මොළය විනාශ කරන ඇමීබාවා...

මොළය විනාශ කරන ඇමීබාවා...

LearnBits

#Micro_World

RL

ජීවින්ගේ පරිණාමයේ ආරම්භයේ ඉඳන්ම , මේ දක්වා වසර බිලියන ගණනක් තිස්සෙ , ජීවින් විවිධ ආකාරයට නිර්මාණය උනා. ඒ අතරින් වෙනත් ජීවින් සමග සටන් කරගැනීමට විවිධ අවයව , උපක්‍රම පවා සමහර ජීවින්ට පිහිටල තියෙනව.


මේ විදිහට හැඩගැහුණු ඇහැට නොපෙනෙන ක්ශුද්‍ර ජීවින් විශාල ප්‍රමාණයක් හිටියත් , එයින් බහුතරයක් මිනිසාට එතරම් බලපෑමක් නෑ. මොකද අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔවුන්ව ඉතාමත් පහසුවෙන් පරාජය කරනව.


හැබැයි....


Naegleria Fowleri කියන්නෙ නං , මිනිසාගේ මොළයට රහ වැටුනු ඇමීබාවෙක් වගේම , මිනිසාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එක්ක සටන් කරල දිනන්න පුලුවන් ජාතියෙ ක්ශුද්‍ර ජීව කොට්ඨාසයක්.... අපේ ඇඟේ defense system එක ඉක්මවා යන මේ ඇමීබාවට නං , මිනිසාගේ ජීවිතයට හානියක් උනත් කරන්න පුලුවන්.


කවුද මේ Naegleria fowleri?


Naegleria fowleri කියන්නෙ ඇමීබාවෙක්. ඒ වගේම පෘථිවියේ වෙසෙන කුඩාම ජීවින්ගෙන් කෙනෙක්.

මේ ඇමීබා , සාමාන්‍යයෙන් කුඩා බැක්ටීරියාවන් ග්‍රහණය කරල කෑලි වලට කඩල දාල ආහාරයට ගන්නව. ඒ කියන්නෙ මෙයාව bacteria hunter කෙනෙක් හැටියට හඳුන්වනව.


ගොඩක් ඇමීබා විශේෂයන් වගේම මේ Naegleria fowleri ත් තමන්ගෙ ජීවන චක්‍රයේ විවිධ අවධි පෙන්නුම් කරනව. හැබැයි මෙයාලගෙ ජීවිත කාලයෙන් වැඩි කොටසක්ම මෙයාල ගත කරන්නෙ ස්පොන්ජිමය දේහයක් , දඩයම් කිරීමට ගාත්‍රා වගේ විශේෂාංග ඇතුලත් ස්වරූපයකින්.


මේ ඇමීබා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නෙ ස්වභාවික උල්පත් , පොකුණු , වැව් , ජලාශ වගේ තැන් වල. හැබැයි මිනිසාගේ අවාසනාවකට , මෙයාල පයිප්ප නාල තුළ , පිහිනුම් තටාක වල වගේම ජල උද්‍යාන වලත් ජීවත් වෙනව.


ජලයේ උණුසුම වැඩි වෙනකොට , මේ ඇමීබාවගෙ ගුණනය වීමේ වේගයත් වැඩි වෙනව. ඉතින් ඔව්... උණුසුම් දේශගුණික ප්‍රදේශ කියන්නෙ Naegleria fowleri ට හිතකරම පරිසරයක්.


ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ තැනක මිනිසුන් ජලයේ ඉන්නකොට , මේ ඇමීබා මිනිසුන් සමග සෘජුවම ගැටෙනව. හැබැයි ඒකෙ ප්‍රශ්නයක් නෑ. මොකද අපි නිරතුරුවම මිලියන ගණන් ක්ශුද්‍ර ජීවින් එක්ක ගැටෙනව. ගොඩක් මිනිසුන් තුළ Naegleria fowleri ට එරෙහි ප්‍රතිදේහ පවා තියෙනව.


හැබැයි තත්වය භයානක වෙන්නෙ මිනිස්සු වතුරට පනිනකොට හෝ පිහිනන කොට , වතුර එයාලගෙ නහය දිගේ උඩටම ගියාම.


සාමාන්‍යයෙන් ජලාශයක තියෙන එක වතුර බිංදුවක උනත් වෛරස , ඇමීබාවන් , බැක්ටීරියාවන් මිලියන ගණන් ඉන්න පුලුවන්. ඒක එච්චර ප්‍රශ්නක් නෑ මිනිස්සුන්ට. හැබැයි Naegleria fowleri වෙනස්.


අපි බලමු මේ ඇමීබාවා අපිට හානි කරන්නෙ කොහොමද කියල.


ජලය ඔස්සේ , නහය තුළට ආපු Naegleria fowleri කාටවත් කරදරයක් නොකර පාඩුවෙ ඉන්න හදන්නෙ. එයාට ඕනෙ , මිනිස්සුන්ගෙ නහය තුළ ඉන්න බැක්ටීරියාවන් ආහාරයට අරගෙන , කාත් එක්කවත් වලි දාගන්නැතුව එතනින් මාරු වෙලා යන්න.


සාමාන්‍යයෙන් ඉතින් අපේ නාසයේ ශ්ලේෂ්මල පටලය හරහා ක්‍රියාත්මක වෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් , මේ වගේ ව්‍යාධිජනකයන්ව විනාශ කරනවනෙ. හැබැයි Naegleria fowleri ට හැකියාවක් තියෙනව , අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙ රේඩාර් වලට අහු නොවී ශේප් එකේ ගමන් කරන්න. ඒක , මිනිසාට ලොකු අවාසියක්.


ඉතින් කලින් කිව්ව වගේම මේ Naegleria fowleri , කාටවත් කරදරයක් නොවී ගමන් කරන අතරෙ , එයාට හදිසියෙවත් ස්නායු සෛලයක් ගැන ඉඟියක් දැනුනොත්... අන්න එතනදි තමයි තත්වය බරපතල වෙන්නෙ.


අපි දන්නව නාස් කුහරය ආශ්‍රිතව විශාල ස්නායු ජාලයකින් යුක්ත හොඳ ස්නායු සැපයුමක් තියෙනව කියල. මේ ස්නායු ජාලයේ උදව් නිසා තමා අපිට සුවඳ දැනෙන්නෙ.


නාස් කුහරයේ තියෙන ස්නායු අග්‍ර මගින් , මේ ගන්ධයන් ග්‍රහණය කරගෙන ඒ සිග්නල් එක මොලයට යවනව. මේ ක්‍රියාවලියේදී ස්නායු සෛල අතර තොරතුරු හුවමාරුව සඳහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිත කරනව. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි ඇසිටයිල්කෝලින් කියන්නෙ.


ඒ වගේම Naegleria fowleri , මේ කියන ඇසිටයිල්කෝලින් රසායන ද්‍රව්‍යට අකර්ශනය වෙනව. හරියට කුඩා කෘමීන් ආලෝකය දිහාට ආකර්ශනය වෙනව වගේ.


ඇසිටයිල්කෝලීන් වල උපකාරයෙන් , නහයෙ ඉඳන් මොලයට ස්නායු සෛල ඔස්සේ සිග්නල් යවනකොට , Naegleria fowleri ත් ඒ පස්සෙන් ඇවිල්ල නාස් කුහරයේ ඉඳන් මිනිසාගෙ ස්නායු පටක වලට ඇතුල් වෙනව. ඒ කියන්නෙ ආඝ්‍රාණ ස්නායු පටක තුළට.


අන්න එතකොට නං අපේ ශරීරයෙන් අඳුරගන්නව , පිටස්තර දෙයක් පටක තුළට ඇතුල් උනා කියල. ඒ නිසා අපේ ශරීරයෙන් , ඒ පිටස්තර දේ එක්ක සටන් කරන්න එවනව , මරාගෙන මැරෙන බෝම්බකරුවන්ව. නියුට්‍රොෆිල. මේ නියුට්‍රොෆිල ත් සහරාන්ල වගේ තමා ක්‍රියා කරන්නෙ.


තනි තනියෙන් නියුට්‍රොෆිල වලට , Naegleria fowleri එක්ක සටන් කරන්න අමාරුයි. මොකද Naegleria fowleri කියන්නෙ හොඳ සටනක් දෙන ඇමීබාවෙක්.


ඉතින් නියුට්‍රොෆිල සමූහ වශයෙන් , මේ Naegleria fowleri ගාවට ඇවිල්ල , ඒ නියුට්‍රොෆිල වල තියෙන රසායන ද්‍රව්‍ය නිදහස් කරල , Naegleria fowleri ව අඩපණ කරල විනාශ කරනව.


හැබැයි නියුට්‍රොෆිල විසින් , Naegleria fowleri සුලු පිරිසක් විනාශ කරන අතරතුරෙත් , තවත් Naegleria fowleri විශාල ගණනක් දිගින් දිගටම ආඝ්‍රාණ ස්නායු ඔස්සේ ගමන් කරනව.


එහෙම ගිහින් ගිහින් අන්තිමට මේ ඇමීබාව එනව එයාගෙ අවසන් නැවතුමට. ඒ තමයි මිනිස් මොළය...


මේ ඇමීබාවට , නාස් කුහරයෙන් ඇතුල් උන වෙලාවෙ ඉඳන් මිනිස් මොලය දක්වා ගමන් කරන්න දවස් 9ක් පමණ ගත වෙනව. ඒ කාලය අතරතුර අපිට කිසිම රෝග ලක්ශණයක් පෙන්නුම් නොකරන තරම්. සමහර වෙලාවට , සුවඳ දැනීමේ දුර්වලතා මතු වෙන්න පුලුවන්. මොකද ආඝ්‍රාණ ස්නායු ගාව , නියුට්‍රොෆිල ක්‍රියාකාරිත්වය නිසා.


Naegleria fowleri , අවසානයට මොළයට ආවට පස්සෙ තමා තත්වය තවත් දරුණු අතට හැරෙන්නෙ. මොකද මිනිස් මොළයේ ස්නායු සෛලවලට ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් හම්බෙන්නෙ බොහොම පොඩි ආරක්ශාවක්.


ඒ වගේම මිනිස් මොළය තුළ පණිවිඩ හුවමාරු කරනකොටත් අර කලින් කියපු ඇසිටයිල්කෝලීන් රසායන ද්‍රව්‍ය සුලබවම පාවිච්චි කරනව.


Naegleria fowleri මේ වෙලාවෙ , මොළයේ ස්නායු සෛල වලට පහර දෙන්න පටන් ගන්නව. හරියට නිකං තිස්සකුට්ටිආරච්චිගෙ බෝම්බ ගහනව වගේ ඵලදාව එන සීන් එකේ විදිහට.


ඒ පහරදෙන අතරතුරෙත් Naegleria fowleri සීඝ්‍ර ලෙස වර්ධනය සහ ගුණනය වෙනව.


ඔන්න ඊට පස්සෙ , මේ තවදුරටත් වර්ධනය වෙලා , වෙනමම අවධියකට ආපු Naegleria fowleri , මිනිස් මොළයේ සෛල ආහාරයට ගන්න පටන් ගන්නව.


දැන් තමා situation එක ඉක්මනට වෙනස් වෙන්නෙ. ඒ කියන්නෙ මිනිසාව මරා දැමීමේ මූලිකම ක්‍රියාවලිය පටන් ගත්ත.


මිනිස් සිරුරෙනුත් මේ වෙනස අඳුරගෙන , මොළයට එවනවා මහා සේනාවක් , අදාළ ආගන්තුකයන්ව විනාශ කරන්න කියල. නියුට්‍රොෆිල , ඉයුසිනොෆිල සහ ක්ශුද්‍ර ග්‍රාහකයන්ව තමා මේ සේනාවක් විදිහට එවන්නෙ.


හැබැයි මිනිස් දේහයෙන් මේ එවන සේනාව , හරිම නොසැලකිලිමත්. අදාළ ආගන්තුකයන්ව හොයාගෙන , එයාලව විනාශ කරනව වෙනුවට , ඒ ආගන්තුකයන් ඉන්න මුලු ප්‍රදේශයම විනාශ වෙන්න තරම් ප්‍රහාරයක් දියත් කරනව.


හරියට නිකං සියඹලා ආණ්ඩුවෙ , තනි කෙලින් යන highway එකක් හදන්න මුළු කැලයක්ම සම්පූර්ණෙන් කපල එලි කරනව වගේ.


ඉතින් මේ ආපු සේනාව , එයාලගෙ මුලු බලය පාවිච්චි කරල , Naegleria fowleri ව විනාශ කරන්න හදනව. හැබැයි Naegleria fowleriත් ප්‍රතිප්‍රහාර දියත් කරනව. ඒ වගේම මේ Naegleria fowleri ට ඇඟේ ප්‍රතිදේහ කිසිවක් ප්‍රතිචාර දක්වන්නෑ. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනව.


ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක , ඇඟේ උශ්ණත්වය ඉහළ දානව. මොකද ගොඩක් ව්‍යාධිජනක ක්ශුද්‍ර ජීවින් , ඒ උශ්ණත්ව වෙනස නිසා ඉක්මනට අඩපණ වෙනව. හැබැයි Naegleria fowleri එහෙම නෑ. උණුසුම් වෙන්න වෙන්න එයාට තවත් හිතකර වෙනව.


Naegleria fowleri විසින් දිගින් දිගටම , මොළයේ සෛල විනාශ කිරීමත් , ගුණනය කිරීමත් , ප්‍රතිශක්තිකරණට එරෙහිව සටන් කිරීමත් සිදු කරනව. මේ නිසා , මේ ගැටුම් සිදුවෙන ප්‍රදේශයට , රුධිර නාල වල ඉඳන් තරල වෑස්සෙන්න පටන් ගන්නව.


මෙන්න මේ අවස්ථාවේ තමා මිනිසාට රෝග ලක්ශණ දැනෙන්න ගන්නෙ. ඔලුවෙ කැක්කුම , උණ , වමනය වගේ ලක්ශණ පෙන්නුම් කරනව. ඒ වගේම මොළය තුළ සිදුවන සටන් උග්‍ර වෙනකොට , මනෝවිකාරය වගේ දේවලුත් අත්විඳින්න වෙනව.


මොළය තුලට තරල ගලා ඒම දිගින් දිගටම වෙන නිසා මොළය ඉදිමෙන්න ගන්නව. හැබැයි හිස්කබල නිසා එක ප්‍රමාණයකට පස්සෙ , මොලයට ඉදිමෙන්න බැරුව මොළය තෙරපෙන්න පටන් ගන්නව. ඒ නිසා මොළයේ අවයව තෙරපිලා , ස්වසනය වගේ ක්‍රියාවලීන් සිදු කරන අවයවයන් වල ක්‍රියාකාරිත්වය අඩාල වෙනව.


ඊට සතියකින් විතර රෝගියා මරණයට පත් වෙනව!


මේ ඇමීබා ආසාදනයට ලක් උන 97%ක් පමණ පිරිසට මේ ඉරණමම තමා අත් උනේ. මොකද රෝගලක්ෂණ මතුවෙන්න පටන් ගන්නකොටම මොළය තුල සටන ගොඩක් දික්ගැස්සිලා නිසා , ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් නෑ.


මේකට සාර්ථක ප්‍රතිකාරයක් නෑ වගේම , මේ සම්බන්ධ විවිධ ගැටලු වලට උත්තරත් තාම හොයාගෙන නෑ. එයින් එකක් තමයි , සාමාන්‍ය ජලජ පරිසරයක වෙසෙන Naegleria fowleri කොහොමද , මිනිස් මොළයේ තරල සංයුතියට මේ තරම් හොඳින් හැඩගැහුනෙ කියන එක.


ඉතින් අපි කොච්චර දුරට මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙද?


ම්ම්ම්ම්....


අපි ඇත්තටම බය වෙන්න අවශ්‍ය නෑ....


Naegleria fowleri කොච්චර භයානය උනත් , 1937 ඉඳන් මේ දක්වා , ආසාදන 381ක් පමණ පොඩි ප්‍රමාණයයි වාර්තා වෙලා තියෙන්නෙ.


Naegleria fowleri නාසයේ ඉහළ කොටසට ගිහිල්ල , එතනින් නාසයේ ස්නායු වලට රහ වැටිල , එතනින් ඒ ස්නායුවක් ඔස්සේ ඉහළට ගිහිල්ල , දේහයේ ප්‍රතිශක්තිකරණය එක්ක සටන් කරල , ඒකෙන් දිනල , රෝගය ආසාදනය කරල මිනිහෙක් මරනවට වඩා ගොඩක් වැඩි සම්භාවිතාවක් තියෙනව , මිනිහෙක් swimming pool එකක ගිලිල මැරෙන්න.


ඉතින් බය වෙන්න තරන් දෙයක් නෑ. Naegleria fowleri කියන්නෙ සමාජයට ලොකු බලපෑමක් කරන ඇමීබාවෙක් නෙවේ. හැබැයි හැම අවුරුද්දෙම , මේ ඇමීබාවගෙ ආසාදන එකක් හෝ දෙකක් වාර්තා වෙනව.


අපිටත් වඩා මේ ඇමීබාවගෙන් කරදරයක් වෙන්නෙ බැක්ටීරියාවන්ට!


Via Kurzgesagt (YT) & All photos belong to them!



Peace!


#Micro #Naegleria_fowleri #Article

Report Page