නොලී කවියක්...

නොලී කවියක්...

#𝕂𝕍#


නොලී කවියකට පදවැල් අමුණන්නට වෙර දරන ඇගේ කතාව...

1 වන කවිය...


බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී...

නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී...

තියුනු රුදු සැත් ලෙසින් සැමරුමි සෙමෙන් පාරන මුත් ඇනී...

සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමී...


ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි...//


නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්...

පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන්...


සදකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිති...

ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකී යා නොදී...


ඉතින් එබැවින්...//


"මොකද්ද කුෂී දැන් දවස් ගාණක් තිස්සෙ ඕකම අහන්නෙ? මටනං දැන් ඇහිලම මෙච්චර ලස්සන සින්දුවත් එපාවෙලා තියෙන්නෙ...." දෙව් මුහුණත් හකුළාගෙන සයනය මත හිඳගනිමින් පැවසුවේය.


"ෂ්ෂ්ෂ්ෂ්....." මම සුරතෙහි දබර ඇඟිල්ල දෙතොල් අතර තබා මිමිණුවෙමි.


"ෂ් තමයි. දාර බූටක් කාලා වගේ කාමරේ අස්සට වෙලා ඕක අහනවා. අනේ මං දන්නෑ මොනවා වෙලා ද කියලා." දෙව් තනිවම කියවමින් කාමරයෙන් පිටව ගියාය.


සින්දුව නැවතී එක්වරම දුරකතනය නාදවන්නට වූයේ මගේ දැහැන ද බිඳ දමමිනි.


මම දුරකතනය අතටගෙන තිරය දෙස බලා ඇමතුම සක්‍රීය කර කනේ රුවා ගත්තෙමි.


"ඔව් විහස් කියන්න." මම පැවසුවෙමි.


"සින්දුව ඇහුව ද?" ඔහු කෙලින්ම විමසුවේය.


"ඔව් විහා. ඒකෙ ලිරික්ස්නං ආයෙ නියමයි. ඕඩියන්ස් එකට ෆීල් වෙන සුපිරි ඇක්ට් එකක් හදාගන්න පුළුවන් වුණොත් ආයෙ කතා කරන්න දෙයක් නෑ බෙස්ට් පෆෝමන්ස් එක වේවි." මම උද්‍යෝගයෙන් පැවසුවෙමි.


"හෝව් හෝව් සහෝදරිය. තාම සින්දුව විතරයි සිලෙක්ට් කරේ. ඔච්චර හෝප්ස් තියාගන්න එපා. අපි දෙන්නා ගොන් ඩබල වගේ වැඩේ හා ගනීවි ද කියන්න බෑනෙ." විහස් සිනාසෙමින් පැවසුවේය.


"අපෝ.... වයසක පප්පෙක් වගේ ඔයත්. කට ගත්තොත් නෙගටිව් කතාවක්ම තමයි කියන්නෙ" මම නෝක්කාඩු ස්වරයෙන් පැවසුවෙමි.


"මං මේ යථාර්ථය පෙන්නලා දෙනවා." ඔහු පැවසුවේ සිනාසෙමිනි.


"හාකො හාකො. දැන් අපි ප්‍රැක්ටිස් පටන්ගන්නෙ කවදද?" මම විමසුවෙමි.


"හෙටම පටන්ගමු. තව මාසයක් වගේනෙ තියෙන්නේ." ඔහු කල්පනාකාරීව පැවසුවේය.


"හරි එහෙනං" මම එකඟවුණෙමි.


"හරි. එහෙනං මම තියන්නං. බුදුසරණයි." ඔහු පැවසුවේය.


"බුදුසරණයි." ඔහු ඇමතුම විසන්ධි කළේය.


"කුෂියෝ... එන්න කන්න." දෙව් රාත්‍රී ආහාරය සඳහා ඒ මොහොතෙහිම අඬගැසීය.


"හා එනවෝ...." මම ඉක්මනින් කෑම කාමරය වෙත පියනැගුවෙමි.


නිවාසයේ පාලිකාව වූ මිස් සේනාධීර කුසුමා අම්මාත් සමඟ එකතුව පොල් සම්බෝලයකුත් බිත්තරත් සාදා තිබෙනු දුටු මගේ දෑස මෙන්ම එහි සිටි දොළහක් පමණ වූ පුංචි පැටවුන්ගේ දෑස ද සතුටින් දිලිසෙනු මට පෙනිණි.


"ඉතින් ළමයි කන්නකො බලන් ඉන්නෙ. ඔයාලා ආස නිසා තමයි හැදුවේ." පාලිකාතුමිය පැවසුවේ නිතරම ඇගේ දෙතොලග රැඳෙන කාරුණික මදහසත් සමඟිනි.


ඉක්මනින් රාත්‍රී ආහාරය අවසන් කර අස්පස් කිරීමේ කටයුතු වලටත් උදව් කළ දෙව් සහ මම මුහුණ සෝදාගෙන ඇඳට වැටුණෙමු.


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


"ඒයි කුෂී නැගිටපන් බන්.... තව නිදාගත්තොත් බස් එක මිස් වේවි උඹ හැඩවෙලා එනකොට. කෝ.... නැගිටහන්කො බන්... උඹට ඉතින් කුසීතා කියන්නෙ නිකන් නෙවෙයිනේ. බලපන් මං දැන් විනාඩි දහයක් තිස්සෙ කතා කරනවනෙ." දෙව් පවසන්නේ අසළ වූ කොට්ටයකින් මා හට පහරදීමෙන් අනතුරුවය.


"මං නැගිටලා ඉන්නෙ බන්." අසීරුවෙන් එක් ඇසක් හැර මම පැවසුවෙමි.


"ඇඳෙන් බැහැපන් කුෂී ගුටි නොකා.... බලහන් අර පොඩි එවුන්ගෙන්වත් ඔච්චර වදයක් නෑ." දෙව්ගේ දින චර්‍යාවේ එක් අංගයක් නිමාවීමට ආසන්න බව මතක් කරමින් ඇය සුපුරුදු හඬපටයේ අවසාන භාගයට එසේ ළඟාවෙමින් සිටියාය.


"මීට හොඳයි මට ඔය ටික රෙකෝඩ් කරලා හැමදාම ප්ලේ කරානං. කටත් රිදෙනවා." ඇය කාමරයෙන් එළියට යමින් පැවසුවාය.


මම ඇය දොර රෙද්ද අගින් නොපෙනී ගිය පසු ඉක්මනින් නැගිට තුවායත් කරේ ලාගෙන නිවාසයේ මිදුලේ කොනකට වන්නට වූ නානකාමරය වෙත දිව ගියෙමි.


විනාඩි කිහිපයක් ගතව ගියේ සීතලේ වුව ද නෑමට තීරණය කළ හෙයිනි. කාමරයේ තබා ආ බ්ලවුසය හැර ඇඳගෙන යාමට තෝරාගත් සාය හා වෙස්ට් එක ගතලාගෙන මම එතැනට වී කොණ්ඩය පිසදැමුවේ බිම පුරා වතුර ඉහිරවා පාලිකාතුමිය හෝ කුසුමා අම්මා වැටුණහොත් යයි ඇති බිය නිසාවෙනි.


මැදිවියත් ඉක්මවා ගොස් සැඳෑ සමයට පා තබමින් සිටින නිවාසයේ පාලිකාතුමිය හා කුසුමා අම්මා අපව බලාගන්නේ ඔවුන් දෙපළගේ දරුවන් මෙනි. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ ආධාර ඇතිව කෙරෙන මෙම ළමා නිවාසයට නිතරම දාන මෙන්ම ආධාර වලින් ද හිඟයක් නොවිනි. නමුත් මෙහි සිටින පොඩි පැටවුන් පාර දෙස බලාගෙන හූල්ලනුයේ ඔවුන්ගේ දෙමාපියන් කවදා පැමිණේදැයි යන බලාපොරොත්තුවෙන් බව නොරහසකි.


මා මෙන්ම දෙව් ද කාලයක් නිවාසයේ අඹ ගස් සෙවණෙහි වූ බංකුවට වී පාර බලාගෙන සිටියේ අපේ දෙමව්පියන් ද කෙදිනක හෝ අපව සොයාගෙන පැමිණේයයි බලාපොරොත්තු වෙනි. නමුත් කාලයාගේ අවෑමෙන් එය නිශ්ඵල කාර්‍යයක් බව වැටහෙන්නට විය. කීපවතාවක්ම මා පවුල් කිහිපයක් විසින් හදාගැනීමට උත්සාහ කළ ද මා පාලිකාතුමියගේ සෙවණට ප්‍රිය කළ නිසාම කොහේවත් යාමට අකමැති වුණෙමි. විශේෂයෙන්ම මා කොහේ හෝ ගියහොත් දෙමව්පියන් මා සොයා පැමිණි කළ ඔවුන්ට මා සොයාගත නොහැකිවනු ඇතැයි මට සිතුණි.


පුංචිකාලයේ සිටම ගුණධර්මවලින් මෙන්ම දැනුමෙන් ද අපව පිරිපුන් කිරීමට පාලිකාතුමිය බොහෝ වෙහෙසවු බව මා හට මතකය. රැකියාවක් සොයාගෙන ස්ථාවර වූ පසුව නිවාසයෙන් නික්ම ගිය අක්කලා ද ඉඩ ලැබුණු විටෙක පැමිණ අපව බලා යන්නේ කුඩාකල සිටම පාලිකාතුමිය අප අතර ඇති කළ බැඳීමේ ප්‍රතිඵලයක් ලෙසය.


"ඕහ්.... සොරි..." කිසිවෙක් මුමුණන හඬ ඇසී කල්පනාවක නිමග්නව කොණ්ඩය පිහිදමින් සිටි මම හැරී බැලුවෙමි.


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


ඉතින් කොහොමද කට්ටියට? මගෙන් මීට කලින් ආදර කතාවක් හම්බවෙලා නෑනෙ නේ. ඔන්න ඉතින් මර්ඩරර්ස්ලා පස්සෙ යන එක ටිකකට නතර කරල ලව් ස්ටෝරියකට බහින්න හිතුණා.


Question Mark, Fate (ලියා අවසන් නැත.) වලට පස්සෙ මගේ තුන්වෙනි කතාව නොලී කවියක්....


නිකන් ඉන්න වෙලාවක හිතුණු අදහසක් තමයි ලියන්න ගත්තෙ. බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. Detective ඒවා ලියලම එකපාරටම ස්ටයිල් එක වෙනස් කරන්න ගිහින් ටිකක් කන්ෆියුස් වෙලා ඉන්නෙ. ඉතින් මොකක් හරි අවුලක් තිබුණොත් ක්ෂණිකව මට කියන්න හොඳේ. ඒ අතරේ Fate ත් පුළුවන් වෙලාවට දෙන්නං. ඒක කල්පනා කරලා ලියන්න ඕනෙ නිසා මට වැඩ ගොඩක් අස්සෙ අමාරුයි ලියන්න.


ඉක්මනට ඉවර කරන්න හිතාගෙන ඉන්නෙ. බලමුනේ ඉතින්.


Comment එකක් දාගෙන යන්න ඉතින් නේ.


(කතෘ අවසරයකින් තොරව කතාවේ අන්තර්ගතය හෝ ඉන් කොටසක් උපුටාගැනීමෙන් හෝ වෙනස්කම් කිරීමෙන් හෝ වෙනත් සමූහවල පළකිරීමෙන් වළකින්න. එවැනි අකටයුතුකමක් පිළිබඳව ඔබ දැනුවත් වුවහොත් ඒ පිළිබඳව කතෘ දැනුවත් කිරීමට කාරුණිකවන්න.)


#𝕂𝕍#



Report Page