♡ මැඩම් ♡
පස්වන කොටස

පෙර කොටසින්...
හරිනෙ... තව කෙනෙක්ව අස් කලා. ආ නෑ තව හත් දෙනෙක්ව අස් කලා. ඇත්තටම දිනූශි මිස්ගෙ හිතක් පපුවක් නැද්ද අප්පා. මට මුකුත් කියන්නත් බෑ ඉතින්. මාව අස් කරන්නත් හේතු තිබිලනෙ.
දිනූශි මිස්ගෙ දැඩි ස්වරූපය නිසා, අර ආව ගෑණු කෙනා ඊට පස්සෙ වැඩිය මුකුත් කතා නොකරම කාමරෙන් එලියට ගියා. සමහරවිට එයා දැනගෙනම තමා එන්න ඇත්තෙ. කවුරු හරි නිව්ස් එක දෙන්නැති කලින්.
"සකුන්, Come here... Right now...!!!"
ඕන් මටත් බඩු පත්තු වෙන්න හදන්නෙ...
"එනව මිස්..."
එතැන් සිට...
මම ඉක්මනට ගිහින්, මිස්ගෙ පුටුව ගාව පැත්තකින් හිටගත්ත.
"කියන්න මිස්..."
"Lesson number one... ඔයා ඒ ආපු කෙනාගෙ කතාවෙන් මොනවද ඉගෙන ගත්තෙ..?"
"අහ්... බයින්න නෙවේද කතා කලේ...?"
"For what..? Just answer my question idiot..."
"අ... මේ... එයා ට්‍රිප් එකක් ගිහිල්ලනෙ ඊයෙ... ඒක නේද... නැද්ද...?"
"මෝඩයො... මම අහන්නෙ එයාගෙ කතා විලාසයෙන් සහ හැසිරීමෙන් ඔයා ඉගෙන ගත්ත දෙයක් තියෙනවද?"
"එහෙම නං නෑ මිස්..."
"(අතක් නලලට ගනිමින්) මුල ඉඳන්ම කියන්න වෙලා මට... මම මේ කියන රූල්ස් තුන හොඳට හිතේ තියාගන්න. මගෙ ඇසිස්ටන් වෙලා ඉන්නකොට විතරක් නෙවේ, ඕනෙම කාලෙක ඕනෙම තැනකට ගියාම මේ රූල්ස් තුනට අනුව වැඩ කරන්න."
"හරි මිස්..."
"අංක එක... ඔයා එක්ක එකට රස්සාව කරන අය ඔයාගෙ යාලුවො නෙවෙයි. එයාල ඔයාගෙ co-workers ල විතරයි. ඔයාව පාවල දෙන්න තැනක් හම්බුනාම එයාල ඒක කරනව. දැන් අර ආව ලේඩි කලා වගේ.
අංක දෙක... ඔයාගෙ පෞද්ගලික දේවල් රස්සාව කරන තැන අයට හෙලි කරන්න එපා. ඔයාගෙ ප්‍රශ්න, සැලරි එක, ඔයාගෙ ඇචීව්මන්ට්ස් ඒ කිසිම දෙයක් සේවා ස්ථානයේ කාටවත් කියන්න එපා. විශේෂයෙන්ම ඔයා මගෙ ඇසිස්ටන්ට් හැටියට, හොඳ ප්‍රයිවසි එකක් ඇතුව ඔයාගෙ ජොබ් එක කරන්න ඕනෙ. ඔයාගෙ ගැනවත් මගෙ ගැනවත් කිසිම කෙනෙක්ට හෙලි කරන්න එපා.
අංක තුන... ඔයා වැඩකරන තැන හෝ කම්පැනියෙ ප්‍රතිපත්ති වලට ඔයා එකඟ නැත්තං, ඒ ගැන කාටවත් නොකියා කටවහන් ඉන්න. ඔයාට ඉන්නම බැරි නං, ඉල්ලා අස් වෙන්න. කවදාවත් ඒක වෙන අය එක්ක කියන්න යන්න එපා. ඔන්න ඔය රූල්ස් තුන හොඳට හිතේ තියාගන්න..."
"හ... හරි මිස්... ඇයි මිස් විශේෂයෙන් එහෙම දෙයක් ගැන කිව්වෙ...?"
"මෝඩයො...! මම කිව්වෙ දැන් මම තමුන්ව මගෙ ඇසිස්ටන්ට් වෙන්න පුරුදු කරනව කියල... ඔය පළවෙනි පාඩම... Are you stupid or something...?"
දිනූශි මිස් මල පැනල වගේ සද්දෙන් කිව්වා.
"ඕ... සොරි සොරි මිස්... මම ඒක මතකෙ තියාගන්නං..."
"ගුඩ්... Now go back and sit quietly... I'm working.."
"හරි මිස්..."
මම කරබාගෙන ඇවිල්ල හිටපු තැනින්ම වාඩි උනාට පස්සෙ ආයෙ දවල් වෙනකංම නෝමල් එකේ ගෙවිල ගියා. මිස්ගෙ කාමරේට එන එන කෙනා මගෙ දිහා කන්න වගේ බලන් ඉඳල ගිය එක ඇරෙන්න, වෙන කියන්න තරන් දෙයක් උන්නෑ.
දවල් දොළහ හමාර විතර වෙද්දි, දිනූශි මිස් එයාගෙ මේසෙ අස් කරල, හෑන්ඩ් බෑග් එකත් ලාච්චුවෙන් එලියට අරන් පුටුවෙන් නැගිට්ටා. උදේ ඔය පුටුවෙන් වාඩි උන පාර ඒ වෙලාවෙ තමා මිස් ආපහු නැගිට්ටෙ. කොහොම ඉන්නවද මංදා. මාව නං මිස් එක එක වැඩ වලට යැව්වා සැරින් සැරේ නැගිට්ටවල.
ෆෝන් එකයි පර්ස් එකයි දෙක බෑග් එකට දාගන්න ගමන් මිස් දොර දිහාට ගියේ, මටත් එන්න කියල ඉඟි කරගෙන.
මමත් මගෙ සූට් කේස් එක අරන් ඔෆිස් එක මැදින් මිස්ගෙ පස්සෙන් ගියා.
ඔෆිස් එකේ ගොඩක් අය ලන්ච් ගන්න ගිහින් හිටියෙ ඒ වෙලාවෙ. හිටපු කීප දෙනා නැගිටල මිස්ට හිනා වෙලා, මිස්ගෙ පස්සෙන් ගිය මගෙ දිහා බැලුවෙ 'උඹ පලයන් උඹට හිනා වෙන්නෑ' වගේ මූණකින්.
ඔෆිස් එකෙනුත් එලියට ආවට පස්සෙයි මම දිනූශි මිස්ට කතා කලේ.
"මිස් දැන් වැඩ ඉවරද අදට..."
"ඔව්... අද මට වෙන කම්පැනි බලන්නත් නෑ මුකුත්... හෙටත් මම ෆ්‍රී... අනිද්ද ඉඳල ආයෙ බෝඩ් මීටින් තියෙනව කම්පැනි ටිකේම..."
"ආ... මිස් දවල්ට කෑම ගෙනාවද...? මම කෑම එකක් අරන් එන්නද ගිහින් ඉක්මනට..."
"No need, අපි ලන්ච් එක ගමු එලියෙ තැනකින්... ඊට පස්සෙ යමු ඔයාගෙ ඇඳුම් ගැන බලන්න..."
"හරි මිස්..."
කතාවෙන්ම අපි ලිෆ්ට් එක ගාවට ළං උනා.
"සකුන්..."
"කියන්න මිස්..."
"ඉක්මනට ගිහින් ලිෆ්ට් එක ඇරල තියාගන්න..."
"ආහ් හරි..."
කාපට් එක දිගේ සූට් කේස් එක ඇදන් යන්න පොඩ්ඩක් අමාරු උනත් මම වේගෙන් ගිහිල්ල ලිෆ්ට් එකේ බට්න් එක එබුවා. දිනූශි මිස් ලිෆ්ට් එක ගාවට එනකොටම වගේ ලිෆ්ට් එකේ දොර ඇරුනා.
"Well done... ඇසිස්ටන්ට් හැටියට ඒක ඔයාගෙ වැඩක්... මාව තත්පරයක්වත් පරක්කු කරන්න එපා කොතනකදිවත්... මට හැම අවස්ථාවෙදිම ඔයාට කියන්න බැහැ ඇන ඇන දැන් අරක මේක කරන්න කියල, ඔයා කල්පනා කරල බලල, මගෙ වෙලාව තත්පරයක් ගානෙ හරි ඉතුරු කරල දෙන්න ඕනෙ... තේරුනාද...?"
"ඔ... ඔව් මිස් මම එහෙම කරන්නං..."
"ගුඩ් බෝයි..."
හිතුවට වඩා ජොබ අමාරුයි වගේ. අමාරුවටත් වඩා, මට තත්පරයක්වත් අයිස් ගහන්න වෙන්නෑ මේ වගේ වෙලාවලට නං.
ලිෆ්ට් එකෙන් පහළට ඇවිල්ල, මිස් මාවත් එක්කන් කෙලින්ම පාකින් ලොට් එකට ගියා.
මගදි මූණට හම්බුන හැම කෙනාම වගේ පාරෙන් අයින් වෙලා දිනූශි මිස්ට යන්න දුන්නා. මමත් අනුන්ගෙ පානෙන් එළිය බලාගෙන ඒ පිටිපස්සෙන් ගැම්මට ගියා.
"මීට කලින් මේකක් එලවල තියෙනවද?"
කැබ් එක ගාවටම ඇවිල්ල, හෑන්ඩ් බෑග් එකෙන් වාහනේ යතුර ඇදල ගන්න ගමන් මිස් මගෙන් ඇහුව.
"හෙ හෙ... රෝද හතරකට කියල පැදල තියෙන්නෙ ඇල්ටො අටසීයයි ඩොල්පින් වෑනුයි තමා මිස්..."
"මේකක් ඩ්‍රයිව් කරන්න පුලුවන් වෙයිද එක පාරටම?"
"පොඩ්ඩක් පැදල බලන්න ඕනෙ මිස් ඒකට... එතකොට තමා හරියටම තේරෙන්නෙ..."
"වෙරි ගුඩ්... පණ්ඩිතකමට පුලුවන් කියයි කියල හිතුවෙ මං... ආ... (යතුර මගෙ අතට දෙන ගමන්) කම්පැනි ඒරියා එකේ වටයක් දාල එන්න ගිහිල්ල... හිමින් ඈ... එලියට යන්නත් එපා..."
"ක... කමක් නැද්ද මිස්..."
"It's okay... වටයක් දාල එන්න මෙතනටම. ඔයා බයික් එකෙන් නේද ආවෙ?"
"ඔව් මිස්..."
"හරි... ආපහු ඇවිල්ල බයික් එක අරන් යමු, මම සිකියුරිටි එක හම්බෙලා එන්නං පොඩ්ඩක්... කතා කරගන්න දේවල් ටිකක් තියෙනව..."
"ම... මම එන්නම් මිස් ඕන්නං... පස්සෙ බැලුවෑකිනෙ මේක නං..."
"No it's fine. I can do it on my own"
මිසා එයාගෙ බෑග් එක කැබ් එකේ පිටිපස්සෙන් දාලා, සිකියුරිටි රූම් තිබ්බ පැත්තට ගියා. මිස් යනකං ඉඳල මමත් මගෙ බෑග් එක වාහනේ ඩිකියෙන් දාලා ඇවිත් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උනා.
ඒ සීට් මාර සොෆ්ට්. මගෙ පශ්ශාත් බාගෙට නං නින්දත් ගියා සීට් එකෙන් වාඩි උනාට පස්සෙ. ස්ටියරින් වීල් එකට වම් පැත්තෙන් තිබ්බ ලොකු ඩිස්ප්ලේ එකක තමා වාහනේ ගොඩක් ඔප්ශන්ස් කන්ට්‍රෝල් කරන්න තිබ්බෙ. ස්ටියරින් වීල් එකෙත් බට්න් බට්න් සෑහෙන තිබ්බා.
ඉක්මනටම වාහනේ බේසික් ටික තේරුම්ගත්ත මම, ඒක පාකින් ලොට් එකෙන් එලියට දාගත්ත. ඒ කරල මම කම්පැනි ඒරියා එකේ තිබ්බ හැම පාරකම වගේ වාහනේ අරන් ගියා. මේන් බිල්ඩින් එකෙන් ගොඩක් එහාට වෙන්න තිබ්බ වේස්ට් මැනේජ්මන්ට් එක දිහාටත් ගිහිල්ල ආව. වටේම කලු කරල නිසා, කාටවත් පෙනුන්නෑ එලවන්නෙ මම කියල. ඒක තමා තිබ්බ එකම අවුල.
හිතේ සතුටට රවුම් ගහල ගහල ආයෙ පාකින් ලොට් එක ගාවට එනකොට, දිනූශි මිස් ඇවිල්ල හිටියා. එයා ගිය වැඩේ ඉවර කරන් ඇවිල්ලද කොහෙද, පාකින් එක ඉස්සරහ ගහක් යටට වෙලා හිටගෙන හිටියෙ.
මම වාහනේ පාකින් එකට දාලා හරවල තියලම බැස්සට පස්සෙ මිස් මගෙ ගාවට ආව.
"කොහොමද... ඩ්‍රයිව් කරන්න පුලුවන් වගේද...?"
"පුලුවන් පුලුවන් මිස්... මරු වන්ඩිය... තේරෙන්නෙත් නෑ පාරක යනව කියල... පාවෙනව වගේ..."
"හහ්... හොඳයි හොඳයි... පස්සෙ දිගටම දෙන්නං එලවන්න... දැන් බයිසිකලේ අරගෙන එන්න කැබ් එක පිටිපස්සෙන්, අපි කෙලින්ම යමු ලන්ච් එක අරගන්න. ඒ කරල යමු ඔයාට ඇඳුම් ගන්න. ඕකෙනෙ..."
"මට නං ඕන එකක් ඕකේ මිස්..."
"ගුඩ්..."
මිස් මම බයික් එක අරන් එනකං ඉඳල, පාකින් ලොට් එකෙන් එලියට දාගෙන ගේට් එක දිහාට ගියා.
දිනූශි මිස් මේන් රෝඩ් එකට වාහනේ දාගත්තට පස්සෙ, මමත් ඒ අනුව මිස්ගෙ පස්සෙන්ම ගියා. මිස්ට නං ඩ්‍රැයිවින් සුපිරියටම පුලුවන් වගේ. හැබැයි එයා ස්පීඩ් ලිමිට් ගැන මාර අවධානෙකින් වාහනේ එලෙව්වෙ.
ඔහොම දිගටම කඩවත පැත්තට ආව දිනූශි මිස්, වාහනේ සිග්නල් දාලා නැවැත්තුවෙ කඩවත කිට්ටුව තිබ්බ, මම නං වැස්සකටවත් නවත්තන්නැති පත හෝටලයක් ගාවින්. මමත් මිස්ගෙ කැබ් එක අයිනෙන් සේපට බයික් එක නවත්තල බහින්නැතුව බලන් හිටියා.
ටිකකින් මිස් වාහනෙන් බැස්සට පස්සෙ තමා මමත් හෙල්මට් ජැකට් ගලවල දාලා බයික් එකෙන් බැහැල මිස් ගාවට ගියේ.
"සකුන් මොන වගේ දෙයක්ද කන්නෙ..? ලයිට් දෙයක්ද හෙවී දෙයක්ද...?"
"මම උදේටත් ගෙදරින් බත් කටවල් දෙක තුනයි මිස් කාලා ආවෙ... දැන් නං හරකෙක් කන්න පුලුවන් ගානට බඩගිනී..."
"හහ් හහ්... ගිහින් මෙනු එක බලල තෝරගමුකො එහෙනං කන දෙයක්..."
"හෙ හෙ... හරි මිස්..."
මිස්ට ඉස්සර වෙන්න දීලා මම සේපට ඒ පිටිපස්සෙන් හොටෙල් එක ඇතුළට ගියා.
දිනූශා මිස් මාවත් එක්කගෙන කෙලින්ම ගියේ හොටෙල් එකේ කැශියර් ඩෙස්ක් එක ගාවට. අපි එතනට ගියාට පස්සෙ, කැශියර් එකේ හිටපු කෙල්ල මිස්ව අඳුනනව වගේ හිනා වෙලා, මුකුත් නොකියම මිස්ගෙ අතට මොකක්ද කාඩ් එකක් දුන්නා.
මිසුත් වචනයක්වත් කතා නොකර, ඒ කාඩ් එක අරගෙන මාවත් එක්කන් හෝටලේ දෙවනි තට්ටුවෙ තිබ්බ පොඩි ඩයිනින් රූම් එකක් වගේ එකකට ආව. ඒ කාමරේ දොර ඇරුනෙ අර කාඩ් එක ස්කෑන් කලාට පස්සෙයි. කාමරේ මැද අඩි තුනක විතර රවුම් ටේබල් එකකුයි ඊට දෙපැත්තෙන් පුටු දෙකකුයි තිබ්බා. කාමරේ පිටිපස්ස ඕපන් උනේ පොඩි බැල්කනි එකකට. ඒ බැල්කනි එකෙත් චූටි මේසෙකුයි පුටුවකුයි තිබ්බා; තේ බොන්න වගේ හදපු.
"ටිකකින් වේටර් කෙනෙක් එයි... එයා ආවම මෙනු එක ඉල්ලන් කැමති දෙයක් ඕඩර් කරගන්න... එතකං වාඩි වෙලා ඉන්න... මට මුකුත් ඕඩර් කරන්න එපා... එයාල මගෙ යූශුවල් ඕඩරේ දන්නව... මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නං..."
"අහ් හ... හා මිස්... මේ... මගෙන් අහයිද දන්නෑ මම කවුද කියල නේ..."
"Don't worry about that. Just do as I said"
"හරි මිස් එහෙනං.."
"ගුඩ්..."
දිනූශි මිස් එහෙම කියාගෙන රූම් එකෙන් එලියට ගියා. මටත් වෙන කරන්න වැඩක් නැති නිසා, කාමරේ මැද තිබ්බ පුටුවකින් වාඩි වෙලා මේසෙට අත් දෙකත් තියන් ඔහේ බලන් හිටියා.
විනාඩියකින් දෙකකින් විතර කලු සුදු වේටර් යුනිෆෝම් එකක් ඇඳගත්ත කොල්ලෙක් ඇවිල්ල, මේසෙ උඩින් හෙන ලොකු පොතක් තියල මට කිව්ව ඕඩර් කරන්න කියල.
මයෙ අම්මෝ... පපුව... ඒ පොතේ තිබ්බ කෑම ගොඩ නෙවේ, ඒ කෑම වලට ඉස්සරහින් ගහල තිබ්බ ගනන්...!
මිසා ගෙවනව ඇති නේද මටත් එක්ක? මොකද මගෙ බජට් එකෙන් නං මේ මෙනු එකට අනුව පපඩමයක් විතරයි කන්න පුලුවන්.
කට්ට කොයි පැත්තට කැරකුනත් ශේප් වෙන්න කියල හිතන්, මම ෆුල් චීස් කොත්තුවකුයි අමුතු නමක් තිබ්බ බීම එකකුයි ඕඩර් කලා. චීස් කොත්තුව ඕඩර් කලේ වෙන මුකුත් නිසා නෙවෙයි. ලන්ච් මෙනු එකේ තිබ්බ අනිත් කෑම වල නම් මම දන්නැති නිසා.
වේටර් කොල්ලට ඕඩරේ දීල ඌව යැව්වට පස්සෙ, විනාඩි දහයකින් විතර දිනූශි මිස් කාමරේට ආවා. මම පුටුවෙන් නැගිටින්න හදද්දි, මිස් අතින් ඉඟි කරල 'ඔහොම්ම ඉන්න' කිව්ව.
"ඕඩර් කලාද සකුන්..."
"ඔ... ඔව් මිස්... මේ... මං ගාව ඒ උනාට සල්ලි නං නෑ මිස්..."
"It's fine. I'm the owner of this hotel."
ඇහ්... නන්නාරි නරේ නරිර නරෝ නරෙයි නරේ රෝ...
ගහපං සාන්ත මට හොඳ ගල් බෝරෙකින්. ඕක කලින් කියල තිබ්බ නං හෙනගහනවද අප්පා... හයියූ... දෙයියෝ... හොඳ ස්පාඥ්ඥ නමක් තියෙන ඉතාලියන් කෑමක් බඩට දාගන්න තිබ්බ චාන්ස් එක ලෑලි කඩේකින් කන චීස් කොත්තුවකට කැප කලානෙ... මාව හොස්පිට්ල් දාන්න අයියෝ...
මම රටේ නැති මල මගුල් හිත හිත දුක් වෙවී ඉන්න අතරෙ, දිනූශි මිස් මට ඉස්සරහ පුටුවෙන් වාඩි වෙලා ඔලුව පොඩ්ඩක් පාත් කරන්, අත් දෙකත් මේසෙන් තියාගෙන මේසෙ දිහාම බලන් හිටිය. එයා වචනයක්වත් කතා කලේ නෑ වෙන.
අද මේ ගෙවුන පැය කීපය ඇතුළෙ මම හොඳටම තේරුම් ගත්ත දෙයක් තමයි, දිනූශි මිස් හැම තත්පරේම මොනව හරි හිතනව. ඇවිදිනකොට, කනකොට, කොටින්ම අපි දවල් ලිෆ්ට් එකේ පහළට එන වෙලාවෙ පවා දිනූශි මිස් මොනව හරි හිතුවා. මම එයා හිතන්නෙ මොනවද කියල නං දන්නෑ. ඒත් මිස්ට කිසිම වෙලාවක හිතේ නිදහසක් නෑ කියල නං මට තේරුනා.
පැය කාලකින් වගේ, වේටර්ල දෙන්නෙක් ඇවිල්ල අපේ කෑම දෙකයි මගෙ බීම එකයි මේසෙ උඩින් තියල ගියා. දිනූශි මිස් නං නිකංම වතුර වීදුරුවක් විතරයි ළඟට ගත්තෙ. එයා වතුර බොද්දි මම ලොකු ලොකු ජාති බොන එක හරි නෑ වගේ නිසා මම ගත්ත ඩ්‍රින්ක් එක මිස්ට දෙන්න හැදුවත්, මිස් එපා කිව්වා.
පැය බාගෙකින් විතර අපි කාලා ඉවර කරල, නිකංම හෝටලෙන් එලියට ආව. බිල් ගෙවිලි නැටිලි රැඟිලි නෑ. ගියා කෑව ආවා. මම තනියෙන් ගිහින් ඔහොම කලා නං සතියක් පොලිසියෙන් කාලා ඉතුරු මාසෙම වැලිකඩින් කනව.
මිසා හෝටලේ ඉස්සරහ හිටිය සිකියුරිටි ඩයල් එකටත් කතා කරන්, කැබ් එක ගාවට ගිහින්, ඒකෙ දොර අරින ගමන් මට කතා කලා.
"සකුන් අඳින බ්‍රෑන්ඩ් මොනාද...?"
"ඒ කිව්වෙ මිස්..."
"ශර්ට්ස්, ට්‍රවුසර්ස් ගන්නෙ මොන බ්‍රෑන්ඩ් වලින්ද?"
"ආහ්... මම නං අඳින්නෙ ලෝකල් මිස්. ගාන අඩුම බ්‍රෑන්ඩ් එක."
"Ok never mind... Follow my cab... We'll get you something to wear..."
"ඔ... ඕකෙ මැඩම්..."
ආපහු ෆලෝ-මී කිරිල්ලක් තියෙන්නෙ.
මම හිතුවෙ මිස් කඩවතින් දාලා එහෙම්ම කඩුවෙල පැත්තෙන් පිළියන්දලට යයි කියල. ඒ උනාට මිසා ආපහු ආව පාරෙන්ම ඇවිල්ල, පෑලියගොඩ පැත්තට හැරෙව්වා. මමත් යන තැනක මෙලෝ මල දානයක් නොදැන ඔහේ ගියා මිසාගෙ වාහනේ පස්සෙන්.
ඔය විදිහට බෝකුන්දර කිට්ටුවටම එනකං ආව දිනූශි මිස්, තරමක් පොඩි ඒත් ඩීසන් පෙනුමක් තිබ්බ ටේලර් ශොප් එකක් ගාවින් සිග්නල් කරල නැවැත්තුව.
එතන ඇත්තටම කියන්න තරන් ලොකු දෙයක් උනේ නෑ. මිස් වාහනේ නවත්තල, බහින්නැතුවම කවුද කෙනෙක්ට කෝල් එකක් දීලා කිව්වා මට සූට් පහකට මැශිමන්ට් අරගන්න කියල. එවෙලෙම ඇතුළෙ ඉඳල ආව මැදිවියේ පොරක්, මාව ඇතුළට එක්කන් ගියා මිස් වාහනේ හිටිද්දිම. ටේලර් ශොප් එකට ගියාට පස්සෙ, ඒකෙ වැඩ කරන අය මාව සුල්තාන් කෙනෙක් කියල හිතාගෙන අතට පයට සැලකිලි දීලා මැශිමන්ට් අරගත්තා. පැය කාලකට වඩා ගියෙ නෑ ඒ වැඩේට.
මැශිමන්ට් දීල ඉවර වෙලා මම එළියට ආවට පස්සෙ, මිස් කැබ් එකේ ශටර් එක පාත් කරල මට කතා කලා.
"හරිද සකුන් ඒ වැඩේ...?"
"ඔව් ඔව්... මැශිමන්ට් නං ගත්තා මිස්... හරියට ගත්තද මංදා... ඉක්මනට එව්වනෙ මාව..."
"Don't worry, they are the best of the best in this business... මම එයාලට කිව්වා සූට් පහක් කියල. එයාල කලර් කම්බිනේශන් ගැන බලාගනී... සතියකින් විතර සූට් ටික ගන්න පුලුවන්..."
"අහ්... හරි මිස්..."
"දැන් කෙලින්ම ගෙදර යන්නෙ අපි... පොඩ්ඩක් ඉක්මන් කරල යමු... පරක්කු උනා වැඩී මට අද..."
"ආ ඉක්මනට යං මිස් එහෙනං... මට නං එතෑකි අසූවට අනූවට. මේව තවුසන්ඩ් සීසී බඩු..."
මම කිව්වෙ මගෙ බයික් එකට ඇඟිල්ල දික් කරල පෙන්නන ගමන්. ඒකෙ තවුසන්ඩ් බම්බුවක් නං නෑ ඒ උනාට.
"Well... we'll see about that... Then let's go..."
"හරේ..."
මම හිතුවා මිසා මගෙ මොරාල් අප් කරන්න වදන දාලා ලෙල්ලටම අරී කියල. ඒ උනාට මිස් හැටට වඩා ස්පීඩ් කලේම නෑ.
මිස්ගෙ ගෙවල් පිළියන්දල කියල කිව්වට, මේන් රෝඩ් එකෙන් ගොඩක් ඇතුළෙ මිස්ගෙ ගේ තිබ්බෙ. ටවුන් ඒරියා එකේ නෙවෙයි.
අපි මේන් රෝඩ් එකෙන් හරවල පොඩි ඇතුල් පාරක විනාඩි දහයක් විතර ආවට පස්සෙ, ඒ පාර ඉවර උනේ ලොකු සුදු පාට තාප්පයක් බැඳල තිබ්බ ගෙදරකින්.
ගෙයක්...? ගෙයක් කියන්නත් බෑ... ඒක මාලිගාවක්...!
මතු සම්බන්ධයි...
කමෙන්ට් රිඇක්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි...