පාට පාට(keti katha)
By Shaviruni Nawarathne
"ඔයා පාට පාටයි.දේදුන්නක්"
ඒ වචන හතර විතරයි.
ඔයා පාට පාටයි.
මේ ලෝකේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා.කට්ටියක් කලු.කට්ටියක් සුදු.ඒ වගේම ඔය දෙකොටසම නැති අලු පාට ජීවිතත් ඒ අතරෙ පිරිල.ඉතින් වැඩියෙන් ලස්සන කලුද සුදුද අලුද.
මන් පොඩි කාලේ හිතන් හිටියෙ ඒක ඇත්ත කියල.ඒ වගේම වැඩියෙන් ලස්සන අලු කියල.දෙපැත්තටම නැති වැනෙන ජීවිත.
ඒත් ඇයි පාට තුනක් විතරක්.මේ ලෝකේ මෙච්චර පාට තියෙද්දි.
මන් ඒකත් නිතරම හිතුවා.ලොකු වෙන්න වෙන්න මට හිතුණෙම මේ ලෝකේ පාට තුනක් විතරක් නෙවෙයි තියෙන්නෙ කියලා.මෙච්චර ලස්සන පාට තියෙද්දි මෙච්චර ලස්සන මිනිස්සුත් ඉද්දි ඇයි තුනක් විතරක්..
එහෙම වෙන්න බෑනේ.
මන් ඒක තීරණය කරපු දවසේ ඉඳන් මන් පටන් ගත්තා මිනිස්සුන්ගේ පාට හොයන්න.
නිල්,රතු,කොළ,දම්,කහ,රෝස,දුඹුරු,තැඹිලි වගේ එක එක පාටවල්.ලා පාටවල්.තද පාටවල්.
මන් පාට පාට මිනිස්සු ගොඩාක් හොයා ගත්තා.ලස්සන පාට පාටවල මිනිස්සු.
මේ ලෝකේ කැත පාට නෑ.හැම පාටකම ලස්සනක් තියෙනවා.ඒ පාටට විතරයිනේ ඒ පාටින් පාට කරන්න පුළුවන්නෙ.
කොහෙමහරි තියෙන කවුරුමහරි අඳින චිත්‍රයක් සම්පූර්ණ කරන්න ඒ හැම පාටටම කවදහරි පුලුවන් වෙනව.
අපි හැමෝටම තියෙනව පාට කරන්න තැනක්.
ඒක වෙන කෙනෙක්ගෙ ජීවිතයක් වෙන්න පුලුවන්.ජීවිත ගොඩක් වෙන්නත් පුලුවන්.කාගෙම හරි මුළු ලෝකයක්ම වෙන්නත් පුළුවන්.
ඒත් ඔයාව ඕන වෙනවමයි.පොඩිම පොඩි තැනකට හරි.පොඩිම පොඩි තැනක් වුණත් ඒ තැන හිස්වට තියන්නවත් වෙන පාටක් ගාන්නවත් බැරි නිසා එතෙන්ට ඕන ඒ පාටම තමයි.ඒ නිසා හැම පාටක්ම වටිනව.එකම තරමට.
මන් ඒක අනික් අයට කියලා දෙන්න ජීවිතෙන් භාගයක්ම කැප කරා.මන් එයාලගෙ පාට එයාලට හොයල දුන්න.එයාලට පාට කරන්න තැන් හොයල දුන්න.
ඒත් ඒ කවුරුවත්ම මගේ ජීවිතේ පාට කෙරුවේ නෑ.එයාලා කවුරුවත්ම මගේ ජීවිතේ පාට කරන්න ගැළපුණෙත් නෑ.එ නිසා එයාලගෙ වැරද්දක් නෑ.
මන් අනික් අයගේ පාට හෙව්වට,එයාලට ඒව හොයල දුන්නට මට මගේ පාට හොයන්නත් අමතක වුණා.කලාතුරකින් කෙනෙක් තමයි තමන්ගේ පාට දැනගෙන ඉන්නෙ.ඒක කන්නාඩියෙන් පේන දෙයක් නෙවෙයිනෙ.ඉතින් මන් ඒ කලාතුරකින් ඉන්න කෙනෙක් උනේ නෑ.
ඒත් එක දවසක් මට හම්බුණා මනුස්සයෙක්.මට කොච්චර හෙව්වත් එයාගෙ පාට හොයාගන්නම බැරිවුණා.
එක්කෝ එයා අවර්ණයි.
එක්කෝ එයාට තියෙන්නෙ මිනිස්සුන්ට පේන පාටවලින් එකක් නෙවෙයි...
මන් එයාගේ පාට හොයන්න මහන්සි වුණත් මට ඒක හොයාගන්න බැරිවුණා.ඒ හින්දා මට එයාට පාට කරන්න තැනක් හොයලා දෙන්න විදියක් තිබුණෙත් නෑ.
ඒ හන්දද,එයා මගේ ජීවිතේ පාට කරන්න ගැලපෙන කෙනා හින්දද මන් දන්නෑ.එයා මගෙ ළඟින් හිටියා.
ඒත් මන් එයාගෙන් ඇහුවා දවසක්.මගේ පාට මොකක්ද කියලා.
"ඔයා පාට පාටයි.දේදුන්නක්"
එයා හිනාවෙලා ඒ වචන හතර විතරක් කිව්වා.එයා කොහොමටත් වැඩිය කතා කරේ නෑ.
මමත් හිනාවුණා.
මන් හිතන්නෙ එදා මටත්,අනික් අයට පාට කරන්න තැන් හොයලා දුන්න මටත්,පාට කරන්න තැනක් හම්බුණා.
අවර්ණයි වගේ පේන ලෝකෙකට,ගැලපෙන්නේ පාට පාට ජීවිතයක් නෙවෙයිද.
එයත් කිසි අකමැත්තක් නැතුව මට එයාගේ ලෝකෙට පාට එකතු කරන්න ඉඩ දුන්න.
ඒ හින්දා අවර්ණයි වගේ පේන ජීවිතවලට පොඩ්ඩක් එබිකම් කරන්න.
ඒක ඔයාට පාට කරන්න තියෙන තැන වෙන්න පුළුවන්.
ඔයා තාම ඒක පාට කරන්න නොගිය නිසයි එතනට පාටක් නැත්තෙ.
....................................................................................................
මට මේ දවස්වල පාට එක්ක තරහක් තියෙනව වගේ නේද.සමහරවිට මේකෙන් ඉවර වෙයි.
දැන් ඉතින් චිත්‍ර කාරයෝ බනීද දන්නෑහ්..හැම පාටම තව පාටවල් එකතුවක් කියල.ඒකත් ඇත්තක් තමයි.ඒත් මේ ලෝකෙ හැම ඇත්තම කතාවකට ඔබන්නත් බෑනෙ..
ගිහිම් එන්නම්..
සුභ දවසක්.
90 පැනල නෙහ්..කමක් නෑ මේ සැරේ ඒ ලෙවල්..😂