වීදි පුරඟන
20විසිවන කොටස

"සර්... දොරේ යතුර..."
මම කාර් එක ගේට්ටුවෙන් එලියට දැම්මට පස්සෙ තුරුලි කාර් එකේ දොර ඇරගෙන ඇතුළට ආවෙ, ගේට්ටුවත් වහගෙනයි.
"ඕක කැබි එකෙන් දාන්නකො... නැත්තං ඔය පහළ හෝල් එකෙන් තියන්න.."
"හරී... හී... ඇඳුම ඇත්තටම අවුලක් නෑ නේද සර්..."
"ම්ම්ම්ම් අවුලක් නෑ... මම කිව්වෙ මම ආසයි ඔයා ඔහොම අඳිනවට..."
"හී... ඒනම් කමක් නෑ..."
එයා පොඩි කෙල්ලෙක් වගේ හිනා වෙවී බෙල්ට් එකත් දාගෙන, සීට් එකට හේත්තු උනා.
උදේ නාගෙන ආවට පස්සෙ අපි දෙන්න ඇඳට වෙලා තුරුල් වෙලා හිටිය පැයක් විතරම. තුරුලිට නං නින්ද ගියා. ඒත් එයා නිදාගන්න කලින් කිව්ව එක වාක්‍යයක් නිසා මම ඒ මුලු වෙලාවෙම එයාගෙ ඔලුව අතගගා එයා ගැන හිත හිත හිටියෙ.
"මගෙ සර්ට ආදරෙයි මං..."
දැනටත් මගෙ කණේ දෝංකාර දෙනව ඒ කිව්ව දේ. හරිම ළාමක දුර්වල කටහඬකින්, මගෙ මූණ දිහා අහිංසක විදිහට බලාගෙනයි ඒ දේ එයා කිව්වෙ. ඉතින් මම කොහොමද ඒ ගැන නොහිත ඉන්නෙ. දැනටමත් මේ කෙල්ල මගෙ ජීවිතේම කොටසක් වෙලා ඉවරයි...
තුරුලි හිටිඅඩියේම වචනයෙන් එයාගේ ආදරය ප්‍රකාශ කරපු එකට, මම හිතින් පොඩ්ඩක් තැතිගෙන හිටපු නිසා මම ඒ සම්බන්ධව ආපහු එයා එක්ක කතා කරන්න ගියෙ නෑ. කොහොම උනත් තුරුලි නම් කලින් ඉඳලම මගෙ ගාව හැසිරුනේ මම එයාට ආදරෙයි බව දන්න ගානට.
කොහොමත් තුරුලි හරිම ලේසියෙන් මගෙ හිත කියවනවා. මම ඒක ප්‍රතික්ෂේප කරන්නෑ.
කලිනුත්, එයා කොටට අඳිනවට මමත් හිත යටින් ආස බව දන්න නිසාද මංදා, තුරුලි දැන් මේ බඩු ගන්න යන්න ඇඳන් ආවෙත් මමම එයාට අරන් දීපු මිනි ස්කර්ට් එකකුයි, රෝස පාට ලූස් බ්ලවුස් එකකුයි. බට්ටියෙක් වගේ කෙල්ලෙක් මේ ඇඳුම් දෙකට මොන තරම් සුන්දරට හැඩට හුරුබුහුටියට පේනවාද කියන ප්‍රශ්නය මම පාඨක ඔබෙන් ඇසිය යුතු දෙයක් නෙවෙයි. මනසින් විග්‍රහ කරමින් සිතිය යුතු දෙයකුත් නෙවෙයි. සරලවම... ඒක සුන්දරයි...!
එයා අඳින්න ලෑස්ති වෙද්දිත් දෙතුන් පාරක්ම ඇඳුම අවුලක් නැද්ද කියල මගෙන් අහල, දැන් ඇන්දට පස්සෙත් ආයෙත් අහනව ඒකම.
"සර්.... මුලින්ම අපි කොහෙටද යන්නෙ..."
"ම්ම්ම්ම්... ෆුඩ් සිටි එකකට ගිහින් එමු... එතනට ටිකක් වෙලා යයි... හාල් එහෙම ගනන් බලල ගමු... අවුල් වගේ නං ටවුම කිට්ටුව කඩයක් තියෙනව. එතනින් ගමු... ආ... ඔයාට ඇඳුම් කීපයක් ගන්න පස්සෙ දවසක එමු අපි නිදහස් වෙලාවක... හානෙ... බඩු ටික ගත්තට පස්සෙ මොබයිල් ශොප් එකකට යං ඔයාට ෆෝන් එකක් අරන් දෙන්නත් ඕනෙ... සහ... කාර් එකට එයාර් ෆ්‍රෙශ්නර් එකක් ගන්න ඕනෙ..."
"මො... මොකක්... අ... අනේ සර්... මම කිව්වනෙ මට මුකුත් එපා කියල..."
තුරුලි ඇස් දෙකත් ලොකු කරන්, එයාගෙ කකුල් දෙකෙනුත් මගෙ දිහාට හැරිලා ඇහුවෙ බය උන කටහඬකින්.
"ම්ම්ම්ම් ඒ මොකෝ... ඔයා ගාව තියෙන්නෙ බට්න් එකක් නේ... ලොකු එකක් ගම්මු වැඩි ගානක් නොයන..."
"අනේ එපා සර්... මට මුකුත් එපා... මම ආස නෑ සර්ගෙන් තවත් යැපෙන්න... මාව බලාගන්න එකම මට ලොකු දෙයක් සර්..."
"තුරුලි..."
"කියන්න සර්..."
"ආදරෙයි කිව්ව නේ මට..."
ඒ ගමන නං කෙල්ලගෙ කටේ චූටි හිනාවක් ගිහින් ලැජ්ජාවට බිම බලාගත්තා. එයා අත් දෙක උඩට අරන් ඇඟිලි තුඩු එකට ගාව ගාව හොරෙන් වගේ මගෙ දිහා බලනව සැරින් සැරේ.
"ඔ... ඔව් සර්... එ...එහෙම තමා මම... ඒත්... ඒක මෙ... මේවට අදාල නෑ... අනේ... නරකයි සර්... මට ලැජ්ජයි..."
"ම්ම්ම්ම්ම්... අපි කොහෙට හරි ගිහින් කතා කරමුකො ඒ ගැන.. එතකං ආයෙ ඔය ගැන කියවන්න එපා... හරිද... ඔයාට ඕනෙ දේවල් දැන් ගන්න.. මම අරන් දෙන දේවලුත් ගන්න..."
"හ... හා සර්... සර්... ඇයි තරහින් වගේ..."
තුරුලිගෙ කලින් ප්‍රතිචාරයෙන් පස්සෙ මගෙ මූණ වෙනස් උන නිසාද මංදා තුරුලි ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බලන් ඇහුවෙ, මගෙ කකුලක් උඩින් එයාගෙ අතක් තියන ගමන්. එයා මගෙ කටහඬේ ස්වභාවය අහල කලබල උන බව නම් මට හොඳටම විශ්වාසයි.
"නෑ... නෑ නෑ... එහෙම දෙයක් නෙවේ... මම තරහින් නෙවේ..."
තුරුලි ඒක ඇහුවට පස්සෙනම් ටිකක් සන්සුන් වෙලා ඔලුව හිමීට දෙපැත්තට වැනුව.
"සර්..."
"ම්ම්ම්ම්ම්...."
"සර්ට මම ආදරය කරන සර්ට කරදරයක්ද..."
"ම්ම්ම්ම්ම් නැහැ... ඒකෙ අනිත් පැත්ත මම හිතන්නෙ..."
"හී... ඒනම් මම දිගටම එහෙම කරන්නද..."
"කරන්න... මමත් ආසයි..."
"හී හරී..."
ඕනෙම චංචල අවස්ථාවක් නිසොල්මන් කරන්න මේ කෙල්ල කියන පුංචිම දේකට උනත් හැකියාවක් තියෙනව.
ජීවිත දෙකක් මේ විදිහට පාලනේ කරන්න මහා ලොකු දේවල් ඕන්නෑ. ඒක මම තේරුම් ගත්තෙත් තුරුලිගෙත්. මීට කලින් ආදරේ කරල තිබ්බ එකෙක් උනත්, මේ කෙල්ලගෙන් මට ලැබෙන, මට දැනෙන, මට හැඟෙන මේ ආදරේ මහ පුදුම දෙයක්.
තුරුලි කියන හැම වචනෙකින්ම, තුරුලි කරන හැම දේකින්ම, තුරුලි හෙලන හැම හුස්මකින්ම මට දැනුනෙ ආදරේ. ඉතින් එයා ඇත්තටම ඒ බව වාචිකව නොකිව්වත්, මම දැනටමත් ඒ බව තේරුම් අරගෙනයි තිබ්බෙ.
තුරුලිගෙ හුරතල් කතා මැද්දෙම අපි ටවුන් එකට එනකොට දවල් දෙකට විතර ඇති. ටවුන් එකට එනකොට, තුරුවයි මාවයි මුලින්ම හම්බුන 'පාරත්' අපි පහු කරගෙනයි ආවෙ. එයාටයි මටයි දෙන්නටම හිනා ගියා ඒ 'පාරෙ' එනකොට.
කටින් නොකිව්වත් මූණෙන් ඇඟවුවේ නැතත්, අපි දෙන්නම ඒ අවස්ථාවෙ එකටම වගේ මූණට මූණ බලාගත්තෙ, ඒ 'පාර' අපි දෙන්නගෙම ජීවිත වෙනස් කරපු බව දන්න නිසා වෙන්නැති.
අපි ඊට පස්සෙ මුලින්ම ගියේ ෆුඩ් සිටි එකට. තුරුලි එයාට හිතුනු දේවල් සේරම බඩු ලිස්ට් එකක ලිව්වනෙ. මමත් මට විශේෂයෙන් ඕනෙ දේවල් ඒකටම එකතු කලා.
"සර්..."
ෆුඩ් සිටියෙ ඩෝර් එක ගාවදිම තුරුලි මගෙ අතින් ඇදල මට කතා කලේ, දොර ගාවම තිබ්බ ශොපින් කාට් දිහා බලාගෙන.
"ම්ම්ම්ම්... කියන්න..."
"හී... අපි මේකක් ගම්මුකො සර්... අනේ... අදට විතරක්..."
"ශොපින් කාට් එකක්ද...?"
"මම නමක් නං දන්නෑ සර්... මේන් මේකක්... අනේ... හාද... හී... මේව එලවන්න පුලුවන් නේද..."
හිතට දරාගන්න පුලුවන් හැඟීම් පරාසයෙන් පිටතට එක දශමයක හරි හැඟීමක් ඇති උනොත්, අපි ඒක පිටකරන්නෙ වෙනස්ම විදිහකට. සමහරුන්ට පමණට වඩා සතුටක් ඇති උනොත් අඬනව. සමහරුන්ට පමණට වඩා දුකක් ඇති උනොත් තරහ යනව.
මම මේ අත්විඳින්නෙත් එහෙම අවස්ථාවක්. තුරුලි අහිංසක හිනාවකින් ඒ ශොපින් කාට් දිහා බලාගෙන, මගෙ අතේ එල්ලිලා උඩ පනිනකොට මට මගෙ පපුව ඇතුළෙන් අමුතු වේදනාවක් දැනෙන්න ගත්තා.
මේ කෙල්ල මේ සතුටු වෙන්නෙ අපි බොහොමයක් දෙනෙක්ට, ඉතාමත් සාමාන්‍ය වෙන දේකට නෙවෙයිද..? අපි අපේ ජීවිත සංකීර්ණ කරගන්නකොට, මේ කෙල්ල මේ හැමදේකම සතුටක් දකිනවා... ඒක මට කියල දුන්නෙත් තුරුලි. එයාගෙ ඒ හිතේ තියෙන අහිංසක කම මට දරාගන්න අමාරුයි සමහර වෙලාවට.
"ම්ම්ම්... ගමු එකක්... ඔයාට අරන් එන්න පුලුවන්ද... මගෙ අත පොඩ්ඩක් රිදෙනව වගේ උදේ කාර් එක හෝදල..."
ඇහැට උනපු කඳුල කම්මුල සිපගන්න කලින්ම මම අහක බලාගෙන ඒක පිස්සෙ, තුරුලිට එහෙම කියමින්. මම සිතාමතාම එයාට ඒක අරන් එන්න දෙන බව නොතේරෙන්නයි මම ඒ පුංචි බොරුව කිව්වෙ.
"හී... හරියූ... මම අරන් එන්නං... හී හී... අපි ගෙදර ගියාම මම සර්ගෙ අතත් අතගාන්නම්..."
තුරුලි මගෙ අත අතෑරල එතනින් ශොපින් කාට් එකක් අරන් ඒකත් තල්ලු කරගෙන මගෙ පිටිපස්සෙන් ආවා. ලිස්ට් එක තිබ්බ නිසා මට බඩු තෝරගන්න අපහසු උනේ නෑ. ඒත් සමහර තැන් වලදි මම පස්සට වෙලා තුරුලිට ඒ වැඩේ කරගන්න දුන්නා. මොකද දැන් මාසයක් විතරම කන්න වෙන්නෙ මේ අරන් යන ඒවනෙ.
අපි දෙන්න බඩුත් අරන් කවුන්ටර් එක ගාවට එනකොට හවස තුන හමාරටත් කිට්ටුයි. තුරුලි පොඩි එකෙක් වගේ කවුන්ටර් එකේ එල්ලිලා කවුන්ටරේ ගාව තියෙන එක එක ටොපි චොකලට් ජාති අතගගා හිටපු නිසා, මම එයින් කීපෙකුත් අරන් බිල් කරන්න දැම්මා.
"දැන් කොහෙද සර් යන්නෙ..."
බඩුත් අරන් කාර් එකට දාගෙන, ආයෙ ෆුඩ් සිටියෙන් එන්න පිටත් වෙනකොට තුරුලි මගෙන් ඇහුව.
"යං ඔයාට ෆෝන් එකක් අරන් දෙන්න... මගෙ යාලුවෙක්ගෙ කඩයක් තියෙනව මේ ළඟ..."
"සර්..."
තුරුලි හදිසියෙම මම සුක්කානම අල්ලන් ඉන්න ගමන්ම මගෙ වම් අතින් අල්ලගෙන කතා කලා.
"ම්ම්ම්ම්ම්ම්...."
"අපි ගෙදර යං සර්... මට එපා... මුකුත්..."
"ම්ම්ම්ම්.. මට ඕනෙ ඒත්... ඒ නිසා යං ගන්න..."
"අනේ සර්..."
තුරුලිගෙ මූණ අඬන්න වගේ. එදා මම එයාට ඇඳුම් අරන් දෙන්න අහපු දවසෙ වගේම එයා අදත් පොඩ්ඩක් ලැජ්ජාවෙන් කලබල වෙලා ඉන්නෙ. හැබැයි අද නං මූණෙ පොඩි බයකුත් පේන්න තියෙනව.
"තුරුලි... ඉන්න පොඩ්ඩක්... එතනින් නවත්තල මම කතා කරන්නං ඔයාට..."
"හ... හා සර්..."
තුරුලි ඊට පස්සෙ සැරින් සැරේ ඔලුව හරවන් මගෙ දිහා ඇස් කොනෙන් බැලුව මිසක මට කතා කරන්න ආවෙ නෑ.
විනාඩි කීපෙකින්ම මම ඒ කිව්ව කඩේ ඉස්සරහ තිබුන ඉඩෙන් කාර් එක නවත්තල, යතුර අතට ගත්තා. වාහනේ නවත්තපු ගමන්ම තුරුලි සම්පූර්ණ ඇඟෙන්ම මගෙ දිහාට හැරිල ඇස් ලොකු කරන් බලන් හිටියා.
"මැට්ටි... ඔය මොකෝ..."
"ස... සර් කතා කරනව කීවා නැවැත්තුවම..."
"හම්ම්... හරි... ඒනං..."
"කියන්නකෝ..."
"ඉන්න ඉන්න... මුලින් මම ප්‍රශ්නක් අහන්නං... ඒකට අවංකව උත්තර දෙන්න..."
"හී... හා සර්..."
"මුලින්ම... ඔයා මට ආදරෙයි කිව්වෙ ඇත්තටමද... ඔයා දන්නවද ඔයා ඒ කිව්ව දේ තේරුම..."
"අ... අනේ සර්ට මාව විශ්වාස නැද්ද... ම..."
මම තුරුලිගෙ තොලෙන් ඇඟිල්ලක් තියල නිශ්ශබ්ද වෙන්න කියල ඉඟි කලා.
"තුරුලි... උත්තරේ විතරක් දෙන්න හොඳ ළමය වගේ... හානෙ..."
එයා ඔලුව දෙපැත්තට වනල 'හා' කිව්වට පස්සෙ මම ඇඟිල්ල එයාගෙ තොල් වලින් ගත්තා.
"ආපහු මම අහන්නෙ. ඒක ඇත්තටමද කිව්වෙ, ඔයා දන්නවද ඔයා ඒ කිව්ව දේ තේරුම..."
"මම ඇත්තටම කිව්වෙ... මම හිතන්නෙ මම දන්නව ඒකෙ තේරුම..."
"හරි... ඇයි ඔයාට හිතෙන්නෙ ඔයා මට ආදරේ කරනව කියල... කොහොමද ඔයා ඒක දැනගත්තෙ..?"
තුරුලි අසරණ මූණකින් මගෙ දිහා බලන් ඉන්න ගමන්, එයාගෙ ඇහැකින් පුංචි කඳුලු බිංදුවක් උනල කම්මුලේ දිගේ රූටල ගලාගෙන ආව. එයා ඊට පස්සෙ හිනා වෙලා මට කතා.
"සර්... අපි එහෙ ඉන්නකොට සර් දවල්ට යනව නේද වැඩ කරන්න..."
"ම්ම්ම්ම් ඔව්..."
"සර් එහෙම ගියාට පස්සෙ... මගෙ මෙතන රිදෙන්න ගන්නව... (තුරුලි එයාගෙ පපුව මැදට අතක් තියාගත්තා) මට අසනීපෙකට නෙවේ... මෙතන ඇතුලෙ අමුතු වේදනාවක් දැනෙනව සර් ආපහු හවසට එනකංම සැරින් සැරේ... මෙතන නිකං හිස්තැනක් වගේ... මම ගෙදර වැඩ ටික කලාට, අතුගෑවට රෙදි හේදුවට රෙදි වැනුවට... මට ඒ කිසිම දේක තේරුමක් දැනුන්නෑ සර්, සර් නැති වෙලාවට... සර් මාව එදා දාලා ආවම මම පාර දිගේ ඇවිදන් ගියාට, මම හිතල නෙවේ සර් ඒව කලේ. ඉබේම මගෙ ඇඟ වැඩ කලා මිසක් මට දෙයක් හිතල කරන්න පුලුවන් උන්නෑ... ඒත් සර් ආපහු මාව අරගෙන සර්ගෙ ගෙදරට ආවම මගෙ පපුවට අමුතු සැහැල්ලුවක් ආව සර්... ඒකයි සර් මම හිතුවෙ... මම සර්ට ආදරේ කරනව ඇති කියල... මම සර්ට කියන්න පරක්කු උනේ සර්ගෙ ජීවිතේට මගෙන් බාධාවක් වෙයි කියල හිතල... සර්ට ඒක කරදරයක් වගේ නං... මම ආයෙ එහෙම නොකියා ඉන්නම් සර්... හැබැයි මට සර්ගෙන් වෙන් වෙන්න කියන්න එපා... (ඉකිගසමින්).. මම සර්ගෙන් වැඳල ඉල්ලන්නෙ සර්..."
තුරුලි එහෙම කියනවත් එක්කම, හිමීට ඉකිගහන ගමන්, අත් දෙක එකතු කරල මගෙ කලවට තියන් පාත් උනා එතනම.
මමත් කලබලෙන් වගේ එයාගෙ උරහිසෙන් අල්ලල නැගිට්ටවල ආපහු සීට් එකට හේත්තු කලා.
"මැටි කෙල්ලෙ... දැන් මම එහෙම කතාවක් කිව්වද... මේ කෙල්ල නම්... හරි හරි ඒකට කමක් නෑ... දැන් ඒ කියන්නෙ ඔයා මට ආදරෙයි... ඒක හරි..."
"ඔ... ඔව් සර්..."
"ඔව්... ඔයා ආදරේ කරන කෙනා ඔයාට දෙයක් දෙනවට ඔයා අකමැති ඇයි..."
"අ... අනේ එහෙම නෑ... සර්... එ... ඒත්... මම අනුන්ගෙන් දෙයක් ඉල්ලන්න ආස නෑ සර්... මම තනියම ජීවත් උන කෙනෙක්... සර් මට මේ දෙන ආදරේ කරුණාව මට හොඳටම ඇති..."
"ඔයා තනියම ජීවත් උන කෙනෙක් නිසා, ඔයා දැන් ඉස්සරහටත් එහෙම කරන්නද හිතන් ඉන්නෙ... මගෙන් වැඩක් නැද්ද... ආදරේ කරන මනුස්සය දෙයක් දෙන්න හදනකොටත් ඒක පිට මිනිහෙක් දෙන දෙයක් වගේද පේන්නෙ... ඔයාමනෙ කිව්වෙ ඔයා මට ආදරේ කරනව කියල... එහෙනං ඇයි මට මෙතනදි ආදරයක් දැනෙන්නැතුව, පිට මිනිහෙක් ඔයාගෙ ජීවිතේට එන්න හදනව වගේ කියල දැනෙන්නෙ..."
හිතේ තිබ්බ දුකටද කොහෙද මම ඒ ටික කිව්වෙ පොඩ්ඩක් ආවේගයකින්. මමත් මෙච්චර ආසාවෙන් මේ කෙල්ල ගැන හොයල බලන්න ඕනෙ නිසා දෙයක් අරන් දෙන්න හදනකොටත් ඒකට එපා කිව්වම, මම හිතන්නෙ තරහවක් හිතෙන එක සාමාන්‍ය දෙයක්.
ආවේගයෙන් ඒක කිව්ව උනත්, තුරුලි බය වෙනව වෙනුවට තවත් පොඩ්ඩක් හයියෙන් අඬන්න අරන් කතා කලා.
"මගෙ සර්... අනේ දෙයියනේ... එහෙම දෙයක් හිතාගෙන නෙවෙයි මම කිව්වෙ... සර් මට දෙන හැම දේම මට වටිනව මගෙ සර්..."
"එහෙනම් හිතුවක්කාර නොවී බහින්න... මම එහෙම හැමෝම වෙනුවෙන් කැපවෙන එකෙක් නෙවෙයි... එහෙම දෙයක් කරනව නං කරන්නෙ ඒ කෙනා මට විශේෂ නම් විතරයි... ආයෙ ඔය වගේ මුරණ්ඩු කතා කියන්න එපා... තේරුනාද..."
මම පොඩ්ඩක් සද්දෙ අඩු කරල කරුණාවෙන් ඒක කිව්වට පස්සෙ, තුරුලි අඬන එක නවත්තල, ආයෙ ඒ වැරැද්ද කරන්නෑ කියන පොඩි එකෙක් වගේ ඔලුව හොල්ලල මගෙ දිහා බලන් හිටියා.
"දැන් බහින්න... ඔයාට ෆෝන් එකක් ගමු... අර බට්න් ෆෝන් මේ කාලෙට හරියන්නෑ..."
"ගමු සර්..."
තුරුලි ආයාසයෙන් කටත් හදාගෙන ඒක කිව්වෙ.
මම හිනා වෙලා එයාගෙ ඔලුවට තට්ටුවක් දාලා කාර් එකෙන් බැස්සා. තුරුලින් ඊට පස්සෙ කාර් එකෙන් බැහැල ආවට පස්සෙ මම එයා එක්කම ශොප් එක ඇතුළට ගියා.
යනකොටම වගේ, මාව අඳුරගත්ත මගෙ යාලුවා මගෙ නම කියලම කතා කලා.
"අප්පටසිරි... පවනා... කාලෙකින්... මොකෝ මේ පැත්තේ..."
මිනිහගෙ නම රුමේශ්. අපි ඉස්සර උට කිව්වෙ රුමා කියල. මහා ලොකුවට යාලුවෙක් නොවුනත් මම මගෙ ලැප්ටොප් ෆෝන් අනං මනං සේරම ගත්තෙ මෙතනින්. සහ ඒව රිපෙයාර් වලට අරන් එන්නෙත් මෙතනටම තමා. මොකද මිනිහා ඩීසන් පිට ජීවත් වෙන රීසනබල් කෙනෙක්. මට ඔය හැම කෙනාවම හිතට අල්ලන්නෑනෙ.
"මචං.... රුමා... කාලෙකින් නං තමා... මේ... ෆෝන් එකක් බලන්න ආව බං... පොඩ්ඩක් කියහංකො ලයිට් යූස් එකකට සෙට් වෙන එකක්..."
"කාටද උඹටද මේ මිස්ටද...?"
රුමා ඒක කිව්වෙ, තුරුලිගෙ කකුල් දෙකේ ඉඳන් මූණට වෙනකංම එක පාරක් බලන ගමන්. උට පුදුම හිතෙන්න ඇති මම මේ වගේ කෙල්ලෙක් එක්ක ආව එකට.
"මෙයාට බං... ලොකුවට මුකුත් ඕන්නෑ... ඩීසන් ෆෝන් එකක්..."
"ආ බලමු බලමු... කවුද බං මේ සිරාවට... උඹ කෙල්ලොන්ව එහෙමට අඳුරන්න එකෙක් නෙවේනෙ... හ හා.."
මේ ප්‍රශ්නය, කෙනෙක් මගෙන් අහන දෙවනි වතාව.
"මේ මම බඳින්න ඉන්න කෙනා බං..."
"හප්පටසිරි... මරු මරු... වෙඩිම කියාන්කො... අපිත් ඇවිල්ල කුට්ටියක් ගහල යන්නං..."
රුමා කතා කර කරම අපිට චොයිසස් තුනක් දුන්නා. තුරුලිට ෆෝන් ගැන වැඩිය දැනුමක් නොතිබ්බ නිසා, මම එයා ආස පෙනුමක් තියෙන ෆෝන් එකක් ගන්න කියල කිව්වා. එයා ලැජ්ජාවෙන් වගේ, මගෙ පෙරැත්ත කිරීමටම පොඩි ෆෝන් එකක් තෝරගත්තා.
ඒක තිස්දෙකක්. ගාන ඇහුව හැටියෙම තුරුලි එයාගෙ අදහස වෙනස් කරන්න හැදුවත් මම බලෙන්ම වගේ ඒකට පේමන්ට් එක කරල ෆෝන් එකත් අරන් එයා එක්ක එළියට ආව.
තුරුලි මගෙ අත වටේට එයාගෙ අතක් දාන්, කාර් එකට ගාවටම ඇවිල්ල මට කතා කලා ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන.
"හයියූ සර්... අර බොරුව දැන් හැමෝටම කියන්න පුරුදු වෙලා... අනික මේක ගණන් වැඩී සර් ගොඩක්.."
"ඔය ගාන අඩුයි... ප්‍රයිස් එක ශේප්... මොකක්ද අර බොරුවෙ කතාව...? එහෙම මුකුත් කිව්වද මං...?"
"ඇයි අනේ අර බඳින්න ඉන්න කෙනා කියපු එක... සර් කලින් අර සංජීව සර්ටත් ඕකම කිව්වනෙ... හී... මිනිස්සු හිතයි ඇත්තටම එහෙමයි කියල..."
"තුරුලි..."
"ම්ම්ම්ම්... ඇයි සර්..."
මම කාර් එකේ දොර අරින්නැතුව, එයා දිහාට හැරිලා එයාගෙ ඔලුවෙන් අතක් තිබ්බා. තියල එයාගෙ මූණට පාත් වෙලා කතා කලා.
"මම ඒ කිව්ව දේ ඇතුළෙ... කිසිම බොරුවක් තිබ්බෙ නෑ..."
මතු සම්බන්ධයි...