අදුරු හෝරාව

අදුරු හෝරාව

💛Ahinsa💛
බිහිසුණු හූනියමක ඛේදනීය අභිරහස...





තුන් වෙනි හෝරාව 🩸


කාලය ගතවෙමින් තිබුණි.පසලොස්වක පෝයක් වූ හෙයින් පරිසරයේ වූ අදුර පසාරු කරමින් හද එලිය ගලාවිත් පොලොව තෙමන්නට වූයේ අලංකාරවත් ලෙසිනි.ඉදහිට ඇද හැලුනු පිනි වැස්ස පරිසරය තවත් ප්‍රබෝධමත් කරයි.හෝරා දෙක තුනක් ගෙවුනේ සියල්ලෝම නින්දට යවමිනි.

___________________________________


නමුත් සිරිමල් නම් සිටියේ නින්දත් නොනින්දත් අතර සටනකයි.සිරිමල් යනි කහටරුප්ප ගමේ වාසය කල හැඩිදැඩි තරුණයෙකි.මවත් ඔහුත් පමනක් සිටි මේ නිවසේ ඔහුගේ ජීවනෝපාය වූයේ ගොවිතැන උවත් විනෝදාංශයක් ලෙස බටනලා වාදනය කිරීමට ඔහු පුරුදුව සිටියේය.එය තම පියාගෙන් තමා කුඩා කාලයේදී තමාට උරුම වූවක් නිසා එය මහාර්ඝ වස්තුවක් ලෙස ආරක්ෂා කිරීමට ඔහු වග බලා ගත්තේය.


සියල්ල අවසානයේ නින්ද පරාජය වූ හෙයින් ඔහු එලියට බැස්සේ තමාගේ බටනලාව ද අතැතිවයි.වත්තේ කෙලවර ගල්කුල මත නැගුණු ඔහු එය වාදනය කරන්නට වූයේ පාලුව හා දවසේ වැඩපල කර දැනෙන කාන්සිය මකා දැමීමේ අරමුණෙනි.කාලය ගෙවෙනවා දැනුනේ ද නැත.නමුත් ඔහුගේ බටනලා වාදනයේ නැවතීමක්ද නොමැත.


මැදියම් රැය ආරම්භ වීමට ද පටන් ගෙන තිබුනි.නමුත් සිරිමල්ට නම් ඒ පිලිබදව කිසිදු ගානක්වත් නොවීය.මොහොතකින් ඔහු බටනලා වාදනය මදකට නැවැතුවේ නාසයට දැනුනු මිහිරි පිච්ච මල් සුවදක් හේතුවෙනි.


" මෙච්චර රෑ වෙලා කොහෙන්ද මේ පිච්ච මල් සුවදක් එන්නෙ.මේ අහලකවත් පිච්ච මල් නෑ නොවැ.අනෙක් ඒ වගේ සුවදක් මට මීට කලින් කවදාවත්ම දැනිලා නෑ.සමහර විට සුලග දිගේ ඈත ඉදන් එනවා ඇති."සිතා ඔහු නැවතත් බටනලාව වාදනයට පටන් ගත්තේය.


"සලං සලං"

අහම්බෙන් කනවැකුනු පා සලඹක හඩට ඔහු තිගැස්සී වට පිට බලන්නට විය.නමුත් කිසිවෙකුත් පේන්නට නොමැත.නමුත් ඉදිරිපස බලද්දී ඔහුගේ දෑස් විශාල වූයේ ගුරුපාර දිගේ තමා වෙත ඇදෙන නාරි රූපය දෙසටයි.සුනිමල් වශී වී ඇය දෙස බලා සිටින්නට විය.


යන්තමින් විලි වැසෙන සේ ඇදගත් දුහුල් සාරියත්,කඩා හැලෙන දිය ඇල්ලක් බදු දික් වූ කෙස් කලඹත්,අහසේ දිලෙන සදුටත් වඩා රශ්මියක් විහිදුවන සුදෝ සුදිවන් වතත් ඔහුගේ පිරිමි සිත සලිත කලේ පෙර නොවූ ලෙසයි.මුවැත්තියක මෙන් දිලෙන දෑස් දෙස සිරිමල් බලා සිටියේ රා බී මත් වූවා වැනි හැගීමකිනි.


තමා වෙතට ලගා වෙන තරුණිය දෙස බලා සිටින සිරිමල්ගේ රාග ගින්න දැල් වෙන්නට වූයේ ඔහුටත් නොදැනීමයි.මැදියම් රැයේ පිරිමින් සොයා පැමිණෙන කොතෙකුත් අවතාර ගැන අසා තිබුණත් ඒ කිසිවක් මේ මොහොතේ ඔහුගේ මතකයේ නොවිණි.ඊට හේතුව වූයේ ඔහුගේ දෑස් දෙක දැනටමත් ආගන්තුක තරුණියගේ ශරීරයේ සෑම තැනක්ම බලමින් මනසින් රසවිදින්නට පටන්ගෙන තිබූ බැවිනි.


"අඩු කුල ඉහල කුල දෙක යසට පෑහිනී

වසගෙට ගත්තෙ මාව අඩවන් දෑහිනී

රත්වුනි අහෝ! මාගෙත් රුධිර වාහිනී

උබ මගෙ පැලට එනවද රෑට රන්දේහිනී


මේ පපු කැවුතු මැද්දේ ප්‍රේමෙ ඔබ වුනී

හදකට හදක් නොසිතූ අයුරු යා වුනී

මැදියම ගලාවිත් අදුර බෝ වුනී

රෑ හදපානෙ හැගුමන් පිබිද පාවුනී"


දගකාරකමට සිතට දැනෙන හැගුම් මුවින් වචන ලෙස පිටකල සිරිමල් තමා ඉදිරියේ සිටිනා රූමත් තරුණිය මෝහිනී බව කිසිදු දිනෙක දැන සිටියේ නැත.හේතුව ඔහුගේ සිත හුදෙක්ම රාගයෙන් හා ආලයෙන් මුසපත් වී ඇති හෙයිනි.තමා ලගටම පැමිණි එම තරුණිය තමාගේ අතින් අල්ලා ගත් විට සිරිමල්ට දැනුනේ තමාගේ මුලු ශරීරයම පණ නැති වී යනවාක් වැනි හැගීමකි.


"එන්න යන්න මා එක්ක "යනුවෙන් සිහින් හඩින් ඇය පැවසූ වදන් ඔහුට ඇසුනේ සිහිනෙන් මෙනි.ඒ වචන සිය ආත්මයම පසාරු වී යන්නාක් මෙන් ඔහුට දැනුනි.වහාම ඇගේ බස්ට අවනත වූ ඔහු ගල් කුලෙන් නැගිට ඉදිරියට ගියත් ඔහුට දැනුනේ තමා පා වෙනවා මෙන් හැගීමකි.


ටික දුරක් තරුණිය සමග යන විට සිරිමල් තිගැස්සී ගියේ තමාගේ කන අසලින්ම ඇසුනු ගැහැනියකගේ මර ලතෝනියකිනි.ඔහු වට පිට බැලුවේ තමා අසල සිටි තරුණිය කොහෙද යන්න සොයා බැලීමටයි.


නමුත් ඇය පේන මානයකවත් නොවේ.ඔහුගේ හිතේ තිගැස්ම තවත් වැඩි වූයේ ඔහු දැන් සිටින්නේ කනත්ත ලගටම ඇවිත් බව වැටහුනු විටයි.ඒ සමගම තම දෑතින් දැනුනු වේදනාව සමගම අත බැලූ ඔහු දුටුවේ තරුණිය අල්ලා සිටි දෑතින් නොනවත්වා රුධිරය ගලන ආකාරයයි.


සිදු වන්නේ කුමක් ද?,තමා කල යුත්තේ කුමක් ද?,යන්න පිලිබදව නිවැරැදි අවබෝධයක් සිරිමල් තුල නොවීය.කලයුත්තේ තවත් මෙතැන රැදී නොසිට පන බේරා දිවීම බව පසක් වීමට ඔහුට මද වේලාවක් ගත විය.නමුත් ඒ වන විටත් ඔහු ප්‍රමාද වැඩිය.දුවන්නට කියා ආපසු හැරුනත් දරුවෙකු ද අතැතිව තරුණිය තමා අසලටම පැමිණ අහවරය.


ඔහු අසලට කෙමෙන් ලං වන තරුණිය මොහොතින් මොහොත වෙනස් වන්නට විය.සුන්දර මුහුණේ පැත්තකම හම ඉරී ගොස් මස් පිටට පෙනෙන්නට විය.ඇස් ගෙඩි එලියට පැන කලු ඉංගිරියාව නොපෙනී ගියේය.හිසකේ අවුල් වී මුහුණේ පැත්තක් වැසී තිබුනි.පෙර තිබූ පිච්ච මල් සුවද නැති වී ගොස් නහය අකුලා ගෙන යන කුණු ගදක් හමන්නට විය.තමා දෙසට පහත් වන තරුණියගේ මුඛය දෙපස ලේ වැගිරෙන උල් දත් දෙකකි.දුවන්නට සැරසුනත් ඔහුගේ අත් හා පාද හිටි තැනම ගල්ගැසී ඇත.තමා මෝහිනීගේ බන්ධනයට අසු වූ බව ඔහු දැන ගන්නා විටත් ඔහු ප්‍රමාද වැඩිය.


ඒ සමගම ඔහුට කුඩා කාලයේදී තම පියා මෝහිනී ගැන කියා දුන් කතා එකපෙලට මතකාවර්ජනය කලේය.මැදියම් රැයේ බටනලා පිඹීම නුසුදුසු බවට පියා කල අවවාදය ද ඔහුට සිහිපත් විය.ඒ මෝහිනී බටනලා පිඹින පිරිමින්ට වඩාත් ඇල්මක් දක්වන බව පියා තමා සමග කියා තිබූ බැවිනි.


තවත් මොහොතක්වත් සිතීමටවත් ඉඩක් නොතැබූ තරුණිය ඔහුගේ ඇගට පැන ගෙල මිරිකන්නට වූයේ ඇගේ දිගු නිය වලින් ඔහුගේ සිරුර සිදුරු කරමින් අනෙක් පැත්තෙන් මතු වෙද්දීය.අවසානයේ වියරු සිනාවක් මුවගට නගා ගත් ඈ ඔහුවත් ඇදගෙන අදුර සමග සොහොන් කොත් අතරින් සැගව ගියාය.



මැදියම් ගොම්මනේ

පාලු මූසල රෑක

අදත් උබ ඉන්නවලු

අතේ දරුවෙක් එක්ක


දෙපා ගෙවෙනා තුරුම

ඇවිදලත් ඌ එක්ක

හෙව්ව තරමක් අප්පා

තාම හම්බුනේ නැද්ද



පසු දින මුලු ගමම ගිනි ජංජාලයක් වී තිබුණි.ඒ ගමේ සිටි හැඩි දැඩි තරුණයෙකු වූ සිරිමල්ගේ අතුරුදහන් වීමත් සමගයි.ගම්වැසියෝ සියලු දෙනාම තමාට හැකි සෑම අයුරින්ම සෑම තැනකම සිරිමල් සොයා වෙහෙසෙන්නට විය.නමුත් කිසිවෙකුට කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.








හැමෝම අදහසක් කියාගෙන යමු ලමයි.අදුරු හෝරාව ඊලග කොටසින් හමුවෙමු.


මම,

අහිංසා සෙව්වන්දි







Report Page