කදුලින් උපන් කතාවක් - Part 03

කදුලින් උපන් කතාවක් - Part 03

Dιƈαρɾισ

ත්‍රීරෝද රථයක් අසලට ගිය අයියා ඔහුගේ සාක්කුවෙන් මුදල් නෝට්ටු දෙකක් සහ කාසි කිහිපයක් ඉවතට ගෙන ඒවා රථයේ රියදුරාට පෙන්නුවා.

"මහත්තයා මේ සල්ලි වලින් අපිව මුඩුක්කු ගම්මානෙට පොඩ්ඩක් මෙහායින් තියෙන ආණ්ඩුකාරවරතුමාගෙ ගේ ගාවින් දාන්න පුළුවන්ද?"

"පිස්සුද බොලව්, ඔය සල්ලි ටික මීටර් 400ක් යන්නත් මදි නෙව." ඔහුගේ එම ප්‍රතිචාරයෙන් පසුබට නොවූ අයියා තවත් රථ දෙකක රියදුරන්ගෙන් ඇසුවද ඔවුන්ගේ ප්‍රතිචාරයද එකම විය.බලාපොරොත්තු සුන්වී යාමේ අන්ත ථලයටම වැටී සිටි අයියා බිම පඩියක් මතින් වාඩි වී හිසේ අත් දෙක තබාගත්තේ කලකිරීමෙන් මෙනි.ඔහු අසලින්ම හිදගත් මමද ඔහුගේ සිත සැනසීමට මෙන් ඔහුගේ අතකින් අල්ල ගත්තා.

"දැන් අපි මොකද කරන්නෙ අයියෙ? අපි පයින් යමුද?"

"බෑ පොඩ්ඩියේ, දැන් කලුවරත් වැටීගෙන එනවා.පයින් ගියොත් රෑ 8වත් වෙයි අපි ආණ්ඩුකාරවරතුමාගෙ ගේ ලගට යද්දි.අනික මේ කලුවරේ පයින් ගිහිල්ලා අතරමං වෙන්න පුළුවනි, ඒ නැතත් මේ වෙලාවට පාරෙ යන එක අවදානම්." ඔහු හිසට තබාගෙන සිටි අත් දෙක ඉවතට ගනිමින් පැවසුවා.තවත් මිනිත්තු කිහිපයක් එලෙසම කල්පනා කරමින් සිටි ඔහු එක්වරම සිටි තැනින් නැගිට්ටා.මගේ අතකින් අල්ලාගත් ඔහු මාවත් කැටුව නැවතත් පොලිස් ස්ථානය වෙත වේගයෙන් ඇවිද ගියා.දොර අසල දිග මේසයේ වාඩි වී වතුර බෝලයකින් වතුර බොමින් සිටි තරබාරු පොලිස් නිලධාරියා අප දෙස පුදුමයෙන් මෙන් බැලුවා.

"පොලිස් පරීක්ෂකතුමා ඉන්නවද තාමත්?" තරබාරු පොලිස් නිලධාරියාට කිසිවක් ඇසීමට ඉඩ නොතබාම අයියා හති දමමින් ඇසුවා.

"ඔව් තාමත් කාර්යාලයේ ඉන්නවා, ඇයි මුකුත්..." ඔහුට කතා කිරීමට ඉඩ නොතබාම අයියා මාවත් කැටුව වේගයෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ කාර්යාලය දෙසට ඇවිද ගියා.අයියා ඇයි මේ තරම් කලබලෙන්? ඇයි අපි ආයිත් පොලීසියට ආවෙ? මේ කිසිවක් සදහා පිලිතුරු මා සතුව තිබුනේ නැහැ.මේ කිසිවක් නොදැන ඔහුගේ අතේ ග්‍රහණයට හසුව මමද ඔහු පිටුපසින් දිව ගියා.පොලිස් පරීක්ෂකතුමාගෙ කාර්යාලයේ දොරටවත් තට්ටු නොකර අයියා එක්වරම වේගයෙන් ඔහුගේ කාමරය වෙත ඇතුලු වුනා.කාර්යාල පුටුවේ ඉදගෙන සුරුට්ටුවක් දල්වමින් සිටි පොලිස් පරීක්ෂකවරයා පුදුමයට පත්ව අප දෙස බැලුවා.මේ වෙන කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව මාද පුදුමයෙන් අයියා දෙස බලා සිටියා.

"සර් අපිට එකම එක උදවුවක් කරන්න සර්ට පුළුවන්ද?" අයියා ගැඹුරු ස්වරයකින් ඇසුවා.දල්වමින් සිටි සුරුට්ටුව නිවා පසෙකින් තැබූ ඔහු අත් එකක් මත එකක් තබාගෙන අයියා වෙත තියුණු බැල්මක් හෙලුවා.

"සර් ආණ්ඩුකාරවරතුමාගෙ ගේ ගාවට වීල් එකකින් යන්න තරම් අපි ලග සල්ලි නැහැ.තව ටිකකින් කලුවර වැටෙන නිසා පයින් යන එකත් අවධානම්.සර්ට බැරිද අපිව ආණ්ඩුකාරවරතුමාගෙ ගේ ගාවින් ගිහින් ඇරලවන්න.එහෙම කරන්න පුළුවන් නම් සර් ඒක ඇත්තටම ලොකු උදවුවක්." අයියා බැගෑපත්ව ඉල්ලා සිටියා.ගැඹුරු හුස්මක් පිට කල පොලිස් පරීක්ෂකවරයා තත්පර 40ක් පමණ අතැගිලි බැදගෙන කල්පනා කරන්නට වුනා.පසුව එක්වරම පුටුවෙන් නැගි⁣ටගත් ඔහු, අපි ඔහුගේ කාර්යාලය තුල සිටියදීම කාර්යාලයෙන් එලියට බැස්සා.ඔහු ගිය මග ඔස්සේ ඔහු පිටුපසින් අපිත් ගියා.ඈත කොරිඩෝවකට වී බිත්තියේ යමක් එල්ලමින් සිටි පොලිස් නිලධාරියායෙක්ට ඔහු අඩගැහුවා.

"කොස්තාපල් මෙහෙ එනවා පොඩ්ඩක්."

"ඔව් සර්, මුකුත් ප්‍රශ්නයක්ද?" පොලිස් පරීක්ෂකවරයා වෙත වේගයෙන් දුවගෙන ආ කොස්තාපල්වරයා ඔහුට ආචාර කර එසේ ඇසුවා.

"ඔය කර කර ඉන්න වැඩේ ටිකකට නවත්තලා මේ ළමයි දෙන්නාව ජීප් එකෙන් එක්කන් ගිහිල්ලා ආණ්ඩුකාරතුමාගෙ ගේ ගාවින් දාලා වරෙන්." ඒ වචන ටික ඇහුනු සැනින් මට හා අයියාට විශාල සතුටක් දැනුනා.කොස්තාපල්වරයා සමග කතා කිරීමෙන් අනතුරුව අප දෙසට හැරුනු ඔහු අපට කතා කරා.

"ආණ්ඩුකාරතුමාගෙ ගෙදරට මීටර් 100ක් විතර ඈතින් ඔය ළමයින්ව දාලා අපේ කොස්තාපල් යයි.ආණ්ඩුකාරතුමාට හෝ එයාගෙ බිරිදට හෝ කාටවත් කියන්න එපා ඔය ළමයි පොලිස් ජිප් එකකින් ආවෙ කියලා, ඒ මොකද ආණ්ඩුකාරතුමා පොලීසියට තියෙන හිතවත්කම නැති වුනොත් අපිටත් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.මට කරන්න පුළුවන් එකම උදවුව මේක විතරයි." ඒ වාක්‍ය අවසන් වනවාත් සමගම අයියා ඔහුව එක්වරම වැලදගත්තේ පොලිස් පරීක්ෂකවරයා මෙන්ම මාවද පුදුමයට පත් කරමිනි.හිතේ තිබූ බලාපොරොත්තූන් සියල්ලම එකක් මත එකක් බිද වැටෙමින් තිබූ මොහොතක පොලිස් පරීක්ෂකවරයාගේ මේ උදවුව අයියාට මහමෙරක් සේ දැනුනා.

"ස්තූතියි සර්, බොහොම ස්තූතියි." අයියා පොලිස් පරීක්ෂකවරයා දෙස බලා එසේ කීවා.

"ඔය ළමයි එහෙනම් දැන් යන්න.මටත් වැඩ ගොඩක් තියෙනවා කරන්න.මේ කොස්තාපල් ඔයාලාව පරිස්සමෙන් ගිහින් ඇරලාවි...කොස්තාපල් මෙයාලාව ජීප් එකට එක්කන් යන්න." කියූ පොලිස් පරීක්ෂකවරයා අයියාගෙ උරහිසටද තට්ටුවක් දමාගෙන නැවතත් ඔහුගේ කාමරයට ගොස් දොර වසා ගත්තා.අපිට ඔහු පසුපසින් එන ලෙස සංඥා කල කොස්තාපල්වරයා අපව පොලිස් ස්ථානය පිටුපස තිබූ රථ ගාලකට රැගෙන ගියා.එහි ජීප් රථ දෙකක් සහ බයික් කිහිපයක් ගාල් කර තිබුනා.මම සහ අයියා ජීප් රථයේ පිටුපස ආසන දෙකක ඉදගත්තා.රථය පණගැන්වූ කොස්තාපල්වරයා ගමන ආරම්භ කරා.ගමන පුරාවටම ඔහු අප සමග වචනයක්වත් කතා කිරීමට උනන්දුවක් දැක්වූවේ නැහැ.එම නිසා ගමනාන්තය දක්වාම ජීප් රථය තුල පැවතියේ දැඩි නිහඩතාවක්.මේ වන විට පරිසරය සම්පූර්ණයෙන්ම වාගේ අදුරෙන් වෙලාගෙන තිබුනා.පමා වී තවමත් කැදලි කරා පියබන කුරුල්ලන්ගේ ඡායාව මම ජීප් රථයේ වීදුරුවෙන් බලාසිටියා.බැසයන හිරුගේ මන්දාලෝකයෙන් රත් පැහැ ගැන්වී තිබූ අහස කෙමෙන් කෙමෙන් කලු වර්ණයට ඔහුගේ නිවහනට එන්නට ඉඩහැරියා.ගමන පුරාවටම අයියාද කිසිදු කතාවකින් තොරවම වීදුරුවෙන් ඉවත බලාගෙන ගියා.අප්පච්චි ගැන මතකයන් තවමත් මගේ හිතේ ඔබ මොබ සැරිසරන්නට වුනා.අප්පච්චි හිටියා නම් අපිට මෙච්චර දුක් විදින්න දෙන්නෑ.විනාඩි 20ක පමණ ගමනකින් පසුව ජීප් රථය නැවැත්වූ කොස්තාපල්වරයා අප දෙසට හැරුනා.

"මෙතනින් බැහැගන්න ළමයි, අර අතන පේන්න තියෙන්නෙ ආණ්ඩුකාරතුමාගෙ ⁣ගෙදර.මම එහෙනම් දැන් ආයිත් යනවා.මෙතන ඉදන් ඔය ළමයින්ට පයින් යන්න පුළුවන් නේද?"

"ඔව් පුළුවනි." එසේ කී අයියා ඔහුට ස්තූති කර ඔහුව පිටත් කර හැරියා.එතැන සිට ආණ්ඩුකාරවරයාගෙ නිවසට තිබුනේ සුළු දුරක් පමණයි.මුඩුක්කු ගෙවල් තියෙන ප්‍රදේශයේ ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියා කරන ශබ්දය අපට ආණ්ඩුකාරවරයාගේ ගෙදර ආසන්නයටම පැහැදිලිව ඇහුනා.අපි ගෙදරට ලං වන විට ගෙදර ගේට්ටුව ඉදිරිපිට වූ ආරක්ෂක කුටිය තුල විදුලි බුබුලක් දැල්වෙමින් තිබෙනවා මම දුටුවා.ආරක්ෂක නිලධාරියා එය තුලට වී තේ කෝප්පයක් තොල ගාමින් සිටියා.අපව දුටු සැනින් තේ කොප්පය මේසයක් මතින් තබා ඔහු අප වෙතට කඩිමුඩියේ දුවගෙන ආවා.මේ වන විට රාත්‍රිය උදාවී තිබුනු නිසා ඔහුගේ මුහුණ හරිහැටි දැකබලා ගැනීමට මට අපහසු වුනා.

"ඔය ළමයි මොකද මේ රෑ මෙතන කරන්නේ? ඔය දෙන්නා අද උදෙත් ආවා නේද?" ආරක්ෂක නිලධාරියා අපෙන් ඇසුවා.

"අපිට ශ්වේතා මැඩම්ව හම්බවෙන්න පුළුවන්ද...හදිස්සි කාරණාවකට අපිට මැඩම් එක්ක කතා කරන්න ඕන."

"මැඩම් බිස්නස් ට්‍රිප් එකක් ගිහිල්ලා.මැඩම් ආයිත් එන්නේ අනිද්දාට." ආරක්ෂක නිලධාරියා පැවසුවා.ඔහු ඒ වාක්‍ය අවසන් කරනවාත් සමගම නිවසේ ඉදිරි දොර විවෘත වුනා.ගේට්ටුව ලග සිට ගෙයි ඉස්තෝප්පුව ලගට වන තෙක් වූ අඩිපාර දිගේ තරමක් තරබාරු පුද්ගලයෙක් ඇවිදගෙන එනවා අපි ඈතට දුටුවා.නිවසේ දොර විවෘත වන ශබ්දය ඇසුනු ආරක්ෂක නිලධාරියාද අප සමග කතා කිරීම අතරමග නවතා ඒ පැත්ත බලන්නට වුනා.ගේට්ටුව ලගට ඔහු එනතෙක් මට ඔහුගේ මුහුණ පැහැදිලිව දැකගන්නට ලැබුනේ නැහැ.නිල්, කහ පාට මිශ්‍ර සරමක් සහ ලා තැඹිලි පාට ෂර්ට් එකක් ඇද සිටි ඔහුට තිබුනේ ඇගටම සරිලන ආකාරයේ තරබාරු මුහුණක්.ඔහුගේ මූණේ කම්මුල් වල, අත් ගොබ වල මස් එල්ලෙමින් තිබුනේ ඔහු ගෙවන සැපවත් ජීවිතය සංකේතවත් කරමිනි.කිසිදු ආකාරයකින් සිත් ගන්නා ප්‍රසන්න පෙනුමක් ඔහුට නොවීය.

"මොකක්ද අමීර් ප්‍රශ්නෙ? කවුද මේ පොඩි එවුන් දෙන්නා?" ඔහු ගේට්ටුවෙන් පිටතට පැමිණ අප වෙත නුරුස්සන බැල්මක් හෙලමින් ඇහුවා.

"සර් මේ මෙයාලා මැඩම්ව හොයනවා වැදගත් කාරණයක් කතා කරන්න තියෙනවා කියලා."

"මොකක්ද යකෝ මුන්ට මගේ ගෑනිත් එක්ක කතා කරන්න තියෙන ඔච්චර⁣ටම වැදගත් කාරණේ.මටත් ඇහෙන්න කියාපං බලන්න." ආණ්ඩුකාරවරයා උපහාසයෙන් මෙන් අප දෙස බලා එසේ කීවා.

"ශ්වේතා මිස් තමයි අපේ අම්මා.අපි ආවෙ අපේ අම්මා එක්ක කතා කරන්න." අයියා නිර්භය ස්වරයකින් කීවා.

"මගේ එක ළමයෙක් නම් ගෙදර තොටිල්ලෙ බුදි, අනිත් එකාව මගෙ ගෑනි එක්කන් ගියා.එතකොට යකෝ මම නොදන්න ළමයිත් ඉන්නවද මගෙ ගෑනිට?" උපහාසයට මෙන් මහ හඩින් සිනාසෙමින් ඔහු එලෙස කීවා.ආරක්ෂක නිලධාරියාද ඔහුට සහයෝගයට මෙන් ඔහු සමගම සිනාසුනා.ආණ්ඩුකාරවරයා බීමතින් සිටින බවකුයි මට නම් දැනුනේ.

"මීට අවුරුදු ගණනාවකට කලින් ඔබතුමා මුඩුක්කු ගෙවල් බලන්න ආපු දවසක..." අයියා ඔහුගේ කතාව ආරම්භ කරා.අයියා කතාව කියාගෙන යනවාත් සමගම ටිකින් ටික ආණ්ඩුකාරවරයාගෙ අවධානය අයියාගෙ කතාවට යොමු වුනා.ඔහුගේ බීමත් ගතියද පහව ගොස් ඔහු ප්‍රකෘති සිහියට පැමිණියා.ආරක්ෂක නිලධාරියාට කුටියට යන මෙන් සංඥා කල ඔහු තවත් අඩි කිහිපයක් අප අසලට පැමිණියා.අයියා කතාව කියන අතරතුර ආණ්ඩුකාරවරයා වරින් වර හොරැහින් මා දෙස බලන්නට වුනා.ඔහුගේ ඒ බැල්මට මගේ ඇග සීතල වී ගියාක් මෙන් වුනා.අයියා දීර්ඝ කතාවක් විනාඩි 10ක් පමණ කෙටි කාලයකින් කියා අවසන් කර ආණ්ඩුකාරවරයා දෙස බැලුවා.

"ම්ම්ම්...එතකොට උඹලා තමයි මගෙ ගෑනිගෙ කලින් කසාදෙ ළමයි...හ්ම්ම් හ්ම්ම්...දැන් එතකොට උඹලා මොකටද මේ රෑ මගෙ ගෙදරට කඩාපහත් වුනේ?"

"ඇමතිතුමාට මුඩුක්කු ගෙවල් තියෙන භූමියේ ⁣හෝටලයක් හදන්න ඕන කියලා එතුමා මුඩුක්කු ගෙවල් ඔක්කොම කඩලා දැම්මා.දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැතුවයි ඉන්නෙ.අපේ අප්පච්චිත් මුම්බායි වලදි වෙච්ච අනතුරකින් මැරිලා.දැන් අපිව බලාගන්න කෙනෙකුත් නැහැ, අපිට ඉන්න තැනකුත් නැහැ සර්." අයියා දුක්බර හඩකින් කීවා.

"හ්ම්ම්...අපිට කතා කරන්න දේවල් හුඟක් තියෙනවා වගේ.වරෙල්ලා ⁣ගේ ඇතුලට, අපි මොනවාහරි බීලාම කතා කරමු." කියා ඔහු අපිට ඇතුල් වීමට හැකි වන සේ ගේට්ටුව විවර කරා.මම සහ අයියා පුදුමයෙන් මෙන් මුහුණට මුහුණ බලාගත්තා.ආණ්ඩුකාරවරයාගෙන් මෙවන් ආකාරයේ ප්‍රතිචාරයක් අපි කිසිසේත්ම බලාපොරොත්තු වුනේ නැහැ.ඔහුත් සමග ඇතුලට යන්දෝ නොයන්දෝ යැයි පැකිලීමෙන් මෙන් අපි ගේට්ටුවෙන් පිටතට වී සිටියා.නිවසට පිවිසෙන අඩිපාර දිගේ මද දුරක් ගිය ආණ්ඩුකාරවරයා පිටුපස හැරී අප දෙස බැලුවා.

"උඹලා අද එනවද නැද්ද?" තවමත් ගේට්ටුවෙන් පිටතට වී සිටි අප දෙස බලා ඔහු ශබ්ද නගා ඇසුවා.කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව මම අයියා දෙස බැලුවා.ඉදිරිය බලාගෙන සිටි ඔහු ගැඹුරු හුස්මක් හෙලා මගේ දකුණු අතින් අල්ලාගත්තා.දකුණු කකුල ඉදිරියට තබා ඔහු ඉදිරියට ඇවිද යාමට ගත්තා.අපි ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමගම ආරක්ෂක නිලධාරියා ඇවිදින් ගේට්ටුව වසා දැමුවා.වත්ත මැදින් වූ අඩිපාර දිගේ ඉදිරියට ඇවිද ගිය අපි නිවසේ ඉස්තෝප්පුවට ගොඩ වුනා.ඉස්තෝප්පුව ඉදිරිපිට කළුවර ලීයෙන් කරන ලද පැද්දෙන පුටුවක් සහ කුඩා ස්ටූල් මේසයක් තිබුනා.ඒ මේසය මත සුරුට්ටු අළු බදුනක් සහ පත්තර කිහිපයක් ගොඩ ගසා තිබුනා.අපි නිවස තුලට එන තෙක් ආණ්ඩුකාරවරයා දොර විවෘත කරගෙන සිටියා.අපි නිවසට ඇතුළු වනවාත් සමගම දුටුවේ රජ මාලිගාවක අංගනයක් මෙන් වූ විශාල කාමරයකි.මුඩුක්කුවේ සිටින කාලයේදී අපි ධනවතුන්ගේ ජීවිත ගැන වැඩිහිටියන් කියූ කතා කෙතරම් අසා තිබුනත් ඒවා පලමුවරට සියැසින් දකින්නට ලැබුනේ එම මොහොතේදීයි.මධ්‍යම පාන්තිකයන් හා ධනවතුන් භාවිතා කරන මාදිලියේ විශාල සෝෆා වර්ගයේ පුටු දෙකක් සාලයේ මැද තිබුනු අතර, ඒවා සමගම විශාල වීදුරු මේසයක් තිබුනා.සාලයේ කෙලවරට වන්නට විශාල අල්මාරියක විවිධ වර්ගයේ මත්පැන් බෝතල් රැසක් පිලිවෙලින් අසුරා තිබුනා.සුදු වර්ණයෙන් තීත්ත ගා තිබූ බිත්ති අතර තැනින් තැන විවිධ චිත්‍ර සහ රූප එල්ලා තිබුනා.සාලය පුරා තැන් තැන් වල විචිත්‍ර පත්‍ර සහිත කුඩා මල් පැල සහ අලංකාර මෝස්තර සහිත බදුන් තබා තිබුනා.අපිට ඉදගන්නා ලෙස සංඥා කල ඔහු සාලයටම සම්බන්ධ වී තිබූ නිවසේ කුස්සිය යැයි සැලකිය හැකි ආකාරයේ වෙනත් අංගනයක ඇතුළු වුනා.අයියා සමග විශාල සෙටියකින් ඉදගත් මා කල්පනාවට වැටුනා.ඇයි ආණ්ඩුකාරතුමා අපිට ඇතුලට එන්න ආරාධනා කරේ? ආණ්ඩුකාරතුමා සැරපරුෂ පුද්ගලයෙක් හැටියටයි ගමේ මිනිස්සු අතර නම් ප්‍රචලිතව තිබුනේ.එහෙනම් ඇයි ඔහු අපේ ඉදිරියේ ⁣මෙහෙම හැසිරෙන්නෙ? අනික මොන මිනිහාද එකපාරටම ආතක් පාතක් නැතුව තමන්ගෙ ගේ ඉස්සරහින් මතු වෙච්ච, මීට කලින් ජීවිතේට දැකලා නැති ආගන්තුකයෝ දෙන්නෙක්ව ගෙට වද්දගන්න කැමති වෙන්නෙ?

මිනිත්තු කිහිපයකින් නැවතත් සාලයට පැමිණි ඔහු අතේ කෙක් කැබලි කිහිපයක් තැබූ බන්දේසියක් සහ ආනමාලු කෙසෙල් ඇවරියක් තිබුනා.ඒවා අප ඉදිරියෙන් තිබූ වීදුරු මේසය මතින් තැබූ ඔහු අපට ඉදිරියෙන් ඉහල බිත්තියේ එල්ලා තිබූ රූපවාහිනිය ක්‍රියාත්මක කරා.රූපවාහිනියේ රිමෝට් පාලකය අතට ගත් ඔහු එහි අංක එකින් එක ඔබා නාලිකා මාරු කරන්නට වුනා.අවසානයේ ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබූ නාලිකාවක නතර කල ඔහු රිමෝට් පාලකය පසෙකින් තැබුවා.කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව ඔබ මොබ බලමින් සිටි අයියා සහ මා දෙස බැලූ ආණ්ඩුකාරවරයා අපට මදහසක් පෑවා.ඔහුගේ කම්මුල් වල එල්ලෙමින් තිබූ විශාල මස් කුට්ටි නිසා මට ඔහුගේ මදහසද පෙනුනේ විරිත්තුමක් ලෙසිනි.

"ළමයිනේ ඔය කෑම කාපල්ලා.මම ඕවා උඹලාට කන්න ඔතැනින් ගෙනත් තිබ්බෙ.ගෙදර සේවකයො හැමෝම හවස 6ට වැඩ ඇරිලා ⁣යනවා.ඒක නිසා රෑට ඉතුරු වෙන්නෙ මමයි, පවුලේ අයයි විතරයි.අද ⁣ශ්වේතායි, ලොකු පුතායි ගෙදර නැති නිසා මමයි, පොඩි එකායි විතරයි අද ගෙදර ඉන්නේ.පොඩි එකා නම් උඩ තට්ටුවේ තොටිල්ලෙ සැපට නිදි."

බඩගින්නෙන් සිටි මා ආණ්ඩුකාරවරයා ඉවත බලාගත් සැනින් බන්දේසියෙන් කේක් කැබැල්ලක් අතට ගෙන එය ක්ෂණිකව කටේ ඔබා ගත්තා.මා දෙස පුදුමයෙන් මෙන් බැලූ අයියා සිනහවක් පහල කර ඔහුද කේක් කැබැල්ලක් අතට ගත්තා.අපි කේක් කන අතරතුර ආණ්ඩුකාරවරයා කිසිදු කතාබහකින් තොරව රූපවාහිනිය දෙස බලාසිටියා.ඔහුගේ ඒ අවසරයෙන් ප්‍රයෝජන ගත් මා තවත් කේක් කැබැල්ලක් කටේ ඔබා ගත්තා.සාලයේ ඈතින් බිත්තියක එල්ලා තිබූ ඔරලෝසුවක වෙලාව 7.30 බව සටහන් වී තිබුනා.කේක් කා අවසන් වී පුටුවට හේත්තු වී කිසිදු කතාවකින් තොරව මම සහ අයියා රූපවාහිනිය දෙස බලා සිටියා.අපි මෙලෙස ඉන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය මගේ හිත තුල කැකෑරෙන්නට වුනා.එක්වරම පුටුවෙන් නැගිටගත් ආණ්ඩුකාරවරයා නැවතත් කුස්සියට ගියා.

"අපි මොකක්ද අයියෙ මෙහාට ඇවිල්ලා මේ කරන්නෙ?" ආණ්ඩුකාරතුමා කුස්සියට ගිය පසු මම අයියාගෙන් ඇසුවා.

"මටත් හිතාගන්න බෑ නංගි.අපි බලන් ඉමුකො.ආණ්ඩුකාරතුමා ආයිත් ආවාම මම කතා කරන්නම් එතුමා එක්ක.අපිට ඉන්න හිටින්නවත් තැනක් නැති එකේ මේ ටික වෙලාවකට හරි මෙහෙම වහලක් යට ඉන්න ලැබිච්ච එකත් වාසනාවක්." අයියා ඒ වාක්‍ය අවසන් කරනවාත් සමගම ආණ්ඩුකාරතුමා කුස්සියේ සිට නැවතත් එලියට පැමිණියා.

"එතකොට දැන් උඹලා මෙහාට ආවෙ උඹලාට නවතින්න තැනක් ඕන නිසාද?" ආණ්ඩුකාරවරයා ඔහු වාඩි වී සිටි සෝෆා පුටුව දෙසට ඇවිදගෙන එන අතරතුර ඇසුවා.

"ඔව් ආණ්ඩුකාරතුමා, අපි ඔබතුමා කියන ඕන දෙයක් කරන්නම්.උයන පිහින වැඩද, වත්ත සුද්ද කරන වැඩද, ගෙවල් දොරවල් පිරිසිදු කරන වැඩද ඕන දෙයක් අපිට කරන්න පුළුවන්.අපිට නවතින්න තැනක් දෙන්න පුළුවන් නම් ඔබතුමාට බොහොම පින් අත් වෙනවා."

"හ්ම්ම්...මම උඹලාට මගේ වහල යට නවතින්න දෙන්නම්...හැබැයි, මට ඔය ළමයින්ගෙනුත් යමක් ඕන." ආණ්ඩුකාරවරයා එසේ කී විට මම සහ අයියා පුදුමයෙන් මෙන් මුහුණට මුහුණ බලාගත්තා.මේ අවස්ථාව වන විට අප සතුව කිසිවක් නොවීය.මේ වගේ ධනවත් පුද්ගලයෙක්ට අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්.සියලු සැප සම්පත් තියෙන ඔහු වගේ ධනවත් පුද්ගලයෙක් සතුව නැති, අප සතුව ඇති දේ කුමක්දැයි කියා මම කල්පනා කරන්නට වුනා.

"මොනවද සර්ට අපෙන් වෙන්න ඕන?" තත්පර කිහිපයක් නිෂ්ශබ්දව සිටි අයියා ආණ්ඩුකාරතුමාට එසේ පිලිතුරු දුන්නා.ආණ්ඩුකාරවරයා තවත් අඩි කිහිපයක් ඉදිරියට පැමිණ අපේ ඉදිරියෙන්ම සිටගත්තා.ඔහු හා අප අතර තිබුනේ මීටර් කිහිපයක පරතරයක් පමණයි.ඒ මීටර් කිහිපය මායිම් වුනේ අපිට ඉදිරියෙන් තිබුනු වීදුරු මේසයෙනි. අත් දෙක පිටුපසට බැදගෙන, කොන්ද කෙලින් තබාගෙන ඔහු අප දෙස එක එල්ලේ බලා සිටියේ හමුදා සෙබලෙක් පහසුවෙන් සිටින ඉරියව්ව සිහි ගන්වමිනි.

"මට ඕන උඹේ නංගිව..." එක්වරම ආණ්ඩුකාරවරයාගේ මුවින් පිටවූ ඒ වචන මගේ ඇගේ ලොමු ඩැහැගන්වන්නට සමත් වුනා.ඒ වචන අයියාගේ සවන ගැටුනු සැනින් ඔහු තමන් වාඩි වී සිටි අසුනෙන් එසැවුනේ විදුලි වේගයෙනි.මගේ හදවතේ ගැස්ම එන්න එන්නම වැඩි වුනි.මගේ හිසේ කෙස් ගස් අතරින් පහලට රූරා ආ දහඩිය බිංදු මුහුණ දිගේ ගලන්නට විය.ඔහුට කුමකටද මාව? ඇයි ඔහුට මාවම ඕන? මගේ කුළුදුල් හිතට මේ කිසිවක් නොතේරිනි.

"මොකක්?" වාඩි වී සිටි අසුනින් එසැවුණු අයියා ආණ්ඩුකාරවරයා දෙස වියරුවෙන් මෙන් බලාගෙන සිටියා.මින් පෙර කිසිම දිනෙක අයියා එතරම් තරහින් සිටිනු මම දැක තිබී නැත.

"මම හිතන්නෙ උඹට තේරෙන්න ඇති මම මොකක්ද අදහස් කරේ කියලා.මට උඹේ ඔය පැංචිත් එක්ක එකම එක රැයක් ගත කරන්න දීපං.මම හිතන්නෙ ඒකිට වුනත් මුඩුක්කු පැදුරට වඩා මගේ ඇදේ උණුහුමට හොදට නින්ද යයි.හෙට ඉදන් උඹලාට මේක උඹලයි ගෙදර කියලා හිතන් උඹලාට ජීවත් වෙන්න පුළුවන්." ඒ වාක්‍යය අවසන් වනවාත් සමගම සිදුවුනේ මම කිසිසේත්ම නොසිතූ දෙයක්.ගැහෙමින් තිබූ මගෙ පපුව තව තවත් කම්පනයට පත්කරමින් අයියා එක්වරම ආණ්ඩුකාරවරයාගෙ ඇගට කඩා පැන්නේ වියරු වැටුනු සතෙක් සේය.ගසක් කපා හෙලුවාක් සේ බිම ඇද වැටුනු ආණ්ඩුකාරවරයාගේ මුහුණට අයියා නොනවත්වා පහර පිට පහර දෙමින් සිටියා.කිසිවක් කරගත නොහැකි වූ මා පුටුවේ කෙලවරටම ගොස් ගුලි වී මුහුණ කකුල් දෙක අතර රදවාගෙන මහ හඩින් හඩන්නට වුනා.මේ සියල්ලම නපුරු හීනයක් යැයි සිතා මා ඇස් තද කර වසාගත්තා.තවදුරටත් මට ඔවුන්ගේ පොර බැදීමේ හඩ ඇසෙන්නට වුනා.එක්වරම මගේ ඉදිරියේ තිබූ වීදුරු මේසය කුඩු වී යන ශබ්දය ඇසී මා තිගැස්සුනා.ඇස් හැර බැලූ මට දකින්නට ලැබුනේ වීදුරු මේසයත් කඩාගෙන බිම වැටී සිටි අයියාවයි, ඔහු නැගිටින්නට වෙර දරමින් සිටියා.ආණ්ඩුකාරවරයා ඔහු ඉදිරියේ හිටගෙන වේගයෙන් හුස්ම ඉහල පහල දමමින් සිටියා.ආණ්ඩුකාරවරයාගේ නහයෙන්ද, අයියාගේ අත් වලින්ද ලේ ගලමින් තිබුනා.ආණ්ඩුකාරවරයා බිම වැටී සිටි අයියාට පයින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බව දුටු මම ක්ෂණිකව මගේ ලගම තිබූ රූපවාහිනී රිමෝට් පාලකය අතට ලෙන ආණ්ඩුකාරවරයා දෙසට විසිකර ගැසුවා.එය ඔහුගේ හිසේ වැදුනු නිසා තත්පර කිහිපයකට ඔහුගේ අවධානය බිද වැටුනා.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා අයියා ඔහු වැටී සිටි තැනින් ක්ෂණිකව නැගිට නැවතත් ආණ්ඩුකාරවරයාගෙ ඇගට කඩාපැන්නා.ආණ්ඩුකාරවරයාව බිත්තියකට තද කර හේත්තු කරගෙන අයියා නැවතත් ඔහුට පහර පිට පහර දෙමින් සිටියා.අයියාගේ පහර වලක්වාගත් ආණ්ඩුකාරවරයා අයියාගෙ හක්කට දුන් ප්‍රති ප්‍රහාරයක් නිසා අයියා මුළුමනින්ම අඩපණ වුනා.මට තවදුරටත් මේ දෙස කිසිවක් නොකර බලාසිටීමේ හැකියාවක් තිබුනේ නැහැ.ආණ්ඩුකාරවරයාගේ දැඩි ප්‍රහාර හමුවේ අයියා කිසිවක් කරගත නොහැකිව අසරණ වී සිටියා.අයියාගේ නහයෙන්, නළලෙන් සහ උරහිස් වලින් නොනවත්වා ලේ ගලන්නට වුනා.වටපිට බැලූ මට කුඩු වී ගිය උල් හැඩයේ වීදුරු කැබැල්ලක් බිම තිබී හමු වුනා.එය අතට ගෙන සිතට ධෛර්ය ගත් මා වාඩි වී සිටි තැනින් නැගිට්ටා.මම සතෙකුටවත් හිංසා කරන්න අකමැති කෙනෙක් වුනත් මගේ අයියාගේ ජීවිතය බේරාගැනීමට මිනී මැරීමට වුවද මම ඒ අවස්ථාවේ පසුබට වුණේ නැහැ.ඒ වීදුරු කැබැල්ලත් රැගෙන මම ආණ්ඩුකාරවරයා දෙසට වේගයෙන් දිව ගියා.වටේ පිටේ සියලු ශබ්ද වලට මගේ සවන් අගුළු වැටුනා.තරහින් මගේ දත් එකිනෙක ගැටෙන්නට වුනා.මගේ දර්ශන පථයේ ආණ්ඩුකාරවරයාගේ රුව හැර අන් සියල්ලක්ම එකින් එක බොද වී යන්නට වුනා.මම ඔහු වෙත දුවගෙන එන බව දුටු ඔහු එක්වරම ඉවතට පැන මා ඔහු වෙත ලං වෙනවාත් සමගම වීදුරු කැබැල්ල සහිත මගේ අත අබරවා වීදුරු කැබැල්ල ඔහුගේ අතට ගත්තා.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අයියා නැවතත් ආණ්ඩුකාරවරයාට පහර දීමට ඔහු දෙසට දුවගෙන ආවා.වීදුරු කැබැල්ල ඔහුගේ අතට ගත්තාත් සමගම ඔහු මට දුන් පා පහරක් නිසා මම විසි වී ගොස් අසල තිබූ ශීතකරණයක හිස වැදී බිම වැටුනා.

මගේ හිස ශීතකරණයේ තදින් වැදුනු නිසා මගේ හිසට දැනුනේ දැඩි වේදනාවක්.හිසේ කරකැවිල්ලක ගතියක් දැනුනු නිසා මම තත්පර කිහිපයකට ඇස් වසාගත්තා."කීං" හඩින් ශබ්දයක් කන් තුල දෝංකාර දෙන්නට වූ නිසා මට කිසිදු බාහිර ශබ්දයක් ඇසුනේ නැහැ.ටිකින් ටික ඒ ශබ්දය අඩු වී, හිසේ වේදනාවද පහව ගිය නිසා මම ඇස් පියාගෙන හොදින් වටපිටාවේ ශබ්ද වලට ඇහුම්කන් දුන්නා.කලින් ඇසුනු පොරබදන ශබ්දය තවදුරටත් මට ඇසුනේ නැහැ.ඒ වෙනුවට මට ඇසුනේ යමෙක් බර අඩි තබා ඇවිදින ශබ්දය පමණකි.මම ටිකින් ටික ඇස් විවර කර බැලුවා, වටපිටාවේ ආලෝකයට මගේ ඇස් වලට ඇතුල්වීමට මම ඉඩ දුන්නා.මගේ ඇස් ආලෝකයට හුරු වූ පසු මම හිස හරවා හොදින් වටපිට බැලුවා.වීදුරු මේසයේ බිදුනු වීදුරු කැබලි තවමත් සාලයේ බිම පුරාවට විසිරී තිබුනා.සිවිලිමේ සවිකර තිබූ විශාල බල්බයකින් නිකුත් වූ මන්දාලෝකය වටා කෘමීන් රැසක් ආලෝකයට කුරුමානම් අල්ලමින් සිටියා.ඔය අතර සාලයේ බිදුනු වීදුරු මේසයට තරමක් ඈතින් බිම තිබුනු දෙයක් දැක මගේ මුළු සිරුරම පණ නැතිවාක් මෙන් වුනා.එය කළු ගලක් මෙන් නිසොල්මන්ය.එය අසලින්ම හිටගෙන යමෙක් එය දෙස බලාගෙන සිටියා.ඔහු වරින් වර ඒ දෙසට නැමී එය හොදින් නිරීක්ෂණය කරන්නට වුනා.ඒ හිටගෙන සිටියේ වෙන කවරෙකුවත් නොවේ, ආණ්ඩුකාරවරයාය.ඒ බිම වැටී සිටියේ මගේ එක කුස උපන් එකම සොහොයුරාය.ඔහුගේ පපුව පසාරු කරගෙන ඇතුලට කිදා බැස තිබුනේ මම බිදී ගිය වීදුරු මේසයේ සුන්බුන් අතරින් ඇහිදගත් උල් වීදුරු කැබැල්ලයි.ඔහු ඔහුගේම ලේ විලක් මැද නිසොල්මන්ව සැතපී සිටියා.මේ සියල්ල අතරින් බිම වැටී ඉකිබිදිමින්, කදුළු කැට වල පිහිට පතමින් සිටියේ මේ ලොව තවත් කිසිවක් හෝ කිසිවෙක් ඉතිරි වී නැති අසරණ මමයි....

"අනේ මගෙ අයියේ..." ඒ මගේ විලාපයයි.

______________________________________

...මීලග කොටසින් හමුවෙමු...

රචනය - H.L. නෙසදු මලීෂ (Dicaprio)

පලමු නවකතාවේ තෙවන දිගහැරුම




Report Page