D.D.
පෙර කොටස
ධනූෂගේ ගේ පන්තියේ මුල් දවස... (ඔහු)
(8 කොටස)
" ධනූෂ්... ෂුවර්ම ද බං ඔය කෙල්ල ත්‍රී වීල් එලවන කෙනෙක් කියලා උඹට?"
සජියා ඇහුවා. මං කොහෙන් උත්තර දෙන්න ද? මං අඳුරන කෙනෙක්යෑ.....
📱 "..........මං දන්නෙ නෑ බං ඒ කෙල්ල කවු ද කියලා. එදාමයි දැක්කේ....."
මං පෝන් එකේ ස්ක්‍රීන් එක පෙන්නුවා. දවස් 3ක් ම ඉස්පිරිතාලෙ තියාගෙන ඉඳලා දැන් දවස් 3කට කලින් තමා සජියා මාව බෝඩිමට එක්කන් ආවේ. ඒත් මුගේ වැඩේ ම එක ම දේ අහන එක.
වෙන මොනවත් නෙවෙයි. මාව හොස්පිටල් එකට ගෙනියපු අර 'ආකි' කෙල්ල ගැන. එයාව මං දැක්කෙත් එදාමයි. ඒත් මූ මගෙ එක්ක කතා කරන්නේ මං ඒ කෙල්ලව බැඳලා ඩිවෝස් වෙලා ඉන්න ගාණට.
" ඇත්තට ම කියපන් බං. ඒකි ලස්සන ද?"
ඒ පාර මඟුලක් අහනවා. මූට ඉන්න පැහැසි මල්ල මදිවට ද තව එක්කෙනෙක් ගැන හොයන්නේ. සැක්...
📱 "...... ඔව් ඔව්. චොක්ලට් කෑල්ලට වඩා ටිකක් සුදුයි. කොණ්ඩේ ගොතලා නවලා තිබ්බේ කොටට කොටේ. අනික එදා විතරයි දැක්කෙත්. ඔහොම මගෙන් අහන්නේ මොනවා අහගන්න ද තමුසේ?....."
" හරි හරි. ආයේ අහන්නේ නෑ. මේක විතරක් කියපන්... කෙල්ලගේ කටහඬ කොහොම ද?"
📱 ".......ආයේ මොන අටමඟලක් අහනව ද? දන්න සේරම කියලා ඉවරයි. කෙල්ලට තියෙන්නේ ටකරමට ගල් ගහනවා වගේ කටහඬක්. එච්චරයි......."
ඒක නම් ටිකක් විතර බොරුවක්. කෙල්ලෙක්ගේ කිවුවට එයාගේ කටහඬ ටිකක් රළුයි. ඒත් එහෙම අවුලක් නෑ ඒක කෙල්ලට ගැලපෙනවා.
📱 ".......දැන් මොකට ද මෙච්චර ප්‍රශ්න තොගයක් අහන්නෙ?......."
" මේකයි බං. මෙහේ ත්‍රීවීල් පදින කෙල්ලෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් අර රේවති ස්ටෝස් එකේ ඩිලිවරි නංගි."
📱 "........එතකොට අනික් කෙනා?......"
" ඇයි බං අර උඹ වැඩ කරන කඩේ ගාව තියෙන ත්‍රීවීල් පොලේ ටිකට් කඩන්නේ. එයානේ....."
📱 "........එච්චරම ද ඉන්නේ?......"
" ඔව් බං. මට පේන්නේ මේ කෙල්ලට ත්‍රීවීල් එකක් තිබ්බට රස්සාවට පදින කෙනෙක් නෙවෙයි. නැත්තම් ඉන්න එපැයි."
සජියා කිවුවා. මාර ප්‍රශ්නේ. ඒ කෙල්ල නම් ලස්සනයි තමා. ඒත් මූට ඕවා කියලා අර මාස ගාණේ ප්‍රේම සම්බන්ධේ කඩන්න ඕනේ නෑනේ. පවුනේ ඉතින් සජියගේ පැහැසි මූ පවු නැති වුණාට. මේ ප්‍රේම කතාවට මාස 6කවත් නෑනේ....
" පුතේ....."
ඔන්න ඒ පාර නම් වෙලාවට කියලා බෝඩිං ඇන්ටි කතා කළා.
එයා ගැන කියන්න බැරිවුණානේ. එයාගේ නම ජයනිමා. එයාගේ 'ජයනි බෝඩිං හවුස්' එකේ තමා මායි, සජියයි දැන් මේ ඉන්නේ.
එයාට ඉන්නවා පොඩි කෙල්ලෙක්. පොඩි කිවුවට පොඩි ම නෑ මොකකින්වත්. නම වන්දනා. දැන් වයස 18 ක් විතර. වෙන කෙල්ලෝ නම් බෝඩිමේ කොල්ලට නොපෙනෙන්න ඉන්නේ. මට වෙලා තියෙන්නේ ඒ කෙල්ලට නොපෙනෙන්න යන්න. කොයි වෙලේ බැලුවත් මගේ ඇඟේ එල්ලෙන්නමයි යන්නේ.
ඇන්ටි හිතාගෙන ඉන්නේ මේකිගේ දාංගලේ හින්දා අහිංසක මං ඒ උරචක්‍රමාලේ එක්ක යාළුයි කියලා. ඒක නිසා ඇන්ටි හැම වෙලාවෙ ම මට පාට් දාන්නමයි ඉන්නෙ. ඒවා නම් හඳේ තමා. ඒ පීස්සු කෝච්චිය බඳිනවට වඩා කුඹුරක් හාන එක හොඳයි. එතකොට හැම කන්නෙට ම බත් කන්නවත් පුලුවන්. සැක්.....
" උඹ ඉඳපන්. මං බලලා එන්නම්."
සජියා එහෙම කිවුවේ තාම මගේ කකුලේ තුවාලේ හොඳ නැති නිසා. නැත්තම් වෙනදා සින්දු දාන මිනිහා මේ දවස් තුනට එක පාරක්වත් ප්ලේයර් එක ඔන් කළේ නෑ. නැත්තම් ඉබේ ම මාව නැටවෙන්න ගන්නවා කියලා මිනිහා දන්නවා.
අමතක වෙලා ප්ලේයර් එක ඔන් කරලත් ඒ තප්පරේට ආයේ ඕෆ් කරනවා. පවු මං හින්දා ඌට සින්දුවක්වත් අහන්න නෑ.
" මොකෑ අර කොල්ලට දැන්?"
ඒ බෝඩිං ඇන්ටි.
" කකුල තාම ඩැමේජ්නේ. තව ටික දවසකින් හරියයි."
ඒ සජියා.
" ආපෝ කොල්ලෝ.... ඔය කකුල නොකැඩී තියේ ද තියෙන විසේට. කොහොමත් ඕකව අතේ දුරින් තියාගෙන ඉන්න එක උඹට හොඳයි.
ඕකා හෙන නරියා. අපේ එකී එක්ක බජනේ දාගෙන ඉද්දි උට ගාණක් කඩාගන්න බැරිවුණේ මගේ අතට ම අහුවුණ හින්දා. ගොලුවා හින්දා දෙකට ගණින්න බෑ වගේ හිටියට කපටි ආඳා ඕකා.
මාත් ඕකව එලවනවා. ඒත් අම්මා අප්පා නැති හින්දයි, වෙලාවට බෝඩිං ගාස්තු ගෙවන හින්දයි තියන් ඉන්නේ. නැත්තම් පයින් ගහලා එලවන්නෙ. පයින්..."
බෝඩිං ඇන්ටිගේ වාග් ප්‍රහාර නම් ඉස්සර මට දරුණුවට ම වැදුණා. ඒත් දැන් ඒවා වැදිලා වැදිල ම වැදෙන්නෙත් නැති ගාණට වෙලා. හුස්මක් හෙලා වහලේ දිහා බලාගත්තේ ඒකයි මං.
" උඹට ඇහුණ ද වැබෝජ ඇන්ටි කියපුවා....?"
සජියා පනාව දාගෙන ඇවිත් වාඩිවුණා. වැබොජ ඇන්ටි කියන්නේ සජියා බෝඩිං ඇන්ටිට දාපු හුරතල් නාමේ. 'වැදගත් බෝඩිං ජයනි ඇන්ටි' තමා ඒකේ දිග එක.... හිනා යන්නේ ඇන්ටි මූට බෝඩිං ගාස්තු ගෙවන්න පරක්කු වුණා ම කියන්න තියෙන කුණු කතා සේරම කියද්දිත් ඇන්ටිට වැදගත් කෑල්ල ම දාන එක. පවු ඉතින් ඇන්ටිත්....
මං ඔව් කියලා ඔලුව වැනුවේ සජියා කියපු එකට.
" ගෑනිගේ හිතේ තියෙනව ද දන්නේ නෑ අර සාර වන්දනාව මගේ කරේ එල්ලන්නවත්. කොයි වෙලේ ගියත් ඕකිව මතක් කරනවමනේ."
සජියා කිවුවේ තරහෙන්.
📱 ".......කියන්න බෑ. කොහොමත් අවුලකුත් නෑනේ පැහැසි දාලා ගියොත් වන්දනාව කරගන්න. ගෙයක් නිකම් ම හම්බෙනවනේ....."
මං කොටපු මැසේජ් එක පේන්නුවේ හිනාව හිරකරගන්න ගමන්. සජියව පොඩ්ඩක් ඇවිස්සුවේ නැති වුණා ම මට නිකම් කෑවේ නෑ නෑ වගේ....
"තොට නම් හිනා. ඒ බෝතල් අඩි දාන බතල කොණ්ඩ පනික්කිව බඳිනවට වඩා හොඳයි රස්සාව අතෑරලා කුඹුරක් කොටනවා...."
ඒක කියද්දි නම් මට හිර කරන් හිටපු හිනාව එලියට ගියා. මූත් හිතන්නෙත් මං වගේමනේ....
"මොකෝ පනාව දාන්නේ? හිතුව ද මං බොරු කියනවා කියලා?"
මං ඔලුවෙන් නෑ කියලා සංඥාව දීලා මැසේජ් එකක් කොටලා පෙන්නුවා.
📱 "...... මං හිතුව එකමනේ උඹ කිවුවේ. කුඹුරක් කොටන්න යනවා කියලා. ඒකට හිනා ගියේ.
උඹ එක්කෝ සංඥා භාෂාව ඉගෙන ගනින්. නැත්තම් උඹට තේරුම් කරන්න ගිහින් මට ඇඟිලි අමාරුවක් එනවා......"
" බලමුකෝ බලමුකෝ.... මොනාහරි තව දෙයක් ඉගෙන ගන්න එක වටිනවා තමා.
අනික උඹ දන්නවනේ ඕවා. මට හැමදාම කියලා දියන්කෝ රෑට රෑට."
සජියා කිවුවා. ඒ ක්ෂණිකව ආයෙ මං මැසේජ් එකක් කෙටුවා.
📱 "......රෑට රෑට? ඇයි මං රෑට මෙහේ ඉන්නව ද? කඩේ වැඩ කරන්නේ උඹ ද?....."
"ආ..... ඔව්නේ. හරි. ඔන්න ඔහේ කයිය ගහන වෙලාවට එකක් දෙකක් කියලා දියන්කෝ. එතකොට හරිනේ."
සජියා කිවුවා.
📱 "........ හරි හරි බං උඹ කියනකං හිටියේ. මෙච්චර කල් අපි කයිය ගැහුවේ නෑ නේ......"
මං මැසේජ් එක කොටලා පෙන්නුවා.
" අනේ මේ..... කියලා දෙනවා නම් කියලා දීපන්. නැත්තම් ඕනේ නෑ. බොරුවට පීචං වෙන්නේ මොකට ද...."
සජියා එහෙම කියලා අහක බලාගත්ත හැටියට මටත් හිනා ගියා.
📱 "...... උඹ ඔහොම ඉද්දිත් පොඩි ගතියක් තියෙනවා. නරක ම නෑ......"
මං සජියට පොඩි තට්ටුවක් දාලා කොටපු මැසේජ් එක පෙන්නුවා.
" මේ ධනූෂ්.... ගනින් පෝන් එක... උඹගේ තුවාල තාම හොඳ නැති හින්දයි මං මුකුත් නොකරන්නේ. නැත්තම් හම ගහනවා. ගනින් ඕක."
ඒ පාර නම් පොරට හොඳට ම තද වෙලා. මං හෙමීට පෝන් එක ගත්තේ ඌට බය වුණා වගේ පෙන්නගෙන.
" අන්න ඒ බය තියාගනින්. උඹ මගේ යාළුවා මිසක් අයියා නෙවෙයි. පොඩි එකා කියලා නෑ විහිලු කරද්දි...."
සජියා එහෙම කිවුවේ මට හිනාව නවත්තගන්න බැරිවෙන්න.
" මේ, උඹ දන්නව ද අලුත් ම නිවුස් එක?"
සජියා ඔය යන්නේ මාතෘකාව වෙනස් කරන්න කියලා මං දන්නවා. මුකුත් නොදන්න ගාණට ඇයි කියලා මං සංඥාවක් දැම්මේ ඒකයි.
" දන්නව ද අර D.D. ව?"
ඔන්න ඒ පාර නම් මගේ හිනාවට බ්‍රේක් වැදුණා. මං කවුද කියලා ඔලුවෙන් ඇහුවේ බැරැරුම්ව.
" අර හවසට බස් ස්ටෑන්ඩ් එකෙ නටනවා කියන හාදයා. උඹ දන්නවා ඇති අර හුඩ් එකක් තියෙන ජැකට් එකක් දාලා, කැප් එකකුත් දාලා, මූණත් කවර් වෙන්න මාස්ක් එකක් දාලා, රතු රෙද්දක් එලලා තියලා නටනවා කියන්නේ. අර සල්ලි දාන අයට පොඩි චිට් එකක් දෙනවා කියන්නේ....."
සජියා ඒ පොර ගැන විස්තර කිවුවා.
📱 "........ඉතින්? පොර මැරිලාවත් ද?......"
" පයිත්තියන් ද? මටත් ෂුවර් නෑ අශේන් කිවුවේ. ඌ මේ ටිකේ ම නටන්න ආවේ නැල්ලු. මොකො දන්නේ නෑ. මං තාම ඌව දැකලත් නෑ."
සජියා කිවුවේ ටිකක් විතර කේන්තියකින්.
📱 ".......හරි ඉතින්. ඔය වගේ ඒවගේ මැරෙනවා කියන එකනේ ගොඩක් වෙන්නේ ඉතින්. ඒකයි....."
මං මැසේජ් එකක් කොටලා සජියට පෙන්නුවා.
" හරි. හරියට බෙහෙත් ටික බීලා පුලුවන් තරම් ඉක්මණට ඔය තුවාල ටික සනීප කරගනින්. ඇකඩමි එකට ලබන සතියේ ඉඳන්වත් යන්න..."
සජියා එහෙම කියලා එලියට ගියා. සජියා මං D.D. මැරිලා කිවුවා ම එච්චර කේන්ති ගත්තේ මොකෝ....?
අනික පලවෙනි පාරට තමා D.D. ගැන අපි කතා කළෙත්. සජියට කේන්ති යන්න දෙයක් වුණෙත් නෑනේ.
සජියා ගියපු ටිකට පර්ස් එකෙන් නෝට් බුක් එක එලියට ඇද්දා මං. ඇදලා මේසේ කොනෙන් පොත තියලා ඒක පෙරලුවා. මිනිහට හොරෙන් තමා ගොඩක් වෙලාවට ඕක ලියන්නේ. නැත්තම් මට පල් එක දානවා ඕකා.
හුස්මක් අරගෙන පෑන් දාන එකෙන් පෑනකුත් අරන් මං මෙහෙම ලිවුවා.
............එක ම ජීවිතේකට චරිත ගොඩක්. හරියට එක ම නාට්‍යයට චරිත ගොඩකට ඉන්න වෙස් මූණු බඳිනවා වගේ. එකක් ඉවර වෙද්දි තව එකක්......
....................................................................
දවස් කීපේ ඉක්මණට ම ගෙවුණා. හෙට තමා academy එකට යන්න තියෙන පලවෙනි දවස. සති දෙකක් ම පරක්කු වුණා. අද ලොකු ම තුවාලේ මැහුම් දෙක ගලවලා දැම්මා. පොඩි ඒවා හොඳ වෙලානේ තිබ්බේ.
පලවෙනි පාරට අම්මගේ වගේ ම මගෙත් හීනේ වුණ ඒ කතාව අද ඉඳන් මං පුරවන්න යනවා.
අම්මේ.... ඔයාගේ ධනූ අද ඒ හීනේ පලවෙනි දවසට යනවා. ඔයා බලාගෙනනේ ඉන්නේ. ඉන්න තැනක ඉඳන් මට අනික් අම්මලා වගේ ම ආශිර්වාද කරන්න.....
මං හිතින් හිතුවේ එහෙම.
සජියා අද වැඩට ගියේ නෑ. මිනිහා මට ලෑස්ති වෙන්න කියලා කලින් ම නැඟිට්ටුවා. 9ට ක්ලාස් එක පටන් ගන්නේ වුණාට මං ලෑස්ති වුණේ අද කලින් ම යන්නම් කියලා හිතාගෙන.
වෙලාව උදේ 8ට ළඟයි. මං කාමරෙන් එලියට එනකොට ම දැකපු දෙයින් පුදුම වුණා.
................................................................
මොකක් වෙන්න පුලුවන් ද? ඉස්සරහට බලමුකෝ....
Comment අඩු වෙනවනේ.... කතාව හොඳ නැද්ද?
😌චතූ...😊