කදුලින් උපන් කතාවක් - Part 02

කදුලින් උපන් කතාවක් - Part 02

Dιƈαρɾισ

"උඹලා මොන මගුලකටද යකුනේ මෙහාට ආවෙ? උඹලාගෙ අප්පච්චිට වෙච්ච දේට මට කරන්න දෙයක් නෑ.ඕකා කඩාගෙන බිදගෙන ගියපු විදියෙන්ම මට තේරුනා ඔහොම දෙයක් කරගනියි කියලා." ඇගේ ඒ ප්‍රකාශය නිසා අපි පුදුමයෙනුන් පුදුමයට පත් වුනා.අප්පච්චිට කරදරයක්වත් වෙලාද? අප්පච්චි හොදින්ද? ප්‍රශ්න රාශියක් මගේ හිත තුල කැකෑරෙන්නට වුනා.

"මොකක්ද කුඩම්මෙ ඒ අප්පච්චි ගැන කියපු කතාව?" අයියා ඇසුවේ කුතුහලයෙනි.

"ඇයි උඹලට ආරංචි වුනේ නැද්ද උඹලෑ අප්පච්චි ගැන? මටත් ආරංචි වුනේ ඊයෙ හවස මෙහෙට ආපු රාලහාමි කෙනෙක්ගෙන්.තව ටික දවසකින් මටත් මොනවයින් මොනවා වෙයිද දන්නෑ.උඹලාගෙන් කවුරුහරි මං ගැන ඇහුවොත් දන්නෙ නැතැයි කියාපං, හරිද?"

"අපිට මුකුත් ආරංචි වුනේ නෑ කුඩම්මෙ.අපි අද උදේ ඉදන්ම අපිට නවතින්න තැනක් හොයනවා.ඉතින් කියන්නකො අප්පච්චිට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා කුඩම්මෙ." අයියා කුතුහලයෙන් ඇසුවා.

"උඹලා මෙහාට ආවෙ නවතින්න තැනක් හොයාගෙනද?"

"ඔව්, අපිට වෙන යන්න කියලා තැනක් ඉතුරු වෙලා නෑ කුඩම්මෙ."

"උඹලා දන්නවද බොලව් මම කොච්චර අමාරුවෙන්ද මෙහේ මාව නවත්තගන්න මහත්තයාව කැමති කරගත්තෙ කියලා? මම කලින් උඹලෑ අප්පච්චි එක්ක පැනලා ගියපු නිසා මහත්තයා කැමති වුනේ නෑ මාව ආයිත් ගෙටවත් වද්දගන්නවට.මම බොහොම අමාරුවෙන් මගේ පරණ මායම් 64න් පහ හයක් දාලා තමයි යන්තං මාව නවත්තගන්න කැමති කරවගත්තෙ." කුඩම්මා තරහින් කියාගෙන ගියා.

"ඒ කියන්නෙ මහත්තයා අපිව මෙහේ නවත්තගන්න අකමැති වෙයිද කුඩම්මෙ?" අයියා ඇසුවා.

"පිස්සුද බං උඹට? මෙහේ ඔක්කොම ඉන්නෙ වැඩිහිටි මිනිස්සු විතරයි.රෑට තව ලොකු ලොකු මිනිස්සු මෙහෙට ඇවිල්ලා පාර්ටි දානවා.මෙහේ වෙන දේවල් මට උඹලාට තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ.උඹලා ඒවා නොදන්න තරමට හොදයි.උඹලා මේ පැත්තෙ එන්න එපා ආයිත්.මම උඹලත් එක්ක කතා කරනවා කවුරුහරි දැක්කොත් මටත් උඹලාට වගේ පාරට බහින්නයි වෙන්නෙ." කුඩම්මා එසේ කීවේ සෝදිසියෙන් වටපිට බලමිනි.කුඩම්මාගෙ පිලිතුර නිසා අයියාගෙ මුහුණ මලානික වී ගියේ මගේ ඇස් ඉදිරිපිටමය.ඔහුගේ අවසන් බලාපොරොත්තුවද ඔහුට නැති වී ගියා.ඔහු ඔහුගේ ඇස් වලට පිරෙමින් තිබූ කදුළු බිදු සගවාගන්නට මෙන් බිම බලාගත්තා.ඔහුගේ ඒ වේදනාව මටද එලෙසම දැනෙන්නට වුනා.මම ඔහුගේ දකුණු අත මගේ අත් දෙකෙන්ම තද කර බදාගෙන ඔහුගේ ඇගට තුරුල් වුණේ එයින් ඔහුගේ හිතට යම් සහනයක් ලැබේ යැයි සිතාය.හිස පහත් කරගෙන මා දෙස හොරැහින් බැලූ ඔහු නැවතත් හිස ඔසවා කුඩම්මා දෙසට හැරුනා.

"අපි තාම කෑම මුකුත් කාලාවත් නෙමෙයි ඉන්නෙ කුඩම්මෙ, අපිට හරිම බඩගිනියි.කුඩම්මාට බැරිද අපිට කෑම ටිකක්වත් දෙන්න?" අයියා මගේ හිත කියෙව්වාක් මෙන් කුඩම්මාගෙන් එලෙස ඇසුවා.ගැඹුරු හුස්මක් ඉහලට ගත් කුඩම්මා ගේට්ටුව අසලින් එලියට පැමිණ පාර දෙපස හොදින් බැලුවා.ඉන් පසු නැවතත් වත්තට ඇතුලු වූ ඇය මද වෙලාවක් නිහඩව කල්පනා කරා.

"හරි, උඹලා ඇතුලට ඇවිල්ලා වත්තෙන් ඉදපල්ලා.මම ගේ ඇතුලට ගිහිල්ලා මොනවාහරි කන්න අරන් එන්නම්." එසේ කියා අපව වත්ත තුලට ගෙන ගේට්ටුව වසා දැමූ ඇය ඉක්මන් ගමනින් ගේ ඇතුලට ගියා.ඇයගෙන් කලින් අයියා අප්පච්චි ගැන ඇසූ විට ඇය ඒ ප්‍රශ්නය මගහැරීම ගැන මට සැකයක් ඇති වී තිබුනා.

"කුඩම්මාගෙන් අප්පච්චි ගැන ඇහුවාම කුඩම්මා ඒ ප්‍රශ්නෙ ම⁣ගෑරියෙ ඇයි අයියෙ?" අයියාගේ අතේ තවමත් එල්ලී සිටි මා ඔහුගේ මුහුණ දෙස බලා එලෙස ඇහුවා.

"මටත් හිතාගන්න බෑ පොඩ්ඩියේ.කුඩම්මා ඒක ගැන කතා කරන්නත් බයයි වගේ හැසිරුනේ.කුඩම්මා ආවාම අපි ආයිත් අහලා බලමු." විනාඩි 3කින් පමණ කුඩම්මා නැවත පැමිණියේ තෝසෙ, ඉට්ලි සමග සාම්බාරු තිබූ පිගානක්ද අතින් රැගෙනය.මධ්‍යම පාන්තික ජනතාව අතර ප්‍රසිද්ධ මේ කෑම අපට නම් දිව්‍ය බොජුන් මෙන් විය.මා බඩගින්නෙන් සිටින බව දුටු අයියා තෝසෙ දෙකක් පමණක් කා ඉතිරි සියල්ල මට කන්නැයි කීවා.මම කෑම කන ආකාරය ඔහු මා දෙසට හැරී සිනහ වෙමින් බලා සිටියා.ඔහු මා දෙස බලා සිනාසෙන බව දුටු මාද සිනහ වෙමින් ඔහු දෙස බලා "මොකෝ?" යැයි අසා තෝසෙ කැබැල්ලක් කඩා විසිකර ඔහුට ගැසුවා.ඔහු ඒ තෝසෙ කැබැල්ල ඇහිදගෙන නැවත මටම එයින් විසිකර ගැසුවේ සිනාසෙමිනි.අයියාගේ සිනාව නැවතත් දකින්නට ලැබීම මටද සතුටක් වුනා.

"ඒයි ඒයි උඹලාට මම කෑම ගෙනල්ලා දුන්නෙ කන්න මිසක් ඕවයින් සෙල්ලම් කරන්න නෙමෙයි යකුනේ.ඕවා උඹලගෙ මුඩුක්කු ගෙවල් වල හදන පිටි නැති රොටි වගේ නෙමෙයි, ඕවා හොද වංශවත් කෑම.ඒක නිසා තියෙන දෙයක් ඉක්මනට කාලා පලයල්ලා.මහත්තයා කොයි වෙලේ කඩාපහත් වෙයිද කියන්න බෑ." නොඉවසිලිමත් බවකින් යුතුව කුඩම්මා එසේ කීවා.

"මොකක්ද කුඩම්මෙ අර අප්පච්චි ගැන කියපු කතාව?" අයියා ඇසුවා.

"මම ඕවා දන්නෑ, මගෙන් අහන්න එපා." කුඩම්මා තරහින් කීවා.

"එතකොට කුඩම්මා කලින් කිව්වෙ?"

"උඹලාට ඕක ගැන දැනගන්නම ඕන නම් ගිහිල්ලා පොලීසියේ රාලහාමි කෙනෙක්ගෙන් අහපං.මට කැමති නෑ උඹලාගෙ ප්‍රශ්න වලට මගේ නම ගෑවෙනවට.පස්සෙ මටත් මේ ගෙදර නිවී හැනහිල්ලෙ වසන්න බැරි වෙනවා." කුඩම්මා ඒ කියූ ආකාරයට නම් මට වැටහුනේ අප්පච්චිට කුමක් හෝ කරදරයක් වී ඇති බවයි.අප්පච්චිට කරදරයක් වී ඇති බව දැනගැනීමම මගේ හිතට බලවත් කම්පනයක් වුනා.

"අයියෙ අපි තව පරක්කු වෙන්න කලින් දැන්ම පොලීසියට ගිහිල්ලා අප්පච්චි ගැන හොයලා බැලුවොත් නරකද? සමහරවිට අප්පච්චි අපි එනකල් බලන් ඉන්නවද දන්නෙත් නෑ." මම අයියාගේ කනට කර රහසින් කීවා.එය හිස සොලවා අනුමත කල ඔහුද වාඩි වී සිටි තැනින් නැගිට්ටේ පිටවී යාමේ අරමුණිනි.මටද නැගිටීම සදහා අත දුන් ඔහු පසුව කුඩම්මාගෙන් වෙලාව විමසුවා.

"දැන් 12ටත් ලගයි කොල්ලො.උඹලා දැන්ම ගියොත් නම් දවල් 2 වෙන්න කලින් යා ගත හැකි වෙයි.ඒක නිසා ඉක්මනට පලයල්ලා." කුඩම්මාට ස්තූති කල අයියා සහ මා ගෙදර ගේට්ටුවද ඇරගෙන එලියට බැස්සා.පොලීසියට යාමට නම් ආණ්ඩුකාරවරයාගෙ ගෙදරද පසු කරගෙන අපි ආපු පාර දිගේ නැවතත් බොහෝ දුරක් යා යුතුය.පයින් ගියොත් නම් අඩු තරමින් පැය දෙකක් වත් යන ගමනක්ය.නමුත් එතරම් වෙලාවක් පයින් ඇවිදීම ඉතා දුෂ්කරය.ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි මාර්ගය දිගේම ආපසු යමින් සිටි අපි කිසිදු කතාවක් නැතිවම පාර දිගේ ඉදිරියට ඇවිද ගියා.මේ වන විට ඉර අහසේ සම්පූර්ණයෙන්ම මුදුන් වී තිබුනු නිසා අපි දැනටමත් දහඩියෙන් තෙත් වී සිටියා.පරිසරය පුරාම තිබුනේ දැඩි අව් රෂ්මියක්.අපට ඉහලින් අහසේ උකුස්සෙක් රවුමට පියාබමින් සිටිනවා දුටු මට සිතුනේ ඌ අපව ගොදුරු කරගන්නට බලා සිටිනවා යැයි කියායි.ඒ නිසා හිතේ ඇති වූ චකිතය නිසා අයියා අසලින්ම පා තැබූ මා අයියාගෙ අතගැලි සමග මගේ අතගැලි පටලා ගත්තා.මට සැමවිටම අයියා සමග සිටින විට ආරක්ෂාකාරී බවක් දැනුනා.ශරීරයෙන් එතරම් ශක්තිමත් නොවුනත් ඔහු සිතින් අයෝමය පුරුෂයෙක් වුනා.පාරේ ඉදිරියට යන අතරතුර දහඩියෙන් පෙගී ඔහුගේ නලලට වැටෙන කෙස් කියඹුව ඔහු වරින් වර අතින් පැත්තට පීරා ගත්තා.මා ඔහු දෙස බලා සිටිනවා දුටු ඔහු හිස හරවා මා දෙස බලා සිනාසුනා.

"මට සමාවෙන්න පොඩ්ඩියේ." ඔහු සුසුමක් පිටකරමින් කීවා.

"ඒ මොකටද අයියෙ?"

"මට තාමත් අපිට නවතින්න තැනක් හොයාගන්න බැරි වුනා.මට සමාවෙයං උඹටත් මේ දුක විදින්න වුනාට.මට කවදාවත් ඕන වුනේ නැහැ උඹ මේ වගේ දුක් විදිනවා දකින්න." අයියාගෙ මුවින් පිට වූ ඒ වචනයක් වචනයක් ගණනේ ගැබ් වී තිබුනේ කලකිරීම සහ බලාපොරොත්තු සුන් වීමයි.මගේ අනිත් අතිනුත් ඔහුගේ අත තදින් අල්ලාගත් මා ඔහු දෙස සානුකම්පිත බැල්මක් හෙලුවා.

"ඒකට කමක් නෑ අයියෙ.අයියාට දුක් විදින්න හොද නම් ඇයි මට හොද නැත්තේ.මට විශ්වාසයි අයියා ඉක්මනටම අපිට නවතින්න තැනක් හොයාගනියි කියලා.අයියා මාත් එක්ක ඉන්නකල් මට බයක් නෑ දුක් විදින්න."

_____________________________________

විනාඩි 30ක් පමණ එකදිගට ඇවිදින්නට වූ අපි මේ වනවිට දහඩියෙන් නෑවී සිටියා.පෙනෙන තෙක් මානයේ වූයේ ගස් වැල් වලින් තොර දුඹුරු පාට කදු පංති පමණකි.ඈතින් ත්‍රීරෝද රථ කිහිපයක් නවතා තිබෙනවා දුටු මා ඒ දෙස විමසල්ලෙන් බැලුවා.එය ත්‍රිරෝද රථ නැවතුමක්.තව පැයකටත් වඩා පයින් ඇවිදිනවාට වඩා ත්‍රීරෝද රථයක යන්නට තිබුනා නම් කෙතරම් හොදදැයි මට සිතුනා.

"අපි වීල් එකකින් යමුද පොඩ්ඩියේ?" මගේ හිතේ තිබුනු දේ අයියා එලෙසම කීම මාව පුදුමයෙනුත් පුදුමයට පත් කරා.මා ඔහු දෙස පුදුමයෙන් බලා සිටිනවා දුටු ඔහු සිනහවෙමින් මා දෙස බැලුවා.

"මං හිතපු එක අයියා ⁣කොහොමද හරියටම කිව්වෙ?" මම සිනාමුසු මුහුණින් ඇසුවා.

"උඹට විතරක් නෙමෙයි පොඩ්ඩියේ ඇවිදලා ඇවිදලා මටත් දැන් හරි මහන්සියි, අම්මාගෙන් හම්බවෙච්ච සල්ලි කෑමට වියදම් වෙච්ච නැති නිසා එයින් ටිකක් අපිට වීල් එකට දෙන්න පුළුවන්." අයියා නළල දිගේ පහලට බේරෙමින් තිබූ දහඩිය බිදු එක අතින් ගසා දමමින් කීවා.ත්‍රිරෝද රථ ගාල වෙත ගිය අපි එහි ඉදිරියෙන්ම නවතා තිබූ රථය අසලට ගියා.රථය තුල සිටි රියදුරා අප දෙස සැකමුසු බැල්මකින් බලන්නට වුනා.

"අපිව පොලීසිය ගාවට ගිහින් දාන්න පුළුවන් වෙයිද?" අයියා රියදුරාගෙන් ඇසුවා.අප වෙත අමුතු බැල්මක් හෙලූ ඔහු අප දෙදෙනාගේම හිසේ සිට පාද දක්වා හොදින් පිරික්සන්නට වුනා.

"ඕන අහක එක්කන් යන්නං මට ඉස්සෙල්ලා සල්ලි පෙන්නපං.මම කාවවත් පිනට එක්කන් යන්නෑ." ඔහු තරමක් උස් හඩින් කීවා.අපි දෙදෙනාම ඇද සිටියේ පරණ කිලිටි වූ වැරහැලි ඇදුම් දෙකකි.ඒ නිසා ඔහුට අප ගැන සැක හිතෙන්නට ඇති.

"අපි ලග සල්ලි තියෙනවා...මේ..." කියා අයියා අම්මාගෙන් ලැබුනු මුදල් සාක්කුවෙන් ඉවතට ගෙන රියදුරාට පෙන්වූවා.සල්ලි දෙස හොදින් බැලූ ඔහු නැවතත් අප දෙස විමසිල්ලෙන් බලන්නට වුනා.

"මට උඹලාව විශ්වාස නෑ.සමහරවිට මම උඹලාව පොලීසිය ගාවින් බස්සපු ගමන් උඹලා බැහැලා දුවන්නත් බැරි නෑ.මට මුඩුක්කුවේ එවුන් කොහෙත්ම විශ්වාස නෑ.ඒක නිසා උඹලාව පොලීසිය ගාවට ගිහින් දාන්න ඕනනම් මට මුලින්ම සල්ලි ගෙවලා ඉදපල්ලා." ඔහු පහ නොවූ සැකය මත කතා කරන්නට වුනා.

"හරි, ප්‍රශ්නයක් නෑ.ඔය උන්නැහේට කීයක් ඕනද?" පොලීසිය ගාවට යමෙට අවශ්‍ය ගණන අයියා ඔහුට ගෙවූ පසු අපිට ත්‍රිරෝද රථයට නගින්න අවසර ලැබුනා.අවංකවම මින් පෙර කිසිම දිනෙක අපි ත්‍රිරෝද රථයක ගිහින් තිබුනේ නැහැ.මුඩුක්කු ජනතාව අතර වූ ඉහලම වාහානය වූයේ බයිසිකලය පමණකි.බයිසිකලයක් තිබුනේද මුඩුක්කුවේ ජීවත් වූ අයගෙන් දෙතුන් දෙනෙකුට පමණි.ඒ නිසා මෙය අපට අලුත්ම අත්දැකීමක් වුනා.අපි රථයට නැගගත් පසු රථය පණගැන්වූ ඔහු මොහොතක්වත් ප්‍රමාද නොකර ගමන ආරම්භ කරා.වේගයෙන් අපව පසු කරමින් ඈතට යන ගස්, ගල්, මිනිසුන්, ගෙවල් දෙස මම පුදුමයෙන් බලන්නට වුනා.මම එක අතක් රථයෙන් එලියට දිගු කරා.අවට උණුහුම් වාතය මගේ අත හරහා විනිවිද යන්නට වුනා.අයියාද අවට කුතුහලයෙන් මෙන් අවට නරඹන්නට වුනා.විනාඩි 20ක පමණ ගමනකින් පසුව අපි පොලිස් ස්ථානය වෙත ලගා වුනා.එය තවත් දුර්වර්ණ වූ ගොඩනැගිලි කීපයක් මධ්‍යයේ පිහිටා තිබුනා.එහි ඉදිරිපිටම විශාල පුවරුවක් මත කොල පාට අකුරින් කුමක් හෝ ලියා තිබුනත් මට හෝ අයියාට අකුරු කියවීමට නොහැකි නිසා එය තේරුම් ගැනීමට නොහැකි වුනා.එහි ඉදිරිපිට කාකි ඇදුම් ඇදගත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් සිටි නිසා එය පොලිස් ස්ථානය විය යුතු බව තේරුම් ගැනීමට අපට එතරම් අපහසුවක් වූවේ නැහැ.

"ඕං මෙතන තමයි තැන.දැන් බැහැපල්ලා." රියදුරා අප දෙසට හැරී පැවසුවා.රථයෙන් බැසගත් අපි පොලිස් ස්ථානය වෙත ඇතුල් වීමට පෙර අවට ප්‍රදේශය දෙස විමසිල්ලෙන් බැලුවා.කෑම කඩ දෙක තුනක්, පෞද්ගලික සමිති ශාලාවක්, වාහාන අලුත්වැඩියා කරන ස්ථානයක් හා තවත් ගොඩනැගිලි කීපයක් ඒ අවට තිබුනා.මගේ අතකින් අල්ලාගත් අයියා මාත් සමග සෙමින් සෙමින් පොලිස් ස්ථානය වෙත ඇතුල් වුනා.ඉදිරියෙන්ම දිග මේසයක් තබාගෙන තරමක් තරබාරු, විශාල කාච සහිත උපැස් යුවලක් පැලද සිටි පොලිස් නිලධාරියෙක් පොතක යමක් ලියමින් සිටි අතර ඔහුට දෙපැත්තෙන් පැසේජ දෙකක් විය.එක් පැසේජයකින් සිර කුටි වලටත්, අනෙක් පැසේජයෙන් නිලධාරීන්ගේ කුටි වලටත් ඇතුල් විය හැකි බව මට පෙනී ගියා.තරබාරු පොලිස් නිලධාරියාට පිටුපසින් වූ බිත්තියේ ඔරලෝසුවක වෙලාව දහවල් 1.20 ලෙස සටහන් වී තිබුනා.අපි ඔහු අසලටම ඇවිදගෙන ගියත් ඔහු දිගටම ඔහුගේ කාර්‍යයේ යෙදී සිටියා.ඔහුගේ අවධානය ගැනීම සදහා අයියා කටට අත තබා බොරු කැස්සක් පිට කරා.

"මොකද?" තරබාරු පොලිස් නිලධාරියා අප දෙසවත් නොබලා ඔහුගේ වැඩයේ යෙදෙන ගමන් ඇසුවා.

"අපේ අප්පච්චිට මොකක්හරි කරදරයක් වෙලා සර්.අපිට එයා ගැන පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද වෙයිද?"

"උඹලා මෙහාට ආවෙ පැමිණිල්ලක් කරන්නද, නැත්තං කට උත්තරයක් දෙන්නද?" ඔහු හිස පහතට නමාගෙන පොතේ දිගින් දිගටම යමක් ලියන ගමන් ඇසුවා.

"නෑ සර්, අපේ අප්පච්චි මීට සතියකට විතර කලින් මුම්බායි වලට ගියා රස්සාවක් හොයාගන්න කියලා.අප්පච්චි කිව්වා සදුදාට කලින් අනිවාර්යයෙන්ම ආයිත් එනවා කියලා.ඒත් අද සදුදා වෙලත් අප්පච්චි තාම ආවෙ නැහැ.කෙනෙක් කිව්වා පොලීසියට ගිහිල්ලා අප්පච්චි ගැන අහන්න කියලා.ඒකයි අපි මේ ආවෙ." අයියා යටහත් පහත් අයුරින් පැවසුවා.කරමින් සිටි වැඩය නවතා උපැස් යුවල ඔසවා අප දෙස බැලූ ඔහු පසෙකින් තිබූ විශාල දම් පැහැති පොතක් අතට ගෙන එය විවෘත කරා.

"මොකක්ද උඹලෑ අප්පච්චිගෙ නම?" ඔහු හිස් බැල්මකින් යුතුව ඇසුවා.

"රෝහිත් සිංග්" අයියා කීවා.තත්පර කිහිපයක් පොතේ පහලට පහලට නම් කිහිපයක් බැලූ ඔහු එක්වරම 'ආහ් හරි මතකයි' යැයි කියා පොත වසා පසෙකින් තැබුවා.

"උඹලාද එතකොට එයාගෙ ළමයි?"

"ඔව් සර්"

"හ්ම්ම්...උඹලාගෙ අප්පච්චි දවස් 5කට කලින් මුම්බායි වල මංගල් කැලේ ඌරො දඩයමේ ගිහිල්ලා තියෙනවා තවත් 3 දෙනෙක් එක්ක.සමහරවිට උඹලා දන්නෙ නැතුව ඇති මංගල් කැලේ කියන්නෙ සත්තු දඩයම් කරන්න තහනම් කරපු අභය භුමියක්.මේ අය රෑ කැලේට හොරෙන් ඇතුල් වෙලා කැලේ තැන් කීපයකම සත්තුන්ට උගුල් අටවලා තියෙනවා.දවසක් වන ජීවි නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල වෙච්ච අලියෙක්ට බෙහෙත් කරන්න රෑ කැලේට ඇවිල්ලා තියෙනවා.ඒ එක නිලධාරියෙක් ඔය උගුලකට පය තියන්න ගිහිල්ලා අනූ නවයෙනුයි පණ බේරගෙන තිබුනෙ.ඔහු කියපු හැටියට නම් ඒවා මනුස්සයෙක්ව උනත් ක්ෂණිකව මරලා දාන්න පුළුවන් ජාතියේ දරුණු උගුල්.ඔවුන් එදාම රෑ ඇවිල්ලා අපිට සම්පූර්ණ සිද්ධියම කියලා පොලීසියේ පැමිණිල්ලක් දාලා.පහුවෙනිදා හවස අපේ පොලිස් නිලධාරීන් පිරිසක් සහ හමුදා නිලධාරීන් පිරිසක් එකතු වෙලා දඩයක්කාරයො ටික කැලේ කදවුරු ගහං ඉන්න තැන හොයාගන්න සමත් වෙලා තියෙනවා.නිලධාරීන් පිරිස ගිහිල්ලා එතන වටකරද්දිම එතන හිටපු දෙන්නෙක් නිලධාරීන්ගෙන් බේරිලා පැනලා ගිහිල්ලා තියෙනවා.එතනින් එක්කෙනෙක්ව පසුව නිලධාරීන් අල්ලගන්න සමත් වෙලා තියෙනවා.අනිත් කෙනා දුවද්දි උන්ම අටවපු උගුලකට අහු වෙලා උල් ලීයක් බෙල්ල හරහා ගිහිල්ලා එතනම මැරිලා තියෙනවා.ඒ මැරිච්ච කෙනා තමයි උඹලාගෙ අප්පච්චි...." ඒ අවසන් වචන මගේ හිත තුල දෝංකාර දෙන්නට ගත්තා.ඇග පුරාම විදුලි සැරක් වැදුනාක් මෙන් සීතල වී ගිය මගේ ශරීරය දෙපසට පැද්දෙන්නාක් මෙන් මට දැනුනා.නිලධාරියාගෙ මේසය අල්ලාගත් මා එයට බර දුන්නෙ මා ක්ලාන්ත වේ යැයි බියෙනි.

"මොකක්....අපේ අප්...පච්චි මැරිලා?" මම වෙවුලන ස්වරයෙන් ඇසුවා."

"හ්ම්ම්, ඔව්" පොලිස් නිලධාරියා බැරෑරුම් පෙනුමක්ද මුහුණට ආරූඪ කර ගනිමින් හිස උඩට පහලට සලන්නට වුනා.ඒ ක්ෂණිකයෙන්ම මගේ අත පණ නැති වී, මම බරදීගෙන සිටි මේසයයෙන් මගේ අත අත්හැරී මා පිටුපසට විසිවුනා.වේදනාවෙන් දැවුනු හිත කැබලි වලට බිදී යන්නාක් සේ දැනුනා.සියලු දෑ ටිකින් ටික ඇදුරු වී යන්නට වුනා.බොද වී යමින් තිබූ දර්ශන අතරින් මාව අල්ලා ගැනීමට මා දෙසට දිව එන අයියාද, කලබලයෙන් පුටුවෙන් නැගිටගත් පොලිස් නිලධාරියාවද මට පෙනුනා.මගේ මතකයේ ඇති අවසන් දේ වූයේ මගේ හිස පොලවේ ගැටෙන විට දැනුනු වේදනාව පමණකි.

______________________________________

මා නැවතත් නැගිටින විට මා සිටියේ ඇදක් උඩ හාන්සි වීය.ආලෝකයට හුරු වෙමින් තිබූ මගේ ඇස් මම ටිකින් ටික ආලෝකයට නිරාවරණය කරන්නට වුනා.කිසිම ශබ්දයක් හරිහැටි නොඇසෙන සේ කන් තවමත් අගුළු වැටී තිබුනා.ටිකින් ටික ඇස් තුලට ගලා ආ ආලෝක කදම්භ මගින් මම මා අසල මිනිසුන් 3 දෙනෙක් සිටින බව හදුනාගත්තා.ඇස් නැවතත් ප්‍රකෘති ලෙස පෙනෙන්නට ගත්තද මට හිසේ තද බල වේදනාවක් දැනුනු නිසා මම නැවතත් ඇස් වසා ගත්තා.හිසේ වේදනාව සමග අමාරුවෙන් ඇද මත හිදගත් විට ටිකින් ටික මගේ කන් වලටද සුපුරුදු ලෙස ශබ්දය ගලා එන්නට ගත්තා.

"පොඩ්ඩියේ" හුරුපුරුදු කටහඩකින් ඇසුනු ඒ ශබ්දය නිසා මම ඇස් විවෘත කර බැලුවා.සිර කුටියක ඇදක් මත ඉදගෙන සිටි මගේ ඉදිරියෙන් අයියා, කලින් හමුවූ තරබාරු පොලිස් නිලධාරියා සහ තවත් පොලිස් නිලධාරියෙක් මා දෙස අවධානයෙන් බලා සිටියා.

"පොඩ්ඩියේ දැන් උඹට කොහොමද?"

"මගේ ඔලුව හොදටම රිදෙනවා.මට මොකද වුනේ." මම හිස අතගාමින් ඇසුවා.

"උඹ කලන්තෙ දාලා වැටුනා පොඩ්ඩියේ.උඹේ ඔලුව හයියෙන් බිම වැදුනු නිසා ඔලුව තාම රිදෙනවා ඇති.මේ වතුර එක බීලා තව ටිකක් ඔහොම ඉන්න.තව ටිකකින් ඔය අමාරු ගතිය ඇරිලා යයි." අයියා මා දෙසට වතුර වීදුරුවක් දික් කරමින් කීවා.මම ඔහුගේ අතේ තිබුනු වතුර වීදුරුව ගෙන එක හුස්මට බී අවසන් කරා.

"ඔය ළමයාට ඇවිදින්න පුළුවන්ද දැන්?" පසෙකට වී සිටි අනෙක් පොලිස් නිලධාරියා ඇසුවා.මුහුණේ උඩු රැවුල පමණක් වවා සිටි ඔහුට තිබුනේ ප්‍රතාපවත් පෙනුමක්.ඔහු මට ඇදෙන් බැසීමට අත දුන්නා.හිසේ වේදනාව හැරුනු කොට ඇවිදීමට හෝ වෙනත් කාර්යයන් කිරීමට මට කිසිදු අපහසුතාවක් තිබුනේ නැහැ.

"හරි එහෙනම් ඔය ළමයින්ට පහසු වෙලාවක මට යන්න කලින් කට උත්තරයක් දීලා යන්න." උඩු රැවුල වවා සිටි පොලිස් නිලධාරියා එසේ පවසා ඔහු සිර කුටියෙන් ඉවත්ව ගියා.තරබාරු නිලධාරියාද ඔහු පිටුපසින් ගියා.සිර කුටිය තුල මම සහ අයියා පමණක් තනි වුනා.වෙන පැත්තක් දෙස බලා සිටි අයියාගේ මුහුණේ තිබුනේ මට තේරුම් ගත නොහැකි ආකාරයේ බැල්මක්.සිර කුටියේ අපට ඉහලින් වූ විදුලි බල්බය වරින් වර නිවි නිවී දැල්වෙන්නට වුනා.

"මොකක් ගැනද අයියෙ අර කට උත්තරයක් දෙන්න කියලා කිව්වේ?" ඔහුට මගේ ප්‍රශ්නය ඇසුනු බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.ඔහු පෙර පරිදිම ඉවත බලාගෙන බර කල්පනාවක වෙලී සිටියා.

"අයියෙ !" මම ශබ්ද නගා ඔහුට ඇමතුවා.එක්වරම ගැස්සී මගේ දෙස බැලූ ඔහු සිහින් සිනහවක්ද සමග මා අසලට පැමිණියා.

"මොකක්ද පොඩ්ඩියේ උඹ ඇහුවෙ? මට හරිහැටි ඇහුනෙ නෑ." මම නැවතත් එම ප්‍රශ්නයම ඔහුගෙන් ඇසුවා.

"ආහ්...ඒ ආවෙ මේ පලාතෙ උප පොලිස් පරීක්ෂකතුමා.ඉහල තැන් වලට සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරයක් දන්වන්න එතුමාට අපෙන් අප්පච්චි ගැන විස්තර ටිකක් දැනගන්න ඕන කිව්වා."

"අප්පච්චී !" ඒ වචනය ඇසුනාත් සමගම මගේ හිසේ අමාරුව තවත් වැඩි වුනා.ක්ලාන්තයෙන් ඇති වුනු බලපෑම නිසා මට සම්පූර්ණයෙන්ම ඒ කතාව අමතක වෙලයි තිබුනෙ.ඕනම ගෑනු ළමයෙක්ගෙ පලමු පෙම්වතා තමයි ඇගේ තාත්තා.ඇයට ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා මුලින්ම උගන්වන්නෙ ඇගේ තාත්තා.මමත් මගේ අප්පච්චිට මගේ පණටත් වඩා ආදරේ කරා.අප්පච්චියි, අයියයි කියන්නෙ මට මගේ ජීවිතේටත් වඩා වටින පුද්ගලයො දෙන්නෙක් වුනා.අප්පච්චි නැති වුනා කියන එක මට නිකං මගේ ජීවිතෙන් කොටසක් නැති වුනා සේ දැනෙන්නට වුනා.මම නැවතත් ඉකි බිදිමින් අඩන්න ගත්තා.මාව තුරුල් කරගත් අයියා මගේ හිස ඔහුගේ පපුවේ හොවාගත්තේ මට අඩන්නට අවැසි උණුහුම ලබාදෙමිනි.ඒත් මට අයියාගෙ ඉකිබිදුම ඇහුනේ නැහැ, මම අයියාගෙ කදුළු දැනුනේ නැහැ, මම අයියාගෙ දුක පෙනුනේ නැහැ.පිරිමි හිත මෙච්චර ශක්තිමත්ද? ඔහුගේ මුහුණේ කිසිදු හැගීමක සේයාවක් ලකුණු වී තිබුනේ නැහැ.එය මුළුමනින්ම අවිනිශ්චිත මුහුණක්.විනාඩි 15කටත් වඩා හැඩූ මට ඒ වන විට සියල්ලම කලකිරී තිබුනා.

"මගේ පොඩ්ඩියේ...දැන් වෙච්ච ⁣දේ වෙලා ඉවරයි.අපිට ජීවත් වෙන්න අවස්ථාව දීලා අප්පච්චි යන්න ගියා.අප්පච්චි අපිට ජීවත් වෙන්න දුන්නු අවස්ථාවෙන් අපි අපිට පුළුවන් උපරිමයක් අප්පච්චි වෙනුවෙන් කරන්න ඕන.උඹයි, මායි තව තවත් ශක්තිමත් වෙන්න ඕන.අපි අපිට පුළුවන් විදියට ජීවිතේ ඉස්සරහට යන්න ඕන.තේරුණාද පොඩ්ඩියේ? " කදුලින් පෙගී තිබූ මගේ ඇස් වල කදුළු ඔහුගේ ඇගිලි තුඩු වලින් ඉවත් පිසදමමින් ඔහු පැවසුවා.ඔහුගේ ඇස් දෙස කෙලින් බලා මම හිස දෙපසට වැනුවේ ඔහු කියූ දේ අනුමත කරමිනි.ඔහුගේ ඇස් වල කිසිදු කදුලක සේයාවක් තිබුනේ නැහැ.මුහුණේ කිසිදු පැකිලීමක්, පසුබැස්මක් තිබුනේ නැහැ.ඇයි දෙවියන් වහන්සේ පිරිමින්ව මෙච්චර රළු විදියට මැව්වෙ?

"අයියාට දුක නැද්ද අයියේ?" මම ඔහු දෙස අනුකම්පාවෙන් මෙන් බලා ඇසුවා.

"හ්ම්ම්...මටත් දුකයි පොඩ්ඩියේ.අප්පච්චි ගෙදර එන්න පරක්කු වෙච්ච දවසක් දවසක් ගානෙ මට හිතුනා අප්පච්චිට කරදයක්වත් වෙලාද කියලා.ඒත් මං හිතුවේ නෑ අප්පච්චි මෙච්චර ඉක්මනටම අපෙන් ඈතට යයි කියලා.අඩනවා නම් අඩන්න මගේ ඇස් වලත් ඕන තරම් කදුළු තියෙනවා පොඩ්ඩියේ.ඒත් මම උඹ වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න ඕන.මම උඹව පරිස්සම් කරගන්න ඕන, ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ඕන, අපිට ඉන්න තැනක් හොයාගන්න ඕන.ඒ දේවල් වලට මූණ දෙන්න නම් මම මේ වෙලාවෙ ශක්තිමත්ව ඉන්න ඕන." ඔහු දිග සුසුමක් පිට කරමින් පැවසුවා.මම ඔහුගේ අත් දෙකෙන් අල්ලාගෙන ඔහුගේ ඇස් දෙස කෙලින් බැලුවා.ඔහුගේ ඇස්, මගේ ඇස් මගහරින්නට ලොකු පොරයක නිරත වෙමින් සිටියා.

"අයියෙ...අයියා කවදාවත් මගේ ඉස්සරහ අඩන්න ලැජ්ජ වෙන්න ඕන නෑ.මම අයියාගෙ නංගි.අයියාගෙ දුකත් මට මගේ දුකට සමානයි, අයියාගෙ ඇස් වල කදුළු මගේ හිතට බරක් වෙන්නෙ නෑ." මම ඔහුගේ මුහුණ දෙස බලාගෙන එසේ පැවසුවා.ඉවත බලාගෙන සිටි ඔහු මගේ මුහුණ දෙස බලා සියුම් සිනහවකින් මට සංග්‍රහ කරා.

"මම ඒක නොදන්නවා නෙවෙයි පොඩ්ඩියේ.අපි දැන් යන්න ඕන.අර මහත්තයා කිව්වා යන්න කලින් කටඋත්තරයක් දීලා යන්න කියලා.අපි ගිහිල්ලා ඒ මහත්තයාව හම්බවෙමු."

"ඒත් අයියෙ අපි කොහේ කියලා යන්නද?"

"අපි මුලින්ම අර මහත්තයා එක්ක කතා කරලා ඉමුකො පොඩ්ඩියේ.ඊට පස්සෙ අපි ඔය ප්‍රශ්නෙ ගැන හිතමු, හරිද?" අයියා නිවුනු ස්වරයෙන් කීවා.හිස සොලවා ඔහු හා එකග වූ මම ඔහු පිටුපසින් ගියා.සිරකුටියෙන් ඉවතට පැමිණි අපි පැසේජයක් හරහා ඉදිරියට ඇවිද ගියා.පැසේජය කෙලවරේ වූ දිග මේසය මතට වී තරබාරු පොලිස් නිලධාරියා තවමත් පොතක යමක් ලියමින් සිටියා.අපේ අඩි සද්දය ඇසුනු සැනින් හිස ඔසවා බැලූ ඔහු අපිට උප පොලිස් පරීක්ෂකයාගෙ කාමරයට යන ලෙස අතින් සංඥා කරා.ඔහුගේ මේසය පිටුපස බිත්තියේ තිබූ ඔරලෝසුවේ වේලාව හවස 3.15 ලෙස සටහන් වී තිබුනා.පොලිස් පරීක්ෂකවරයාගේ කාමරය පිහිටා තිබුනේ අනෙක් පැසේජයේ කෙලවරට වන්නටය.ඔහුගේ කාමරය අසලට ගිය අපි දොරට සෙමින් තට්ටු කලා.

"ඇතුලට එන්න." කාමරය තුලින් අපට ඇසුනා.දොර ඇරගෙන කාමරය තුලට ගිය අපට දක්නට ලැබුනේ විශාල කාර්යාල මේසයක සැප පහසු පුටුවක් මත වාඩි වී සිටි උප⁣ පොලිස් පරීක්ෂකයාවයි.කාමරය වටේට තිබූ විශාල අල්මාරි තුනක් පිරෙන්නටම ෆයිල් සහ පොත් තිබුනා.ඔහුගේ මේසය ඉදිරියේ තිබූ පුටු දෙකෙන් වාඩි වෙන ලෙස ඔහු අපට සංඥා කලා.

"හරි එහෙනම් දැන් හුඟක් හවස් වෙච්ච නිසා අපි පුළුවන් ඉක්මනටම කතාවට බහිමු.මම ඉහල තැන් වලට මේ පුද්ගලයා සහ ඔහුගේ මරනය ගැන ඩොකියුමන්ට් එකක් හදලා අනිද්දාට කලින් බාර දෙන්න ඕන.කලින් නම් අපි හිතන් හිටියේ මොනවාහරි වල්පල් කතා ටිකක් ලියලා යවන්න, මොකද අපි මොනවා ලියලා යැවුවත් උන්ට ඒවා අදාලත් නෑ, උන් ඒවා කියවන්නෙත් නෑ.එයාලාට ඕන අපිට ගෙවන පඩියට ගැලපෙන්න අපිට කරන්න වැඩ රාජකාරි පවරන්න විතරයි...ඒවා වැඩක් නෑ...මට ඔයාලාගෙ අප්පච්චිගෙ පෞද්ගලික විස්තරයි, එයා මුම්බායි වලට එන්න හේතු වෙච්ච කාරණයයි ගැන ඔයාලා දන්න හැම විස්තරයක්ම කියන්න." අප්පච්චිගේ පෞද්ගලික විස්තර සිට මුම්බායි වලට ගිය ගමන දක්වා සියල්ලම අයියා විසින් ඔහුට කීවා.අයියාට ඒ සදහා විනාඩි 20ක් පමණ ගත වුනා.වචනයක්වත් නොකියූ පොලිස් පරීක්ෂකවරයා පෑනක් සහ පොතක් පමණක් ලග තබාගෙන අවශ්‍ය විටදී පමණක් ඇතැම් කරුණු සටහන් කරගත්තා.අයියා කතාව අවසන් කල පසුද විනාඩි 5කටත් වඩා කාලයක් නිහඩව සටහන් පොත දෙස බලාසිටි ඔහු පසුව හඩ අවදි කරා.

"හරි, ඔයාලාට බොහොම ස්තූතියි මේ විස්තර වලට.ඔයාලාගෙ අප්පච්චි මැරිලා දවස් 3ක් යනකං මුම්බායි ප්‍රධාන රෝහලෙන් අප්පච්චිගෙ බොඩි එක තියාගෙන තියනවා කවුරුහරි පවුලේ සාමාජිකයෙක් ඇවිල්ලා බොඩි එකේ භාරකාරීත්වය ගන්නකල්.ඒත් බොඩි එක හුඟක් කල් එයාලාට තියාගන්න බැරි නිසාත්, දවස් 3ක් ගිහිල්ලත් බොඩි එක භාරගන්න කිසිම කෙනෙක් ආවෙ නැති නිසාත් එයාලා රජයේ සාමාන්‍ය පිලිවෙතට අනුකූලව බොඩි එක ආදාහනය කරලා තියෙනවා." ඔහු එසේ කී විට අපි කිසිවක් නොකියා ඔහු දෙසම බලා සිටියා.

"හරී...දැන් එහෙනම් ඔය ළමයි යන්න.අපේ පැත්තෙන් කරන්න පුළුවන් සියලුම දේවල් අපි දැනටමත් කරලයි තියෙන්නෙ.ඒ වගේම ඔය ළමයින්ගෙ අප්පච්චිගෙ අභාවය ගැන මං පෞද්ගලිකවම මගේ කණගාටුවට ප්‍රකාශ කරනවා.අපිට ඊ⁣ට වඩා කරන්න දෙයක් නැහැ ඔය ළමයි වෙනුවෙන්." ඔහු කකුලක් මතින් කකුලක් දමාගෙන අතේ ඇගිලි කුඩු වලින් මේසයට තට්ටු කරන ගමන් පැවසුවා.

"අපිට දැන් ඉන්න තැනක් නෑ සර්.ඇමතිතුමාගෙ අලුත් ව්‍යාපෘතියකටැයි කියලා මුඩුක්කු ගෙවල් ඔක්කොම කඩලා දාලා ඒ ඉඩමේ හෝටලයක් හදන්නයි ලෑස්තිය." අයියා කීවා.

"හ්ම්ම්...මටත් ආරංචියි සුද්දොන්ට විකුණන්න ගග ගාව හෝටලයක් හදනවයි කියලා.උඹලාට වන්දි මුදලක් මුකුත් ගෙව්වෙ නැද්ද?

"නෑ සර්, රජයේ ඉඩමක අපි අනවසරෙන්ලු පදිංචි වෙලා ඉදලා තියෙන්නෙ."

"ඔතන මම දන්න කියන කාලෙ ඉදන්ම තියෙන්නෙ මුඩුක්කු ගෙවල්.මගේ තාත්තා පොඩි කාලෙත් ඕකට මිනිස්සු කියලා තියෙන්නෙ මුඩුක්කු ගම කියලා.එහෙව් එකේ ඕක රජයට අයිති ඉඩමක් නම් නෙමෙයි, ඕවා ඉතින් ලොකු ලො⁣ක්කො උඹලාව රවට්ටන්න කියන බොරු කතා තමයි.ඒත් ඉතින් උඹලා ඕවාට රැවටුනත් නැතත් උඹලාට තියා අපිටවත් ඕවාට විරුද්ධව කරන්න කිසිම දෙයක් නැහැ.සල්ලි තියෙන මිනිස්සුන්ට අනිත් හැමෝම යටයි." ඔහු කතාව නවතා මේසය මත තිබූ වතුර වීදුරුවකින් වතුර උගුරක් බීවා.

"එතකොට දැන් ඔය ළමයින්ට වෙනත් භාරකරයෙක් හෝ ඔයාලාව බලාගන්න පුළුවන් සමීප නෑදැයෙක් කවුරුවත් නැද්ද?" පොලිස් පරීක්ෂකවරයා ඇසුවා.

"අපේ අම්මයි, කුඩම්මායි විතරයි ඉන්නෙ සර්.ඒ අය අපිව බාරගන්න කැමති නෑ."

"ඈ...ඒ මොකද බොල ඒ?" පොලිස් පරීක්ෂකවරයා පුදුමයෙන් මෙන් ඇසුවා.අම්මා සහ කුඩම්මා සම්බන්ධ ඉතිහාස කතාවද අයියා පොලිස් පරීක්ෂකවරයාට කීවා.ඔහු ඒ කතාව අසා සිටියේ ඉතා පුදුමයෙන්.විනාඩි 15කින් පමණ කතාව කියා අවසන් කල අයියා පොලිස් පරීක්ෂකවරයාගෙන් බීමට වතුර වීදුරුවක් ඉල්ලා ගත්තා.තවමත් පුදුමයෙන් මෙන් ඇස් ලොකු කරගෙන සිටි පොලිස් පරීක්ෂකවරයා මාරුවෙන් මාරුවට අප දෙදෙනා දෙස පුදුමයෙන් මෙන් බැලුවා.

"එතකොට උඹලා කියන්නෙ ආණ්ඩුකාරවරයාගෙ බිරිද තමයි උඹලාගෙ අම්මා කියලද?"

"ඔව් සර්." අයියා කීවා.

"අපිට ඔය ප්‍රශ්නෙ සම්බන්ධව කොහෙත්ම මැදිහත් වෙන්න විදියක් නැහැ.ආණ්ඩුකාරවරයා අපේ පොලීසියෙත් හොද හිතවතෙක්.අනික ඔය සල්ලිකාරයො එක්ක හැප්පෙන්න ගිහිල්ලා අපිටත් හිර බත් තමයි කන්න වෙන්නෙ."

"එතකොට දැන් අපි කොහේ නවතින්නද සර්?" අයියා දුක්මුසු හඩකින් ඇසුවා.

"මට පුළුවන් ඕන්නම් උඹලාට බොරු නඩුවක් දාලා උඹලාව මාස 4ක් රිමාන්ඩ් කරලා ඇතුලට දාන්න." ඔහු එසේ කී විට මම සහ අයියා මුහුණට මුහුණ බලාගත්තේ ඔහු එය විහිළුවට කීවාද නැද්ද යන්න වටහාගත නොහැකිවය.

"ඒකනෙ, මාත් හිතුවා උඹලා ඒ අදහසට කැමති වෙන එකක් නැහැ කියලා.මට කරන්න පුළුවන් උපරිම දේ එච්චරයි." පොලිස් පරීක්ෂකවරයා දිගටම කතා කරා. "දැන් උඹලා ආයිත් ගිහිල්ලා උඹලෑ අම්මාව හම්බවෙයල්ලා.උඹලෑ අප්පච්චි මැරිලා කීවාට පස්සෙ සමහරවිට ඒ ගෑනිගෙ හිත උණු වෙයි."

අයියා පුටුවෙන් නැගිට්ටේ පිටව යාමට සූදානමෙනි.අයියා සමගම මා ද පුටුවෙන් නැගිට්ටා.පොලිස් පරීක්ෂකවරයාට ස්තූති කල ඔහු මගේ අතින් ඇදගෙන පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණියා.පොලිස් ස්ථානයේ දොර අසලම තිබූ තරබාරු පොලිස් නිලධාරියාගේ මේසය පිටුපස තිබූ බිත්ති ඔරලෝසුවේ වෙලාව සවස 4 ලෙස සටහන් වී තිබුනා.සුලගට ලෙලදෙන පිටු අතර තරබාරු පොලිස් නිලධාරියාට පුටුව මතම නින්ද ගොස් තිබුනා.දවල්ට කිසිදු ආහාරයක් නොගත් නිසා අපි මේ වෙනකොට දැඩි බඩගින්නකිනුයි හිටියෙ.පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණි අපි අසල තිබුනු කඩයකින් රොටි කිහිපයක් ආහාරයට ගත්තා.අම්මා අපට දුන් මුදල් වලින් තවත් සුළු මුදලක් පමණක් මේ වන විට ඉතිරි වී තිබුනා.රොටි කැබලි කඩා ලුණු මිරිස් සමග ආහාරයට ගමින් සිටි අයියා, කෑම කන අතරතුර කිසිවක් කතා නොකර බර කල්පනාවකට වැටී සිටියා.

"දැන් අපි කොහෙද යන්නෙ අයියෙ?" මා ඇසුවේ අයියා දෙස බලමිනි.

"පොලිස් පරීක්ෂකතුමා කිව්වා වගේ අපි තව සැරයක් අම්මාව හම්බවෙලා කතා කරලා බලමු පොඩ්ඩියේ, අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ නෙව කොහොමත්." අයියා කතා කල ස්වරයේ බලාපොරොත්තු සුන් වූ ස්වභාවයක් තිබුනා.ඔහු තනි වී නැති බව ඔහුට දැනෙන්නට මෙන් මම ඔහුගේ උරහිසට හිස තබා ඔහුට තුරුල් වුනා.ආහාර ගෙන අනතුරුව අසල තිබූ ත්‍රීරෝද රථ නැවතුමකට අපි ගියේ තවත් රෑබෝ වීමට පෙර ආණ්ඩුකාරවරයාගෙ ගෙදරට යාමට ත්‍රිරෝද රථයක් සොයා ගැනීමටයි.ත්‍රීරෝද රථයක් අසලට ගිය අයියා ඔහුගේ සාක්කුවෙන් මුදල් නෝට්ටු දෙකක් සහ කාසි කිහිපයක් ඉවතට ගෙන ඒවා රථයේ රියදුරාට පෙන්නුවා.

_____ඊලග කොටසින් හමුවෙමු_______

රචනය - H.L. නෙසදු මලීෂ (Dicaprio)

මගේ පලමු නවකතාවේ දෙවන දිගහැරුම...


Report Page