වීදි පුරඟන
27විසිහත්වන කොටස

අම්මගෙ හදිසි කෝල් එකෙන් පස්සෙ, මම අම්මට තුරුලි ගැන පොඩි පොඩි දේවල් ටිකක් කිව්ව. සතියෙ දවස් පහේ මට නිවාඩුවක් දාන්න පුලුවන් උනත්, තුරුලිගෙ රිපෝට් එක ඇවිත් ඒකට ඩොක්ටර්ගෙන් උපදෙසක් ලැබෙනකං මම ඒ ගමන පරක්කු කලා.
මම වගේම තුරුලිත් මගබලාගෙන හිටපු ඒ උපදෙස අපිට ලැබෙන්න දවස් දෙකකට වඩා ගියෙ නෑ. ඉරිද හවසම රිපෝට් එක ඉශූ කලා කියල අපිට හොස්පිට්ල් එකෙන් කෝල් කලා. ඩොක්ටර්ව කන්ටැක්ට් කරගන්න කිව්වා දවසකට විතර පස්සෙ.
ඉතින් අඟහරුවාද දවල් ලන්ච් එකෙන් පස්සෙ මම ඩොක්ටර්ට කෝල් එකක් ගත්තා. ඩොක්ටත් ඒ වෙද්දි රිපෝට් එක ස්ටඩි කරල ඉවර කරල තිබ්බෙ. ගෙදරදි කෝල් නොකලෙ, තුරුලිත් ඒව අහන් ඉඳල, හදිසියක් උනොත් කියන බයට...
ඒත්...
ඩොක්ටර් කිව්ව දේ ඇහුවම මට හිතුනෙ මම කරගත්තෙ මෝඩ වැඩක් කියල... මට තිබ්බෙ තුරුලිත් ඉන්න තැනම ඒ සුභ ආරංචිය එයාට කියන්න...!
ඔව්... ඒක සුභ ආරංචියක්...! යම් තරමකට සුභ ආරංචියක්...!
ඩොක්ටර් කිව්ව විදිහට තුරුලිට තියෙන්නෙ CORIS එහෙමත් නැත්තං Congenital Ovarian Regulatory Insufficiency Syndrome කියන තත්වයක්. මේ තත්වයේදි වෙන්නෙ, ශරීරයේ ලිංගික අවයව වර්ධනය වෙලා තිබ්බත්, ඒව ඇඟේ තියෙන හෝමෝන වලට ප්‍රතිචාර දක්වන්නැති එකලු.
තුරුලිගෙ බ්ලඩ් සාම්පල් එකේ රිපෝට් එකට අනුව එයාගෙ හෝමෝන සියල්ලම සාමාන්‍ය මට්ටම් වලලු තියෙන්නෙ. තුරුලිගෙ ලාබාල පෙනුම, ඔසප් චක්‍රයක් ආරම්භ නොවීම, අධිසංවේදී ශරීරය, හැසිරීම් රටාවල වෙන ක්ෂණික සිදුවීම් ආදිය ඔක්කොම එල්ල වෙන්නෙ ඒ තත්වයේ ලක්ෂණ දිහාටලු. මේ තත්වයට හේතුව ජානයක පොඩි වෙනසක් කියල තමා ඩොක්ටර් කිව්වෙ.
කොහොම උනත් දැන් ඒකට Receptor Activation Therapy (RAT) කියල එකක් කරනවලු. ඒකෙන් මේ තත්වෙ සම්පූර්ණයෙන්ම හොඳ කරන්නත් පුලුවන්ලු.
සරලවම... තුරුලිට අම්ම කෙනෙක් වෙන්න හැකියාවක් තාම තියෙනවා...!
තුරුලිගෙ තත්වෙ ගැන හරියටම සැකහැර දැනගන්න, ටිශූ සාම්පල් එකකුත් අරගන්න වෙනව කිව්ව නිසා, මම ඩොක්ටර් එක්ක ඒ ගැනත් කතා කරගෙන දිනේකුත් ඉල්ලගත්තා.
කෝල් එක තිබ්බ වෙලාවෙ ඉඳල මම ගෙදර යනකංම නොඉවසිල්ලෙන් හිටියේ...
ගෙදර ගිය ගමන් වෙන මුකුත් කරන්නත් කියන්නත් කලින්, ඩොක්ටර් මට කිව්ව දේ මම තුරුලිට කිව්වා. ඒත් ඒක එයාට තේරුන්නෑ ඒ හැටි. ඒ නිසාද කොහෙද තුරුලි හැඟීමකින් තොරව මගෙ මූණ දිහා නිශ්ශබ්දව බලාගෙන හිටියා. ඒ ගැන සරලව කිව්වට පස්සෙ නං කෙල්ලට ඇඬුනා හොඳටම.
කෙල්ලට විතරක් නෙවේ. තුරුලි දිහා බලන් හිටපු මගෙ ඇස් කොණකිනුත් කඳුලක් බේරිලා පහළට රූටල ආවා.
අම්මලට තුරුලිව පෙන්නන එක පසුබට කරන්න හේතු උන දේ, ඒ විදිහට විසඳුන නිසා, ඊළඟ සති අන්තයේ තුරුලිත් එක්ක අම්මලගෙ ගෙදර යන්න කතා කරගත්තා.
------------------
දන්නෙම නැතුව, හරිම ඉක්මනට ඒ සතිය ගෙවිල ගිහින් සති අන්තය උදා උනේ, අපේ දෛවයන්ට එක් වෙන්න ආරාධනා කරන්න වගෙයි.....!
"සර්... මේක අවුලක් නෑද... අනේ මං ගාව දිග එව්ව නෑනෙ සර්..."
තුරුලි අද දවසට උදේ පාන්දර ඉඳල හත් වෙනි පාරටත් මගෙ ඉස්සරහට ඇවිත් එයා ඇඳන් ඉන්න ඇඳුම පෙන්නල ඇහුවා.
"මැට්ටියෙ... මම කිව්වනෙ මොකක් උනත් කමක් නෑ කියල... ඔයාට පහසු ඔයා ආස විදිහට අඳින්න... ඔයා අඳින එක මොකක් උනත්, ඒකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නෑ..."
"එ... ඒත් සර්... සර්ගෙ අම්මල මං දිහා නරක විදිහට බැලුවොත්..."
"මොකටද එහෙම බලන්නෙ? ඔයාව අඩු ගානෙ දන්නෙවත් නෑනෙ ඒගොල්ලො..."
"එ... ඒත්... මේ...."
"බය වෙන්න එපා... අපේ පවුලෙ මම තමා හනමිටි අදහස් කාරයා... අම්මල එහෙම නෑ... එයාල ඕව බලන්නෑ... ඇඳුමක් දිහා බලල නං කෝමත් මිනිස්සුන්ව මනින්නෑ..."
"හම්ම්... ඒනම් මේක අඳින්නද සර් මම..."
"මට ඔයාව හැම එකටම ලස්සනයි බටු කෙල්ලෙ... මොකක් ඇන්දත් මට කැතක් පේන්නෑ ඔයාගෙ... ඔයා ආස නං ඕක අඳින්නකො... හානෙ..."
තුරුලි ඇඳන් ඉන්නෙ, අපි බණ්ඩාරවෙල හිටපු කාලෙ, සංජීවගෙ ගෙදර පාටියට යන්න ඇඳපු කහපාට ගවුම. ටිකක් කොට එකක් උනාට, ඒකට කෙල්ලව හරි ලස්සනට පේනවා.
ඇඳ පැළඳගෙන ඉවර වෙලා, තුරුලි උදේට කන්න හදපු පාන් ටෝස්ට් පාර්සල් එකත් කාර් එකට දාගෙන අපි උදේ අට වෙනකොටම ගමන පිටත් උනා.
ගමන එක දිගටම යනව නං සාමාන්‍යෙන් පැය තුනක් තුනහමාරක් වගේ කාලයක් යන්නෙ. අපේ ගෙවල් තියෙන්නෙ ටවුමක් කිට්ටුවම නෙවෙයි. පොඩ්ඩක් ඇතුළක. එච්චර වෙලා යන්නෙ ඒකයි. නැතුව දුර වැඩි නිසා නෙවෙයි.
මගින් කාර් එක නවත්තල, උදේට කාලා බීල, දොළහ පහුවෙලා පොඩ්ඩ වෙලාවකින් අපි ගමනාන්තයට ආවා. තුරුලි සාමාන්‍යෙන් කාර් එකේ යනකොට වටපිට බල බල හිනා වෙවී එනව උනත්, අද එයා හරිම නිශ්ශබ්දව හොරාට ඇස් කොණින් මගෙ මූණ දිහා බල බලයි ආවෙ.
මමත් වැඩිය මුකුත් නොපෙන්නුවට හිත ඇතුළෙන් පොඩි තැතිගැන්මක් නැතුවම නෙවෙයි.
සමාජෙ මොන තැනක හිටියත්, ස්වාධීන මිනිහෙක් වගේ සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ජීවත් උනත්, මේ වගේ දේවල් වලදි හිත ඇතුළෙ තැනකින් තාමත් දෙමාපිය ආශිර්වාදය ඉල්ලනවා... ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය වෙන්නැති...
අපේ මහගෙදර ලොකු තාප්ප හෝ ගේට්ටු මුකුත් නෑ. නිකංම නිකං කම්බි ගහපු වැටකුයි, උණ ලී හරස් කරපු කපොල්ලකුයි විතරයි තියෙන්නෙ. මම එනව කිව්ව නිසා, ඒව ඔක්කොම ඇරල තිබ්බෙ.
වත්තට කාර් එක දානව ඇහිලද කොහෙද මුලින්ම එළියට ආවෙ තාත්තා. අම්ම උයනව ඇති. නැත්තං වත්ත ඉස්සරහින් හයියෙන් හුළඟක් හැමුවත් අම්ම එනව එළියට.
තාත්තා එයාට පුරුදු විදිහටම සරමක් විතරක් ඇඳන් උඩට මුකුත් නැතුව හිටියෙ. මම බඳින්න කෙල්ලෙක්ව නෙවේ ඇමරිකාවෙ ජනාධිපතිව එක්කන් එනව කිව්වත්, තාත්තා නෙවෙයි එයාගෙ පුරුදු වෙනස් කරන්න. මටත් ඒ ලක්ෂණය ඇවිල්ල තියෙන්නෙ එයාගෙන්ම වෙන්නැති.
මං වත්තෙ හෙවන තැනකින් කාර් එක නවත්තල, බැහැල තාත්තා ගාවට ගිහින් වැඳල එයාට කතා කලා.
"තාත්තේ..."
"ම්ම්ම්ම්ම්... එද්දි දවල් වෙයි කිව්ව නිසා අපි හිතුවෙ තව පරක්කු වෙලා ඒවි කියල. ඕන් අම්ම තාම කුස්සියෙ උය... මේ අර කිව්ව දුවද...?"
තාත්තා කිය කිය හිටපු එක නවත්තල කාර් එක දිහාට ඇහැ හරවල ඇහුවෙ, කාර් එකෙන් බහින ගමන් හිටපු තුරුලි දිහා බලාගෙනයි. තුරුලි හයියෙන් හුස්ම ගන්න ගමන්, බිම බලාගෙනම කාර් එක ගාවට වෙලා හිටියා කාර් එකට බර වෙලා.
"ඔව් තාත්තෙ... තුරුලි... එන්න..."
තුරුලි සෑහෙන බය වෙලා හිටපු බව තාත්තත් තේරුම් අරගෙනද කොහෙද, එයා මගෙ උරහිස උඩින් අතක් තියල තුරුලිට කතා කලා.
"ඇතුළට එන්න දුව... ගමන් මහන්සියත් ඇතිනෙ... ඇතුළට ඇවිත්ම කතා කරමුකො..."
එහෙම කියාගෙන තාත්තා ඉස්සර වෙලා ගිහින්, දොරකඩ ගාවදිම අම්මට කතා කලා.
"සුදු මැණිකේ... මේන් පුතා ඇවිල්ලා... පොඩ්ඩක් ඇවිල්ල ගියානං..."
තාත්ත එහෙම කියාගෙන ගේ ඇතුළෙ එයාලගෙ කාමරේ දිහාට ගියා. කමිසයක් දාගෙන එන්න වෙන්නැති.
"ස.... මෙ... අ... අයියෙ... අනේ මට බයයි..."
අපි ගෙට ඇතුළ් වෙන්නත් කලින් මිදුලෙදිම, තුරුලි මගෙ අතේ එල්ලිලා තදින් අල්ලගෙන කිව්වෙ වෙව්ලන කටහඬකින්. එයාගෙ අතත් පොඩ්ඩක් වෙව්ලනව වගේ. මේ කෙල්ල මේ තරම් බය වෙලා ඉන්නව මම දැකලම නෑ.
"බය වෙන්න එපා... කෝ එන්නකො ඇතුළට ගිහින් වාඩි වෙලා ඉම්මු... කවුරුත් ඔයාට මුකුත් කියන්නෑ මැණික..."
"හ... හා අයියෙ..."
මම තුරුලිත් එක්ක ඇතුළට ගිහින්, එයාව සාලෙ පුටුවකින් වාඩි කරල, කුස්සිය පැත්තට යන්න හදද්දිම, අම්මා ආවා ඒ පැත්තෙ ඉඳන් සාලෙට.
"මයෙ පුතේ... අප්පේ... සුදු වෙලාද මංදා හිටියට වඩා..."
අම්මා කටපුරා හිනාවක් දාගෙන මං ගාවට ඇවිත් මගෙ ඔලුව අතගෑවා. මමත් එතනම නැවිල අම්මට වඳින ගමන් එයාට කතා කලා.
"ඔෆිස් එක අස්සෙමනෙ අම්මෙ... අව්වක්වත් මූණට වැටෙන්නෙ හරි අඩුවෙන්... අම්මල සනීපෙන් ඉන්නව නේද..."
"අපෝයි ඔව්... බුද්ධික පුතා හැමදාම මෙහෙට ඇවිල්ල බලල යනවා අපිව... බඩු ටික හිටන් ගෙනල්ල දෙනව අහල බලල..."
බුද්ධික කියන්නෙ ගමේ ඉන්න මගෙ යාලුවෙක්. මිනිහ තමා මෙහෙට බඩු ටික හිටන් ගෙනත් දෙන්නෙ. මමත් මාසෙකට ගානක් මිනිහගෙ එකවුන්ට් එකට දානව ඒ නිසා.
"එහෙනං කමක් නෑ..."
එක සැනයකින්, මට යොමු වෙලා තිබ්බ අම්මගෙ බැල්ම, මාව පහු කරන් ගිහින් පිටිපස්සෙ පුටුවෙ වාඩි වෙලා හිටපු තුරුලි දිහාට එල්ල උනා.
ඔලුව පාත් කරන්, ඇස් කොණින් අපි දිහ බලන් හිටපු තුරුලිත් ඒ බව දැකල, ඉද්ද ගැහුව වගේ පුටුවෙන් නැගිටල හිටගත්තා.
"අම්මේ... මේ තුරුලි... මම ඔයාලට කිව්ව ගෑණු ළමයා..."
තුරුලිට මුකුත් කියාගන්න බැරුව ඉන්න බව දන්න හන්දා මම එයාව අම්මට අඳුන්නල දුන්නා.
අම්මා සිනාමුසු මූණින්ම තුරුලි ගාවට ගිහින්, එයාගෙත් ඔලුව අතගාල කතා කලා.
"සීදෙවි කෙල්ලෙක්නෙ... දුවට වතුර එකක් ගෙනල්ල දෙන්නද... මාන්සි පාටයි වගේ..."
ඇත්තටම... තුරුලි බය වෙලා ඉන්න බව දන්නැත්තෙ තුරුලි විතරද කොහෙද...
අම්ම ඒක ඇහුවට පස්සෙ තුරුලි හිමීට ඔලුව උස්සල අම්මගෙ මූණ දිහා බලල ඔලුව දෙපැත්තට කලා.
මම හිතුවෙ, අම්මා ඒක ඇහුවෙ අම්මම ගිහිල්ල වතුර වීදුරුවක් අරන් එන්න හදපු නිසා කියල. ඒත් තුරුලි 'හා' කියල ඉඟි කලාට පස්සෙ, අම්ම මගෙ දිහාට හැරිලා ඇහි බැමි උඩට කරල බැලුවෙ 'මොකද මෙතන බලන් ඉන්නෙ, ගිහිල්ල ගේන්න' වගේ අදහසකින්.
අම්මගෙ වැඩ ඔහොම තමා.
මම ඒකට හිතින් හිනා වෙවීම කුස්සියට ගිහින් වතුර කෝප්පයක් අරන් සාලෙට ආව. ඒ එනකොට අම්මා තුරුලිව ආයෙ පුටුවෙන් වාඩි කරල, අම්මා එයා ගාව හිටගෙන තුරුලිගෙ ඔලුව අතගානවා. මම එදා අම්මට කෝල් කරපු වෙලේ කිව්වා තුරුලිගෙ අම්මල තාත්තල පොඩි කාලෙම නැති වෙලා කියල. අම්මා තුරුලිගෙ ඔලුව අතගාන විදිහෙන් මට තේරුනේ, අම්මා හරි අනුකම්පාසහගතව ඒක කරනව කියල.
තුරුලි, මම එයාට දීපු වතුර එකත් එක හුස්මට බීගෙන ගියාට පස්සෙ, අම්මා මට කතා කලා.
"පුතේ... දුවට පොඩ්ඩක් ඇලවෙලා ඉන්න කිව්ව නං හරි නේ... (හඬක් නැතුව කට සොලවමින්) බය වෙලා වගේ ඉන්නෙ... (ආපසු සාමාන්‍ය ලෙසම) ඔයාගෙ කාමරෙන් පොඩ්ඩක් ඇලවෙලා ඉන්න කියන්නකො..."
"තුරුලි... ඇලවෙලා ඉන්නවද පොඩ්ඩක්..."
මම තුරුලි ගාවින් දණහිසින් නැවිල පාත් වෙලා ඇහුවෙ, එයාගෙ කකුල් දෙක උඩින් මගෙ අත තියන ගමන්.
"හ... හා අයියෙ..."
කණට ඇහෙන නෑහෙන විදිහට තුරුලි දුන්න උත්තරෙන් පස්සෙ, මම එයා එක්ක මගෙ කාමරේට ගිහින්, එයාව ඇඳෙන් ඇලකලා.
මම තුරුලිගෙ ඔලුව යටින් කොට්ටයක් තියන්න එයාගෙ මූණ ගාවට පාත් උනාම, එයා හිමීට මගෙ කණට කෙඳිරුව.
"සර්හ්... අනේ සමාවෙන්න මට... ම... මට මොනව උනාද කියල මම දන්නෑ සර්..."
බයට අමතරව ඒ ගමන කෙල්ලට ඇඬෙන්නත් එනව වගේ.
"මැට්ටි... හිතන්නෙපා මුකුත්... පොඩ්ඩක් ඇලවෙලා ඉන්නකො හානෙ... මම ඉන්න ඕනිද... ම්ම්ම්..."
"එ... එපා... සර් සර්ගෙ අම්මල එක්ක ඉන්න... ගොඩ දවසකින්නෙ හම්බුනේ..."
"ඕනෙ උනොත් කතා කරන්න එහෙනං... හරිද... මම එනවා..."
"හා සර්... සර්...!"
"ම්ම්ම්ම්ම්..."
"ස... සර්ගෙ අම්මල මට අකමැති වෙයිද සර්..."
"රත්තරන්... එහෙම වෙන්නෑ... අම්ම වැඩිය කතා කරගෙන ආවෙ නැත්තෙ ඔයා බය වෙලා හිටිය නිසා... ඔයාට ගැටළුව තිබ්බෙ ඒක නං, ඒ ගැන හිතන්න එපා... දැන් පොඩ්ඩක් ඇස් දෙක පියන් ඉන්නකො... හානෙ..."
"හ... හා සර්..."
මම තුරුලිගෙ නලලට කිස් එකක් දීලා, කාමරේ දොරත් අඩවල් කරගෙන එලියට ආව.
ඒ කරල, අම්මත් ආයෙ කුස්සියට ගිහින් තිබ්බ නිසා මාත් කුස්සියට ගියා. තාත්තා ඒ වෙද්දිත් කුස්සියට ඇවිත් බංකුවක වාඩි වෙලා හිටියෙ.
"පුතේ... මේ... පොඩි දෙයක් අහන්නද..."
මම කුස්සියට ඇවිත් වතුර උගුරක් එහෙම බොනකං ඉඳල අම්ම පටන් ගත්තා එයාගෙ ප්‍රශ්නාවලිය දිගාරින්න.
"අහන්න අම්මෙ..."
"කොහොමද ඒ කෙල්ලව හම්බුනේ ඉතින්... ඔයා වැඩිය එහෙ මෙහෙ යන කෙනෙකුත් නෙවේනෙ..."
සමහර දේවල් තියෙනවනෙ අපි ආදරේ කරන අයගෙ සුභසිද්ධිය නිසාම සඟවන්න ඕනෙ. මම මුලින් හිතන් හිටියෙ අම්මට සම්පූර්ණ කතාවම කියල දාන්න උනත්, පස්සෙ මට හිතුනා, තවදුරටත් වැඩක් නැති තුරුලිගෙ අතීතය, තවත් කෙනෙක්ගෙ මතකයක ගබඩා කිරීමේ ඵලක් නෑ කියල.
ඒ හින්ද මම අපේ කතාව පොඩ්ඩක් වෙනස් කරලයි අම්මට කිව්වෙ.
තුරුලිව මට හම්බුනේ ඔෆිස් එකේ වැඩකට එයා ආව වෙලාවක, තුරුලිගෙ අම්මල තාත්තල දෙන්නම නැති වෙලා, එයාව බලාගත්ත කෙනත් නැති උනා ආදී දේවල් ටිකක් විතරක්, මම කතාවට අලුතෙන් එකතු කලා. කොටින්ම අපි ගිය සතියෙ කරන්න ගිය ටෙස්ට් එක ගැනවත් වචනයක් අම්මලට කිව්වෙ නෑ.
තුරුලිගෙ ලාබාල පෙනුම ගැන අම්මට යම් තරමක පසුබට ගතියක් පෙන්නුවත්, මම ගැන දන්න නිසාද කොහෙද අම්මා ඒකට කමක් නෑ කිව්වා.
අම්ම ඔය වගේ එක එක ප්‍රශ්න ඇහුව මගෙන්. හැබැයි ඒ කිසිම ප්‍රශ්නයක් තුරුලිට විරුද්ධව අහපු දේවල් නෙවෙයි.
අම්ම උයන ගමන් හිටපු නිසා මමත් පිහියක් එහෙම ඉල්ලගෙන එයාට එළවලු කපන්නයි, ලිපේ තිබ්බ හොද්දක් හැඳි ගාන්නයි උදව් කලා.
අම්මයි තාත්තයි ඒ වෙද්දිත් පුදුම වෙලා හිටියෙ මමම හොයාගෙන, මෙහෙම කෙල්ලෙක්ව එක්කන් ආව එකට. ඒත් මම උයන්න උදව් වෙනව දැක්කම තාත්තගෙ එහෙම නං කටත් ඇරුනා.
"ඇති යන්තන්... තාත්තා වගේ නොවී හැදිල තියෙනව පහු වෙලා උනත්..."
අම්මා නෝන්ඩි ලුක් එකක් දාන් කිව්වෙ මාරුවෙන් මාරුවට මම දිහයි තාත්ත දිහයි බලන ගමන්.
"උයන්න බෑ අම්මෙ... පොඩි පොඩි වැඩ විතරයි පුලුවන්..."
"උයන්න ඕන්නෑ... ඔය කරන ටිකම කොච්චර හයියක්ද ගෙදර ගෑණිට... මේ ඇහුනද... පුතා නං බණ්ඩක්කා කරල වගේ ඉන්නැතුව දැන් ගෙදර වැඩක් ඵලක් කරනවා..."
පාඨක ඔබට, අපේ අම්මගෙ ඒ කතාවෙන් පස්සෙ තේරෙනව ඇති මගේ මේ කම්මැලිකම සහ ගෙදර දොරේ වැඩ වලට තියෙන තදබල අකමැත්ත කාගෙන් උරුම වෙච්ච දෙයක්ද කියල.
තාත්තා අම්මට විරිත්ත විරිත්ත බංකුව උඩටම වෙලා හිටියා.
අපි පැයකට කිට්ටු කාලයක් තුන් දෙනා එක්කම කතා කර කර කුස්සියෙ ගත කලා. ඒ අතරවාරයේ ටිකකින් තුරුලි නැගිටල කුස්සිය ගාවට ඇවිත්, ඇතුළට එන්නැතුව පුංචි හිනාවක් මූණෙ පැළඳන් බලාගෙන හිටියා.
මම දැක්කෙත් නෑ එයා ඇවිත් කියල. අම්මා හදිසියෙම තුරුලිව දැකල, එයාට එන්න කිව්වා.
"ආහ්... දූ ආවද... එන්න දුවේ... දැන් ඇඟට පොඩ්ඩක් හොඳයි වගේද දූ... අපි මේ පුතා, ඉස්සරට වඩා වෙනස් වෙලා කියල කතා කර කර හිටියෙ... මොනව උනත්, අම්ම වෙච්ච මටවත් මේකගෙ වෙනස් කරගන්න බැරි උන සමහර ඒවා දූ වෙනස් කරල තියෙනව..."
"හී....."
මෙච්චර වෙලා අම්මල දැක්කෙ, බයෙන් හිටපු තුරුලිව විතරනෙ. ඒත් දැන් තුරුලි අම්ම දිහා බලල හිනා උනේ, එයාගෙ සුපුරුදු අහිංසක හුරතල් ස්වරූපයෙන්. ඒක දැකල අම්මගෙ මූණෙත් අමුතු හිනාවක් ගියා.
"දැන්නෙ කෙල්ලගෙ ඇත්ත ලස්සන පේන්නෙ... දැන් ඇඟට කොහොමද දුව..."
"දැ... දැන්... හොඳයි මේ... අ.. ඇ..."
තුරුලිට කියාගන්න එකක් හිතාගන්න බැරුව ළතවෙනව දැකල අම්ම එයා ගාවට ගිහින් ආයෙ ඔලුව අතගාල කතා කලා.
"අම්ම කියන්න දුවේ... දැන් ඔයා අපේ පවුලෙනෙ... අපේ අකමැත්තක් නෑ දූට..."
තුරුලිගෙ මූණ ලැජ්ජාවට රතු වෙලා ගියා. එයා හෙමින්, ඒත් පැහැදිලිව "හරි... අම්මේ..." කියල කිව්වා.
තුරුලිත් අපිට එකතු උනාට පස්සෙ, අම්මා එපා කියද්දිම එයත් උයන්න උදව් උනා. අම්මට මොනව හිතට නොඇල්ලුවත්, තුරුලිගෙ ඉවීමේ හැකියාවනං හොඳට හිතට අල්ලපු බව මටයි තාත්තටයි දෙන්නටම තේරුම් ගිහින්, අපි මූණට මූණ බලාගෙන, දෙන්නට දෙන්නා කට කොණින් හිනාවක් දැම්මා.
මතු සම්බන්ධයි...