Grey Earth (02)

Grey Earth (02)

DJ


පරිච්ඡේදය I

ඒජැක් දිලීර සිරප් වලට උණු වතුර දමා හැඳි ගාන්නට වුණා. එය ටිකෙන් ටිකක් සුදු පාට කුඩක සිට සුදු පැහැ නූල් වලින් යුතු එකට එතුණු ගුලියක් බවට පත් වෙමින් තිබුණා. එය පොළොව මතුපිට සිටියදී නම් එතරම් ප්‍රියජනක ආහාරයක් නොවන්නට ඉඩ තිබුණා. නමුත් දිලීර වලට හිරු එළියට අවශ්‍ය නොවෙයි. කොලනිවාසීන් බිම්මල් සහ අනෙක් දිලීර වර්ග ඇල්ගී වලට අමතර ආදේශකයක් ලෙස ආහාරයට ගනු ලැබුවා.

ඒජැක් ලුණු පැකට්ටුවෙන් ලුණු ස්වල්පයක් දුම් දමමින් තිබූ දිලීර බඳුන් දෙකට ඉසුවා. ඔවුන්ගේ නිවසේ ලුණු අවසන් වෙමින් පැවතුණා. කොලනිවාසින්ට ලුණු ලබාදුන්නේ සලාක ක්‍රමයට යි. පොළොවේ යට ලුණු සොයාගන්නට තිබුණේ බොහොම ස්වල්පයක් වීම ඊට හේතුව වුණා. ලුණු සොයා ගැනීම ගවේෂකයන් පොළොව මතුපිටට යෑමට ප්‍රධාන හේතුවක් වුණා. ඔවුන්ට අනුව කොලනියට කිලෝමීටර් පනහක් නුදුරින් විශාල ලවණ වගුරක් තිබුණා. කොයි තරම් කාලයක් ගතවුවත් මිනිසුන් වෙනස් වූයේ කලාතුරකින්. ඔවුන්ට කොහෙත්ම ලුණු නැතිව ආහාර ගන්නට නොහැකි වුණා.

ඒජැක් දිලීර බඳුන් දෙක කෑම කාමරය වෙත රැගෙන ආවා.

“ඔයාට ලියුමක් ආවා.” ඒජැක්ට පරණ බොහොම නරක තත්වයේ තිබුණු රෝද පුටුවක් පොළොව දිගේ ඇදෙන හඬක් ඇහුණා. “මම ඒක ඉරලා විසි කරලා දාන්නයි තිබුණේ”

“අනේ අම්මා ඔයත් ඔහොම කියන්න එපා.” ඒජැක් පුටුවක් ඇදල ඉඳ ගත්තා.

කේට් අවුරුදු පනස් හයක මැදි වයසේ කාන්තාවක් වුණා. ඇය බොහොම කාලයක්, කොටින්ම කිව්වොත් ජීවිතයේ බාගයක් පමණ පොළොව මතුපිට ජීවත් වූ අයෙක්. නමුත් දැනටමත් ඇයට කොලනිවාසී කාන්තාවකගේ කර්කෂ, නුරුස්සන සුළු පෙනුම ලැබී තිබුණා.

කටු පණුවන් ඔවුන් කලින් ජීවත් වූ කොලනියට පහර දෙන විටදී ඈට ඇගේ දෙපා අහිමි වුණා. ඇය මුළු දවසම ගෙව්වේ කොලනියෙන් සැපයූ අබලන් වූ රෝද පුටුව මතයි.

ඇගේ රෝද පුටුව නැවත වරක් ගැස්සුනා.

“ඔය කුණු ගොඩ ආපහු ඔයාට වද දෙනවා ද?” ඒජැක් රෝද පුටුව වෙත පහත් වුණේ එය සමබරව සැකසීමට යි. “මම එයාල දෙන සල්ලි වලින් ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්.”

ඉකියක් මුවින් පිට කළ කේට් මුහුණ පහතට හරවා ගත්තා. “ඔයා මේක කරන්න ඕන නැහැ. එයා ආපහු එන්නේ නැහැ. මට ඒක විශ්වාස යි. මට ඕන නැහැ ඔයාවත් නැති කරගන්න.”

“මම එයා ගැන බලාපොරොත්තු අතැරලා නැහැ. ඔයාට මතක යි නේ එයාගේ ටීම් ඒක කියපු දේ. බොහොම ළඟ දී සෝලට් ලේක්‌ ළඟින් එයාගේ අනතුරු හැඟවීමේ සංඥාව ඇවිල්ලා තියෙනවා. එයා ජීවතුන් අතර ඉන්නවා. එයා උදව් ඉල්ලනවා.කවුරුත් එයාව හොයන්න යන්නේ නැති එකයි වෙලා තියෙන්නේ.”

“මම එයාට ආදරය කළා. මම ඔයාටත් ඒ වගේම ආදරෙයි.”

ඒජැක් සුසුම් හෙලුවා. “මම ඒක දන්නවා. මම මේක කරන්නේ එයා වෙනුවෙන්ම නොවෙයි. ඔයා දන්නවා කොලනිය මුහණපාලා ඉන්න තත්වය. අපි ඉන්නෙ අවදානමක කියලා ඔයා දන්නවා….. අහන්න… අපි මේක ගැන උදේම වාද කරන්නේ නැහැ. මේ ඔයාගේ උදේ කෑම වෙලාව.”

ඒජැක් කෑම බඳුන කේට්ගේ උකුල මත තැබුවා. “කරදර වෙන්න එපා. මම ගියාම එල් ඔයාව බලා ගනීවි.”

“වැඩ තනියම කරගන්න බැරි වෙන්න මම පොඩි දරුවෙක් නෙවෙයි. එල් හොඳ ළමයෙක්. අසරණ කෙල්ල, අම්මා තාත්තා නැතිව හැදුණ වැදුණට ගතිගුණ හරි හොඳයි.”

“එයා හිතන්නේ ඔයා එයාගෙම අම්මා කියලා.” ඒජැක් නැවත පුටුව මතට වැටුණා. ඔහු රතු පැහැති ලියුම් කවරය අතට ගත්තා. ඒ මත grey earth සංකීර්ණයේ කළු පැහැ දඩ බල්ලෙකුගේ සංකේතය චිත්‍රණය කර තිබුණා.

ඒජැක් හෙම්ස්වර්ත්,

23/03,

7B

ලියුම් කවරයේ පිටත සටහන් කර තිබුණා. ඒජැක් හෙමින් සීරුවේ එය විවෘත කළා. කඩදාසිය ඝනකම වගේම උණුසුම් එකක් වුණා. ඉන් ගම් සුවඳ සහ සිගරැට් සුවඳ වහනය වුණා.

උණුසුම් ශුභාශිංසන සමඟ,

ඔබ ඔබේ කොලනිය වෙනුවෙන් ඉටු කරන සේවය ඉතා අගය කොට සිටිමි. එමෙන්ම ඔබ පෙන්වා ඇති ඉතා ඉහළ ලකුණු මට්ටම සහ සුදුසුකම් සලකා බලා ඔබ ගවේෂකයෙකු ලෙස තෝරාගෙන ඇතිබව දැනුම් දෙන්නේ හදපිරි සතුටකිනි. මේ භාර දුර මෙන්ම නිර්භීත කර්තව්‍යය උදෙසා ඉදිරිපත් වීමට ඔබගේ ධෛර්යවන්ත භාවය ඉතා අසාමාන්‍ය බවට දන්වනු කැමැත්තෙමි. හෙට (3.23.2096) 1258 කණිසම වනවිට වයිට් හෙවන් චතුරශ්‍රය වෙත වාර්තා කිරීමට වග බලා ගන්න. ගවේෂකයින්ගේ අත්පොත මෙයත් සමඟ අමුණා ඇති බව කරුණාවෙන් සලකන්න.

මීට

ග්‍රෙග් රෙඩ්ස්ටෑන්ඩ්,

චාන්සලර්,

ඒජැක් Grey Earth බංකර සංකීර්ණයේ චාන්සලර්ගේ අත්සන ඒජැක් හට හුරු පුරුදු ව තිබුණා.

‘ඔබගේ ධෛර්යවන්ත භාවය’ ඒජැක් ඒ වගන්තියට සිනාසුණා. ඔවුන් ඔහුගේ පියාට ද එවන්නට ඇත්තේ මේ වැනි ලියුමක්‌. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. ඔවුන් ඔහුගේ අයියාට ද එවන්නට ඇත්තේ මෙවැනි ලියුමක්‌.

ඒජැක් කුඩා රතු පැහැ කවරයකින් යුක්ත පොත අතට ගත්තා. එහි පිටත Grey Earth බංකර සමූහයේ ලාංඡනය සටහන් කර තිබුණා.

‘ගවේෂකයන්ගේ අත්පොත’

‘ගවේෂකයෙකු යනු විශේෂ සොල්දාදුවෙකු වෙයි. ගවේෂකයෙකු සඳහා අනෙකකුට නැති තියුණු ඉවක් සහ අවධානයක්‌ අත්‍යවශ්‍ය වන අතර නැතහොත් ඔබ මතුපිට මොහොතක් හෝ රැකෙනු නොමැත.’

ඒජැක් හට තියුණු ඉවක් තිබුණා. ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස ඉහළම ලකුණු ලබාගෙන තිබුණා. ඒ වගේම බොක්සිං සහ මල්ලව පොර වැනි ක්‍රීඩා නිසා ඔහුගේ ප්‍රතීක ක්‍රියා ද හොඳින් වර්ධනය වී තිබුණා. නමුත් ඒ කිසිවක් මතුපිට දී ඒජැක්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හේතු වූයේ නැහැ.

ඉන්පසු වූයේ අවි ආයුධ සම්බන්ධ විස්තරය ක්‌. එහි යකඩ මුගුරේ සිට RPG අවිය දක්වා ගවේෂකයන්ට ලබාදෙන සියළුම අවි සම්බන්ධව සඳහන් වුණා.

ඉන්පසු ගවේෂකයෙකුට මතුපිට දී මුණගැසිය හැකි අනතරු මොනවා දැයි දැක්වුණා.  

‘වසර විසි හයකට පෙර මැන්චෙස්ටර් න්‍යෂ්ටික පිපිරුමෙන් පසු පෘථිවිය මත විකිරණශීලී භාවය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ඔබ නිතරම මතුපිට දී ආරක්ෂක ඇඳුම් සහ මුහුණු ආවරණය පැළඳිය යුතු වේ……..

………කටු පණුවෝ මිනිසුන් කෙරෙහි අධික ආක්‍රමණශීලි බවක් දක්වති. උන් බොහෝ දුර‍ට වාසයකරනුයේ පොළොව යට වන අතර ගොදුරු සොයාගැනීම සඳහා මතුපිට අඳුරු සහ තෙත ස්ථානවලට පැමිණෙති. මෙනිසා ගුහා සහ ගරා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව රාජකාරි කරන ගවේෂකයින් මොවුන්ගෙන් වඩාත් ප්‍රවේසම් විය යුතු ය. මොවුන් ආලෝකයට හා කම්පනයට සංවේදීතාවක්‌ දක්වන හෙයින් මුණගැසීමක දී සෙලවීම අඩු කිරීම හා ඉතා සෙමෙන් ඇවිදීම මොවුන්ගේ අවධානය වෙනතක යැවීමට හේතු වේ.

……… මාර්තා බොහෝදුර‍ට  මිනිසුන් කෙරෙහි එතරම් ආක්‍රමණශීලි බවක් නොදක්වයි. නමුත් ඉන් අදහස් වන්නේ ඇය ඔබව සම්පුර්ණයෙන්ම මගහරින බව නොවෙයි. ඇය යම් ප්‍රදේශයක්‌ ආරක්ෂා කිරීමක් නිරීක්ෂණය වේ. (බොහෝ විට ඇගේ පැටවුන් සිටින කූඩුව.) ඇගේ වර්ගයාගේ එකම සත්වයා සෝල්ට් ලේක් ප්‍රදේශයේ වරක් දෙවරක් හමුවී ඇත. සෑම විටදීම සෘජු හමුවීම් වලින් වළකින්න……

……. නිල් පැහැ ඇල්ගීන් ස්පර්ශ කිරීමෙන් වළකින්න. උන් ආම්ලික ස්‍රාවයක් නිකුත් කරති. එය ඔබගේ ආරක්ෂක ඇඳුමට මෙන්ම සමට ද හානි ඇති කිරීමට ඉඩ ඇත.’

‘වඩා අවධානය යොමු කරන්න.’

රතු පැහැයෙන් මුද්‍රිත අකුරු ඒජැක් ගේ අවධානය ලබා ගත්තා.

‘ ඔබ මතුපිට සිට නැවත ඔබේ නිවසට පැමිණීමට ආශා කරන්නේ නම්, ඔබේ ජීවිතය ඔබ‍ට වටින්නේ නම්. මීදුම දුටු තැන පලා යන්න.

‘ ඉතා දැවැන්ත වලාකුළු ගොන්නක් ලෙස මීදුම ඔබ‍ට විශාල ප්‍රදේශයක දැකගත හැකි වනු ඇත. වහාම ඔබේ ඉහළ නිලධාරියාට දැනුම් දෙන්න. මීදුම තුළට ආයුධයක් ඇතිව හෝ නැතිව මරුවා ට අත වැනීමක් වැනිය. ඉතා විශ්වාසයෙන් දක්වනු කැමැත්තෙමි.

 මීදුම තුළට ගිය එක දු ගවේෂකයෙකුගේ හෝ සිරුර සොයා ගත නො හැකි විය.’

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කට්ටිය මොනවා වෙන්න ඇතිද මීදුම ඇතුළේ තියෙන්නේ? 

Report Page