Good

Good

DREAM SOCIETY



ඊයේ දවල් පටන් ගත්තු වැස්ස පොඩ්ඩකට හරි කුරුවල් වුනේ අද උදේ. නිමාවක් නොමැතිව ඇද හැලෙන මේ "වැස්ස" පෘතුවියේ ජීවය සදහා අත්‍යවශ්‍යයම සාදක වලින් එකක්. ඕනාවට වාඩා ඇතුවත් බැහැ. ඕනාවට වඩා කාලයක් නැතුවත් බැහැ. නමුත් පුරාතන පෘතුවියේ එක් සමයක වසර මිලියන දෙකක් පුරාවට, එක දිගට, නොනවත්වා වැසි ඇද හැලී ඇති බව ඔබ විශ්වාස කරනවාද?


මීට වසර මිලියන 234කට පමණ පෙර Late Triassic යුගය ආරම්භ වන්නේ ආසන්න වශයෙන් වසර මිලියන දෙකක් පුරාවට නොනවත්වා ඇද හැලුනු වර්ෂාවද සමගයි. මෙසේ වසර මිලියන දෙකක් පුරාවට වර්ෂාව ඇද හැලුනු සිද්ධිය "The Carnian Pluvial Event (CPE)" ලෙස හදුන්වනු ලබනවා. Carnian යනු මෙම වැසි ඇති වූ භූ විද්‍යාත්මක කාල පරිච්ඡේදය (geologic timescale) හැදින්වෙන නාමය වන අතර Pluvial යන්නෙන් අදහස් කරන්නේ වර්ෂාවයි. නමුත් මෙවැනි අමුතු සංසිද්ධියක් ඇති වීමට හේතුව කුමක්ද?


විද්‍යාඥයින් විශ්වාස කරන්නේ Carnian Pluvial සිද්ධියට පෙර මහා වඳවීමක් සිදුව ඇති බවයි. මෙය Permian-Triassic extinction එහෙමත් නැතිනම් the Great Dying ලෙස හදුන්වනු ලබනවා. මෙම සිදුවීම නිසා පෘතුවියේ ජීවත්වූ සියලු ජීවීන්ගෙන් 90% ක් පමණ වඳ වී ගොස් තිබෙනවා. trilobites, rugose, tabulate corals වැනි සමුද්‍ර අපෘෂ්ඨවංශීන්ගේ සිට acanthodians, placoderms වැනි සමුද්‍ර පෘෂ්ඨවංශීන්ද pelycosaurs, Moschops වැනි භූමියේ ජීවත් වූ ජීවී කණ්ඩායම්ද මෙම කාල පරිච්ඡේදය අවසන් වන විට සැලකිය යුතු මට්ටමේ පරිහානියකට ලක් වී තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි මහා වඳවීමකට හේතුව සම්පූර්ණයෙන් සොයාගෙන නොමැති අතර මේ සදහා විවිධ මත පල වෙනවා. සමහරුන් පවසන්නේ යම්කිසි ග‍්‍රහකයක් පෘතුවියට කඩා වැටීම නිසා එහි බලපෑමෙන් මෙවැන්නක් සිදු වන්නට ඇති බවයි. තවත් සමහරෙක් පවසන්නේ අද සයිබීරියාව තිබෙන ප්‍රදේශයේ එම යුගයේ පිහිටා තිබූ ගිනිකඳු පුපුරා යෑම නිසා මෙවැන්නක් සිදු වන්නට ඇති බවයි. තවත් සමහරුන් පවසන්නේ මුහුදු මට්ටමේ සිදු වූ වෙනස් වීම නිසා මෙවැන්නක් සිදු වන්නට ඇති බවයි. කොහොම නමුත් මෑත කාලීනව පාෂාණ ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යයනයන් වලින් සොයාගත් සාක්ෂි මගින් සනාථ කරනු ලබන්නේ මෙම මහා වඳවීයාමට හේතුව ගල් අඟුරු දහනය (burning coals) බවයි. භූ විද්‍යාඥයින් මත පල කරන්නේ Permian යුගය අවසානයේ මෙම ගල් අඟුරු දහනය මගින් විමෝචනය කරන ලද සල්ෆර් නිසා ගොඩබිම හා මුහුදේ සිටි ජීවීන්ගේ වදවීම ආරම්භ වන්නට ඇති බවයි. එමෙන්ම සල්ෆර් නිසා නිර්මාණය වූ ඇසිඩ් වැසි එකල පැවති ශාක විශේෂ විනාශ කොට මුළු පෘතුවිය පුරාම අධික උෂ්ණත්වයක් ඇති කරවන්නට ඇතැයි පැවසෙනවා. 


මෙම මහා වඳවීයාමෙන් පසුව පෘතුවිය අධික උෂ්ණත්වයක් මෙන්ම දැඩි වියලි බවකින්ද යුක්ත වුනා. මෙසේ සිදු වීමට එක් හේතුවක් වන්නේ එම යුගයේ පෘතුවියේ අද වෙන් වෙන්ව පවතින මහාද්වීපයන් එක් විශාල භූමියක් ලෙස එකට පිහිටා තිබූ නිසාත් එම භූමියේ විශාල කදු පිහිටා නොතිබීම නිසාත් වැසි වලාකුලු වෙරළ තීරයට පමණක් සීමා වීමයි. අද පවතින ලෙස විවිධ මහාද්වීපයන්ට බෙදී නොගොස් එක් විශාල භූමියක් ලෙස පිහිටි භූමිය Pangea ලෙස හදුන්වනු ලබනවා. මහා වඳවීයාමෙන් ඉතුරු වූ උරගයින් මේ විශාල භූමිය පුරා විසිරී ජීවත් වුනා. එම යුගයේ සිටි කැපී පෙනෙන මාංශ භක්ෂකයින් ලෙස Crurotarsi නැමති උරග විශේෂය දක්වන්නට පුලුවන්. මොවුන් වර්තමානයේ සිටින කිඹුලාන්ට හැඩහුරුකමින් සමාන වන අතර phytosaurs සහ pseudosuchians නැමති උරග කණ්ඩායම් ඒ අතරින් විශේෂ වෙනවා. උදාහරණයක් වශයෙන් pseudosuchians නැමති උරග විශේෂයට අයත් Ornithosuchus උරගයින්, Rhynchosaur නැමති ශාකභක්ෂක උරගයින්, Dicynodonts ශාකභක්ෂක උරගයින් එම යුගයේ මේ මහ පොළව මත ජීවත් වී තිබෙනවා. කොහොම නමුත් මේ සියලුම ජීවීන් වියළි දේශගුණයක් සඳහා අනුවර්තනය වූ අයයි. Carnian Pluvial සිදුවීමෙන් ඩයිනොසෝරයන්ගේ විශාල වර්ධනයක් සිදු වුනා. මෙය එසේමෙසේ වර්ධනයක් නොවන බව පොසිල සාක්ෂි වලින් සනාථ වෙනවා. Carnian Pluvial සිදුවීමට පෙර භූමියේ ජීවත්වූ පෘෂ්ඨවංශීන්ගෙන් පොසිල වලින් 5% පමණ ඩයිනොසෝරයන්ට අයිති වූ නමුත් Carnian Pluvial සිදුවීමට පසු භූමියේ ජීවත්වූ පෘෂ්ඨවංශීන්ගෙන් පොසිල වලින් 90% පමණ ඩයිනොසෝරයන්ගේ ඒවා වුනා. මෙසේ ඩයිනොසෝරයන්ගේ අදික වර්ධනයට හේතුව කුමක්ද? මෙයට හේතුව වන්නේ වර්ෂාව නිසා විශාල ශාක වල වර්ධනය ඉහල යෑමයි. මෙම යුගයේ කේතුධර ශාක වල සීඝ්‍ර වර්ධනයක් සිදු වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් Bennettitales වැනි ශාක දක්වන්නට පුලුවන්. Rhynchosaur, Dicynodonts වැනි අය ශාකභක්ෂක උරගයින් වුවත් ඔවුන් හුරු වී සිටියේ වියලි පොලාවේ වැඩුනු කුඩා පැලෑටි, පඳුරු ආදිය ආහාරයට ගැනීමටයි. Carnian Pluvial සිදුවීමෙන් පසුව විශාල ශාක වල වර්ධනය සිදු වූ නිසා ඒවායේ අතු කඩා කෑමට තරම් Rhynchosaur වැනි උරගයින් උසීන් වර්ධනය වී සිටියේ නැහැ. එම නිසා විශාල ශාක වලින් වැටෙන කොල, අතු ආදිය පමණක් ආහාර ලෙස ගැනීමට මොවුන්ට සිදු වුනා. Dicynodonts නැමති උරගයින්ට දත් පිහිටා නැහැ. මේ නිසාම ඔවුන්ට තන්තු සහිත ශාක ආහාරයට ගැනීමට හැකියාව නැහැ. Dicynodont උරගයින්ගේ මලපහ වල පොසිල පරික්ෂා කිරීමේදී විශාල ශාක ආහාරයට ගැනීමට හැඩ ගැසී නොමැති නිසා මොවුන් Ferns වැනි මෘදු ශාක ආහාරයට ගෙන ඇති බවත් ඔවුන්ගේ මලපහ වල 5% පමණ ඉතාම කුඩා ප්‍රමානයක තන්තු හමුවී තිබෙනවා.


නමුත් මොවුන් සමග සසදන විට දත් පිහිටා තිබූ ඩයිනොසෝරයන්ගේ මලපහ පොසිල වල 85% පමණ තන්තු හමු වී තිබෙනවා. පෘතුවිය තවත් තෙත්බරිත වන විට මෘදු Ferns වැනි ශාක ඉතා විශාල දැවමය ශාක වලින් ප්රතිස්ථාපනය වීමට පටන් ගැනුනා. මේවා Rhynchosaur, Dicynodonts වැනි උරගයින්ට ආහරයට ගත නොහැකි වුනා. එම නිසා Rhynchosaur, Dicynodonts වැනි උරගයින් වද වීමට ලක් වූ අතර Rhynchosaur, Dicynodonts වැනි උරගයින් නොමැතිව මාංශ භක්ෂකයින් වන Crurotarsans හට ඔවුන්ගේ ආහරද අහිමි වීම ආරම්භ වුනා. ඉතින් මේ නිසාම ඩයිනොසෝරයන්ගේ අදික වර්ධනයත් Rhynchosaur, Dicynodonts සහ Crurotarsans වැනි අයගේ වද වීමත් සිදු වුනා. 


නමුත් කොහොමද මේ වගේ විශාල වර්ෂාවක් ඇති වුනේ? බටහිර කැනඩාවේ කොලොම්බියාව සහ ඇලස්කාව අසල වසර මිලියන 5ක් පුරාවට පැවති ගිනි කඳු පිපිරීමක් සිදූ වී තිබෙනවා. මෙම ගිනි කඳු පිපිරීමෙන් නිකුත් වූ ලාවා වල ඝනකම කිලෝමිටර 6ක් පමණ වන බව කියැවෙනවා. මෙම පුපුරා යෑමෙන් දීර්ඝ කාලයක් තිස්සේ විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට විමෝචනය වීම නිසා පෘතුවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 - 10 දක්වා අගයකින් ඉහල ගොස් තිබෙනවා. උණුසුම් දේශගුණයක් දිගු කාලයක් තිස්සේ පැවතීම නිසා තෙත්බරිත දේශගුණය නිර්මාණය වුනා. මන්දයත් උණුසුම් දේශගුණය නිසා ජල චක්‍රය වේගවත් වුනා. අවුරුදු මිලියන ගණනාවක් උණුසුම් දේශගුණයක් සහිතව තිබූ පෘතුවියේ තෙත්බරිත දේශගුණය නිර්මාණය වීම නිසාම වැසි වලාකුළු ස්ථර වෙරළබඩ ප්‍රදේශවල සිට භූමියේ ඇතුල් ප්‍රදේශවලට තල්ලු වුනා. මෙසේ ආරම්භ වූ වර්ෂාව වසර මිලියන 2 ක් පුරාවට ඇද හැලුනා. 


මේ වර්ෂාව නතර වුනේ කොහොමද? වායුගෝලයේ ඇති අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් ප්‍රමාණයෙන් ශාක වලින් උරාගනු ලැබුවා. තවත් ප්‍රමාණයක් සාගරයන් විසින් උරාගෙන හුණුගල් ආදිය නිර්මාණය වුනා. මෙවැනි ක්‍රියාවන් නිසා Carnian Pluvial සිද්ධිය මන්දගාමින් වන විට පෘතුවියේ කාබන් චක්‍රයත් ස්ථාවර වුනා. මේ සමගම Carnian Pluvial සිද්ධිය එහෙමත් නැතිනම් වසර මිලියන 2 ක් පුරාවට ඇද හැලුනු ඒ මහා වර්ෂාව අවසන් වුනා. මේ වර්ෂාව අවසන් වන විට පෘතුවිය පුරා විවිධත්වයෙන් යුත් කේතුධර ශාක පැතිරී විශාල වනාන්තර බවට පත් වී ඩයිනෝසෝරයන්ගේ යුගයට සම්පූර්ණයෙන්ම පෘතුවිය ඇතුල් වී තිබුනා. 


පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් මට්ටම දෙගුණ වුවහොත් කුමක් සිදු වේවිද?

Report Page