කදුලින් උපන් කතාවක් - Part 01

කදුලින් උපන් කතාවක් - Part 01

Dιƈαρɾισ

"මම උඹලාට සතියක් කල් දෙනවා මේ මුඩුක්කු වලින් අයින් වෙලා කොහෙටහරි යන්න.ඒ වෙද්දි උඹලා අයින් වෙලා නොතිබ්බොත් අපි උඹලත් එක්කම මේ ගෙවල් උගුල්ලනවා." ගමේ මිනින්දෝරු මහතා මේ මාසය තුල අපට දුන් දෙවනි දැනුම්දීමයි ඒ.

"ඒත් මහත්තයො අපි කොහේ කියලා යන්නද? අපි උපන්දා ඉදන් ජීවත් වෙන්නෙ මේ බිම් අගලෙ නොවැ." අප්පච්චි බැගෑපත්ව ඇසුවා.

"මේ උන්නැහේ...මේවා ඇමතිතුමාගෙ ඕඩර්ස්.අනික තමුසෙලා කොහේ ගියත් අපිට මොකද? තමුසෙට මොනාහරි කියන්න තියෙනවා නම් ගිහිල්ලා ඇමතිතුමාට කියනවා.තව මාස 6ක් ඇතුලත මෙතන හෝටලයක් හදලා සුද්දොන්ට විකුණන්නයි එතුමාගෙ බලාපොරොත්තුව.හිතපංකො ඒ වගේ වැඩකින් රටට කොයි තරම් වාසියක් වෙනවද කියලා.උඹලා වගේ පොඩි මිනිස්සුන්ට කවද්ද බං ඔය වගේ අදහස් ආවෙ.උඹලා මෙතෙන්ට වෙලා කකා බිබී මැරෙන්න පණ අදිනවා විතරයිනෙ."

"ඒත් මහත්තයො..."

"ඒත් මහත්තයො මේත් මහත්තයො නෙමෙයි සතියක් ඇතුලත මෙහෙන් මකබෑවිලා පලයව්, මම උඹලාට නොකිව්වයි කියන්න එපා.උඹලා මේ රජයේ ඉඩමක අනවසරෙන් පදිංචි වෙලා ඉන්නෙ.මෙතන උඹලගෙ කියලා කිසිම දෙයක් නෑ.මං යනවා." තරහින් එසේ කියූ මිනින්දෝරු මහතා ඔහුගේ රියදුරා සමග කැබ් රථයේ නැගී පිටවී ගියා.අප්පච්චී මා සහ අයියා දෙස බලා සුසුමක් පිට කලා.

"අපි යමං පොඩ්ඩියේ ගේ ඇතුලට" තාත්තා උගුර පාදමින් ගේ ඇතුලට ගියා.

සමහරවිට ඔබ පුදුම වෙනවා ඇති මේ කතාව මොන ජාතියේ කතාවක්ද කියලා.ඔබ තවත් ඉදිරියට කතාව කියවගෙන යද්දි ඔබ පුදුම වෙයි මම කොහේ සිට මේ කතාව කියනවාද කියලා.කතාවේ අවසානයට ඔබ පුදුම වෙයි මම කොහොම මේ කතාව කියනවද කියලා.නමුත් ඔබ ඒ කිසිම දෙයක් ගැන පුදුම විය යුතු නැහැ.මම කොහේ සිට, කොහොම මේ කතාව කිව්වත් මේක මම යන්නට පෙර ඔබට කිව යුතුම කතාවක්.මේක ඔබ දැනගත යුතුම කතාවක්.ඔව්, මේක තවත් එක් කතාවක්.

ඉන්දියාව...දුප්පතුන්ට සිහිනයක් හා පොහොසතුන්ට උල්පතක් වූ අරුම පුදුම භූමියක්.ඉන්දියාවේ තියෙන ප්‍රධානතම නගරයක් තමයි මුම්බායි කියන්නෙ.මෙහේ වැඩිපුරම ජීවත් වෙන්නෙ මධ්‍යම පාන්තික ජනතාව.මුම්බායි වල තියෙන දුෂ්කරම ප්‍රදේශයක් වන වන මහාරාෂ්ට නගරයේ තියෙන අති දුෂ්කර කුඩා ගමක් තමයි ධාරාවී කියන්නෙ.පිට ප්‍රදේශ වල අය නම් අපිව හදුන්වන්නෙ කුණු ගොඩේ මිනිස්සු කියලා.ගංගා නදිය ආසන්නයේ මුඩුක්කු ගමක තියෙන පුංචි මුඩුක්කු පැල්පතක තමයි අපි ජීවත් වෙන්නෙ.අපේ පවුලෙ 5 දෙනෙක් ඉන්නවා.මම, මගේ අයියා, අප්පච්චි, කුඩම්මා සහ කුඩම්මාගෙ පුතා.අපේ අප්පච්චිගෙ දෙවනි විවාහයේ බිරිද තමයි ආර්යා, ඇයව තමයි අපි කුඩම්මා විදියට හදුන්වන්නෙ.කුඩම්මාගෙ පලමු විවාහයේ පුතා තමයි රාහුල්.එයා කුඩම්මාගෙ පුතා වුනාට අපිට අපේ මල්ලි වගේ.මගේ අයියාගෙ නම සුජිත්.අපේ පවුලෙ මට ඉන්න සමීපම කෙනා තමයි අයියා.මගේ නම රාධා, පවුලෙ අය මට කතා කරන්නෙ පොඩ්ඩී කියලා.

"අපිට සතියක් කාලෙ තියෙනවා බං කීයක්හරි හොයාගන්න.ඔයා කාලෙ ඇතුලත මම ටවුමට ගිහිල්ලා මොනවාහරි වැඩක් කරලා කීයක්හරි හම්බකරගන්න පුළුවන්.ඊට පස්සෙ අපි ඔය මොකක්හරි ⁣පොඩි කඩ කාමරයක් අඩුවට සල්ලි වලට අරං ඒකට යමු." අප්පච්චි එසේ කීවේ වහලයේ ටකරම් අතර වූ විශාල සිදුර තුලින් අහස දෙස බලමිනි.

"නෑ අප්පච්චි, අප්පච්චි ඉන්න.මට පුළුවනි ටවුමට ගිහිල්ලා සල්ලි කීයක් හරි හොයන් එන්න." අයියා තද ස්වරයකින් කීවා.

"එපා කොලුවො, උඹ තාම ටවුමට ලපටි වැඩියි.උඹ පොඩ්ඩිවයි, කුඩම්මාවයි බලාගෙන ගෙදරට වෙලා එදා වේල පිරිමහගෙන ඉදපල්ලා.මම ලබන සතියෙ සදුදාට කලින් ආපහු එනවා සල්ලිත් හොයාගෙන."

අප්පච්චි එදා රෑම ගෙදරින් පිටත් වුනේ ඊලග සතියේ සදුදා නොවැරදීම එන පොරොන්දුව පිට.අප්පච්චි යන්නට පෙර කදුළු පිරි දෑසින් ඔහුව බදාගෙන මම ඔහුගේ මුහුණ සිපගත්තා.

"අප්පච්චි පරිස්සමෙන් ගිහින් එන්න.ටවුමෙ ඉන්න බෑ කියලා හිතුනොත් අප්පච්චි ආයිත් එන්න.අපි පුළුවන් දෙයක් කරලා සල්ලි කීයක්හරි හොයාගමු."

"උඹ බය නැතුව හිටපම් පොඩ්ඩියේ.මේ අප්පච්චි මෙහෙම හිටියට කොල්ලා කාලෙ තනි අතින් වල් ඌරො එක්කත් පොර බැදලා තියෙනවා.ටවුමෙ උන්දැලා එක්ක වුනත් ⁣පොරබදන්න මේ අප්පච්චි සූජානම්." අප්පච්චි සිනා මුසු මුහුණින් කීවා.

"පොඩ්ඩිවයි, කුඩම්මාවයි බලාගනිං කොලුවො.උඹ තමයි දැන් මේ ගෙදර ඉන්න හක්තිවන්තයා.මම ආයිත් එනකං ගෙදර වගකීම් උඹට බාරයි" අයියාගෙ කරට තට්ටු කර අප්පච්චි එලෙස කීවා.

"එහෙමයි අප්පච්චි, අප්පච්චි පරිස්සමට ගිහිල්ලා එන්න."

අප්පච්චි ගමෙන් පිට යන මුල්ම වතාව මෙයයි.ගමේ ඉපිද, ගමටම නාකි වී, ගමේම මිය යන මිනිසුන් ජීවත් වන මේ ගම්මානයේ ගමෙන් එකෙක් පිටට යන්නෙ එහෙමත් හේතුවකටය.ගෙදර ලාම්පු තෙල් ඉවර නිසා කලුවරේම අතපතා ගා පැදුර සොයාගත් මට විනාඩි 5ක්වත් යාමටත් පෙර නින්ද ගියා.අයියා මාව පහුවදා උදෙන්ම අවදි කරේ රේල් පාර අසල කඩල විකුණන්න යෑමටයි.රේල් පාර අසල තිබෙන කඩල කරත්තයක කඩල සෑදීමට සහ විකිණීමට අත් උදවු දීමට මම සහ අයියා හැමදාම උදෙන්ම එතැනට යනවා.අපිට දවසකට සොච්චම් මුදලක් පමණක් ලැබුනත් ඒ මුදලෙන් රෑ වේල පිරිමසා ගන්නට හැකි වෙනවා.අපේ ගමේ තිබෙන මිනිසුන් එක්රැස් වන එකම තැන ධාරාවී දුම්රිය නැවතුම්පොළයි.මම සහ අයියා එතන කඩල විකිණීමට අත් උදවු දෙන අතර කුඩම්මා එහි එන මිනිසුන්ට සාස්තර කියා දවසකට සොච්චම් මුදලක් හම්බකර ගනියි.

දවස් එකින් එක ගතවී ගියා.අප්පච්චි එනවා කිවු දිනයට ගතවෙන දවසක් ගණනේ තව තවත් ලං වුනා.සිකුරාදා වන විට අනෙක් මුඩුක්කු ගෙවල් වල සිටි බහුතරයක් අය ගෙවල් හැර දමා ගොස් තිබුනා.සමහර අප හදුනනා අය යන්නට පෙර අප හා කතා කර අපටද ඉක්මනින් ඉවත් වන්නැයි කියා ගියා.එදාම රෑ මම සහ අයියා එම ගෙවල් වලට ගොස් ඔවුන් අමතක වී දමා ගිය බඩු කිසිවක් තිබේදැයි සොයා බැලුවා.පිලුණු වූ කෑම සහ මල මුත්‍ර ගද හැර ඒවයේ වෙන කිසිවක් තිබුනේ නැහැ.සෙනසුරාදා දින වන විට කුඩම්මාගේ හැසිරීමේ අමුත්තක් තිබුනා.

"අනේ මේ කොලුවො උඹලෑ අප්පොච්චි එනකල් මට ඉන්න බෑ.ඒ උන්දැ එනකොට මේ ඔක්කොම සෙත්තපෝච්චි වෙලා තියෙයි.මම යනවා මගේ කලින් මිනිහාගෙ දිහාවට. ඌත් එක්ක එක දවසක් පැලේ දිගා වුනාම ඌ මට දිගටම ඉන්න දෙයි."

"එහෙම කියන්නෙපා කුඩම්මෙ.අප්පච්චි කිව්වානෙ සදුදාට කලින් එනවා කියලා, තාම සෙනසුරාදා වුනා විතරයිනෙ.තව ටිකක් ඉවසලා හිටියා නම් හොද නැද්ද?" අයියා කුඩම්මාව අස්වසන්නට තැත් කලා.

"අර උන්දැව දාලා උඹලෑ අප්පච්චිගෙ ගෙට රිංග ගත්තු එක තමයි මම කරපු ලොකුම මෝඩකම.කලින් මිනිහා එක්ක හිටියා නම් මට සැපට ඉන්න තිබ්බා.උඹලෑ අප්පච්චිගෙත් බොරු පුරාජේරුව විතරයි.මමයි, පොඩි එකායි අද රෑම යනවා එහෙට.උඹලා අප්පච්චි එනකල් ඉදපල්ලා." කුඩම්මා නුරුස්සන හඩින් කීවා.

ඉන් පැය දෙකකට පමණ පසු කුඩම්මා ගෙදරින් පිටත් වුනා.අයියා ඇයව නවත්වන්නට තැත් කරත් ඇය ඇගේ ගමන නැවැත්තුවෙ නැහැ.තාත්තා කුඩම්මාව ගෙට කැන්දගත් දා ඉදන්ම මට ඇය ගැන එතරම් කැමැත්තක් තිබුනේ නැහැ.ඇය සාස්තර කියා ලබන මුළු මුදලම බුලත්, හුණු සහ පුවක් මිලදී ගැනීමට වැය කලා.ඇය සම්පූර්ණයෙන්ම යැපුනේ අප්පච්චිගෙ සහ අපේ මුදල් මගින්.ඇය අපිට කිසිදාක ආදරය දැක්වුවේ නැහැ.ඇය නිතරම කිව්වේ මල්ලිව ඇයට ලැබුනේද ඇගේ කලින් ස්වාමි පුරුෂයාගේ වරද නිසා බවත් නැත්තං ඇයට කවදාවත් ළමයෙක් වැදීමට අවශ්‍යතාවක් නොතිබූ බවයි.ඇය පිටවී ගිය පසු අයියා සහ මා ගෙයි තනි විය.

"බය නොවී ඉදපං පොඩ්ඩියේ, අප්පච්චි අනිවාර්යයෙන්ම හෙට සල්ලිත් එක්කම එයි.එතකොට අපිට මෙහෙන් පිට වෙලා යත හැකි ඉක්මනින්ම." මගේ හිත අස්වැසීමට මෙන් අයියා කීවා.ඒත් ඔහු ඒ වන විට පරක්කු වැඩිය.මගේ ඇස් වලින් කදුළු රූරා වැටෙමින් තිබුනි.ලාම්පුව දැල්වීමට තෙල් නොතිබූ නිසා ඔහු මා ලගම සිටියත් කලුවරේ ඔහුට ඒ කදුළු දැකගන්නට ලැබුනේ නැහැ.ඒත් මගෙන් එක්වරම සිහින් ඉකියක හඩක් නිකුත් වුනා.එය ඇසීම නිසා ඔහු මා හඩන බව තේරුම් ගන්නට ඇති, ඔහු මා වෙත තවත් ලං වී ඔහු මගේ හිස ඔහුගේ උරහිස මතට තුරුල් කරගත්තා.ඔහු එක වචනයක්වත් මුවෙන් පිට කරේ නැහැ.නමුත් ඔහුගේ තුරුල බිදක්වත් ඔහු ලිහිල් කරේ නැහැ.මම ඔහුගේ උරහිස මතම හිස තබාගෙන බොහෝ වෙලාවක් හැඩුවා.ඔහුගේ උරහිසේ උණුහුම මට තව තවත් හඩන්නට දිරි දුන්නා.මට ඔහුගේ උරහිස මතම නින්ද යන්නට ඇති.

_____________________________________

සුපුරුදු පරිදි අයියා මාව උදෙන්ම අවදි කරේ රේල් පාරේ කඩල විකිණීමට යාම සදහාය.අප්පච්චි අද අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි.හෙට දවස ඇතුලත මුඩුක්කු ගෙවල් සියල්ලම ගලවා ඉවත් කරන්න යැයි ඇමතිතුමා නියෝග කරලා තියෙනවා.මුඩුක්කු ගම්මානය ගංගා නදිය අසලම පිහිටා තිබෙන නිසා එතැන ගග අසලම විශාල හෝටලයක් ඉදිකරොත් එය සුදු මහත්වරුන්ට විකුණා ලොකු ආදායමක් ගන්නට හැකි බවයි මිනින්දෝරු මහතා පෙර දවසක අපට කීවා.අයියා දිගින් දිගටම කීවේ අද හවස් වෙන්නට කලින් අප්පච්චි ගෙදර ඒවී යැයි කියායි.අපි දෙදෙනා හවස් වන තුරුම රේල් පාර ලග කඩල විකිණීමට අත් උදවු දී, අද ලැබුනු මුදලින් අසල කඩයකින් බාල ලාම්පු තෙල් කාලක්ද මිලට ගෙන දෙවැට පාර දිගේ මුඩුක්කු පෙල දෙසට පියමැන්නේ අප්පච්චි ගෙදර ඇවිදින් අප එනකල් මග බලාන සිටිනවා සිතින් මවාගෙනය.

"දැන් අප්පච්චි ගෙදර ඇවිදින් ඇති පොඩ්ඩියේ, අපිට අද හවසම කඩකාමරයක් හොයාගෙන යන්ට හැකි වෙයි." අයියා කීවේ මුහුණේ මද සිනහවක්ද සමගය.ඔහුගේ ඒ බලාපොරොත්තු සහගත සිනහව මටද එවෙලේ ආරෝපණය වූයේ නිතැතින්මය.අපි අපේ මුඩුක්කු නිවස අසලට ගියත් කිසිවෙකුත් පැමිණි බවට සලකුලක් එහි තිබුනෙ නෑ.අපි ගේ ඇතුලට ගොස් විපරම් කර බැලුවද අදුර හැර එහි වෙන කිසිවක් නොවීය.අයියා සහ මම මුහුණට මුහුණ බැලුවේ විස්මයෙනි.

"තෙල් ටිකක් දාලා ලාම්පුව පත්තු කරපං පොඩ්ඩියේ, මම මගට ගිහින් බලලා එන්නම්.සමහරවිට කළුවර නිසා අප්පච්චිට පාර හොයාගන්න බැරි වෙලා වෙන්නැති මයෙ හිතේ." අයියා එලෙස කියා පොල් හුයක්ද දල්වාගෙන මගට ගියේ අප්පච්චී සෙවීම සදහායි.මම කළුවරේම හොදින් ලාම්පුව පිසදමා එයට තෙල් දමා දල්වා ගත්තා.මේ වන විට අනෙක් හැම මුඩුක්කු නිවසකම සිටි අය ගෙවල් අතහැර වෙනත් ප්‍රදේශ වලට ගොස් සිටියහ.ඇතැම් පිරිස් ඔවුන්ගේ නෑදෑ නිවෙස් වලට සහ නගරාධිපතිතුමාගේ නිවසේ මෙහෙකාර සේවයට ගිය අතර තවත් පිරිසක් ගංගා නදිය දිගේ උඩු ගම්මානයට ගොස් තිබුනා.අයියා අප්පච්චීද සමග ඉක්මනින්ම එතැයි කියා ඇගිලි ගනිමින් සිටි මට ඈතින් අඩි ශබ්දයක් සමග ගිනි හුයක ආලෝකයක් පෙනුණි.

"අප්පච්චී..." එක්වරම එලෙස කියවුනු මම ගෙයින් එලියට බැස මගට දිව ගියේ අප්පච්චීව දැකීමේ මහත් ආශාවෙනි.ගිනි හුයේ ආලෝකය තව තවත් ලං වෙද්දියි මා දුටුවේ එතැන ඉන්නේ අයියා පමණක් බව.එක්වරම මගේ මුහුණ මැලවී ගොස් ඇස් වලින් කදුළු බිදු දෙකක් මතු වුනේ නොදැනුවත්වමය.ඒ කදුළු බිදු සමගම අයියා දෙසට දිව ගිය මා එක්වරම ඔහුගේ පපුවට හිස තදකර ඔහුව වැරෙන් වැලදගත්තා.එක් අතකින් ගිනි හුයද ගෙන මගේ හිස පපුවට තුරුල් කරගත් අයියා මගේ සිත සනසන්නට උත්සාහා කරා.

"අප්පච්චි හෙට උදෙන්ම එයි පොඩ්ඩියේ.දැන් ඇදිරි වැටිච්ච නිසා අප්පච්චි රෑට බුදියන්න කොහේහරි නවත්තන්න ඇති.අපි හෙට උදේ වෙනකං ඉවසලා බලමු පොඩ්ඩියේ" අයියා එලෙස කීවේ මගේ හිස සිබිමිනි.ගිනි හුය නිවා දමා මගේ අතින් ගෙන මාව ගේ ඇතුලට රැගෙන ගිය අයියා මාව පැදුරෙන් හාන්සිකොට නැවතත් එලියට ගියා.ඔහු එලියට ගිය සැනින් මම නැවතත් ඉකි බිදිමින් හඩන්නට ගත්තා.අප්පච්චි නැතිව අපි කොහොමද හෙට යන්නෙ.ඔහු නැතිව අපි කොහේ කියා යන්නද? විනාඩි 5කින් පමණ නැවතත් ගේ ඇතුලට පැමිණි අයියා ඔහුගේ පැදුර මගේ ලගින් එලාගෙන මගේ පැදුර ලගින් දණ ගසාගෙන මා දෙස බලා උන්නා.ඔහු ගේ ඇතුලට පැමිණියත් මට මගේ හැඩුම නවතාගත නොහැකි වුනා.හිස ටිකින් ටික පහතට නමා මගේ නලල සිපගත් ඔහු,

"නිදාගනිං පොඩ්ඩියේ." යැයි මට සෙමින් කොදුරා ඔහුගේ පැදුරෙන් දිගා වුනා.

_____________________________________

පහුවදා උදේ 4ට පමණ මට ඇහැරුනේ ගෙයින් පිටත කීපදෙනෙක් උස් හඩින් කතා කරන ශබ්දයක් ඇසීමෙනි.මම අවදි වන විටත් අයියා අවදි වී දොර අසලට වී බලාගෙන සිටියා.අයියාගේ තිබුනේ කලබලයට පත් පෙනුමක්.ඔහුගේ මුහුණේ මෙතරම් බියට පත් පෙනුමක් මම මින් පෙර කිසිදාක දැක තිබුනේ නැහැ.ඒත් සමගම ගෙදර වහලයේ ටකරං සියල්ලම මහ හඩින් සෙලවීමට ගත්තා, පොලව දෙදරන්නාක් මෙන් දැනුනා, වෙනත් ගෙවල් වල ටකරම් කිහිපයක් බිමට වැටෙන ශබ්දයද මට ඇසුනා.⁣දොර අසලට වී සිටි අයියා එක්වරම මා ලගට දුවගෙන ආවා.

"පොඩ්ඩියේ, පොඩ්ඩියේ ඉක්මන් කරපං.ගේ ඇතුලෙ තියන වටිනා කියන දේවල් ඔක්කොම අතට ගනිං.අපි ඉක්මනටම ගෙයින් එලියට යන්න ඕන දැන්ම."

"අයියෙ අප්පච්චි ආවද? මොකද මේ වෙන්නෙ? කවුද අර එලියෙ කතා කරනවා ඇහුනෙ?" මම එකදිගට ප්‍රශ්න වැලක් අයියාට ඉදිරිපත් කරේ කලබලයෙනි.

"ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්න වෙලාවක් නෑ පොඩ්ඩියේ, ඉක්මනටම මම කියපු දේ කරපං." අයියා ගේ පුරා පිස්සුවෙන් වගේ ඇවිදින ගමන් මට ශබ්ද නගා කීවා.වටිනා දේකට කියා ගෙයි තිබූ එකම දෙය ඊයෙ දවසේ කඩල විකුණා ලැබූ සොච්චම් මුදලේ ඉතිරිය පමණයි.ඒ මුදල් අතට ගත් මා ඇදන් සිටි ගවුමද සකස් කරගනිමින් ගෙයින් එලියට බැස්සා.මාත් සමගම අයියාද ගෙයින් එලියට බැස්සා.එලිය සම්පූර්ණයෙන්ම යුධ පිටියකට හැරී තිබුනා.සෑම තැනකම පාහේ මිනිසුන් ඇවිදිමින්, ශබ්ද නගමින් කතා කරමින් සිටියා.මිනින්දෝරු මහතා ඒ අයට ශබ්ද නගමින් උපදෙස් දෙමින් සිටියා.පස් පිරවූ ලොකු ටිපර් රථ දෙකක් සහ බැකෝ රථයක් මුඩුක්කු ගෙවල් වලට මදක් එහයින් හිස් බිමක නවත්වා තිබුනා.මේ සියලු දර්ශන දෙස මා ගල් ගැසී එක එල්ලේ බලා සිටියේ මහත් පුදුමයෙන් සහ කම්පාවෙනි.එක්වරම මගේ අතකින් අල්ලාගත් අයියා මාවත් ඇදගෙන මුඩුක්කු ගෙවල් තිබූ ප්‍රදේශයෙන් ඉවතට ගියා.

"අයියෙ කෝ අප්පච්චි?" අයියාගෙන් පිලිතුරක් නැත.ඔහු ප්‍රශ්නය නෑසුනාක් මෙන් ඉදිරිය දෙසම එක එල්ලේ බලාගෙන හිදියි.මම ඔහුගේ වම් අත තරයේ අල්ලාගෙන ඔහුගේ මුහුණ දෙස කෙලින් බැලුවා.තවමත් ඔහුගේ මුහුණේ කිසිම වෙනසක් නැත, ඔහු ඉදිරිය දෙසම බලන් සිටියේ පිලිරුවක් මෙනි.

"අයියේ...අනේ අයියෙ කෝ අපේ අප්පච්චි?" මම ඇසුවේ හඩමිනි.මගේ හැඩුම නිසා ඔහුගේ සවිමත් සිත මිටි පහරකට ලක් වූවාක් මෙන් වුනා.ඔහුගේ ඇසකින්ද කදුළු බිදුවක් කොපුල් දිගේ ගලාගෙන ආවේ මගේ ඇස් වල වූ කදුළුද තවත් මෙලෙක් කරමිනි.ඔහුගේම ඇස් ඔහුට අවනත නොවී තව තවත් කදුළු හෙලන්නට වුනා.ඒ කදුළු සියල්ල අතින් පිසදැමූ ඔහු මා දෙසට හැරී කතා කරා.

"අප්පච්චි එන්නෑ පොඩ්ඩියේ.අපිට සිද්ධ වෙනවා නවතින්න තැනක් හොයාගන්න.අපිට තවත් මෙතනට වෙලා බලන් ඉන්න බෑ, තව ටිකකින් මේ ගෙවල් ඔක්කොම බිමට සමතලා කරයි.අප්පච්චි ආවාත් නැතත් උඹට මම ඉන්නවා, මම කොහොමහරි කරලා අපිට නවතින්න තැනක් හොයාගන්නම්." ඔහුගේ මුවෙන් පිට වූ ඒ හැම වදනකම ගැබ් වී තිබුනේ නිර්භීතකම යැයි මට සිතුනා.මම ඔහුව තදින් වැලදගත්තා.

"දැන් අපි කොහාටද යන්නෙ අයියෙ? අපි අම්මලයි දිහාවට ගිහිල්ලා බලමුද?" මම අයියාගෙ පපුවට හිස තුරුල් කරන් ඇසුවා.

"උඹ හිතනවද ආණ්ඩුකාරතුමා අපිව බාරගන්න කැමති වෙයි කියලා?"

"ඒත් ඒ අපේ අම්මානෙ.අපේ ඇගේ ගලන්නෙ එයාගෙ ලේ නෙ."

"අම්මා එදා ඔහොම හිතුවා නම් මීට අවුරුදු 4කට කලින් අපිව දාලා යන්නෙ නැහැනෙ.එදා එහෙම හිතපු නැති මනුස්සයා අද එහෙම හිතයි කියලා උඹ හිතනවද පොඩ්ඩියේ?" අයියා කීවේ කනස්සල්ලට පත් ස්වරයෙනි.

"කමක් නෑ අපි ගිහිල්ලාම බලමු අයියෙ." මම එසේ කීවේ වෙන අපට යන්නට තැනක් නැති නිසාය.අපේ අප්පච්චිගෙ පලවෙනි විවාහයේ බිරිදගේ නම ශ්වේතා.ඇය සහ අප්පච්චි කුඩා කාලයේ එක ලග තිබූ මුඩුක්කු ගෙවල් දෙකක වාසය කරලා තිබුනේ.ඒ නිසා ඔවුන් කුඩා කාලයේ ඉදන්ම හොද යාලුවො විදියට හිටියා, ටිකින් ටික වැඩිමල් වියට පත් වෙද්දී ඒ යාලුකම ආදරයක් බවට පත් වුනා.අප්පච්චි නිතරම කීවේ ඇය තමයි මුළු ගමටම සිටි ලස්සනම ළමිස්සිය කියා.පසුව ඒ ඔවුන් දෙදෙනා අතර ආදරයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇය ගැබ් ගත් නිසා ඔවුන් දෙදෙනා අඩු වයසින්ම විවාහා වන්නට සිදු වුනා.අම්මාට අවුරුදු 16දියි අයියාව ලැබුනෙ.ඉන් අවුරුදු 2කට පසුව ඇයට මාව ලැබුනා.මම ඉපදී අවුරුදු 4කට පසු එක් දිනක් මේ ප්‍රදේශය නිරීක්ෂණයට පැමිණි දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ඇයව දැක ඇගේ රූපශ්‍රීයට හිත ගොස් තිබුනා.එදින ඔහු ඇයත් සමග කතාබහ කර ඇයට කැමති වෙලාවක ඔහුගේ ගෙදර ඇවිත් යන ලෙස ආරාධනා කර තිබුනා.පසුව උදේ වරුවේ අප්පච්චී ගෙදර නැති අතරේ මාව බලාගන්නට අයියාට බාර දී ඇය පුරුද්දක් වශයෙන් දවස ගානේ ආණ්ඩුකාරවරයාගේ නිවසට යන්නට ගත්තා.ඒ වයස වන විට අපට මේ කිසිම දෙයක් ගැන දැනුමක් තේරුමක් තිබුනේ නැහැ.අප්පච්චීට මේ බව දැනගන්නට ලැබුනේ ඇය ගැබ් ගත් පසුවයි.ඒ පිලිබද දැනගත් පසු අප්පච්චිගෙ හිත බෙහෙවින් කම්පා වුනා.තවදුරටත් ඇය හා එක ගෙදරක වාසය කරන්නට තරම් හිත නොදුන් නිසා ඔහු ඇයව නිවසින් පන්නා දැමුවා.නමුත් ආණ්ඩුකාරවරයා ඇයව බාරගත්තා.ටකරං මඩුවක ජීවත් වූ ඇයට මාලිගාවක් වැනි මහා නිවසක ජීවත් වීමට වාසනාව සැලසුනා.එතැන් පටන් අද වන තෙක්ම ඇය අපව බලන්නට පැමිණ හෝ අප ඇයව දැක නොමැත.ඇයට ඇගේම දරුවන්ට වඩා යස ඉසුරු, මිල මුදල් වල වටිනාකම වැඩි වුනා.අපට මීට වසරකට ඉහත දැනගන්නට ලැබුනා දැන් ඇයට තවත් පුතුන් දෙදෙනෙකු ලැබී ඇති බව.අප්පච්චිගේ දෙවනි බිරිද හෙවත් අපේ කුඩම්මාව අප්පච්චීට හමු වුනේ ඊට අවුරුදු 6කට පසුවයි.අප්පච්චි කාලයක් ගමේ වෙද මහතාගෙ ගෙදර කුලී වැඩ කිරීමට ගියා.වෙද මහතාගේ නිවසට එහා නිවසේ ජීවත් වුනේ ගමේ සිටින තරමක් ධනවත් ව්‍යාපාරිකයෙක්.ඒ ව්‍යාපාරිකයා කිසිදාක විවාහා නොවුනත් ඔහුගේ ගෙදරට ගමේ සිටි කාන්තාවන් 4 දෙනෙක් නිතර නිතර ඒමට පටන් ගත්තා.මේ කාලය වන විට ගමේ හුගක් කාන්තාවන් සල්ලිකාරයන්ගේ සෙල්ලම් බඩු බවට පත් වී තිබුනා.මේ පිලිබදව ඒ කාලෙ ගම පුරා ඕපදූප හුඟක් පැතිරිලා තිබුනා.තරමක් විශාල ගෙදරකට හිමිකම් කියූ ඒ ව්‍යාපාරිකයා පසුව ඒ කාන්තාවන් 4 දෙනාටම ඔහුගේ නිවසේ නවාතැන් දුන්නා.ඔහු ව්‍යාපාර කටයුතු වලට නිවසින් බැහැර යන දින වලදී ඒ කාන්තාවන් 4 දෙනා වෙද මහතාට අත් උදවු දීමට ඔහුගේ නිවසට පැමිණියා.අපේ කුඩම්මා ඒ කාන්තාවන් 4 දෙනාගෙන් කෙනෙක් වුනා.ඇය ⁣වෙද මහතාගෙ ගෙදර පැමිණි දිනකදී ඇයට අපේ අප්පච්චිව මුණ ගැසී තිබුනා.ඒ කාලය වන විට දරුවෙක්ද ලැබී සිටි ඇය, අපේ අප්පච්චී සමග සම්බන්ධක් ඇති කරගත්තා.පසුව දිගින් දිගටම දින කීපයක් ඇයව හමුවීමෙන් පසුව අප්පච්චිගේ ඉල්ලීම මත ඇය අපේ මුඩුක්කු නිවසේ වාසයට ආවා.ඇය ව්‍යාපාරිකයාගේ නිවසේ සැප සම්පත් අත්හැර දමා මුඩුක්කු නිවසක ජීවත් වන්නට ආවේ ඇයිදැයි හැමෝටම වගේ පුදුමයක් වුනා.නමුත් ඇය අප්පච්චිට ආදරේ කරේ නැහැ.ඇය අපේ නිවසට පැමිණි දා පටන්ම හැමවිටකම වගේ කරේ අප්පච්චීට හා අපට දොස් කීම හා අඩුපාඩු කියා බැන වැදීම පමණයි.නමුත් අප්පච්චි හැමවිටම ඒවා ඉවසුවා.

මේ වන විට ටිකින් ටික නැගෙනහිර අහසින් හිරු එලිය ගස් අතරින් රිංගා පොලොව මතට ගලා එමින් තිබුනා.මේ සිදුවන කිසිවක් නොදන්න චූටි කුරුල්ලන්ද සුපුරුදු පරිදි ගස් උඩට වී සතුටින් ගී ගැයුවා.අපි ටිකින් ටික ආණ්ඩුකාරවරයාගෙ නිවසට ලගා වුනා.ගමේ ටිකක් ඇතුළු ප්‍රදේශයට වන්නට පිහිටා තිබූ මධ්‍යම පාන්තිකයන්ගේ නිවෙස් සමග පිහිටා තිබූ ආණ්ඩුකාරවරයාගේ නිවසේ තිබුනේ අනෙක් ගෙවල් වලට වඩා පෞඩ පෙනුමක්.විවිධ මල් වර්ග වැවූ ලොකු වත්තක් මැද වූ තට්ටු දෙකේ නිවසක් වූ එය උස තාප්පයකින් වට කර ගේට්ටුවක් දමා තිබුනා.ගේට්ටුව ලග සිට ගෙයි ඉස්තෝප්පුව ලගට වන තෙක් වත්ත මැද අඩිපාරක් තිබුනු අතර ඒ අඩිපාර දෙපස කපුරු මල් වවා තිබුනා.ගේට්ටුව අසල වූ කුඩා මුර කුටිය ඉදිරිපස කාකි ඇදුමක් ඇදගත් ආරක්ෂක නිලධාරියෙක් අප දෙස සැකයෙන් මෙන් බලමින් සිටියා.අප ඔහුට කතා කිරීමේ අරමුණින් ඔහු අසලට ගියා.

"ශ්වේතා මැඩම් ගෙදර ඉන්නවද අයියේ?" අයියා ඇසුවේ කුලුපගු භාවයක් පෙන්වමිනි.

"මැඩම් මේ වෙලාවෙ ඔෆිස් යන්න ලෑස්ති වෙනවා.ඔය ළමයින්ට මොකක්ද වෙන්න ඕන? අනික ඇයි ඔය ළමයි මෙච්චර උදෙන් ආවෙ?"

"අපිට පොඩි කරදරයක් වුනා අයියෙ.ඒකයි ශ්වේතා මැඩම්ව හම්බවෙන්න ආවෙ.අපිට පොඩ්ඩක් මැඩම් එක්ක කතා කරන්න දෙන්න පුළුවන් නම් අයියාට පින් අත් වෙනවා." අයියා බැගෑපත්ව ඉල්ලා සිටියා.

"මේ වෙලාවෙ නම් ශ්වේතා මැඩම් එක්ක කාටවත්ම කතා කරන්න බෑ.කතා කරන්න ඕන නම් හවස 4න් පස්සෙ එන්න වෙයි."

"අයියාට පුළුවන්ද ගිහිල්ලා මැඩම්ට කියන්න මැඩම්ගෙ දුවයි, පුතයි ඇවිල්ලා ඉන්නවා කියලා." ඒ වාක්‍ය අවසන් කරනවාත් සමගම ආරක්ෂක නිලධාරියාගේ ඇස් උඩ ගියා.ඔහු තවත් ටිකක් අප අසලට පැමිණ අපේ හිසේ සිට දෙපතුල දක්වා හොදින් බැලුවා.ඉන් පසු ඔහු නිකටට දබරැගිල්ල තබාගෙන කල්පනා කරන ස්වභාවයක් පෙන්නුවා.

"ඔතෙන්ටම වෙලා ඉන්නවා මං ආයෙ එනකං." කියා ඔහු ගේට්ටුව ඇරගෙන ඇතුලට ගොස් ගේට්ටුව ඇතුලින් අගුලු දා ඔහු වත්ත මැද වූ අඩි පාර දිගේ ගේ ඇතුලට ගියා.

"කවදාවත් ඉස්කෝලෙවත් ගිහිල්ලා නැතුව කොහොමද අයියෙ අම්මාට ඔෆිස් එකක ජොබ් එකක් හම්බුනේ?" මම අයියාගෙන් ඇසුවා.

"ආණ්ඩුකාරතුමා කොහෙන්හරි අරන් දෙන්නැති.ඔය සල්ලිකාරයොන්ට උන්ගෙ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ පොඩ්ඩියේ.ඒ තරමටම ඔය සල්ලි බලවත්."

මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මුදල් කඩදාසි වලට, මිනිසාටත් වඩා බලයක්, පිලිගැනීමක් සමාජය තුල හිමි වී තිබීම මට නම් පුදුමයක් වුනා.ඒ තරම් පුංචි කඩදාසියකට පුළුවන්ද මනුෂ්‍යත්වය අභිබවා යන්න? ආරක්ෂක නිලධාරියා නැවත ආවෙ විනාඩි 5කට පමණ පසුවයි.ඔහු පිටුපසින් තවත් කවරෙකු හෝ එනවා අපි ඈතට දුටුවා.කොන්ඩය පිටුපසට වලිගයක් සේ ගැට ගසා, කාර්යාල වල රාජකාරි කරන නෝනලා අදින ජාතියේ කළු, සුදු පාට අමුතු ඇදුමක් ඇදගෙන, අඩිය උඩ සෙරෙප්පු දෙකක් දාගෙන, පපුවට උඩින් ටයි පටියක් බැදගෙන, මේ එන්නේ අපේම රුධිරය හිමි අම්මාද? ඇය තුල තවදුරටත් කිසිසේත්ම ගම්බද මුඩුක්කු කාන්තාවකගේ පෙනුමක් තිබුනේ නැහැ.ඇය ඇවිදින තාලයේ පවා ඇගේ මාන්නය ගැබ්ව තිබුනා.මගේ හිත තුල ඇය ගැන වෛරයක් මෙන්ම පුදුමයක්ද ඇතිවී තිබුනා.ගේට්ටුව ඇරගෙන එලියට පැමිණි ඈ ආරක්ෂක නිලධාරියාට කුටිය තුලට වී සිටින ලෙස අතින් සංඥා කරා.අප අසලට පැමිණි ඇය හොද හුස්මක් ඉහලට ගත්තා.

"මොනවද ඔය ළමයින්ට ඕන? සල්ලිද? කෑමද? ඇයි මෙහෙම මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා කරදර කරන්නේ?" ඇය ඇසුවේ තරහින් මෙනි.

"ගමේ මුඩුක්කු ගෙවල් ඔක්කොම ඇමතිතුමාගෙ ව්‍යාපෘතියක් වෙනුවෙන් කඩලා දැම්මා අම්මේ.අප්පච්චි ආගිය අතක් නැහැ.අපිට යන්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්නෙ අම්මෙ." අයියා ඉතා අසරණ ලෙස කියා සිටියා.

"මුලින්ම කියන්න ඕන මම ඔයාලගෙ අම්මා නෙමෙයි.මට දැන් මගේම කියලා පුතාලා දෙන්නෙක් එක්ක, මගේම කියලා ලස්සන පවුල් ජීවිතයක් තියෙනවා.මගේ අතීතය මම දැන් සම්පූර්ණයෙන්ම අමතක කරලයි ඉන්නෙ.ඒ මුළු අතීතයම මගෙන් වෙච්ච තවත් එක අත්වැරදීමක් විතරයි.මේකයි මට ලැබිය යුතුව තිබුනු ජීවිතේ.ඔයාලාගෙ අප්පච්චි කියන්නෙ මට ඒ මාර්ගෙදි හම්බවෙච්ච තවත් එක බාධකයක් විතරයි." ඇය අවධාරනාත්මකව කීවා.

"හරි මැඩම්, මට සමාවෙන්න." ඇගේ වචන ඉදිරියේ අයියා පරාජය බාරගත්තාක් සේ යටහත් පහත්ව කතා කරන්නට ගත්තා.ඒත් සටනකින් තොරව අයියා එලෙස පරාජය බාරගැනීම මට මදිකමක් සේ දැනුනා.ඇගේ ඒ වචන වල පවා ඇය කෙතරම් මාන්නයකින් සිටීද යන්න ගැබ් වී තිබුනා.ඒත් ඇය හා තර්ක කිරීමට හෝ අයට විරුද්ධව කතා කරන්නට තරම් මගේ සිත නිර්භීත නැහැ.ධනවත් පුද්ගලයෙක් දුටු විට ඇති වන ඒ ගෞරව සම්ප්‍රයුක්ත බිය අපට උපන්දා ඉදන්ම පුරුදු හැගීමක් වෙලා තිබුනා.ඒත් තමන්ව කුසින් වදාපු මවට අම්මා කියන්නට නොහැකි නම් වෙන කාට කියන්නද?

"මට ඔයාලව මේ ගෙදර නවත්තගන්න විදියක් නෑ.ආණ්ඩුකාරතුමා කොහෙත්ම කැමති වෙන්නෑ මුඩුක්කුවේ ළමයි මේ ගෙට වද්දගන්නවට.අනික මගේ ළමයි දෙන්නත් මේ ගෙදර ඉන්නවා.ඒක නිසා කරුණාකරලා ආපු දිහාවක් බලාගෙන යන්න." ඇය අවධාරනාත්මකව කියා සිටියා.

"අපිට අඩුමතරමේ සල්ලි කීයක්හරි වත් දෙන්න බැරිද මැඩම්? එහෙම දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්." අයියා බැගෑපත්ව ඉල්ලා සිටියා.

"අයියෝහ්...මම මගේ හෑන්ඩ් බෑග් එක ගේ ඇතුලෙ දාලා ඇවිල්ලා...අමීර්...අමීර්...පොඩ්ඩක් මෙහෙට එන්න." ඇය ආරක්ෂක කුටිය තුලට වී සිටි නිලධාරියාට කතා කරා.

"ඔව් ලොකු මැඩම්, මුකුත් ප්‍රශ්නයක්ද?"

"උඹ ගාව තියෙන කීයක්හරි දීලා මෙන්න මේ ළමයින්ව යවාපං.උඹ අද හවසට ඒ ගාණ මතක ඇතුව මගෙන් ඉල්ලගනිං." එසේ කියා ඇය තව කිසිදු වදනක් නොකියා හැරී ගේට්ටුව ඇරගෙන වත්ත මැදින් වූ අඩිපාර හරහා ගේ ඇතුලට ගියා.අමීර් ඔහුගේ මුදල් පසුම්බිය ගෙන මුදල් ගණන් කරන්නට ගත්තා.

"මං ගාවත් මහ ලොකු ගාණක් නැහැ.ඔය කිව්වාට මැඩම් ආයිත් සල්ලි දෙයිද දන්නෙත් නෑ.මෙන්න මේ ටික ගනිංකො." කියා ඔහු අයියා අතේ මුදල් නෝට්ටු දෙක තුනක් තැබුවා.ඒ මුදල් කඩ කාමරයක් ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුනත් වේල් තුන හතරකට කෑම සදහා යන්තමින් ප්‍රමාණවත් විය.ඒ මුදල් සාක්කුවේ දමාගත් අයියා ආරක්ෂක නිලධාරියා දෙස බලා මද සිනහවක් පෑවේ ස්තූති කිරීමක් වශයෙනි.

"හා හා දැන් පලයව් මෙතනින්."

අයියා මගේ එක අතකින් අල්ලාගෙන මාත් සමගම ආපු පාර දිගේම ඉදිරියට ඇවිදන් ගියා.ඔහුගේ මුහුණේ කිසිදු හැගීමක සේයාවක් නැහැ.

"අපි මේ කොහෙද යන්නෙ අයියෙ."

"අපි නවතින්න තැනක් හොයාගන්න එපැයි පොඩ්ඩියේ." ඔහු පාරේ ඉදිරිය දෙසම බලාගෙන කීවා.

"අපි ගියාට පස්සෙ අප්පච්චි පරක්කු වෙලා ඇවිල්ලා අපිව හෙව්වද දන්නෑ නේද අයියෙ?"

"නෑ...මං හිතන්නෑ අප්පච්චි එයි කියලා, මට හිතෙන්නෙම..." ඔහු යමක් කියන්නට ගොස් එය නොකියාම නිහඩ වුනා.

"මොකක්ද අයියා කියන්න හැදුවෙ?" ඔහුගෙන් පිලිතුරක් නොවීය.තවදුරටත් ඒ ගැන අසා ඔහුට කරදර කිරීම අනවශ්‍ය යැයි සිතූ මා නැවතත් කල්පනාවට වැටුනා.මේ වන විට වෙලාව උදේ 6 පසුවී තිබුනා.උදෙන්ම අවදි වූ මිනිසුන් ගෙවල් වල වැඩ කඩිමුඩියේ අරභා තිබුනා.මධ්‍යම පාන්තික පවුල් වල දරුවන් පාට පාට පොත් බෑගද කරින් ගෙන ගමේ පාසල වෙත යමින් සිටියා.ගෙවල් වල දර ලිපේ පැසෙන බත් සහ ව්‍යංජන වල සුවදින් මුළු පාරම සුවදවත් වුනා.

"අයියෙ අපි දැන් මොකද කරන්නෙ?" නිහඩතාවය බිදීමට මෙන් මා ඇසුවා.

"අපිට තව යන්න තියෙන්නෙ එක තැනයි පොඩ්ඩියේ."

"ඒ කොහෙද අයියෙ?"

"උඹට මතකද අර බිස්නස් කරන උන්නැහේව, අර කුඩම්මා නැවතිලා ඉන්න ගෙදර?" අයියා ඇසුවේ මගේ දෙස බලමිනි.

"මොකද මං නොදන්නෙ, වෙද මහත්තයාගෙ ගෙදරට එහා ගෙදර නොවැ.ඒත් අපිට එහේ නවතින්න දෙයිද?"

"අපි කුඩම්මාගෙන් අහලා බලමු.මං අහලා තියෙන විදියට නම් ඒක හුඟක් ඉඩකඩ තියෙන විසාල ගෙදරක්ලු.අපි කියමු අපි ගෙදර වැඩ වලට උදවු වෙන්නම්ය අපිට නවතින්න තැනක් විතරක් දෙන්නයි කියලා." අයියා බලාපොරොත්තු සහගතව කීවා.මටත් අයියා වගේ දේවල් ගැන මීට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන් වුනා නම්, මං දන්නවා එයා අපිට ඉන්න තැනක් හොයාගන්නකල් මේ සටන අතාරින්නෙ නැති බව.අප්පච්චිවත් ලග හිටියා නම් අපිට මෙහෙම පාරවල් ගානෙ හිගමනේ ඇවිදින්න වෙන්නෙ නැහැ.

ආණ්ඩුකාරවරයාගේ නිවසේ සිට ව්‍යාපාරිකයාගේ නිවසට බොහෝ දුරක් වීය.නමුත් පොඩිම විවේකයක් ගැනීමටවත් මග නොනැවතුනු අයියා දිගටම පාරේ ඉදිරිය දෙස බලාගෙන ඇවිදින්නට වුනා.මම ඔහුගේ අතකින් අල්ලාගෙන සිටි නිසා මටද ඔහු හා සමාන වේගයකින් ඇවිදින්නට වුනා.පැයකට ආසන්න කාලයක් ඒ මුළු දුරම පයින් ගිය අපි අවසානයේ එතැනට ලගා වන විට මට දැනුනේ දැඩි මහන්සියකි.බිම තිබූ ලොකු ගලක් උඩින් වාඩි වූ අයියා ඔහුගේ බොකුටු හිසකෙස් අතර වූ දාඩිය බිදු සියල්ල අතින් ගසා දැමුවා.

"අරක තමයි ගෙදර" අයියා මට ඇගිල්ලක් දිගු කර මදක් ඈතින් වූ තට්ටු දෙකක් උස ගෙයක් පෙන්නුවා.ගෙයි බිත්ති වල සුදු තීන්ත ආලේප කර තිබුනු අතර ඉදිරිපස ගේට්ටුව සම්පූර්ණයෙන්ම විවෘත කර තිබුනා.එය කෙතරම් ලස්සන ගෙයක්දැයි දුටු මට මෙච්චර ලස්සන, සැප පහසු ගෙදරක අපිට නවතින්න දෙයිද කියා ලොකු සැකයක් හිතේ ඇති වුනා.ඒත් අයියා නැගිට ඒ දෙසට ඇවිද යාමට පටන් ගත්තා.ගේට්ටුව අසලට ගිය අපට ඒ අසල සිටි මැදි වියේ වූ කාන්තාවක් දක්නට ලැබුනා.ඇය ගේට්ටුව ඉදිරියට තල්ලු කරමින් එය වසන්නට උත්සාහ කරමින් සිටියා.අපිව දුටු ඇය අප දෙස අමුතු බැල්මක් හෙලා කතා කරන්නට වුනා.

"උඹලා මොකද මෙතන කරන්නෙ? මහත්තයා දැන් ටිකකට කලින් ව්‍යාපාර වැඩකට එලියට ගියා.උඹලා ආවෙ මහත්තයාව හම්බවෙන්න නම් හෙට උදේට වරෙල්ලා." අපට කිසිවක් කියන්නට ඉඩක් නොතබාම ඇය කීවා.

"අපි ආවෙ අපේ කුඩම්මාව හම්බවෙන්න." අයියා කීවා.

"කවුද උඹලෑ කුඩම්මා? ආර්යා ද?" ඇය ඇසුවේ සැකමුසු ලෙසය.

"ඔව්, එයා ගෙදර ඉන්නවද?"

"හ්ම්ම්...ඔහොම හිටපං මං ගෙට ගොහින් ඒකිට කියන්නම්." එසේ කියා ඇය ගේ ඇතුලට ගියා.තණ පිඩැලි අල්ලා තිබූ ඒ වත්තේ ඈත මල් පදුරු ගොඩක් අස්සට වී උයන්පල්ලෙකු ඒ පදුරු කප්පාදු කරමින් සිටියා.මේ වන විට ඉර තරමක් මුදුන් වී තිබුනු නිසා අවට තිබුනේ තරමක උණුහුමක්.එක්වරම ගෙයි දොර ඇරගෙන කාන්තාවක් එලියට ආවා.රතු ගවුමක් සහ දිග හැට්ටයක් ඇද සිටි ඇය ගම්බද කාන්තාවකට උචිත පරිදි කොන්ඩය පිටිපස්සට කර බෝලයක් සේ බැද තිබුනා.ඇය තවත් ඉදිරියට ඇවිදගෙන එද්දියි මා දුටුවේ ඒ කුඩම්මා බව.ඇගේ මුහුණේ තිබුනේ නුරුස්සන පෙනුමක්.ඇය ඇවිදින විදියේ පවා වේගවත් බවක් තිබුනා.ඇය අප අසලට එන්නට පෙරම මට තේරුණා ඇය සිටින්නේ තරහින් බව.

"උඹලා මොන මගුලකටද යකුනේ මෙහාට ආවෙ? උඹලාගෙ අප්පච්චිට වෙච්ච දේට මට කරන්න දෙයක් නෑ.ඕකා කඩාගෙන බිදගෙන ගියපු විදියෙන්ම මට තේරුනා ඔහොම දෙයක් කරගනියි කියලා."


_______ඊලග කොටසින් හමුවෙමු______

රචනය - H.L.නෙසදු මලීෂ (Dicaprio)

⁣මගේ පලමු නවකතාවේ පලමු දිගහැරුම...

Report Page