වීදි පුරඟන

වීදි පුරඟන

14

දහහතරවන කොටස

.

"තුරුලි සේරම ලෑස්ති නේද... ඔයා ගෙනාපු මුකුත් අමතක කලේ නෑනෙ..."


මම තුරුලිගෙන් ඇහුවෙ, ක්වාටස් එකෙ දොර වහල ලොක් කරන ගමන්. උදේ හතටත් කිට්ටු උනත් තාම මීදුම වියැකෙන පාටක් නෑ. යන්තන් මීදුම අතරින් වැටෙන ඉර එළිය නිසා වටපිටාවෙ තිබ්බෙ මලානික ගතියක්.


තුරුලි එයාට අරන් දුන්න ජර්සියත් ඇඳගෙන පුංචි බෑග් එකත් උස්සගෙන මගෙ ගාවින් හිටගෙන හිටියා.


"ඔක්කොම හරි සර්... හී... මම ලොකු දෙයක් ගෙනාවෙත් නෑනෙ කෝමත්..."


"ම්ම්ම්ම් හරි ඒනං... කෝකටත් දැන් කාර් එකට ගියාම ආයෙ බෑග් එක බලන්න..."


"හරී..."


මම දොර වහල යතුර ගත්තට පස්සෙ, අපි දෙන්න ඇවිත් කාර් එකට නැග්ගා.


සති දෙකක කාලයකට පස්සෙ අපි අද මේ පුංචි ගෙදරට සමුදෙන්නයි යන්නෙ... තුරුලි එක්ක මේ කාලෙ ඇතුළෙ ගත කරපු දවස් කීපය, ඇත්තටම මම මගෙ ජීවිතේ ගෙවපු හොඳම දවස් කීපයක්...


අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් තනියම ජීවත් වෙන ගමන් කාර්යාල ජීවිතයකට හුරු වෙලා හිටපු මම, මේ ලැබුනු අලුත් අත්දැකීම් කීපය නිසා ඇත්තටම ගොඩක් වෙනස් උනා.


ඒත්....


අද ඉඳන් ඒ හැමදේටම සමුදීලා ආපහු මගේ සුපුරුදු උදාසීන ජීවිතේ ගෙවන්න පටන්න ගන්න වෙනවා...


ක්වාටස් එකෙන් පිටත් වෙලා මම ආපහු ආවෙ, ක්වාටස් එක මැනේජ් කරපු හෝටලේට. යතුරු කැරැල්ලත් එතනට භාරදීලා, මගෙ කම්පැනියෙන් එතනට පේමන්ට් කරපු බව සනාථ කරන රිසිට් එකත් අරගෙන තමයි මම ආපහු කාර් එකට ආවෙ. ඒ එන අතරෙ, මට පළවෙනිම දවසෙ කතාබහ කරපු දෙමළ මනුස්සය හම්බුනු නිසා ඒ මනුස්සයටත් රුපියල් පන්සීයෙ කොළයක් දුන්නා මම.


"සර්..."


මම වැඩ ඉවර කරන් කාර් එකට නගිනකොට තුරුලි කතා කලා.


"ම්ම්ම්ම්ම් කියන්න තුරුලි..."


"සර්ගෙ කම්පැනි එකෙන්ද මෙතෙන්ට ගෙවන්නෙ..."


"ඔව්නෙ... කම්පැනියෙන් මෙයාලගෙ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි දාලා තිබ්බා. මම රිසිට් එකක් ගත්තා කෝකටත්. පස්සෙ අවුලක් උනොත් කියල.."


"සර් හරි පරිස්සම් නේද ඒ වගේ වැඩ වලදි... හී..."


"ලොකු ගනන් එහෙ මෙහෙ වෙනකොට වගකීමක් ගන්න ඕනි තුරුලි... එහෙම නැත්තං ප්‍රශ්නයක් උනොත් අපිට හැන්ඩ්ල් කරන්න බෑ ඒවා..."


"හී.... මට නං තේරෙන්නෑ සර් ඕවා..."


තුරුලි එක්ක කතාවෙන්ම මම කාර් එක හරවන් ආපහු බණ්ඩාරගම ටවුන් එක දිහාට එන්න පිටත් උනා. පළවෙනිම දවසෙ තුරුලි එක්ක එනකොට තිබ්බෙ නැති කතා ගොඩක් අපි මේ යන ගමන් කතා කලා. මොකද මම සම්මතයක් විදිහට තුරුලි සම්බන්ධව ගොඩනගාගෙන හිටපු වෘත්තීයමය සීමාවන් හැම එකක්ම වගේ, මේ වෙනකොට බිඳිලයි තිබ්බෙ.


ඒ නිසා මම කිසිම දෙයක් ගැන පැකිළීමක් නැතුව තුරුලි එක්ක විවෘතව කතා බහ කලා. මේ ගමන ආපු මුල්ම දවසෙ බයෙන් සැකෙන් තුරුලි එක්ක කතා කරපු මම, දැන් එයා එක්ක මේ විදිහට නිදහසේ හිනා වෙවී කතා බහ කරනවා. සති තුනක වගේ පොඩි කාලෙකින්, සමාජ ඝට්ටනය පිළිබඳ මගේ තිබ්බ අදහස් සේරම උඩු යටිකුරු උන එක ගැන ඇත්තටම පුදුමයි...


සමහර විට ඒ තුරුලි වෙනුවෙන් විතරක්ම වෙන්නැති... සමහරවිට තුරුලිගෙන් එහා ලෝකෙදි මම තාමත් හිටපු කෙනාම වෙන්නැති...


අපි පැය බාගෙකින් විතර බණ්ඩාරගම ටවුමට එනකොට නං සාමාන්‍යෙන් එළිය වැටිලා තිබ්බා.


ටවුමෙ ටිකක් දුර බලාගෙන ඇවිල්ලා, උදේට කන්න පුලුවන් හෝටල් කෑල්ලක් ගාවින් මම කාර් එක නවත්තල තුරුලිත් එක්කම කඩේට ගියා.


සීතල නිසා සාමාන්‍යෙන් මේ පැත්තෙ මිනිස්සු කොට ඇඳුම් අඳින්නැති නිසාද මංදා, මේ උදේ පාන්දරත් පුංචි ගවුම් කෑල්ලක් ඇඳගෙන ඉන්න තුරුලි දිහා වටේ පිටේ අය බැලුවෙ අමුතු විදිහට.


ඉස්සර නං මට මෙහෙම කෙනෙක් දකිනකොටත් තරහ හිතුනට අද මගෙ හිතේ පුංචි ආඩම්බරයක් ඇති උනා. ඒ, මේ වගේ කෙල්ලෙක් එක්ක එකට කඩේකට යනව කියල ඇති උන සිතුවිල්ල නිසා.


"මහත්තයලට මොනාද ගේන්න ඕනෙ.."


කඩේ වේටර් කොල්ලෙක් ඇවිල්ල අපෙන් ඇහුවෙ, අපි මේසෙකින් වාඩි උනාට පස්සෙ. වේටර් ඒක ඇහුවෙ මගෙන් උනාට, මිනිහගෙ ඇහැ තිබ්බෙ තුරුලි ගාව.


"ම්ම්ම්ම්ම් අපිට ඉඳි ආප්පයි පරාටයි ගේන්න... බිත්තර රොටි දෙකකුත් ගේන්න... මිරිස් හොද්ද ගේන්න මාළු එපා... තුරුලි කනව නේ ඒවා..."


"ඔව් සර්... හී... මම ඕනෙ එකක් කනවනේ..."


වේටර් ඒ ටික ලියාගන්නකොට තමා මිනිහට තුරුලි 'සර්' කියනව ඇහුනෙ. ඒක ඇහුන ගමන් මිනිහා මගෙ දිහාට හිනාවක් දාලා යන්න ගියා. ඒ හිනාවෙන් කියවුනේ 'උඹ මාර එකෙක්නෙ' වගේ දෙයක් මට හිතුනු හැටියට.


ටිකකින් වේටර් කොලුවා කෑම ගෙනාවට පස්සෙ අපි දෙන්නා අනං මනං කතා කර කර කෑවා. තුරුලිගෙ හුරතල් කතා වලට හිනා වෙවී, හරිම නිදහසේ අරගත්ත උදේ කෑම වේලක් ඒක...


හැබැයි.... ඒ හැම පුංචි අව්‍යාජ හිනාවක් අවසානයේම..., මගෙ හිතේ එකම එක දෙයක් රැව් දුන්නා....


'මම මේ කෙල්ලත් එක්ක ගතකරන අන්තිම දවස නේද අද....!'


ඒ කාරණාව හිතට වධ දුන්නත්, මම ඒ බව තුරුලිට නොපෙන්වා ඉන්න උපරිම උත්සාහයක් ගත්තා.


උදේට කාලා කඩේට සල්ලිත් ගෙව්වට පස්සෙ අපි ආපහු කාර් එකට නැගල එන්න පිටත් උනා. ඒත් ඒ එන අතරෙ, උදේ තිබ්බ ප්‍රබෝධමත් ගතිය පොඩ්ඩක් වියැකිලා ගිහින් තිබ්බෙ.


අපි දෙන්න දිගටම කතාවෙන්-බහෙන් ගමන ආවත්, මේ දවස් කීපෙම අපි අතරෙ තිබ්බෙ නැති නොඉවසුම් ගතියක් දැන් දැන් තුරුලිගෙත් මගෙත් කතාව ඇතුළෙ මෝදු වෙනවා. අනාගතය ගැන නිශ්චිත සිත්තමක් නැති සිත්තරුවො දෙන්නෙක් පින්සල් පාරෙ නිවැරදි කෝණය හොයනව වගේ, අපේ කතාවෙත් නිශ්චිත දිශාවක් නැතුව, අපි දෙන්නම හෙව්වෙ කතාව තවත් දික් කරගන්න පුලුවන් මොකක් හරි සාධකයක්.


ඔලුවෙ එක එක දේවල් ගැන හිතෙන්න ගත්ත නිසාද මංදා මම කාර් එකක් එලවනවා කියන එකත් මට අමතක උනා සමහර වෙලාවලට.


"සර්... කලබලෙන් කාර් එක එළවන්න එපා... අපි කතා නොකර ඉමු හානෙ..."


තුරුලි මගදි මට කිව්වෙ, මම ඉස්සරහින් ගිය වාහනයක් ගාවටම ගිහින් බ්‍රේක් කරපු නිසා. ඇත්තටම මට බ්‍රේක් එකට කකුල තද කරන්න මතක් උනේ පොඩ්ඩක් පරක්කු වෙලා.


"අහ්... මේ... එහෙම අවුලක් නෑ තුරුලි... ඒ යකා එක පාරම බ්‍රේක් කලානෙ... බ්‍රේක් ලයිට් දැක්කෙත් නෑ හරියට, ඉර එළිය වැටෙන නිසා"


"හී... ඒකට කමක් නෑ... අපි හිමින් යමුකො සර්..."


"ආහ් හරි තුරුලි... සොරි බය උනා නං..."


"ඒකට කමක් නැහෑ..."


"ම්ම්ම්ම්ම්..."


ටිකකින් තුරුලි සීට් බෙල්ට් එකට අතක් තියාගෙන මගෙ පැත්තට ඔලුව හරවගෙන, ඇස් පියන් සීට් එකේ ඇල උනාට පස්සෙ මමත් සන්සුන් උනා ටිකක්.


ඊට පස්සෙ පැය හතර හමාරකින් විතර මම කාර් එක නැවැත්තුවෙ තුරුලි හිටපු පනස් තුනේ වත්ත පාර ගාවින්.


මම කාර් එක පාරෙ අයිනෙන් නවත්තල, පිටිපස්සෙ සීට් එක උඩ තිබ්බ තුරුලිගෙ බෑග් එක අරන් එයාට දුන්නා.


"තුරුලි... බලන්න මුකුත් කාර් එකේ දාල යනවද කියල..."


"මම එළියට ගත්තෙ නෑ සර් මුකුත්... හී..."


"හරි එහෙනං... ඉන්න පොඩ්ඩක්..."


මම එහෙම කියන ගමන් සාක්කුවට අත දාලා පර්ස් එක එලියට ගත්තා. තුරුලි මම පර්ස් එක ගන්නව දැකල කලබලෙන් වගේ කතා කලා මට.


"ඇ... ඇයි සර්... අනේ සල්ලි එපා මට..."


"සල්ලි එපා කියන්නෙ...? මම ඔයාව අරන් ගියේ කුලියට... දාහ ගානෙ දෙන්න පොරොන්දු වෙලා..."


"එ... ඒත් සර්... සර් මට ඇඳුම් එහෙමත් අරන් දුන්නනෙ..."


"ඒව මම නිකං අරන් දුන්නේ... ආ මෙතන 20ක් තියෙනවා. දවස් 20ට..."


මම තුරුලිට පන්දාහෙ කොළ තුනකුයි දාහෙ කොළ පහකුයි දික් කරන ගමන් කිව්වා.


"ස... සර්... ඒත්...?"


"ගන්න තුරුලි මට අල්ලන් ඉන්න බෑ දිගටම..."


මම දැඩි ස්වරූපෙකින් කිව්වට පස්සෙ තුරුලි සල්ලි කොළ කීපෙ අරන් දෙකට නවල බෑග් එකේ පොඩි පොකට් එකකට දාගත්තා. මට ඕනෙ උනේ මේ නොඉවසිලිමත් ගතියෙන් ඉක්මනට මිදෙන්න.


දැන් තියෙන්නෙ අපි දෙන්නට දෙන්නා සමුදෙන්න විතරයි...


මට කොහෙත්ම බෑ තවදුරටත් මේ කෙල්ල එක්ක සම්බන්ධයක් පවත්වන්න... මම කොහොමද ඒ බව තුරුලිට කියන්නෙ... මූණටම කියන්නද ආපහු මගෙ ජීවිතේ ඇතුළට එන්න එපා... මගෙන් ඈත් වෙලා ඉන්න කියල... නැත්තං...


"සර්...."


"අහ් ඔ... ඔව්... තුරුලි... කියන්න..."


"සර් මම ගැන වද වෙන්න එපා... හී..."


"එ... ඒ කිව්වෙ..."


"මම දන්නව සර්ට මාත් එක්ක ආපහු ඉන්න බෑ කියල..."


"...."


"....මම සර්ව බලාපොරොත්තුවෙන් හිටියෙ නෑ... ඒ නිසා සර් ඒ ගැන හිතන්න එපා... මම ආපහු සර්ගෙ ජීවිතෙ ඇතුළට එන්නෑ... සර් හොඳ කෙනෙක්... සර් ගොඩක් ලොකු තැනක කෙනෙක්... මට බෑ මම නිසා සර්ට හානියක් වෙනව බලන් ඉන්න... ඒ හන්දා සර් මාව අමතක කරලා දාන්න... මම සර්ට ගෞරව කළොත් මිසක මම කවදාවත් එහෙම කලා කියල සර්ට වෛර කරන එකක් නෑ... අනික නිලූකා මැඩම්ට කියල මම පොඩි රස්සාවක් හොයාගන්නං සර්... මම නරක වැඩ කරන්නෑ ආපහු... මම යන්නං සර්... පරිස්සමට ඉන්න හැමදාමත්..."


වාක්‍යයේ අගට තුරුලිගෙ ඇස් දෙකේ කඳුලු උනන්න ගත්ත නිසා එයා මූණ අනිත් පැත්ත හරවගෙන දොර ඇරියා.


මම මුකුත් කියන්නත් කලින්ම එයා දොර ඇරගෙන බැහැලා, කාර් එකේ පිටිපස්සෙන් වටෙන් මගෙ දොර ගාවට ඇවිත් පාත් වෙලා වැන්දා.


ඊට පස්සෙ එයා අතුරු පාර දිගේ හෙමීට ඉස්සරහට ගියේ ආපහු එක පාරක්වත් පිටිපස්ස නොබලා.


සිද්ද වුන දෙයින් තුශ්නිම්භූත වෙලා හිටපු මම, තුරුලි පේන මානෙ ඉන්නකංම කාර් එක නවත්තං එයා දිහා බලන් හිටියෙ, එකම එක සිතුවිල්ලක් හිතේ දවටගෙනයි...


"එතකොට ඒක ඉවරද දැන්..."


තුරුලි නොපෙනී ගියාට පස්සෙ මම ආපහු ගෙදර එන්න පිටත් උනා.


ගෙදර ඇවිත් කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දාලා, බඩු ටිකත් කාර් එකේ තියෙද්දිම මම ගෙයි දොර ඇරන් ඇතුළට ගියේ ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න හිතාගෙන.


බණ්ඩාරවෙල තුරුලි එක්ක හිටපු ක්වාටස් එකේ හැටියට මේ ගෙදර මහ පාළු සොහොනක් වගේ. හැබැයි තුරුලිත් හිටිය නං... මේ ගෙදරත් එළිය වෙයිද...


ළං කරගන්න බැරි දේවල් ගැන දැන් හිතල වැඩක් නෑ... ආසාවක් නිසා මගෙ තත්වෙ නැති කරගන්නෙ මොකද... කොහොමත් මම ඒ කෙල්ලව අරන් ගියේ උයන්න කෙනෙක් නැති නිසා... ඔව්... වෙන දෙයක් නෑ...


ඔය විදිහට හවස් වෙනකංම ඔලුවට ආව සිතුවිලි එක්ක තර්ක කර කර කාලෙ ගත කරපු මම, හැන්දෑවෙ ළඟ කඩේකින් ආප්ප කීපයක් ගෙනල්ලා කාලා නිදාගත්තා. ඒ පහුවෙනිදට ආපහු ඔෆිස් යන්න ඕනෙ නිසා.


---------------


"හප්පටසිරි... මාස්ටර් සර්වේ ඇවිල්ල නේ... යකෝ කිව්වෙත් නෑ..."


උදේම ඔෆිස් එකේ පාක් එකෙන් කාර් එක දාලා බිල්ඩිම ඇතුළට එනකොටම, තුශාරයා කොහෙදෝ ඉඳල ඇවිල්ල මගෙ පිටිපස්සෙන් ඇඟට පැනල කෑ ගැහුවා.


"කෑගහන්න එපා බං බොරුවට... උඹ ඔය කොහේ ඉඳන්ද එන්නෙ...?"


"ආ මම පාරෙ එහා පැත්තෙ කමියුනිකේශන් එකට පොඩ්ඩක් ගියා බං. බොසාගෙ ළමයගෙ මොකක්ද මගුලක් පොටෝකොපි ගහන් එන්න කිව්වා..."


"ඉතින් ඇයි අපේ ප්‍රින්ටර් වැඩ කරන්නැද්ද?"


"බොසා හෙන අමුතු පොරක්නෙ බං... මේ ඒ රෙද්දවල් වලින් වැඩක් නෑ... කෝ උඹේ නෝනා හාමු..."


තුරුලි... ඇත්තටම එයා දැන් මොනව කරමින් ඉන්නව ඇතිද...


"නෝනා හාමුලා නෑ... උයන්න කෙල්ලෙක් එක්කන් ගියේ. එච්චරයි. ආයෙ එයාව හම්බෙන්නෙත් නෑ..."


කවදාවත් නැතුව මම තුශාරයට ආවේගෙන් වගේ කතා කෙරුව නිසා මිනිසා පොඩ්ඩක් බැක් උනා.


"ඈහ්... යම්කිසි දෙයක් වෙලා තියෙනව වගේ... උඹ නං අනේ මංදා බං... කෙල්ලොන්ව ආස්‍රේ කරපං... මැරෙන්නෑ... මේ මම යනව ඈ ලොක්කට පණිවිඩේ දීලා එන්න... කෝකටත් ලොක්කට කතා කරල හිටහං හිකනලා වගේ මේසෙන් වාඩි වෙලා දවසෙම වැඩ කරන්න කලින්..."


"හරි හරි උඹ පලයංකො මම කරගන්නං ඒවා..."


තුශාරයා ගියාට පස්සෙ මම ඇඟිල්ලත් ෆින්ගර්ප්‍රින්ට් එකට තියල කැන්ටිමට ගියා. කාලෙකින් හම්බුනු නිසා කැන්ටිමේ අක්ක එක්කයි වැඩ කරන කොල්ලා එක්කයි පොඩ්ඩක් වෙලා කතා කරලා, උදේ කෑම එකත් අරන් මගෙ රූම් එකට ගිහින් ඒක කෑවා.


කාලා ඉවර වෙලා, තුශාරයා කිව්වත් වගේ මම කරුණාදාස සර්ගෙ ඔෆිස් රූම් එක ගාවට ගිහින් දොරට තට්ටු කලා.


"කම් ඉන්..."


සර්ගෙ අවසරය ඇහුනම මම දොර හිමීට ඇරල, "ගුඩ් මෝනින් සර්" කියාගෙන ඇතුලට ආව.


"ආහ්... ගුඩ් මෝනින් පවන්... මම හිතුවෙ අද පවන් ඩේ ඕෆ් එකක් ගනී කියල... ඊයෙ නෙවේද ගෙදර ආවෙ..."


"ඊයෙ සර් ආවෙ... ගෙදර ඉඳන් කරන්න වැඩකුත් නෑ සර්... ඒකයි ආවෙ... මෙහෙ වැඩ ගොඩගැහෙනවනෙ..."


"වෙරි ගුඩ් වෙරි ගුඩ්... වාඩි වෙන්න පුටුවෙන්... කියන්නත් අමතක උනා..."


"තැන්ක් යූ සර්..."


මම පුටුවෙන් වාඩි උන ගමන්ම කරුණාදාස සර් මගෙ දිහාට ෆැක්ස් කොළයක් දික් කලා.


"මේක එව්වෙ, පවන් ඒ සර්වේ එක කරපු ෆැක්ටරියෙ මැනේජර්. සංජීව කියල කෙනෙක්... පවන් මිනිහව අඳුරනවද...?"


මම ඒ කොළේ අතට අරන් "ඔව් සර්" කිව්ව.


"මේක පවන්ගෙ පළවෙනි සර්වේ එක නේ...?"


"ඔව් සර්... මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද... රිපෝට් එකේ මට නං මුකුත් අවුලක් පෙනුන්නෑ..."


"ඒකෙ අනිත් පැත්ත... ඔය ෆැක්ස් එකේ තියෙන්නෙ අපේ කම්පැනි සර්විස් එක ගැන ක්ලයන්ට්, ඒ කියන්නෙ සංජීව එවපු රිවීව් එක. හැබැයි වෙනසකට තියෙන්නෙ මේ රිවීව් එකේ තියෙන්නෙ රිවීව් එකක් නෙවෙයි. පවන්ට එවපු පණිවිඩියක්."


"ඒ කිව්වෙ සර්..."


"මම මේක කොහොමද කියන්නෙ... ඉන්න බලන්න... අම්ම්ම්ම්ම්..... හරි මම මෙහෙම කියන්නංකො... මේ රිවීව් එකේ තියෙන්නෙ පවනුයි තව තුරුලි කියල කෙනෙකුයි ගැන පර්සනල් ෆීඩ්බැක් එකක්...!"


".....!"


තුරුලිගෙ නම කරුණාදාස සර්ගෙ කටින් එළියට ආව නිසා මම තිගැස්සුනා එක පාරටම.


"පවන්ගෙ ඔය මූණ දැක්ක පළවෙනි පාර මම... හාහ් හාහ් හා..."


"සො... සොරි සර්..."


"හරි හරි ඕවා පර්සනල් දේවල්... මම ඇඟිලි ගහන්නෑ... හැබැයි මේ ෆීඩ්බැක් එක කියෙව්වට පස්සෙ මට තේරුන එක දෙයක් තමයි, ඒ කෙල්ල පවන්ගෙ කවුරුත් නොවුනත් ඒ කෙල්ලව අතාරින්න හොඳ නෑ කියන එක... පවන් මෙහෙ ඉන්නෙ කටුව ඇතුළට රිංගපු ඉබ්බෙක් වගේ. සොරි බට් ඒක තමා ඇත්ත... කොහොම උනත් මේ රිවීව් කාඩ් එක කියෙව්වම මට හිතුනෙ මේ ඉන්නෙ මම අඳුරන මිනිහමද කියල... පවන්ව ඒ විදිහට වෙනස් කලේ ඒ ඔය කියන කෙල්ලම නං, ඒ කෙල්ලව අතාරින්න එපා... ඔය කටුවෙන් එළියට ඇවිත් දැන් ඉඳලවත් ජීවිතේ විඳින්න පටන් ගන්න... විඳවන්නැතුව..."


කරුණාදාස කරපු ඒ බරපතල ප්‍රකාශය මම හිතන් හිටපු විදිහට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්... සර් ඇත්ත කතාව නොදන්න නිසා මෙහෙම කියනවද නැත්තං, ජීවිතේ විඳින්න ඒ ඇත්ත කතාවෙන් වැඩක් නැති නිසා මෙහෙම කියනවද කියල හිතාගන්න බැරි උනා මට.


සර් එක්ක ටිකක් වෙලා කතා කරල මම ආපහු මගෙ රූම් එකට ඇවිත් වැඩ පටන් ගත්තා.


හවස් වෙනකංම මට වැඩි විවේකයක් තිබ්බෙ නෑ. කලින් සති වල ගොඩගැහුණ වැඩ කීපය නිසයි එහෙම උනේ. ඒ අස්සෙ කරුණාදාස සර් කිව්ව දේත් ආයි ආයි ඔලුවට එනවා වැඩ අතරතුරේ...


අද දවසට වැඩ ඉවර කරලා, හවස හතරයි හතළිස්පහට ඕෆ් එක තිබ්බට පස්සෙ මම හෙව්වේ තුශාරයව. ඒ උගෙන් මගෙ හිතට වධ දුන්න පොඩි දෙයක් දැනගන්න. ඌ උගෙ බ්‍රාන්ච් එකේ කෙල්ලෙක්ගෙ මේසයක් උඩ වාඩි වෙලා කයිය ගගහ ඉන්නකොට තමා මට ඌව හම්බුනේ. මම බ්‍රාන්ච් එක ඇතුළට නොගිහින් දොර ගාවට වෙලා උට අතින් කතා කලා.


ඌ අර කෙල්ලට හිනායන මොකක් හරි කියාගෙන දොර ගාවට ඇවිත් මට කතා කෙරුවා.


"කියහං බං... උඹ ගෙදර යන්නද ඔය... අදත් ක්ලබ් පාරක් ගහමුද..."


"ඒ විකාර බෑ බං... මේ.. මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ... යම්කිසි කෙනෙක් ගැන දෙයක්... හැබැයි මම මෙහෙම ඇහුවා කියල එක එකා එක්ක කියාගෙන එහෙම යන්න එපා හරිද.."


"ඒව බැරියෑ පස්සෙ... නිව්ස් එකේ උණුසුම අනුවනෙ වාර්තාකරුවො ඒක පතුරවන්නෙ.. අහංකො ඉතින් ඒ කෙනා ගැන... කවුද ඒ කෙනා.."


තත්පර කීපයක ප්‍රමාදෙකින් පස්සෙ මම ආපහු උට කතා කලා.


"උඹ දන්නවද මේ පැත්තෙ ඉන්න නිලූකා කියල ගෑණියෙක්ව... ඔය හෝටල් එහෙම කරන කෙනෙක්..."


නිලූකා කියන නම ඇහුනම තුශාරගෙ කටේ පොඩි හිනාවක් ගියා.


"උඹෙන් ඔය නම ඇහෙයි කියල හිතුවෙ නෑ මම... ඔව් මම දන්නවා... උඹට දැන් මොකක්ද දැනගන්න ඕනෙ. උඹට එයාව හම්බෙන්න ඕන්නං, උඹ ඒ අදහස අතහැරගනින්. ඒකි මෙහෙ තිබ්බ බිස්නස් අඩුම කුඩුම ඔක්කොම පටවන් යන්න ගියා. ගිය තැනක් තාම දන්නෙත් නෑ..."


තුරුලි ලොකු කරල කතා කරපු ගෑණි මෙහෙන් යන්න ගිහිල්ලා...?


"මොකක්ද ඒ කතාව...?"


"මාසෙකට විතර කලින් ඒකිගෙ ස්පා පොට් ටිකකුයි බ්ලැක් ඩීල් හෝටල් ටිකකුයි පෝළිමට අල්ලගෙන ගියා පොලිසියෙන්. ඊට පස්සෙ ඒකිවත් රිමාන්ඩ් කරයි කියල වෙන්නැති, ඒකි බිස්නස් සේරම කුදලගෙන හොරෙන්ම කොහේ හරි පැන්නා. ඒකි ගාව වැඩ කරපු උන්ට යන එනමං නැති උනා. මම නං හිතන්නෙ ඒකි රට පැන්නා. ඒකි ඔය අර අරවටත් සම්බන්ධයිලු... අර අදින ජාති සුදු පාට..."


ඒ ගෑණි මෙහෙ නැත්තං... තුරුලි කොහොමද ඒ ගෑණිගෙන් ආපහු රස්සාවක් ඉල්ලගන්නෙ...?


ඒ කියන්නෙ තුරුලිට දැන් මුකුත් කරගන්න බැරුවද ඉන්නව ඇත්තෙ...? එයාට කොහොමත් පාරට බහින්න සිද්ධ වෙනවද...?


තුශාරය හෙලි කරපු ඒ නිව්ස් එක ඇහුනට පස්සෙ මම උට කතාවත් නොකර දුවලම ආවෙ පාක් එකේ නවත්තල තිබ්බ මගෙ කාර් එක ගාවට.


ඉක්මනට කාර් එකත් ස්ටාට් කරන් මම පනස් තුනේ වත්ත පාර ගාවට එන්න පිටත් උනා. අතරමගදි තුරුලිට කෝල් දෙක තුනක් ගත්තත් එයාගෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ.


විනාඩි විස්සකින් විතර පනස් තුනේ වත්ත පාර පේන සීමාවට එනකොටම, දැකල පුරුදු රූපයක්, මම පහු කරන් ආව කඩයක් ඉස්සරහ ඉන්න බව ඇස් කොනින් පෙනිලා නෝපෙනිලා ගියා....


කාර් එක එකතැන නවත්තල සයිඩ් කණ්නාඩියෙන් පිටිපස්ස බැලුවම තමයි ඒ රූපය හරියටම දැක්කෙ මම.


පුංචි බෑග් එකක් කරේ දාගත්ත ළාමක පෙනුමක් තිබ්බ කෙල්ලෙක්, පොඩි ගවුම් කොටේකුත් ඇඳන් කඩයක් ඉස්සරහට වෙලා මූණ පාත් කරන් ඉන්නවා.


ඒ රූපෙ...!?


මතු සම්බන්ධයි....

Report Page