කදුලින් උපන් කතාවක් - Part 05

කදුලින් උපන් කතාවක් - Part 05

Dιƈαρɾισ

මට ටිකින් ටික දේවල් යලිත් මතකයට නැගෙන්නට වුනා.ඒ කොල පාට ඇදුම් ඇදගෙන සිටියේ පොලිස් නිලධාරීන්ය, ඔවුන්ට ඉදිරිපසින් තිබෙන දුර්වර්ණ ගොඩනැගිල්ල තමයි අයියයි, මායි ඊයෙ හවස පැමිණි පොලීස් ස්ථානය.ඊයේ හවසට වඩා අද මෙහි දැඩි කාර්යබහුලත්වයක් දක්නට ලැබුනා.මම හිටි තැනම ගල් ගැසී ඇස් පුංචි කරගෙන ඉහල අහස දෙස බැලුවා.ලා නිල් පාට අහසේ සුදු පාට වලාකුළු අතරින් හිරු දීප්තිමත්ම බැබලෙන්නට වුනා.වෙලාව දහවල් 12 පසු වී ඇතැයි මට සිතුනා.මම හෙමි හෙමින් පොලිස් ස්ථානය වෙත ඇවිද යන්නට වුනා.කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නොමැතිව, ඉරුණු ඇදුමක් හා අවුල් වූ කෙස් වැටියක් ඇතිව ඇවිදගෙන යන මා දෙස අවට මිනිසුන් බැලුවේ අමුතුවෙන් මෙනි.ඒ හැම බැල්මකම මා පිලිකුලට ලක් කරන සේයාවක් මට දක්නට ලැබුනා.පොලිස් ස්ථානයේ දොරටුවෙන් ඇතුල් වත්ම හුරුපුරුදු මුහුණක් දක්නට ලැබුනා.ඒ අපට කලින්දා උදවු කල තරබාරු පොලිස් නිලධාරියායි.ඔහු සුපුරුදු පරිදි ඔහුගේ ඉදිරි මේසයේ ඉදගෙන බත් පැකට්ටුවක් දිගෑරගෙන ආහාරයට ගමින් සිටියා.මම ඔහු අසලට ඇවිද යත්ම ඔහු දකුණු අතට ගත් බත් පිඩක්ද සමග හිස ඔසවා මා දෙස බැලුවා.ඔහුට මාව හදුනාගැනීමට එතරම් වෙලාවක් ගතවූයේ නැහැ.මා වෙත මද සිනහවකින් සංග්‍රහ කල ඔහු මට කතා කරා.

"අදත් ආවාද? අද තනියමද ආවෙ, අයියා ආවෙ නැද්ද ඔය ළමයා එක්ක?"

"උප පොලිස් පරීක්ෂකතුමා අද ඉන්නවද?" මම ඔහුගේ ප්‍රශ්නය නෑසුනාක් සේ ඔහුට ප්‍රශ්නයක් යොමු කරා.ඔහුගේ අතේ තිබූ බත් පිඩ කටට දමා ගත් ඔහු කෑම පැකැට්ටුවේ තිබූ බත් එළවළුත් සමග අනන්නට වුනා.ඔහුට පිටුපස බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුවේ වෙලාව දවල් 1.05 ලෙස සටහන් වී තිබුනා.මෙය පොලිස් නිලධාරීන්ගේ කෑම විරාමය වූ නිසා පොලිස් ස්ථානය තුලින් තවත් නිලධාරින්ගේ කතාබහ කරන හඩ ඈතින් ඇසෙන්නට වුනා.තරබාරු පොලිස් නිලධාරියා කමින් සිටි බත් පිඩ කා අවසන් වූ පසු ඔහු නැවතත් කටහඩ අවදි කරා.

"උප පොලිස් පරීක්ෂකතුමාට අද මුම්බායි වල අලුත් ඉස්කෝලයක් ඕපන් කරන එකකට ආරාධනාවක් ලැබිලා ඒකට ගියා.හවසත් ගෙදර මොනවද වැඩ වගයක් තියෙනවා කියලා අද දවසම නිවාඩු දාලා තිබ්බා.අද එයා වෙනුවට ඉන්නේ සහකාර පොලිස් පරීක්ෂකතුමා.අවශ්‍ය නම් එයාව හම්බවෙලා කතා කරන්න පුළුවන්."

"එතුමාගෙ කාර්යාලෙ කොතැනද තියෙන්නෙ?" මම සිහින් හඩින් ඇසුවා.තවත් බත් කටක් කටට ඔබාගත් තරබාරු පොලිස් නිලධාරියා ආහාරයට ගමින් සිටි බත් පත වසා දමා ඉදුල් අත පිටින්ම පුටුවෙන් නැගිට මට ඔහු හා එන ලෙස සංඥා කරා.ඔහු පිටුපසින් බරාදය දිගේ ඇවිද ගිය මා තවත් තරමක් අදුරු බරාදයකට පිවිස එහි මැදකට වන්නට තිබූ කාර්යාලයක් මට පෙන්නුවා.එහි දොරේ එල්ලා තිබූ කුඩා ලෑලි පුවරුවක සහකාර පොලිස් පරීක්ෂක ලෙස සදහන්ව තිබුනා.

"මේක තමයි සහකාර පොලිස් පරීක්ෂකතුමාගෙ කාර්යාලෙ.දොරට තට්ටු කරලා ඇතුල් වෙන්න." එසේ කියා තරබාරු පොලිස් නිලධාරියා වේගයෙන් අඩි තබමින් ආපසු ඇවිද ගියා.දොර අසලට ගිය මම දොරට තට්ටු කරා.

"ඇතුලට එන්න." කාමරය තුලින් ඇසුනු කටහඩට ප්‍රතිචාර ලෙස මම දොර ඇරගෙන කාමරයට ඇතුළු වුනා.

"වාඩිවෙන්න." ඔහුගේ මේසය ඉදිරිපිට තිබූ පුටුවක් පෙන්වා ඔහු කීවා.ඔහු කෑම කා අවසන් කර වතුර බොමින් සිටියා.අවුරුදු 35ක පමණ වයස, ඉතාම කෙසග ශරීරයක් තිබුනු ඔහුට තිබුනේ අවුවට දුර්වර්ණ වී තද කළු පැහැ ගැන්වුණු සමක්.බොකුටු හිස කෙස් අතින් පිටුපසට පීරමින් ඔහුගේ පුටුවෙන් වාඩි වුනු ඔහු මා දෙස බැලුවා.

"මොකක්ද වෙන්න ඕන?" ඔහු තරමක් රළු ස්වරයකින් ඇසුවා.උප පොලිස් පරීක්ෂකතුමාගේ මෙන් සුහදශීලි ගතියක් මට මොහුගෙන් පෙනෙන්නට තිබුනේ නැහැ.මම හිස පහතට නමාගෙන කල්පනා කරන්නට වුනා.කියන්න කෙතරම් දේ තිබුනත් ඒවා කියන්නට තරම් වචන ගලපාගන්නට මට හැකියාවක් තිබුනේ නැහැ.

"මගේ අයියා...අප්පච්චි...ම්ම්ම්..." මට වචන ගොඩ ගැසෙන්නට වුනා.කතාව පටන් ගන්නේ කොතැනින්දැයි මම කල්පනා කරන්නට වුනා.

"මේ ළමයො...මට දවසම උඹ දිහා බලන් ඉන්න බෑ.ඒක නිසා කියන්න තියෙන දෙයක් කරුණාකරලා කියලා යනවද? මට තව ඕන තරම් වැඩ තියෙනවා මෙතන අද කරන්න." කිසිදු සුහදශීලී බවකින් තොරව ඔහු එසේ පැවසුවා.මම ඔහු දෙස අසරණව බලාගෙන සිටියා.ඔහු දෙස බලා සිටිද්දී මගේ ඇස් වලින් කදුළු කඩා හැලුනේ නොදැනුවත්වමය.ඒත් ඔහුගේ මුහුණේ කිසිදු හැගීමක් වෙනස් වූ බවට සේයාවක් පෙනෙන්නට තිබුනේ නැහැ.ඔහු දිගින් දිගටම මා දෙස බලාගෙන සිටියේ නුරුස්සන බවකිනි.

"මගේ...මගේ අයියාව ආණ්ඩුකාරතුමා මැරුවා." මම කදුළු අතරින් දිරිය ගෙන පැවසුවා.

"මොන...මේ අපේ ආණ්ඩුකාරතුමා? පිස්සුද? එතුමා අපිත් එක්ක බොහොම සමීපව වැඩ කරන හොද මහත්මයෙක්.ඉදලා හිටලා අපිට එතුමාගෙ ගෙදර තියෙන සාද වලටත් ආරාධනා කරනවා.මොනා නැතත් මිනිහා ලෝභ නැතුව සල්ලි නම් වියදම් කරනවා." සහකාර පොලිස් පරීක්ෂකවරයා කට කොනකින් නගාගත් සිනහවක්ද සමග එසේ පැවසුවා.

"නැහැ...ඌ මහ තිරිසනෙක්, මහ හිතක් පපුවක් නැති අමනුස්සයෙක්.ඌ මගේ අයියාව මැරුවා විතරක් නෙමෙයි, ඌ මාවත්..." මට කියන්නට අවශ්‍ය වූ දේ කියාගන්නට නොහැකි වුනා.මට ඒ සිදු වුනු දේ තනි වචනයකින් විස්තර කරන්නට තරම් තේරුමක් තිබුනේ නැහැ.මට කිව හැකිව තිබ්බෙ ඔහු මට යමක් කල බව පමණකි.

"උඹට මොකක්ද කරේ?" සහකාර පොලිස් පරීක්ෂකවරයා එක්වරම ඇසුවා.ඔහුගේ ප්‍රශ්නය හමුවේ මට දිය හැකි පිලිතුරක් තිබුනේ නැහැ.මට සිදු වූ දේ වචනයෙන් විස්තර කර කීමට දැඩි ලැජ්ජාවක් සහ බියක් දැනුනා.මම බිම බලාගෙන අපහසුතාවයෙන් මෙන් පුටුව මත හරිබරි ගැසුනා.සහකාර පොලිස් පරීක්ෂකවරයා මා දෙස කුතුහලයෙන් මෙන් බලාගෙන සිටියා.

"උඹට මොකක්ද වුණේ කියපං." ඔහු නැවත වරක් රළු හඩින් පැවසූවා.හෙමි හෙමින් හිස ඔසවා ඔහු දෙස ලැජ්ජාවෙන් මෙන් බැලූ මම වචන ගොතගසන්නට වුනා.

"එයා...එයා...මගෙ ඇදුම්...ගැලෙව්වා." මට කියාගන්නට තේරුණේ එපමණකි.සිදු වූ අනෙක් කිසිවක් ගැන අහිංසක මගේ සිතට තේරුමක් තිබුනේ නැහැ.

"ඒ කියන්නෙ එයා උඹව දූෂණය කරා? ඒකද උඹ කියන්න හදන්නෙ?" මට ඒ වචනය අලුත් වචනයක් වීය.එය මට මීට පෙර වැඩිහිටියන්ගේ කතාබහ වලදී ඇසී තිබුනත් එහි තේරුම ගැන මට කිසිදු අව⁣බෝධයක් නොතිබිණි.නමුත් මම හිස ඉහල පහල සැලුවේ ඔහු හා එකග වන බවක් හගවමිනි.

"හ්ම්ම්...ආණ්ඩුකාරතුමා උඹට මොනවා කරත් අපිට කරන්න දෙයක් නැහැ.එතුමා අපේ පොලීසියේ බොහොම සමීප හිතවතෙක්.එතුමා ගැන මීට කලිනුත් එක එක අය ප්‍රශ්න අරන් ඇවිල්ලා තියෙනවා මේ පොලීසියට.ඒත් ඒ කිසිම ප්‍රශ්නයක් දුරදිග නොයන්න එතුමා අපිට බොහොම හොදින් සලකනවා.ඉතින් එතුමා සම්බන්ධ කිසිම ප්‍රශ්නෙකට අපිට මැදිහත් වෙන්න බෑ." සහකාර පොලිස් පරීක්ෂණවරයා අවධාරනාත්මක හඩින් කීවා.එය මහ අසාධාරණ කතාවක් ලෙසයි මට දැනුනේ.ඇයි දුප්පත් අයටයි, පොහොසත් අයටයි වෙනම නීති දෙකක්.නීතිය කියන්නෙ හැමෝටම සමානව ලැබිය යුතු දෙයක් නෙමෙයිද? එතකොට සල්ලි වලට මේ හැම දෙයක්ම යටයිද? මම නැවතත් ඔහු ඉදිරියේ මහ හඩින් අඩන්නට වුනා.මට කදුළු හැර ඔහු ඉදිරියේ වෙන විකල්පයක් තිබුනේ නැහැ.

"උඹ මෙතන කොච්චර ඇඩුවත් මට ඔයිට වඩා වෙන දෙන්න උත්තරයක් නෑ ළමයො.දැන් ආපු දිහාවක් බලන් පලයං ආයිත්."

"මට නවතින්න තැනක් නෑ සර්.මගේ කුඩම්මාවත්, අම්මාවත් මාව බාරගන්න කැමති නෑ." මම කදුළු අතරින් ඉකි බිදිමින් පැවසුවා.

"ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ.එක එකාගෙ පවුල් ප්‍රශ්න විසදන්න නෙමෙයි පොලීසිය තියෙන්නෙ." ඔහු තරහින් මෙන් පැවසුවා.

"ඒත් සර් මගේ අයියයි, අප්පච්චියි දෙන්නාම මැරිලා..."

"ඉතින් එහෙනම් උඹත් මැරියං ! මට මොකක්ද කියන්නෙ? මම දැන් උඹට කිව්වානෙ මට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා."

'ඉතින් එහෙනම් උඹත් මැරියං !' ඒ වාක්‍යය මගේ හිත තුල නැවත නැවතත් ප්‍රතිරාවය වන්නට වුනා.සමහරවිට මටත් ඉතුරු වෙලා තියෙන එකම තැන එතැන වෙන්නැති.මගේ වාක්‍ය අවසන් කිරීමටවත් ඉඩ නොතබා ඔහු ඒ කියූ වචන වල දැඩි කෝපයක් ගැබ්ව තිබුනා.ඔහුගේ වචන ඉදිරියේ නිරුත්තර වූ මම ගල් ගැසී ඔහු දෙස බලාගෙන සිටියා.ඔහු කෝපයෙන් මෙන් වාඩි වී සිටි පුටුවෙන් නැගිට මේසය මත තිබූ දුරකථනයේ අංක වගයක් එබුවා.

"කොස්තාපල් වහාම මගෙ කාමරේට වරෙන්." යැයි තරහින් පවසා ඔහු දුරකථනය නැවතත් රිසීවරය මතින් තැබුවා.තත්පර 20ක්වත් ගතවීමට පෙර කොස්තාපල්වරයා කාමරය තුලට පැමිණියා.ඔහු කාමරය තුලට පැමිණ සහකාර උප පොලිස් පරික්ෂකවරයාට ආචාර කර ඔහු ඉදිරියෙන් සිට ගත්තා.

"මෙන්න මේකිව එලියට ගිහින් දාමාපං.මේකි එනවා මට නීතිය උගන්නන්න." කොස්තාපල්වරයාට එසේ කියා ඔහු නැවතත් තම ආසනයේ හරිබරි ගැසී ඉදගත්තා.ඇස් වල කදුළු පිසදා දමා වාඩි වී සිටි පුටුවෙන් නැගිටගත් මා කොස්තාපල්වරයා සමග පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණියා.මේ වන විට මාර්ගයේ අවට කාර්යබහුල බව තරමක් පහව ගොස් තිබුනා.අවට කඩ වල වෙලෙන්දන් තරගෙට මෙන් තමන්ගේ භාණ්ඩ වල මිල ගණන් කියා තවමත් කෑ ගසන්නට වුනා.උදේටවත් ආහාරයක් නැතිකම නිසා මගේ කුස මේ වන විට විවිධ ශබ්ද නගමින් අරගලයක නිරත වන්නට වුනා.බොන්නට දිය බිදක්වත් නැතිකම නිසා මගේ දිව වැලි කසදාසියක් මෙන් ගොරහැඩි වී තිබුනා.නමුත් මගේ හිතේ යම් බලාපොරොත්තුවක් තිබුනා, ඒ බලාපොරොත්තුව වෙනුවෙන් මම ඉදිරියට ඇවිද ගියා.මම නැවතත් මා පැමිණි මාර්ගය ඔස්සේම ඇවිදගෙන යන්නට වුනා.ඉහල අහසේ මුදුන් වී තිබූ හිරුගේ රෂ්මියෙන් නිකුත් වූයේ දැඩි උණුසුමක්.පොලව කෙතරම් රත් වී තිබුනත් මේ වන විට මගේ යටි පතුල් ඒ උණුසුමට හැඩගැසී තිබුනා.මට ඉහලින් අහසේ රාජාලියෙකු එකම ප්‍රදේශයක රවුමට කැරකෙනවා මම දුටුවා.මගේ තනි මකන්නට මෙන් ඔහුත් මාත් සමගම මම ගිය මාර්ගය ඔස්සෙ ඉහලින් පියාඹමින් පැමිණියා.

මටත් කුරුල්ලෙක් වෙන්න තිබුනා නම්... එහෙනම් මටත් අහසේ කැමති තැනක නිදහසේ පියාබලා යන්න තිබුනා.මහන්සි වෙලාවට ගහක අත්තක් උඩට වෙලා චුට්ටක් නිදාගන්න තිබුනා.මම කැමති ගහක චූටි කූඩුවක් හදං මට නිදහසේ ජීවත් වෙන්න තිබුනා.උදෙන්ම නැගිටලා නැගෙනහිර අහසෙන් ඉර පායනවා බලන් ඉන්න තිබුනා.හවසට බටහිර අහසෙන් ලස්සනට ඉර බැහැලා යන හැ⁣ටි බලන්න තිබුනා.මනුස්සයෙක්ගෙ ජීවිතේ කුරුල්ලෙකුට වඩා හුගක් සංකීර්ණ වැඩියි.සමහර මිනිස්සුන්ට ඒ සංකීර්ණත්වය දරාගන්න හරි අමාරුයි.මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නෙ පෙර පිනකට කීවාට, මට නම් සමහර වෙලාවට ඒ කතාව ගැන ඇත්තටම සැකයි.ඒත් අපි කොච්චර හීන දැක්කත් කුරුල්ලොම විතරක් වෙන්නැති උන්ගෙ තටුවල බර දන්නවා ඇත්තෙ.

බඩට වේල් දෙකකින් හරිහමන් කෑමක් නොමැතිව මම ඉබාගාතේ ඇවිද යන්නට වුනා.අධික රස්නය නිසා දාඩියෙන් තෙත්ව තිබූ ගවුම මගේ ඇගට ඇලී තිබුනා.නළල දිගේ පහලට බේරෙමින් තිබූ දහඩිය අතින් ගෙන ඉවතට ගසා දමා මම අහස දෙස බැලුවා, ඉර මගේ මුහුණට හරි කෙලින් ඉහල අහසේ රජයමින් සිටියා.දිගටම ඉදිරියට ඇවිද යාම මිස මට වෙනත් විකල්පයක් නොවීය.තවත් පැයකට වඩා කාලයක් ඇවිද යාමෙන් පසුව මම ආණ්ඩුකාරවරයාගෙ ගෙදර සමීපයට ලං වුනා.ඒත් මට එහි යාමට තවදුරටත් කිසිම අවශ්‍යතාවයක් නොතිබුනු නිසා මම ඒ නිවසත් පහුකරගෙන ඉදිරියට ඇවිද ගියා.ඒ නිවස දෙසවත් තවත් වතාවක් හැරී බැලීමට තරම් හයියක් මගේ හිතට තිබුනේ නැහැ.මේ වනවිට වෙලාව හවස 5 පමණ වන්නට ඇති.කුරුලු රංචු මහ හඩින් අහස දෙවනත් කරමින් කැදලි කරා පියඹා යන්නට වුනා.දහවල් නිල් අහස වෙනුවට මට දැන් පෙනෙන්නට තිබුනේ බැසයන මල හිරුගෙන් නිකුත් වන රතු වර්ණය තැවරුණු අහසකි.ඇගට දැනුනු අධික වෙහෙස නිසා ඇවිදින වේගය අඩුකල මා තවත් සුළු දුරක් ගමන් කර හුරුපුරුදු තැනකින් නතර වුනා.තත්පර කීපයක් ඒ දෙස ශෝකයෙන් බලා සිටි මම ගමන් මහන්සිය නිසා පාර අයිනේ බිමින් හිදගත්තා.

⁣මේ හුරුපුරුදු තැන තමයි මේ කතා සියල්ලකගේම ආරම්භය.දුක, සතුට, වේදනාව, බලාපොරොත්තුව සියල්ල මුහු වූ ඒ භූමිය හා මා සතුව තිබුනේ අවුරුදු 14කට අධික හැදුනුම්කමක්.එය දෙවියන්ගේ උදහසට ලක් වූ පාපතර භුමියක් ලෙසයි දැන් නම් මට දැනෙන්නෙ.මම අවසන් වතාවට එය දකිද්දීට වඩා වෙනස්ම මුහුණුවරක් අද ඒ භූමියට ලැබී තිබුනා.මේ වෙන කොහේවත් නොවෙයි, මා ඉපදී හැඩී වැදුනු මුඩුක්කු ගම්මානයයි.නමුත් අද එහි ගම්මානයක් දක්නට ලැබුනේ නැහැ.අක්කර ගණනාවක් පුරා විහිදී ගිය ඉඩමක් මැද ඉදිකර තිබූ පුලුල් කොන්ක්‍රීට් පාදමක් සහ එය උඩින් සවිකර තිබූ කොන්ක්‍රීට් කණු කිහිපයක් එහි තිබුනා.ඒත් සමගම ඒ වටා විශාල ට්‍රක් රථ සහ තවත් රථ කිහිපයක් නවතා තිබුනා.ඉඩමේ හෝටලය ඉදිකිරීමේ වැඩ කටයුතු වල නිරතවෙන මිනිසුන් සියලුදෙනා මේ වනවිට වැඩ අවසන් කර ගෙවල් දොරවල් වල ගොස් තිබුනා.ගමේ පැරණි ගෙවල් සාදා තිබූ ටකරම් පුවරු සහ ලී පුවරු සියල්ලම කන්දක් සේ ගමේ නෂ්ටාවශේෂ ලෙස ඉඩම කෙලවරින් ගොඩගසා තිබුනා.මාත් සමග පැමිණි රාජාලියා ගමට සිදු වූ ඛේදවාචකය මට කියන්නාක් සේ ගමට ඉහලින් අහසේ රවුමට කැ⁣රකෙන්නට වුනා.සමහරවිට ඌ දන්නේ නැතුව ඇති ඌ වගේම මාත් මේ ඛේදවාචකයේ සාක්ෂිකාරයෙක් කියලා.මුඩුක්කු ⁣ගෙවල් සියල්ලම ඉවත් කර තිබූ නිසා ගමට එපිටින් ගලා යන ගංගා නදිය අවටට හොදින් දිස්වන්නට වුනා.මේ කිසිවක් නොදත් ගංගා නදිය තවමත් නිහඩව පහත්බිම් බලා ඇදී යන්නට වුනා.අපි ඒ කාලයේ බීමට ජලය ගත්තේ, ගමේ රෙදි සෝදාගත්තේ, හවසට නෑවේ මේ ගංගා නදියෙනි.ඒත් එදාට වඩා අද ගගේ ජලයේ තද පැහැයක් දක්නට ලැබුණා.ගොම්මන් අදුරත් සමග අදුර සොයා ඉවතට පැමිණි වවුලන්ගේ "කීක්" නාදය ගගට එපිට බැද්ද අතරින් දෝංකාර දෙන්නට වුනා.ටිකින් ටික අවට පරිසරය අදුරු කර, රාත්‍රිය උදා කරමින් ස්වභාදහම මුඩුක්කු ගමේ ඛේදවාචකය මගෙන් වසන් කරන්නට තැත් කරා.වාඩි වී සිටි තැනින් නැගිට ඉඩමට පිවිසුනු මම පරණ මතකයන් අලුත් කරගැනීමට මෙන් ඉඩම පුරා නවතා තිබූ වාහාන අතරින් ඇවිද යන්නට වුනා.ගමේ පැරණි දං ගස තවමත් සුපුරුදු ලෙසම ගම කෙලවරට වී ගමට උදා වූ ඉරණම තමාටද එලැබෙන දිනය තෙක් ඉවසීමෙන් බලා සිටියා.වෙනදා මද සුලගට පවා ලෙලදුනු දං ගසේ අතු අද නිහඩව, නිශ්චලව මුළු ගැන්වී සිටියා.ඉඩමේ ඇවිදයන විට මගේ නෙත ගැටුනු එක්තරා දෙයක් මම ඇහිද ගත්තා.සමහරවිට මම ඉඩම පුරා ඇවිද යමින් සෙවූ දෙයත් එයම වෙන්නැති.සමහරවිට එය දෙවියන් මගේ ඉරණම තීරණය කරන්න එවූ දෙයක් වෙන්නැති.එතරම් බැරෑරුම් තීරණයක් ගන්නට තරම් මම ශක්තිමත් නොවුනත් මම ඒ තීරණය නොගත්තොත් මගේ ආත්මය මට සමාවක් නොදෙනු ඇත.ගග දෙසට හෙමින් ඇවිදගෙන ගිය මා ගං ඉවුර අසලට පැමිණ හොදින් වටපිට බැලුවා.පෙනෙන තෙක් මානයේ කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැහැ.මේ වනවිට මුළු පරිසරයම අදුරෙන් වෙලී තිබුනා.මම ගවුම ගලවා ඉවුරෙන් තබා ගගට ගොඩ වුනා.ගගේ සීතල ජලය මගේ ඇගේ ගෑවෙත්ම මට දැනුනේ මගේ මුළු ආත්මයම සුව වූවාක් මෙන් හැගීමක්.

"අනේ දෙවියනේ, මේ සීතල වතුරෙන් මගේ ඇගේ කුණු සේදිලා යනවා වගේම මම නොදැන කරපු පවු සියල්ලම සේදී යත්වා.මගේ ඇග පිරිසිදු වෙනවා වගේම මගේ ආත්මයත් පිරිසිදු කරත්වා...මම මේ ලෝකෙට අහිංසක වැඩියි දෙවියනේ.අනේ දෙවියනේ මට අනුකම්පා කරත්වා !" ඒ අන්තිම වචන පෙල මට කියන්නට වූයේ නොනවතින කදුළු අතරිනි.නොනවතින වේදනාවට එකම විසදුම නොනවතින කදුලම විතරක් වෙන්නැති.සමහර මිනිස්සු අමරණීය වෙන්න පෙරුම් පුරද්දි, තවත් සමහර මිනිස්සු පුළුවන් ඉක්මනටම මැරෙන්න හේතු හොයනවා.වේදනාවෙන් ඉන්න මනුස්සයෙක්ට අමරණීය වෙන්න අවස්ථාවක් ලැබුනොත්, ඒක ඒ මනුස්සයාට මේ ලෝකෙ ලබන්න පුළුවන් දරුණුම දඩුවම බවට පත් වෙනවා.

රිසි සේ ගගේ පීනා පිරිසිදු වූ මම ගගෙන් එගොඩට ආවේ හිතේ ලිහිල් බවකිනි.ගවුම සහ ඉඩමෙන් ඇහැදගත් දෙය අතට ගත් මම ඒවාත් රැගෙන ගං ඉවුර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා.මගේ හිතේ වෙනදා නොදැනුණු නිෂ්චිත බවක් සහ පැහැදිලි බවක් මට දැනෙන්නට වුනා.මම ඉදිරියට තැබූ අඩියක් අඩියක් ගණනේ මට දැනුනේ සන්සුන් බවකි.මම ගත්තේ හරි තීරණය යැයි මගේ හිත මුමුණන්නට වුනා.මම ඉවුර දිගේ ඉදිරියට ඇවිදගෙන එනවාත් සමගම ගං ඉවුරට වී විලාප තබමින් සිටි ගෙම්බන් එකින් එකා වතුරට පැන මගෙන් පලා යන්නට වුනා.ගගට එපිටින් වූ කැලයේ ඈතින් බස්සෙකුගේ "හූම්" නාදය මට ඇසෙන්නට වුනා.බස්සන්ට තියෙන්නේ මූසල හඩක් යැයි කියා මිනිසුන් කීවාට මම නම් අසා තිබෙන සන්සුන්ම කුරුලු හඩ තිබුනේ බස්සාටය.ගං දියට සද එලිය වැටී ගගේ දිය රැල්ල සමග රටා මවන්නට වුනා.

මම ඉඩමෙන් ඇහිදගත්තේ දිග තොන්ඩු ලණුවකි.මම ඉවුර දිගේ ගගේ ගැඹුරු පෙදෙසට ඇවිදගෙන ගියා.අපිට ඒ කාලෙදි වැඩිහිටියො ගගේ ගැඹුරු පැත්තට යන්න දුන්නේ නැහැ කවදාවත්ම.එතන පතුල හුගක් ගැඹුරයි ඒ වගේම වතුර පහරත් හුඟක් සැරයි කියලා තමයි මට අයියා නම් කියලා තියෙන්නෙ.ගං ඉවුරේ තිබූ විශාල ගලකුත් අමාරුවෙන් තල්ලු කරගෙන මම ගගේ ගැඹුරු පෙදෙසට ඇවිදගෙන ගියා.මම ඉපදෙන්න කලින් අයියා පොඩි කාලෙදි එතැන පොඩි ළමයෙක් ගිලිලා අතුරුදහන් වෙලා තියෙනවා කියලා මට අප්පච්චි පොඩි කාලෙ කතා කියලා තියෙනවා.සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයින්ව එතැනට යන්න නොදී ආරක්ෂා කරගත්තෙ එතන දිය රකුසෙක් ඉන්නවා කියලා ප්‍රබන්ධ කතා කියලා.ඔය හේතූන් නිසා අපිට පොඩි කාලෙ ඉදන්ම ගගේ ගැඹුරු පෙදෙස ගැන තිබුනේ කුතුහලය මිශ්‍ර බියක්.මම ගගේ ගැඹුරුම තැනට මේ යන්නේ මුල්ම වතාවටයි.මම ගලත් තල්ලු කරගෙන එතැනට ගොස් ගල වටා ලණුව යවා තදින් ගැ⁣ටයක් ගැහුවා.ලණුවේ අනෙක් කෙලවර ගෙන එය මගේ බෙල්ල වටා ගැටගසා ගත්තා.

'ඔව්, ඔබ හිතුවා හරි...මම මගේ ආත්මය දෙවියන්ට පරිත්‍යාග කරන්නයි යන්නේ.දෙවියන්ට පිරිසිදු ශරීරයක් දිය යුතු නිසයි මම ගගෙන් නා ගත්තේ.කිසිකෙනෙක් නැති මම වගේ අසරණ ළමයෙක්ට මේ ලෝකෙ තනියම ජීවත් වෙන්න හරිම අමාරුයි.ලෝකයේ කෲරකම් ඉදිරියේ ටිකින් ටික වේදනා විද විද මැරෙනවට වඩා මට මේක හොදයි.අයියා, අප්පච්චී මැරුනේ මම නිසයි, මම වගේ පවුකාර කෙල්ලෙක් නොහිටියා නම් අදටත් එයාලා පණපිටින් ඉන්න තිබුනා.මම මේ ලෝකෙ එලිය නොදැකිය යුතුව තිබුනු කෙනෙක්.මගෙන් තවදුරටත් මේ ලෝකෙට ථලක් නැහැ.සමහරවිට මේ කතාවට ලැබෙයි කියලා ඔබ බලාපොරොත්තු වෙච්ච අවසානය මෙය නොවෙන්න ඇති.ඒත් ඔබට මෙන්ම මටද සාධාරණයක් කල හැකි එකම අවසානය මෙයයි.සමහරවිට ඔබ බලාපොරොත්තු වෙන්න ඇත්තෙ නිර්භීත කෙල්ලෙක් තනියම ජීවිතේ ජයගන්න උත්සාහා කරන කතාවක් වෙන්නැති...නැහැ, මට සමාවෙන්න, මම නිර්භීත නැහැ.මම තවත් එක් දුර්වල, අහිංසක ගැහැනු ළමයෙක් විතරයි.ඒත් ඔබ උත්සාහා කරන්න ඔබේ කතාවට මීට වඩා ලස්සන අවසානයක් දෙන්න.ඔබ උත්සාහා කරන්න කවදාවත් මම වගේ නොවී ඉන්න.මොකද ඔබ මට වඩා ශක්තිමත්.මට දැන් යන්න වෙලාව හරි.මාව දැන් දෙවියන් වහන්සේට භාරයි.'

'සමහරවිට ඔබ කතාවෙ මුලදි පුදුම වෙන්න ඇති මේ කතාව මොන ජාතියේ කතාවක්ද කියලා.ඔබ කතාවෙ මැදකදී කියවගෙන යද්දි පුදුම වෙන්න ඇති මම කොහේ සිට මේ කතාව කියනවද කියලා.දැන් ඔබ පුදුම වෙනවා ඇති මම කොහොම මේ කතාව කියනවද කියලා.නමුත් ඔබ ඒ කිසිම දෙයක් ගැන පුදුම විය යුතු නැහැ.මම කොහේ සිට, කොහොම මේ කතාව කිව්වත් මේක මම යන්නට පෙර ඔබට කිව යුතුම කතාවක්.මේක ඔබ දැනගත යුතුම කතාවක්.'

මම ගල ගගට තල්ලු කරා.ගලත් සමගම මාවත් ගග තුලට ඇදී ගියා.මම ගගේ පතුලට ටිකින් ටික ඇදී යන්නට වුනා.බෙල්ල ගැට ගසා තිබූ ලණුවෙන් මගේ බෙල්ල ටිකින් ටික සිර වන්නට වුනා.ලණුවට බෙල්ල සිර වීමත් සමග මට දැනුනේ මහත් වේදනාවක්.මට තවදුරටත් හුස්ම ගන්නට නොහැකි වුනා.ගල ගගේ අඩියට ගොස් නැවතුනා, ඒත් සමගම මාත් නැවතුනා.අඩක් විවර වී තිබූ ඇස් දෙකෙන් මම ගගේ ජල තලය මත රුවක් දුටුවා.ඒ කවරෙකු හෝ පුද්ගලයෙක්ගෙ ඡායාවක් විය යුතුයි.ඔහු ගං ඉවුරේ සිට ජල තලය දෙසට එබීගෙන බලා සිටියා.සුදු පාට සරමක්, සුදු පාට කමිසයක්...කවුද මේ?

"අප්පච්චී !"

"කොහෙද මයෙ පොඩ්ඩියේ උඹ මේ අප්පච්චිගෙන් ඈතට යන්නෙ? අප්පච්චිට උඹ නැතිව පාළුයි.හනිකට වරෙන් පොඩ්ඩියේ මා ලගට."

"අනේ අප්පච්චී, මං එනවා අප්පච්චී !"


______________නිමි__________________



~ පසුවදන ~

⁣මේක මම ලියපු මුල්ම නව කතාව, ඒක නිසා හුඟක් අඩුපාඩු ඇති කතාවෙ.ඒත් ඒ අඩුපාඩු අතරින් පාඨකයාට කතාවෙ මූලික හරය රසවිදින්න පුළුවන් වුනා නම් ඒකයි මගේ ලොකුම සතුට.මම කතාවෙ පරිසරය විදියට ඉන්දියාව යොදාගන්න හේතු වුනේ මේ වගේ සිදුවීමක් ⁣වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ඉන්දියාව වගේ රටක නිසා.ඒ වගේම මම මේකෙ බස් වහර විදියට අපිට හුරුපුරුදු ලාංකීය ගැමි බස් වහර පාවිච්චි කරන්න හේතු වුණේ මේ මිනිස්සුන්ගෙ සමාජ මට්ටම ලාංකීය ගම්බද ජනයාගේ සමාජ මට්ටමට තරමක් සමාන නිසා.මම 8 වසරෙ ඉද්දි මුලින්ම කෙටි කතාවක් ලියන්න මගේ හිතට ආපු සංකල්පය තමයි මේක.මම 8 වසරෙදි ඒ කතාව ලියන්න ගත්තාට කතාව සම්පූර්ණයෙන් අවසන් කරන්න වුණේ නැහැ.ඉතින් මම අවුරුදු 6කට පස්සෙ ඒ සංකල්පයට සාධාරණයක් ඉටුකරන්න අවශ්‍යයි කියලා හිතුනු නිසා ඒ මූලික සංකල්පයම තව ටිකක් සංකීර්ණ කතාවක් බවට පත් කරලා ලියලා මේ 2024දි නිකුත් කරන්නේ.මම කතාව ලියන අතරතුරේ කොටසින් කොටස කියවලා කතාවෙ ගුණ දොස් කියපු මගේ සහෘදයො හැමෝටම මම ස්තූති කරනවා.මම නම් වශයෙන් කියන්න යන්නේ නැති වුනත් එයාලා හිටියේ නැත්තං මම මේ කතාව ලියන එක නවත්තලා හුගක් කල්.ඉතින්, හැමෝටම ස්තූතියි මගේ කතාව රස වින්දාට.තවත් කතාවකින් හමුවෙමු...

රචනය - H.L.නෙසදු මලීෂ (Dicaprio)





Report Page