වැරදුන ආරම්භය
කෙටි කතාවකි

දොරෙන් ඇතුලට එනකොටම කූල් හුලන් පාරක් වැදුන නිසා ඇඟ හිරිවැටිල ගියා. කවුන්ටරේ හිටපු අක්කත් මම ඒ හුළං පාරට ගැස්සෙනව දැකල පොඩ්ඩක් හිනා උනා.
"මහත්මයා මොකටද ආවෙ"
"මිස් මේ අද කම්පැනි එකේ software operator කෙනෙක්ව බඳවගන්න interview එකක් තියෙනව කියල දැන්වීමක් දැක්ක. ඒකට අයදුම් කරන්න ආවෙ"
"හරි ඕකේ. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න සර්."
කවුන්ටරේ හිටපු අක්ක මට පුටුවක් පෙන්නල කිව්ව.
ටිකක් වෙලා එතන ඉඳන් ඉන්නකොට ඒ අක්ක මට කතා කලා.
"සර් 2nd floor එකෙ මුලින්ම හම්බෙන රූම් එකට. assistant director කියන ලේබල් එක ගහල ඇති දොරේ. සර්ට ඕන්නං මං කෙනෙක් එවන්නම්"
"නෑ මං හොයා ගන්නම්. බොහොම ස්තූතී"
ලිෆ්ට් එකෙන් දෙවනි තට්ටුවට ඇවිල්ල වට පිට බලනකොට මුලින්ම දැක්කෙ ඒ කියපු දොර. ලොකුවට assistant director කියල රිදී පාටින් ගහපු දොරක්. හිමීට ලඟට ගිහිල්ල දොරට තට්ටු කලා.
"Come in"
ඇතුලෙන් ආවෙ ගෑනු කටහඬක්. මම දොරත් ඇරගෙන ඇතුලට යනකොට දැක්ක දෙයින් ගල් උනා. ඒ ඇතුලෙ හිටපු ගෑනු කෙනත් මාව දැකල එකපාටම ගැස්සිලා පුටුවෙන් නැගිට්ට.
"විනෝද් ඔයා........."
"ස... ස.... සත්මි...."
මම විනෝද් සේනාධීර. මගෙ කතාව පටන් ගන්නෙ මම ඕලෙවල් ලියල ඉවර වෙලා ගෙදර ඉඳපු දවස් ටිකේ. මම ඉස්කෝලෙ කාලෙ හොඳට වැඩ කරපු පංතියෙ ගොඩක් ඉස්සරහ හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි මම කාටවත් වැරැද්දක් කරන්නැතුව පාඩුවෙ හිටපු කෙනෙක්. 11 වසරෙ ඉඳන් මාත් එක්ක යාලු වෙලා හිටියෙ සත්මි මෙත්සරණි කියල එක අහිංසක ගෑණු ලමයෙක්.
ලස්සනට ජීවත් උන මාව විනාස වෙන්න පටන් ගත්තෙ මගෙ යාලුවො කීප දෙනෙක් නිසා. පාඩුවෙ නිදහස් විදිහට ජීවත් වෙන එක පිරිමිකමට හරි නෑ කියන හැඟීමක් නිසා මම පොඩ්ඩ පොඩ්ඩ සමාජ ආශ්‍රයට වැටුන. හැබැයි මගෙ අවාසනාවකට මට හම්බුනේ හොඳ යාලුවො නං නෙවෙයි. මුලින් මුලින් පිරිමිකම කියන බොරු ලේබල් එක අලවගෙන, විට කාල ටවුන් වල රස්තියාදු ගහපු මම අන්තිමට නැවතුනේ පැය 24ම මොකක්ම හරි මත්ද්‍රව්‍යක් පාවිච්චි කරපු කුඩ්ඩෙක් වෙලා. මම ඇත්තටම ඇබ්බැහි උනා.
මගෙ වෙනස තේරුම් ගන්න සත්මිට මහ ලොකු කාලයක් ගියේ නෑ. කල් යන්න යන්න මම තවත් වෙනස් උනා. ඒ වෙනකොට ඒලේවල් වලටත් සති කීපයයි තිබ්බෙ. මම වැරදි පාරක යනව දැකපු සත්මි එයාගෙ හැම ශක්තියම දාල මාව හරි පාරට ගන්න හැදුව. ඒත් මම දැක්කෙ සත්මි මගෙ සතුටට බාධා කරනව වගේ. ඒ නිසා ඒ කිසිම දෙයක් මම ගනන් ගත්තෙ නෑ.
ඒත් අන්තිමට නොසෑහෙන්න වැරදි කරපු මගෙ අතින් සත්මිටත් ලොකුම වැරැද්දක් උනා.
එදා ඉරිද දවසක්. සත්මිගෙ අම්මයි තාත්තයි එකම ඔෆිස් එකක වැඩ කරන්නෙ. ඉතින් ඉරිදට ඒ දෙන්නම වැඩ කරන්න ඔෆිස් යනව. සත්මි විතරයි ගෙදර. එදත් යාලුවෙක් දීපු පෙත්තක් නිසා මත් වෙලා හිටපු මම සත්මිගෙ ගෙදෙට්ට කඩා පැන්නෙ සත්මිගෙන් සල්ලි ඉල්ලගන්න. ඒක මගෙ පුරුද්දක් වෙලා තිබ්බෙ. මට තිබ්බ ආදරේ නිසා සත්මි අඬ අඬ මට සල්ලි දුන්න. මොකද මම කලින් සල්ලි නොදීපු වෙලාවල් වලට එයා ඉස්සරහදිම අත පය කපාගන්න හැදුව.
ඉතින් එදත් සල්ලි ඉල්ලන්න ගියාම සත්මි මගෙ ඉස්සර වැටිල බැගෑපත් උනා මේවගෙන් මිදෙන්න කියල.
"දෙයියනේ විනෝද්. අනේ රත්තරං දැන් ඇති වස්තුව. අනේ මැණික. කෝ දැන් ඇති. අනේ මම වඳින්නං. විනෝද් ප්ලීස්, මං වෙනුවෙන් හරි ඕක නවත්තන්නකො"
"අඬහැරියාව නවත්තපං ගෑනියෙ. තෝ වෙනුවෙන් මගෙ සතුට මට පැත්තකට දාන්නද කියන්නෙ. රුපියල් පන්සීයක් දීපං. ණයට ගැහුවෙ අද"
"අනේ විනෝද් අද මං ළඟ සල්ලි නෑ. රත්තරන් ප්ලීස්. අනේ.."
"සල්ලි නැත්තං වෙන මොනා හරි දීපං. මම විකුණල හරි සල්ලි ගන්නම්"
"අනේ වස්තුව"
"අනේ පනේ නෙවෙයි යකෝ. මොනාහරි දීපං"
"අනේ ඕනෙ දෙයක් විනෝද්. ඕනෙ දෙයක් දෙන්නම්. අනේ ඕව දැන්වත් නවත්තන්නකො"
"ඕනෙ දෙයක් දෙනවද?"
"ඔව් විනෝද් ඕනෙ දෙයක්. ඔයා ඔය කරන වැඩ නවත්තනව නං මං මගෙ ජිවිතේ උනත් දෙන්නං"
මට තිබුණ ආදරේ නිසා සත්මි එදා මම ඉල්ලන ඕනෙම දෙයක් දෙන්න පොරොන්දු උනා.
ඒත්.....
මනස විකෘති වෙලා හිටපු මම එදා සත්මි ඒක කියනකොට එයාව දැක්කෙ සෙල්ලම් බඩුවක් වගේ. සල්ලි නොදීපු තරහටයි හිතේ තිබ්බ ආසාවයි නිසා එදා සත්මි මගෙ අතින් ගෑනියෙක් උනා. මම සත්මිට ගැහුව. හීරුව. අන්තිමට සත්මි මං වෙනුවෙන් හැමදේම පූජා කලා. ආදරේ නාමයෙන් එයා ඒ වැඩේ කලත් මට ඒක ආතල් එකක් විතරක්ම උනා.
ඒ උන සිද්දිය තවත් බරපතල උනේ සත්මිගෙ අම්මල කලින් ගෙදර ආපු නිසා. තමන්ගෙ දුව වෙන එකෙක් එක්ක නිදාගෙන ඉන්නව දැකපු ඒ තාත්ත මටත් ගහල සත්මිවත් එක්කන් ඊළඟ දවසෙම ඒ ගෙදරින් යන්නම ගියා.
සත්මි ගියේ කොහෙද , අලුතෙන් පදිංචි උනේ කොහෙද , එයා හොඳින් ඉන්නවද , කිසිම දෙයක් නොදැන මම ගෙදෙට්ට වෙලා හිටිය. සත්මිගෙ අඩුව තදින්ම දැනෙන්න පටන් ගන්නකොට මම හැමදේම අතෑරිය. සමාජෙන් වහන් වෙලා බිත්ති හතරකට මුලු වෙලා දවස් ගනන් අඬ අඬ විඳෙව්ව. කාමරේ ජනේල් උලුවස්සෙ රෙදි කෑලි ගැට ගගහ එල්ලෙන්න හැදුව. බෙහෙත් බිව්ව. භූමිතෙල් බිව්ව.
ඒ හැමදෙයින්ම මාව බේරුනා. මම සත්මිට කරපු වැරදි වලට මම ඊට වඩා විඳවන්න ඕනෙ කියන එක දෛවය තීරණය කරල ඉවරයි. අම්මල එකතු වෙලා මාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නල ප්‍රතිකාර කෙරෙව්ව. අතීතය අමතක කරන්න බැරි උනත් මට අනාගතේ වෙනුවෙන් ජීවත් වෙන්න පුලුවන් උනා. අම්මල එකතු කරපු සේසතම වියදම් කරල මට ඉගැන්නුව. අන්තිමට මම තාක්ශණවේදය පිළිබඳ බාහිර උපාධියක් ගත්ත.
උපාධිය අරන් සති දෙකක් තිස්සෙ රස්සා හොයල දැන් අද මම මේ කම්පැනි එකට ආව ජොබ් ඉන්ටවීව් එකක් දැකල.
අවුරුදු හයකට කලින් මගෙ අතින් ජීවිතේම විනාස කරගත්තු ඒ ලස්සන කෙලි පොඩ්ඩ අද මම රස්සාවක් හොයන් ආපු තැන සහාය අධ්‍යක්ෂ තනතුරක් දරනව.
අපි දෙන්නට දෙන්න අවුරුදු හයකින් හම්බුන ඒ වෙලාවෙ අපි දෙන්නම ශොක් උනා.
සත්මිව දැකල තත්පර කීපයක් යන්නත් කලින්ම මගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්ත. ජීවිතේම මං වෙනුවෙන් දීල , මුලු හදවතින්ම මට ආදරේ කරපු , මේ කෙලි පොඩ්ඩ අද ආපහු මගෙ ඉස්සරහ ඉන්නව.
...
මගෙ ආත්මාර්ථකාමීත්වය නිසා එදා ආත්මයක් විනාස කරගත්තු ඒ කෙලි පොඩ්ඩ දිහා බලාගෙන මම බිම දනගහන් ඇඬුව.
සත්මි මේසෙ වටෙන් ඇවිල්ල මාව නැගිට්ටවල මගෙ පපුවෙ මූණ හංගං පපුවට ගගහ කෑ ගැහුව.
"මගෙ වස්තුවෙ මට සමාවෙන්න රත්තරන්. අනේ රත්තරන් මට සමාවක් දෙන්න."
සත්මි වචනයක් වත් නොකිය මගෙ පපුවෙ මූණ ඔබාගෙන හිටිය.
විනාඩි දෙක තුනක් එහෙම ඉඳල පොඩ්ඩක් සන්සුන් උනාට පස්සෙ මමයි සත්මියි පුටුවලින් වාඩි උනා.
"සත්මි,"
"කියන්න විනෝද්"
සත්මිගෙ ඇස් වලින් ආපු කඳුලක් කම්මුල දිගේ ඇවිල්ල පහලට වැටුන.
"මේ අවුරුදු හයේ මොකක්ද උනේ"
සත්මි ලොකු හුස්මක් අරන් එයාගෙ කතාව කිව්ව.
"එදා අපි ගෙදරින් ගිහිල්ල හෝටලේක නැවතුනා. ඊට පස්සෙ වැලිමඩ පැත්තෙන් ගෙයක් ගත්ත. අම්මල එහෙ ඉස්කෝලෙකට දැම්ම මාව. පස්සෙ මම ඒලෙවල් ලියල කැම්පස් ගියා. ගිය අවුරුද්දෙ කැම්පස් අවුට් උනාම තාත්තගෙ යාලුවෙක්ගෙ කම්පැනි එකක ජොබ් එකකට ගියා. එතන වැඩ හොඳ නිසා මට ප්‍රමෝශන් එකක් හම්බුනා. දැන් මම මේකෙ සහාය අධ්‍යක්ෂක."
"දැන් අම්මයි තාත්තයි ගෙදරද"
මම එහෙම අහපු ගමන් සත්මි බිම බලාගත්ත.
"නෑ විනෝද්. අම්මයි තාත්තයි මීට අවුරුදු දෙකකට කලින් කාර් ඇක්සිඩන්ට් එකකින් නැති උනා. මාව බලාගත්තෙ අර තාත්තගෙ යාලුව. එයා මාව එයාගෙම දුවෙක් වගේ බලාගත්තෙ"
මට කියන්න කිසිම දෙයක් කටින් පිටවුනේ නෑ. මම නිසා නේද මේ හැමදේම වෙලා තියෙන්නෙ කියල දැනුනම පපුව ඇතුලෙන් පිච්චෙනව වගේ තේරෙනව.
මම නිසා මෙච්චර දෙයක් උන සත්මිට ළඟට ඇවිල්ල ආපහු මම මේ කරන්නෙ එයාට වැරැද්දක් නේද කියන එක ඔලුවට ආපු නිසා මම ආපු වැඩේ අමතක කලා.
"සත්මි මම යන්නම්. මට ජොබ් එපා. මම ජීවත් වෙලා ඉන්නකං මම දුක් විඳිනව. කවුරු මොනව කිව්වත් මම ඒක කරනව. ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයි මම කරපු හැම වැරැද්දටම මම දඬුවම් විදිනව. පරිස්සමට ඉන්න සත්මි. මට ආපහු ඔයා ළඟට එන්න බෑ. මෙච්චර දෙයක් කලාට පස්සෙත් මට ඔයා ළඟට එන්න බෑ. ඔයා ලස්සන අනාගතයක් තියෙන්න ඕනෙ කෙල්ලෙක්. ඔයා ලස්සන ගමනක් තියෙන ලස්සන විදිහකට ජීවත් වෙන්න ඕනෙ කෙල්ලෙක්. ඒක අඳුරු කරන්න මට බෑ. ඒ නිසා...."
මට එච්චරයි කියාගන්න හම්බුනේ. සත්මි ඇවිල්ල ආපහු මට තුරුල් වෙලා මගෙ ඇඟ වටේ අත් යවල මාව තද කරගත්ත.
"ඔයා යනව නං මේ පාර මාවත් අරන් යන්න. මට ජීවිතේ ලස්සනක් නෑ ඔයා නැතුව. මගෙ ජීවිතේ ලස්සන වෙන්නෙ අපි නිසා. මෙච්චර කල් මම තනියම හිටියෙ. අද ඔයාව ආපහු හම්බුනු මේ ටික වෙලාවකට මගෙ ඒ තනිකම නැති උනා. ඒ නිසා ආපහු මාව තනි කරන්න එපා."
සත්මි මගෙ පපුව අස්සෙ මූණ තද කරන් මට තුරුල් වෙලා ඉන්නව.
මම නිසා මෙච්චර දේවල් වෙලත් සත්මි තාමත් මට ආදරෙයිද? තාමත් මාවම පතනවද......?
අපි මුලු දවසම කතා කලා. සත්මි කියපු ඒ තාත්තගෙ යාලුව උන අන්කල්ටත් මාව අඳුන්නල දුන්න. මාව එයාලගෙ ගෙදරත් එක්කන් ගියා.
අවුරුදු හයක් තිස්සෙ මම මානසිකව ලොකු වධයක් වින්දා. අද මට සත්මිව ආපහු මුනගැස්සුවෙ මගෙ දඬුවම අවසාන නිසාද....
ඒක ගැන මම දන්නෑ. ඒත් මට කවදාවත් මම සත්මිට කරපු දේවල් වලට ණය ගෙවල ඉවර කරන්න බැරි වෙයි. සත්මි ගියාට පස්සෙ මට කිසිම යාලුවෙක් නැති උනා. සත්මි ආපහු හම්බෙනකංම ඒක එහෙමමයි.
ඊට අවුරුද්දකට පස්සෙ අපි දෙන්න විවාහ වෙලා අපේම ජීවිතයක් පටන් ගත්ත.
ජීවිතේ හරිම අමුතුයි. අපේ ජීවිතේම වෙනස් වෙන්න එක ක්ෂණයක් ඇති. මම මේ දක්වා ආපු ගමනෙන් ලොකු පාඩම් ටිකක් ඉගෙන ගත්ත.
පිරිමිකම කියන එකේ හරිම තේරුම සමාජෙ ඉස්සරහ වැඩ දාන එක නෙවෙයි. තමන්ගෙ පාඩුවෙ අහිංසකව ඉන්නව කියන්නෙ පිරිමිකට කරන නිගාවකුත් නෙවෙයි. නියම පිරිමියෙක් ගෑනියෙක්ට අංශු මාත්‍රයක්වත් දුකක් වේදනාවක් දෙන්නෑ. විශේෂයෙන්ම තමන්ට ආදරේ කරන තමන් එක්ක ජීවිතේ බෙදාගන්න කෙනාට.
බොරු පිරිමිකමක් නිසා මම අපේ ආරම්භය වරද්දගත්ත. හැබැයි මම කවදාවත් අවසානය ඒ වගේ වෙන්න දෙන්නෑ. මගෙ ජීවිතේ තියෙනකං මම සත්මිට අංශුමාත්‍රයක දුකක් දෙන්නෑ. ඒක මම දන්නව.
ඒක පොරොන්දුවක්!