I Hate..

I Hate..

රචනය මහී❤



දේව්ගෙන් ශේත්ට..❤


දන්නවද ශේත්...

තේරෙන වයසෙ ඉදන් ආසා වුනා..

අම්මගෙ චූටි අතක් අල්ලන් අතොරක් නැතුව කියවන්න..

කොච්චර රෑ වුණත් බලන් හිටියා අප්පච්චි එනකන්..

ඒ ඔඩොක්කුවෙ ඉදන් හුරතල් වෙන්න..

අයියෙක් නංගියෙක් හරි වාසනාවන්තයිලු...හැමෝම කියනවා..

ඉතින් ලොකූගෙ චූටි වෙලා රණ්ඩු කර කර ඒ ආදරේ විඳින්න ඕන වුනා..

ඒත් එයාලා පුලුවන් තරම් මාව මග අරිද්දි,

ඕනදේට විතරක් කතා කරලා මාව ඈත්කරද්දි,

අක්කිව අරන් හුරතල් කරද්දී,

අම්මි චූටි චූටි බත් කටවල් අනලා අක්කිට කවද්දි,

අක්කි ලොකුත් එක්ක කෑ ගගහා සෙල්ලම් කරද්දි,

දොර මුල්ලට වෙලා බලන් හිටපු මගෙ මේ පුංචි හිත මහ ගොඩක් රිදුනා ශේත්...

ඒත් හැමවෙලේම ලග දැවටි දැවටි හිටියෙ,

මං එයාලට මහගොඩක් ආදරේ කරපු නිසා....

මං හැම තත්පරේම ඒ ආදරේ වෙනුවෙන් යදිපු නිසා..


සමහර වෙලාවට..

හිතුවක්කාර වුනා..

අක්කිත් එක්ක පුංචි දේටත් රණ්ඩු කරා..

පුලුවන් තරම් වැරදි වැඩකරා.

දන්නවද ඒ ඇයි කියලා... දවසට වචන දෙක තුනක් කතාකරන මගෙ අප්පච්චිගෙන් බැනුමක් හරි අහන්න මං ලෝභ වුනා නිසා..


අක්කි වගේ මං අහිංසක කමට හුරතලේට හැදුනෙ නෑ..

කොල්ලෙක් වගේ ඉන්න උත්සහ කරා මං..

ඒත් දන්නවද...ඒ පිට තැනකදි අප්පච්චිගෙයි අම්මිගෙයි ආදරේ වුනු මගෙ අක්කිව සීරිමක්වත් වෙන්නැතුව බලාගන්න ඕන නිසා..

ඒයි සුදුදෝණිට අරන් දෙන්න..මෙයාට පස්සෙ ගන්න බැරියෑ...

හැමදාම ඇහෙන අම්මිගෙ වචන ටික මට කටපාඩම්..

දන්නවද මං ඒ වෙලාවට ලොකුකමට වගේ අහක බලන් හිටියට..

දකින දකින පුංචි සෙල්ලම් බඩු වලට ආස හිතුනා..

මල් මල් තියන පොඩි ගවුම් කෑලිවලට ආස හිතුනා...

ලස්සන පාට පාට මූනේ ගාන් හැඩ බලන්න ඕන වුනා..

ඒත්..අක්කි මේවා ඕන කියලා අඩලා හැමදේම අරගනිද්දි ඒ පුංචි පර්ස් එකේ උන්ඩි කරන් ඉන්න සල්ලි ටික මදි වෙයි කියලා මං බයවුනා..


කොහෙහරි යද්දි පාර මාරු වෙනකොට ඉබේම අක්කිගෙ අත අප්පච්චිගෙ අතකට හිරවෙද්දි අම්මි අනිත් පැත්තෙන් අනිත් අත අල්ලගද්දි රිදෙන හිත සනසගත්තා..

අක්කී තාම චූටීනේ..පොඩි දේටත් බයයිනේ කියලා හිතලා..


ශේත්...මං ලොකු ලමයෙක් වෙලාලු..

පුංචා මාව කාමරේක තියලා පරිස්සමට රකිනවා..

අප්පච්චි අම්මියි අක්කිත් එක්ක ටූනමන්ට් එකකට ගිහින්..

පුංචා අම්මිට කොල් එකක් දීලා කියද්දි අම්මි කිව්වේ..

නංගි සති දෙකක් යනකම්වත් එන්න වෙන් නෑ..ඔය කරන දෙයක් බලලා කරන්න..

පුංචා මුකුත් නොකියා ෆෝන් එක කට් කරලා මට හිනාවෙලා ඇහෙන් ආපු කඳුල පිහගත්තෙ හොරෙන්..

මැණික අම්මිල පුලුවන් ඉක්මනට එන්නම්ලු..මැනික එතකම් පුංචත් එක්ක ඉන්නලු..

පුංච දන් නෑ මට අම්මි කිව්ව දේ ඇහුනා කියලා..මං හිනාවෙලා ඔලුව වැනුවා..


මීට මාස පහකට කලින් අක්කි ලොකු ලමයෙක් උනා මට මතකයී මං තමා අක්කිගෙ තනි රැක්කේ..

අම්මි පුලුවන් හැම වෙලේම අක්කි එක්කම හිටියා..මුලු ගෙදරම සරසලා.. පාර්ටියක්.. අප්පච්චිගෙ යාලුවෝ අක්කිගෙ අම්මිගෙ යාලුවෝ හැමෝම ඇවිත්...

අප්පච්චි අද සතුටින්..උදේම නාලා අක්කි අලුත් ඇඳුමක් ඇඳන් එද්දි අප්පච්චි ලස්සන රත්තරන් මාලයක් අක්කිගෙ කරට දාලා ඒ නලල ඉම්ඹා මතකයී..

නොතේරුන්කමට මාත් ඉක්මනට ලොකු ලමයෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරා...

වෙනමොකටවත් නෙමේ අප්පච්චිගෙ ඒ උනුසුම් හාදුවට ලෝභකමේ..

ඒත් මං ලොකු ලමයෙක් වෙලත් මගෙ ඇස් මානෙ ඉදන් මගෙ හැමදේම කරේ මගෙ පුංචා..

උදේම සීතලේ නාවනකොට අක්කි සීතලයි කියලා අම්මිට තුරුලු වෙලා නාපු විදිය මතක් වුනා..

ඉස්සරහ දොරෙන් ඇතුලට එද්දි ලස්සන හිනාවක් එක්ක අක්ක එනකන් අප්පච්චි බලන් හිටපු විදිය මතක් වුනා..

පුංචා එයාගෙ කරේ තිබ්බ රත්තරන් මාලෙ මගෙ කරට දාලා මගෙ නලල ඉඹිද්දි මං ඇස් දෙක පියන් මවා ගත්තෙ මගෙ අප්පච්චිව ශේත්...

පුංචි හිතට නොතේරුම් කමට ඇයි එහෙම වෙනසක් කියලා හිතලම මට මහන්සියී...


දන්නවද ශේත්..

අක්කි පන්තියෙ පලවෙනියා වෙනකොට මං අන්තිමයා..

ශා මගේ සුදු දෝණි..මොනාද ඕන මගේ දෝනිට...

අප්පච්චි හිනාවෙවී අක්කිව බඳන් ඉඹිනකොට,

අම්මි අක්කි කැමති කෑම හදලා දෙනකොට,

මං ආසා කරා මේ සතුට මේ හිනාව මං වෙනුවෙනුත් ඒමූනු වල ඇදෙනවා බලන්න,


ශේත්..

මං පුලුවන් උපරිමෙන් මහන්සි වුනා..

අක්කි පාඩම් කරනකොට වගේ අම්මිගෙ රසම රස කෝපි එක නොලැබුනාට...

අක්කි පාඩම් කරනකන් ඇහැරිලා බලන් ඉන්නවා වගේ මං පාඩම් කරනකන් බලන් නොහිටියට..

මං අම්මිට මහන්සි ඇති දවසම වැඩ කරලා කියලා හිතලා හිත හදාගත්තා..

එදා මං සතුටුම වුන දවසක්..පන්තියෙ විතරක් නෙමේ සයන්ස් සෙක්ශන් එකේම මං පලවෙනියා...

එදා ගෙදර ගියෙ කොහොමද කියලවත් මට මතක නෑ...

අප්පච්චි පුටුවෙ වාඩිවෙලා ඉන්නවා.. මං සතුටට කෑ ගහලා කිව්වා මං සෙක්ශන් එකේ පලවෙනියා කියලා

දන්නවද ශේත් අප්පච්චි මොකක්ද කිව්වේ කියලා,

"හ්ම්..හොදයි.."

අප්පච්චිගෙ පිලිතුර වුනේ ඒක..



ඉතින් ශේත්...පොඩි කමට ඉස්සර නොතේරුනාට මට තේරුනා ඒ හිත්වල මට පුංචිම පුංචි තැනක්වත් නෑ කියලා..

තනියම හැමදේම දරාගෙන හිටියා පුලුවන් තරම් දරාගත්තා..

හිතක් පපුවක් නෑ වගේ ජීවත් වුනා..

මං මගෙන්ම පලිගත්තා..

ආදරේ කියන වචනෙට මං වෛර කරා..

මට ඕන නැති නිසා නෙමේ...

මට නොලැබෙන නිසා...



මං පව් නේද ශේත්...


මං හිතුවෙ මෙහෙමම කාලකන්නියෙක් විදියටම මැරිලා යන්න..

මැරෙන තත්පරේ වෙනකන් දින ගැන්න මං..


ඒත්...


කොහේද ඉදන් පිස්සෙක් මට ලං වෙලානේ....


දන්නවද ශේත්..මේ..මේ...ඇහෙනවද...


මට දැනෙනවා මගෙ පපුව ආයම ගැහෙන්න පටන් අරන් කියලා..


ඔයා ලග දෙව්හස්නිව එළියට එන්න හදනවා ශේත්..


ඒ පොඩි කෙල්ල ආයෙම ඉපදෙන්න හදනව...


ශේත්..මං බයයි..ශේත්...


ඔයාටත් මාව එපාවෙයිද හරියට මගෙම අයට උනා වගේ...


දන්නවද ශේත්..මං ආදරේට ගොඩක් ලෝභයි..ඔයාගෙන් ලැබෙන පුංචිම පුංචි සැලකිල්ලකට වුනත් මං ගොඩක් සතුටු වෙනවා...


දැනෙනවා මේක අහඹුවක් නෙවේ කියලා..


හිතෙනවා සමහරවිට හැමදේම නොලැබෙන්න ඇත්තේ..


ඔය උනුහුම් පපුව ගැහෙන්නේ මගෙ නමින් හින්දා කියලා..


ඉතින් මේ ආත්මේ විතරක් නෙමේ හැම ආත්මෙකම මේ හිතුවක්කාරිව හොයන් එනවද ශේත්..


ඔය හිත සින්නක්කරම මට ලියනවද මහත්තයෝ..



දන්නවද නොතේරුම්කමට වගේ හිටියට...


මං ආදරේ කරන්න පටන් අරන්..


ශේත් මහත්තයෝ...


දේව් මහ ගොඩක් ආදරෙයි ඔය හිතට....


______________________

Report Page