තාරකා ඇස් 🤍

තාරකා ඇස් 🤍


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

පුංචි තාරකා ඇස් දෙකක්....


නාහෙට අහන් නැති හිතුවක්කාරකම උපතින් ගෙනාපු කෙනෙක් වෙච්ච මම මගේ මතේම හරි කියන දේ ඔලුව තදටම කොටා ගෙන තිබ්බා.



ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ ගොඩක් මට කිව්වේ " උඹේ අලි ඔලුව නේ බන් කියලා" මගේ රැස් වලින් මම ම පිච්චෙද්දී ! කෙල්ලෙක් දෙන්නෙක් මට ලයින් දාපු අවස්ථාද උදා වුණා.පිට පිට ලයින් දැම්මත් !



මේ හිත පර්තවතයක් වන්ව නොසෙල් වී තිබ්බේ හිත වුණත් කා ලගවත් පදිරි නොවි තියෙද්දී.



ලා දම් පාට හැන්දෑවක හිරු කෙමින් කෙමින් බැස යද්දී මං බලන් හිටියේ රතට රත පිපිලා තියන අම්මගේ ඩේලියා ගහේ ඩේලියා මල දිහා,



පුංචියට කණෙයියා මැස්සෙක් දෙන්නෙක් මලේ වහලා රොන් උරා බොන විදිහ මං යන්තමට දැක්කා.



මට මතක විදිහට මාස පහ හයකට කලින් කුසුමා නැද්දලැ දිහාවින් ඔය මල් අත්ත උස්සන් ආවේ මොර සුරන වැස්සේ මට ත් හොදවයින් බැන බැනමයි!



මං හුස්ම ගන්න සද්දේ මට ම ඇහෙන තරම් දිගු නිහැඩියාවකින් පරිසරය වෙලෙද්දී එහා වත්තේ මාර ගහෙන් වැටෙන පොඩි පොඩි කොළ මං හිටපු තැනට ඇවිත් වැටෙනවා!



සරුසාර කෙතුවතු සරුසාර ගස් වලින් පිරිච්ච රටක පිටරටින් රජය බඩු ආනයනය කරනවා වගේ අපේ අම්මත් කොච්චර මල් ගස් මේ වත්ත පුරාවට හිටෝලා තිබ්බත් මල් ගහක් දැක්කේ කොහෙද ඒක උස්සන් අරන් එන්න පුරුදු වෙලා තිබ්බා.




කම්මැලි කම ඔලුව පුරා දුවපු මොහොතක කරන්න කියලා කිසිම දෙයක් නැති වෙද්දී හු කියලා කෑ ගහන්න හිතුණා අවස්ථා උදා වුණත් මං ඒ අදහස අත් ඇර ගත්තේ අම්මගේ හැදි මිටේ පාර කන්න බැරි නිසා.



අත්තටු දෙකක් තිබ්බා නම් ටුක් ගලා ගිහින් ආපිට ටුක් ගාලා ඉගිලිලා හරි එන්න තිබ්බා.



ඒත් අත්තටු කපපු පරෙයියෙක් ගාණට මං මේ දවස් ටික ගත කරේ මගේ රැළේ එවුන් ඔක්කොමෙ අම්මලා වාරන නියෝග දාලා ගෙදර නතර කර ගත්ත නිසා.



උසාවි නියෝගත් අරඹයා ගිය නිවාස අඩස්සිය මට නම් තිත්ත කසාය වගේ. කොයි වෙලෙත් උඩට පහළට යන මගේ පොන් කෑල්ල අම්මගේ දැඩි රැකවරණය යටතේ කල් ගෙවනවා.



ඔක්කොම මතක් වෙද්දී මගේ ඇඟේ මාළු ගඟේ නටන්න අරන්! හැමදේකට ම මුල අර හිකනලා නේ කියලා මතක් වෙද්දී ඌව ගොයන් ගිහින් හොම්බයි කටයි බොම්බයි මොටයි කරන්න හිතෙනවා.කොපි ගස් වල ඉන්න කොඩැයියෙක් තරමට මට ඌව පෙන්න බැරි තරම්!



දැන් සති දෙකකට උඩදි ටවුමේ කොල්ලෙකුට ගෙම්පර් පෙන්නන්න ගිහින් අපි මට්ටු වුණේ පොලිසියට මාට්ටු වෙලා ගෙදර අයට දොස් කියලා පොලිසි කේස් එකක් නොකර ඒ කතාව එතනින් ම ක්ලොස් වෙලා යද්දී.




ඒකේ තරහට ගෙදර අය මට ඇදීරි නිතිය දැම්මා.වෙච්ච දෙයක් වෙච්චාවේ කියලා කරබන් ඉන්න ගියාම මොලෙත් එක්ක කුරුවල් වෙලා යනවා.



දවස ගෙවෙන්නේ බොහෝම හිමින් කියලා මට හැම මොහොතකම දැනෙනවා.තප්පර කට්ට ට ඔයිට වඩා වේගේන් යන්න ඇයි බැරි කියලා ඔරලෝසුව දිහා බලන් ඉද්දී මට හිතෙනවා.



ඉවසගන්න ම බැරි තැන මම වත්ත පහළට ගිහින් වත්ත අයිනේ කම්බි වැටෙන් පැනලා එහා වත්තට ගියා.



හොර පොල් කඩන්න තියා කුරුම්බැට්ටියක් වත් හැදිලා නැති පොල් ගස් හත අටක් පහු කරන් මම ඉස්සරහට ඇවිදන් ගියා.



ඒ මිදුල ඉස්සරහින් මම ප්‍රධාන පාරට යන්න ගියත් මට උන්හිටි තැනත් අමතක වෙලා මං ඉද්ද ගැහුවා වගේ නතර වුණේ එතන තිබ්බ පුටුවක වාඩි වෙලා ඉන්න කෙනාව දැකලා.



කෙල්ලෙක් ! කවදාවත් නැති විදිහට මං ඒ කෙල්ල දිහා බලන් හිටියා.ඒ කෙල්ල හැල හොල්මනක් නැතුව ඔහේ බලන් ඉන්නවා කියලා විතරක් මගේ ඇස් වලට අහු වුණා.



ඇස් දෙකක්! පුංචි ම පුංචි ඇස් දෙකක්!පුංචි ම පුංචි තරු දෙකක් වගේ ඇස් දෙකක්. දිලිහෙන බබළන ඇස් දෙකක් ! කොච්චර මේ වත්තෙන් පැනලා ගියත් කවදාවත් මට මේ ඇස් දෙක තියා ඇස් දෙකේ අයිතිකාරි හම්බ වෙලා නෑ.



බටර් පාට හමට කළු ම කළු පාට ගවුමක් ඇදලා. නුඩ්ලස් වගේ කැරලි කොන්ඩේ කඩලා දාලා.ඇස් අහකට ගන්න බැරි තරම් මයාකාරි ඇස් දෙකක් ඒ කෙල්ලට ලැබිලා තිබ්බා.



මතක අමතක වෙලා යන්න මොහොතක් ඒ විදිහට ඉඹේම පහු කරද්දී මගේ පපුව අස්සට දැනුනේ කියා ගන්න බැරි තරම් නුහුරු හැගිමක් !



මගේ පපුවට තට්ටු කරලා ඒ ඇයි කියලා අහන්න හිතුණත් එවලේ මට ඇහුණේ කාගේ හරි කට හඬක් මං ආයම අපේ වැටෙන් පැනලා වත්තට දුවන් ඇවිත් මං කලින් ඉදන් හිටපු කොට්ටම්බා ගහ යට වාඩි වුණා.




කොට්ටම්බා ගහේ අතු මුළු මිදුලට ම සුවදායි පරිසරයක් නිර්මාණය කරද්දී වියනක් වගේ ගහ හැඩ වුණේ යන්තම් වැස්සට පවා ගහ යට ඉන්න කෙනෙක්ට ලොකු නිවහනක් වෙද්දී.




ගහ යට ඇවිත් ඉද ගත්ත වෙලේ ඉදලා මතක් වෙන්නේ අර මායාකාරි ඇස් දෙක! ඒ ඇස් දෙකින් මාව හොදටම දකින්න ඇති කියලා මට විශ්වාස වුණත් මාව දැක දැකත් ඒ මුණේ කිසිම වෙනසක් නොවුණ එකයි පුදුමේ!



හැගිම් දැනිම් නැති තාලේට බලා ගත්ත අත බලා ගෙන හිටියේ කිසි ම විදිහේ ප්‍රතිචාරයක් නැති වෙද්දී.



අමුතු විදිහේ සංඥා එළි පපුවට දැනෙද්දී මෙච්චර දවස් මන්දාරම් කරපු අහස ලා වට පොද දෙක තුනක් ගහන්න පටන් අරන්!



හමන හුළග පවා ඇඟට කිතියක් එක් කරේ මගේ ඉදිමිච්ච ඔලුව ටික ටික බිමට බර වෙලා මගේ මුණට හිනාවක් ඉඹේම ලැබෙද්දී.




එහා වත්තට මටත් නොදැනීම මගේ ඇස් හොරෙන් හොරෙන් එඹිකම් කරද්දී මං කල්පනා කරේ අද දැක්ක ඇස් දෙකවත් ඒ ඇස් දෙකේ අයිතිකාරිවත් ඇයි මගේ ඇස් වලට මීට කලින් හමු නොවුණේ කියන දේ !




කිසිම දවසක විඩාවක් නොදැනුන හිතට විඩාවක් දැනෙන්න පටන් අරන් ! සුදු පාටට පුළුන් ගොඩක් වගේ එහෙට මෙහෙට පාවි පාවි තිබ්බ වලාකුළු තද අළු පාටට හැරෙන්න මේ තප්පර ගාණට පුලුවන් වෙලා!




කෝපි පාට අඳුරු හැන්දෑවන් කිහිපයකට අත වනලා සමු දුන්නත් අද හැන්දෑවේ මට මාව අමතක කරේ ඇයි කියලා මට ම වැටහෙන්න නෑ.




අහල පහලින් ම මැඩියෙක් කෑ ගහන සද්දේ ළග ළගම ඇහෙද්දී මම දැක්කේ මගේ වම් අත පැත්තට වෙන්න තිබ්බ අම්මා හදපු සුවඳ පිරිච්ච කානේශන් ගහේ කඳේ මැඩියෙක් ඉන්නවා.



ලං වෙලා ඒ මැඩියා බලන්න හිත දුන්නත් ඊළග මොහොතේ ඌ මගේ මුණට පනියි කියන හිරිකිත හැගිම නිසා ම මම ඒ අදහස අත් ඇර ගත්තා



මුළු අහසම දත කෑවේ මහ වැස්සකට පාර කියන්න කියලා වැටහෙන්න තවත් කල් වෙලා නොදෙද්දී වැහි බිංදු එක දෙක අයිස් කැට වගේ පොළව සිප ගත්දී සුවඳ පිරිණු දුවිලි සැර මගේ නාස් කුහර අස්සේ පෙනහැල්ලට ගමන් කරා.



ඒ සුවඳ කොච්චර මගේ ගතට මිහිරක් එක් කරත් අම්මා ගේ දොරකඩ ඉදලා කෑ ගහපු සද්දෙට මාව ඩිම් වෙලා ගිය නිසා ම මම දුවගෙන ගිහින් ගෙට ගොඩ වුණේ මෙච්චර වෙලා හිතට දැනුන අනේක විද සිතුවිලි වල දාලා.




 🤍


එකින් එක දවස් ගෙවලා යද්දී මගේ හිත හොරකම් කර ගන්න අර පුංචි තාරකා ඇස් දෙකට පුළුවන් වුණා.



සතියක් විතර ඒ ඇස් ලුහු බැන්ද මට තවම බැරි වුණා ඒ තාරකා ඇස් ඉස්සරහට ගිහින් තප්පරයකටවත් කුලුපඟ වෙලා කතා කරන්න.



හිතට දැනුන නා නා ප්‍රකාර සිතුවිලි වලින් මට මිදෙන්න ලොකු අවශ්‍යතාවක් තිබ්බ නිසා ම අද කොහොම හරි ඇය එක්ක එකදු වචනයක් හරි කතා කරනවා කියන යටි අරමුණ ඇතුව සුපුරුදු පරිදි මම අදත් වැටෙන් පැනලා එහා වත්තට ගොඩ වුණා.



අපරාදේ මේ වත්තට පැන්නේ කියන හැගිම මට දැනෙන්න ගොඩ වෙලාවක් ගියේ නෑ.


පොල් ගහක් යටට වෙලා එක මනුස්සයෙක් දර වගයක් පලනවා.මාව දැක්ක හැටියේ ඒ මනුස්සයා කර කර හිටපු වැඩෙත් නතර කරලා මගේ උඩ ඉදලා පහළට බැලුවා.



"කවුද මේ ලමයා.."



ඒ මනුස්සයා ආපිට මගෙන් එහෙම අහද්දී මට දෙන්න උත්තර නැති කමට මම තප්පර විනාඩි ගත වෙනකම් බලන් හිටියා.



"මම මේ අල්ලපු ගෙදර ඉන්නේ.මම වැටිච්ච පොල් අත්තක් තියනවද කියලා බලන්න ආවේ මාමේ..!"



කටට ආව දේ ක්ෂණිව මම කියලා දැම්මත් ඒ මනුස්සයා ඒ උත්තරෙන් සැහිමට පත් වුණේ නෑ කියලා කියන්න ඒ මුණේ ඇදුණ ඉරියව් වලින් මට කියන්න පුලුවන්!



"මම යන්නම් මාමේ.."



මම ආපිට ඒහෙම කියලා එන්න ආවත් ඒ මනුස්සයා මට කතා කරලා නතර කර ගත්තා.



"පොල් අත්තක් ගන්නැද්ද?"



"නෑ..වැටිලා නෑනේ.."



"මම මේ ගෙදරට අලුතෙන් පදිංචියට ආව කෙනා.."



ඒ මනුස්සයා මං දිහා බලාගෙන එහෙම කිව්වා වුණත් මට ඒ ගැන තව දුරටත් දැන ගන්න ලොකු කුතුහලයක් හිතට දැනුනා.



"එතකොට කලින් හිටපු අය කෝ!"



ඒ අය මේ ඉඩම විකුණලා ගියා දරුවෝ.රත්තොට පැත්තට!"



"හේතුව"



"අර ඇස් දෙක පෙන්නැති කෙලිට ආය බෙහෙත් කරන කතාවක් කිව්වා.ඒ නිසා තමයි උන්දැලැ ගියේ"



"ඇස් පෙන්නැති ලමයෙක් හිටියද?"



"ඔව්..හරිම පන්කාදු කෙලි ඩිංග ඒත් ඇස් දෙක පෙන්නෑ නොව..හැම අංගයක් ම තිබ්බත් ඇස් පෙන්නැතුව වැඩක්ද?"



 🤍



සමු දීමක් වත් නැතුව අනවසරෙන් හිත අස්සේ අරක් ගත්ත පුංචි තරූ ඇස් දෙක යන්නම ගියේ නොකියමයි!



කියන්න හෝ නොකියන්න අපි අතර කිසි කතා බහක් වත් නොතිබ්බ විදිහ මං හොදටම දන්නවා.ඒත් අහේතුවකට මගේ හිත අස්සේ හිස්තැනකින් පිරිලා.



අහසේ තියෙන්න ඕන පුංචි තරු කැට දෙකක් ඒ ඇස් අස්සේ දගලපු හැටි මට සැරින් සැරේ මතක් වෙන්න පටන් ගත්තා.



සුවඳ පිරිච්ච තීන්ත පෑනකින් කොළ කැල්ලක ඒ ඇස් දෙකේ රටා මවන්න මගේ අත මටත් වඩා හුරු වෙලා.



මලානික වෙච්ච මගේ ඇස් වලින් කොයි මඟ ඉදන් කොයි විදිහට බලන් හිටියත් අමතක නොවන මතක පොඩියට හරි හිතේ ඉතුරු කරලා ඒ ඇස් දෙක හැංගිලා ගිහින් !



මං ළගත් හත් පෙති මලක් තිබ්බා නම්! මමත් ශේන්යා වුණා නම් ශේන්යා කොර වෙලා හිටපු වීත්යා ව සනීප කරා වගේ ම මටත් පුලුවන් කමක් තිබ්බා අහම්බාකර තරූ ඇස් වලට එළිය දෙන්න.ඒ ඇස් දෙක අස්සෙන් මට මාවම දකින්න.




සීතලක ගුලිවෙච්ච රැයක රැහැයියා එකා දෙන්නෑ නිවනක් නැතුව කෑ ගහද්දී දොරවල් විවර කරගෙනම මං මිදුලට අඩි ය තිබ්බා.



මෘදු තණකොළ පෑගෙද්දී යටි පතුලට සහනයක් එක් කරා.ඒ සහනය මගේ හිතට සුවදායක හැගිමක් එක් කරේ නැත්තේ ඇයි කියලා මං දන්නෑ.



තරූ රටා පොකුරු පිටින් පායලා තිබ්බ අහසේ මගේ ඇස් ඔබ මොබ සැරි සැරුවේ මගේ හිත මට ම අවලාද නගද්දී.



ඒත් ආත්ම ගාණක් ම පසු ම ආ විගස තාරකා ඇස් දෙකේ මතකය මගේ හිතට තදින් ම දැනෙද්දී මගේ ඇස් වලට අහම්බෙන් දැක්කේ ,



එදා වගේ ම ,

අදත්,

පුංචි තාරකා දෙකක් !



ඒ හමුවීම අහම්බයක් ම නෙවෙයි. නොහිතුවට ආත්ම ගාණක් අපේ ආත්ම එකිනෙකට හමු වෙන්න ඇති! කිසිවක් නොදොඩාම නොඅසාම නොපවසාම මෙහෙම යන්නත් ඇති !



එක පුංචි සිදුවීමක් ඇති හදවත ගොලු කරලා දාන්න! කළු ගල් පර්වතයක් වගේ හිතක් වුණත් ලෝදිය වගේ උණු කරලා දාන්න.



 🤍


සැහෙන්න කාලෙකට පස්සේ කෙටි කතාවක් !

ගොඩාක් කාලෙකට කලින් ලියපු කෙටිකතාවක් ! කමේන්ට් එකක් දාගෙන යන්න



Report Page