කදුලින් උපන් කතාවක් - Part 04

කදුලින් උපන් කතාවක් - Part 04

Dιƈαρɾισ

තයිපෝංගල් උත්සවය ලං වෙනකොට ගමේ දුප්පත්ම ගෙවල් පවා කලඑලි වැටෙනවා.වැඩිහිටි අය තමන් මාස ගණනක් තිස්සෙ හම්බකරපු සල්ලි වලින් තමන්ගෙ දූ දරුවන්ට හැකි පමණින් අලුත් ඇදුම්, රස කැවිලි වර්ග අරන් දෙනවා.මුඩුක්කු ගමටත් මෙදා පාර තයිපොංගල් මංගල්‍යය ලබලයි තිබුනේ.හැම තයිපොංගල් උත්සවයක් වෙනුවෙන්ම අප්පච්චි මටයි, අයියාටයි අලුතින් ඇදුම් අරන් දෙනවා.ගමේ රෙදි කඩෙන් අප්පච්චි අරන් දුන්නු අලුත්ම තැඹිලි පාට ගවුමත් ඇදගෙන මම උදෙන්ම ගෙයින් එලියට බැස්සා.තැඹිලි පාට ගවුම පුරාම තැන් තැන් වල ලස්සන චූටි චූටි මල් රූප ඇද තිබුනු ඒ ගවුම මට මෙච්චර කාලෙකට ලැබුනු ලස්සනම ගවුමයි.අප්පච්චියි, කුඩම්මයි, අයියායි ගෙයි ඉස්සරහ බිමින් බංකු තියාගෙන වාඩිගෙන හිටියා.මම අයියා අසලට ගොස් සමනලයෙක් තටු ගසන්නාක් මෙන් ගවුම දෙපසින් අල්ලාගෙන අයියා වටා කැරකුණා.

"පිස්සුද පොඩ්ඩියේ උඹට?" අයියා කට කොනින් සිනහවක් නගමින් ඇසුවා.

"බලන්නකො අයියට කොච්චර ලස්සන නංගි කෙනෙක්ද ඉන්නෙ කියලා...හූම්ම්..." මම ඉණට අත් දෙක තබාගෙන ආඩම්බරයෙන් මෙන් කීවා.

"ලස්සනයි, ලස්සනයි...වෙන නැත්තං" අයියා මහ හඩින් සිනාසෙමින් සමච්චලයට මෙන් කීවා.මමත් සමච්චලයට අයියාගෙ උරහිසට පහරක් ගහා ඔහුගෙන් ඈතට දිව්වා.

අවුරුද්දේ මේ කාලය වන විට ගමේ ළමයි සැවොම එක් වී සෙල්ලම් කරති.කුඩා ළමයි අල්ලන සෙල්ලම්, හැංගි මුත්තන් සෙල්ලම් කරන අතර තරුණ ළමයි චක්ගුඩු, එල්ලේ සෙල්ලම් කරති.මමත් එදා මගේ අලුත්ම ගවුමත් ඇදගෙන ගමේ ළමයි පිරිසක් එක්ක හැංගිමුත්තං සෙල්ලම් කරා.එක් පිරිමි ළමයෙක් එකේ ඉදන් 50ට ගණන් කරන අතරතුරේ අනිත් ළමයි ඔක්කොම හැංගෙන්න තැන් හොයන් දිව ගියා.මම කවදත් හැංගිමුත්තං සෙල්ලමේ එතරම් දක්ෂයෙකු නොවීය.හැම වටයකදීම ඔවුන් මාව පහසුවෙන්ම හොයා ගන්නවා.අනිත් අය කලින්ම ගොස් හොද තැන් වල හැංගෙන නිසා හැමදාම මට හැංගෙන්නට වූයේ පහසුවෙන් සොයාගත හැකි තැන් වලයි.

"අද කරන්නම්කො හොද වැඩක්." මටම එසේ කියාගත් මා මුඩුක්කු ගම්මානය කෙලවරේ ගංගා නදිය ආසන්නයට වන්නට තිබූ විශාල දං ගස දෙසට ගියා.ගසේ කද ආරක්ෂා කරගැනීමට ගස වටේටම විශාල, දිගැටි අතු විහිදී තිබුනේ බලකොටුවක් රකින පවුරක් සේය.ගහේ ගෙඩි හැදෙන කාලයට මුළු ගමේම කොල්ලන් නිවා රෑ නොබලා දං ගහ උඩට වී පැල් රැකගෙන දං කයි.මම දං ගහ දෙසට ගියේ ගහට නැග අතු අතර සැගවීමටයි.දං ගහ වටේටම හුඟක් අතු බෙදී තිබුනු නිසා එලියෙන් සිටින කිසිවෙක්ට ගහ උඩ කිසිවෙක් සිටින බවක් පෙනෙන්නේ නැහැ.මීට පෙර කිසිදාක මම දං ගසට නැග නොතිබුනත් ගස් දෙබලයට අඩියෙන් අඩිය පරිස්සමට තබා නැග ගැනීම මා සිතූ තරම් අපහසු වුණේ නැහැ.ගහේ මැදක් වන තුරුම පහසුවෙන් නැගගත් මා ගස් දෙබලයකින් වාඩි වී බලා සිටියා.ගංගා නදිය දෙසින් හමා ආ කම්කරුවන්ගේ දහඩිය මිශ්‍ර උණුහුම් සුලගේ තාලයට ගහේ අතු සෙමින් පැද්දෙන්නට වුනා.ගහේ අතු අතර දළු දාමින් තිබුනු අළුත් රිකිලි වල තිබුනේ ලපටි තේ පත්‍ර වල මෙන් නැවුම් ලා කොල පැහැයක්.විනාඩි පහ, දහය, පහලොව ලෙස කාලය ටිකින් ටික ගෙවී ගියා, ඒත් කිසිවෙකුත් මාව සොයාගෙන ගහ අසලට ආවේ නැහැ.විනාඩි 30ක් පමණ ගහ උඩටම වෙලා හිටපු මට තවදුරටත් එතැන ඉදීම ථලක් නැති බව තේරුණා.

"සමහරවිට එයාලා මම නැතුව ආයිත් සෙල්ලම පටන්ගන්න ඇති." යැයි සිතා මම ගහේ වාඩි වී සිටි තැන සිට පහල බැලුවා.ගහ දිගේ බොහෝ දුරක් ඉහලට නැග තිබූ මට පහල බැලූ විට විශාල බයක් දැනුනා.වැරදීමකින් හෝ බිමට වැටුනොත් අතක්, පයක් අනිවාර්යයෙන්ම කැඩී යන බව තේරුණු මම ගහින් බහින අදහස අත්හැර ගත්තා.මම උදවු ඉල්ලා කෑ ගැසුවා.අයියාට, අප්පච්චිට අමතමින් මම කෙතරම් කෑ ගැසුවත් කිසිවෙකුට මගේ හඩ ඇහුනේ නැහැ.ගහ අසල පෙනෙන තෙක්මානයේ කිසිවෙක් සිටියේ නැහැ.දහවල ලං වී ඉර කෙමෙන් කෙමෙන් අහසේ මුදුන් වුනා.පැයකට ආසන්න කාලයක් ගහේ මුදුනට වී සිටි මගේ තනියට සිටියේ ඇස් වල කදුළු පමණයි.කදුළු අතරින් දිගින් දිගටම උදවු ඉල්ලා කෑ ගැසූ මට තවදුරටත් කෑ ගසන්නට තරම් ශක්තියක් ඇගට තිබුනේ නැහැ.සුලගට සෙලවුනු ගහේ අතු සමග මගේ අප්‍රාණික ශරීරයත් දෙපසට වැනෙන්නට වුනා.බිමට වැටෙයිදෝ කියා බයෙන් මම මගේ මුළු විරියම යොදා ගහේ කද බදාගෙන සිටියා.භීතියේ උපරිමයටත්, බලාපොරොත්තුවේ අඩියටත් ලගා වීමට මට එතරම් වෙලාවක් ගත වුණේ නැහැ.තවදුරටත් හඩන්නට බැරි තරමටම හැඩූ කදුලින් ඇස් රිදුම් දෙන්නට වුනා.එක්වරම ඈතින් ඇසුනු අඩි ශබ්දයක් නිසා මගේ හිස එසැවුනේ ඉබේටමය.මම නැවතත් හඩා නගා උදවු ඉල්ලා කෑ ගසන්නට වුනා.ඊට පිලිතුරු ලෙස මට හුරුපුරුදු කටහඩකින් ප්‍රතිචාර ලැබීම මගේ ඉමහත් සතුටට හේතු වුනා.

"පොඩ්ඩියේ...පොඩ්ඩියේ උඹ කොයිද ඉන්නේ?"

"මම මේ ගහ උඩ අයියෙ.මට බැහැගන්න බැරුවයි ඉන්නේ."

ගහ යටට පැමිණි ඔහු හිස ඔසවා ගහේ උඩට වී සිටින මා දෙස පුදුමයෙන් බැලුවා.ඔහුගේ ඒ මුහුණ දැකීමම මගේ ඇගට නව ජවයක් ලබාදීමට සමත් වුනා.

"ඔහොම ඉදපං පොඩ්ඩියේ, මං එන්නම් ඔතනට." එසේ කියූ ඔහු පලපුරු⁣දුකාරයෙක් සේ හනිකට ගහට නැග මා සිටි තැනට පැමිණියා.කදුලින් නැහැවී තිබූ මගේ අසරණ මුහුණ දැක ඔහුගේ හිතට අනුකම්පාවක් දැනෙන්නට ඇති.ඔහු එක් අතකින් ගහේ අත්තක් අල්ලාගෙන අනිත් අතින් මගේ ඇස් වල කදුළු පිස දැම්මා.මාව ඔහුගේ කරට නංවාගත් ඔහු, මට ඔහුව හයියෙන් අල්ලාගන්නට යැයි පවසා අඩියෙන් අඩිය ප්‍රවේශමට තබමින් ගහෙන් බිමට බැස්සා.ගහෙන් බිමට බැසගත් සැනින්ම මම අයියාව තදින් වැලදගත්තා.ඔහුගේ උරහිසට හිස තබාගෙන මම අඩන්නට වුනා.මගේ හිතේ තිබූ බිය, අසරණකම සියල්ලම අයියාගෙ උරහිසේ උණුහුමට යටපත් වුනා.ඔහුගේ අලුත්ම කමිසයේ අත මගේ කදුලින් ⁣පෙගී යද්දී, ඔහු ඒ කිසිත් නොසිතා මාව තුරුලේම හොවාගෙන සිටියා.අඩන අතරතුර මට ඔහුගේ තුරුලේම නින්ද ගියා.මාව වඩාගෙන විත් ගෙයි පැදුරෙන් හාන්සි කෙරූ අයියා රෙදි කැබැල්ලක් තෙමාගෙන පැමිණ මගේ මුහුණ පිසදැම්මා.මට අයියා ගැන වැඩිපුරම ආදරයක් ඇති වූ දිනය එදාය.මම මේ ලොව තනි වී නැති බව මට මුලින්ම තේරුම් කර දුන්නේ ඔහුය.

______________________________________

අයියාගේ නිසල ශරීරය මත හිස තබාගෙන මම ඔහු හා ගෙවුනු ම⁣ගේ ජීවිතයේ සොදුරු අත්දැකීම් කදුලින් සිහිකරන්නට වුනා.එදා ඔහුගේ තුරුලේ තිබුනු උණුහුම වෙනුවට අද තිබුනේ සීතලක් පමණයි.එදා ඔහුට තිබුනු රළු අදුරු සම වෙනුවට අද තිබුනේ සිනිදු සුදුමැලි සමකි.විවර වී තිබූ ඔහුගේ ඇස් වල තිබුනේ වේදනාත්මක බැල්මක්.පැත්තකට ඇද වී ගොස් තිබූ ඔහුගේ මුව අද නිහඩයි.ඔහුගේ නිසල සිරුර ටිකින් ටික දරදඩු වෙමින් තිබුනා.

"අනේ අයියෙ මාව දාලා යන්න එපා.මට අයියා විතරයි ඉන්නෙ...අනේ...මගෙ අයියෙ..." ඔහුගේ එක් අතක් මගේ දෝතින්ම ගෙන පපුවට තුරුළු කරගත් මා ඒ අත සිබිමින් විලාප නගන්නට වුනා.ඔහුගේ ලේ හා මිශ්‍රව මගේ කදුළු නොනැවතී ගලන්නට වුනා.මගේ අයියාව මරා දැමූ ඒ තිරිසන් මිනීමරුවා කිසිවක් නොවූවා සේ මා පසුකරගෙන නිවසේ දොර අසලට ඇවිද ගියා.

"අමීර්...අමීර්...මෙහෙ වරෙන් ඉක්මනටම." ඔහු මොර දෙන්නට වුනා.ඈතින් යමෙක් දුවගෙන එන ශබ්දය මට ඇසුනා.

"ඔව් සර් මුකුත් හදිස්සියක්ද?" ආරක්ෂක නිලධාරියා කලබලයෙන් මෙන් ඇසුවා.

"අන්න අර බොඩිය කොහෙටහරි ගිහිං දමාපං." කියා ආණ්ඩුකාරවරයා ඇගිල්ලක් දිගු කර අයියාගෙ සිරුර ඔහුට පෙන්නුවා.එය දුටු ආරක්ෂක නිලධාරියාගේ මුහුණේ තිබූ බැල්ම කිසිදු ආකාරයකින් වෙනසකට ලක් වූයේ නැහැ.ඔහු පුදුමයට හෝ බියට පත් වූ බවට කිසිදු සලකුණක් ඔහුගේ මුහුණේ ලකුණු වී තිබුනේ නැහැ.සමහරවිට ඔහු ආණ්ඩුකාරවරයාගේ නිවසේ තිබී දකින පලමු මළසිරුර මෙය නොවන්නට ඇති.ඔහුට අයියාගෙ සිරුර රැගෙන යාමට නොහැකි වන සේ මම අයියාගෙ මුළු සිරුරම තදින් බදාගෙන දිගින් දිගටම මහ හඩින් අඩන්නට වුනා.මා අසලටම පැමිණි ආරක්ෂක නිලධාරියා ආණ්ඩුකාරවරයාට මාව පෙන්නා අතින් සංඥාවක් කරා.⁣වේගවත් අඩි තබා ආණ්ඩුකාරවරයා මා සිටි තැනට ඇවිදගෙන ආවා.

"මෙහෙ වරෙන් පරට්ටි." කියා මාව ඔහු වෙතට ඇදගත් ඒ මිනීමැරු තිරිසනා මාව ඔසවා ඔහුගේ කර මතින් තබාගෙන නිවසේ උඩුමහල වෙතට තරප්පු පෙල නැග⁣ ඇවිදගෙන ගියා.මම ඔහුගේ පිටට ගසමින් දිගින් දිගටම විලාප තියන්නට වුනා.

"මට මගේ අයියා ලගට යන්න දීපං තිරිසනෝ." මම මහ හඩින් විලාප තැබුවා.නමුත් ඒ කිසිවක් ඔහු ගණනකටවත් ගත්තේ නැහැ.මම ඔහුගේ ග්‍රහණයෙන් මිදී යන්නට ⁣කෙතරම් උත්සාහා කරත් මා ගිරයකට හසු වූ පුවක් ගෙඩියක් සේ ඔහුගේ හැඩිදැඩි ශරීරයේ ග්‍රහණයට ලක් වී සිටියා.මාව උඩුමහලේ තිබූ කාමරයක ඇදක් මතට විසිකර දැමූ ඔහු කාමරයෙන් ඉවතට හිස දමා ආරක්ෂක නිලධාරියාට කතා කරා.

"උඹ යද්දි ගෙයි දොරත් වහගෙන පලයං අමීර්." යැයි ඔහු කාමරයේ දොරෙන් ඉවතට හිස දමා හඩ නගා කීවා.තවමත් මේ සිදුවන කිසිවක් විශ්වාස කරන්නට බැරිව මම ඇද මත ගුලි ගැසී ඇස් අඩවන් කරගත්තා.මගේ හිස පුපුරන්නට මෙන් දරුණු වේදනාවක් මට දැනෙන්නට වුනා.ජීවිතේ කිසිදාක ලබා නොතිබුණු තරම් වූ මේ අත්දැකීම් සමූහයේ බරින් මගේ ලාමක සිත හෙම්බත්ව තිබුනා.එක දවසක පැය කිහිපයකට මනුස්සයෙක්ගෙ ජීවීතේ කෙතරම් නම් වෙනස් කරන්න පුළුවන්ද.මනුස්සයෙක්ට "අමරණීයව ජීවත් වෙන්න" තියෙන ආසාවම, "අනේ පුළුවන් ඉක්මනට මැරිලා යන්නවත් තිබ්බා නම්" කියන සිතුවිල්ල දක්වා පරිවර්තනය වෙන්න ගත වෙන්නෙ හරිම සුළු කාලයක් පමණයි.ජීවිතේ ගැන තවදුරටත් ආසාවක් මගේ හිතේ ඉතිරිව තිබුනේ නැහැ.අයියාගේ අවසන් හුස්ම පොදත් සමගම ඒ ආසාව වා තලයට මුසු වී ඈතට ගියා.

ශබ්ද නගා කාමරයේ දොර වසාදැමූ ආණ්ඩුකාරවරයා ඇද දෙසට ඇවිදගෙන එන ශබ්දය ඇසී මම දෑස් විවර කර බැලුවා.ඔහුගේ ඇස් වල තිබුනේ බැල්මකින් පවා මනුෂ්‍යයෙක් අළු කල හැකි වියරු බැල්මක්.ඔහු තමන් ඇද සිටි කමිසයේ බොත්තම් එකින් එක ගලවමින් ඇද සමීපයටම පැමිණියා.සිදුවන්නට යන්නෙ කුමක්ද කියාවත් මගේ කුළුදුල් මනසට තේරුමක් තිබුනේ නැහැ.

"උඹේ අයියාව උඹට නැති වුණු බව හැබෑවයි පොඩි එකී.ඒත් උඹට මේ මම ඉන්නවා.උඹ අද මාව සතුටු කරොත් උඹට හැමදාටම මේ ගෙදර සතුටින් ඉදියෑකි." ඔහු කපටි සිනහවක්ද සමගින් එලෙස කීවා.එක්වරම මගේ ගවුම් කරින් ඇද ඔහු මාව ඔහුගේ සමීපයට ඇදගත්තා.මගේ ගවුම මැදින් ඉරා දෙපලු කල ඔහුට මා නිරුවත් කිරීමට විනාඩියක තරම්වත් කාලයක් ගත වුනේ නැහැ.මට මගේ ජීවිතයේ කිසිදාක එතරම් බියක්, එතරම් වේදනාවක් විදින්නට වී නැහැ.ඔහුගේ ග්‍රහනයෙන් මිදෙන්නට මා කෙතරම් තැත් කරත් ඔහුගේ හැඩිදැඩි අත් වලට මා සෙල්ලම් බඩුවක් පමණක් වුනා.මම අද ඇදගෙන හිටියෙ එදා තයිපෝංගල් දවසෙ මට අප්පච්චිගෙන් තෑගි ලැබුනු මම ආසම ගවුම.මම අවුරුදු ගාණක් ආසාවෙන් ඇදපු ඒ ගවුමත් සමගම මගේ ආත්මයත් දෙපලු වී ගියා.

"අම්මේ, නුඹ නම් මහ දුෂ්ට ගැහැනියක්! ආත්මයක් ආත්මයක් පාසා නුඹට ශාප වේවා! මගේ හැම කදුළු බිදුවක්ම, මගේ හැම ලේ බිදුවක්ම පාසා නුඹට ශාප වේවා! එදා නුඹ අපිව දාලා ගියේ නැත්තං අදටත් අපිට සතුටින් ඉන්න තිබුනා."

එදින රාත්‍රියේ, දහ හතර වියැති මම ගැහැනියක් බවට පත් වුනා, ඒ ස්ත්‍රී දූෂකයාගේ දරුවෙක් තරමටම මම වයසින් බාල වුනා.ඔහුගේ පහත් ආශාවන් සියල්ලම මගෙන් සපුරා ගන්නට තරම් ඔහු තිරිසන් වුනා.මධ්‍යම රාත්‍රියත් පසුවන තුරුම මට නින්දක් ලැබුනේ නැහැ.මේ සියලු දුක් වේදනා අතරින් නොදැනීම දෑස් පියවුනු මට එක්වරම අවදි වූයේ කවරෙකු හෝ මට පයින් අනිනු දැනීමෙනි.

"ඕයි, ඕයි...නැගිටපං..." මගේ ආසන්නයෙන්ම කිසිවෙක් අමතන ශබ්දය ඇසී මම දෑස් විවර කර බැලුවා.තවමත් අඩ අදුරේ තිබූ කාමරය තුලට උදෑසන හිරුගේ මන්දාලෝකය කවුළු තුලින් පිවිසෙමින් තිබුනා.වෙලාව අලුයම 3-4 පමණ වන්නට ඇත.නිවස තුල ඈතින් කුඩා දරුවෙකු හඩන ශබ්දයක් මට ඇසෙන්නට වුනා.නිරුවතින් ඇද මත දිගාවී සිටි මගේ මුළු ඇගම වේදනාවෙන් කකියන්නට වුනා.මට ශබ්දය ඇසුනේ කොයින්දැයි දැනගැනීමට මම හිස මදක් ඔසවා වටපිට බැලුවා.මම එවිටයි දුටුවේ ඇදේ මට එහා පැත්තෙන් ආණ්ඩුකාරවරයා හාන්සි වී සිටින බව.

"ඕයි, ගිහිල්ලා අර පොඩි එකාව පරක් කරපං...පලයං." යැයි කියා ආණ්ඩුකාරවරයා මගේ පිටට පයින් පහරක් ගැසුවා.ඔහුගේ පා පහර නිසා ඇදෙන් බිමට වැටුනු මා කළුවරේම බිත්ති අතපත ගාමින් කාමරයේ දොර සොයාගත්තා.කාමරයේ දොර ඇරගෙන උඩුමහලේ බරාදයට පිවිසුනු මම දරුවාගේ හඩන ශබ්දය නිකුත් වූ දෙසට කලුවරේම ඇවිදගෙන ගියා.තීරු කැපිය හැකි අදුරේ සිහි විකල් වූවෙකු මෙන් මම බිත්ති අතපත ගාමින් ඒ දෙසට ඇවිද යන්නට වුනා.මම බරාදය කෙලවරේම තිබූ කුඩා දරුවාගෙ හඩ නිකුත් වෙමින් තිබූ කාමරයට දොර ඇරගෙන ඇතුළු වුනා.කාමරයේ මුල්ලකට වන්නට තිර රෙදි වලින් වසා තිබූ ජනේලයකින් මද වශයෙන් කාමරය තුලට ආලෝකය කාන්දු වෙමින් තිබුනා.මම කාමරයට ඇතුල් වීමත් සමගම කුඩා දරුවාගේ හැඩුම තව තවත් වැඩි වුනා.කාමරය තුලට ඇතුළු වූ මම මුලින්ම කරේ ජනේලය අසලට ගොස් තිර රෙදි දෙපසට කර කාමරය තුලට ආලෝකය ඇතුල් වීමට සැලැස්වීමයි.ජනේලයෙන් පිටත බැලූ මට දකින්නට ලැබුනේ තවමත් සදුගේ බලතල යටතේ පවතින්නා වූ අඩ අදුරයි.නැගෙනහිර අහසින් එබිකම් කරමින් සිටි හිරුගේ මන්දාලෝකය කාමරය සම්පූර්ණයෙන්ම ආලෝකමත් කිරීමට තරම් ප්‍රමාණවත් නොවුනත් කාමරය තුල ඇති දෑ මද වශයෙන් දැක ගැනීමට මට ඉඩ සැලැස්සුවා.මගේ නිරුවත් සම සිපගත් හිරුගේ මන්දාලෝකය සම මත ලා තැඹිලි පැහැයෙන් රටා මවන්නට වුනා.මට පිටුපසින් බිත්තියක් අයිනට වන්නට තිබූ තොටිල්ලක කුඩා දරුවා හඩමින් සිටියා.තොටිල්ල අසලට ගිය මම කුඩා දරුවාව දෝතින්ම ගෙන පපුවට තුරුල් කර ගත්තා.අවුරුද්දක් පමණ වයසැති ඒ කුඩා දරුවාට උණුසුමෙන් හ‍ානියක් නොවන සේ සිනිදු කපු රෙද්දකින් පොරවා තිබුනා.කවුළුවෙන් ඇතුළු වූ මද ආලෝකයෙන් කුඩා කිරිකැටියාගේ හුරුබුහුටි මුහුණේ සිහින් රේඛා මට පෙනෙන්නට වුනා.මම දරුවාව අතට ගත් පසු ඔහුගේ හැඩීම ටිකින් ටික අඩු වන්නට වුනා.

"....නුඹෙ අම්මා, කිරට ගියා" කුඩම්මා චූටි මල්ලිව නලවනකොට කියපු සිංදුවක්ද තාලයට මුමුණමින් මම දරුවාවත් වඩාගෙන තොටිල්ල අසල බිමින් වාඩි වුනා.මේ වන විට දරුවා හැඩීම සම්පූර්ණයෙන්ම නවතා නැවතත් නින්දට ගොස් තිබුනා.රැහැයියන්ගේ හඩ හැර අවට මුළු පරිසරයේම තිබුනේ දැඩි නිහඩතාවයක්.දහවල හරිම කටකාරයි, තොරතෝංචියක් නැතිව දහවල අපිට කතා කියනවා.ඒත් රාත්‍රිය හරිම දුක්බරයි, රාත්‍රියට අපිට කියන්න කොච්චර කතන්දර තිබුනත් එයා ඒ ඔක්කොම සගවගෙන නිහඩව ඉන්නවා.සමහරවිට රාත්‍රිය මගේ කතාවත් දන්නවා ඇති.කවියො රාත්‍රිය ගැහැනියකට උපමා කරාට මම නම් හිතන්නේ සමහරවිට රාත්‍රිය කියන්නෙ පිරිමියෙක් වෙන්නැති, දහවල කියන්නෙ ගැහැනියක් වෙන්නැති.සී සී කඩ පැතිරුනු මෙවන් සිතුවිලි ගණනාවක් මධ්‍යයේ මට ඇගට දැනුන අධික වේදනාවත්, හිතේ සංකාවත් නිසා මට දරුවාත් අතැතිවම තොටිල්ල අසල බිම නින්ද ගියා.

______________________________________

යමක් මගේ කකුලේ ගැටෙනු දැනී මම ගැස්සී අවදි වුනා.කාමරයේ කෙලවරට වන්නට වූ කවුළුවෙන් විහිදුණු හිරුගේ ආලෝක ධාරා කිසිදු දැනුම්දීමකින් තොරවම මගේ දෑස් තුලට කඩා වැදුනා.ඇස් කුඩා කරගෙන ඒ දෙස අමාරුවෙන් මෙන් බැලූ මට කුරුල්ලන්ගේ නාදය සහ වාහාන වල ශබ්දය අවටින් ඇසෙන්නට වුනා.කවුළුවෙන් වැටුනු ආලෝකයෙන් නිරාවරණය වී තිබූ මගේ ලා ⁣රෝස පැහැති නිරුවත් සම පැහැදිලිව දිස් වන්නට වුනා.මම ලැජ්ජාවෙන් මෙන් දෙඅතින් සිරුර ආවරණය කරගන්නට තැත් කලා.ටිකින් ටික නිදිබර ගතිය පහව යත්ම මට දරුවා මගේ අතේ නොමැති බව දැනී මම කලබලයට පත් වුනා.ඒත් සමගම නැවතත් යමක් මගේ කකුලේ තදින් ගැටෙනු දැනී මම එක්වරම උඩ බැලුවා.

"ඕයි නැගිටපං බැල්ලි, මේ ඇදුම ඇදගෙන මගේ ගෙදරින් දොට්ට බැහැපං.උඹේ අයියා මට කෙනෙහෙලිකම් කරන්න ආවෙ නැත්තං දෙයියම්පා මම උඹට මේ ගෙයි නවතින්න දෙනවා.ඒත් මම තොපිට අනුකම්පා කරා වැඩියි." එසේ කියූ ආණ්ඩුකාරවරයා මම දෑතින් වසා⁣ගෙන සිටි මගේ සිරුර දෙස හාස්‍යයෙන් මෙන් බලා කට කොනකින් සිනහවක්ද නගමින් කාමරයෙන් පිටතට ගියා.මේ වෙන කිසිවක් නොදත් කිරිකැටි දරුවාද ඔහුගේ දෑත් අතරට සිරවී සිටියා.ආණ්ඩුකාරවරයා මගේ අසල බිමින් ඇදුමක් තබා ගොස් තිබුනා.ම⁣ගේ සිරුරේ ප්‍රමාණයට වඩා තරමක් විශාල වූ ඒ ගවුම අම්මාගෙ ඇදුමක් වන්නට ඇතැයි මම සිතුවා.තද කළු පැහැති ගවොමක් වූ එහි මැදින් සුදු පැහැති සිහින් ඉරි ගවුම දෙපසට බෙදී ගොස් තිබුනා.තොටිල්ල අසලින් නැගිට ගවුම ඇද ගැනීමට තැත් කරන විටයි මම දුටුවේ මගේ දෙකකුල් අතරින් රතු පැහැති සිහින් රේඛාවක් සේ රුධිරය පහලට ගලාගෙන ගිය සලකුණක් කලවා අතර සටහන් වී තිබෙන බව.රුධිර සලකුණේ අවසන් කෙලවරේ සිට ආරම්භය සොයා ඉහලට ඇගිලි තුඩු වලින් අතගාගෙන ගියත් ඇගිලි තුඩු කකුල දිගේ ඉහලට යත්ම මට දැනුනේ මහත් වේදනාවක්.ඒ රුධිර සලකුණ දුටු මට දැනුනේ මා දේව ශාපයට ලක් වූ තැනැත්තියක ලෙසිනි.කකුල් අතර ලේ කැටි සිරවී මෙන් කකුල් ඉදිමී තද රත් පැහැ ගැන්වී තිබුනා.සමහරවිට මේක මම කොච්චර පවුකාරියක්ද කියලා මට මතක් කරන්න දෙවියො දුන්නු සලකුණක් වෙන්නැති.මගේ පවුකාරකමට දෙවියොත් ශාප කරනවා.පසුව මම මහත් ආයාසයකින් ගවුම ඇද ගැනීමට තැත් කරා.ගවුම ඇදගෙන මම කාමරයෙන් ඉවතට ඇවිද යන්නට තැත් කරත් මගේ කකුල් අතරින් දැනුනු දැඩි වේදනාවක් නිසා මට ඇවිදින්නට වුණේ කොර ගසමිනි.කාමරයෙන් ඉවතට පැමිණ උඩුමහලේ බරාදයට පිවිසුනු පසු මට පෙරදා රාත්‍රියේ සිදු වූ දේවල් එකින් එක නැවතත් මැවී පෙනෙන්නට වුනා.

"අයියා...!!!" එක්වරම මගේ හිත තුල ඒ වචනය දෝංකාර දෙන්නට වුනා.අවසන් වරට අයියාව දුටු තැන සොයා මම කලබලයෙන් තරප්පු පෙල දිගේ බැස සාලයට දිව යන්නට වුනා.සාලයේ ආණ්ඩුකාරවරයා හැර වෙන කිසිවෙක් සිටියේ නැහැ.රූපවාහිනිය දෙස බලාගෙන සිටි ඔහු කලබලයෙන් හැසිරුනු මාව දැක පුදුමයෙන් මෙන් මා දෙස බලන්නට වුනා.අයියා ඊයේ රෑ බිම වැටී සිටි තැන තවදුරටත් අයියාගේ කිසිදු සලකුණක් ඉතිරිව තිබුනේ නැහැ.හොදින් සෝදා දමා තිබූ එතැන පොලවේ තිබුනේ ලිස්සන සුළු ගතියක්.මම එක්වරම එතැන බිම වැටී පොලව බදාගෙන අඩන්නට වුනා.අත්ල ගුලි කර මම පොලවට පහර පිට පහර ගසමින් හඩන්නට වුනා.ම⁣ගේ සීතල කදුළු එකින් එක රළු මහ පොලවට උරාගන්නට වුනා.එක්වරම වේගයෙන් අඩි තබමින් මා අසලට පැමිණි ආණ්ඩුකාරවරයා මගේ කොන්ඩයෙන් අල්ලාගත්තා.

"මම තමුසෙට කිව්වෙ ඔය ඇදුම ඇදගෙන මගේ ගෙයින් දොට්ට බහින්න කියලා මිසක් ගෙයි පොලොව බදන් විලාප තියන්න කියලද යකෝ?" එසේ කියා ඔහු මගේ කොන්ඩයෙන් අල්ලාගෙන ගෙදර ඉදිරි දොර දෙසට මාව ඇදගෙන ගියා.ඔහුගේ අතේ දැඩි ග්‍රහණයත් සමග මම දිගින් දිගටම පොර බදන්නට වුනා.ඉදිරි දොර විවෘත කල ඔහු මහ හඩින් ආරක්ෂක නිලධාරියාට අමතන්නට වුනා.

"අමීර්... අමීර්, මෙහෙ වරෙන් මිනිහෝ." ආරක්ෂක නිලධාරියා ඔහු බොමින් සිටි තේ කෝප්පයද පසෙකට විසිකර දමා ආණ්ඩුකාරවරයා දෙසට දුවගෙන ආවා.

"උඹ මේකිගෙ කකුල් දෙකෙන් අල්ලගනිං.මේකිව ගේට්ටුවෙන් එලියට විසිකරලා දාන්න ඕන." මගේ දෙපසින් අල්ලාගත් ඔවුන් දෙදෙනා මාව ඔසවාගෙන ගේට්ටුව දෙසට රැගෙන ගියා.මම දෙපසට දගලමින් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට කෙතරම් උත්සාහ කරත් ථලක් වූයේ නැහැ.ආණ්ඩුකාරවරයා මගේ අත් දෙක ඔහුගේ එක් අතකින් තද කර අල්ලාගෙන, අනිත් අතින් මගේ කොන්ඩයද අල්ලාගෙන සිටි අතර ආරක්ෂක නිලධාරියා මගේ කකුල් දෙක අල්ලාගෙන සිටියා.ගේට්ටුව අසලට ගොස් මා ඔසවා ඉවතට විසිකර දැමූ ඔවුන් දෙදෙනා පසුව ගේට්ටුව වසා දමා ඇතුලට වී මා දෙස බලාසිටියා.විසි වී ගොස් බිම වැටුනු මගේ අත් බිම කොන්ක්‍රීට් පොලවට ඇතිල්ලී කැපී ගියා.ගතේ වේදනාවට වඩා සිතේ වේදනාව ප්‍රබල වූ නිසා තුවාල වූ අත් කෙතරම් රිදුම් දුන්නත් මට වගක් වූවේ නැහැ.ඇගේ දූවිලි ගසමින් හෙමි හෙමින් නැගිටගත් මා ගේට්ටුවෙන් එපිටට වී කට කොනක සිනහවක්ද සමග මා දෙස බලා සිටි ආණ්ඩුකාරවරයාගේ ඇස් දෙස සෘජු බැල්මක් හෙලුවා.ඔහුට තිබූ පහත්, තිරිසන් ආශාවන් සියල්ලම මගෙන් සපුරගෙන මාව කුණු ගොඩක් සේ පාරට විසිකර දැමුවා.මගේ අහිංසකකමින් ප්‍රයෝජන අරගෙන ඔහු මගේ ආත්මයම මගෙන් උදුරගත්තා.ඔහු නිසා මම ආයිත් කවදාවත්ම මගේ ශරීරය දිහා කලින් වගේ බලන එකක් නැහැ.ඔහුව මතක් වෙන වාරයක් පාසා මම මගේ ශරීරය පිලිකුල් කරනවා, මම මගේම ශරීරයට ශාප කරනවා.ඔහු දෙස බලාගෙන මම මටම වෛර කරගන්නට වුනා.ඔහුට කෑ ගසා බනින්නට තරම් මගේ සිත වේදනාවෙන් මිරිකෙන්නට වුනා.නමුත් එතරම් දෙයක් කිරීමට තරම් මගේ හිත නිර්භීත වුණේ නැහැ.

"උඹට මොකක්ද මගේ මූණෙ ඔච්චර⁣ට බලන්න ඉන්න තරම් තියෙන්නෙ රොඩි බැල්ලියේ? පලයං මෙතනින් මගේ දෑහැට නොපෙනී." ආණ්ඩුකාරවරයා මොර දෙන්නට වුනා.ඔහුගේ සිතේ තිබුනු වියරුව ඇස් දෙකෙන් පිලිඹිබු වෙන්නට වුනා.ඒ තිරිසන් ඇස් වල කිසිදු මනුෂ්‍ය සේයාවක් තිබුනේ නැහැ.මම අමාරුවෙන් අඩි තබමින් එතැනින් ඉවතට ඇවිද ගියා.

'ඔව්, ඔබ හරි...මම කිසිවක් නොකර එතැනින් ඉවතට ඇවිදගෙන ගියා.ඔව් මම දන්නවා, මට ඔහුගෙන් පලිගන්න තිබුනා, මට ඔහුට බැන වදින්නට තිබුනා, මට ඔහු ඉදිරියේ තව තවත් හඩා වැලපෙන්නට තිබුනා.ඒත් ඒ කිසිවක් නොකරන්නට තරම් මම පරාජිතයෙක්, දුර්වලයෙක් වුණා.හිතේ කොච්චර වේදනාවක්, තරහවක් තිබුනත් ඒවා වචන බවට පත් කරගන්න තරම්වත් මම සවිමත් වුණේ නැහැ.'

මගේ හිත මීදුමක් සේ අපැහැදිලි වුනා, සාගරය සේ නොසන්සුන් වුණා.මම කිසිදු අරමුණක් නැතිවම පාර දිගේ ඉදිරියට ඇවිද යන්නට වුනා.අවුල් වී තිබූ මගේ හිසකෙස් නිදහසේ දෙපසට විහිදෙමින් උතුරු සුලගට දකුණ බලා යන්නට පාර කියන්නට වුනා.බිම වැටී තුවාල වී තිබූ මගේ අත් වල ලේ ගැලීම මේ වනවිට නතර වී තිබුනා.ගැලූ ලේ ගල් ගැසී උඩු හමට ඇලී කළු පැහැයට හැරී තිබුනා.කුණු තැවරී තිබූ ගවොමේ අගිස්සකින් පළුදු වී තිබුනා.කිසිවෙක් නොමැතිව පාළුවට ගොස් තිබූ ගුරු පාරේ තනිවම ගමන් කිරීම මගේ හිතට යම් සහනයක් ගෙන දුන්නා.

'ඔව්, මම නිසයි එයාලා නිකරුණේ මැරුනේ.මාව සතුටින් තියන්නයි එයාලා ජීවිත කැප කරේ.හරිනම් මමයි මැරිලා යන්න තිබුනේ, එයාලා නෙමෙයි.සමහරවිට මම නොහිටියා නම් අදටත් අයියටයි, අප්පච්චිටයි සතුටින් ඉන්න තිබුනා.ඇයි දෙවියනේ මං වගේ කෙල්ලෙක්ව මේ ලෝකෙට ඉපැද්දුවෙ?'

ටිකින් ටික ඉර අහසේ මුදුන් වන්නට වුනා.උදේ පිනි බිදු උරාගෙන පොලව ටිකින් ටික ගිනියම් වන්නට වුනා. පාවහන්වත් නැතිව ඉදිරියට ඇදුනු මගේ දෙපතුල් අව්වට රත් වී තිබුනු ගිනියම් පොලවේ සිසිලක් සොයද්දී, මගේ සිත ඒ පස් අතර සැගවුණු යදම් සොයන්නට වුනා.මම පැය ගණනක් තිස්සේ කිසිම ඉවක් බවක් නැතිව හිස හැරුනු අත ඇවිද යන්නට වුනා.කකුල් කෙතරම් රිදුම් දෙන්නට වුනත් ඒ වේදනාව සිතේ වේදනාවට සමකරන්නට හැකි වුණේ නෑ.ටිකින් ටික මග දෙපස තිබූ ගෙවල් ගණන වැඩි වන බවක් මට දැනුනා.මිනිසුන් කතා කරන හඩක් හා වාහාන හඩක්ද තරමක් ඈතින් වුනා.බිම බලාගෙන ඇවිද යමින් සිටි මා පසුකරගෙන කවුරුන්හෝ ඉදිරියට යනවා මම ඇස් කොණින් දුටුවා.ඒත් සමගම මා හිස ඔසවා බැලුවේ මා සිටින්නේ කොහිදැයි කියායි.තවත් ටිකක් ඉදිරියට ඇවිද යත්ම තරමක් හුරුපුරුදු පරිසරයක් දිස්වන්නට වුනා.මිනිසුන් බර අඩි තබමින් එහෙ මෙහේ ඇවිදයන්නට වුනා, අලෙවිසැල් කිහිපයක වෙලෙදුන් ශබ්ද නගා තමන් සතු භාණ්ඩ වල මිල ගණන් කියන්නට වුනා.එහි තිබුනේ දැඩි කාර්යබහුල ස්වරූපයක්.කඩවල් වලට මෙපිටින් පාර අයිනට වන්නට තිබූ කුණු කන්දක් වටකරගෙන බල්ලන් සහ කපුටන් කෑම සොයන්නට වුනා.කපුටන් තමන්ගේ හොටෙන් කුණු ගොඩ හාරන්නට වූ අතර බල්ලන් කුණු එකින් එක ඉවකරන්නට වුනා.ඈතින් කොල පාට ඇදුම් ඇදගත් පුද්ගලයන් කිහිපදෙනෙක් කතාබහ කරමින් සිටිනවා මා දුටුවා.ඔවුන් සිටියේ විශාල පුවරුවක් සවි කරන ලද පැරණි පෙනුමක් තිබූ ගොඩනැගිල්ලක් ඉදිරිපිටයි.ඒ ගොඩනැගිල්ල මට හොදින් හුරුපුරුදු එකක් වුනා.මට ටිකින් ටික දේවල් යලිත් මතකයට නැගෙන්නට වුනා.ඒ කොල පාට ඇදුම් ඇදගෙන සිටියේ පොලිස් නිලධාරීන්ය, ඔවුන්ට ඉදිරිපසින් තිබෙන දුර්වර්ණ ගොඩනැගිල්ල තමයි අයියයි, මායි ඊයෙ හවස පැමිණි පොලීස් ස්ථානය.ඊයේ හවසට වඩා අද මෙහි දැඩි කාර්යබහුලත්වයක් දක්නට ලැබුනා.

_______________________________________

...මීලග කොටසින් හමුවෙමු...

රචනය - H.L.නෙසදු මලීෂ (Dicaprio)

පලමු නවකතාවේ සිවුවන දිගහැරුම



Report Page