පසුතැවීම(keti katha)

පසුතැවීම(keti katha)


by Shaviruni Nawarathne







මිනිස්සු........

හැඟීම් වලට වහල් වෙනවලු...

හැඟීම් වලට යටයිලු....

ඒත් හැමදෙයක්ම කාලයට යටයිලු....

හැඟීමුත් එහෙමලු...

කාලෙත් එක්ක වෙනස් වෙනවලු...


ඒ නිසා වෙන්න ඇති..මට දැන් ලොකු පසුතැවිල්ලක් දැනෙන්නේ..මාව පිච්චෙන්නේ...එදා ඒ කරපු දේ ගැන මට තිබ්බ හැඟීම කාලයත් එක්ක වෙනස් වුණා..


ඒ දෙයින් පස්සෙ මුල්ම තත්පරේ මට හීනි සතුටක් ඇතිවුණා..


මන් එයාව අතෑරියා...ඔව් මන් එයාව අතෑරියා.. තත්පර දහයකට විතරයි..කාටවත් නොපෙණුන,අදටත් මගේ හෘද සාක්ෂිය විතරක්ම දන්න තත්පර දහයක්..ජීවිතේ වෙනස් වුණ තත්පර දහය..

නෑ වෙනස් කරගත්ත තත්පර දහය..විහින් වෙනස් කරගත්තේ..


ඇත්තටම ඇයි මන් එහෙම කරගත්තේ...ඇයි...ඇයි...

මන් දන්නෑ...

හැමදේකටම හේතු තියෙනවලු..

ඒත් ඒ දේට හේතුවක් තිබ්බද..

ඔව්......

ඒ දේට හේතුවුණේ හැඟීමක්..

මේ ලෝකේ තියෙන නරකම හැඟීම...

ඒක ඇතිවෙන්නෙ මේ ලෝකෙ තියෙන ලස්සනම හැඟීම නිසා.


නරකම දේවල් උපදින්නෙ ලස්සනම දේවල් වලින් තමයි..


ලෝකෙ තියෙන නරකම හැඟීම මොකක්ද..


ඊරිසියාව..


හැදුණොත් හොඳ කරගන්න අමාරු පිළිකාවකටත් අන්ත රෝගයක්..අප්‍රසන්න හැඟීමක්..ලෝකෙන්ම අපිව කොන් කරන,අපිව හොඳ දේවල්වලින් ඈත් කරවන අප්‍රසන්නම හැඟීමක්.


එතකොට ලස්සනම හැඟීම............


ඔව්..ඒක විඳිනකොට හරිම ලස්සනයි..හැබැයි විඳවනකොට හරි වේදනයි...


අපි හැමෝම එක පාරක් හරි විඳින හැඟීමක්...ඒක පාර්ශ්විකව හරි විඳින දෙයක්..ඒ වගේම හුඟක් අය එකම එක පාරක් හරි විඳවනවා ඒක නිසා...


ඒ ආදරේ..


මම ඒක වින්දේ ඒක පාර්ශ්විකව...


ඒත් මම තාමත් විඳවනවා..ඒක නිසාම


මන් පොඩි කාලේ ඉඳන් අම්මට තාත්තට හුඟක් ආදරේ කරා...හැබැයි ඒක පාර්ශ්විකව...එහෙම හරි මන් ඒ ආදරේට හරි ආසා වුණා..ඒක තිබුණෙ මගේ පැත්තෙන් විතරක් වුණත්..මන් ඒකට ආස වුණා..


මගේ පවුල අහසක් නම්..........ඒ අහසේ හඳවු ණේ මගෙ අක්කා..මන් එයාට ආදරේ කරත් ඒ හඳ කවදාවත්ම පොළවේ තිබුණ මේ දිරාගෙන යන ගහ දිහා බැලුවේ නෑ..


හඳ කාටත් වෙනසක් නැතුව එළිය බෙදනවලු..


ඒත් මේ හඳ නම් එහෙම හඳක් නෙවෙයි...


ඒත් මේ දිරාගෙන යන ගහට පොඩිම හරි සැලකිල්ලක් සාත්තුවක් ලැබුණා නම් ඒකත් ඒ හඳේ එළිය නිසාම තමයි..


එයා හරි වෙනස් කෙනෙක්..


එයා වෙලාවකට අම්මත් එක්ක රණ්ඩු වෙලා මට දේවල් අරගෙන දෙනවා..

ඒ ගොල්ල එක්ක කට කැඩෙනකම් කතා කරලා මට මගේ නිදහස අරන් දෙනවා..


වෙලාවකට එයාම මගේ නිදහස නැති කරනවා..එයාම තාත්තට ගතු කියලා මට ගස්සවනවා..මාව අඬවනවා..


මන් හිතන්නෙ එයා හඳක් නෙවෙයි..


වෙලාවකට දිලොසෙන,වෙලාවකට එළිය නිවාගන්න තරුවක්...


මට එයාව තේරුම් ගන්න පුලුවන් උනේ නෑ..


සරිත් ටත් පුලුවන් වුණේ නෑ..සරිත්ට අපි දෙන්නවම තේරුම් ගන්න බැරිවුණා.එයා අපි දෙන්නටම ආදරේ කරාද..එහෙම නැත්තම් අපි දෙන්නවම විහිලුවකට ගත්තද...එහෙම නැත්තම් එයා එහෙම කිසිම දෙයක් නොහිත අපිට ළං වුණාද කියලා මන් දන්නෑ..


එයා අපිට ළං වුණා..


අපි එයාට ආදරේ කරා..


එයා අපි දෙන්නගෙන් වැඩියෙන්ම ආදරේ කරේ කාටද කියලා මන් තේරුණේ නෑ..මමත් එයාව තේරුම්ගත්තේ නෑ..අක්කත් එයාව තේරුම් ගත්තේ නෑ..


අපි හැමෝටම අපිව තේරුම් ගන්න බැරිවුණා..ඒකනේ අපි හැමෝම මෙහෙම අපිටවත් නොතේරෙන තැන්වල හිරවෙලා ඉන්නේ.


ඒත් හැමදාමත් හැම දෙයක්ම වැඩියෙන් ලැබෙන්නෙ අක්කට නිසා මන් හිතුවා සරිත්ගේ ආදරෙත් අයිතිකාරි එයා වෙන්නැති කියලා..


මන් එහෙම හිතුවෙ ඇයි කියලා දන්නෙ නෑ...ඒක මගේ හිතලුවක් වුණත් මට ඒක හිතලුවක් විතරක් වුණේ නෑ..මන් හැමවෙලේම දැක්කෙ සරිත් අක්කා එක්ක ඉන්න විදිය..එයා මගේ එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න වෙලාවටත් මට හිතුණේ එයා අක්කා දිහා බලන් ඉන්නවය කියලා..


මන් දැක්කේ නෑ එයා මගේ දිහා බලපු විදිය..අක්කා දිහා බලන විදිය විතරමයි දැක්කේ.


ඒකේ ප්‍රතිඵලය වුණේ ආදරයෙන් ඉපදිච්ච දරුණු ඊරිසියාවක්..

අක්කා මට ලැබෙන්න සලස්සපු හැම දෙයක්ම මට අමතක වුණා.


මට මතක් වුණේ එයා මට කරපු නරක දේවල් විතරයි..


මිනිස්සු වැඩිපුරම දකින්නෙත් මතක තියාගන්නෙත් නරක දේවල්..


මන් මගේ අක්කට කරපු ආදරේ යට කරගෙන ඊරිසියාව දලුලන්න ගත්තා..


ඒ නිසයි මන් එදා එයාව අතෑරියේ..


සරිත් එදත් අපේ ගෙදර ඇවිත් අක්කත් එක්ක තනියමත් කතා කර කර ඉඳලයි ගියේ.මට දැනුණේ මාව පිච්චෙනවා වගේ..දිරච්ච ගස් වලට ඉක්මනින් ගිනි ඇවිලෙනවා..මමත් ඒ වගේ වුණා.


එදා මම සාලෙන් මගේ කාමරේට යනකොට යන්තමට අක්කගේ කාමරේ දිහා බැලුවා..හරිනම් ඒක වාසනාවක් වෙන්න ඕන..ඒත් මන් ඒක අවාසනාවක් කරගත්තා..


මන් දැක්කේ මගේ අක්කා ජිවිතේ නැති කරගන්න හදන විදිය..බෙල්ලට දාගෙන බාල්කේ එල්ලපු කඹේකින් එයාගේ ජිවිතේ මිරිකෙන විදිය..


එයා දඟල දඟල හිටියේ බේරෙන්න..ජීවිතේ අතාරින්න කොහොම හිතුවත් අවසානෙදි ඕන කරන්නෙම අල්ලගෙන ඉන්න..


මට ඒවෙලේ හිතුණේ එයාගේ ජීවිතේ බේරගන්න විතරයි..


මන් දුවගෙන ගිහින් එයාගේ කකුල් දෙකෙන් ඉස්සුවේ මන් එහෙම කරන එක හොඳයි කියලා අහලා තිබ්බ නිසයි..එයාව උස්සන එක මට කොච්චර අමාරු වුණත් මන් අල්ලගෙන හිටියා..


ඒත්..............


ඒත්.....................


මිනිස්සුන්ගේ හිත ඇතුළේ ඉන්න නරකම රාක්ෂයා ඇහැරෙන්න යන්නෙ තත්පරයයි..ඒ වගේම එයා රැඳිලා ඉන්නෙත් බොහොම ටික වෙලාවයි.


ඒත් ඒ බොහොම ටික වෙලාව බොහොම නරක වෙලාවක් උනා මට...


මන් එයාව අතෑරියා...


මන් ඒක කරේ කොහොමද ..........මන් අදටත් දන්නෑ....


හිතේ පැසව පැසව පිච්චි පිච්චි තිබුණ ඉරිසියාව පුපුරලා ගියා...


එක තත්පර දහයකට සරිත්ගේ ආදරේ අදින් පස්සෙ මගෙම විතරයි කියලා හිතන මොහොතකට මන් එයාව අතෑරලා දාලා තිබ්බා.


තත්පර කීපෙකින් මන් ඇහැරුණා..මන් ඒ හැඟීම්වලින් මිදුණා..ඒත් අක්කා තවත් දඟලන වගක් මට පෙනුණේ නෑ..ඒත් මන් ආයෙම එයාව උඩට ඉස්සුවේ මහ හයියෙන් කෑ ගහගෙන අඬාගෙනමයි.


අම්මත් තාත්තත් ආවට පස්සෙ මොනවා මොනවා හරි වුණා මතක යන්තමට විතරයි.


ඒ හඳ නිවිලා ගියා.අහසම,මුලු ලෝකෙම අඳුරු වුණා..


ගිනි අරන් තිබ්බ දිරච්ච ගහ අලුවෙලා කඩාගෙන වැටුණා..අදටත් ඉතුරු ඒ අලු ටික විතරයි..අලුතින් පැළයක් එන්නේ නෑ එතනින්.


හැමෝම හිතුවේ මන් හරි හොඳ කෙනෙක් කියලා..අක්කව බේරගන්න හදලත් මට බැරිවුණ එක ගැන එයාල දුක් වුණා...අම්මා වුණත් මාව බදාගෙන ඇඬුවා..


ඒත් මම තමයි එයාව අතෑරියේ කියලා ඒ කවුරුවත් දැනන් හිටියේ නෑ..


අක්කයි මමයි විතරයි ඒක දන්නේ..


අක්කා දැන් නෑ...


අක්කා මේ ලෝකෙන් ගියපු හේතුව මට අදහගන්න බැරිවුණා..


එයා යන්න ගියේ එයාගේ ආදරේ , ආදරය කරන්නෙ එයාගේ නංගිට නිසාලු...


එයාට සරිත් නැතුව ඉන්න බැරිලු..ඒත් ලබාගන්නත් බැරිලු....නංගිටත් සරිත්ටත් සතුට පතල එයා වෙන්වෙලා යනවලු...


මන් එතකොට....................................


මන් මොනතරම්...............පහත් කෙනෙක්ද...................


අක්කා එක්ක බලනකොට.............


මන් එයාගෙන් පළිගන්නකොට එයා වෙන්වෙලා ගියා...


මන්................මහ.....................ජරා.................කෙනෙක්...................මන් ජීවත් වෙලා ඔයා යන්න ගියේ ඇයි අක්කේ.................


මන් හරියට දැක්කේ නෑ..තේරුම් ගත්තේ නෑ..මන් ඊරිසියා කරේ බොරුවට.අහේතුකව..මගේ අක්කව බේරන්න පුලුවන්කම තියාගෙන එයාට මැරෙන්න ඇරියේ කිසිම හේතුවක් නැතුව..


මාව එහෙම දැක්කේ මන් විතරයි..


අනික් හැමෝම හිතුවේ මන් හොඳ කෙනෙක් කියලා..


අක්කව බේරගන්න උත්සහ කරපු කෙනෙක්...හොඳ නන්ගියෙක්....හැමෝම කිව්වේ අනේ පව් ඒ ළමයට මොන දුකක් ඇත්ද කියලා....


මන් හිටියේ පිච්චෙන ගමන්..මගේ වරද නිසා..මට ඕනවුණා මැරෙන්න..


ඒත් මන් අදටත් ජීවත් වෙනවා..මැරෙන්න බැරි නිසා..අම්මයි තාත්තයි අක්කගේ මරණෙන් පස්සේ මාව රැක්කේ හිතාගන්න අමාරු විදියට..


මට මැරෙන්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ එයාලා..


ඒත් මට මැරෙන්න ඕනවුණා..


සරිත් හැමදේම අතෑරලා අලුතින් පටන් ගන්න රට ගියා..


මන් තනිවෙලා..මන් තනිවෙන්න ඕන..ඒක සාදාරණ වැඩි දඬුවමක් ඇත්තටම...මට වෙන්න ඕන ඊටත් වඩා දෙයක්..


ඇත්තටම මන් මැරිලා යන්නයි ඕන..මන් අද ජීවත් වෙන්නෙ මට මැරෙන්න බැරි නිසා..කවුරුවත් වෙනුවෙන් නෙවෙයි...එයාලා මට මැරෙන්න දෙන්නෙ නැති නිසා..


හිත හදාගන්න කාට උදව් කරත්,මොන දේ කරත් මට ඒ දේ කරන්න බැරිවුණා...


මට තාමත් ඕන කරන්නේ ඒ දේ...


මට ලැබුණ දඬුවම මදී....


ඒකයි මන් තාමත් පිච්චෙන්නේ...


කවදමහරි මන් කරපු හැමදේම එළිවෙනවනම් මට සහනයක්..

ඒ දවස කවදා වෙයිද මන් දන්නෑ...


මන් එතකන් ජීවත් වෙනවා....


පිච්චි...පිච්චි...


මැරෙන්න බැරි කමට.




.....................................................................................................................................................................................



තමන් කරපු ලොකු වැරද්දකට දඬුවමක් නැතිකොට ඒක දරාගන්න අමාරුයි..නේහ්....දන්නවත් ඇති...ඉස්කෝලේ පීරියඩ් එකක් කට් කරනවා වගේ වැරදි නෙවේ..ලොකු වැරදි..

කවදාවත් හේතු හොයන්නෙ බලන්නෙ නැතුව කිසි දෙයක් කරන්න හොඳ නෑ..අඩු තරමේ හැඟීමක් ඇති කරගන්නවත් හොඳ නෑ..

තිත් පේළිය දැම්මට පස්සෙ සීරියස් වුණාමද කොහෙද..


කොහොමහරි....


හිත සතුටු වෙන්න ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ එහෙනම්.(එච්චරක් කිව්වම ඇති කියල හිතුණ)ප්ලීස්..🙂

කියවනකොට මන් කවුද කියල නම් තේරෙන්නැති සමහරවිට ....සමහරුන්ට......😅😂

මන් Shavi.


Report Page