Secret

Secret

✍pen friend

episode 11

episode 10


නිල් පාට ශර්ට් එකක් කලු බොටම් එකක් ඇදලා කලු ස්පෝර්ට් ශූස් දෙකක් දාලා හිටපු කෝච්ගෙ ඇගේම අමුතු ගැම්මක් තිබුනා.



"කේශ්වරට කෝච් කලේ සර් නේද..?"



මම ඇහුවම කෝච් මූණ හරවගෙන ප්‍රශ්නෙ මග ඇරලා කාටදෝ කෑගහලා බනින්න ගත්තා. ඒ බනින්න ඔනෙකමකට නෙවෙයි කියලා මට තේරුනා.



"කෝච්... මට එයා ගැන විස්තරයක් දැනගන්න ඕනෙ.."



"ඔය ළමයා එයාගෙ කවුද..?"



"මම යාලුවෙක්..."



කෝච් මගේ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ.



"යාලුවද ගර්ල් ෆ්‍රෙන්ඩ්ද?"



"ගර්ල් ෆ්‍රෙන්ඩ්.."



මම යන්තම් ඔලුව බිමට හරවන් කිව්වෙ ලැජ්ජාව මූනෙන් එකයි නිසා.



"සැප්තැම්බර් අටවෙනිදා එයාගෙ මැච් එකක් තිබුනා කියලා දන්නවද ඔය ළමයා?"



"ඔව්..."



ඒ මැච් එක... එදා වැස්සෙ පැච් එක ගිය දවසෙ කේශ්ට තිබුනු මැච් එක. මට හොදට මතකයි.



"මගේ ජීවිතේ මට හිනිපෙත්තටම යන්න බැරි උනේ ඔය මැච් එක වගේ එකක් වින් නොකරපු නිසා. ඒක මට කේශ්වරගෙන් දකින්න ඕනෙ උනේ. හැම දේම කරලා අන්තිමට ඒ මිනිහා මට පොල්ල තිබ්බා. ඒක ගැන අහන්නද ආවෙ..?"

කෝච් තරහින්.



"කෝච් කියන්නෙ මොකක්ද කියලා මම දන්නෙ නෑ."



"කියන්නෙ...? කියන්නෙ මම එච්චර දේවල් කරලත් ඒ මිනිහා මැච් එක දවසෙ අතුරුදහන් වෙලා ගිය එක ගැන..!"



"අතුරුදහන් වෙලා...?"



"ඔව්...! ඇයි ඔය ළමයා මොන ලෝකෙද හිටියෙ?"



"කෝච්.. ඒ කියන්නෙ මොකක්ද...?"



"එදා මැච් එකට ඌ ආවෙ නෑ. කොච්චර හෙව්වත් හිටියෙත් නෑ. ආයෙ ක්ලබ් එකට ආවෙත් නෑ. මම ආයෙ හොයන්නෙත් නෑ. මොකද මට ඒ වගේ ගුණමකු ගෝලයො ඕනෙ නැති නිසා."



කේශ්ට කරදරයක්වත් උනාද... ඇයි එයා එහෙම කලේ..



ක්ලබ් එකේ කේශ් හිටපු නැති නිසා මම එහෙමම ගියේ ට්‍රැක් එකට. එහෙ අනිවාරෙන් ඉන්නවා ඇති. මොකද මේ වෙලාවට එයා ගෙදර නෑ. එක්කො ක්ලබ් එකේ නැත්නම් ට්‍රැක් එකේ බයික් රයිඩින්.



විනාඩි ගානක් ඇස් වටේම යවලා කේශ්ව හෙව්වත් පේන මානෙක එයා හිටියෙ නෑ. කොල්ලො හැමෝම වගේ මගේ දිහා බලාගෙන ඉන්නෙ එතන හිටපු එකම කෙල්ල මම නිසා වෙන්න ඇති.



දූවිලි කාගෙන මම තවම එයාව හොයනවා. ඒත් නෑ. දැන් දැන් අමුතු බයකුත් හිතට එනවා. කේශ්ගෙ යාලුවො ගැන මම ලොකුවට නොදැන හිටපු නිසා ලග හිටපු කොල්ලෙක්ට කතා කරලා කේශ් ගැන අහන්න මම හිතාගත්තා.



"අයියෙ... කේශ්ව මීට් වෙන්න පුලුවන්ද..?"



සුදු ආර්ම් කට් ශර්ට් එකක් එක්ක කලු ඩෙනිමක් ඇදලා හිටපු ඒ කොල්ලා හැමෝටම එයාලගෙ අඩුපාඩු කියලා දෙන ගමන් හිටියෙ. දූවිල්ලටම ශර්ට් එක දුඹුරු පාටට හැරිලා.



"කේශ් කියන්නෙ කේශ්වරටද?"



"ඔව්.."



"මමත් දන්න හැමෝගෙන්ම වගේ කේශ්වර ගැන අහනවා නංගි. සැප්තැම්බර් වගේ ඉදලා ට්‍රැක් එක පැත්තෙවත් ආවෙ නෑ."



ඒ උත්තරෙත් කලේ මට මාවම නෑ වගේ දැනෙන තත්වෙට පත් කරපු එක. සැප්තැම්බර් ඉදලා නෑ... එතකොට මේ දෙසැම්බර්.



"නංගි කේශ්ගෙ ගර්ල් නේද? මම කලින් දැකලා තියෙනවා ට්‍රැක් එකේ."



"ඔව්.."



"එයා ගැන ලගදි කිසි ආරංචියක් ලැබුනෙ නැත්ද...?"



"නෑනෙ.."

මට නම් දැන් කතා කරගන්නත් බෑ වගේ.



"මේ... නංගි..."

එයා මොනවා හරි කියන්න හැදුවත් මම හැරිලා ආවා.



"මම යන්නම් අයියෙ"



යන්තමින් වැටෙන කදුලු බිංදු දෙක තුන පිහ ගන්න ගමන් මම කාර් එක අරගෙන ගියේ කේශ්ගෙ ගෙදරට. මම දන්නවා එයා එහෙත් නෑ. නැත්නම් අර අයියා, කෝච් දෙන්නම හොයාගන්න බෑ කියලා කියන්නෙ නෑනෙ.



කේශ්ගෙ ගෙදර ඉස්සරහ කාර් එක නවත්තලා බැහැලා මම ගේ දිහාවට ගියා. ලස්සනට චූටි චූටි මල් පිපිලා තිබුනු මල් පෝච්චිවල වල් පැලෑටි වැවිලා. ලස්සනට තිබුනු ගේ වල් විහාරෙ වගේ.



ගෙදර ලොක් කරලා තිබුනෙ. කොරිඩෝවෙ කොනේම පරණ උනු පන්චින් බෑග් එක තවම එල්ලෙන එක පුදුමයක්. කේශ් කොහෙ යන්න ඇත්ද... එයා නැතත් අම්මා ඉන්න ඕනෙනෙ.



හිත ඇතුළෙ කැකෑරෙන බයත් එක්ක මික්ස් උනු දුකත් හිතේ තියන් මම එහා පැත්තෙ ගෙදරට ගියේ කේශ්ලා ගැන ආරංචියක් හොයා ගන්න එක්ක.



බෙල් එක රින්ග් කලාම එලියට ආවෙ අවුරුදු හැටක් විතර උනු වැදගත් පෙනුමක් තිබ්බ පිරිමි මනුස්සයෙක්.



"අංකල් මේ එහා පැත්තෙ ගෙදර හිටපු අය ගෙදර නැත්ද..?"



"නෑනෙ දුව.... සැප්තැම්බර් වල වගේ ඉදලා එයාලා නෑ."



"ඇයි දන්නෙ නෑ...?"



"දන්නෙ නෑ. එයාලා හිටියෙ රෙන්ට් එකට. අපේ ගෙදරක් ඔය. අවුරුදු තුනක් විතර හිටියෙත් ඔය ගෙදර."



මොනවා..? මම හිතාන හිටියෙ ගෙදර කේශ්ලාගෙමයි කියලා. ඒත් නෑ... එයාලා රෙන්ට් එකට ඉදලා තියෙන්නෙ. ටවුන් එක ගැන දන්න ගොඩක් දේ මට කියද්දි එයා අන්තිමට නැවැත්තුවෙ මම පොඩි කාලෙම මේ ටවුන් එකේනෙ හැදුනෙ කියලා කියන ගමන්.



"ඒ කියන්නෙ එයාලා මෙහෙ අය නෙවෙයිද...?"



"නෑ...... ගොඩක් දුර පළාතක කට්ටියක්. මීට අවුරුදු තුනකට විතර කලින් ආවෙ. ඒ ගෑනු මනුස්සයා මැරුනට පස්සෙ කොල්ලා යතුර දීලා යන්න ගියා."



"මැරුනා...! මැරුනා කියලද කිව්වෙ...?"



ඒ කියන්නෙ කේශ්ගෙ අම්ම නැති උනාද... දෙයියනේ..



"ඔව්.. ඒ කොල්ලගෙ අම්ම නැති උනා සැප්තැම්බර්වල. ඊට පස්සෙ කොල්ලා කොහෙ ගියාද කියලා හිතාගන්න බෑ..."



මගේ ඇගට පන නෑ වගෙයි මට දැනුනෙ. ඔලුව පලාගෙන යන්න වගේ රිදුමක් එද්දි පපුව ඇතුලෙන් ආපු රිදුම මම කන්ට්‍රෝල් කරගත්තෙ පපුවට අතක් තියාගෙන.



"ඔයා කියන්නෙ කේශ්වර ගැනද අංකල්..?"



"ඔව්... අර බොක්සින් ප්ලේ කරපු කොල්ලා."



"එයාගෙ අම්මා මොනවා වෙලාද නැති උනේ...?"



"මමත් හරියටම දන්නෙ නෑ දුව. එදා අපි අපේ පුතාගෙ ගෙදර ගිහින් හිටියෙ. ගෑනු කෙනාට පපුවෙ අමාරුවක් හැදිලා හරි කලබලයක් වෙලා. අපි එද්දි ඔක්කොම වැඩ කරලත් ඉවරයි.."



මම එතනින් පිට උනේ කම්මුල් දිගේ අනවසරයෙන් ගලන කදුලු ඔහේ ගලාගෙන යන්න ඇරලා. පන්චින් බෑග් එක බදාගෙන මම ඇඩුවා මහ ගොඩක්.



මගේ හිත කිව්වෙම මම වැරදියි කියලා. ෆයිනල්ස් අස්සෙ හරි මට එයාට කතා කරලා එයාට අමාරුම වෙලාවෙ එයා ලග ඉන්න තිබුනා. ඒත් මම පරක්කු වැඩියි.



-see you in the next episode-

කමෙන්ට් දාගෙන යන්ඩෝ...

ආදරෙයි හැමෝටම.❤


මම,

✍penfriend






Report Page