EMY

EMY




එමී (112 -කොටස) 2021/10/17



×









එමී (112 -කොටස) 2021/10/17

චමෝද් අ‍යියගේ තාත්තාට වැදපු මං චමෝද් අයියාගේ කාමරේට ආවේ.


"මං යන්නම් චමෝද් අයියේ" මං හෙමිහිට කිව්වේ.


"පරිස්සමට යන්ඩ. ආයෙමත් දවසක ආවොත් යන්ඩ නොදී නතර කර ගන්නවා" චමෝද් අයියා දඟකාර හඬකින් කිව්වේ.


"පරිස්සමට ඉන්න" එහෙම කියපු මං කාමරෙන් එළියට යන්න හැරුණේ.


"සුදු කිකිළි, ගියපු ගමන් මට කෝල් එකක් දෙන්ඩ මං නංගිගේ ෆෝන් එකට සිම් එක දාගන්නම්" චමෝද් අයියා ඇස් එහෙට මෙහෙට කරකව කරකවා, අතින් කෝල් ගන්නවා වගේ ඉඟි කරලා කියද්දී හා කියන්න වගේ ඔලුව වනපු මං කාමරෙන් එළියට ආවේ.


"අපි යන්නම්" චමෝද් අයියගේ අම්මට, තාත්තට පවුලේ නෑදෑයෝ දිහා බලලා කියපු ආච්චි අම්මා මං එක්ක ඉස්තෝප්පුවට ආවේ.


"අපි යන්නම් නංගි" චමෝද් අ‍යියගේ නංගි දිහා බලලා කියපු මං ආච්චි අම්මත් එක්ක ඇවිත් වෑන් එකට ගොඩ වුණේ.


"හොඳ ගුණ යහපත් මිනිස්සු" ඩ්‍රයිවර් අංකල් එහෙම කියන ගමන් වෑන් එක ස්ටාර්ට් කලේ. ඩ්‍රයිවර් අංකල් එහෙම කියන්න ඇත්තේ චමෝද් අයියගේ අම්මා ඩ්‍රයිවර් අංකල්ට කෑම බීම ටික අඩු නැතුව දීපු නිසා වෙන්න ඇති.


"ඒකනම් ඇත්ත" ආච්චි අම්මා එහෙම කියද්දී ඩ්‍රයිවර් අංකල් වෑන් එක ගේට්ටුවෙන් එළියට ගත්තේ චමෝද් අයියාගේ නංගියි, අම්මායි අපිට අත වනද්දී.


"යනකොට දෙක තුන වේවි එරික් ළමයගේ ගෙදර යන්න වෙලාවක් නෑ සිඟිතියෝ. වෙන දවසක එමු" ආච්චි අම්මා මං දිහා බලලා කිව්වේ. ඔව් කියන්න වගේ ඔළුව වනපු මං වීදුරුවෙන් එළිය බලාගත්තේ.


"ෆෝන් එක ගේන්න මතක් වුණේ නෑ. ආනන්දට කෝල් එකක් දෙන්න හිටියේ රෑ වෙලා" ආච්චි අම්මා හෙමිහිට කියන හඩ ඇහෙනවා මට. මොකුත් කිව්වේ නැති මං වීදුරුවට කම්මුලක් තියාගෙන ඇස් පියාගත්තේ..


❤️



"නැගිටපන් සිඟිති" නින්දේ උන්න මං ඇරුණේ ආච්චි අම්මගේ කට හඬට. වෑන් එක ගේට්ටුව ළඟ නතර කරලා. නිදිමත බේරෙන ඇස් පිහද පිහදා මං මං වෑන් එකෙන් බහිද්දී ආච්චි අම්මා ඩ්‍රයිවර් අංකල්ට සල්ලි දුන්නේ.


"ගාන හරි නේද ළමයෝ?" එහෙම අහන ආච්චි අම්මා වෑන් එකෙන් බැස්සේ.


"හරි හරි" එහෙම කියපු ඩ්‍රයිවර් අංකල් වෑන් එක අරගෙන ඈතට යද්දී ආච්චි අම්මයි මමයි ඉස්තෝප්පුවට ආවේ. හෑන්ඩ් බෑග් එකේ තිබුණු යතුර අතට ගත්තු ආච්චි අම්මා දොර ඇරියේ නිදිමතයි කියන ගමන්.


"ඇඟ පත හෝදගෙන නිදාගන්නකොට තුන පහු වේවි" එහෙම කියාගෙන ආච්චි අම්මා කාමරේට යද්දී මං පඩිපෙලේ උඩට ආවේ. කාමරේට ආපු මං ෆෝන් එක අතට ගත්තේ ඇඳුමවත් මාරු කලේ නැතුව. ෆෝන් එක ඔන් කරගෙනම මං ඇදෙන් වාඩි වුණේ. එයාගෙන් මිස් කෝල් ඇලට්, වට්සැප් මිස් කෝල් ගොඩායි. මං කෝ කියලා එයා බයවෙන්නැති. මං බයෙන් වගේ එයාගේ නම්බර් එක ඩයල් කරලා ෆෝන් එක කනේ තියාගත්තේ.


"එමී කොහෙද තමුසේ හිටියේ ආ?" කෝල් එක ආන්සර් කරපු එයා සද්දෙට ඇහුවේ. එයාට හොඳටම කේන්ති ගිහින්. එයා හුස්ම අල්ලපු හඬට මං දැන ගත්තා ඒක.


"අ යි යා මං මං" කතා කරගන්න බෑ බයටම.


"කොහෙද ගියේ එමී. මං තමුසෙට කෝල් කීයක් අරගෙන තියෙනවද බලනවා. ගෙදර ෆෝන් එකට ගත්තා ඒ ආන්සර් කරන්නේ නෑ, ආච්චි අම්මගේ ෆෝන් එකට ගත්තා ඒ අන්සර් කරන්නේ නෑ. තමුසේ ෆෝන් එක ඕෆ් කරන් මොන මගුලකද ගියේ?" එයා හෙමිහිට වුණත් සැරෙන් වගේ ඇහුවේ.කේන්තියට ඒ කම්මුල් වෙවුලනවා ඇති. කන්පෙති රතු වෙලා ඇති. දත්කූරු හපනවා ඇති. සත්තයි මාව ගැහෙනවා බයටම.


"අයියා මං මං ච මෝ ද් අයියා බලන්න ගියා" මං අමාරුවෙන් වචන ගලපලා කිව්වේ.


"ඌ ඇක්සිඩන්ට් වුණා කිව්වා ගමන් ඔක්කොම දාලා දිව්වද ආ?" එයා ඔච්චමට වගේ හිනාවෙලා ඇහුවේ.


"මං ඔයාට කෝල් ගත්තා ඔයා ආන්සර් කලේ නෑනේ" මං බයෙන් වගේ කිව්වේ.


"මං ෆෝන් එක අතේ තියාගෙන නෙමෙයි හිටියේ. තමුසෙට මැසේජ් එකක් දාලා යන්ඩ තිබුණේ නැද්ද, ආ එමී?" එයා සද්දෙට ඇහුවේ. මං නිහඬව උන්නේ වැරැද්ද මගේ නිසා.


"ඇයි මැසේජ් කරලා යන්ඩද කියලා ඇහුවම මං යන්ඩ එපා කියාවි කියලා හිතුවද ආ එමී" එයා හෙමිහිට ඇහුවේ. එයා මාව දන්නවා. මේ හිත දන්නවා. මගේ හැගීම් දන්නවා.


"තමුසෙට තිබුණා මට මැසේජ් එකක් දාලා යන්ඩ. යන්ඩද කියලා මගෙන් අහන්ඩ. තමුසෙට කිසිම අයිතියක් නෑ හිතුමතේ තීරණ ගන්ඩ. අනික මේ රෑ" එයා සද්දෙට හුස්ම අල්ලා අල්ලා කිව්වේ.


"මං තමුසෙට කියන දේවල් කලේ අනිත් පැත්ත ගහලා වතුර වක්කරනවා වගේද එමී. මං කියන ඒවා තමුසෙගේ ඔළුවට වැටෙන්නම නැද්ද. තමුසේ පොඩී පොඩී කියලා මං හැම වෙලාවෙම හිතනවා. මං මට වඩා තමුසේ ගැන වද වෙන්නේ. තමුසේ මගේ ජීවිතේට ආපු දවසේ ඉදලා මං මාව අමතක කලා එමී. හැමදේම කලේ තමුසේ වෙනුවෙන්. තමුසේ ඒ ලෙවෙල් කරන පොඩි කෙල්ලෙක් නිසා ඕන නැති දේවල් ඔළුවට දැම්මේ නෑ. තමුසේ අවුලන දේවල් කලේ නෑ. තමුසේ මේ රෑ අරූ බලන්ඩ ගියාම ඌ තමුසේ ගැන මොන විදියට හිතාවිද කියලා හිතන්ඩ තරම් මොලයක් නැද්ද එමී" එයා එක පෙළට කියාගෙන යනවා.


"තමුසෙගේ ඔළුවට නැති මගුල් දාන්ඩ මට බෑ. තමුසෙගේ වයසට දරාගන්ඩ පුළුවන් සීමාවක් තියෙනවා. අනික පුංචි කෙල්ලෙක්. තමුසෙට ඕන තමුසෙගේ ඔලුව කන එකෙක්ද. හැම කුනුහර්පයක්ම කරන එකෙක්ද. ආ එමී?" එයා ටික වෙලාවක් නිහඬව ඉදලා ආයේ කතාව පටන් ගත්තේ.


"මාත් හැමදේම හොඳට දන්නවා. දරාගෙන ඉන්නේ තමුසේ නිසා. තමුසේ මගේ නිසා. මගේ පණ ටික නිසා. මං බයයි තමුසේ නාස්ති කරන්ඩ. මගේ හැඟීම් හංගන් තමුසේ පරිස්සන් කරන්නේ ඇයි කියලා එක තප්පරයක් හිතුවද එමී. මේ ඇති හොඳටම. මං තමුසෙගේ ඔළුවට හැමදේම දාන්නම්. තමුසෙට කරන්ඩ පුළුවන් හැමදේම කරන්නම්. තමුසේ අවුස්සලා හැඟීම් ඔක්කොම එළියට දාන්නම්. එතකොටවත් තමුසේ මං කියන විදියට ඉදීවි නේද?" එයා ඒ ටිකනම් හෙමිහිට කිව්වේ.


"මේ හොඳටම ඇති එමී. හොඳටම ඇති. මට බෑ තවත් තමුසේ ඉවසන්ඩ. තමුසේ මේ දැන්ම චමෝද්ට කෝල් එකක් දීලා කියනවා තමුසේ මගේ කියලා..


💚



Comment එකක් දාන් යන්නෝ.... 

375 Comments 

 Comment

Send a Message





එමී (113 -කොටස) 2021/10/18



×









එමී (113 -කොටස) 2021/10/18

"මේ හොඳටම ඇති එමී. හොඳටම ඇති. මට බෑ තවත් තමුසේ ඉවසන්ඩ. තමුසේ මේ දැන්ම චමෝද්ට කෝල් එකක් දීලා කියනවා තමුසේ මගේ කියලා" කිව්වා නෙවෙයි එයා මට අන කලා.


"මං තමුසෙට ආයේ කියන්නෑ. තමුසේ මේ දැන්ම ඌට කෝල් කරනවා" එහෙම කියපු එයා කෝල් එක කට් කලේ.


"මේ දැන්ම චමෝද්ට කෝල් එකක් අරගෙන කියනවා තමුසේ මගේ කියලා" එහෙම කියපු එයා කෝල් එක කට් කළේ. මාව වෙවුලනවා ඇස්වලින් කඳුළු වැටෙනවා. මං එයාගේ කියලා චමෝද් අයියාට කියන්න බය නෑ මට.


ඒත් චමෝද් අයියා අසනීපෙන්. කොහොමද මං කියන්නේ මං එයාගේ කියලා. කඳුළු පිහදාගත්තු මං කෙල පොදක් ගිලලා චමෝද් අයියගේ නම්බර් එක ඩයල් කරලා ෆෝන් එක කනේ තියා ගත්තේ. චමෝද් අයියගේ ෆෝන් එක රිංග්ස් යනවා. කිව්වා වගේම චමෝද් අයියා, නංගිගේ ෆෝන් එකට සිම් එක දාගෙනද කොහෙද. දෙපාරක් රිංග්ස් යනකොටම චමෝද් අයියා කෝල් එක ආන්සර් කළේ ෆෝන් එක අතේ තියාගෙන, මගෙන් කෝල් එකක් එනකල් බලාගෙන හිටපු වගේ.


"නිදාගත්තේ නැතුව බලාගෙන හිටියා සිගිත්තා කෝල් එකක් දෙනකල්" කෝල් එක ආන්සවර් කරපු චමෝද් අයියා පුරුදු හිනාවෙන් කිව්වේ. ඒ කටහඬ ඇහෙද්දී, චමෝද් අයියා අසනීපෙන් කියලා මතක් වෙද්දී කොහොමද කියන්නේ මං, එයාගෙ කියලා. ඒකමයි මං නිහඬවම උන්නේ.


"දැන්ද සිගිත්තෝ ගෙදර ගියේ?" චමෝද් අයියා ආයෙමත් අහනවා.


"ඔව්" මං හෙමිහිට කිව්වේ.


"සිගිත්තා අවුලෙන්. මොකද බං මේ?" චමෝද් අයියා පුරුදු ලෙංගතු හඩින් අහද්දී අමාරුවෙන් හුස්මක් අරන් මං කතා කලේ.


"චමෝද් අයියේ මට දෙයක් කියන්න තියෙනවා" මං හෙමිහිට කිව්වේ.


"කියපන් කෙල්ලේ අහගෙන ඉන්නම් එලිවෙනකල්" චමෝද් සද්දෙට කියනවා.


"චමෝද් අයියේ මං වෙන කෙනෙක්ට ආදරේ කරනවා. එයා තමයි මගේ හැමදේම. මං ගිය දවස් ටිකේ චමෝද් අයියට ඒක හංගලා කලේ ලොකු වැරැද්දක්" මං හෙමිහිට කියාගෙන ගියේ.


"එයා මට ගොඩාක් ආදරෙයි චමෝද් අයියේ. එයාගේ ජීවිතේ මම..."


"ඉතින් බං ඒකට ඔච්චර අවුල් ගන්න ඕන නෑනෙ. කොල්ලෙක් ඉන්නවද කියලා මම ඔයාගෙන් ඇහුවෙත් නෑනේ" චමෝද් අයියා වෙනසක් නැතුව හිනාවෙලා කිව්වේ. පුදුමයි මටම.


"චමෝද් අයියේ මං එයාට හැමදේම කියද්දී එයා ගොඩාක් ඉවසීමෙන් අහගෙන හිටියා. මං ඔයාට කතා කරනවා කියද්දී, මං ඔයාට කැමතියි කියද්දී එයා හැමදේම ඉවසීමෙන් අහගෙන හිටියා. හස්බන්ඩ්ට යාළුවගේ තැන ගන්න බෑ. යාළුවට හස්බන්ගෙ තැන ගන්න බෑ කියලා එයා කියනවා" මං හෙමිහිට කිව්වේ. මං ආදරේ කරන කෙනා නවිරු අයියා කියලා නොකිව්වේ එරික් අංකල් දැනන් ප්‍රශ්නයක් වෙයි කියලා මං බයවුණා. සුනීතා ඇන්ටි දැනගෙන මෙහේ දුවගෙන ඇවිත් ආච්චි අම්මටත් බැනලා මාව නොමරා මරන හැටි මට මැවි මැවී පෙණුනා.


"ඌ නම් මාර කොල්ලෙක් සිගිත්තෝ. මං ඒ කොල්ලා වුණා නම් මට නම් ඉවසන්ඩ බැරි වේවි ඔයා වෙන කොල්ලෙක් එක්ක කතා කරන එක. එයා තමයි ඔයාට ගැලපෙනම කෙනා. ඌ සුපිරිම කොල්ලෙක්. දවසක එයාව මට මුණ ගස්සනවා ගස්සනවද?" චමෝද් අයියා පුරුදු හිනාවෙන්මයි ඇහුවේ. චමෝද් අයියගේ වචනවලට හීනියටවත් පිරිලා තිබුණේ නෑ කහටක්.


"මං අනිවාර්යයෙන්ම මුණ ගස්සන්නම්" මං හිනාවෙලා කිව්වේ.


"කොල්ලා බලාගෙන ඇති සිගිත්‍තා කතා කරනකල්. මට යාළුකම විතරක් දීලා කොල්ලාට පැලෙන්ඩ ආදරේ කරපන්. ඔන්න අද ඉදලා උඹ මගේ බෙස්ටා" එහෙම කියපු චමෝද් අයියා මං බුදුසරණයි කියන්නත් කලින් කෝල් එක කට් කලේ. චමෝද් අයියා ගැන හිතේ තිබුණ පැහැදීම වැඩි වුණා මිස අඩු වුණේ නෑ හීනියටවත්. චමෝද් අයියා නරක නෑ. ඉරිසියාව හිතේ ගෑවිලාවත් නෑ. ඒකනේ හිනාවෙලා හැමදේම අහගෙන හිටියේ. චමෝද් අයියා හැමදාම යාළුවා. එතනින් එහා දෙයක් හිතේ නෑ. හුස්මකින් හැමදේම අවසන් කරපු මං එයාගේ නම්බර් එක ඩයල් කරන්න හදලා ආයේ කට් කලේ එයා ටිකක් නිවෙනකල් ඉදලා කතා කරන්න හිතාගෙන.


ෆෝන් එක ඇඳෙන් තියපු මං බාත්රූම් එකට ගිහින් ඇඟ සෝදගෙන ඇවිත් නයිඩ්‍රස් එකක් ඇදන්, ලයිට් එක ඕෆ් කරලා ඇඳෙන් හාන්සි වෙලා, බෙඩ්ෂීට් එක පොරවගෙන ඒ සී එක ඔන් කරලා එයාගේ නම්බර් එක ඩයල් කලේ. මගේ ඕඩියෝ කෝල් එක කරපු එයා වීඩියෝ කෝල් එකක් ගත්තේ. ටේබල් ලෑම්ප් එක ඔන් කරපු මං කෝල් එක ආන්සර් කලේ.


කහපාට රෙද්දේ පාට පාට කොටු, ත්‍රිකෝණ හැඩ තියෙන රවුන් කර කපපු, අත පහලටම කපපු සැහැල්ලු ටී ෂර්ට් එකක් ඇදන් උන්න එයා, ඇඳේ හාන්සි වෙලා අතක් ඔළුවේ යටින් තියාගෙන අනෙක් අතින් ෆෝන් එක අල්ලාගෙන මං දිහා බලාගෙන ඉන්නවා.


"අයියා මං චමෝද් අයියට කිව්වා මං වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා" මං හෙමිහිට කිව්වේ. එයා නෙවෙයි ම්හූ කිව්වේ.


"මං නරකයි නේද අයියා. මට ආදරේ කරන්න කෙනෙක් ඉද්දී මං වෙන කොල්ලෙක් බලන්න ගියා. වෙන කොල්ලෙක් එක්ක.."


"ඒ හැමදේම ඉවරයි. ආයේ ඒ වැරැද්ද වෙන්ඩ බෑ" මං කියන්න හදපු ටිකවත් කියන්න නොදී එයා සද්දෙට කිව්වේ.


"ආයේ කවදාවත් එහෙම කරන්නෑ. මට ඕන ඔයා විතරයි" මං හෙමිහිට කිව්වේ.


"දැන් නිදාගන්නවා. රෑ වෙලා. අනික තමුසේ හෙට ක්ලාස්නේ" එයා ඇස් යැව්වේ ඔරලෝසුවටද කොහෙද.


"අනේ මට කතා කරන්ඩ ඕන" මං දුකින් වගේ කිව්වේ.


"තමුසෙට මට කතා කරන්ඩ ඕන කමක් තිබුණනම්.." එයා කියන්න හදපු ටික අතරමග නතර කරලා අහක බලාගත්තේ. මං දන්නවා එයා කියන්න හැදුවේ මං චමෝද් අයියා බලන්න ගියපු ගැනද කොහෙද. එයා හරි. මට එයා එක්ක කතා කරන්න ඕන කමක් තිබුණනම් එයාව අමතක කරලා චමෝද් අයියා බලන්න යාවිද. මං නිහඬවම උන්නේ වරද මගේ නිසා.


"අපි නිදාගමු එමී. මං හෙට ගන්නම්" ඈනුමක් යවලා කියපු එයා ලයිට් එක ඕෆ් කලේ.


"මට හෙට කතා කරනවා නේද?" මොකක්දෝ අසරණකමක් හිතට දැනෙද්දී මං හෙමිහිට ඇහුවේ.


"ම්ම්.. ගන්නම්. පරිස්සමට ඉන්ඩ" එයා වෙනදා වගේ ආදරෙන් නෙවෙයි කිව්වේ ඒ වචන ටික.


"බුදුසරණයි අයියා" මං හෙමිහිට කිව්වේ ඇඩෙන්න වගේ එද්දී. හුස්මක් දාපු එයා කෝල් එක කට් කලේ. ෆෝන් එක ඇඳේ කොනකින් තියපු මං බිත්තිය පැත්තට ගුලිවුණේ.


වෙනදා හිතට නොදැනුනු සැනසිල්ලක් හිතට දැනෙනවා මගේ. ඒ චමෝද් අයියට ඇත්ත කියපු නිසාද කොහෙද. මං අයිතියි එයාටම විතරයි. චමෝද් අයියට වචනෙකින් හරි බලාපොරොත්තු දීලා මං කළේ ලොකු වැරැද්දක් කියලා දැන් දැන් මගේ හිත කියනවා. ආදරේ නම් මට බැරි වුණේ ඇයි එයා එනකල් බලාගෙන ඉන්න. එයා වෙනුවෙන් ඉවසන්න. ආච්චි අම්මා කියනවා වගේ මට එක හිතක් නැද්ද. දාහක් ජාති හිතට එනවා මගේ. නිදිමතයි. මහන්සි මට. අමාරුවෙන් හිත තද කරගෙන මං ඇස් පියාගත්තේ..


❤️



උදේ ඇහැරුණු මං බාත්රූම් එකට ගිහින් මූණ සෝදගෙන ඇවිත් ක්ලාස් යන්න ලෑස්ති වුණේ. නිදිමතට ඇස් කෙවෙනිවල කටු අනිනවා වගේ. ක්ලාස් නොගිහින් නිදාගන්නමයි මට හිත. ඈනුමක් යවපු මං එයාගේ නම්බර් එක ඩයල් කරලා ෆෝන් එක කනේ තියා ගත්තේ. ෆෝන් එක රිංග්ස් ගියත් කෝල් ආන්සවර් කළේ නෑ එයා. එයා නිදි ඇති. ඒකමයි මං ආයේ කෝල් ගත්තේ නැත්තේ.


"අයියා මං ක්ලාස් යනවා" මැසේජ් එකක් ටයිප් කරලා සෙන්ඩ් කරපු මං පොත් ටික බෑග් එකට දාගෙන පහලට ආවේ. සාලේ වාඩි වෙලා උන්නු ආච්චි අම්මා කම්මුලට අතක් ගහගෙන ලොකු කල්පනාවක්.


"ආච්චි අම්මේ" අවසාන පඩියට ආපු මං කතා කළත් ඇහුණේ නෑ ආච්චි අම්මට. පොත් බෑග් එක ස්ටූල් එක උඩින් තියපු මං ආච්චි අම්මගේ උරහිසට අත තියලා කතා කරද්දී ආච්චි අම්මා ගැස්සිලා වගේ මං දිහා බැලුවේ. අනේ ඒ ඇස්වල කඳුළු.


"අනේ ඇයි ආච්චි අම්මේ මේ?" මං බයවෙලා වගේ අහන ගමන් ආච්චි අම්මා ළඟින් වාඩි වුණේ.


"උඹ නිසා මගේ හිතට නිවනක් නෑ පුතේ. උඹේ අම්මයි, තාත්තයි දෙන්නා හිටියා නම් උඹ කවදාවත් මෙහෙම වෙන්නෑ. මං දන්නවා කවදාවත් මට උඹේ අම්මගේ තැන ගන්න බෑ කියලා" කදුළු පිහදාන ආච්චි අම්මා හෙමිහිට කිව්වේ.


"අනේ ඇයි ආච්චි අම්මේ මේ?" මොනවා ගැනද කියන්නේ කියලා හිත ගන්න බැරුව යද්දී මං ඇස් දෙක පුංචි කරන් ඇහුවේ.


"උඹ නරිදු ළමයා එක්ක පිළිවෙලක් වෙන්න තියාගෙන තව ළමයෙක් බලන්න ගියා. ඒ ගෙදර මිනිස්සු මහ ඉහළින් උඹ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. උඹ ලොකු වැරැද්දක් පුතේ කරන්නේ. කෙල්ලෙක් වුණාම එක හිතක් තියෙන්න ඕන. අර ළමයා නරක නෑ තමයි. ඒත් උඹට ගැලපෙනම කෙනා නරිදු ළමයා" ආච්චි අම්මා හැට්ටේ උස් කරලා කදුළු පිහදාන ගමන් කිව්වේ.


"අනේ ආච්චි අම්මේ මං චමෝද් අයියට කිව්වා මට කෙනෙක් ඉන්නවා කියලා. ඇත්තමයි මේ බොරු නෙවෙයි. එතකොට චමෝද් අයියා කිව්වා එයා හැමදාම මගේ යාළුවා කියලා. මටත් ඕන නවිරු අයියා විතරයි. චමෝද් අයියා නෙවෙයි ආච්චි අම්මේ" මං කිව්වේ ඇත්තටමයි. කඳුළු පිහ දාගත්තු ආච්චි අම්මා හුස්මක් දාලා ඔලුව අතගාලා කුස්සියට ගියේ බිම බලාගෙන. ආච්චි අම්මට මං ගැන බය ඇති.


ආච්චි අම්මා පස්සෙන්ම කුස්සියට ආපු මං ආච්චි අම්මගේ බෙල්ල බදාගෙන කම්මුලක් ඉම්ඹේ ඉස්සර අම්මා ඉඹිනවා වගේ.


"කෝලන් නොකර අහකට වෙයන් සිගිතියෝ පරක්කු වුණා. උඹට බත් ටිකක් බෙදන්න ඕන" එහෙම කියපු ආච්චි අම්මා හිනා වෙනවා. බොරුවට මට සැර දැම්මට අකමැතියි වගේ පෙන්නුවට ආච්චි අම්මා මගේ කෝලම්වලට කැමතියි කියලා මං දන්නවා.


"බත් එපා කිරි එකක් ඕන" එහෙම කියපු මං ආච්චි අම්මගෙන් ඈතට වුණේ.


"දොළහා වෙනකල් බඩගින්නේ ඉන්න බෑ. බත් කටක් කාලම යමු" එහෙම කියපු ආච්චි අම්මා බත් ටිකක් බෙදලා බලෙන්මයි බත් කටක් දෙකක් කැව්වේ. වතුර ටිකක් බීපු මං වීදුරුව පැන්ට්‍රි එක උඩින් තිව්වේ.


"ආච්චි අම්මේ වැඩිපුර රුපියල් දෙසීයක් ඕන. කටු කොල බන්ඩලයක් ගන්න ඕන" එහෙම කියපු මං සාලෙට ආවේ.


"ඇයි මං ඊයේ දීපු සල්ලි වලින් කීයක් වත් ඉතුරු වුණේ නැද්ද?" ආච්චි අම්මා එහෙම අහන ගමන් මං පස්සෙන්ම සාලෙට ආවේ.


"රුපියල් පනහක් ඉතුරුයි" මං කට ඇද කරන් කිව්වේ.


"එහෙනම් ඒකට තව එකසිය පනහක් එක්ක උඹට බස් එකේ යන්න එන්න ඕන තරමට සල්ලි දුන්නම ඇති නේද" එහෙම අහපු ආච්චි අම්මා රෙද්දක් පිළිවෙල කර කර කාමරේ පැත්තට යද්දී මං බෑග් එකත් අරගෙන ඉස්තෝප්පුව ආවේ. උදේම රෝස මල්වල පැණි බොන්න පාට පාට සමනල්ලු ඇවිත්. ගස්වලින් පහළට වැටෙන පිණිබිංදු හිරු එළියට දිලිසෙනවා. මං ආසාවෙන් වගේ ගාර්ඩ්න් එක දිහා බලාගෙන උන්නේ.


"මේ සල්ලි, වැඩිපුර සීයක් තියෙනවා. නිකරුනේ නාස්ති කරනවා එහෙම නෙවෙයි" ආච්චි අම්මා හීනියට සැර දාන ගමන් සල්ලි මං අතට දිගු කළේ. මං හිනාවෙලා සල්ලි ටික අරගෙන බෑග් එකේ පිට සාක්කුවට ඔබාගෙන ආච්චි අම්මට වැදලා පාරට යන්න හැරුනේ.


"හිටපන් මං උඹව පාරට දාලා එන්නම්" ගුලියක් වෙන්න බැදගෙන උන්නු කොණ්ඩේ රදවගෙන උන්නු පනාව පුටුවකට වීසි කරන ගමන් ආච්චි අම්මා සද්දෙට කිව්වේ.


"ආච්චි අම්මා එන්න ඕන නෑ. දැන් අර බයික් කොල්ලා එන්නේ නෑ. අනික අද මලීෂා අක්කත් නිවාඩුනේ" එහෙම කියපු මං ගේට්ටුව ඇරගෙන පාරට ආවේ..


❤️



පුටුදු විදියටම බස් එකට ගොඩ වෙලා මං යතිකා එක්ක ක්ලාස් එකට ආවේ. ක්ලාස් එක ඉවර වෙද්දි දොළහයි කාලයි. යතිකාත් එක්ක සුපර් මාකර්ට් එකට ගියපු මං කටු කොල බන්ඩලේකුත් අරගෙන ඇවිත් බස් එකට ගොඩ වුණේ ගෙදර යන්න.


"මොකෝ උඹ ඊයේ රෑ නිදා ගත්තෙ නැද්ද?" මං එක්කම සීට් එකකින් වාඩි වෙන යාතිකා හිනා වෙලා ඇහුවේ. ඒකි දකින්න ඇති මගේ ඇස් රතු වෙලා තියෙන තරම්.


"මං චමෝද් අයියා බලන්න ගියා" මං බෑග් එක උකුලේ තියා ගන්න ගමන් කිව්වේ.


"අප්පටසිරි ආච්චි අම්මත් එක්කද?" යතිකා ඇස් ලොකු කරන් ඇහුවේ.


"ඔව් ආච්චි අම්මත් එක්ක" මං හිනා වෙලා කිව්වේ.


"ඉතින් චමෝද් අයියගේ අම්මා, තාත්තා, නංගි උඹව ආදරෙන් පිළිගත්තද?" යතිකා හරි උනන්දුවෙන් ඇහුවේ.


"එයාලා හැමෝම හරි හොදයි. ඒත් යතිකා මට උඹට දෙයක් කියන්න තියෙනවා" මං සීරියස් හඬකින් කියද්දී ඒකි මොකක්ද කියලා අහන්න වගේ මං දිහා බැලුවේ..


💚



Comment එකක් දාන් යන්නෝ.... 

293 Comments 

 Comment

Send a Message








Report Page