වඩින තුරු සඳ-4

වඩින තුරු සඳ-4

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-3-09-04


"ආ එන්න එන්න වාඩිවෙන්න"

අම්මායි තාත්තයි වාඩි වෙද්දි මං හිටගත්තා.


"තනුදි ගම්ලත් නේද?"


"ඔව් සර්"


"ලකුණු 12යි. හොඳටම මදිනේ. දැන් බලන්න තව මාස තුනකින් ඒලෙවල්. ෆේල්නේ. කොච්චර මං මීට කලින් කියලා තියෙනවා ද ඔයාලාට? ඔයාලා උවමනාවක් ඇතුව ළමයා ගැන බලනවාද? ඔයා පන්තියේ අන්තිමයා නේද? බලන්න ඉතින් අම්මලා තාත්තලා ගුරුවරු වෛද්‍යවරු. ළමයා පන්තියේ අන්තමයා. මිස් ඔයා ළමයි කීයක ඔලු හැදුවත් වැඩක් නෑනේ ඔයාගේ ළමයා හැදුවේ නැත්තං. ඩොක්ටර් ඉතින් සල්ලි තියෙන නිසා ප්‍රයිවට් කැම්පස් දාලා උගන්නයි. ඒත් කවදාහරි කවුරුහරි ඇහුවොත් මොකක්ද කියන්නේ රිසාල්ට් එකට? ෆේල් කියන්නද? අනික බයෝ කියන්නේ A එකක් ගන්න අමාරු විෂයක් උනාට fail වෙන්න අමාරු විෂයක්. පොඩ්ඩක් කටපාඩම් කරගත්තත් S එකක් ගන්න පුලුවන්. මීට වඩා කතා කරලා වැඩක් නෑ. කාගෙද ඒලෙවල් ක්ලාස් යන්නේ?"


"රණතුංග සර්ගෙයි දිවාකර සර්ගෙයි තනුක සර්ගෙයි"


"ඔය ඉතින් රැල්ලට යනවා රෑන්ක් දාලා කියලා පෝස්ටර් බැනර් හෑන්ඩ්බිල් ගහන ගුරුවරුන්ගේ ක්ලාස්. කෝ දැන් කරගෙන තියෙනවා ද? ක්ලාස් යනවා කියලා මොන තූත්තුකුඩි වල යනවද කියලා කවුද දන්නේ. මොකද ඔය මිනිස්සුත් උගන්නන්නේ ලකුණු 12ක් ගන්න නෙවෙයි නෙ. පොඩ්ඩක් හොයලා බලන්න. මං ගාවට ආවා නම් අඩුම තරමේ C එකක් ගන්නවත් පුලුවන් කරලා දෙනවා. දැන් නම් ඉතින් මටත් වගකීමක් ගන්න බෑ මෙයා ගැන. ඊළඟ පාරවත් හරි පාරෙ යවන්න. "


එහෙම කියපු සර් පේපරය ආපහු අම්මා අතට දුන්නා.


"අනික් දේ තමා විනය."

පේපර් ගැන කියපු එකෙන්ම අද ගෙදර ගිහින් සබ්බුව හම්බෙනවා කියලා මට තේරුණා. දැන් කියන්න යන දේත් එක්ක නම් අද මං නොමැරී බේරුනොත් පුදුමයි.


"පන්තියේ ඉද්දි හැසිරීම නම් අන්තිමයි. පීරියඩ් එක වෙලාවේ නිදාගන්නවා. නෝට් ලියාගන්නේ නෑ. කතා කරනවා එපා කියද්දි. වෙලාවකට පන්තියේ නෑ. පීරියඩ් එක කට් කරනවා. ගෙදර වැඩ කරන්නෙ නෑ. ඉතින් විභාගෙට අඩු ලකුණු එන එක අහන්නත් දෙයක් නෙවෙයි නේ."


මයුර සර් කියවගෙන කියවගෙන යද්දි තාත්තා මං දිහා රවලා බැලුවා.


"තවත් එහෙනම් මට කියන්න දෙයක් නෑ. මොනවාහරි කරලා ඉතින් ලකුණු හදාගන්න."


"සර් මේ ලකුණු හදාගන්න විදිහක් කියන්න පුලුවන් ද?"


අම්මා ඇහුවා.


"මට එහෙම කියන්න බෑ ඉතින් පන්තියේ නෑනේ මෙයා. තත්ත්වයක් දන්නේ නෑනෙ මං මෙයා ඉන්න."


සර් කීවා.


"කෝ ඊළඟ එක්කෙනා එන්න"


සර් කීවේ අපි එතනින් යන්න ඕනේ කියලා හඟවන ගමන්.


දඩාස් ගාලා පුටුව පස්සට දාපු තාත්තා මාවත් ඇදගෙන එතනින් ආවා. වචනයක් කතා කරන්නේ නැතුව තාත්තා එහෙම්ම ආවෙ පන්තිභාර මැඩම්ගේ පෝළිමට.


"ආ එන්න එන්න වාඩිවෙන්න. මං මේ එනකන් බලන් හිටියේ"


දීප්ති මැඩම් කීවේ අපි පෝළිම ඉවර වෙලා මැඩම් ගාවට ආවට පස්සේ.


"දැන් මෙයාගේ පේපර්ස් දිහා බලන්නකෝ"

පේපර්ස් අම්මාගෙන් ඉල්ලාගෙන දිගාරින ගමන් කීවා.


" ලකුණු 3යි 5යි. මේ වගේ ලකුණක් ගන්නද මෙයාව මේ වගේ ලොකු ඉස්කෝලෙකට දැම්මේ? මේ බලන්න මේ එක ගානක්වත් හරියට හදලා නෑ. උත්තරය හරියට ආවත් වැඩක් නෑ මේ බලන්න කොහෙන් මේ ක්‍රම එනවද දන්නේ නෑ. භෞතික රසායනික පදනම් වලට සම්පූර්ණයෙන් පටහැනි විදිහට හදලා තියෙන්නේ. මොන ගණිත ක්‍රම පාවිච්චි කරලද දන්නේ නෑ. තමුන්ලා දෙන්නා දැන් ඉතින් මොනවා කරන්න හැදුවත් වැඩක් නෑ මොකද මම මේ තීව්‍රව බලන එක හොඳටම අඩු කරලා ලකුණු දීලා තියෙන්නේ. තීව්‍ර ව විභාගෙට බලන විදිහට බැලුවා නම් මේ පේපරේට බින්දුව තමා දාන්න වෙන්නේ. මුල ඉඳන් මං කීවා ක්ලාස් වලට එන්න කියලා මගේ මං මෙහෙම වෙන්න නොදී තියාගන්නම් කියලා. කෝ ඉතින් ගුරුවරයා ට වඩා ඉහළින් යනවානේ දෙමව්පියෝ. දැන් බලන්න මගේ පන්ති එන ළමයි. හැමෝටම ලකුණු 65න් එහා. විෂ්‍ය සාධක පැත්තකින් තියමු. විනය අතින් නම් මේ ළමයා පුදුම නැහැදිච්චකමක් තියෙන කෙනෙක්. කොයි වෙලේ බැලුවත් නිදි. පොත හිස්. මේ අවුරුදු දෙකටම තාම එකම පොතක් වත් ඉවර නෑ මං හිතන්නේ. වටේ ඉන්න යාලුවොත් ඇදගෙන කයිය ගහනවා. පීරියඩ් කට් කරලා මට පනස්වාරයකට වඩා අහු වෙන්න ඇති. අනික් දේ තමා එකපාරටම පන්තියෙන් එළියට යනවා. කාගෙන්වත් අහන්නේ නෑ. ගානක්වත් නෑ.මං මෙහෙම කීවට මුකුත් හිතන්නේපා තමුන්නැහැලා. මේ ළමයට මානසික ලෙඩක් තියෙනවා ද කොහෙද. පොඩ්ඩක් බලන්න තමුන් ඩොක්ටර් කෙනෙක්නේ."


තාත්තාගේ මූණ රතු වෙලා. තරහටද කොහෙද වෙව්ලනවා. අම්මා ඉක්මණට එතනින් නැගිටලා ආවා.


"තනුදි කොහොමද ඉතින්?" ත්‍යාග්‍යාගේ අම්මා ඇවිත් මගේ අතින් අල්ලාගත්තා.


"ඉක්මණට එන්න"


එහෙම කියපු තාත්තා වේගෙන් එතනින් ගියා. වෙනදට නම් තාත්තා ඔහොම කරන්නෙ නෑ. ඒත් අද නම් හොඳටම තරහා ගිහින්.


අම්මලා කතා වෙවී පැත්තකට වෙද්දි ත්‍යාග්‍යා මං ගාවට ආවා.


"මොකද තත්ත්වේ?"


"අතිශය භයානකයි"


මං කීවා.


" පළු යන්න බැන්නා බන්. දැන් නම් ගෙදර ගිහින් අම්මාගෙන් බැනුම් කෝටියයි."


ත්‍යාග්‍යා කීවා.


"අපේ තාත්තාටත් මල පැනලා හොඳටම. ගියා කඩාගෙන."


"අනේ මන්දා බන් මේ කරුමේ කවද ඉවර වෙයිද කියලා."


" හ්ම්ම්"


මං කීවේ අම්මලා දිහා බලලා.


වාහනේ ස්ටාර්ට් කරලා පාරට දාපු තාත්තා ලෑල්ලටම පාගලා ගියා. මාත් එක්ක තිබ්බ තරහා වාහනේ පිටින් යවන්නද කොහෙද එයා ගියපු වේගෙට තුන්පාරක්ම හැප්පෙන්න ගියා.


"තාත්ති තාත්‍ති හිමීට යං"


අම්මා කීවේ බයෙන් පාර දිහා බලාගෙන.


වෙනදට විනාඩි 20ක් විතර ගෙදරට එන්න යන ගමන එදා තාත්තා විනාඩි 10ක් යන්නත් කලින් ආවා.

බැහැපු ගමන් මිදුලේ තිබ්බ රත්මල් කෝටුවක් කඩාගත්ත තාත්තා වාහනේ පිටිපස්සෙ දොර ඇරලා මාව එළියට ඇදලා ගත්තා.


දිගට හරහට තාත්තා මට ගහන්න පටන් ගත්තේ මුකුත් නොකියා. ගහන්න ගහන්න මං එහෙම්ම හිටගෙන හිටියේ ඇස් දෙකෙන් කඳුලු පෙරාගෙන දිය ඇල්ල වගේ කඩාගෙන වැටෙද්දි.


" අනේ තාත්ති මොනවාද මේ කරන්නේ?"


අම්මා මායි තාත්තායි මැද්දට පැනලා ගහන පාරවල වලින් මාව බේරාගන්න දැඟලුවා. අන්තිමට ඒකෙන් වුණේ අම්මත් ගුටි කාපු එක.


කෝටුව පැත්තකට විසික් කරපු තාත්තා ගිහින් දොර ගාව තිබ්බ හාන්සි පුටුවේ වාඩි වුණා. අම්මා ඉක්මණට ගිහින් දොර ඇරලා මාවත් ඇදගෙන ගියා. උඩ තට්ටුවේ තිබ්බ මගේ කාමරේ දොර ඇරපු අම්මා මාව ඇතුළට දාලා යතුරෙන් දොර ලොක් කරලා යතුරත් අරන් ගියා.


කලබලේට සපත්තු ගලවන්නත් බැරි උන නිසා සපත්තු දෙක ගලවලා පැත්තකින් තිබ්බ මම එහෙම්ම ඇඳට වැටුනා. මුළු කකුල් දෙකම හිරි වැටිලා වගේ. සමහර තැන් දනවා.


ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ? මං කාට වැරැද්දක් කරාටද? ඉස්කෝලේ ගුරුවරු වද දෙනවා. ක්ලාස් ගියාම අර මිනිහා වද දෙනවා. ගෙදර ඉන්නත් නෑ මේ මිනිස්සු නිසා. අඬ අඬ කල්පනා කර කර හිටපු මම ජනේලෙන් එළිය බලාගත්තා.



කවුදෝ මගේ කකුල් අතගානවා දැනිලා මම නැගිට්ටා. දෙයියනේ මට නින්ද ගිහින්. ජනේලෙන් එළිය බලපු මට හොඳටම රෑ වෙලා කියලා තේරුනා. පස්සහ හැරිලා බලද්දී..............

----------------------------------------------------------

ඊයෙ දුන්නේ නෑ කතාව මොකද දැන් වැඩිය කවුරුත් කතාවට comment කරන්නේ නෑනේ. ඉතින් කතාව දාන්න තියෙන උද්‍යෝගයත් එහෙම්ම නැති වෙලා යනවා. අනික පොඩි ප්‍රශ්න වගයක් නිසා මට කතාවෙ ටෙලිග්‍රාෆ් එක හදන්නත් අමතක වුණා. ඊයේ උදේ lectures වලට යනකොට තමා මතක් උනේ. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු. පුළුවන් හැමෝම comment කරනවද please..? මොකද මට කියලා ඉතිරි වෙලා තියෙන්නේ ඒක විතරයි සතුටකට කියලා. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.

--විදූ

Report Page