හෙටත් හමුවෙමු(keti katha)
Shaviruni Nawarathneමන් හිටියේ මගේ තුන වසරේ හොඳම යාලුවා දිහා බලාගෙන.අවුරුදු ගාණකට පස්සේ දැක්ක නිසා නිකම්ම නෙවෙයි ඇස් දෙකත් ලොකු කරගෙන.
කා දිහාවවත් එහෙම කෙලිම්ම බලන් ඉන්න එක හරි නෑ කියල අම්මා පොඩි කාලේ ඉඳන් කොච්චර කිව්වත් මන් කරන්නෙම ඒක.ඒ පුරුද්ද හින්දා මන් වගේම අනික් මිනිස්සුත් නිතරම අපහසුවට පත්වුණත් මට ඒකට කරන්න දෙයක් තිබ්බෙ නෑ.මොකද මට ඒක නවත්තගන්න බැරිම වුණ නිසා.
ඒත් මෙයාට නම් ඒක ගාණක් තිබ්බේ නෑ වගේ..
නිල් පාට කොට කලිසමයි,සුදු ෂර්ට් එකයි කොල්ලටත් වඩා බර තඩිම තඩි බෑග් එකයි.එයා හිටියේ ඒකේ බරටම පිටිපස්සට නැවිලා වගේ.
ඒ වුණාට ඒ කාලෙත් මට හිනා ගිය විදියටම කටත් ඇරගෙන භාගෙට.ඒක නම් මොන ජාතියේ පුරුද්දක්ද මන්දා.හැම වෙලේම ඉන්නේ කට ඇරගෙන.සෙම හැදුණම වගේ.
එයා අන්තිමේට මගේ දිහා බැලුවම මට හිතුණා මගේ යාලුවා වෙනස් වෙලා කියල.මොකද එයා කා දිහාවවත් කෙලින් බලන කෙනෙක් නෙවෙයි.ඒ කාලෙත් පාරේ තොටේ විස්තර එයාට කියන්නෙ මන්.එයා පාරේ යද්දි කරන්නෙ කටත් ඇරගෙන එක එක විකාර හිත හිත යන එක නිසා එයා කවදාවත් ඒ මොනවත්ම දකින්නෙ නෑ.
ඒ පොඩි කොල්ලා එක්ක හිනාවෙන්න ඔන්න මෙන්න තියෙනකොටම මගේ ෆෝන් එක වයිබ්‍රේට් උනේ මාවත් ගැස්සිලා යන්න.
මන් ගැස්සිලා ගියේ ඒකෙ සද්දෙට නෙවේ.ඒ සද්දෙන් මාව ආපහු අවුරුදු දහ නවයට ඇදලා ගත්ත හන්ද.
මට වයස දහ නවය නම් මගේ යාලුවා තාම නිල් පාට කොට කලිසම ගහන් ඉස්කෝලේ යන පොඩි හොටු කොල්ලෙක් වෙන්න බෑනෙ.
මට මන් හිතුව දේවල් ගැන ලැජ්ජත් හිතුණා.විභාගේ ළඟ එන නිසා දැන් මොලේ විකාර වෙලාද කොහෙදෝ.පේන්නෙම විකාර.
ඒත් දැන් අර පොඩි කොල්ලා මගෙන් පළි ගන්න වගේ කටත් ඇරගෙනම මගේ දිහා බලාගෙන.
මන් එයාට පොඩ්ඩක් හිනාවෙලා ජනේලෙන් එළිය බලාගත්තා.
මදැයි අවුරුදු දහයකට පස්සේ යාලුවව දැක්කා කියලා සතුටු වුණා.
අපි ඉස්සර හිතන් හිටියේ අපි හැමදාටම එකට ඉඳී කියල.ශිෂ්‍යත්වෙන් පස්සේ අපි එක එක ඉස්කෝලවලට යනවා කියලා අපි දැනගෙන හිටියත්,අපි හිතුවේ අපි පාරෙදි හරි හම්බෙයි කියල.ඉස්කෝලේ යනකොට හැමදාම හවසට හරි උදේට හරි.නැත්තම් අහම්බෙන් ටවුමෙදි හරි.එහෙමත් නැත්තම් අඩු තරමේ ගෙදර මිදුලෙ ඉන්නකොට හරි දකිවී කියල.
ඒත් දැන් අන්තිමට දැකපු දවසයි අද දවසයි අතරෙ අවුරුදු දහයක පරතරයක් හැදිල.
අපේ අම්මා අවුරුදු දෙක තුනකට කලින් කිව්වා ඌ දැන් පිස්සු නටනව කියලා එයාගේ අම්මා කිව්වා කියලා.ඒත් ඒ කටත් ඇරගෙන ඉන්න,ළඟ සල්ලි තිබුණොත් මට හැමදාම පහේ අයිස් එකක් අරගෙන දෙන කොල්ලට පිස්සු නටන්න පුලුවන් කියලා මන් හිතුවෙම නෑ.
දවසක් එයා අතින් මගේ මූණේ පුටුවක් වැදුණා.අම්මා සිය පාරක් විතර ඇහුවත් මන් කිව්වෙම නෑ කවුද කරේ කියලා.අන්තිමේදී අයියා කිව්වා ඒ පුටුව වැදෙනවා එයා දැක්කයි කියලා.ඊට පස්සේ අයියා අපේ ඉස්කෝලෙට එන්න විදියක් නැති බව නොදන්න තුන වසරේ මෝඩ මම ඔක්කොම විස්තරේ අම්මට කිව්වා.හැබැයි ඒ කිව්වේ අඬ අඬා.
තව දවසක් එයාගෙ හැන්ද ස්කූල් වෑන් එකෙන් බිමට වැටුණා කියලා කෑ ගහලා ඇඬුවා.අන්කල් වෑන් එක නවත්තලම ගිහින් ආපහු ඒක අරගෙන එනකල්ම ඇඬුවා.
එයා තුන වසරේ ඉන්නකොට තඩී පොල් අකුරෙන් ලියලා මට දීපු ලොකු වෙසක් කාඩ් එක තාම මන් ළඟ තියෙනවා.එයා එහෙම ලොකු කාඩ් එකක් දුන්නෙ මටයි පන්තිභාර ටීචටයි විතරයි.මන් ඒකට එදා සතුටු වුණේ නැතිවුණාට දැන් නම් මතක් වුණාම සතුටුයි.ඒ කාලේ මන් සෑහෙන්නම මෝඩ මන්දබුද්ධික කෙල්ලෙක් වෙන්න ඇති කියලා ඒ කාලෙ කරපුව මතක් උනාම මට සෑහෙන්න හිතෙනව.ඒ අතින් එයා හරි හොඳයි.මගෙ හොඳම යාලුවා වෙලා හිටියනෙ.
ආයෙමත් අර පොඩි එකා දිහා බලනකොටත් ඌ මගේ දිහා කට ඇරන් බලාගෙන.
අපේ අම්මා මට පිටිපස්සේ සීට් එකේ ඉඳන් ඇඟිල්ලෙන් ඇන්නා.
"අර පොඩි එකෙක් ඉන්නේ කණුව ළඟ හිටගෙන.ඒ චරිත්ගේ මල්ලි"
"සිරාවට.ඒ වගේමයි නේ"
එහෙනම් ඒක තමයි එයා එච්චරටම චරිත් වගේ පෙනුණේ.
අර කොල්ලා දිහා බලාගෙන ආපහු පුංචි කාලෙට ගිහින් ඉන්නකොට තව කවුරුහරි මගේ දිහා බලන් ඉන්නවා කියලා මට හිතුණත් මන් ඒක ගණන් ගත්තේ නෑ.
අර බෑග් එකේ බරටමද කොහෙද අර පොඩි කොල්ලා බස් එක එක පාරට බ්‍රේක් කරහම වැටෙන්න ගියා.ඒත් පිටිපස්සෙන් ආව අතක් එයාව වැටෙන්න නොදී අල්ලගත්තා.
ඒත් මට හරි පව් හිතුණා.
මන් නැගිටලා අම්මගේ අතට බෑග් එක දීලා අර පොඩි එකාට මගේ සීට් එක පෙන්නුවා.ඌ දුවගෙන ඇවිත් වාඩිවුණේ කලින් වෙච්ච අකරතැබ්බ එකක්වත් මතක නෑ වගෙයි.
මට දැනුණේ ඒ කාලේ එයා ගාණේ කෑව අයිස් ඔක්කොටම ණය ගෙව්වා වගේ හැඟීමක්.
කවුරුහරි මට එහා පැත්තේ ඉඳන් තට්ටු කරා.
"තැන්කිව් ඈහ්..ඕකව අල්ලගෙන යන්න ගිහින් මාත් වැටෙනවා තව පොඩ්ඩෙන්"
ඒක අපේ වයසේ වගේ කොල්ලෙක්ගේ කටහඬක්.කෙලිම්ම බලන පුරුද්ද කොච්චර තිබ්බත් මට කෙලිම්ම එයා දිහා බලන්න බෑම හිතුණා.
මට හරි අමුතු ලැජ්ජාවක් වගේ එකක් දැනුණා.
ඒත් මන් බලන්නම ඕන.
ඒත් ඊට කලින් අපේ අම්මා එයාගේ සීට් එකේ ඉඳන් කෑ ගැහුවා
"ආ පුතා"
කියලා.
එයත් ඔලුව නවලා "ආන්ටී" කියලා හෙමීට කෙඳිරුවා.
අම්මා දැන් මුලු බස් එකටම ඇහෙන්න කතා කරනවා.
"ආ..පොඩි කාලේ යාලුවෝ දෙන්නා කාලෙකින් නේ හම්බුණේ.කොහෙද නිකම් අඳුරන්නේ නෑ වගේනෙ ඉන්නෙ"
"ඒක තමා නේද ආන්ටී"
එයා නම් වෙනස් වෙලා වගේ.එයා කලින් කවදාවත් අපේ අම්මා එක්ක කතා කරනවා මන් අහලා නෑ.ඇරත් පහ වසරෙ පොඩි කොල්ලෙක්ට අපේ අම්මා එක්ක කතා කරන්න තියෙන්නේ මොනවද.
"ඒක තමා නේද ආන්ටී"
අපේ අම්මට එයා කිව්ව එක ඇහුණේ නෑ වගේ චරිත් ආයෙමත් කෑ ගහනවා.
මන් එයා පොඩි කාලේ මට අයිස් එකක් අරන් දුන්නම කරන වැඩේම කරා.එයාගේ අතට සැර පාරක් දීලා විරිත්තුවා මූණ දිහා බලාගෙන.
"හලෝ..හලෝ..මන් හිතුවෙ කතා කරන එකක් නෑ කියල"
එයා දැන් මට වඩා සෑහෙන්න උසයි.ඒ වගේම හරි ලස්සනයි.හරි වෙනස් වගේ.චරිත් කියන්නේ මෙහෙම බස් එකක් මැද්දේ කෑ ගහන කෙනෙක් නෙවේ.හැබැයි ඒ තුන වසරෙ චරිත්.මෙ ඉන්නේ වයස දහනවයෙ චරිත්.
අර හොටු පෙරන් කට ඇරන් හිටපු කොල්ලට පුලුවන්ද මේ වගේ කෙනෙක් වෙන්න.
මෙයා මෙච්චරටම ලොකුයි කියන්නේ මමත් වයසට ගිහින්නේ කියලා මට කල්පනා වුණා.එයා කොහොම වෙනස් වුණත් මොකද මමත් සෑහෙන්න වෙනස් වෙලානේ.
ඒත් ඒක යාලුකම්වල පරණ මතකවලට බාධාවක් නෙවේනේ..
ඒ නිසා මන් පොඩි කාලේ ස්කූල් වෑන් එකෙන් බැහලා යනකොට කරන විදියටම එයාගේ කකුල පාගලා එතකොටත් දොර ගාවට වෙලා මාව කන්න වගේ බලන් ඉන්න අම්මා ගාවට කිට්ටු වුණා.
එයත් ඒ කාලේ පුරුද්දටම වෙන්න ඇති.මන් බහින්න හදනකොටම හයියෙන් කෑ ගහල කිව්වා
"හරි.හෙට බලාගමු"
කියලා.
හෙටත් බලාගන්න තියෙනවනම් හොඳයිනේ කියලා හිතන ගමන්ම මන් එයාට හිනාවක් පෙන්නගෙනම බස් එකෙන් බැස්සා..
................................................................................................
ඇත්තටම අද බස් එකේදී පහ පොඩි කාලේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් දැක්කා..අප්පාහ් ඌ වගේමයි..
නොදැකීමේ කාලසීමාව ඇත්තටම අවුරුදු දහයටත් වැඩි නිසා මට එයාව මතක තිබ්බෙම නෑ.හැබැයි අර පොඩි එකාව දැක්කම ඉබේටම මතක් උනා මේ අරූ නේද කියල.
ඒ පොඩි එකා අපි එකට ඉස්කෝලේ යන කාලෙ අත දරුවෙක් නැත්තම් එක්ක්.ඔ ඉපදිලත් නෑ.කාලය මැව් වෙනසක අරුමේ ඉතිම්.
අරූව නම් පාරෙදි දැක්කත් අඳුරන්න බැරිවෙයි හැබැයි.මොකද එහෙම පාරෙදි හම්බ නොවී තියෙන්න විදියක් නෑ.ඒත් මට හම්බෙන්නෙත් නෑ.ඒ කියන්නෙ මන් දැන් එයාව අඳුරන්නෑ..
ක්ලාස්වලදි එ කාලේ එකට ඉඳපු යාලුවන්ව දකිනවා..මන් මූව දන්නවා යකෝ කියල විතරයි හිතෙන්නෙ..අන්තිමට කොල්ලොක් නම් එහෙම ඌ දිහා බලන් ඉඳල කර වෙනව.උන් දන්නෑනෙ මන් ඌව අර පොඩි කාලේ ඉඳිය හොටු කොල්ලට සමාන කරගන්න බැරුව බලන් ඉන්නෙ කියල.වෙන එකක්නේ හිතාගන්නෙ.
සුභ දවසක් ඉතිම්..අදහසක් දක්වගෙන යන්න කම්මැලි නොවී..😅💞
මං..
Shaviruni Nawarathne