D.D.
පෙර කොටස
වටින ම දවසක්...
(26 කොටස)
නැවතුණේ ආයේ දුමේෂිට ටිකක් එහාහින්. දුමේෂි වතුර එකත් අරන් එලියට ම දිවුවේ කට හෝදගන්න ද කොහෙ ද.
" කොල්ලෝ, එක්කෝ උඹ අද නිවාඩු දාපන්.....
...................................................................
.....දැන් කෙල්ලව ගිහින් දාන්නත් කෙනෙක් නෑනේ. උඹ අද පලයන්..."
මුදලෑලි කිවුව එකට මං උඩ ගියා කිවුවොත් හරියට ම හරි. මෙච්චර වෙලා එපා ගාපු මිනිහා දැන් මොකෝ එක පාරට කැමති වුණේ?
කමක් නෑ. වෙලාවේ හැටියට ඒක වටිනවා. ඒ මදැයි.
" thanks දුලේන්...."
දුමේෂි වීදුරුව මට දෙන ගමන් කිවුවේ අතේ තිබ්බ ලේන්සුවෙන් කට පිහ දාගන්න ගමන්.
📱 ".......වීදුරුව දීලා එන්නම්...."
මං මැසේජ් එකක් කොටලා එයාට පෙන්නලා වීදුරුවත් අරන් ආයේ කුස්සියට ගියා.
"ඒ, කවු ද බං ඒ චොක්ලට් කැටේ?"
අසේලයා මං වීදුරුව තිබ්බ තැනින් තියද්දි මගෙන් ඇහුවා.
📱 ".....ඊයේ උඹ මට මඟුල් කපුකමක් කරන්න හදපු කෙල්ල ඒ. දුමේෂි...."
මං මැසේජ් එක පෙන්නුවා.
" ආවුස්සප්පා.... කෙල්ල අක්කෙක් කිවුවට එහෙම පේන්නේ නෑනේ බං. කීයක් වැඩිමල් ද බං උඹට?".
වටපිට බලන ගමන් ඌ ඇහුවේ. මං ඇඟිලි 2ක් පෙන්නුවා.
" දෙකක්? පුදුමයිනේ... ඒ, ඇත්තට ම උඹ ඒකි එක්ක සෙට් නැද්ද බං?"
අසේල මගෙන් ඇහුවා. මං නෑ කියන්න ඔලුව වැනුවා.
" එහෙනම් මට සෙට් කරලා දීපන්කෝ ඒ කෑල්ල.... මාරයි බං ඒකි..."
මේකා එහෙම කතාවක් කිවුවේ නැද්ද. යකෝ.... මරාගෙන මැරෙන්න හිතුණා මට. පලයන් කියලා අතින් සංඥාවක් දාලා මං කුස්සියෙන් එන්න ගියේ.
" ඒ, සිරාවට ම ඇහුවේ බං. මං එහෙම කෙල්ලෝ අමාරුවේ දාන එකෙක් කියල ද හිතුවේ?"
ඌ කිවුව එකට ආයේ මං නැවතුණා. නැවතිලා ඌ ගාවට ගිහින් මං හිටගෙන උගේ දිහා බැලුවා.
📱".....උඹට පේනවට වඩා මෙතන කේස් එකක් තියෙනවා. මැරුම් කන්න ආසාවක් තියේ නම් සෙට් වෙයන්....."
එක පාරට ම මට ආකිව මතක් වුණ හින්දා මැසේජ් එකක් කොටලා ඌට පෙන්නුවා මං. මූට නම් මං යාළු නොවුණත් දුමේෂිව සෙට් කරන්නේ නෑ....
කොහොමත් මටවත් දුමේෂි එක්ක යාලුවෙන්න ඕනකම තිබ්බට මේ ආකි කවු ද කියන එක මටත් හෙන ම ප්‍රශ්නයක් විසඳගන්න තියෙන. කොහෙ ද අහන්න කෙනෙක් ඉන්නවා කියලද....
" ඒ මොකෝ බං?"
ඌ ඒක කියවලා ඇහුවෙත් පුදුම වෙලා.
📱 "......සීන් එක කියන්න තරම් පැහැදිලි නෑ. හොයාගෙන ම කියන්නම්. දුමේෂි ගැන අදහස් තියේ නම් අතෑරගනින්. ඒක උඹට ම හොඳයි...
මං යන්නම්. අද වැඩට එන්නේ නෑ මං. නිවාඩුවක් දැම්මා. අනික් එවුන්ටත් කියහන්........"
මං මැසේජ් එක පෙන්නලා එතනින් ආවා. අසේලයා මං එන්න යද්දි මුකුත් කියන්න හැදුවා. ඒත් කිවුවේ නෑ.
" යං නේ ද දුලේන්?"
දුමේෂි ඇහුවා. මං හා කියන්න ඔලුව වැනුව හින්දා එයා ස්කූටර් එක පැත්තට කිවුවා.
මං බැලුවේ මුදලෑලි දිහා. මෙන්න මෙයා මට යන්න කියලා අතින් සංඥාවක් දැම්මා. මාර මිනිහෙක්නේ. ඉස්සෙල්ලා එකෙක්. දැන් තව එකෙක් වගේ. අර සින්දුවකුත් මතක් වුණා.
සිනාවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා.....
" දැන් කොහෙ ද යන්නේ දුලේන්?"
දුමේෂි මගෙන් ඇහුවේ. පෝඩ්ඩක් විතර කල්පනා කරලා මං මැසේජ් එකක් කෙටුවා.
📱"......මෙච්චර වෙලා මං කැමති තැන්වලනේ ගියේ. දැන් ඔයා කැමති තැනකට යං. කොහෙ ද යන්නේ?......"
මං මැසේජ් එක පෙන්නුවා. ඒක කියවලා දුමේෂි ඒ පාර තොල් දෙකත් උල් කරගෙන ඒ පාර කල්පනා කරනවා. So sweet අනේ...
" එහෙම කියලත් තැනක් නෑ දුලේන්... ඒත්..."
එයා කියන්න ආපු එක නැවැත්තුවා. මං ඔලුවෙන් ඇයි කියලා ඇහුවා.
" වැව රවුම පැත්තට මං කාලෙකින් ගියේ නෑ. මං ඒක ගාව නැවතිලා ඉඳලා නෑ. එතනට යමු ද?"
දුමේෂි ඇහුවේ ඔලුව පාත් කරන් ඇස්වලින් මං දිහා බලාගෙන. මං හා කියන්න ඔලුව වැනුවා ම හීනියට හිනා වුණේ නැද්ද අර නළ දත පේන්න ම....
එයා ම ස්කූටර් එකට නැඟලා ස්ටාර්ට් කරපු හින්දා ඉස්සෙල්ලා වගේ ම මං පිටිපස්සෙන් නැංඟා.
හුලං පාර කපාගෙන ම ස්කූටර් එක පාර දිගේ දිගට ම ඇදිලා ගියා. ටික වෙලාවක් යනකම් ම ඇහුණේ වට පිටාවෙන් ඇහුණ වාහනවල සද්දේ.
ටික වෙලාවකින් ඈතින් ම පේන්න පටන් ගත්තේ වැව රවුම. ඔව්... ඈතට වුණාට ලස්සනට පෙනුනා එතන.
ස්කූටර් එක නැවතුණේ වැව රවුමේ අයිනක. එතන පොඩි බංකුවකුත් තිබ්බා.
" බහින්න...."
දුමේෂි කිවුව හින්දා මං බැස්සා. පස්සේ ස්කූටර් එක පාර්ක් කරලා එයත් ආවා.
" අතන්ට යං..."
එයා ඉස්සරහ තිබ්බ බංකුව පෙන්නුවා. මං ඔලුව වැනුවා ම අපි දෙන්න ම ගිහින් ඒකෙන් වාඩිවුණා.
සුළං රැලිවල තාලෙට ම වැවේ රැළි ගහන්නේ... බලන්නත් ලස්සනයි ඒ වෙලාවේ එතන....
කහ පාටට හුරු තැඹිලි පාටට හිරු එලිය යාන්තමට වැටුණ පරිසරයේ සීතලයක් දැනෙන නොදැනෙන ගාණට සුලං රැලි ගත ස්පර්ශ කරගෙන ගියා. ගත වගේ ම හිතත් නිවිලා යන භාවනාවක් වගේ ඒක දිහා බලන් ඉන්න එකත්.
" ලස්සනයි නේ ද දුලේන්?"
දුමේෂි කිවුවේ වැව දිහා බලාගෙන ම. මාත් ඔලුව වැනුවා.
" අද තමා මං ගොඩක් සැහැල්ලුවෙන් හිටියේ දුලේන්.... ඇත්තට ම කියාගන්නවත් තේරෙන්නේ නෑ...."
දුමේෂි කියාගෙන ගියා. ඒ හැම වචනයක් අස්සෙ ම එයාගේ සතුට මට දැනුනා.
"මොනවත් අහන්න නැද්ද දුලේන් ඔයාට?"
දුමේෂි වැව දිහා බලාගෙන ම ඇහුවේ. මං ඇයි කියන්න ඔලුව හෙල්ලුවා.
" ඔයාට අහන්න ප්‍රශ්න ඕන තරම් තියේ කියලා මං දන්නවා."
දුමේෂි මං දිහා නොබලා ම කිවුවා. මං කල්පනා කළා...
වැවේ දියකාවෝ දෙන්නෙක් එක ළඟ පීන පීන හිටියා ඒ වෙලාවේ.... දෙන්නා එකටමයි හිටියේ. වෙලාවකට එකෙක් වතුර යටින් ගිහින් ආයේ අනික් කෙනා ගාවට පීනගෙන ආවා වේගෙන්...
හිතට ආපු සිතුවිල්ලකට මැසේජ් එකක් කෙටුවා මං.
📱"....හිතන්න පුලුවන් ද සම්බන්ධයක් වැඩියෙන් ම ලස්සන ම වෙන්නේ කොයි විදිහට ද කියලා?......"
මං මැසේජ් එක දුමේෂිට පෙන්නුවා.
" ම්ම්..... අනේ මන්දා. විශ්වාසෙ රැඳිලා තියෙද්දි නේ ද?"
දුමේෂි ඇහුවා.
📱"....ඒකත් හේතුවක් තමා. ඒත් ඊට වඩා වැදගත් ම දෙයක් තියෙනවා....."
" ඒ මොකක් ද?"
දුමේෂි ඇහුවා. මං ඇඟිල්ලක් දික් කරලා ඈත පීන පීන හිටපු දිය කාවෝ දෙන්නව පෙන්නුවා එයාට. එයා බලන ටිකට මං මැසේජ් එකක් කෙටුවා.
📱"......සම්බන්ධයක් ලස්සන ම වෙන්නේ අර දිය කාවෝ දෙන්නා වගේ එකට ඉන්න වෙලාවට. කවදාවත් තමන් තනිවෙලා නෑ කියලා හිතෙන වෙලාවට. එතකොට බැඳීම ගොඩක් ලස්සනයි කියලා හිතෙනවා...."
මං මැසේජ් එක එයාට පෙන්නුවා. එයා ඒක කියවලා හිනාවක් ගත්තා.
" තව දෙයක් තියෙනවා ඕකට එකතු වෙන්න එහෙනම්...."
එයා කිවුවා. මං මොකක් ද කියලා ඔලුව වනලා ඇහුවා.
" ඒ සම්බන්ධේ අතේ දුරෙන් තියෙන තාක් බැඳීම් අපිට දැනෙන්නේ නෑ. ඈත් වුණා ම තමා වැඩියෙන් ම දැනෙන්නේ....
දැනුන අය දන්නවා ඒකේ තියෙන වේදනාව. බැඳීම් කියන තැන දී ගොඩක් අය හිර වෙනවා. ඒ වෙලාවට තීරණයක් ගත්තත් වේදනාවක්. විඳවීමක් විතරයි...."
එයා ඒ ටික කිවුවේ බිම බලාගෙන. එක පාරට ම එයා මං දිහා බැලුවා.
" මං ඇහුවේ එහෙම ප්‍රශ්නයක් ගැන නෙවෙයි. ඔයා මං ගැන එහෙම ආකිගෙන් සැරෙන් සැරේ අහනවා කියලා ආකි මට කිවුවා. ඇත්ත ද?"
යකෝ.... කට උත්තර නැතුව ගියා ඒකට නම්. මේ ආකි ඒවත් කියල ද දුමේෂිට? අනෙ මන්දා.... මොනා කිවුව ද දන්නෙත් නෑ..... වස ලැජ්ජාව....
" හරි හරි... දැන් බිම බලාගෙන ඉන්න ඕනේ නෑ. මට හිතෙන්නේ මේ ටිකේ ඔයා මොකාක් ම හරි ප්‍රශ්නයක් එක්ක ඉන්නේ. ආකිත් නෑනේ හිටියේ.
ඒකයි මං ඇහුවේ. විසඳගන්න තියෙනවා නම් අපි විසඳගමු...."
දුමේෂි කිවුවා. හිත අස්සට ම කිමිදිලා ගියා නිමේෂයකින්....
හිතේ කෑකෑරුණ ලොකු ම ප්‍රශ්නේ එතන දි ආයේ මතු වුණේ ඒ හින්දයි....
📱 ".......කවු ද මේ ආකි? ඇයි හැමෝම එයා ගැන කියද්දි එක පාරට ම ගැස්සෙන්නේ? ඇයි ඒ?....."
මැසේජ් එක එයාට පෙන්නුවා. දුමේෂි ලොකු හුස්මක් අරන් පිට කළා.
" ඔයා හිතනවට වඩා ආකි කියන්නේ වෙනස් කෙනෙක්...."
දුමේෂි කිවුවා.
📱".....මොක ද ඒ?....."
" ආකි අපිට වඩා ජීවිතේ ගැන බරපතළව හිතනවා දුලේන්. එයා දැන් ඉස්සරහ හිටපු කෙනා නෙවෙයි. දැන් ගොඩාක් වෙනස් වෙලා ඉන්නේ. ඒකයි ඒ...."
📱".....මට තේරෙන්නේ නෑ...."
" මාත් කැමතියි ඔයාට එක පාර ම තේරෙන්න කියන්න. ඒත් ඇත්තට ම ඒක මටත් තේරෙන්නේ නෑ දුලේන්....
සමහර සිද්ධි තියෙනවා කෙනෙක්ව නොමරා වුණත් මරන්න පුලුවන්. ඒකෙ බයානක ම හරිය දන්න කෙනෙක් අපිටවත් හිතාගන්න බෑ දුලේන්.
ආදරේට කෙනෙක්ව ජීවත් කරවන්නත් පුලුවන්. එක පාර ම නැති කරලා දාන්නත් පුලුවන්. හරියට ඔයා දැන් කිවුව බැඳීම්, සම්බන්ධ වගේ...
ආදරේ කියන්නෙ ම බැඳීමක්. ඒකෙ හිර වුණා ම ගැලවෙන්න ලෝබයි. ගැලවුණත් බැඳෙන්න ම හිතෙන වාර අනන්තයි."
දුමේෂි එහෙම කියලා ලොකු හුස්මක් අරන් පිට කළා.
" ඒත්... ආදරේට මං ආසයි. කවදාවත් විඳලා නැති දෙයක් මං ඒක. ඒක ලස්සන දෙයක්. ඒත් ඒක කොච්චර වින්ඳත් මෙතනට ඒක දැනුනේ නෑ දුලේන්...."
දුමේෂි කිවුවේ එයාගෙ ම පපුවට ඇඟිල්ලක් තට්ටු කරන ගමන්. ඒවා කියනකොට එයාගේ මූණේ තිබ්බේ මාර කෝල ගතියක්.
හිතට ආවා අමුතු ම අදහසක්. මෙච්චර කාලෙකට මේ වගේ දෙයක් කරලා නෑ. ඒත් කරන්න ම හිතුණ හින්දා කල්පනා කළා.
පෝන් එකෙන් වෙලාව බැලුවේ කළුවර වේගෙන එන්න ආපු හින්දා. වෙලාව 6ත් පැනලා. අද වෙලාව යනවාවත් දැනුනේ නෑ හවස් වරුවෙ ම.
අප්පා.... මට ඒ පාර තමා ආයේ මතක් වුණේ ගිෆ්ට් එක. බෑග් එකෙ ෂිප් එක ඇරලා ආයේ මැසේජ් එකක් කෙටුවා මං.
📱".....දෙන්න තියෙනවා පොඩි බඩ්ඩක් ඔයාට...."
මං පෝන් එක එයාට දුන්නා.
" මොකක් ද?"
එයා ඇහුවා. මං මුකුත් ම නොකියා බෑග් එකෙන් ගිෆ්ට් එක ගන්න පුලුවන් වෙන්න බෑග් එකෙන් තිබ්බා.
මං දුමේෂිට නැඟිටින්න කියලා සංඥාවක් දැම්මා.
" ඇයි දුලේන්?"
එයා ඇහුවා. මං මුකුත් ම නොකියා නැඟිටලා එයාවත් නැඟිට්ටුවා.
මං එයාගේ ඇස් දෙක පෙන්නලා වහගන්න කියලා සංඥාවක් දැම්මා.
" මොකක් ද කරන්න යන්නේ දුලේන්? බයයි අනේ...."
ඒ පාර වෙවුලනව ද මන්දා මෙයා. එයාට වඩා මං ගැහෙනවා ඉස්සරහට මෙයා මොනා කියයි ද කියලා...
මං එයාට ඇස් පියාගන්න කියලා සංඥාවක් දැම්මා.
" හරි හරි...."
එයා ඇස් පියාගත්තා. මං ආයේ බෑග් එකට අත දැම්මේ එයා හොරෙන් බලනව ද කියලා.
නෑ නෑ... මං පෙට්ටිය අතට අරන් මැසේජ් එකක් කෙටුවා ක්ෂණිකව.
ඒත්... මටත් ලැජ්ජාවක් එක්ක බයක් දැනෙන්න ගත්තා එක පාරට ම. ඒත් ලොකු හුස්මක් අරන් මැසේජ් එක කොටල ඉවර කළා.
පෝන් එක සාක්කුවට දාගෙන එයාගේ ඉස්සරහ එක දණක් ගහලා නැමුණා මං. ඔව්... අද එයාට විශේෂ දවසක් වෙයි... මටත්....
මං එයාගේ අතකින් අල්ලගත්තා. ගිෆ්‍ට් පෙට්ටිය එයාගේ අත උඩින් තියලා අනික් අතත් එයාගේ අත උඩින් තිබ්බා.
එයා ඇස් ඇරියා. එයා මං දිහයි බලන් හිටියේ ඒ ඇස් තවත් ලොකු කරන්...
" දුලේන්....?"
එයා කිවුවේ පුදුම වෙලා. මං එයාට පෙට්ටිය පෙන්නලා හිනා වුණා.
" මං දැන් ම බලන්න ද අනේ....?"
එයා ඇහුවා. මං හා කියන්න ඔලුව වැනුවා.
එයා පැක් එක ගැලෙව්වේ හිනාවෙවී... යාන්තමට වැටෙන එලියට එයාගේ මූණ ලස්සනට පෙනුනා මට. එයාව අද මං පුදුම කරනවාමයි...
එයා පැක් එක ගලවනකම් මට හදිස්සියි. දණ ගහන්න කලින් වැලි පිහ දැම්මට දැන් දැනෙනවා දණිස්සේ ගලක් ඇනෙනවා ඇනෙනවා වගෙත්. ඒත් ඉවසන් හිටියා.
යාන්තම් ඇති. පෙට්ටියේ රැප් එක ගලවලා ඉවර වුණා. එයා පෙට්ටිය ඇරියා.
ලස්සනට එයාගේ මූණත් හිනාවක් පිරිලා ගියා ඒ වෙලාවෙ ම. මං ඒ පෙට්ටිය එයාගෙන් අරන් වොච් එක අතට ගත්තා.
එහෙම්ම ම වොච් එක එයාගේ දකුණු අතේ බැන්ඳා මං. බැඳලා අත දිහා ටිකක් වෙලා බලන් හිටියා මං.
හෙමීට එයාට දැනෙන නොදැනෙන ගාණට මං ඒ අත සිප ගත්තා. දැනුනා මට... මගේ ඇඟිල්ලක් තද වෙලා තිබ්බේ එයාගේ දකුණු අතේ මැණික් කටුව ගාවට. දැනුනා මට එයාගේ නාඩි වේගෙන් වැටෙන හැටි.
හිතෙනවා මට. එයාගේ heart beat එකත් වේගෙන් ගැහෙන හැටියට බය වෙලා වගේ ඇස් ලොකු කරන් බලන් ඇති මං දිහා. බැලුවේ ඒකයි මං.
හරි... ඒ ම තමා ඉන්නේ. මං එයාගේ අත උඩින් පෝන් එක අරන් තිබ්බේ ඒකයි. එයාගේ අතත් අල්ලගෙන ම නැඟිටලා මං පෝන් එක අතට තද කරලා මං එහාට ගියා ටිකක්.....
📱"......දුමේෂි, මේ මාසෙට ම මං නොදැනුවත්ව ම ඔයාට ලං වුණා. කාගෙවත් ළඟට මං එහෙම ගිහින් නෑ. ඇත්තමයි. අම්මගෙන් පස්සේ දැනුන ම කෙනෙක් තමා ඔයා...
ඒත්... මට අද හිතුනා ඒක ඔයාට කියන්න ම ඕනේ කියලා. ඔව්. ඔයා ඒක දැනගන්න ඕනේ.
ඔයා තනිවෙලා නෑ කෙල්ලේ. තනිවෙලා නෑ.....
නැත රෝස මලක් පුදන්න...
නෑ හඬක් එය කියන්න....
මගේ ඒ වදන විඳින්න....
බාර ඔබට එය හිතන්න.....
🌹🌹🌹🌹........"
මං ඒ ම තමා මැසේජ් එක කෙටුවේ. විනාඩියකට වඩා ගියා කොටන්නත්. ඒත් අවුලක් නෑ ඉතින්. කියන්න හදපු එක එකපාරට ම කියලා දාන්න මොකක්දෝ වගේ හින්දා එයාට ඒක දැනෙන්න ඇරියා. තේරුණා නම් හොඳයි...
ඒත් දුමේෂිගේ කිසි සද්දයක් නැති හින්දයි මං හැරිලා බැලුවේ. තාම මැසේජ් එකේ ගිලිලා එයා. තාම ඒක දිහා බලන් ඉන්නවා කන්න වගේ.
" දූ... දුලේන්?"
එයා මං දිහා බලාගෙන කිවුවේ එච්චරයි. ඒත් ඒ ඇස් වලින්, ඔලුව වනලා ඇහුවේ ඇත්ත ද කියලා. මං ඔලුව වැනුවේ ඔවු කියන්න.
එක පාරට ම ඒ ඇස් කඳුළු වලින් දිලිසුණා.
"දුලේන්.... අනේ ඇත්තට ම ද?"
එයා ඇහුවා. මං එයා ගාවට යන ගමන් ඔලුව වැනුවා ඔවු කියලා.
" අනේ.... ඒත්..."
එයා කියන්න හදපු එක නැවැත්තුවා. ඒ එයාගේ පෝන් එක රිංග්ස් ගියපු හින්දා. එයා මගේ පෝන් එක මට දීලා බංකුවේ වාඩි වෙලා බෑග් එකෙන් එයාගෙ පෝන් එක එලියට ගත්තා. එයා ඒ කෝල් එක ඉස්සුවා.
එයා කියපු එක නම් ඇහුණා. ඒත් එහා පැත්තේ එක්කෙනාගේ එක ඇහුණේ නෑ.
📱"හෙලෝ... ඇයි?"
📲 "........."
📱 " මොකක්? කොයි වෙලේ ද?"
📲 "......"
📱 " අනේ.... ගොඩක් අමාරු ද?"
දුමේෂිගේ මූණත් එක්ක ම වෙනස් වෙලා ගියා එක පාරට ම. කලබලකාරී ගතියක් එයාගේ මූණේ පෙනුනා.
📲 "......"
📱 " හරි හරි. මං ඉක්මණට ම එන්නම්..."
එයා කෝල් එක කට් කළා. ඉක්මණට ම බෑග් එක ඇරලා වොච් එකේ පෙට්ටියයි, පෝන් එකයි, කොලෙයි බෑග් එකට දාගෙන එයා නැඟිට්ටේ.
" අනේ දුලේන්, ඉක්මණට අපේ ගෙදර යමුකෝ. පොඩි ප්‍රශ්නයක්...."
දුමේෂි කිවුවේ කලිසමේ සාක්කුවට අත දාන ගමන් මං දිහා බලාගෙන. හොඳට ම කලබල වෙලා හිටියේ එයා.
මං බෑග් එකේ ෂිප් එකත් වහලා බෑග් එක කරට දාගත්තා විතරයි.
" පරක්කු වෙයි දුලේන්. යං...."
එහෙම කියලා එක පාරට ම මගේ අතකින් අල්ලගෙන දුවන්න පටන් ගත්තේ නැද්ද. තව ඩිංගෙන් ඇදපු ඇදිල්ලට මගේ දණිස්ස බංකුවේ වදින්නේ. ඒත් පැනපු හින්දා බේරුණා.
" ඉක්මණට යං...."
මෙයා එහෙම කියාගෙන මාවත් ඇදන් දිව්වේ ස්කූටරේ ගාවට. එයා ස්කූටර් එකට නැඟලා යතුර දාලා ස්ටාර්ට් කළා.
" නඟින්න...."
එයා කියනවත් එක්ක ම මං නැංඟා. ඒ එක්ක ම ඇදලා ගියේ නැද්ද හැටට හැටේ.
තව ඩිංගෙන් අනිද්දා උදේ පත්තරේ යන්නේ 'වේගෙන් ස්කූටර් රථයේ තිරිංග තද කිරීම නිසා පිටුපස ගමන් කළ 20 හැවිරිදි තරුණයෙක් පාර මැද බිම ඇද වැටී ජීවිත්‍යක්ෂයට' කියලා.....
ඒත්.......
....................................................................
ඔන්න ඉතින් අද නම් ෂෝක්... දැන් කියන්නකෝ බලන්න මොකෝ දුමේෂි එක පාරට ම කලබල වෙන්න ඇත්තේ කියලා.....
හී.... අද සතුටු ඇති මං හිතන්නේ. ඉෂ්ට වුණානේ heart attack හදාගෙන බලන් හිටපු එක....
ඒමත් නැත්තම් බෝරින් ද අනේ? මට ඉතින් වැඩිය රොමෑන්ටික් සීන් ලියාගන්න එක අමාරුයි. ගණන් ගන්න එපා.
දිග කොටසක් දුන්නා අද... ඔන්න ඉතින් ඉස්සරහට තමා හොඳ හොඳ සෙල්ලම්.....
හෙට එකෙන් කාව හරි මරන්න ද මං?
කියන්නකෝ ඒකවත්...
😌චතූ...😊