වඩින තුරු සඳ-15

වඩින තුරු සඳ-15

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ - 15

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-14-09-25


කටහඬ ආපු දිහා බලද්දි අපි ගාව හිටන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි. ප්‍රින්සිපල් මැඩම්.

සර් එක්කම මාත් දඩබඩ ගාලා නැගිට්ටා.


"ඔව් මැඩම්. මේ ළමයා නිකන් හිටපු එකේ ඇදලා ගත්‍තා වැඩකට."


සර් කීවා.


"හොඳයි හොඳයි. පන්තියේ මුකුත් වැඩ නැද්ද මේ වෙලාවේ?"

මැඩම් මං දිහා බලාගෙන ඇහුවා. දෙයියනේ දැන් මොකද කියන්නේ? එහෙම හිතපු මම සර් දිහා බැලුවා.


"සර්ගෙන් නෙවෙයි මං ඔයාගෙන් අහන්නේ."


මැඩම් මං දිහා බලාගෙන කීවා.


මොකද කරන්නේ? කියනවද නැද්ද? මං දෙලොවක අතරමං උනා. කීවොත් මැඩම්ගෙන් බේරෙන්න පුළුවන් ඒත් මයුර සර්ව මාට්ටු කරලා දුන්නු එකට බේරෙන්න වෙන්නෙ නෑ. නොකීවොත් දැන් ම පරිප්පුව සෙට් වෙනවා. කවුද හිතුවෙ මෙයා මේ වෙලාවෙම එයි කියලා. අනික නොකියා හිටියොත් අපේ සර්ටත් බැනුම් අහන්න වෙයි.


"මොකද කතා නැත්තෙ?"


මැඩම් ඇහුවා. ඔන්න ඔහේ වෙන රෙද්දක් උනාවේ. එහෙම හිතපු මං පන්තියේ වෙච්ච හැමදේම කියල දැම්මා. ඊටපස්සෙ මෙතන වැඩ සෙට් වෙච්ච විදිහත් කියලා දැම්මා.


"ඇත්තද සර් මේ කියන්නෙ?"


මගේ කතාව අහලා මැඩම් සර්ගෙන් ඇහුවා.


"පන්තියේ ඇතුළෙ වෙච්ච දේවල් නම් මං දන්නේ නෑ. ඒත් රෙජ්ස්ටරේ ගන්න මං පන්තියට ගියා. ඒ වෙලාවෙ මෙයා දණ ගහගෙන හිටියෙ. එතන ඉඳලා වෙච්ච දේවල් නම් ඔක්කොම ඇත්ත."


"ඔය ළමයා ගැන මට දැන් නම් පැමිණිලි සෑහෙන ඇවිත් තියෙනවා. තාරක සර් මොකද කියන්නේ මෙයා ගැන?"


මැඩම් ඇහුවා. දැන් හරි බඩු. කොපි කරා කියලා කියයි දැන්. එයාගෙ එක්කෙනා ව බේරාගෙන.


"ඒ කම්ප්ලේන් වල ඇත්ත නැත්ත නම් මං හරියට දන්නේ නෑ මැඩම්. ඒත් පන්තිය බාරගත්‍තු දවසේ ඉඳලා අද වෙනකම් නම් මට කියන්න තරම් ලොකු වැරැද්දක් පෙනුනේ නෑ. හැම ළමයාගෙම තියෙන පොදු වැරැදි තමා තියෙන්නේ. පොඩි පොඩි නට් ලූස් වැඩ කරනවා. ඒවා ඉතින් හැමෝටම යුනික් දෙයක් නේ."


ඒ කතාවට නම් මැඩම් පුදුම වුණා. මැඩම් විතරක් නෙවෙයි මාත් පුදුම වුණා. මොකද මං බලාපොරොත්තු වෙච්ච විදිහේ උත්තරයක් නෙවෙයි නෙ සර් දුන්නේ.


"මේ ළමයා ගැන කාලෙකට පස්සෙ අදයි මං හොඳක් ඇහුවේ. හැබැයි සර්, සර් හිතනවද ෆීල්ඩ් එකේ සෑහෙන අත්දැකීම් තියෙන ගුරුවරු දෙතුන්දෙනෙක්ම කීව කතාවට ෆීල්ඩ් එකට අලුතෙන් ආපු ගුරුවරයෙක් කියන කතාවෙන් ගහන්න පුළුවන් වෙයි කියලා?"


මැඩම් ඇහුවේ සර් දිහා අවඥාවෙන් බලලා හිනා වෙන ගමන්.


"නෑ මැඩම් කොහොමටවත් එහෙම කියන්නෙ නෑ. අපි බලමු ඉතින්."


සර් කීවා.


"හොඳයි හොඳයි. මාත් හිතනවා සර් ඔය හිතන විදිහට ම දිගටම ඉඳී කියලා. හැබැයි සර්. මං එක දෙයක් කියන්නම්. තව මාසයක් යන්න කලින් සර් එනවා මේ ළමයා ගැන නරකක් මට කියන්න. සර් ආවෙ නැත්තං..... මං බය නැතුව කියනවා. සර් තරම් ළමයෙක්ව මෙල්ල කරගන්න පුළුවන් කෙනෙක් මේ සෙක්ෂන් එකටම නෑ කියලා. සෙක්ෂන් එකට විතරක් නෙවෙයි. මේ ඉස්කෝලෙට ම නෑ කියලා."


මැඩම් කිව්වා. ඒ කතාවෙන් නම් මට සර් ගැන ලොකු දුකක් ආවෙ. මොකද මාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න? සර් මාව කන්ට්‍රෝල් කරන්න? ඒක නම් වෙන්නෙ නැති වැඩක්.


"එහෙනම් සර් මං යන්නම්. වැඩේ කරගන්න"


එහෙම කියපු මැඩම් එතනින් ගියා.


මැඩම් ගියාට පස්සෙ මං සර් දිහා බැලුවා. ඇස් දෙකම එකපාරට පුංචි කරපු සර් යන්තම් හිනා වුණා. හරියට 'ගණන් ගන්න එපා' කියනවා වගේ.


"ඕක බොන්න."


සර් තේ එක පෙන්නල කීවා.


තේ එක අතට ගත්තත් මගේ හිතේ තිබ්බෙ සර් කියපු කතාව ගැන. වෙනදා ඕකක් වුණා නම් අර ඩබල මාව එල්ලලා දාලා. ඒත් මෙයා... මෙයා සම්පූර්ණයෙන් කතා කරේ මගේ පැත්තට. අනේ මන්දා මොන විදිහෙ කෙනෙක්ද කියලා. වෙලාවකට මගේ පැත්ත ගන්නවා. තව වෙලාවකට මට විරුද්ධව හිට ගන්නවා. පුදුම මිනිස්සු.


තේ එක බීලා ඉවර වුණාට පස්සෙ අපි ආපහු වැඩ පටන් ගත්තා. ඔක්කොම වැඩ ටික කරලා ඉවර වෙද්දි ඉස්කෝලේ ඇරෙන්න තව විනාඩි 10ක් විතර තිබ්බේ.


"එහෙනම් ඕයි තෑන්ක්ස් හොඳේ. දැන්ම පන්තියට යන්න බෑනේ. බෙල් එක ගහලා ඉවර වෙලා සර් යනකන් ඉඳලා පන්තියට යන්න."


සර් මට කීවා.


හිතේ තෙරපි තෙරපි තිබ්බ ප්‍රශ්නයක් අහනවද නැද්ද කියලා මං හිත හිත හිටියේ. අන්තිමට ඕනේ රෙද්දක් වෙන්න කියලා ඇහුවා මම.


"සර් මේ පොඩි ප්‍රශ්නයක්"


ඒක අහපු සර් ආපහු හැරිලා ආවා.


"මොකක්ද?"


"නෑ සර් මේ ඇයි මට බැන්නේ?"


"බැන්නේ? කොයි වෙලේද?"


දන්නේ නෑ වගේ අහන හැටි.


"ඇයි සර් උදේ පේපර් එක වෙලාවෙ? අර කොපි කරා කියල බැන්නෙ?"

සර් මං දිහා ඇස් පුංචි කරලා බැලුවා.


"ඉතින් බැන්නෙ වැරැද්දක් කරපු නිසා."


"මං වැරැද්දක් කරේ නෑනෙ සර්?"


"ඔයා තාමත් එහෙමද හිතන්නෙ?"


"ඔව් සර් මං වැරැද්දක් කරේ නෑ...."


"හොඳට කල්පනා කරලා බලන්න දරුවෝ. ඊටපස්සෙ අපි ඕක ගැන කතා කරමු."


මගේ කතාවට බාධා කරපු සර් කීවා.

තවදුරටත් මං මුකුත් නොකියා හිටියෙ මේ යකා මොන වගේ සතෙක්ද කියලා හිතාගන්න බැරුව.


විනාඩි කීපයකට පස්සෙ බෙල් එක ගැහුවා. බයෝ සර් යනකන් බලන් හිටපු මම පන්තියට ගියා.


"ඔයා කොහෙද හිටියේ?"


තත්සරණි මගෙන් ඇහුවා.


"කෙමිස්ට්‍රි ලැබ් එකේ. ඇයි මොකද වුණේ?"


"කෙමිස්ට්‍රි ලැබ් එකේ? ඒකෙ මොනවාද කරේ? එක්පෙරිමන්ට් එකක්වත් කරාද?"


මේධනා ඇහුවෙ හිනාවෙන ගමන්.


"නෑ බන්. අපේ සර්කාරයා එක්ක මොකක්දෝ වැඩක් කරා."


"සර්කාරයා? කොයි සර් කාරයාද?"


"අපේ එකා බන්."


"හරි ඉතින් මොකක්දො කරා කියන්නෙ? කරපු වැඩේ උඹ දන්නෙ නැද්ද?"


ත්‍යාග්‍යා ඇහුවා.


" නෑ නෑ මේ මොකක්ද මන්දා ඉලක්කම් වගයක් excel sheet එකක ටයිප් කරා. අපේ පන්තියේ එකක්"


"ලකුණු වෙන්න ඇති වාර විභාගේ"


"පිස්සුද බන් මගේ නම ඉස්සරහින් 37යි කියලා දැම්මා."


"ලකුණු වෙන්න ඇති"


තත්සරණි කීවා.


"නෑ නෑ බන් මගේ ඔක්කොම ලකුණු එකතු කරත් 37ක් එන්නෙ නෑ. විකාර කියවන්න එපා."

"එහෙනම් ඊයේ ෆිසික්ස් පේපර් එකේ ලකුණු වෙන්න ඇති."


ත්‍යාග්‍යා කීවා.


"මෙච්චර ඉක්මණට ඒවා බලලා ඉවර කරන්න බෑනේ. අනික බැලුවත් දෙවෙනි කොටසෙ ලකුණු දායිද පළවෙනි කොටස නැතුව?"


මේධනා කීවා.


"පළවෙනි කොටසත් තියෙනවා ද?"


මං ඇහුවෙ පුදුම වෙලා.


"අහ් උඹ කඩාගෙන බිඳගෙන ගියානේ. සර් කීවා හෙට කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකම තියෙනවා කියලා. බයෝ සර් එන්නෙ නැති කතාවක් කීවා. ඒ නිසා වෙලාවත් ඉතිරි වෙයි කීවා."


"අනේ මොන මගුලක්ද බන් මේක?"


මං කීවෙ කළකිරිච්ච විදිහට. ඇයි අනේ පේපර්ස් ලියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි.

සර් පන්තියට ආපු එකෙන් අපේ කතාවට බාධා වුණා. පන්තිය පුරාම බැල්මක් දාපු සර් තත්සරණි ගාවට ආවා.

"දූ අද ඔයා රෙකෝඩ් බුක් එක අරන් ගිහින් පොලිතින් එකක් දාගෙන එන්න පුළුවන් ද? මම රෙජිස්ටර් එකට දාගෙන එන්නම්"


සර් ඇහුවා.


"හරි සර්"


තත්සරණි එක පාරටම කීවා.


ජත්‍ත මානවක ගාථා කියපු අපි බෙල් එක ගැහුවට පස්සෙ අතුගාන්න පටන් ගත්තා. සර් ඒ වෙලාවෙ ළඟ හිටපු නිසා අපිට කිසි දෙයක් කතා කරගන්න බැරි වුණා. අතුගාලා ඉවර වෙලා පන්තියෙන් එළියට බැස්ස අපි ආපහු කතා කරන්න පටන් ගත්තා.

----------------------------------------------------------

ළමයි ඔන්න මේ කතාවේ views 1000 පැන්නුවා. ඒ ගැන විස්තරයක් ඊළඟ කොටසින් කියන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.

Report Page