ගෑණුන්ට සහ පිරිමින්ට සහයෝගයෙන් ඉන්න බැරිද?
#Socialism

මම පෙරේද බස් එකේ යනකොට දැක්කා දෙන්නෙක් ලව් කරනව. ඉස්කෝලෙ යන කෙල්ලෙකුයි කොල්ලෙකුයි. සිරාවටම මම මෙච්චර කාලෙකට දැකපු ඩීසන්ම ලව් කිරිල්ල ඒ. බදාගෙන ඉඹගෙන රෙදි ගලෝගෙන නෑ. දෙන්නම ළං වෙලා අත් දෙක විතරක් පටලවන් , හිනා වෙවී කතා බහ කර කර ගියේ.
මට හෙන සතුටු හිතුන ඒ ඩබල ගැන. කෙල්ල බහිද්දිවත් , කොල්ලා බහිද්දිවත් බස් එකේ කවුරුත් උන් දෙන්න දිහා අමුතු විදිහට බැලුවෙ නෑ. මමත් නෑ.
ඒ කෙල්ලයි කොල්ලයි හරියට නිකං ග්රීසියයි , සයිප්රසයයි වගේ. පට්ට සහයෝගෙන් , ටිකට් දෙක උනත් ගත්තෙ.
හැබැයි සෝශල් මීඩියා වල තත්වෙ පොඩ්ඩක් වෙනස්.
සෝශල් මීඩියා වල ගැහැණු පිරිමි කියන්නෙ නිකං යුක්රේනෙයි , රුසියාවයි වගේ. සෝශල් මීඩියා වල පෝස්ට් , ලිපි , නිර්මාණ කරන ගොඩක් අය මෙන්න මේ ගැහැණු සහ පිරිමි අතර තියෙන ගැටුම උලුප්පන්න හදනව.
හේතු දෙකක් තියෙනව. දැන් කාලෙ ඉන්න මැටි ඔලු තියෙන පොඩි කොල්ලොන්ට , කොතනක හරි ගෑණියෙක්ව චාටර් කරනව දැක්කම ඔලුවට එන්නෙ "Sigma Male" ප්රතිරූපයක්. නැතුව ඒකෙ වැරැද්දක් දකින්නෑ. දැන් කාලෙ ඉන්න හිස් ඔලු තියෙන සමහර කෙල්ලොන්ට , පිරිමින්ට බනිනව කියන්නෙ හෙන සතුටට කරුණක්. පිරිමියෙක් තමන්ව අල්ලලවත් නැති සමහර කෙල්ලො , "පිරිමි ඔක්කොම එකයි" කියන තත්වෙකට පත් වෙලා ඉන්නව.
ඉතින් මේ මාතෘකා දෙක (ගැහැණුන්ට බැනීම සහ පිරිමින්ට බැනීම) හොඳට හිට් වෙන මාතෘකා දෙකක්. අනිවාර්යයෙන් ඇක්ටිව් කමෙන්ට් සෙක්ශන් එකක් තියෙනව. ඉතින් රචකයො උනත් , මේ හේතු දෙකේ වාසිය ලබාගන්න තව තවත් කාන්තා පුරුශ ඝට්ටනය උලුප්පල පෙන්නන්න හදනව.
සෝශල් මීඩියා වල අර වගේ කපල් එකක් සතුටින් ඉන්නව පෙන්නනවට වඩා , වැඩි සීඝ්රතාවකින් කිසිම කපල් එකක් සතුටින් නෑ කියල පෙන්නන්න උත්සාහ කරනව.
නිකමට අපි ගමු ඒ වගේ පිරිමින්ට බැනපු පෝස්ට් එකක කමෙන්ට් සෙක්ශන් එකක්. අනිවාර්යයෙන් , "100% ඇත්ත. ඔක්කොම එකයි" , "පිරිමි නම් ඕනෙම නෑ" , "පිරිමි ඔක්කොම එකයි අක්කෙ" වගේ කෙල්ලො දාපු කමෙන්ට් වලින් පිරිල තියෙනව ඒක.
කෙල්ලෙක්ව චාටර් කරපු , කෙල්ලෙක්ට බැනපු , කෙල්ලෙක්ව පහත් කරල කතා කරපු වීඩියෝ/පෝස්ට් එකක අනිවාර්යෙන්ම අටවසරෙ , දහයවසරෙ පොඩි උන් ඇවිල්ල "හොඳ වැඩේ" , Women ☕" කියන කමෙන්ට් තියෙනව ඕනෙ තරන්.
මම පිළිගන්නව. සුලුතරයක් ඉන්නව ඇත්තටම නරකයි. සමහර පිරිමි , ගෑණි ඉඳිද්දි වෙන ගෑණු එක්ක යනව. සමහර ගෑණු මිනිහ ඉඳිද්දි වෙන පිරිමි එක්ක යනව. සහ දෙපාර්ශ්වයම තවත් විවිධ වැරදි කරනව.
ඒත් ගැහැණියකගෙ වේදනාව තේරුම් ගන්න බෑ වගේ දෙයක් කියල පිරිමියෙක්ට බනින එක කොච්චර සාධාරණද? කෙල්ලෙක් තමන්ට ඕනෙ විදිහට ජීවත් වෙන එකට ගෑණුන්ට බනින එක කොච්චර සාධාරණද?
පිරිමියෙක්ට බෑ තමන්ව සතුටු කරන්න කියනව. ගෑණියෙක්ට බෑ තමන්ගෙ ආශාවන් ඉශ්ඨ කරන්න කියනව. මේ වගේ ප්රකාශයන් කොච්චර දුරට සාධාරණද?
කාන්තාවන්ට , පිරිමින්ට තරම් මේ සමාජෙ නිදහසක් නෑ කියල දෙයක් තියෙනවනෙ. ඒකත් අපේම උන්ගෙ ආකල්ප වල ප්රතිඵලයක් තමයි. ඉස්සර මම උනත් , කෙල්ලො ඇඟ පේන්න ඇඳුම් අඳිනවට ආස නෑ. මම ඒ කාලෙ හිතන් හිටියෙ ඒ නරක අය කියල. ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ කියන එක තේරුම් ගියාට පස්සෙ , මම කිසිම කෙනෙක් දිහා ඒ කෝණෙන් බැලුවෙ නෑ ඊට පස්සෙ. කොටින්ම මම යාලුවෙලා ඉන්න කෙනාටත් මම ඉස්සර බනිනව අර බඩ පේන්න ටොප් අඳින්න එපා කියල. ඒත් දැන් මට ඒක මහා දෙයක් නෙවේ. මාත් ආසයි එයා කැමති විදිහට ලස්සනට ඇඳල කරල ඉන්නවට. නම්යශීලිත්වයයි , දැඩි අදහස් දැරීමයි වෙනස් වෙන්නෙ අන්න ඒ නිසයි.
කෙල්ලෙක්ට පාරක අඩිය ඉක්මන් කරල ඇවිදින්න බෑ , ස්පෝට්ස් බ්රා එකක් ඇඳන් ජිම් යන්න බෑ , ඇඟ හිරට අඳින්න බෑ , දණහිස ගාවට වඩා කොට සායවල් අඳින්න බෑ , වාහන එලවන්න බෑ , ස්කූටර් නං බෑම බෑ , සෙක්ස් ගැන කියවන්න බෑ...
ඕවනෙ අපි සමහරු හිතන්නෙ. ඒ කියන්නෙ කාන්තාවන්ට ගොඩක්ම කායික නිදහස නෑ.
හැබැයි මම දකින විදිහට පිරිමින්ටත් ඔය කියන තරන් නිදහසක් නෑ. කායික නිදහස තිබ්බට , පිරිමින්ට මානසික නිදහස ගොඩක් අඩුයි. වගකීම් , ගැටළු , අනාගතය , ආදායම වගේ ගොඩක් දේවල් ගෙදරක පිරිමියගෙ ඔලුවට වැටෙන්නෙ. පිරිමියෙක් , තවත් කෙනෙක්ට තමන්ගෙ දුක කියන්න යන්නෙ හෙන අඩුවෙන්. විශේෂයෙන්ම මහත්මා ගුණ තියෙන පිරිමියෙක් , තමන්ගෙ ප්රශ්න තමන්ගෙ බිරිඳට ඇරෙන්න වෙන කාටවත් කියන්නෑ.
ඉතින් උඹලට පේනවද , කාන්තාවයි පිරිමියයි කියන්නෙ එකම කාසියක දෙපැත්තක් කියල.
සෝශල් මීඩියා වලින් සමාජෙට දෙන්නෙ "කාන්තාවයි පිරිමියයි විශේෂ දෙකක විලෝපිකයන්" කියන හැඟීමක්.
කිසිම වෙලාවක හොඳින් ඉන්න බෑ කියලනෙ කියන්නෙ ඒගොල්ලො. කාන්තාවන්ගෙත් ගොඩක් වැරදි තියෙනවලු , පිරිමින්ගෙත් ගොඩක් වැරදි තියෙනවලු.
ඉතින් සමාජෙට අඩිය තියන්න එන නව පරම්පරාවත් ඒව කියවල ඔලුව සුද්ද කරගෙන , උනුත් ඒ යුද්ධය දිගටම අරන් යනව.
කාන්තා පිරිමි අන්තර්ක්රියාවන් එහෙමත් නැත්තං ආදරය (Gay හෝ lesbian සබඳතා පොඩ්ඩකට අපි පැත්තකට කරමු) කියන්නෙ හෙන ලස්සන දෙයක් බං. සෝශල් මීඩියා වල තියෙනව වගේ යුද්ධයක් එතන නෑ. ආදරේ කරන්න බය වෙන්න එපා. හැබැයි පරිස්සම් වෙන්න.
ආදරේ කරනව කියන්නෙ ටීම් ගේම් එකක්. ටීම් එකේ ඉන්නෙ දෙන්නයි. කෙල්ලයි කොල්ලයි. දෙන්නට වෙන වෙනම හැකියාවන් සහ දුර්වලතා තියෙනව. එක්කෙනෙක් ගෙ හැකියාවන් වලින් තනියම ගේම ගහන්න අමාරුයි. බැරි නෑ. අමාරුයි.
ඉතින් මේ ටීම් ගේම් එකේදි , සෝශල් මීඩියා වල පෙන්නනව වගේ මානසිකත්වෙක හිටියොත් අනිවාර්යයෙන් ගේම් එක පරදිනව. ඒත් දෙන්නට දෙන්න පට්ට සහයෝගෙන් ඉන්න ටීම් , මේ ගේම් එක දිනල ලස්සනට ජීවත් වෙනව.
කොටින්ම , ලෝකයේ පැවැත්ම තහවුරු වෙන්නෙ කාන්තා පිරිමි දෙපාර්ශ්වයම මත. ජෛව විද්යාත්මකව වගේම මානසිකවත් , අපිට ගොඩක් වෙලාවට විරුද්ධ ලිංගික කෙනෙක්ගෙ අවශ්යතාවක් එනව. මම කියන්නෙ sex විතරක්ම නෙවෙයි. උදාහරණයකට මම , මට ප්රශ්නයක් ආවොත් මම යාලු වෙලා ඉන්න කෙනාට ඒක ඉක්මනටම කියනව. ඒ මම දන්නව එයා ඊළඟට කියන දෙයින් මාව සන්සුන් වෙලා , මට හරි තීරණයක් ගන්න පුලුවන් වෙනව කියල. හැබැයි මම එයාගෙන සර්වසම්පූර්ණ උපකාරයක් බලාපොරොත්තු වෙන්නෑ.
ගැහැණුවත් පිරිමිවත් සර්වසම්පූර්ණ නෑ. කොටින්ම කිසිම කෙනෙක්/දෙයක් සර්වසම්පූර්ණ නෑ. ගෑණියෙක්ගෙන් හෝ පිරිමියෙක්ගෙන් සර්වසම්පූර්ණත්වය බලාපොරොත්තු වෙනව නං ඔයා මෝඩයෙක්.
ඒ වගේම ගොඩක් කෙල්ලො කියන දෙයක් තමා , එයාලට ඕනෙ තමන්ට රැජිණකට වගේ සලකන කොල්ලෙක් කියල. එහෙනං මතක ඇතුව ඒ කොල්ලටත් රජෙක්ට වගේ සලකන්න.
ගොඩක් කොල්ලො කියන දෙයක් තමා , එයාලට ඕනෙ අවංක කෙල්ලෙක් කියල. එහෙනං මතක ඇතුව තමනුත් අවංක වෙන්න මතක තියාගන්න.
කාසියක එක පැත්තක් හෝ පළුදු උනාම ඒකෙ ලස්සන , දිලිසෙන බව , වටිනාකම අඩු වෙනව.
ඒ නිසා තමන් පළුදු නොවී , අනෙකාව පළුඳු නොකර , සමාජෙට පය තියන්න ඉන්න නව පරම්පරාවෙ ඔලුවත් පළුදු නොකර පාඩුවෙ ජීවත් වෙන්න වැරැද්දක් නැතුව.
මිනිස්සු එකිනෙකා බැනගන්න මාතෘකා නෙවෙයි , මිනිස්සු එකතු වෙන මාතෘකා වලින් හිට් වෙන්න. ඒක හරි ලස්සනයි. කමෙන්ට් සෙක්ශන් එකක එකිනෙකාට සහයෝගෙන් කතාබහ කරන එක , writer කෙනෙක් හැටියට මම දැකල තියෙනව. මම හරි ආසයි මිනිස්සු හැමෝම සතුටින් , සහයෝගෙන් එකමුතුව ඉන්නව බලන්න.
දැනටමත් සෑහෙන කඩාවැඩිලා තියෙන සමාජයක් , මේ වගේ ගෑණු - පිරිමි මත ගැටුම් ඇති කරල තවත් කඩල දාන්න එපා. ඒ පැල්ලම් වහන්න උත්සාහ කරන්න.
සුභ දවසක්...