ගමේ කෙල්ල
BS1~ සදේශ්ගේ ජන කතාව ~

ඔන්න එකමත් එක කාලෙක, ගස් කපලා ජීවත් වෙන මිනිහෙක් හිටියා. මිනිහා ජීවත් උනේ සිංහරාජෙ රක්ෂිතේ ළඟ ගමක. ඉතින් රස්සාව සැරටම ගියා. ඔන්න දවසක් මේ මනුස්සයා ගස් කපලා ඉවර වෙලා කැලේ ළඟ තිබ්බ ගඟක් ගාවට ආවා.
ඒ මනුස්සයා ගඟෙන් මූණ කට හෝදගන්න කියල පහළට නැවෙනකොටම, උරහිසේ තිබ්බ පොරව එක පාටම ගඟට වැටුනා. කලබල උන මනුස්සයා හදිසියේම විලාප දෙන්න පටන් ගත්තා, "අයියෝ මගෙ පොරව ගඟට වැටුනා දෙයියනේ... මම දැන් ජීවත් වෙන්නෙ කොහොමද..." කියලා.
ඕක අහගෙන හිටියා ඒ ගඟට අධිපති වෙලා හිටපු දෙවිවරයා. ඒ දෙවිවරයට මේ මනුස්සය ගැන අනුකම්පා දැනිලා, ඒ මනුස්සයට උදව් කරන්න හිතාගෙන ගඟ දෙබෑ කරන් ඇවිත් ඒ මනුස්සයා ඉදිරියේ පෙනී හිටියා. හැබැයි දෙවිවරයට ඕනෙ උනා මේ මනුස්සයව පොඩ්ඩක් ටෙස්ට් කරලා මේ මනුස්සයගෙ අවංකකමේ තරම දැනගන්න.
"එම්බා මනුෂ්‍යය... තොපගේ යමක් නැති වී ඇති හැඩයි..."
මේ ඉන්නෙ දෙවිවරයෙක් කියල හඳුනගත්ත අර මනුස්සයා, එතනම දණ ගහල දෙවිවරයට කන්නලව් කරන්න පටන් ගත්තා.
"අනේ දෙවියනේ... මගෙ ජීවිකාවට හයියක් උන මගෙ පොරව ගඟට වැටුනා... මට දැන් ජීවත් වෙන්න විදිහක් නෑ දෙවියනේ... අයියෝ... දෙයියෝ..."
"එම්බා මනුෂ්‍යය... ඔහොම හිටපං... සඳුන් පෙරේරගෙ මල් සිංදුවලවත් ඔහොම අඬනව දැකල නෑ... මම පොරව ගෙනත් දෙන්නං..."
එහෙම කිව්ව දෙවිවරයා 'ජබුං' ගාලා ගඟ ඇතුළට ගියා. ටික වෙලාවකින් දෙවි බුවා ආපහු ආවෙ ඇම්බැක්කෙත් නැති කැටයම් කපපු දිලිසෙන රත්තරන් පොළවක් උස්සගෙනයි.
"එම්බා මනුෂ්‍යය... ගඟ පතුලේ මේන්න මේ පොරව තිබිලා මට හම්බුනා... මේ තාගේ නැති වූ පොරවද...?"
ප්‍රොඩක්ට් එක රත්තරන් උනාට සිටුවේශන් එකේ හැටියට අර මනුස්සය කම්පනෙන් හිටපු නිසා, "නැහැ" කියල ඇඟෙව්වා.
"හම්ම්... ඔහොම හිටපං මම ආයෙ බලන්නං ගිහිල්ලා"
එහෙම කියාගෙන දෙවිවරයා තව පාරක් ගඟට බැහැල නොපෙනී ගියා.
ඊළඟ පාර දෙවි බුවා ගඟෙන් මතු උනේ සුදට සුදේ දිලෙන රිදී පොරවක් අතේ තියාගෙනයි.
"එම්බා මනුෂ්‍යය... මේන් මේ පොරවත් මට ගඟ පතුලෙ තිබිලා හම්බුනා... මේකද තාගේ නැති වුන පොරව...?"
අර මනුස්සය ඇස් දෙකත් පොඩි කරන් දෙවිවරයට කතා කලා.
"ඈ බං දේවතාවුනේ... මේක ගඟක්ද කම්මලක්ද... ඕකත් නෙවේ මගෙ පොරව..."
"බුහා... හා හා... තා ජෝක්සුත් දන්නව නේ... ඔහොම හිටපං මම ආපහු පාරක් ගඟට ඩයිව් ඉන් වෙලා බලන්නම්..."
එහෙම කියාගෙන දෙවිවරයා තුන් වෙනි පාරටත් ගඟට බැස්සා. හැබැයි මේ පාර නං දෙවිවරයා ආපහු මතු උනේ අර මනුස්සයගෙ පොරවත් එක්කමයි.
"මනුෂ්‍ය... මේකද තොපගේ නැතිවූ පොරව..."
තමන්ගෙ පොරව අඳුනගත්ත අර මනුස්සයා, ආපහු පාරක් දේවිවරයා ඉස්සරහා දණින් වැටිලා ස්තූති කරන්න ගත්තා.
"අනේ... දේවතාවුනේ... ඕක තමා මගෙ පොරව... ඔබතුමාට ගොඩක් ස්තූතියි... ඔබතුමාට ගොඩක් පින් මේ අහිංසකයට කරපු උදව්වට..."
මේ මනුස්සයගෙ අවංකකම ගැන පැහැදුන අර දෙවිවරයා තීරණය කලා, මේ මනුස්සයට ඒකට තෑග්ගක් දෙන්න.
"එම්බා මනුෂ්‍යය... තොප අවංක පුද්ගලයෙක්... ආ තගේ පොරව... ඒත් එක්කම... තොපේ අවංකකමට මේ පොරෝ දෙකත් අරගනින්..."
දෙවිවරයා එහෙම කියලා, අර කලින් අරන් ආව රිදී පොරවයි රත්තරන් පොරවයි දෙකම, මේ මනුස්සයට ලබාදුන්නා.
ඉතින් මේ මනුස්සයත් තවත් පාරක් දෙවිවරයට ස්තූතියි කරලා, පොරෝ තුනම අරන් ගෙදර ගියා.
-------
ටික කාලෙකට පස්සෙ, මේ මිනිහයි එයාගෙ නෝනයි දෙන්නම, දවසක් හවස කැලේ ඉඳන් ගෙදර එමින් හිටියා. මිනිහගේ නෝනා, ඒ කැලේ ඇතුලෙම ලෝකල් ස්කාගාරයක් පවත්වගෙන ගිය කෙනෙක්. ගමේ ගොඩේ හැමෝම ඒ නෝනව දන්නෙ, 'පොට් එකේ ගුණේ අක්කා' කියලයි.
ඉතින් මේ මනුස්සයයි එයාගෙ නෝනයි, සුපුරුදු විදිහටම කැලේ ළඟින් යන ඒ ගඟ ගාවට ඇවිත් මූණ කට හෝදගත්තා.
ඒත් ඊළඟට උනේ අනපේක්ෂිත දෙයක්...!
මේ මනුස්සයගෙ නෝනා, එක පාරටම පය පැකිළිලා ගඟට වැටුනා... පීනගන්නත් බැරි ඒ ගෑහැණිය, මොහොතකින් ගඟේ නොපෙනී ගියා.
හදිසියේම උන මේ විපැත්තියෙන් බය උන පාර, අර මනුස්සයා මහා සද්දෙන් දෙස් දෙවොල් තියන්න ගත්තා.
"අනේ.... දෙවියනේ... මගෙ එකී ගඟේ ගියා... අයියෝ දෙයියෝ... දැන් මම ජීවත් වෙන්න කොහොමද..."
ගඟට අධිපති දේවතාවුන් වහන්සේට, මේ හුරුපුරුදු කටහඬ ඇහිලා, එදා වගේම ගඟ දෙබෑ කරන් මතුවෙලා මේ මිනිහා ඉස්සරහා පෙනී හිටියා.
"එම්බා මනුෂ්‍යය... තොප අදත් කෑගහන්නෙ, අදත් තොපෙ පොරව ගඟට වැටුනද..."
දෙවියා spawn උනා කියලා දැක්ක ගමන්ම, මේ මනුස්සයා දෙවියට කිව්වා වෙච්ච දේ.
"අනේ දේවතාවුන් වහන්ස... මගෙ ගෑනි ගඟට වැටුනා... ඒකි නැතුව මට ජීවත් වෙන්න බෑ දෙවියනේ... උයන්න තේරෙන්නෑ මට..."
එදා වගේම අදත් මේ මනුස්සයව ටෙස්ට් කරන්න හිතපු දෙවියො, මේ මනුස්සයට කතා කලා.
"එම්බා මනුෂ්‍යය... ඔහොම හිටපං... මම ගිහින් තොපේ ප්‍රියම්භිකාවව රැගෙන එන්නම්..."
"අනේ ගොඩාක් පින් ඔබතුමාට..."
දෙවිවරයා 'ජබුං' ගාලා ආපහු ගඟ ඇතුළට ගිහින් ටිකකින් ආපහු ආවේ, ක්ලියෝපැට්‍රාගේ නංගි කෙනෙක් වගේ පේන, සුරූපී තරුණියක්වත් එක්කගෙනයි.
"එම්බා මනුෂ්‍යය... ගඟ පතුලේ සිටියදී මේන් මේ ස්ත්‍රියව මට හම්බුනා... මේ තොපේ ප්‍රියම්භිකාවද...?"
ටිකක් වෙලා ඒ ගෑණු කෙනාගෙ අඟ පසඟ දිහා බලන් කල්පමා කරපු මනුස්සයා, දෙවිවරයා දිහා බලන් ඔලුව වනලා කතා කලා.
"එසේය දෙවියනේ... මේ ඉන්නෙ මගේ ගෑණි තමයි.."
මේ කතාවෙන් පස්සෙ නං අර දෙවිවරයා අම්බානකට ටිපර් උනා.
"ඈ බොල... තොගෙ අවංක කම නිසයි මම කලින් වර තොට රන් පොරවක් සහ රිදී පොරවක් තෑගි කලේ. දැන් තෝ මේ චීත්ත රෙද්දක් නිසා වංකකම් කොරන්නෙ මොකද... තොපේ වංක සිත මා ඉදිරියේ පෙන්වන්නට ලෑස්ති වෙන්න එපා..."
දෙවිවරයගෙ ඝර්ජනාවට ගඟේ සැඩ පාරත් වැඩි උනා.
ඒත් අර මනුස්සයා නං බොහොම යටහත් පහත්ව සන්සුන් ස්වරයකින්, තමන් වංක උනේ ඇයි කියන කාරණය දෙවියන්ට පැවසුවා.
"දේවතාවුන් වහන්ස... මම අවංක උන නිසා ඔබතුමා ගිය පාර මට පොරෝ එකට තුනක්ම ලබා දුන්නා. ඉතින් මම මේ පාරත් අවංක උනොත් එහෙම මට ගෑණු තුන් දෙනෙක් කරගහන්න වෙනවා... කිව්වට විශ්වාස කරන්න දේවතාවුන් වහන්ස... තුනක් තියා එකක් හැන්ඩ්ල් කරන්නෙත් හරිම අමාරුවෙන්... ඉතින් ඒකයි මම ඔබතුමා පෙන්නපු මේ පළවෙනි ගෑණිගෙන්ම මේක සෙට්ල් කරල දාන්න හැදුවෙ..."
මේ මිනිහගෙ උත්තරේ අහපු දෙවිවරයට කට උත්තර නැතුව ගියා... අන්තිමට දෙවිවරයා, ගඟට වැටුන මේ මිනිහගෙ ගෑණිව ගෙනල්ලා දීලා, ආපහු ගඟ ඇතුළට ගියේ ආයෙ ගොඩ කාලෙකට මිනිස් ලෝකෙට එන්නෑ කියල හිතාගෙනමයි...