D.D.
පෙර කොටස
ධනූෂගේ සම්ප්රාප්තිය
(7 කොටස)
මං පුරුද්දට වගේ කරන වැඩක් තියෙනවා. ඒත් නොහිතපු විදිහට මං පුදුම වුනේ මං දැකපු දේ නිසා.
.............................................................
මගේ පර්ස් එකේ නෝට් බුක් එකක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් ඕක තියාගන්න එක මගේ පුරුද්දක්.
ඇයි කිවුවොත් පොඩි කාලේ ඉඳන් සංඥා භාෂාව බැරි අයත් එක්ක කතා කරන්න තමා ඒක මං තියාගෙන හිටියේ. ඒ පොතේ පෑනකින් ලියලා ඒක පෙන්නලා තමා මං කියන්න ඕනේ එක තේරුම් කරවලා දුන්නේ.
දැන් මාස ගාණකට කලින් මේ පෝන් එක ගත්තේ. ඒ හින්දා දැන් මං පෝන් එකේ මැසේජ් බොක්ස් එකේ මැසේජ් එක කොටලා තමා පෙන්නන්නේ.
ඒ හින්දා මං නෝට් බුක් එක වෙන වැඩකට ගත්තා. පොතේ මං හැමදාම වුණ දේවල්වලීන් සාරංශයක් අරන් පුංචි වාක්ය ලියනවා.
උදාහරණයක් ගත්තොත් පෙරේදා ලියපු එක කියන්නම්.
සජියා කිවුවනේ එදා වැඩට ගිහින් ඉද්දි කඩේ දි මට එහේ එල්ලලා තිබ්බ තාච්චියක් පෙරලුණා කියලා. මේ එදා ලියපු එක.
.....ජීවිතේ කියන්නේ ඇඹිලා පදම් වෙලා හැදෙන පිලිමෙකට. ඒත් පුදුම වෙන්න ඕනේ පිලිමෙට කරන්න තියෙන එක ම වැඩේ නොකර විවිධ වැඩ කරන්න වෙන එක.....
ඒ වගෙ ඒවා තමා ඒකේ ලියවෙන්නේ. ඒකට ම තමා අදත් පොත එක්ක පර්ස් එකේ දාපු පැන්සල් කොටේ එලියට ගත්තේ. පොතේ අද ලියන්න ඕනේ තැනට ගියා මං.
ඒත්... එතන වෙන එකක් ලියලා. ඒත් ඒ මගේ අකුරු නෙවෙයි. ඒත් කවුරු ලිවුව ද කියලා හොයාගන්නත් මට බැරිවුණා. සමහර විට පර්ස් එක ආකි ගාව තිබ්බ වෙලාවේ එයාවත් ලිවුව ද....? මං ඒක කියෙව්වා.
.....දෛවය කියන්නේ නොසිතූ කම්කටොලු වලටමයි. ඒවා එන්නේ පියාඹන පොලු මුඟුරු වගේ ඒවගෙන්.....
ලිවුවේ මං නොවුණට ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ හින්දා ඒකත් තියෙද්දි ම මං තව එකක් ලිවුවා.
.......හමුවීම් ම තමා සමුගැනීම්වලට මුල වුණෙත්. බැඳීම් ම තමා වෙලාවකට හතුරු වෙලා තව වෙලාවකට මිතුරුකම් පාන්නෙත්.....
එහෙම ලියපු මං පොත පර්ස් එකට ම ඔබලා පොඩ්ඩක් ඇලවුණා.
.............................................................
පහුවදා උදේ අල්ලපු ඇඳේ එක ම යුද්ධයක්. මං ඔලුවවත් හරවලා බැලුවේ නැත්තේ වෙච්චි දේ හිතාගන්න බැරිවුණ හින්දා. සජියා උදේ ම හොස්පිටල් එකට ආවේ වැඩට යන්නත් ලෑස්ති වෙලා.
"මොක ද බං අර ඇඳේ වෙන්නේ?"
සජියා ඇහුවා ම මං මැසේජ් එකක් කොටලා පෙන්නුවා.
📱 "......ඒ මනුස්සයා පාන්දර නැති වෙලා බං...."
" ආ..... ඒත් ඇයි උඹ මූණ එල්ලන්?"
සජියා ඒක කියවලා ඇහුවා. මං මොනා කියන්න ද... ඊයේ රෑ ම ඒ අන්කල් කළේ එයාගේ කතාව කියපු එක. මුළු රෑ ම හොරාට අඬනවා මට ඇහුණා. අද උදේ වෙද්දි මේ ලෝකෙන් යන්න ම ගිහින්. කාට කියන්න ද......
...............................................
" මගේ මලයා... ඌට පොඩි කාලේ තාත්තා වාහනේකට යටවෙලා මැරෙනවා දැකලා ෂොක් එකක් ඇවිත් ගොලුවෙක් වුණා.
ඒත් මේ මං ඊට පස්සේ ඌව මඟෑරියා. ඌව බලාගන්න ම ඕනේ කාලේ ඌව බල්ලෙක් ගාණට දාලා කතා කළා. ඌට පහත් කළා. ගමේ උන් ඌට සලකද්දි මේ කාලකණ්ණියා ඒවට ලෝබකමේ තමන්ගේ මල්ලිව වට්ටවන්න හැදුවා.
ඒත් ඌ වැටුණේ නෑ මල්ලි. ඌ වැටුණේ නෑ. ඌ ඉගෙන ගත්තා. ලොකුවට ම ඉගෙන ගත්තා. ඌ තමා මටත් ගොලු භාෂාව ඉගැන්නුවේ. ඌට හොදවැයින් කියන්න කියලා හිතාගෙන ඌගෙන් ම මං ඒක ඉගෙන ගත්තා. තැවෙනවා බං මං අද. හරි වේදනයි..."
අන්කල් කියාගෙන ගියේ ඇස්වල කඳුළු පටලයකුත් පුරවගෙන. මටත් දුකක් දැනෙන්න අරන් තිබ්බේ.
👐 ".......දැන් එයා කෝ?....."
මං සංඥා වලින් ඇහුවා. අන්කල් ඇහැක කඳුලක් පිහලා දැම්මා.
" ඌ ඉන්නවා. මේ සමාජේ ගොළුවෝ, බීරෝ ප්රතික්ෂේප කරද්දි මගේ මල්ලිට ඒවා ආවේ නෑ. මොක ද උඹ වගේ ම ඌත් හැන්ඩියා.
ඌට කෙල්ලෙකුත් හිටියා. මං ඒක ගෙදරට අහු කරවලා ඌට කොන්ද කැඩෙන්න ම ගැස්සුවත් එක්ක. ඒත් ඌ ඒක නැවැත්තුවේ නෑ.
මං හෙන අවාසනාවන්තයා කොල්ලෝ. ඌ මාව අතෑරලා යනකම් ම උගේ වටිනාකම මට තේරුම් ගන්න බැරිවුණා. ඌ දැන් කොහෙ හරි හොඳින් ඇති. ඒත් ඌ මේ අයියව බලන්න ආවේ නෑ. ඌ ආයේ ආවේ නෑ කොල්ලෝ...."
මේ වෙද්දි නම් අන්කල්ගේ සංඥා භාෂා කතාවත් නැවතිලා තිබ්බේ. ඒත් කියන ඒවා එක්ක අතීතේ මතක් වෙලා ද කොහෙ ද අන්කල්ට ඇඬෙනවා.
ගොලුවෙක් කියලා අත පල්ලෙන් වැටිලා වගේ ගෙවුණ පොඩි කාලේ මතක් වෙනවා මටත් මේ හින්දා. ඒ හින්දා නිශ්ශබ්දව ම අහන් හිටියා.
👐 "........අන්කල්, අපි දෙන්නා පොටෝ එකක් ගමු ද?......"
ක්ෂණික සිතුවිල්ලකට මං එහෙම අහලා සංඥා කළේ මේ වෙලාවේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න.
" සෙල්ෆියක් ද? මේ වෙලාවේ පුලුවන් ද?"
👐 ".........ගමු අන්කල්. මගේනේ පෝන් එක......"
එහෙම සංඥාව දීලා මං ඇඳෙන් බැස්සා. සේලයින් බටේ ඒ වෙද්දි ගලවලා තිබ්බ නිසා ඇඳෙන් බැහැලා ඇඳන් හිටපු කොට කලිසම පොඩ්ඩක් උස්සලා අන්කල් ගාවට ආවා.
👐 "....හිනාවෙන්නකෝ...."
මං සංඥාව දීලා පෝන් එකේ සෙල්ෆි කැමරාව දාලා පොටෝ එකක් ගත්තා. අන්කලුත් යාන්තමට ඇස්වල තිබ්බ කඳුළු අතරින් හිනාවුණා.
" බොහොම ස්තූතියි කොල්ලෝ. මං මේක කාටහරි කියලා හිත නිදහස් කරගන්න බැරුව හිටියේ. ගොඩක් ස්තූතියි...."
අන්කල් එහෙම කිවුවා ම මං හිනාවුණේ කියන්න දෙයක් තිබ්බේ නැති හින්දා. මං ආයේ ඇඳට නැංගා. මටත් දුකක් දැනුනා ඇත්තට ම.
ඒත් මං හිතුවේ නෑ ඒ අන්කල් කතා කරපු අන්තිම වචන ටික වෙයි කියලා. මාත් ඇස් පියාගෙන ම මුළු රෑ ම අන්කල් ඉකිබිඳපු සද්දේ ඇහුවා. ඒක නැවැතුනා ම මටත් නින්ද ගියා.
.............................................................
සජියා මෙතනට ආපු ගමන් ඕක අහන හින්දා මං ටිකකට කලින් දිග මැසේජ් එකක් කොටලා තිබ්බා. ඒ මැසේජ් එක තමා ඒ සජියා කියෙව්වේ. ඒක මට දරාගන්න ම බැරුව හිටියේ. ඒ තරමට ම මට ලොකු ෂොක් එකක් වෙලා තිබ්බේ ඒක....
" මාරයි බං උඹටත් වැටෙන බාල්දි. මෙහෙන් හතර ගාතේ දාලා. එහෙන් අර වයසක ඩයල් එකත් එක්ක කතා කරලා ඌ මැරිලා. කට උත්තරත් ගනී ද උඹෙන්?"
සජියා ඇහුවා. මං දන්නෙ කොහොම ද? මං දන්නේ නෑ කියලා උරීස්ස හැකුළුවා.
" මේ, ඒක වැඩක් නෑ. මං උඹේ අර වැඩේ කතා කරන්න ගියා ඊයෙ."
සජියා කිවුවා. ඒත් මොකක් ගැන ද මු කියන්නේ මේ?
📱 "......මොකක් ගැන ද කියන්නේ......"
මං පෝන් එකේ කොටපු මැසේජ් එක පෙන්නුවා.
" ඇයි බං මං අර කිවුවේ. Dance academy එකක් ගැන..."
අප්පා.... මූ ආයේ මතක් කරනකම් මට ඕක හාංකවිසයක්වත් මතක නැතුව හිටියේ. කොහෙ ද මේ අන්කල් පරලෝ සැපත් වුණ එක දැනගත්ත වෙලාවේ ඉඳන් මට පිස්සු වගේ.
📱 ".....කොහොම ද වැඩේ?......"
පෝන් එකේ screen එක දැක්කා ම නම් සජියගේ මූණ පොඩ්ඩක් වෙනස් වුණා.
" ඒක තමා බං ප්රශ්නේ. මං යද්දි සර්කාරයා ම මගේ මූණට හම්බුණා. මං පස්සේ උඹට වුණ දේ හීනියට කියලා දැම්මා. ඒත්...."
සජියගේ මූණ හොඳ නෑ. මොක ද කියලා මං අහන්න පොඩ්ඩක් ඔලුව හෙල්ලුවා.
" නෑ බං. මිනිහගේ කුකුල් කේන්තිකාරයෙක් හලෝ. ඌ කියාපි 'විහින් දාගන්න ලෙඩවලට අපි පලි ද?' කියලා.
මං කිවුවා ඉතින් උඹ හොඳ එකා, හොඳට නටනවත් එක්ක. පොඩ්ඩක් එයාට කාලයක් දෙන්න කියලා. ඒත් ඌ කැමති වුණේ නෑ. පස්සේ කියවලා කියවලා ම යාන්තමට උඹව ඇතුල් කරගත්තා."
සජියා කියාගෙන යද්දි පුදුම විදිහට මං ගැහුණේ මූ ගම කාගෙන ද කියලා. වෙලාවට නෑ. ඒකයි සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන් වුණේ.
" මේ, සැනසුණා වගේ නෙවෙයි. පරිස්සමෙන් පුතෝ... ඒ මිනිහට අහුවුණා කියන්නේ හරියට ගිරේකට අහුවුණා වගේ...."
සජියා බය කරන විදිහට හිතටත් මොකක්දෝ වගේ. බයෙත් බෑ ඒ පාර නම්....
කරන්න දෙයක් නෑ. එන දේකට මූණ දෙනවා. වෙන මොනවා කරන්න ද?
.............................................................
ඔන්න ඊළඟට ධනූෂගේ ක්ලාස් එක ගැන බලමුකෝ... මොකෝ හිතන්නේ කතාව ගැන?
ඊයේ බර්ත්ඩේ එකට විෂ් කරපු ඔක්කොට ම thank you....
😌චතූ...😊