් හිතන්නෙ හීනෙක තියෙන ලස්සන ම කොටස මුලින් පෙනෙන්න ඕනෙ. නැත්තන් කවදාවත් අපිට ඒ ලස්සන කොටස බලාගන්න වෙන්න නෑ.


මටත් අද උනේ ඒක. අම්මා කතා කලාම මට මායාකාරයා ව ඒ හීනෙ අතරමං කරල එන්න උනා.


" මං ගිහින් එන්නම් අම්මා." අම්මට වැදල කෙලින් වෙනකොට ම වගේ පඩියක කකුල හැප්පිලා මං වැටෙන්න ගියා.


" ටිකක් වෙලා ඉදල යන්න ළමයො."


" ඇයි?"


" ඒක එච්චර සුභ ළකුණක් නෙමේ."


" අනේ අම්මා මං උඩ බලාගෙන ගිහින් වැටෙන්න ගිහින් තියෙන තරමට මගේ හැම දවසක් ම අසුභ වෙන්න එපෑ එහෙනම්."


" දැන් කාලෙ හැදෙන ළමයින්ට මේව කොහොම තේරුම් කරන්නද මන්දා."


ඒ වෙද්දිත් මං හිටියෙ අම්මා කියන දේවල් ඇහෙන නෑහෙන මානෙ.


එදා හවස බස් එකේ ඉදන් ම ඇගේ තිබ්බ තෙහෙට්ටුවට මගේ හිත තිබ්බෙ ම කැෆේ එකේ උණු කෝපි කෝප්පයක් ළග.


මං ඇවිද්දා නෙමේ දිව්වා. සමහර විට ඒ කෝපි කෝප්පෙ නිසා ම නොවෙන්න ඇති.


කැෆේ එකට ඉස්සරහ ප්‍රධාන පාරෙ මිනිස්සු පිරිලා හිටියා. එයාල මොකද්දෝ දෙයක් වටේ වටවෙලා හිටියෙ. වෙනදට මං වටේපිටේ ගැන අවධානෙන් ඉන්න කෙනෙක් නම් නෙමේ. ඒත් මට එතන මොකද උනේ කියල බලන්න හිතුනා.


කොල්ලෙක් ලොරියක හැප්පිලා බිම වැටිල හිටියා. එතන ලේ විලක්. මං ඒක දිහා එක පාරයි බැලුවෙත්. හැපිච්ච පාරට මූණ පවා කාටවත් අදුරගන්න බැරි තරම් තුවාල වෙලා.


" මොකද නැන්දෙ උනේ?" තවත් ඒක දිහා බලන් ඉන්න බැරි නිසා මං ළග හිටපු කෙනෙක්ගෙන් ඇහුවා.


" පාර පනින්න එහා පැත්තෙ ඉදන් කොල්ලා දුවන් ඇවිත්. ලොරිකාරයො ඉතිං දන්නවනෙ පුතේ වාහනේ අතට ගත්ත ගමන් උන්ට ඉවක් බවක් නෑනෙ. පව් කොල්ලා යට වෙලා එහෙම්ම."


" අනේ පව්."


" ඔව් පුතේ. කාගෙ හරි දරුවෙක්නෙ. ඒ අම්මා මග බලාගෙන ඇති කොල්ලා ගෙදර එනකල්."


ඒ වචන ටිකට මගෙත් පපුව ඇවිලිලා ගියා.


" අපේ ගෙවල් කිට්ටුව ළමයෙක්. උපන් දා ඉදල කතා කරන්නත් බෑ. පව්. ගොළු උනත් හරි සිරියාවන්ත ළමයා. බලන්නකො වෙච්චි වින්නැහිය. මූණ කටත් එක්ක ගන්න දෙයක් නෑ. දෙයියෝ...ගෙදර උදවියගෙ පපුව පැලෙයි." සෙනග අස්සෙන් ඇහුණ දේවල් වලට ආයෙ ආයෙ මගෙ පපුව රිදුනා වගේ දැනුනා


එතන සෙනග නිසා තදබදේට මාව ටිකක් ඉස්සරහට තල්ලු වෙලා ගියා. මං ඉක්මනට කැෆේ එකට යන්න හැරෙන්න ගියේ.


ඒ දැක්ක දෙයින් එහාට මං හුස්ම ගන්නවද කියන්නවත් මට තේරුණේ නෑ. කොච්චරක් හරි වෙලාවක් මං එතන එක ම විදියට හිටන් ඉන්න ඇති. ඒක පැයක් දෙකක් වගේ මට දැනුනෙ. එයාගෙ කලිසම් සාක්කුවෙන් එළියට මට අයිති විසිපස් වෙනි ලා රතු පාට කොළ කෑල්ල එළියට විසික් වෙලා තිබුණා.


පපුවෙ පැත්තක් රිදෙනව ද, පිච්චෙනව ද, ගිනි ඇවිලෙනව ද කියන්න මට තේරෙන්නෙ නෑ. මට දැනුනු එක ම දේ මට අයිති දෙයක් දෙනෝදාහක් ඉන්න පාර මැද්දෙ වැටිල තියෙනව කියල විතරයි.


යන්තම් කකුල් දෙකට පණ ආපු වෙලාවෙ මං ගිහින් ඒක ඇහින්දා. මගේ මායාකාරයා දිහා බලන්නෙවත් නැතිව. ඒක දිගාරින්න මගේ ඇගිලි වලට පණ තිබ්බෙ කොහොමද දන්නෙ නෑ. කොහොම හරි මං ඒක කියෙව්වා.


" අද නම් දෙකෙන් එකක් විසදගන්න ඕනෙමයි. එක්කො ඔයාගෙ ආඩම්බරකම. නැත්තම් මගේ ........" එච්චරයි මට පෙනුනෙ. ඒ ලා රතු පාට කොළේ අන්තිම කොටසෙ තද රතු පාටින් ලේ පැල්ලමක් වැදිල තිබුණා.


ඇත්තමයි අඩන්න නම් කදුළු එන්නෙ නෑ ඒ වෙලේ. ඕනෙ වෙලාවක් තෙත් වෙන්න පුළුවන් මගේ ඇස් ඒ වෙලේ වේලිලා ම ගිහින්. පපුව ගැහෙන තරම නම් එළියටත් ඇහෙනවද කොහෙද.


මං අන්තිම ම අන්තිම පාරට එයාගෙ දිහා බැලුවා. මෙච්චර ඉක්මනට යන්න ගිය මායාකාරයෙක් මං දැක්කමයි. එයාගෙ වටේට ලේ විලක්. මේ මොහොතෙ ඉදන් මං අකමැති ම පාට රතු පාට කියල නම් මං දන්නවා.


මං එයාගෙ අර හිනා වෙන ඇස් දෙක හෙව්වා. අර කෝලම් පිරිච්ච මූණ එයා ළග තිබ්බෙ නෑ. ඒ මගේ බ්ලැක් ඇන්ඩ් වයිට් මායාකාරයා නම් නෙමෙයි. මං ඒක හොදට ම දන්නවා.


වටේම කැරකෙන්න ගද්දි මං ටිකක් වෙලා ඇස් දෙක වහගෙන හිටියා. ආයෙ මං ඇස් අරිනකොට පැත්තක තිබ්බ එයාගෙ බෑග් එක කවුදෝ අදිනවා. ඒකෙ තිබිල බිමට වැටුනෙ පොතක්. මං හිතන්නෙ ඒක මට අයිති පොතක්. ඒක මට ඕනෙ...


ඒක මගේ. මං ඒක අරන් ආවා. මං අන්තිම පාරටත් එයාගෙ මූණ බැලුවනෙ. තවත් නම් මට එතන ඉන්න ඕන උනේ නෑ. මං මගේ නෑ අපේ පුරුදු තැනට ගියා.


මං මගේ පුරුදු තැනින් ඉදගත්තා. ඊට මේසෙ තුනකට එහායින් තිබ්බ තැන, එතන අද කවුරුත් නෑ. එයා ඉන්න ඇත්තෙ මගේ ළගමයි. මගේ රෝස පාට ගවුම හුළගෙ යනකොට මට ඒක තේරුණා.


මං ඒ පොතේ පිටු පෙරලුවා. මං කලිනුත් කිව්වෙ ඒක මගේ පොත කියල. මං විතරයි ඒ පොතේ හිටියෙ. ඒකෙ පාට පාට පිටු තිබුණා.


ලා දුඹුරු පාට පිටුවෙ මගෙ ඇස් දෙක, රෝස පාට පිටුවෙ මගෙ ගවුම, චොකලට් පාට පිටුවෙ මගෙ කොණ්ඩෙ, තැඹිලි පාට පිටුවෙ මගෙ හිනාව. ඒ හැම කොළේකම යට කොටසින් තීරුවක් ඉරල අරන්. ප්‍රෙහෙලිකාවක් විසදනව වගේ මං ඒ කොළ කෑලි පොත උඩින් තියල බලාගෙන හිටියා.


අන්තිමට රතු පාට පිටුව. ඒ පිටුවෙ උඩින් ම ලියල තිබ්බෙ "අද නම් දෙකෙන් එකක්" කියල. ඊටපස්සෙ අනිත් පිටුවල නැති දිග කතාවක් තිබුණා.



" ඔයා දන්නවද මං අද ඔයාට දෙයක් කියන්න යන්නෙ. කියන්න නෙමෙයි ලියල පෙන්නන්න. මං කවදාවත් කාටවත් මුකුත් කියල නෑ. කියල නෑ විතරක් නෙමේ ඉස්සරහටත් මට කියන්න බෑ. ඒත් ඔයා දන්නවද වැඩිය කතා නොකරන අය හිතන විදිහ හරි ලස්සනයි කියල. එහෙම එකේ කවදාවත් කතා කරන්න බැරි මං කොච්චරක් ලස්සනට හිතනවද කියල ඔයාට හිතාගන්න පුළුවන් ද? මගෙ හිත අද හරි කලබලයි. ඒකට හේතුව මං අද ඔයාගෙ හිත බලන්න යන නිසා වෙන්නැති. කොහොම හරි මගේ ඒ කලබලේ නිසා ඔයා අර වෙනද බලන් හිනා වෙන නැත්තන් රවන මගෙ හිනාවයි ඇස් දෙකයි නම් පේන්න නැතිවෙයි. මං ඒකට වෙන වෙලාවක ඔයාගෙන් සමාව ඉල්ලගන්නම්කො...."


අර මගේ වේලිච්ච ඇස් දෙක දියවෙලා ගලන් ගිහින් ඒ පොතේ අකුරු බොදකරන්න ඇති.


ඒත් මං ඇස් දෙක පිහදාගත්තා. එයාගෙ අකුරු වලට හිනා උනා. විසි පස්වෙනි රතු පාට කොළ කෑල්ල තාම මගෙ අතේ ගුලි වෙච්චි ගමන්. මං ඒක අතට ගත්තා.


" අද නම් දෙකෙන් එකක් විසදගන්න ඕනෙමයි. එක්කො ඔයාගෙ ආඩම්බරකම. නැත්තම් මගේ ......."


මං ඒක වෙනස් කලා. මගේ කියන එක කපල දැම්මා. මායාකාරයගෙ ලේ පැල්ලම උඩින් 'අපේ ආදරේ' කියල ලිව්වා.


" දැන් ඉදන් ඒක අපේ ආදරේ. ඔයා හිටියත් නැතත්. ඒක අපේ ආදරේ" මං එයාගෙ පොත ඇතුළෙ ම අලුතෙන් පිටුවක් ලියන්න ගත්තා.



................................................................................

ආදරේ නම් වෙලාවකට බිදිච්චි වීදුරුවක් වගේ. කොයි පැත්තට අල්ලන්න හැදුවත් තුවාල වෙන එක විතරයි වෙන්නෙ. ❤‍🩹


සමහර වෙලාවට ආදරෙයි කිව්වත් රිදෙනවා. නොකීවත් රිදෙනවා. 💔


ඉතිං කාලෙකින් ලිව්වෙ. ඔයාට දැනුනු දෙයක් කියල ම යන්න ✨♥️










Report Page